Khalli Walli

මැදපෙරදිග කතා ~ බස වැනීම

මැදපෙරදිග ආවට පස්සෙ තමයි කණ්ඩා දැනගත්තෙ මෙහේ උදවියගෙ ජාතික ආහාරය බිරියානි කියල …

නෑ … නෑ … බුරියානි නෙමෙයි … බුරියානි තියෙන්නෙ බඩ මැද්දෑවට වෙන්න … ඔහේල ඕපපාතිකව නෙලුම් මලක් උඩ ඉපදුන සත්වයෝ නෙමෙයිනං කවුරැවත් නැති තැනකට ගොහිං ඇදං ඉන්න වස්තරේ උස්සල බලන්න බොරැනං 😳

ඕක තමයි කාම බීම සම්බන්ධයෙන් හිරවුන තැන,ඔටු දේසේ හතු පිපෙන්නා වගේ තියන ඉන්දියන් සහ පකිස්තානු අවන්හල් ඇරුනහම ඉරාන, යේමනි, ලෙබනීස්, සිරියානු, ඉරාක සහ අනෙකුත් අරාබි ආපන ශාලා වලත් අටෝරාසියක් බිරියානි වර්ග තියෙනවා.

මිල ගණන් බැලුවහම අපේ මුදලින් රු. 500 ක ඉඳල රු. 2,500 ක අතර පරාසයකට වැටෙනව,  ඉතිං තැනෙ හැටියට සහ තමන්ගෙ මට්ටම් තම්මට්ටම් අනුව වළඳන්න තමයි තියෙන්නෙ.ඒක නෙමෙයි කියන්න හැදුවෙ, තඩි මස් හෝ මාළු පළුවක් එක්ක බිරියානි දෙනව මදිවට “කුකුම්බර්” (Cucumber) සහ “ඔනියන්” (Onion) “සැලට්” (Salad) නිකං දෙනව.

බිරියානි කෑවා වගේ නෙමෙයි තෙල බස්ස ගන්න ලේසි නෑ එහෙව් එකේ ඔය තෙල් කෑම දිරවන්නෙ නැත්තං … සරීර සෞක්කියට වඩා හොඳ “සැල්මොන්” (Salmon) එහෙම නැත්තං “ඇල්මොන්ඩ්” (Almond) වගේ කෑමත් එමට 😁

Biriyaniජාතික ආහාරය උනත් හැමදාම තුන් වේලටම බුරියානි කන්නයැ ඉතිං අපි පරණ පුරුදු සයිවර් රහ හොයාගෙන යනව, ඇති තරම දකුණු ඉන්දියානු කඩ තියන නිසා ගැටළුවක් නැහැ. නමුත් මෙහේ තෝසෙ නෑ තියෙන්නෙ “දෝසා” .. ඉඳි ආප්ප වෙනුවට “ඉඩියප්පම්” පොළොන්නරුවෙ සිරා ඇවිල්ල ඉල්ලුවත් ආප්ප නෑ තියෙන්නෙ “ආප්පම්”. ඉතිං පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් ආපු මුල දවස් වල සුළු අකරතැබ්බ් උනත් ජාමෙ බේරගත්ත.

මේ කයි කතන්දර කාටවත් ඔච්චම් කරන්න කියනවහෙම නෙමෙයි. මේ බණ්ඩ කොළඹ ආව වගේ කණ්ඩ මැදපෙරදිග ඇවිල්ල දැනුන භාෂා සහ සංස්කෘතිකමය වෙනස ගැන කියන්න.

එයට අමතරව මේ අවන්හල් වල වැඩිහරියක් සේවයේ නියුතු වන්නෙ ඉන්දියානුවන් ඔවුන්ගෙන්ද බහුතරය හින්දූන් … හින්දූන්ට අනුව රාවණාටත් ගේම දුන්න රාම දෙවියන්ගේ ලොකුම ආයුධය “බ්‍රහ්ම සරයයි”. නමුත් ඉන්දියානුවන් සුද්දගෙ භාසාවෙන් වැනිමේදී යොදා ගන්නා බලගතුම අවිය “රකාරයයි” (මෙය හෙළු බසේ රකාරය හා පටලවා නොගත්තාට කාරි නැත). මෙය ඔවුන් උස්-පහත්, උගත්-නූගත්, උතුරු-දකුණු භේදයකින් තොරව තම තමන්ට පුරුදු වූ ආකාරයට භාවිතා කරනා භාෂා විලාසයයි.

අරේ .. යාර් .. වොට් ද හෙල් ආර් යූ තිංකින් මෑන් … ආර් යූ නට්ස්  ??? කම් බැක් ටු සබ්ජෙක්ට් යාර් … !!!

නෑ … නෑ … වෙනද වගේ නෙමෙයි අද මේක තමයි සබ්ජෙක්ට් එක 😀

ඉන්දියන් ජාතිකයන්ගෙ නොයෙකුත් දිරවන්නෙ නැති දේ තිබුණත් ඒ උදවිය තව කෙනෙක් සමග අදහස් හුවමාරු කර ගනිද්දි පෙන්වන ආත්ම ශක්තිය සහ හැකියාවට මම කැමතියි. ඉතිං කතා කරනකොට මේ අයට සුද්දගෙ බාසාවේ තියන ව්‍යාකරණ, උච්චාරණය සහ ඉස්පිලි-පාපිලි අදාලම නැහැ.

අපේ අය නිතර වද වෙන “මම ඉංග්‍රීසි වැරද්දුවොත් අනිත් අය මොනවා හිතයිද ?” කියල තියෙන විචිකිච්චාව සබකෝලය සුද්දව කරේ තියාගෙන නොයන නිසා මේ අයට ඇත්තෙම නෑ, දන්නා විදිහට කැඩිච්ච ඉංග්‍රීසි, හින්දි, මළයාලි සහ අරාබි අච්චාරුවකින් දමල අරිනව. වැදගත් අදහස් හුවමාරුව 😀

හැබැයි සමහර උදවිය කියන දෙයක් ගැන මෙලෝ අන්දෝ සංසාරයක් නොතේරෙන අවස්ථා නැතුවත් නෙමෙයි. ඒ වගේම සමහරක් වෙලාවට ඒ කියන දේවල් අහන් ඉඳල අපි කතා කරන විදිහ වැරදිද කියල බය හිතෙනවත් තමයි නමුත් ලොකුම ගැටළුව ඇවිල්ල අපිත් ඒ විදිහට හුරු වෙලාද කියන එක  ?

මම IT බාසෙක් උනාට පහුගිය අවුරුදු හතර මගේ  රාජකාරියක් තමයි භාෂා පරිවර්තනය … නෑ … නෑ  … නොදන්නා දේ කරන්න ගිහිං වරිගෙ නහ ගන්න හදනවාවත් මම එහෙම කරන්න උගතෙක්වත් නෙමෙයි … මේ කියන්නෙ ඉන්දියාවේ අපේ කන්තොරුවෙ ඉන්න එක එකාලගෙ පුතාල එවන කියන උතුර දකුණ මාරු වෙච්චි මරි මෝල් ඉල්ලීම් එංගලන්තෙ ඉන්න සුද්දන්ට තේරෙන මට්ටමකට හරි ගස්සන එක 😀

කොහොමටත් මගේ රස්සාව වෙන පරිගණක මෘදුකාංග හඳුන්වාදීම සහ සේවා සැපයීම (Software Implemetationand Support) කියන ක්ෂේත්‍රයෙදි ඔය භාෂා ප්‍රශ්නය මග හරවාගෙන රාජකාරි කරන්න බැරිනම් රටවල් එකසිය ගානක මිනිස්සු ජීවත් වෙන මැදපෙරදිග වැඩිකල් රැඳිල ඉන්න අමාරුයි.

ලේසියි වගේ පෙනුනට මිනිස්සුන්ගෙ උවමනා එපාකම් සහ ගැටළු තේරුම් අරගෙන අවශ්‍ය දැනුම ලබා දෙනව කියන්නෙ එක වඳුරෙක් තවත් වඳුරෝ සෙට් එකකට කොකනට් කඩන්න කියා දෙනවා වගේ බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් 😀

මැදපෙරදිග හැම ජීවිතයක්ම මල් යහනාවක් නෙමෙයි, යම් තැනකට එන්න කැපකිරීම් කරන්න ඕන කටු කන්න ඕන … මංතුමා උනත් එහෙමයි. කොටින්ම මෙහේට මංගැච්චුව අලුත අවුරුද්දක විතර කාලයක් බෙඩ් ස්පේස් (Bedspace) ජොකියෙක් එහෙමත් නැතිනම් බොහොම අඩු පහසුකම් තියන බෝඩිමක බෝඩින්කාරයෙක් වෙලා හිටිය කියන එක මට ලැජ්ජාවට කාරණයක් නෙමෙයි.

මිනිස්සුන්ට අමාරු වෙලාවල් වලදි ලේසි කෙටි පාරවල් හොයන්න උනත් අනවශ්‍ය උදව් අරගන්න ගිහිං හිර නොවුන එක ගැන ඇත්තටම සන්තෝසයි. ඒක මහ අමුතු ජීවිතයක් … ආයි නෑ මුළු ලෝකෙම ඇවිල්ල සකලමනාවම තියන සූට් කේස් එකයි, නිදා ගන්න ඇඳයි මෙලෝ රහක් නැති අනිත් බෝඩින්කාරයො ටිකයි ඇරුනහම පාලුවට ඉන්න සුරතලුන් විදිහට ඇති කරන ඇඳ මකුණො සහ කැරපොත්තො සෙට් එකයි 🙂

ඔන්න ඔය කාලෙ තමයි මේ කියන කතන්දරේ සිද්ද උනේ. කණ්ඩගෙ බෝඩිමේ උන්න මළබාරි සෙට් එකක්, ඒ කියන්නෙ අපි මළයාලි කියන, සම-හරක් තණකොළ කන් එවුන් උදෙසා සමහර පත්තර වල ඇඩ් පවා දාන්නෙ මළයාලි ගුරුකම් එහෙම කියල. කොටින්ම දකුණු ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තෙන් ආපු උදවිය.

ලංකාවේ කොහේ ගියත් දකුණු රටේ එකෙක් හම්බ වෙනව වගේ තමයි ලෝකෙ කොහේ ගියත් මළබාරියොත් ඉන්නව කියල තමයි කියන්නෙ. කියන විදිහට නම් අත හයිය නීල් මහත්තය හඳට ගිය ගමන සපත්තු අඩිය තියල කොඩිය උස්සල පොර ටෝක් දීල ඉවර වෙලා මුලින්ම කරලා තියෙන්නෙ එතන තිබ්බ මළබාරි කඩෙන් මහන්සිය නිවා ගන්න කරක් චායි එකක් බීපු එකලු 🙂

ඒ නිසා මේ හාදයන්ට මුළු ලෝකෙම එකම ගම්මානයක් වගේලු … ඒකට කියන්නෙ UK හෙවත්  “යුනයිටඩ් කේරළ” (United Kerala) කියලලු … 😀 ( Uස්වැටKයියාව මතක් උනා නේද  ? 😀 )

හැබැයි අපේ බෝඩිමේ මළබාරි එවුන් ටික එකාට එකා දිරවන්නෙ නැති බව ඇත්ත …නමුත් රෑ කෑම කන වෙලාවට ඔක්කොම එකට එකතු වෙනව … සාමාන්‍යයෙන් මළබාරි කෑම ලංකාවෙ කෑම වලට තරමක් හුරුයි හැබැයි මේ උදවිය හදාපු ඒ දියාරු කෑම කන්න පුළුවන් උන්ටම විතරයි.

ඔහොම දවසක එකෙක් ගානෙ අනිත් හැමෝටම පාටියක් … කට්ටිය බිම පැදුරක් දාගෙන කන්න ලැස්තිය එක තරුණ පහේ මළබාරියෙක්ට තලතුනා කෑම බෙදාගෙන බෙදාගෙන යනව … අනෙක් මළබාරි ටික බෙදන්න හදනකොට කෑ ගහනව “මදි … මදි .. මදි … !!!” කියල ඒත් අර කෑම බෙදන එකා බෙදන්නෙත් නෑ … මාර අවුල …. !

බලං යනකොට මළයාලි වලිං “මදි” කියන්නෙ “ඇති” කියන එකට 🙂

අනිත් අමතක නොවෙන සිදුවීම වෙන්නෙ අරාබි ජාතිකයන් එක්ක ගනුදෙනු කරද්දි … ඉන්නෙ මැදපෙරදිග උනාට ඒ මම අකමැතිම හරිය. අපි අපාර්ට්මන්ට් එක මාරු කරන්න හදන දවසක ඒ සම්බන්ධ වැඩකට ආණ්ඩුවෙ කන්තෝරුවකට යන්න උනා. ඒ දවස් වල මෙහෙ අණ්ඩුවේ කන්තෝරු අද වගේ ඔන්ලයින් නැහැ හරිම කාර්යක්ෂමයි 🙂

ඉතින් මාත් ඉතින් මස් මඩුවකට අරන් යන හරක් නාම්බෙක් වගේ ගිහින් වාඩි වෙලා ඉනනව මගේ වාරේ එනකං !

අරාබි ඇඳුමක් ඇඳ ගත්ත තලතුනා වයසෙ එකෙකුයි තරුණ පහේ එකෙකුයි නැති ගාම්භීරකමක් ඔලුවෙ තියාගෙන එතන වැඩ, Customer Service කියල ලොකු බෝඩ් තහඩුවක් එල්ලලා තිබ්බට සුහදශීලී බවක් ගෑවිලාවත් නෑ … මට කලින් හිටපු මළබාරියයි ඉන් පස්සේ හිටපු පටාන් ජාතිකයො දෙන්නයි උන්ට පුළුවන් තරම් වාද කරගෙන තමන්ගෙ වැඩේ කරගෙන යන්න ගියා.

ඒ එක්කම ලෝකෙ තියන අමාරුම වැඩේ කරල සෑහෙන්න මහන්සි උනා වගේ වැඩිමහළු අරාබියා තේ හරි දුමක් හරි දාන්න නැගිටලා ගියා … ගියාමයි … වෙලාව තාම උදේ නමයටත් නැහැ … නමුත් ඒ වගේ කඩින් කඩ විවේක කාල නැතිව බැහැනෙ 🙂

Bleaseදැන් මගේ වාරෙ … පිටිපස්සෙත් තව කට්ටිය … ගියා කවුන්ටරේට … අරාබියට මං ආව කියල ගාණක්වත් නෑ ඌ  දුරකථනයක් අතේ තියාන තනියෙන් හිනාවෙවී මොනවද කොටනව. මම ටිකක් උගුර පාදල “ගුඩ් මෝනිං” කිව්වා … මුගෙ මූණෙ තිබ්බ හිනාව අතුරුදහන් උනා … උදේ දවසම කන්න ආපු හාල්පාරුවෙක් දිහා බලනවා වගේ අරාබි කාරයන්ට ආවේනික ඇඟිලි ටික එකතු කරලා උඩු අතට හරවල පෙන්නල  … “හබීබී බ්ලීස් … බ්ලීස් … !” කියපු නිසා මට තේරුන ටිකක් ඉන්න කියල කියනවා කියල.

මුගේ වැඩේ ඉවර කරල මොන මළ කරදර කාරයෙක්ද කියන්න වගේ “බේබර්ස් … බේබර්ස් ….” ගෑවා … මම දැන් උඩ බිම බලනව මේ යකා මොනවද කියන්නෙ කියල .. . “හබිබී … බේබර්ස් !”, බැරිම තැන ඉංග්‍රීසියෙන් කිව්ව මට ඌ කියන එක නොතේරෙන බව… මේ මනුස්සයට ඒ පාර තවත් ජුවල් … “හබිබී බාස් ද බේබර්ස් .. බාස් … බාස් … ජල්දී … ජල්දී !”

මේ යකා මුළු කන්තෝරුවටම ඇහෙන්න කෑ ගහනව, මාත් ඒ තරමටම “වට් ඩූ යූ වෝන්ට් ?” කියල අහනව … මේ මළ විකාරෙ බලන් ඉන්න බැරිම තැන මට පිටිපස්සේ හිටපු ඉන්දියන්කාරයටත් මළ පැනපු පාර “අරේ යාර් පාස් ද පේපර්ස්” කිව්වම තමයි වෙන්නෙ මොනවද කියල තේරුම් ගියේ. මූ මෙච්චර වෙලා මගෙන් අදාල ලියකියවිලි ටික ඉල්ලල තියෙන්නෙ 😀

No Barking Bleaseආරාබි බාසාවෙ “ප” යන්නක් නෑ … ඉතින් සමහර ආරාබි ජාතිකයො “ප” යන්නට “බ” යන්න දානව, මිනිස්සු “පෙප්සි” (Pepsi) වෙනුවට “බෙප්සි” බොනව අහන් ඉන්න උදවිය ඔක්කොම අවුල් වෙනව. ඔන්න ඕකයි කතාව 🙂

මැදපෙරදිග ජීවත් වීම කියන්නෙ දිනපතා Mind Your Language වැඩ සටහනකට සහබාගී වීම වගේ කියල හිතෙනව නම් ඒකෙ පොඩි ඇත්තක් නැතිවත් නෙමෙයි 😀 😀 😀

~ කණ්ඩා !