Mogadishu Airport Waiting Room

මොගඩිෂූ සිට නයිරෝබි බලා

ගිය පාර ලියපු කොටසට දාපු අර සූට්ටං තුවක්කු පොඩියක් අතේ තියාගෙන සෝමාලියන් රම්බෝ කෙනෙක් එක්ක කණ්ඩ පෙනී හිටිය පින්තූරෙට සෑහෙන ප්‍රතිචාර හම්බ උනා. ඒ තුවක්කුවෙ සයිස් එක වැඩිම උනොත් කණ්ඩගෙ උසට වියත් 2-3 ක් අඩු ඇති. නමුත් ඔය පින්තූරය මුහුණු පොතේ දාන්න මට සුපිරි කොම්පැණියෙන් එළියට බහිනකම්ම ඉන්න උනා, ඒ සේවයේ නියුතුව ඉන්නා තෙක් ආයතන නීති රෙගුලාසි වලට අනුගත වෙන්න අවශ්‍ය නිසා.

තුවක්කුව අතපත ගාන්න කරේ දාගන්න අවස්ථාව හම්බ උනත් එහෙම කරලා කාගෙ කාගේත් රස්සාවට කෙලවාගන්න බැරි නිසා අවාසනාවට පින්තූරයක් ගන්නනම් ලැබුනෙ නැහැ. ඒ වගේම මේ ආරක්ෂක සෙබළා ගැනත් වැඩි විස්තර මංතුමා දන්නෙ නැති උනත් බොහෝවිට ඒ හිටපු හමුදා හෝ පොලිස් භටයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඒ පැත්තෙ අඩුවක් නැතිව ගහක් ගලක් ගානේ ඉන්න ආයුධ සන්නද්ධ කණ්ඩායමකින් බඳවාගත්ත කුලී හේවායෙක් උනත් පුදුම වෙන්න කොහෙත්ම හේතුවක් නැහැ.

Mogadishu Securityමේ අපූරු තුවක්කුව ගැන අටංපහුරාධිපති ලක්මාල් මහත්තය විස්තර හොයල දීපු නිසා ඒ ගැනත් මතක් නොකර ගියොත් අඩු පාඩුවක් හන්ද ඒ ගැනත් පොඩ්ඩක් ලියන්න හිතුව. පොදුවේ PKM General Purpose Machine Gun ලෙස හඳුන්වන මෙම තුවක්කු රුසියාවේ නිෂ්පාදනයක්. රුසියන් බසින් “කලශ්නිකොෆ් මැෂින් තුවක්කුව” යන තේරුම ඇතිව “පුලිමියෝත් කලශ්නිකෝවා” (Pulemyot Kalashnikova) ලෙස හඳුන්වනව. නම විදිහටම මේ ගිණි අවියේ නිර්මාණයටත් බොහොම ප්‍රසිද්ධ AK47 (Avtomat Kalashnikova) ගිණි අවියෙ නිර්මාතෘ “මිහයිල් කලශ්නිකොෆ්” සම්බන්ධයි.

මෙයට බොහොම සමාන චීන, ඇමරිකානු සහ ඇතැම් යුරෝපීය රටවල නිපදවන තුවක්කුත් නැතිව නෙමෙයි. දැනට අප අතර නැති සිංහල බ්ලොග් ලෝකයේ යෝධයෙක් උන “අසමි දකිමි සොයමි” බ්ලොග් අඩවියේ කතෘ “විචාරක” හෙවත් ආදරේට “විචා” කියල හඳුන්වපු මේජර් WMJ ගුණරත්න මහතා ඒ ගැන පල කරපු “කටපුංචලාගේ ලොකු අයියලා” ලිපියක් හොයා ගන්න පුළුවන් උන නිසා එකත් මෙතනම දැම්ම මේ ගැන උනන්දුවක් තියෙන හැමෝගෙම පහසුවට. පහත දාල තියන විස්තරේ කොපි කර ගත්තෙත් එතැනින් එනිසා ඒකෙ ගෞරවය එතුමාට.

PKMG

මේ තුවක්කුවේ සරල තාක්ෂණික විස්තරය පහත දක්වනවා.

  • වර්ගීකරණය : General Purpose Machine Gun = GPMG
  • මුලින්ම නිෂ්පාදිත රට : සෝවියට් රුසියාව
  • චීනය විසින් පළමු වරට යොදාගැනීම : 1983
  • අවියේ බර : කි ග්‍රෑම් 12.6
  • අවියේ දිග : මීටර් 1.192
  • පතරොම් වර්ගය : 7.62 x 54
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 700 – 800
  • උණ්ඩ පිටවීමේ වේගය : තත්පරයකට මීටර් 840
  • ප්‍රතිඵලදායක වෙඩි දුර : මීටර් 1500

ඔන්න බලාගන්න මේ තුවක්කුවේ වැඩකිඩ. මෙතන වෙඩි තියන්නේ රුසියාවේ නිෂ්පාදිත PKM තුවක්කුවයි. නමුත් චීනයේ නිෂ්පාදිත T 80 තුවක්කුවත්, (මේ තුවක්කුව අපේ රටේදී බොහෝවිට හඳුන්වන්නේ MPMG කියලයි) මේ තුවක්කුවත් අතර කිසිම වෙනසක් නැහැ. බලන්න වෙඩි බලය කොපමණ ප්‍රබලද කියා. තත්පර 10ක් බැලුවම ඇති. 

ඒ විස්තරේ විචා මාම ගානෙ, මේ ගැන තවත් විස්තර කියන්න ගියොත් කතාව අනවශ්‍ය තරමට දිග්ගැස්සෙන නිසා දැනට තුවක්කු ගැන ඔය ඇති, ආපහු කතාවට බහිමු.

මොගඩිෂූ වල තිබුන වැඩ කටයුතු සියල්ල සාර්ථකව අහවර කරපු නිසා ආපහු  ඩුබායි බලා එන දවසත් උදා උනා. කලින් සඳහන් කරා වගේම තනිවම යනවා වෙනුවට දින කිහිපයකට කලින් සොමාලියාවෙ නිරීක්ෂණ සංචාරයකට ආපු ඩෙනිසුත් මාත් එක්ක එකතු උන නිසා කාන්සාවක් නැතිව ගමන යන්න ලැබේවි කියල කණ්ඩ හිතුව. නමුත් රමන් තවත් දින කිහිපයක් රැඳී ඉන්නට සිදු වෙලා තිබ්බෙ අලුත් අධ්‍යක්ෂක තැන ඇතුළුව කඳවුරේ කළමනාකාරවරයා අලුතෙන් රාජකාරි කිහිපයක් පවරපු නිසා.

අපේ ගුවන් ගමන ඍජු ගමන් වාරයක් හෙවත් ඩිරෙක්ට් ෆ්ලයිට් එක්ක නෙමෙයි, ගමන යෙදිල තිබුනේ කෙන්යාවෙ නයිරෝබි (Nairobi – Kenya) හරහා. නමුත් නයිරෝබි වල රැඳී සිටින්න වෙන්නෙ පැයක් තරම් කෙටි කාලයක් නිසා එහි ලොකු වැරද්දක් අපි දැක්කෙ නැහැ. ඒ වගේම නිවාඩු ගන්න පුළුවන්කමත් එක්කම ධනපාලත් හිටියනං නම් කෙන්යාවෙ මසයි මාරා වනෝද්‍යානයට (Masai Mara Reserve) යන්න කදිම අවස්තාවක් උනත් ඒ තරම් වාසනාවක් කණ්ඩට තිබ්බෙ නැහැ. ඒත් තාම පණ පිටිං ඉන්න එකේ වාසනාව ගැන එතරම් අසතුටු වෙන්න දේකුත් නැහැ.

අපේ ආරක්ෂාව භාරව හිටියෙ එදා ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනමයි ඔවුන්ගේ සහයට දැක්කහම ආරක්ෂාව අමතක වෙන සෝමාලියන් රම්බෝල දුසිමකට වඩා හිටිය. කඳවුරෙන් පිටත් වෙන්න ලෑස්ති වෙලා ආපහු අපි දෙන්නට ආයෙමත් හදිසි අවස්ථාවකදි කරන්න ඕන දේවල් ගැන උපදෙස් ලැබුණ, ඒ එක්කම ආරක්‍ෂිත හිස් වැස්මක් සහ ශරීරාක්ෂක කබායක් අඳින්නත් උනා. මේක මළ කරදරයක් උනත් ජීවිතේට තියෙන ආසාව නිසාම වචනයක්වත් නොකියා ඇඳගත්ත. එයාපෝට් එකෙන් ආපු විදිහටම අපිට යන්න වාහන තුනක් ලෑස්ති කරල තිබ්බ.

කඳවුරේ ගේට්ටුව ඇරල වාහන ටික එළියට දැම්ම වෙලේ ඉඳන් හිතේ වැඩ කරන්නෙ ආපු දවසේ වගේම දැන් ගහයි .. දැන් පත්තුවෙයි .. කියන සිතුවිල්ල. දෙයියො බුදුන් අදහන අය ඉන්නවනං මේ වෙලාවට තමා තිස්තුන් කෝටියක් දෙවිවරු සිහි වෙන්නෙ … කණ්ඩ ඔව්වට නැති නිසා කාව මතක් කරගන්නද ?පවුලේ කට්ටියව මතක් කර ගත්ත 😀

Me with Protective Gearඅර ආපු ආනරක්ෂිත ප්‍රදේශය හරහාම පපුවෙ බිත්තර තම්බමින් එස්කෝට් එකත් එක්කම ගුවන් තොටුපොළට එන්න පිටත් උනා. වාසනාවට කන ගාවින් පියාඹන වෙඩි උණ්ඩ වලින් බේරෙන්න පොළවේ දිගා වෙන අවස්ථාවක් උද උනේ ආවෙ නැහැ. තනි කෑල්ලට එයාපෝට් එකට ආව. ඒ ගමනට ආවටත් වඩා වැඩි කාලයක් ගිය නිසා ටොන් එකක් විතර බර ගල් තොප්පියයි වෙඩි නොවදින කබායයි ඇඳගෙන ගිහින් දාඩියෙන් නෑවිල. (පින්තුරෙ නම් මේ ගමනට අදාළ නැහැ ඒක ඇෆ්ගනිස්තානෙදි ගත්ත එකක්)

තවමත් ගිඩි ගිඩි ගාල පපුව ගැහෙනව … පපුවෙ අමාරුකාරයෙක් නං මෙලහකට අඩි හයක් යට. ඇත්තටම පපුවෙ බිත්තරයක් තියං ආව නං පාන් පෙති දෙකක් මැද්දට දාල බිත්තර සැන්විච් එකක් හදාගන්න තිබ්බ යන ගමන් මගදි කන්න. ගියාට වඩා ලොකු දෙගිඩියාවකින් තමයි ආපහු ආවෙ. ඕං ඕකනෙ සුද්ද කියල තියෙන්නෙ කිසි දෙයක් නොදැන මෝඩයෙක් වගේ ඉන්න එකත් උතුම් වූ මංගල කාරණයක් කියල 😀 (Ignorance is Bliss !). කොටින්ම ප්ලේන් එකට නැගල නයිරෝබි වලට ඉගිල්ලෙනකන් හිතට කිසිම සහනයක් තිබ්බේ නැහැ.

ගුවන් තොටුපොළට නියමිත වෙලාවට ආවත් අපි ගමන් ගන්න නියමිත ගුවන් යානය ප්‍රමාද උන නිසා පැයක විතර අමතර කාලයක් මගීන් වෙනුවෙන් තිබුණු දැල් ගහපු හිර කුටියක් වගේ අඳුරු කාමරේකට වෙලා සියල්ල සුදානම් වෙනකන් ඉන්න සිද්ධ උනා. ඉහින් කනින් දාඩිය පෙරාගෙන ඉඩ ඇහිරුණු වායු සමනය නොකරපු කාමරේක උපන්දා හිටං නාල නැති තවත් තිස් හතලිස් දෙනෙක් එක්ක ඉන්න ගියාම නහයට දැනෙන සනීපය කොහොමද කියල විස්තර කරන්න තරම් මගේ හෙලුව වැනීම පොහොසත් නැති නිසා … පොල් පැටෙව්වා වගේ සෙනග ඉන්න දොරවල් ජනෙල් අඩු හුළං පොදක් නේන හුස්ම ගන්න බැරි පරණ ප්‍රයිවෙට් බස් එකක් මවා ගන්නකො 😀

ඔය නිසා එක එකාලට පින්සෙණ්ඩු වෙලා වදෙන් පොරෙන් මම කාමරේ තිබ්බ එකම ජනේලෙ ගාවට රිංග ගත්තෙ එලියෙ පින්තූරයක් ගන්න ඕන කියන නිදහසට කාරණාව ඉස්සරහට දාගෙන. ඒ වගේම කලින් පාර පාඩමක් ඉගෙන ගත්ත නිසාත් එකම ගොන් කම ආයෙමත් කරල වඳුරු කුණුහබ්බ අහගන්න තියෙන අකමැත්ත නිසාත් මගේ කැමරා පොජ්ජ් මෙතෙනට එනකං කල එළි බැස්සේ නැති බව කියන්න ඕන. උඩින්ම දාල තියෙන්නෙ ඔන්න ඔය කියන කාමරේ ඉඳන් අර ගත්තු පින්තූරයක්.

අන්තිමට අපි අපි බාබකිව් කරා වගේ නිසි පදමට තැම්බුනාට පස්සේ ගමන් මළු එකතු කරන වැඩේ පටන් ගත්ත. ඒක මේ ලස්සනට පෝලිම් ගහල වෙලාවට කලාවට සිද්ද වෙච්ච දෙයක්හෙම කියල වරදවා වටහා ගන්නවා එහෙම නෙමෙයි ඔන්න. කොහොම නමුත් සති පොළක් වම්බටු විකුනණ කොට දෙසීයේ කිලෝ එක පනහට දෙනවා කිව්වොත් මිනිස්සු වට කරගෙන පොරකනව වගේ හරි පිළිවෙලට අන්තිම වම්බොටු ගෙඩියත්  නෑ .. නෑ වැරදුනා ගමන් මල්ලත් ඉවර වෙනකන් වැඩේ නැගලම ගියා.

ඩෙනිස් එයාගෙ මල්ල බාර දුන්නට පස්සෙ මගේ වාරෙ ආව, කොහේ ගියත් සැහැල්ලුවෙන් අත් දෙක වන වනා යන්න කැමති මනුස්සයා නිසා ලැප්ටොප් එක ඇරෙන්න අනිත් ගමන් මල්ල බඩු අරගෙන යන කොටසට හෙවත් චෙක් ඉන් ලගේජ් (Check in Luggage) ගොඩට දාන්න හිතුව. හෑන්ඩ් ලගේජ් විදිහට අතේ අරන් යන්න පුළුවන්කම තියෙද්දිත් … බෑග් බාර ගන්න එකා අතේ අරගෙන යන්න කියල කියද්දිත් … කම්මැලිකමත් ලැජ්ජා නැතිකම වගේම මහ මුදලිකමට වඩා ලොකු නිසාත් මම ඒක චෙක් ඉන් ලගේජ් විදිහටම දැම්ම (කරපු පළවෙනි මෝඩකම, අනික් මෝඩකම් සියල්ල මේක නිසා සිද්ද වෙච්ච ඒව).

මේ දහ අට වන්නම අහවර කරලා අපිව ගුවන් යානයටත් නැග්ගුව … එනකොට වගේම තමයි යනකොටත් ගමේ යනවා වගේ පයින්ම ගිහින් ප්ලේන් එකට නගින්න තියෙන්නෙ. මේ ප්ලේන් එකේ හිටිය එයා හුටස් නංගිලා බෝඩින් කරන්න මොකවත්ම උදව්වක් කරේ නැහැ. අඩු ගානෙ බෝඩින් පාස් එකවත් චෙක් කරේ නෑ … අනික කවුරු කොහොම කොහේ වාඩි උනත් මගේ මොකෝ කියන ගානට හිටපු නිසා හැමෝම ඔෆිස් යන කාර්ය බහුල වෙලාවේ ආපු ප්‍රයිවෙට් බස් එහෙකට නැග්ග වගේ කැමති කැමති තැන වාඩි වෙලා අතන මෙතන සීට් වලට වාද කරගන්න ගත්ත නිසා බෝඩින් කිරිල්ල අල වෙලාම ගියා. අපේ සීට් වල වාඩි වෙලා හිටපු උදවිය නම් ටිකට් එක පෙන්නල කිව්වා පරක්කුවෙන් අයින් උනා.

ඔන්න ඔහොම තමයි ආපහු එන්න ලෑස්ති වෙන ටිකට වැඩ සිද්ද උනේ … ගුවන් තොටුපොළේ පටන් ගුවන් යානය දක්වාම බොහොම අවුල් සහගත සහ අකාර්යක්ෂම බවක් තමයි තිබ්බෙ. එනකොට නම් එන පරක්කුවට ගුවන් තොටුපොලෙන් පිට උන නිසා මේ බවක් ලොකුවට තේරුම් ගියේ නැහැ. අවාසනාව කියන්නෙ මේ හැම දෙයක්ම මුදල් නැති නිසා සිදු වෙන දේවල් නෙමෙයි, මොකද ලොකුවට යට නොකර නිසි පුහුණුවකින් සහ අධීක්ෂණයක් යටතේ පහසුවෙන් විසඳන්න පුළුවන් දේවල්.

කොහොමින් කොහොම හරි මේ ඔක්කොම සර්කස් මැද්දෙ අපි කරදරයකින් තොරව තනි කෑල්ලට පණ පිටිං මොගඩිෂූ ඉඳල නයිරෝබි බලා පියාඹන්න ගුවන්ගත උනා. මොන අපහසුවක් තිබුණත් ඒකම මදැයි සතුටු වෙන්න.

JUBBA Airwaysමොගඩිෂූ වල ඉඳන් නයිරෝබි වලට කිලෝමීටර් 1,180 ක් වගේ දුරක් තියෙනව. නමුත් ගුවනින් යන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ, පැය එකහමාරක වගේ ගමනක්. අපි ගමන් ගත්ත ගුවන් යානය ජබ්බා එයාවේස් (Jubba Airways) ගුවන් සමාගමට අයත්. මේක කියනකොට මගේ මතකයට ආවෙ ස්ටාර් වෝස් (StarWars) චිත්‍රපටි මාලාවෙ එන හිරිකිත පණු ලොක්ක ජබ්බා ද හට් (Jabba the Hutt), ඒකට වැරද්දක් කියන්නත් බෑ ඉතියෝපියන් ගුවන් සමාගමේ එයා හුටස් නංගිලා වගේ කිසි ලකයක් තිබ්බෙත් නැහැ 😀

මේ ගමනෙ ලොකු පහසුකම් මොනවත් නැති උනත් කෙටි ගමනක් නිසා ඒක ගැටළුවක් නෙමෙයි. නමුත් අපිට තිබ්බ ලොකුම දෙගිඩියාව පැයක පරක්කුව නයිරෝබි වලදි අපේ කනෙක්ටින් ෆ්ලයිට් එකට කොහොම බලපාවිද කියන එක.

මේ අතර අපි ගුවන් ගත උනාට පස්සෙ හිටිය එයා හුටස් නංගි කෙනෙක් මගීන් හැමෝටම විශේෂ නිවේදනයක් කරා අපිත් සමග ගමනට එකතු වෙච්ච උන VIP අමුත්තෙක් සාදරයෙන් පිළිගන්නා බව. ඒ වෙන කවුරුවත් නෙමෙයි එවක සෝමාලියානු අගමැති උන ෂරිෆ් ෂේක් අහ්මඩ් (Sharif_Sheikh_Ahmed). අනේ අපේ දේසපාලුවෝ වගේ මුළු ගමක් එක්ක ඒ මනුස්සය ඇවිල්ල හිටියේ නැහැ, සාමාන්‍ය යුරෝපීය ඇඳුමක් ඇඳල තනියෙන් මේ ගමනට එකතු වෙලා හිටියෙ. හරිම සරල මනුස්සයෙක් අතේ බ්‍රීෆ්කේස් එකකුයි කබායකුයි තිබුණ බව නම් මතකයි හැබැයි බ්‍රීෆ්කේස් එකේ හාමිනේ දීපු කෙහෙල් කොළේ ඔතාපු බත් එකකුයි සමුපකාරෙන් ගත්ත ඇට්ලස් චූටි පෑනකුයි තිබ්බද කියන්න නම් දන්නෙ නැහැ ;-D

ඔහොම කතා බහ කරමින් ඉන්නකොට තමයි ඩෙනිස් එක පාරටම බෝම්බයක් අත ඇරියෙ … වෙන මොනවවත් නෙමෙයි නයිරෝබි වලදි මගේ ගමන්මළු අපි යන්න නියමිතව තියන ඉතියෝපියන් ගුවන් යානයට මාරු කරන්න කියල මොගඩිෂූ වලදි ගමන් මළු බාර දෙනකොට ඉල්ලුවද කියල ? මාව නිකං කරකවල අත ඇරිය වගේ ඇයි හත් ඉලව්වෙ කනේක්ටින් ෆ්ලයිට් වල කලින් ගිහින් තිබ්බට කවදාවත් එහෙම අමුතුවෙන් බෑග් මාරු කරන්නය කියල දැනුම් දෙන්න උවමනා වෙලා නැහැනෙ.

කවද කාපු ටකරන්ද ? ඉක්මනට බෑග් බාර දෙනකොට ලැබෙන රිසිට් එක අරගෙන බැලුව, ඩෙනිස්ගෙ රිසිට් එකේ ඩුබායි කියල ලියල සීල් එකක් ගහල මගේ එකේ එහෙම නෑ. හරි වැඩේ අවුල් කියල ෂුවර්… මං මේ ගැන හාන්කවිසියක් දැනන් හිටියේ නැතත් ඩෙනිස්ට මේ ගැන කන්තොරුවෙ අය කලින් දැනුම් දීල, අපිට හුළං .. නෙදකින් අපි කළු හින්ද වෙන්න ඇති (*&%%% !!!

ඒ වෙලාවෙ ආපු කේන්තියට කන්තොරුවෙ එවුන්ව කන්න හිතුන … ඒ විතරක් නෙමෙයි මට ඩෙනිස් එක්කත් මළේ උපරිම … ඇයි හත් ඉලව්වෙ එකටම වගේ බෑග් බාර දුන්න එකේ මේ යකාටත් ඕක ප්ලේන් එකට නගින්න කලින් කියන්න බැරි උනාද ??? මට පුළුවන්කමක් තිබ්බනං එතනම බෙල්ල මිරිකනව … ඒත් වෙච්ච දේ වෙලා ඉවරයි කටට ආපු සුද්ද සිංහල ගිලගෙන කල්පනා කරා ඊළඟට කරන්නෙ මොනවද කියල, ගමන් මල්ල නයිරෝබි වලින් අර ගන්න නම් කරන්න ඉතිරි වෙලා තියෙන එකම දේ නයිරෝබි වලින් බෑග් ක්ලියර් කරාට පස්සෙ ආපහු අරගන්න එක.Mogadishu Airport

ඔහොම ගිහින් අපේ ප්ලේන් එක ගොඩ බැස්ස ගමන් බෑග් ක්ලියර් කරන තැනට ගිහින් බෑග් එක අරං එනව කියල මම තීරණය කරා (මේ මගේ දෙවෙනි සහ ලොකුම මෝඩකම) හදිස්සියේවත් පරක්කු වෙලා මට ප්ලේන් එක මිස් උනොත් කන්තෝරුවට සහ අපේ කළමනාකාර තැනට දන්වන්න කියල මම ඩෙනිස්ගෙන් ඉල්ලා හිටිය (මගේ තුන් වෙනි මෝඩකම). නියමිත ගුවන් යානයේ කණ්ඩ ඩුබායි නොගියොත් කන්තෝරුවේ උදවිය සහ හාමිනේ කලබල වෙන බව මම දැනගෙන හිටිය.

නියමිත වෙලාවට අපි නයිරෝබි වෙත ගියත් පැය බාගයකටත් අඩු කාලයක් තමයි මේ හැම දේකටම තියෙන්නෙ … නයිරෝබි වෙත ලඟා වෙනකම් කණ්ඩ නොඉවසිල්ලෙන් හිටියත් නොහිතපු විදිහට තවත් කුඩා ගුවන් තොටුපොළකට ගොඩ බැස්සුවා … එහි නම මගේ මතකයේ නැහැ. නමුත් මෙහිදී මගීන් සියල්ල ගුවන් යානයෙන් ඉවත් කර ගුවන් යන්නය සහ එහි ගමන්මළු රඳවන තැන් සුනඛයන් සහ ආරක්ෂක හමුදාවක් මගින් පරික්ෂාවට ලක් උනේ බෝම්බ සම්බන්ධයෙන් වෙන්න ඕන.

මේ පරික්ෂාව ඉන් නැවතුනේ නැහැ, කණ්ඩා සහ ඩෙනිස් ඇතුළු තෝරාගත් මගීන්ගෙන් ආගිය උන්හිටි සහ යන තැන් ගැන ප්‍රශ්න කිරිමත් සිද්ධ උනා. අපි දෙන්න එකට ගමන් කරන බව දැන ගත්තහම ආයෙත් දෙන්නව වෙන වෙනම ප්‍රශ්න කරා කියන දේවල පරස්පරයක් ඇද්ද කියල බලන්න. කොහොම වෙතත් මේ සියල්ලට තවත් පැයක පමණ කාලයක් නාස්ති උන නිසා නයිරෝබි වලින් දෙන්නටම ප්ලේන් එක මග ඇරෙනව කියල අපිට හිත හදා ගත්ත.

මතු සම්බන්ධයි

~ කණ්ඩා !

පෙර ලිපි :

සෝමාලි කතා ~ I කොටස ~ නුබියාව නැතත් සෝමාලියාවට

සෝමාලි කතා ~ II කොටස ~ ගුවනේ සමයං සහ ජිබූටි

සෝමාලි කතා ~ III ~ මරණයේ නගරය ඔස්සේ සුපිරි කඳවුරට

සෝමාලි කතා ~ IV ~ මරණයක උණුහුම

ඇෆ්ගනිස්තානය ගැන ලියවුනු ලිපි   :

I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

VI කොටස ~ කාබුල් පොල්ල !

VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !

VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

IX කොටස ~ කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !

X කොටස ~ ආපන ශාලාවේ අවුල්-නිරවුල් !

XI කොටස ~ කාබුල් නගරසිරි, පටාන් රොටි සහ කාමර මාරුව

Advertisements