Mogadishu Security Men

මරණයේ නගරය ඔස්සේ සුපිරි කඳවුරට

සෝමාලියාවේ අගනුවර වෙන මොගඩිෂූහි (Mogadishu) නම සෑදී ඇත්තේ “මකාද්-ඊ-ෂාහ්” ( Maq’ad-i-Shah) හෙවත් ෂාහ්වරයාගේ නගරය යන පර්සියානු වචනාර්ථයෙන්. වර්තමානයේදී එය මරණයේ නගරය ලෙස අර්ථ දක්වන්නට හැකි නමුත් අතීතයේදී “ඉබ්න් බතුතා” (Ibn Battuta) (1331) සහ “ෂෙන්ග් හී” (Zheng He) (1413 to 1415) වැනි ලංකාව හරහා ගිය පුරාතන දේශාටකයන් පවා ගමන් කරන්නට සහ සංචාරක සටහන් තබන්නට යෙදුන අප්‍රිකානු මහද්වීපයේ වැදගත් නගරයක්. (ඒ ගැන වටිනා විස්තරයක් තියෙන ලිපිය වෙත මේ සබැඳියෙන් පිවිසෙන්න පුළුවන්)

දැන් නම අහන කොටත් බය හිතෙන ගතියක් තිබ්බත් එහෙව් නගරයකට තමයි කණ්ඩ ගොඩ බහින්න හදන්නෙ. සෝමාලියාවෙ තියන එකම අන්තර්ජාතික ගුවන්තොටුපොළ එහෙමත් නැතිනම් ඒඩ්න් අඩේ (Aden Adde International Airport) අන්තර්ජාතික ගුවන්තොටුපොළ පිහිටලා තියෙන්නෙ මුහුදු වෙරළ ආසන්නයේමයි, ඒ කෙතරම් ළඟින්ද කියනවා නම් ධාවන පථයේ සමහර තැන් වෙන් වෙන්නෙ වෙරළ ඉඳන් මීටර් 50-100 ක් වගේ අතිශය කුඩා පරතරයකින්. මොගඩිෂූ වෙරළ තීරය කෙතරම් අනාරක්ෂිත උවත් ඉතා අපූරු නිල් පාටකින් යුක්තයි. ඒ වගේම එය  කිලෝමීටර් 3,300 කටත් වඩා දුරකට විහිදෙනව. එය ලංකාව හා සැසඳුවොත් අපේ මුහුදු තීරය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්.

සෝමාලියාව සතු මුහුද මත්ස්‍ය සම්පතින් අනූනයි, නමුත් සෝමාලියාවේ ඇති රාජ්‍ය අස්ථාවරත්වය සහ තමන්ගේ මුහුදු සීමාව ආරක්ෂා කර ගැනීමට නාවික හමුදාවක් නොමැතිවීම හේතුවෙන් ඉන් නිසි පල නෙලා ගන්න ඔවුනට හැකියාවක් නැහැ. එනිසා එම මත්ස්‍ය සම්පත නීති විරෝධී ලෙස හූරාකන්න ඉරාන, යේමන සහ චීන බහුදින ධීවර යාත්‍රා පුරුදු වෙලා තියෙනවා. බොහෝ දුරට ආයුධ සන්නද්ධ මෙවන් යාත්‍රා වලට එරෙහි වීම සඳහා සෝමාලි ජාතිකයන් ආයුධ අතට ගැනීම මුහුදු කොල්ලකාරයන් බිහිවීමට මුල් උන එක හේතුවක් ලෙස සලකන්නත් පුළුවන්.

ගොඩ බෑමෙන් අනතුරුව ගුවන් යානය ගුවන් තොටුපොළ අසලටම රැගෙන ආ නිසා මොගඩිෂූ වෙත යන කලබලකාරී මගීන් පිරිසට කණ්ඩත් කඩිමුඩියේම එකතු උනා … මීටර් 50 ක පමණ ගමන් මල්ලත් අරන් ඇවිදින්න උනත් … කුඩා ගුවන්යානයක් දෙකක් හැරෙන්නට බලන්න මහා දෙයක් එහි තිබුනේ නැහැ. නමුත් ගුවන් යානයෙන් ඉවත් වුන මගීන් අතර සිටි කාන්තාවන් කිහිප දෙනෙක් අබයාවල් වලින් සැරසී සිටිය බව මතකයි. බොහෝවිට ගොඩ බෑමට කලින්  ඔවුන් ඇඳුම වෙනස් කරන්න ඇතියි කියල හිතෙන්නෙ ගුවන් යානයට නගින අවස්ථාවේදී එවැනි කිසිවෙක් නොදුටු නිසයි.

සෝමාලියාවට පිවිසීමට ලැබුණු විශේෂ අවසරපත සහ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉතා කඩිනමින් ආගමන විගමන ගොඩනැගිල්ලෙන් පිට වීමට හැකි උනා. අඩු තරමේ ගුවන්  බලපත්‍රයවත් හරි හැටි පිරික්සුවේ නැති බව නම් විස්වාසයි. මෙය කණ්ඩා ගොස් ඇති සිවිල් හෝ ත්‍රස්තවාදී ගැටුම් ඇති අනෙකුත් රටවලට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක් නිසා විශේෂයෙන්ම දැනුන.

ඉතා කුඩා මගී පර්යන්තයෙන් එළියට එද්දීම සුපිරි කොම්පැණියේ නම සහ ලාංඡනය සහිත පුවරුවක් රැගත් සුදු ජාතික පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් දකින්නට ලැබුණු නිසා කණ්ඩගෙ හිතේ තිබ්බ දෙගිඩියාව දුරු වෙලා ගියා. ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වූ ඔහු බේජ් පැහැයට හුරු පුද්ගලික ආරක්ෂකයන් පළඳින ඇඳුමකින් සහ ශරිරාරක්ෂක කබායකින් ඔහු සැරසී සිටියා, අචාර සමාචාරයෙන් පසු අප රැගෙන යාමට පැමිණ සිටි රථ පෙළ වෙත ගියා. සත් දෙනෙකුට ගමන් කළ හැකි ටොයෝටා ෆෝරනර් රථයක් සහ තවත් පැටිකිරිය නොදන්නා කෑලි හැලෙන ඩබල් කැබ් රථ දෙකක් මෙයට ඇතුළත් උනා.

Mogadishu Security Men 1එහිදී සම්පුර්ණයෙන් ආයුධ සන්නද්ධව සිටි තවත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙත මා භාර කෙරුනා. ඔහුත් සමග නානා ප්‍රාකාර මැෂින් තුවක්කු වලින් සන්නද්ධව සිටි සෝමාලි ජාතික ආරක්ෂයන් 10-12 ක් හිටියත් කලවමට පැරණි අපිළිවෙලවත් හමුදා ඇඳුම් සහ කිලිටි සිවිල් ඇඳුමින් සැරසුන ඔවුන් ආරක්ෂයන්ට වඩා දරුණු මංකොල්ලකරුවන් රෑනක් සිහි ගැන්නුවා කිව්වොත් වඩාත් නිවැරදියි. ඒ අතරම කැමා (camouflage) කලිසමකින් පමණක් සැරසුන කිහිප දෙනෙක්ද හිටියා, ඔවුන්ගේ උඩුකය නිරුවත වැසුනේ තුවක්කු වලට භාවිත කරන උණ්ඩ වැල් වලින් පමණයි. ඒ ඇතැම් තුවක්කු වල ප්‍රමාණය කණ්ඩාගේ උසට වඩා අඩු උනා නම් ඒ අඟල් ගණනක් විතරයි.

පසු කලෙක මෙම සෝමාලි ජාතික ආරක්ෂකයන් කවුරුන්ද යන්න සහ ඔවුන් ගැන වැඩි විස්තර හාර ඇවිස්සූ කණ්ඩාට දැන ගන්නට ලැබුණේ ඉන් සමහරෙක් සෝමාලියානු ආරක්ෂක අංශ වලද තවත් අය විවිධ ආයුධ සන්නද්ධ කල්ලි වලද සේවය කර අත්දැකීම් සහිත අය බවය. මෝඩ කමට බෙහෙත් නැත, කියන්නට ඇත්තේ ඇතැම් උත්තර දැන  ගන්නට අනවශ්‍ය ප්‍රශ්ණ නොඅසා සිටීම හිතේ නිදහසට රැක ගැනීමට උදව් වෙන බව පමණි 🙂

මෙවැනි දසුන් එතෙක් ගමන් කරන්නට යෙදුණු ඇෆ්ගනිස්තානයත් ඇතුළු කිසිම රටකදී දකින්නට නොලැබුණ නිසා හිතේ තිබ්බෙ ලොකු චකිතයක්. කොටින්ම ඒ වෙනකන් කණ්ඩ එවැනි දේ දැක තිබුණෙ රුපවාහිනී පුවත් සහ චිත්‍රපටි වලින් පමණයි. නමුත් ඒව ඇස් පනාපිට යතාර්ථයක් වෙනකොට හිතට එන දේ විස්තර කරන එක හරි අමාරු දෙයක්.

මේ අතර අප කඳවුර වෙත ගමන් කරනා තෙක් අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙත් ගැන දැනුවත් කිරීම බ්‍රිතාන්‍ය ජාතිකයාට භාර උනා. කණ්ඩාට කලු පැහැති වෙඩි නොවදින කබායක් සහ හෙල්මට් එකකින් සමන්විත ශරිරාරක්ෂක උපකරණ කට්ටලයක් (Body armor and Helmet) ලබා දුන් ඔහු එය ඇඟලා ගන්නට යයි පවසා අනෙක් ආරක්ෂකයන් සුදානම් කිරීම සඳහා පිටත්ව ගියා.

මෙම ශරිරාරක්ෂක උපකරණ කට්ටලය යුරෝපීය ජාතිකයෙකුගේ ශරීර ප්‍රමාණයට සැකසූ එකක් වූ නිසා බරින් ඉතා වැඩි නමුත් හුරු පුරුදු ආරක්ෂක හිස් වැසුම් වලට වඩා තරමක් පහසු බවක් දැනුන. හැබැයි වැරදිලාවත් හදිස්සියකදී මේකත් එක්කම වැඩි දුර දුවා ගන්නටවත් කිසි අවස්ථාවක් නොලැබෙන බව නම් සිකුරුයි. මද වේලාවකින් නැවත පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයා ආරක්ෂක ඇඳුම් කට්ටලය පරික්ෂා කිරීමෙන් අනතුරුව පටි කිහිපයක් නැවත තදකර වැඩිදුර විස්තර ලබාදෙන්නට උනා.

ඒ අතර හදිසියේ ඇති විය හැකි වෙඩි හුවමාරුවකදී රථයේ පොළව තෙක් හැකි පමණ පහත්ව සිටින ලෙසත් ඔවුන්ගෙන් ලැබෙනා ඍජු විධානයකදී විනා කිසිම අවස්ථාවකදී කඳවුරට ඇතුළු වන තෙක් රථයෙන් ඉවත්ව නොයන ලෙසටත් අවධාරණය කෙරුණා. කිලෝ 25-30 ක් උස්සාගෙන ජීප් එකෙන් පැනල කොහේ දුවන්නද ? කියල අහන්න හිතුනත් මම කට පියා ගත්ත.

උපදෙස් ලැබුණායින් පසුව ෆෝරනර් රථය වෙත නැගුන අප ඉදිරිපසින් සහ පිටුපසින් සෝමාලි ආරක්ෂකයන් රැගත් ඩබල් කැබ් රථ දෙක පෙළ ගැසුණා. බ්‍රිතාන්‍ය ජාතිකයා ඉදිරි ඩබල් කැබ් රථයට ගොඩ වෙද්දි ඔස්ට්‍රේලියානුවා අප ගමන් ගත් රථයට නැගුන. සියල්ල සුදානම් බවත් කලබල වෙන්නට හේතුවක් නොමැති බවත් දැඩි ඔස්ට්‍රේලියානු උච්චාරණයක් සහිතව මා හට පුල පුලා පැවසුවේ යම් නොසන්සුන් බවක් මගෙන් පෙනුන නිසා වෙන්න ඕන.

නමුත් මේ වදන් වලින් හිතට කිසිඳු සැනසුමක් නොලැබුණේ මෙවන් රථ පෙළවල් හෙවත් කොන්වෝයි (Convoy) වල ගමන් කිරීම සාමාන්‍ය රථයක ගමන් කිරීමට වඩා අවදානම් බව දැනගෙන හිටිය නිසා. මෙවැනි කොන්වෝයි එකක් සම්පුර්ණයෙන් මුදා නොගත් ප්‍රදේශයක කරනවා කියන්නෙ පහර දීමකට කරන විවෘත ආරාධනාවක් වගේ. අනික කොයිතරම් ආරක්‍ෂකයෝ හිටියත් රොකට්, අත් බෝම්බ හෝ බිම් බෝම්බ ප්‍රහාරයකින් අපිට හෝ රථ පෙළට කිසි ආරාක්ශාවක් නැහැ.

පණිවිඩ හුවමාරු යන්ත්‍ර ආධාරයෙන් සියල්ල සුදානම් බව තහවුරු කරගත් පසු වාහන පෙළ ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් ඉවතට ඇදුන. මුලදී හොඳින් තාර ඇතිරූ පළල් පාරක ගමන් ගත්ත අපි හදිසියේම ජනාකීර්ණ නාගරික ප්‍රදේශයකට ඇතුළු උනා. දෙපසම ගරා වැටුණ හෝ නඩත්තු නොකල නිවාස සහ ගොඩනැගිලි වලින් පිරී තිබුණා වගේම බොහෝ ස්ථානයන් වාහන දෙකක් යාන්තමට මාරු විය හැකි තරමට මාවත පටු උනා.

අලි නාන වලවල් වලින් යුතු අබලන් පාර සහ කිසිඳු වග විභාගයක් නැතිව ගමන් කරන සෝමාලි ජාතික පදිකයන් නිසා වැඩි වේගයකින් ගමන් කරන්නට හැකියාවක් නොලැබීම අප පත්ව සිටි අනාරක්ෂිත තත්ත්වය තීව්ර කරා. අබයා වලින් සැරසුන ගැහැණු, බටහිර ඇඳුමින් සහ සරම් සහ කමිසයෙන් සැරසුණ පිරිමි මෙන්ම කොලු කුරුට්ටන්ද මේ අතර උනා. ඒ අතර ඉඳහිට එන වාහන වල අතර මැදට බූරුවන් විසින් අදිනා ලද කරත්තද සුලභව දකින්නට ලැබුණ.

ඇවිදිනවාට වඩා තරමක් වේගයෙන් ගිය ගමන පුරාවට පහුකරන හැම මීටරයක් පාසා අපි මග දෙපස සිටි දහසකුත් දෙනාගේ තීක්ෂණ ඇස් වලට අසු වුණා කියල මට හිතුණ. ඒ හැම බැල්මක්ම අවිස්වාසය කැටි උන සැකමුසු එකක් වූ නිසා කිසිඳු මිත්‍රශීලි බවක් හෝ සැනසීමක් කණ්ඩාට දැනුනේම නැහැ. ඒ ඇත්තටම ආරක්ෂකයන්ට මැදි උන රථ පෙළකට වෙලා අප ගමන් ගත්ත නිසා හෝ හිතේ තිබුණ නොසන්සුන්කම් නිසා වෙන්නත් පුළුවන්. නමුත් මම දැඩිව විස්වාස කරනව ඒ කිසිවක් මම හිතෙන් මවා ගත්ත ඒවා නොවෙන බව.

අප යෙදුන ගමනත් යම්තාක් දුරට පහත තියෙන වීඩියෝ දර්ශන වලට සමානයි. අවාසනාවකට මේ සම්බන්ධ කිසිඳු පින්තුරයක් මා සතුව නැහැ. මොගඩිෂූ නගරයේ සහ ගුවන් තොටුපොළේ පින්තූර සියල්ලම පාගේ මම අන්තර්ජාලයෙන් සොයා ගත් ඒවා බව සඳහන් කරන්න ඕන. (කඳවුර තුළ ලබාගත් පින්තූර කිහිපයක් පසුවට පල කරන්නම්.)

Video : Driving through Mogadishu streets behind a truck full of men holding guns

ඉන් පසු දකින්න ලැබුණු දර්ශන පේළිය හිතේ තිබුණ කැළඹීම තවත් වැඩි කරන්නට හේතු උනා … ඒ පාර අද්දර වූ තම නිවාස ඉදිරිපිටට වී කොපි බොමින් හෝ කතා බහේ යෙදෙමින් හෝ අරමුණකින් තොර හිස් බැල්මෙන් පාර දෙස බලා හිටිය මැදි වියේ සිට මහල්ලන් දක්වා විවිධ වයස් වල පිරිමින් නිසා. මෙය බොහොම සාමාන්‍ය තත්වයක් කියා ඔබට හිතෙන්න පුළුවන් … නමුත් ඒ බොහෝ දෙනෙක් අතේ හෝ අසල හේත්තු කරන ලද ගිනි අවි තිබුණ බව කිව්වොත් තත්වය බොහෝ වෙනස් වෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ ආයුධ අතර AK-47 සහ පැරණි රයිෆල් තුවක්කුද උනා.

හැරමිටියක් වෙනුවට තුවක්කුවකට වාරු දීල පාර දෙපසට වෙලා එන තියාගෙන හිටිය සෝමාලි ජාතිකයන්ගෙ දසුන් තවමත් මගේ ඔලුවෙ රැඳිලා තියෙනව. එමෙන්ම මෙහිදී කණ්ඩාගේ බිය යටපත් වී කුතුහලය සහ මෝඩකම ඉස්මතු උන බව කියන්නම ඕන, ඒ කඩිමුඩියේ මා රැගෙන ආ කුඩා කැමරාවෙන් (Point and Shoot) මේ උදවියගෙ පින්තූර ගන්නට උත්සාහ කරපු නිසා. නමුත් එය කිසිසේත්ම මා සමග සිටි ඔසියාගේ සතුටට හේතු නොවුන බව කියන්න ඕන.

Jesus  F****** C*****, Are you F****** Kidding me Mate ??? Put that Bloody camera away till we reach the camp !!!!

කියල අග්ගිස්සටම මළ පැනපු ඔසියෙකුට කියන්න පුළුවන් උපරිම ආචාරශීලි විදිහට මට අනතුරු ඇඟව්වේ ඒ නිසා වෙන්නට ඕන 😀

සාමාන්‍යයෙන් මෙම ආරක්ෂක නිලධාරීන් දැඩි බවක් පෙන්නුවත් ඉතා මිත්‍රශීලී උදවිය, ඒ වෙනකක් නිසා නෙමෙයි ඔවුන් ආරක්ෂාව සපයන අපි වැනි සිවිල් වැසියන් කලබල නොවී තියා ගැනීමටත් අදහස් හුවමාරු කර ගැනීම පහසු වීමටත්. නමුත් මොකක් හෝ හේතුවක් නිසාවෙන් මෙම නිළධාරීන් දෙදෙනාම දැඩි විමසිල්ලෙන් සහ පීඩනයකින් සිටි බව මට තේරුණා. එය හොඳ ලකුණක් නොවන බව නම් ඉඳුරාම පැහැදිලියි.

වාසනාවකට පැය බාගයකට ආසන්න අනතුරකින් තොර ගමනකට පස්සෙ අපි සුපිරි කොම්පැණියෙ කඳවුර වෙත ළඟා උනා. පුරුදු ලෙස අඩි 10-12 උස තාප්පයකින් සහ ආරක්ෂක අට්ටාල කිහිපයකින් මුළු කඳවුරු බිම වට වී තිබුණා. අළු පැහැති තඩි යකඩ දොරටුවක් ඉදිරිපිට නැවැත්තුවත් වාහන වල බෝම්බ නොමැති බවට පරික්ෂා කර තහවුරු කරනා තෙක් අපට රැඳී සිටින්නට සිදු උනා. එම ප්‍රදේශය අවටත් කුඩා ගොඩනැගිලි රාශියක් තිබුණත් දකින්න ලැබුනෙ පාලුවට බොහොම ගිය ස්වභාවයක්, එය හොඳද නරකද කියන්න අවබෝධයක් මට තිබුනෙ නැහැ.

උස මහත කළු ජාතිකයන් කිහිප දෙනෙක් ගේට්ටුවේ ආරක්ෂාවට සිටි අතර ඔවුන් පරික්ෂාව අහවර කරන තෙක් පිටත රැඳී සිටීම ඇරෙන්නට වෙනත් විකල්පයක් නැති තැන කල්පයක් වගේ දැනුන විනාඩි කිහිපයක විරාමයකින් පස්සේ කඳවුරට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණ. අපිට පිටිපසින් ගේට්ටුව වහපු ගමන් දිග හුස්මක් හෙලපු මං කරපු පළවෙනි දේ තමයි මහා මේරුව වගේ අමාරුවෙන් දරාගෙන හිටපු බොඩි ආමර් කිට් එක ඉවත් කරපු එක.

කඳවුර ඇතුළත තත්වය පිටතට වඩා බොහොම සාමාකාමීයි, හොඳින් නඩත්තු කළ ගොඩනැගිලි සහ හෙවනට සිටවා තිබුණු සාරෙට හැදුන ගස් කිහිපයකුත් නිසා කලාතුරකින් ඇහෙන සද්දයක් ඇරෙන්න බොහොම හිත නිවෙන ගතියක් දැනුන. ආරක්ෂක නිළධාරීන්ට ස්තුති කරල සමු දුන්න මම ගමන් මල්ලත් අරගෙන ප්‍රධාන කාර්යායලට ගොඩ උනා.

එහිදී මට පරිපාලන කටයුතු වල යෙදුන කෙන්යානු ජාතිකයන් දෙදෙනෙක් උන ඉනසන්ට් (Innocent) සහ ඔහුගේ සහායකයාත් මා එන තෙක් මග බලා සිටි අපගේ IT සගයා වෙන රමන්වත් මුණ ගැසුන. අපගේ ව්‍යාපෘතියට ඍජුව සම්බන්ධ එඩ්වඩ් නමැති ගබඩා පාලකවරයා ප්‍රධාන කාර්යාලයට එපිටින් ගොඩනැගිල්ලට රාජකාරි කරමින් සිටියා මොවුන් ඇතුළු කළු ජාතික සේවකයන් සියලු දෙනාම පාහේ කෙන්යානුවන්. ඔවුන්ට අමතරව ඕස්ට්‍රේලියානු, දකුනු අප්‍රිකානු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් කිහිප දෙනෙක් සේවය නියුතුව සිටියත් ඔවුන් ගුවන් තොටුපොළේ සහ අනෙකුත් කටයුතු සඳහා කඳවුරින් පිටව සිටියා.

ප්‍රධාන ගොඩනැගිල්ලෙන් පසෙක උන තවත් ගොඩනැගිල්ලක උඩු මහලේ මටත් රමන්ටත් නවාතැන් පහසුකම් පිළියෙළ වී තිබුණ, කාමරය පිරිසිඳු උනාට එකම අඩු පාඩුව ක්‍රියා විරහිත වෙලා තිබුණ වායුසමීකරණය යන්ත්‍රය. ඒ අඩුපාඩුව මග අරින්න කාමරේ මුල්ලක දෙවෙනි ලෝක යුධ සමයේ පාවිච්චි කරා යයි හිතන්න පුළුවන් පෙඩෙස්ටල් විදුලි පංකාවක් තිබුණට කාමරේට ජනේලයක්වත් නැහැ. එහෙමයි කියල ඉවසන්න බැරි තරමෙ ලොකු අපහසුවක් තිබ්බෙත් නැහැ.

කාමරයෙන් ගමන් මළු තබා අප කඳවුරේ කළමනාකරු හමු වීමට ගියේ අපගේ ව්‍යාපෘතියේ ඉදිරි වැඩ සාකච්චා කර ගන්න. බොක්සර් කලිසමකින් සහ ටී-ෂර්ට් එකකින් සැරසී සෙරෙප්පු දෙකක් දමාගෙන බොහොම සැහැල්ලුවෙන් සිටි දෙකේ හතරේ දකුණු අප්‍රිකානු ජාතික කළමණාකාරවරයා මම බලාපොරොත්තු වූ ආකාරයේ අයෙක් නොවුනත් අපට අවශ්‍ය උදව් සියල්ල ලබා දෙන්නට ඔහු පොරොන්දු උනා.

~ කණ්ඩා

මතු සම්බන්ධයි !

පෙර ලිපි :

සෝමාලි කතා ~ I කොටස ~ නුබියාව නැතත් සෝමාලියාවට

සෝමාලි කතා ~ II කොටස ~ ගුවනේ සමයං සහ ජිබූටි

ඇෆ්ගනිස්තානය ගැන ලියවුනු ලිපි   :

I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

VI කොටස ~ කාබුල් පොල්ල !

VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !

VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

IX කොටස ~ කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !

X කොටස ~ ආපන ශාලාවේ අවුල්-නිරවුල් !

XI කොටස ~ කාබුල් නගරසිරි, පටාන් රොටි සහ කාමර මාරුව

Advertisements