Angry bull cartoon

ඇත්තම කියන්නං මේ කතාව බ්ලොග් එකක කමෙන්ටුවක් විදිහට කොටාපු එකක් …අපි පරිසර හිතකාමී උන්දැල නිසා (කැපුවත් කොළ) ඒකම ප්‍රතිචක්‍රීකරණය කරලා තව ජුණ්ඩක් ආරිච්චි බෝරිච්චි දාල පුම්බල ගත්ත පෝස්ට් එකක් විදිහට. එතකොට අර මුලින් කිව්ව බ්ලොග් පෝස්ට් එක ? ඒ චේතිය රජ්ජුරුවන්ගෙන් පැවත එන පරම්පරාවෙ අපේ කාලයේ දැවැන්ත පුරුකක් වෙන දැතිහුලහ විසින් ලියන්නට යෙදුණ ගජ බින්ණාලංකාරයේ වැනුමක්. ඉතිං ඔය නිකන් ඉන්න මටත් හිතුන මගේ සත දෙකත් ඕකටම එකතු කරන්න.

කියවන්න පටන්ගන්න කලියෙන් මේවත් මුචලින්ද නාග රාජය සීල් ගහල සහතික කරපු සැටිපිකෙට් ඇත්ත බව ඔය ඇත්තො හැමෝම සිහි තබා ගත්තොත් හොඳයි. එහම් නැත්තං ඔය එක එකාලා කට කැඩිච්චි කතා කියාගෙන එනකොට උත්තර දෙන්න වෙලාවක් නැහැ.

ඉස්සර කණ්ඩලෑ පවුල වාසය කරේ හෝමාගම දිහාවෙනෙ … හෝමාගම කිව්වට ඇත්තටම පනාගොඩ … පනාගොඩිනුත් හැරිල කිලෝමීටර් 4 – 5 ක් යන්න ඕන තමයි … හරි .. හරි .. ඇත්තම කියනවනම් නමට බස්නාහිර පළාතෙ උනාට තරමක ඩොටේ … වැලිපිල්ලෑව කියන ගමේ … හැබැයි බොහොම සුන්දරව තිබුණු පැත්තක්, මේ කියන කතාන්දරය සිද්ද උනේ ඔය කියන වැලිපිල්ලෑවෙ.

හරි … බැක් ටු කතාව … කණ්ඩලෑ වර්තමාන වාසභවනය වෙන ටවුමට කිට්ටුව අල්ලකට ඩිංගක් වැඩි ඉඩම වගේ නෙමෙයි, ඉස්සර කරදරයක් නැතිව එළි පහලියට බැහැල අත පය හිරි ඇර ගන්න ඉඩකඩ තිබුණ. අපි පිටගම්කාරයො උනාට ගමේ වැඩිහරියක් මුල් පදිංචිකාරයො. ගම කෙළවරට වෙන්න උන්න හරක්, එළුවො එහෙම ඇති කරපු කාණ්ඩයක්, මේ උදවිය ඉඩෝර කාලෙ ලබල තණකොළ හිඟවෙනකොට අමාරුවෙ වැටෙනව.

අපි ඉඩම් හිමි දානපතියො නොවුණට අක්කරයක තරම ඉඩමෙ පොල් ඇරෙන්න වෙනත් භෝග වගාවක් නොකරපු නිසා ඔය කාලෙට අපේ අවසරය ඇතිව හරක් එහෙම දිගේලි කරලා යනව … අර එළු පට්ටිය නං ගම පුරා ඔහේ අත ඇරල දානව … උන් නොකන දෙයක් නැහැ වැරදිලාවත් වත්තට රිංග ගත්ත දවසට මල් පැළයක්වත් ඉතිරි කරන්නෙ නැහැ.

ඉතිං ඔය නිසාම වත්ත ගැන ඇහැ දාගෙන හෝදිසියෙන් තමයි ඉන්නෙ … අනික නමට වත්ත වටේට වැටක් කියල එකක් ගහල තිබ්බත් මේ එළුවො ඔලිම්පික් පදක්කම් ගන්න තරමේ හයි ජම්ප් දාන කප්පිත්තෝ. ඉතිං ඔහොම දවසක කණ්ඩට වත්ත පහළින් පොඩි ආරවුලක් ඇහෙනව … ගමේ උදවිය කවදාවත් අපිට පිට මිනිස්සු කියල නොසලකපු එකේ එහෙම වෙන්න විදිහක් නැති නිසා කණ්ඩත් විගහට වත්තට බැස්ස මොකද්ද වෙන්නෙ කියල හොයා බලන්න.

සද්දෙ ආපු දිහා දැම්ම පොඩි විපරමක් … ඇහෙනව දෙන්නෙක් සැරට බැන ගන්නව … මායිමක් ගැන කිය කියා එකම ගාල ගෝට්ටියක් … ඉඩම් ආරවුලක්ද මන්ද … ඒ අස්සෙ තවත් කෙනෙක් මැද්දට පැනල දෙන්නව සාමදාන කරන්න හදනව.

නමුත් මංතුමාට හීන් දාඩිය දැම්මේ සද්දෙ ඇහුනට පෙන තෙක් මානයක කවුරුවත් ඇහැට දකින්න හිටියෙ නැති නිසා … හොල්මන්වත්ද ???

මොනවා කරන්නද පුරුෂ දහිරිය දාල ඉතිපිසෝ ගාථාව කියන ගමන් ආයෙ බලනකොට තමයි ටිකක් ඈත තියෙන අඹ ගහේ බැඳල ඉන්න කරත්ත ඇන්ජින් එක දැක්කෙ … මේක හෙන නැඩ හරක … ඕක කන්නෙ තණකොළ උනාට හෙන රාජ ඌෂ්ණෙන් ඉන්නෙ … මාව වැඩිය දිරවන්නෙත් නෑ … ළඟ පාත වැටිලා තියෙන ගොම තැම්බක් එකතු කරන්න කිට්ටු උනත් පිඹිනව.

මේ හරක වලිගෙ වන වනා තප්පුලන ගමන් තනියම කියවගන්නවද මංද … සිරාවටම බය හිතුනා මුට පිස්සු ගව රෝගෙ හැදිලවත්ද කියල …(ඕක මිනිස්සුන්ට හැදුනම උන්ව වැඩි පරිස්සමට පාර්ලිමේන්තු යවනවනෙ)

කණ්ඩ උඩින් උඩින් අඩිය තිය තියා වැලි නොපෑගෙන ගානට හෙමීහිට හරක ගාවට කිට්ටු කරා .. බයට එහෙම නෙමෙයි … ( ඔය කිව්වට මාත් අර දහඅට සන්නි නටන සෙට් එකටයි අනිත් යක්කුන්ටයි ඇරෙන්න වෙන එක යකෙක්ටවත් බය නෑ ) වැඩි පරිස්සමට මොකද වෙන්නෙ බලන්න.

හරියටම හරි … ආපහු මගේ ඇඟ සීතල වෙලා ගියා … සද්දෙ එන්නෙ අඹ ගහ යටට වෙලා චුයින් ගම් ඒකක් හපනව වගේ වමාරගෙන කමින් හිටිය හරක් නාම්බ දිහායින් තමයි, කෝකටත් කියල මං කිට්ටුව පාත තිබ්බ පොල් ලෙලි ගොඩකට මුවා වෙලා තව ටික වෙලාවක් හෝදිසියෙන් කන් දීගෙන හිටිය.

පළවෙනිය : මේ මම තමුසෙට ආයේ කියන්නෙ නෑ … ආයේ මේ පැත්ත පළාතේ පස් පාගල තිබ්බොත් අණ්ඩෙන් අණ්ඩ ගලවල එළියට ඇදල දාන්නෙ !!!

දෙවෙනිය : හිතුව මදි මාව එළවන්න, යකෝ මේ ඔක්කොම මගේ … මමයි මෙතන නීත්‍යානුකූල  අයිතිකාරයා.

අම්මප එහෙම කියනකොටම අර හරක ඔලුව වනල කිව්වේ නැතෑ.

හරක : අයිසෙ තමුසෙලා දෙන්න මරා ගන්න එක නවත්තනවකො දැන්වත් … මට කනක් ඇහිලා ඉන්න විදිහක් නෑ .. අනික තමුසෙල දෙන්නටම මෙතන එකට ඉන්න බැරි කමක් නෑනෙ ?

මට මගේම කන් දෙක අදහ ගන්න බැරි උනා … නමුත් වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න කළියෙන් අර මුළින් එවුන් දෙන්නම එකතු වෙලා ආපහු මී හරකට බනිනව … 😦

අනේ යනවා අයිසෙ යන්න … මී හරකෙක් තරමට ඇඟපත තිබ්බට කිනිතුල්ලෙක් තරමට මොළයක් නෑ … තමුසෙනං කේප්ප හරක් ඔක්කොටම මහ නව නින්ගිරාවක් !!!

වැඩේ කියන්නෙමට මේ ඔක්කොම ඇහුණට බනින එකෙක් පෙන්නේ නෑ … :-O

මම දැන් ඉවසුව හොඳටෝම ඇති … වැඩිය දඟලන්න ආවොත් වලිගෙන් එකක් දීල තමුසෙලා දෙන්නවම එළියට දානව දැන්ම !!!  හරකට මළේ උපරිම  🙂

මං තව ඩිංගක් හරක ළඟට කිට්ටු කරා … නොපෙනී වෙන යන්න තැනක් නැහැ .. ළඟම තිබ්බ නිදිකුම්බා පඳුරකට මුවා උනා. යකඩෝ එතකොට තමයි අර හරකගෙ ඇඟේ එල්ලිල උන්න කිනිතුල්ලො දෙන්නව දැක්කෙ … උන් දෙන්න හරක් ලේ බීල බීලම පොඩි ගේ කුරුල්ලො දෙන්නෙක් ගානට ඉදිමිලා. ඒ කරලත් මදි නිසාදෝ හරකව බෙදා ගන්න බැරිව තමයි මේ විදිහට වාද කරන්නෙ.

සද්ද නැතිව වෙන්නෙ මොනවද කියල බලන් ඉන්න හිතාන හිටියට හරක ගාව තිබ්බ හිනි ගඳටදෝ මට එක පාරටම වේරම්බ වාතයක් වගේ තඩි හච්චිමක් ගියා. අනේ ඉතිං ඒකෙ සැරට මං මුවා වෙලා හිටපු නිදි කුම්බ ගහේ කොළ ඔක්කොම ඇකිලිළා ගිය නිසා අරුන් තුන් දෙනා මාව දැක්ක.

හරක කලබල වෙච්ච පාරට හප හපා හිටපු තණකොළ ටිකත් ඉස්පොල්ලෙ යනව තව ඩිංගෙන් ..  ඒ මදිවට හච්චිමේ සද්දෙ කොයිතරම් දරුණුද කියනව නං අඹ ගහෙ තිබ්බ ඉඳුණු අඹ වල්ලකුයි එකට කුරුමාණන් අල්ලමින් මේ සංසිද්ධිය බලං හිටපු ලේනෙකුයි දඩස් ගාල හරකගෙ පිට උඩට පත බෑවුණා හරකට නං ගාණක් නෑ  … ඒත් කිනිතුල්ලො දෙන්න නූලෙන් බේරුණේ … ලේන උන්හිටි තැන් අමතක වෙලා පැනල ගියා …!

සප්‍රයිස් එක ඉවර වෙලා පියවි සිහියට ආව ගමං හරක කුලප්පු උනා … හත් ඉලව්වයි මූව ගැට ගහලත් නෑ … දැන් නම් මූ අනින්න තමා එන්නෙ කියල තේරෙනකොට කණ්ඩට හීන් දාඩිය දැම්ම … කරුමෙට කකුල් දෙකට ඉරණම බාර දෙන්නත් පරක්කු වැඩියි … ඒ නිසා මං තීරණය කරා දුවල බේරෙන්න බැරි එකේ ගැලවිජ්ජාව වෙන විදිහකින් සලස ගන්න ඕන කියල.

ඉතිං මම ඉක්මනට මගේ ටිකිරි මොළේට ආව අලි මන්තරයක් කියල … හරක දිහාට වැලි අහුරක් ගැහුව ඒස්වා… පුහ් ! කියල …  වැඩේ කිරි ගහට ඇන්න වගේ හරි ගියා …!

ඈ බං ගොංවහන්සේ ඇස් පොට්ටද ??? මෙච්චර කල් වත්තෙ තණකොළ කාපු මාව පේන්නෙ අලියෙක් වගේද ???  කියල කේන්තිය නිවිල ගිය හරක අර කිනිතුල්ලො දෙන්නත් එක්ක එකතු වෙලා බඩ අල්ලං හිනා වෙන්න ගත්ත. හතර විලි ලැජ්ජාවෙ පණ යනව 😦

Two Bugs Argueඋනුත් ලංකාවේ මිනිස්සු වගේ තමයි විනාඩියකට කලින් හරකව බෙදාගන්න බැරිව මරා ගත්තට දැන් මට හිනා වෙනව.මටත් දැන් පොඩ්ඩකට කලියෙන් හරකෙක් ඇනල මැරෙන්න ගියා කියල අමතකයි … හරි .. ඒවයෙන් වැඩක් නෑනෙ … මොකටද දැන් මෙච්චර වෙලා ඔහේල ගහ බැණ ගත්තෙ කියල ඇහුව විතරයි මුන් දෙන්න ආයෙත් වලිය පටන් ගත්ත.

හරක පාර්ලිමේන්තුවේ කතානායක වගේ ආයෙත් මුං දෙන්නව සන්සුන් කරන්න හදනව … මුන් දෙන්නට ඒව ගාණක් නෑ … බැරිම තැන මං මැද්දට පැනල දෙන්නව දෙපැත්තට කරල සාම සාකච්චාවක් තියල වැඩේ විසඳනවා කියල පොරොන්දුවක් දුන්න.

ඕං ඒ ගමන මාත් නොර්වේ වලින් හොද බැස්ස සාමසාධක පැරෂුට්කාරයෙක් ගානට අර වැටිච්ච අඹයක් කකා දැන් මේ දෙපාර්ශවය කියන දේවල් අහන් ඉන්නව … දෙපැත්තටම හූමිටිත් තියනවා.

අන්තිම තීරණය කිනිතුල්ලො දෙන්නට හරකව දේශ සිමා බෙදා වෙන් කරල දෙන්න. ඒත් එතනත් කොස්සක්, හරකගෙ ඉස්සරහද පස්සද වැඩිය වටින්නෙ කියල තීරණය කරන්න උනා … අර පරණ ගම කතාවක වගේ එකඟතාවයකට එන්න බැරි උන නිසා අන්තිමට හරකගෙ ඉස්සරහද පස්සද කියල තෝරන්නත් සත පණහෙ කාසියකිං ටොස් එකක් දාන්න උනා කියහල්ලකො 😀

යාන්තං ඒ ප්‍රශ්නය ඉවරයි නමුත් දේශසීමාව බෙදුව වගේ නෙමෙයි ඒ දෙක වෙන් කරන්න වැටක් තියෙන්නත් ඉතිං ඒ ගමන හරකගෙ බඩ මැදින් කොහු ලණු දෙපොටක් ගැට ගහල බෆර් සෝන් එකක් එහෙමත් මාක් කරල දීල තමයි ගැටළුව සමතයකට පත් කරේ …!

~ කණ්ඩා !

පසු ලිපි :

දැන් ඔහේල මට මෙතන උත්තර දෙන්න බැරි  … හරක් කතා කරන බාසාව මොකක්ද ??? ඒක කණ්ඩ දන්නෙ කොහොමද ??? කණ්ඩත් ඒ ජාතියෙමද ? වගේ හරක් ප්‍රශ්න අහගෙන එන්න එපා.

එතකොට සත්තු එක්ක කතා කරන භාෂාව … ඒකත් රහසක්, දැනගන්නම ඕන නං පහළින් කමෙන්ට් එකක් කොටල රු. 5,000 ක නෝට්ටුවක් දාල අපහු එවන ඇඩ්රස් එකත් එක්ක ලියුම් කවරයක් එවන්න !