Chinese

චීන චයිනීස් සහ හොට් පොට්

අද කියන්න ලෑස්ති වෙන චීන කතා ඇදිලා ආවෙ අර කට කහන කතා ලියන දුමී කියන හාදය කොල්ලුපිටියෙ චීනගෙ චයිනීස් ජොයින්ට් එක ගැන රසවත් පරණ මතක අවුස්සපු නිසා. (ඔන්න කියවන්න කම්මැලි නැති ඈයො ඉන්නව නං මෙතනින් ගිහිං අටම්පහියෙ තියන ඒ ලිපි කියවන්න පුළුවන් : 1 කොටස , 2 කොටස )

බම්බලපිටිය සහ කොල්ලුපිටියෙ කරක් ගහපු අපේ සහ එයට කලින් පරම්පරාවෙ උදවිය චීනා සහ මැලේ ජොයින්ට් එක අහිමි වීම අදටත් සලකන්නෙ ජාතික අපරාධ විදිහට …. සුන්දර අතීත මතක කොයිතරම් තිබ්බ තැන්ද ?

කණ්ඩ හාහාපුරා රස්සාවක් කියල දෙයක් කරන්න පටන් ගත්තෙ DP Aides ආයතනයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඇසිස්ටන්ට් ලෙක්චර කෙනෙක් විදිහට ( ඒක මේ විශ්ව විජ්ජාල වගේ ලොකු කතන්දරයක් නෙමෙයි, බොහොම පොඩි ජොබ් එකක් ). ලංකාවෙ පටන් ගත්ත මුල්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතන වලින් එකක් වෙන මේක පිහිටලා තිබ්බෙ බම්බලපිටියෙ ඩුප්ලිකෙෂන් පාරෙ පරණ කරවෑන් එක ඉස්සරහමයි.

ඔන්න ඔය සන්දියේ මංතුමා හෙවත් “ගැට්ටා” සමග එකට සේවය කරපු නිශාන්ත නොහොත් “පුෂ්පකුමාර” නොහොත් “පුෂ්පෙ”, අමින්ද්‍ර නොහොත් “සිල්ව”, ශෂී, ජෙගන් නොහොත් “කොම්බුවා”, ගෝපි නොහොත් “ගොප්ප”, ඩිලන් නොහොත් “බඩ්සි”, චන්දික නොහොත් “මයිලෝ” ඇතුළු තරුණ නඩය නිසා තමයි ඔය කියන චීනව අඳුර ගන්න ලැබෙන්නෙ.

මේ අණ්ඩපාල නඩය අතේ තිබ්බ සීමිත මුලධනය උපරිම ලෙස පාවිච්චි කරල කරන්න පුළුවන් විවිධාකාරයේ ජල්තර වැඩ කරා. චීනව බැහැ දකින්න යන එක ඉන් එක දෙයක් විතරයි. නමුත් සියළු සත්වයන්ගේ හිතසුව පිණිස අනික්වා නොකියාම ඉන්නව 😀

පුෂ්පෙයට විතරක් ඉසුසූ ජෙමිනයි කාර් එකක් තිබ්බ, ඒත් ඒකෙ බුරුත්තම පටවන් යන්න කියලයැ. ඉතිං එහෙම දවසට කොල්ලුපිටිය හන්දියට ගමන් පහසුකම් සලසගන්න අමාරුයි. එදාට සාක්කු හිඳුන ඉවසන්න බැරි පිපාසාව නිවා ගන්නම ඕන කියල හිතෙනකොට සමූහයක් විදිහට පයින්ම ගාටපු බම්බලපිටියෙ MC එක ගාව MGM කැසිනෝ ක්ලබ් එකට අල්ලපු වැටේ තිබ්බ මැලේ ජොයින්ට් එකත් මතක වලින් පිරුණු තැනක්.

දැන් කියපල්ලකො අයියෝ අපරාදෙ ත්‍රී විල් එකක් අරන් චීනව හම්බ වෙන්න කොල්ලුපිටියටම යන්න තිබ්බනෙ කියල, සාක්කුවෙ සල්ලි උල්පත ඉඩෝරෙකට අහු වෙලා හිදුන ඒ කාලෙ වැඩිපුර පිච්චියක් හරි තිබ්බ නම් ඒ තුට්ටු දෙකෙනුත් තව මොනවා හරි වැඩිපුර සප්පායම් වෙනවනෙ ඒක ත්‍රී වීල් එකකට පූජා කරන්නෙ නැතිව 😦

කෑම බීමට අමතරව මැලේ කඩේ අමතක කරන්නම බැරි සප්පායම් වෙලා ආපහු එනකොට විතරක් නෙමෙයි දැනටත් මතක් වෙනකොටත් වෙරි බහින පාතාලෙ වගේ පඩි පෙළ. දැන් මෙතැනත් පඩිපෙළ විතරයි කඩේ බම්බලපිටියෙ නැහැ .. දෙහිවල හිල් ස්ට්‍රීට් එකට අරන් ගිහිල්ල … මෙලෝ රහකුත් නෑ … ඇති ලකයකුත් නෑ 😦

ඒ කොහොම වෙතත් තව කෙනෙක් කියාපුවා පරණ ග්‍රැමෆෝන් තැටි වාදනය කරනවා වගේ නැවත .. නැවත කියල වැඩක් නැහැනෙ … එනිසා අද කතා කරන්න යන්නෙ ඔය එකක්වත් ගැන නෙමෙයි, මේ අපි හැමෝම දන්න ලොවෙත් නැති ලොවි ගහෙත් නැති චීන කෑම වෙනුවට පරම පවිත්‍ර ඔතෙන්ටික් චීන්නු නිසා කණ්ඩට සහ කණ්ඩගෙන් චීන්නුන්ට වෙච්ච අකරතැබ්බ ගැන.

කණ්ඩතුමා මැදපෙරදිගට සම්ප්‍රාප්ත වෙලා අවුරුද්දක් ගිය තැන අතේ මිටේ සල්ලි ගැවසෙන්න අරං නිදහසේ ඉන්න හිතන කාලෙ. අනේ ඉතිං ඒ උනත් අපේ හාමිනේ හෙවත් ඒ දවස් වල වෙන්ට වයිෆ්තුමිය තීරණය කරනව ඇහැට කනට පේන කඩවසම් ඉලන්දාරියෙක් වෙච්චි මංතුමා සතුටෙන් නිදහස භුක්ති වින්ද හොඳටෝම ඇතිය, මුන්දැට නාස් ලණුව දාල කරත්තෙට බඳින්න හොඳම කාලෙ කියල.

අනේ ඉතිං එතකං කාටවත් කරදරයක් අහිංසක නැතිව හිටිය කණ්ඩ ගොයියත් අමාරුවෙ වැටුණ, අනික බැන්ද වගේ නෙමෙයිනෙ දෙන්න දෙපොලේ ඉන්නැයි, ඉතිං උන්දැව ඔටු දේසෙට ගෙන්න ගත්ත.

ඔටු දේසෙ ගැන වැඩි වැටහීමක් නැති නිසා අපිට ඉන්න හිටින්න අපාර්ට්මන්ට් එකක් හොයාගන්න උදව් කරේ කණ්ඩගෙ අතිජාත වක්පොලු මිත්‍රයා වෙච්ච ගලා. (ඔව් .. ඔව් .. අර ගෙදර ෆ්‍රිජ් එක කැඩුන කිව්වම දුරදිග හිතල වැඩි හොඳට අයිස්ක්‍රීම් ගැලුමක් උස්සගෙන ආපු එකාම තමයි 🙂 – හිම කිරම සහ තවත් කතා !) ගලා කිව්වට ගලාගෙත් කන්තෝරුවෙ බොහොම හිත හොඳ හාදයෙක් උන චතුර අයිය.

මේ වෙනකොට ගලා සහ මැතිණිය, චතුර සහ පවුල සමග එකම බිල්ඩිමේම තමයි හිටියෙ, ඉතින් කණ්ඩත් ඇවිල්ල මෙතනටම සෙට් උන නිසා අපි ඩබලත් එක්ක දැන් ලංකාවෙ පවුල් තුනයි !

මහා කළු සිංහලය වගේ හිටියට චතුර අයිය වැඩි සද්දයක් නැති බොහොම චාම් අහිංසක මනුස්සය. නමුත් බැංකු රැකියාවට අමතරව චීනය සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර සහයෝගිතාවය ඉහළින්ම අගය කල සහ අකුරටම ප්‍රායෝගිකවම ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. වැඩිය වටේ යන්නෙ මොකටද ? අපේ චතුර අයියගෙ ප්‍රිය භාර්යාව චීන ජාතික කාන්තාවක් 🙂

මේ කියන කාලෙ සැරට අපි මගුල් මගුල අපිව කාපු නිසා අතේ පිච්චිය නෑ … අපිට දරන්න පුළුවන් ගානට අපි හිටියෙ සාජා වල අල් ගුවයිර් (Al Ghuwair) කියන බොහොම ජනාකීර්ණ පැත්තක. ඒත් හිත ගිය තැන මාළිගාව කියනවනෙ අතේ ඉතිං අපේ පවුල් තුන දැහැමෙන් සෙමෙන් රම්‍ය සුරම්‍ය සුභ කියන අපේ මාළිගා වලට වෙලා කාලය ගත කරනව.

ඔය අතරතුර කෑම, බීම හුවමාරු හිතවත්කම් අලුත් කර ගන්න හීනියට පාටි එහෙමත් යනව. ඔහොම චතුර අයියගෙ ගෙදර ගිය දවසක අපිට හම්බ උන කෑම වේලක් නිසා අපේ චීන කෑමයි … චීන-චීන කෑමයි ගැන බරසාර සංවාදයක් හට ගන්නව. ඔය අතරෙ චතුර අයියගෙන් අහ ගත්ත වංහුං එක්ක කාන්තා පාර්ශවයෙන් ජන්ද විමසීමක් නැතිවම අපි යෝජනාවක් සම්මත කර ගන්නව කවද නමුත් චීන-චීන හෙවත් “ඔතෙන්ටික්” චීන කෑම රහ බලන්න ඕනය කියල.

නමුත් ඔය කිව්ව යෝජනාවටත් “බාලගිරි ඉස් නොට් ටුඩේ, බට් ටුමරෝ” තමයි, අහල පහළ හැබෑ චීන අවන්හල් නොතිබීම සහ තියෙන තැන් වලට ගමන් පහසුකම් සලසා ගැනීමේ අපහසුව හේතුවෙන් දවසින් දවස කල් යනව. නමුත් කරුමයක් පල දෙන්න තියෙනවා නම් වළක්වන්න බෑ කියනවනෙ සහෝදරවරුණි … කොටින්ම ඒක චීන-චයිනීස් රෙස්ටො‍රන්ට් එකකදී හරි පල දෙන්න පුළුවන් !

ඉතින් එකෝමත් එක දවසක මංතුමයි අපේ හාමිනෙයි ගලා සහ එම මැතිණියයි තීරණය කරනව කාන්තා පාර්ශවයේ ජාතික ක්‍රීඩාව හෙවත් ෂොපින් පාරකුත් දාල දේර ඩුබායි (Deira Dubai) වල රාත්‍රී සවාරි යන “දව් බෝට්ටු” (Dhow Cruise) නවත්තන හරියෙ රවුමක් ගහල එන්න.

ඔය කාලෙ අපිට යාන වාහන නැහැනෙ … යන හැම තැනම දෙපා යානයෙන්, ඒ බැරි තැනට බස් එකෙන් හරි ටැක්සියක් හරි. ඉතිං සාජ වල ප්‍රධාන මාළු වෙළඳපල ගාව තියෙන අල් ජුබයිල් (Al Jubail) බස් නැවතුමෙන් නැග්ගම ඩුබායි වල “සබ්කා” ( Al Sabkha) නැවතුමේ තමයි නවතන්නෙ. ඔය කාලෙම තමයි අරාබි එමීර් රාජ්‍යයට තට්ටු දෙකේ බස් අලුතින්ම හඳුන්වා දුන්නෙ. එහෙම එකක් අහු උනොත් එදාට හරි ජොලි, හරියට බිග් බස් ටුවර් එකක ගියා වගේ තමයි ( අපිත් බස් පික්කොද මන්ද 😀 )

කතාවෙන් පිට පැන්නද මන්ද … හරි ඔහොම ෂොපින් (ෂොපින් හරිය වින්ඩෝ හෙවත් ඇහෙන් ෂොපින් 😀 ) කරමින් රවුම් ගහනකොට තමයි අපිට අර ලංකාවේ වගේ රතුපාට හැඩ දාපු චීන බකට් නැති … ඒත් නම කියව ගන්න බැරි චීන අකුරු ඇඳපු තඩි චීන බෝඩ් එකක් තියෙන චීං චූං පචෑං අවන්හලක් දැක්කෙ, ඇතුලෙ චීනෙකුත් ඉන්නව 🙂

උඹට හොඳටම ෂුවර් නේද මේක චීන කෑම කඩයක් කියල ??? ඒ අස්සෙ මං ගලාගෙන් හිමීට ඇහුව … ඇයි උඹ හිතුවෙ අහවල් එකක් කියලද ? තොගෙ ඇස් පොට්ටද, ඔය පින්තූර තියෙන්නෙ යමං ඇතුළට !

ඇවිදලා කරල බඩේ ගින්දරත් තිබුණ නිසා ඔන්න ඉතින් “එන්ටර් ද ඩ්‍රැගන්”, කණ්ඩාතුමාගෙ සහ ගලාගේ හිත් වල නිදාගෙන හිටපු මකර ඇහැරුණ … කාලාන්තරයකට කලින් ඔතෙන්ටික් චයිනීස් කන්න කරපු යෝජනාව මල් පල දරන්නයි යන්නෙ.

අනේ ඒත් දෙන්නගෙ උත්සන්න වෙලා තිබ්බ ඔතෙන්ටික් චීන කෑම හීනය ලත් තැනම ලොප් වෙන්න බොහොම ආසන්නයි සහෝදරවරුණි … කාන්තා පරාණ දෙකම අදහසට විරුද්ධව බර බරේ දානව … නිශේධ බලය පාවිච්චි කරන්න ආසන්නනයි, නමුත් කියන්න සතුටුයි අපි අත ඇරියෙ නෑ සහෝදරවරුණි !

මෙතන කෑම මරැ …චීනෙ විදිහටමයි හදන්නෙ, වැඩ කරන්නෙත් ඔක්කොම චීන්නු !

ලංකාවෙ තෙල් බේරෙන මළ ජරාව වගේ නෙමෙයි ඇඟටත් හොදයි !

ආයි කවද මේ වගේ චාන්ස් එකක් එයිද දන්නෙ නැහැ, ඔන්න ආයෙ නාහෙන් එපා … !

අනික දැන් ඇවිදලා මහන්සිත් ඇති … ආයෙ තැනක් හොයාගන්න තව වෙලා යයි !

චතුර අයියත් කිව්වා මේ හරියෙ හොඳ තැනක් තියෙනවා කියල මේ එක කියල ෂුවර් ! (අන්තිම තුරුම්පුව විදිහට අහක හිටිය චතුරයවත් සින්නක්රවම විකුණල දැම්ම)

ඉතිං ඕං ඔය වගේ ලොකු වර්ගයෙන් තවුසන්ඩ් ටෝක් සහ කනිපින්දන් නැව් පිටින් දීල බවලත්තු දෙන්නවම බලෙන් වගේ ඇදං තමයි ගියේ .. 😀

අපේ හාමිනේ අලුතෙන් කෑම බීම ජාති රහ බලන්න කොයිතරම් කැමතිද කියනවනං දැනට අවුරුදු කිහිපෙකට කලින් ලෙබනීස් රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ල පැය බාගයක් තිස්සෙ මෙනූ එක කියවල … කියවල.. කියවල … ෆ්‍රයිඩ් රයිස් තියෙනවද කියල ඇහුවම අපිට සර්ව් කරන්න හිටපු වේටර් කොලුවගෙ කට ඇරිල ඇස් උඩ ගිය හැටි තාම මතක් වෙනව. කමක් නැහැ එදා කොත්තු රොටි ඉල්ලුවෙ නැහැනෙ කියල මම හිත හදා ගන්නව.

ගලා මැතිණියත් ඩිංගක් ඔය  තමයි, ඉතිං ඔහේලට හිතා  පුළුවන් නෙව එහෙව් එකේ මුන්දැලට චීන කෑම කවන්න අපි දුන්න උත්සාහයේ තරම 😀

කවද කාපු ටකරන්ද කියල පොඩි හිතේ ගැස්මක් තිබ්බත් ලෝඩ් පකීර්ල වගේ ඇතුළට ගියා. මූණේ හිනාවක් නැති චීන මනුස්සයෙක් එතන තිබ්බ අමුතු තාලෙ රවුම් මේසයක් අතින් පෙන්නල මොනවදෝ චීන බාසාවෙන් කිව්ව නිසා අපිත් වාඩි උනා. චීන අපිව තියල ඇතුළට ගියා .. ඒ යකා ගියා ගියාමයි පැත්ත පළාතෙ නෑ.

වැඩ කරන එවුන් ඇරෙන්න මුළු හෝටලේටම හිටියෙ අපි හතර දෙනයි අල්ලපු මේසෙ වහල හිටිය මැස්සො දෙන්නෙකුයි විතරමයි !

තවත් විනාඩි පහකට පස්සෙ මැදිවියේ චීන ගෑණු කෙනෙක් ඇවිල්ල අපිට මෙනූ ටික බෙදල ගියා වචනයක්වත් නොකියා. මෙනූ එකේ තියෙන ඔක්කොම චීන අකුරින් … පින්තූර උනත් හරියට නැහැ … සදා සොත්ති … ගෑණු ළමයින්ගෙ කන්කෙඳිරි ගාන සද්දෙත් එන්නම වැඩි වේගෙන එනව බඩේ ගින්දරටමද කොහෙද 😦

තවත් වෙලාවක් ගිහින් කෑම ඕඩරේ අරගෙන යන්න තවත් චීන මනුසයෙක් ආව … මළ හත් ඉලව්වයි එතන ඉන්න එවුං එකෙක්ට චීං චූං ඇරෙන්න වෙන අකුරක් බෑ … අපිට මෙනූ එක කියව ගන්න බෑ … ජාම බේර ගන්නත් ඕන ඒ නිසා ඔක්කොම ඩීල් අතිං පයිං, ගොළු බාසාවෙන් සහ අර පැහැදිලි නැති පින්තූර වලිං.

අපි පැය බාගයක් විතර ඔලුව කහල … දඟලල උට තේරැම් කරා මාළුවෙක් ගේන්න කියල … ඊට විනාඩි 10 කට පස්සෙ මේක තඩි අමු මාළුවෙක් උස්සං එනව දැක්කම අපිට බකස් ගාල හිනා ගියා.

ඈ බං මාමෙ හොඳටම බඩගිනියි බං … මෙච්චර පරක්කු වෙන්න මාළු අල්ලන්න මුහුදු ගියාද ??? ගලා අහනව චීනට සිංහල තේරෙනව කියලැයි 🙂

මේ මනුස්සය වටේට එක එකා ගාවට ගෙනිහිං මාළුව පෙන්නුව හරියට මූව අඳුරනවද කියල අහනවා වගේ …

මාමෙ … මූව නං වැඩිය දැකල පුරුදු නෑ අපේ පළාතෙ මූදු නෑනෙ  … ලූල්ලු හුංගො, කාවයියො වගේ එවුන් තමාහිටියනං … කමක් නෑ මාම කියනවනං කමු !

අපිත් හිනා වෙලා තම්බ්ස් අප් එකක් දුන්න තව ටිකකින් අඬන්න වෙනව කියල දැනගෙන හිටියෙ නැති නිසා … මාළු ප්‍රදර්ශනයට සහ අකුරක් නෑර අපට තේරුණ චීන බාසාවෙන් කරපු ලොකු විතරයකින් පස්සෙ මූ මාළුවත් උස්සගෙන ආපහු ගියා.

තව ටිකකින් මාළු කන්න පුළුවන්නෙ කියල අපි ආයෙත් බඩේ පණුවන්ට ඉවසීම පුරුදු පටන් ගත්ත විතරයි මෙන්න ගිය පරක්කුවෙන් මූ අර මාළුවව තඩි වළදකට දාල ආයෙත් උස්සං එනව, දැන් නං ඉවසීමේ සීමාව අන්තිම කට්ටෙ තියෙන්නෙ 😦

ඇවිල්ල අපි වාඩි වෙලා හිටිය රවුම් මේසය මැදින් තිබ්බ ළිපේ අර වළද තියල මිරිස් වතුර වගයක් දාල ගිහින් ආයෙත් ආව තණකොළ සලාදයකුයි සෝස් ජාති වගයකුයි උස්සගෙන .. ඊට පස්සෙ තවත් මොනවද කිව්ව අපි ඔලුව වැනුව … පොර මිසිං … !

අපි දැන් තක්කු මුක්කු වෙලා බලන් ඉන්නව මාළුව දැන් දියබුං ගහනව නටන මිරිස් වතුර එකේ. අපේ දයාබර ස්ත්‍රී රත්න දෙකේ මූණ බලන්න බැරි නිසා මාළුව දිහා බලාගෙන අනිමිස ලෝචනයෙන් ඉන්නකොට ටිකිරි මොළ වලට ටිකෙන් ටික සත්‍යාවබෝධය කාන්දු වෙන්න ගත්ත.

නොසෑහෙන්න පරක්කු වෙලා හරි තේරුම් ගියා අපිට ඕන විදිහට මාළුව හදාගෙන කන්න තමයි තියෙන්නෙ. කියන්න සතුටුයි සහෝදරවරුණි ගෑණු දෙන්නගෙ මූණු හතරැස් … මේ මළ ජරාව කන්නෙ කොහොමද ??? %#@%$@ අපි කිව්ව මේක හරි යන්නෑ කියල … හරි යන්නෑ කිව්වොත් හරි යන්නෑමයි … ගෙනාව නම් ඔය දෙන්නම කන එකයි තියෙන්නෙ .. අපි ගෙදර යනකං බඩගින්න ඉවසගෙන ඉන්නම්.

අනේ එහෙමයි කියල මේ ස්ත්‍රී රත්න දෙක බඩගින්නෙ තියන්නෙ කොහොමද ඒ පාර ආපහු අර චීනට කතා කරල පින්තූර පෙන්නල බත් එකක් ගෙන්න ගත්ත … චීන ඒ පාරත් පෙන්නපු එක වෙනුවට සුදු ස්ටිකි රයිස් එක්ක උස්සගෙන ආව. ගෑණු පරාණ දෙක මාළුව පැත්ත දිහා බැලුවෙ නෑ සුදු බත් වලට සෝස් දාගෙන කෑව … මදි හරියට බැන බැන දත්මිටි එක්ක අපිව කෑව … 😦

තව දෙයක් කෑම කන්න චෝප් ස්ටික්ස් තියල තිබ්බ නිසා අත්හදා බලන්න උත්සාහ කරත් අපිට උණකූරු සෙල්ලම හරි ගියේම නෑ … හොඳ වෙලාවට ඒ එක්කම හැඳි ගෑරප්පුත් තිබුණ, නැතිනම් අපි තවත් අසරණ වෙනව අපේ හාමුදුරුවනේ … 🙂

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා .. ඒත් ගලා සහ සහායක කණ්ඩයි පෙරලුන පිට හොඳයි කියල වැඩේ ඇදගෙන ගියා මිසක් ගේම ඇරියෙ නෑ කියල කියන්න සතුටුයි සහෝදරවරුණි … ඉතිරි වෙලා තිබ්බ අඩුම කුඩුම ඔක්කොම වළඳට දැම්ම තවත් ටික වෙලාවක් තැම්බෙන්න තිබ්බ … රහදිව අමතක කරල වළඳන්න ගත්ත … අයියෝ සංසාරේ … ඒ වහතු මාළුව මෙලෝ රහක් නෑ … හොද්ද හරියට මිරිස් වතුරට විනාකිරි දාල මදි පාඩුවට හෝටලේ අත හෝදපු ඉඳුල් වතුරත් දැම්ම වගේ … !

ඒ කරලත් ගලා ගේම අත ඇරල නෑ … මාළුව මරු … සුප් එකත් සිරාවටම රහයි නේද බං … ඔය දෙන්නත් පොඩ්ඩක් බීල බලන්න … මේ වගේ කෑමක් ආයේ කවද කන්න ලැබෙයිද දන්නේ නැහැ … අබ පුපුරන් ගානට රත් වෙලා ගෑස්කට් එකක් යන්න ඔන්න මෙන්න ඉන්න ගෑණු පරාණ දෙකට ගලා බණ කියනවා. මේසෙ අනිත් පැත්තෙ හිටපු නිසා &^%&$&(@ කට වහගෙන කාපං යකෝ !!! කියල පයින් අයින්නවත් බෑ !

අනේ ඉතිං එදා ගෘහස්ථ වාචික සහ මානසික ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අහු උන අහිංසක අසරණ හස්බණ්ඩො දෙන්නගෙ තත්වය ඔහේලට හිතා ගන්න පුළුවන් ඇතිය කියල හිතනව … පස්සෙ ගෙදර යන ගමන් හතර දෙනාම කෝකටත් කියල මළබාරි කඩේකට රිංගල මස් හොදියි, පරිප්පුයි එක්ක පරාට පාරක් දැම්ම හිතේ දුක යන්න 😀

මේක වෙලා අවුරුදු දහයක් ගිහිල්ලත් අපේ ප්‍රිය භාර්යාවන්ට මේක අමතක නෑ …චීනගේ චී .. යන්න ඇහෙනකොට අපි දෙන්න අහගන්න කතා අපිම ඉවසගෙන ඉන්නව … දෙයි හාමුදුරුවන්පල්ල අනේ එදායිං පස්සෙ නං ඔතෙන්ටික් චයිනීස් කන්න ගියෙ නෑ … නෑ … නෑමයි !

මතු සම්බන්ධයි !

~ කණ්ඩා !

පසු ලිපි :

Chinese Hot Potකණ්ඩ දුමීගෙ චීන කතාවට දාපු කමෙන්ට් එකක් දැකල මේ වෙනකොට අටම්පහියවැසියෙක් වෙන අපේ චතුර අයියත් කමෙන්ට් එකක් දාල තිබ්බ …

යකෝ ඕකට “හොට් පොට්” (Hot Pot) කියල කියන්නෙ. උඹට තියෙන්නෙ ඔක්කොම කළමනා ටික තම්ම්බගෙන කන්න. යමං දවසක් මාත් එක්ක !

අනේ හත් දෙයියනේ ඕක එදා දැනං හිටිය නම් අපිට මෙහෙම වෙනවද … අනික අපි ඔයා වගේ චීන බාසාව දන්නවද ? 😀

Hot Pot