Baggage Trouble

නයිරෝබි නරි නාටක සහ ඇදගෙන නෑම

මේ ඔක්කොම දේවල් ඉවර වෙලා අපිව ආයෙමත් ගුවන් යානයට නැග්ගුව, අන්තිමේදි අපි නයිරෝබි වලට ගොඩබානකොට නියමිත වෙලාවට වඩා පැයකටත් වඩා ප්‍රමාදයි. අපේ ෆ්ලයිට් එක මිස් උන නිසා මීළඟට තියෙන මොන දහිරිවාට්ටුවක හරි එල්ලිලා ආපහු ඩුබායි යනව කියල අපි හිත හදාගෙන හිටියෙ. ඩෙනිස් හිටිය නිසා මටත් ඒ ගැන එහෙමට අවුලක් තිබ්බෙ නැහැ, ඔලුවෙ තිබ්බ එකම දේ ආපහු බෑග් එක අර ගන්න එක විතරයි.

නමුත් අපි යානයෙන් එළියට එනකොටම ඉතියෝපියන් ගුවන් සේවයෙන් ඩුබායි බලා ගමන් ගන්නා මගීන් හැකි ඉක්මනින් ඇතුළු වීමේ දොරටුව (Boarding gate) වෙත යන්න කියල එතන හිටිය නිළධාරීන් දෙන්නෙක් බෑගිරි ගාන්න පටන්ගත්තෙ අපි නොහිතපු විදිහට. බලන් යනකොට ඉතියෝපියන් ගුවන් සමාගමත් හදවතින්ම ශ්‍රී ලංකිකයි, අපි යන්න නියමිතව හිටපු ගුවන් යානය පැයකටත් වඩා පරක්කු වෙලා නිසා යන්න තවමත් යන්න අවස්තාවක් තියෙනව.

මම කොහොම හරි බෑග් එක අරගෙන ඉක්මනට එන්නං කියල පස්ස පැත්තට අහස් කූරක් හයිකරපු හාවෙක් වගේ මම ගමන් මල්ල හොයන්න දුවද්දි ඩෙනිස් ගුවන් යානයට නගින්න දිව්ව. ඇත්තටම හිතුවෙ කොහොම හරි කණ්ඩටත් යන්න පුළුවන් වෙයි කියල. නමුත් කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙ නයිරෝබි ගුවන් තොටුපොළ බොහොම කාර්ය බහුල වෙලාවක්. බලපු බලපු තැන වල පෝලිම්.

මගේ ගමන් මල්ලෙ හුටපටය ගැන ගුවන් යානා අතර හුවමාරු වෙන මගීන් වෙනුවෙන් පහසුකම් සැලසීම වෙනුවෙන් ට්‍රාන්සිට් ඩෙස්ක් එකේ හිටිය අයට කියන්න පෝලිම පැනල ඉස්සරහට යන්න ඉඩ දෙන්න තරම් එතන මට කලින් හිටිය මගීන් කාරුණික උනා.එතන හිටි එක් පිරිමි නිළධාරියෙක් කතාව කිව්ව ගමන් කණ්ඩට උදව් කරන්න ඉදිරිපත් උනා (ඒ සත්ව කරුණාව නිසා ඔක්කොම හරි යාවි කියල හිතපු එක මගේ තුන්වෙනි මෝඩකම).

අඟුරු වලටත් වඩා පොඩ්ඩක් කළු පාට මේ මනුස්සය කොයිවෙලාවෙත් හිනා වෙච්ච ගමන්මයි, ඒ නිසා බැලූ බැල්මට පේන්නෙ සුදු පාටට මෙන දත් සෙට් එක විතරයි. මෙයා බොහොම මිත්‍රශීලී හාදයෙක් කොයි වෙලාවෙත් විහිළුවෙන් තහළුවෙන් තමයි ඒ යන ටිකටත්. නමුත් ඕනවට වඩා මිත්‍රශීලීව මනුස්සයෙක් තමන්ගෙ පුද්ගලික දේවල් පවා මේ යන ටිකට කියනවන කොට මට තේරුම් ගියා මෙයා ලෝකෙ කාල වතුර බීපු අණ්ඩපාලයෙක් බව. අනික අප්‍රිකාවෙ පෙර අත්දැකීම් නිසා ගොනා හැරෙනකොටම දන්නව පොල් පැලේ කන බව, ඒ වෙනකොට මාව ඇවිදින ඩොලර් නෝට්ටුවක් වගේ පේනව ඇති කියල මට හිතුන.

මට තියෙන සීමිත වෙලාවත් එක්ක වෙනත් කරන්න දෙයක් නැති නිසා මම මේ හාදයත් එක්ක ආගමන විගමන කවුන්ටරේකට ගියා. මගේ කතාව අහල එතැන හිටපු නිළධාරියගෙ හිත උණු උන නිසාදෝ ඉක්මනට බෑග් එක අරගෙන එන්න කියල අවසර හම්බ උනා.

අපි යනකොටත් ගමන්මළු බෙල්ට් එකට ගමන් මළු නිකුත් කරන්න පටන් අරගෙන තිබ්බෙ නැහැ, එනිසා එතනත් අවිනිශ්චිතාවයෙන් පිරුණු පැයක් වගේ දැනුන විනාඩි 20ක විතර කාලයක් රැඳී ඉන්න සිදු උනත් බෑග් එක ලබා ගන්න පුළුවන් උනා. කොහොම උනත් ඒ මිනිත්තු කිහිපය යමක් වෙනුවෙන් මම බකං නිලාගෙන හිටපු දිගම කාල පරිච්ජේද වලින් එකක් බව නිසැකයි.

Unsavory Actබෑග් මල්ල අතට ලැබුණ විතරයි ඒකත් උස්සගෙන මං ආපහු මීටර් සීය කඩුළු පැන දිවීමේ තරඟය පටන් ගත්ත, අර කියපු කෙන්යානුවත් මගේ පස්සෙන් දුවගෙන එනව, උට හදිස්සි නිසාවත් මට ෆ්ලයිට් එක මිස් වෙයි කියල තියෙන සාංකාවටවත් නෙමෙයි කියක් හරි කඩා ගන්න බැරි වෙයි කියල තියෙන බයට. කොහොමහරි අපිට යන්න ඉඩ දීපු නිළධාරිය ගාවට ආවෙ ස්තූති කරලා හැකි ඉක්මනින් ඇතුල් වීමේ දොරටුවට යන්න.

අනේ මිනිහත් හිනා වෙලා ඔලුව වනල ආ කමක් නෑ මල්ලි අපි කවුරුත් මිනිස්සුනෙ … ෆ්ලයිට් එක මිස් වෙයි ඉක්මනින් යන්න මල්ලි … ඔයාට  බුදු සරණයි ! කියල කියන්නැති කියල නේද ඔයාල හිතන්නෙ  ?

මොන පිස්සුද ? ඒකටත් මාව පෙනුනෙ ඩොලර් නෝට්ටුවක් වගේම තමයි. වීස නැතිව එතනින් එහාට යන්න බැරිය .. එහෙව් එකේ උදව්වක් කරපු එකේ ආපහු යන්න ඕන නං පොඩි ගතමනාවක් දීල යන්නය කියල තදින්ම කියාපු නිසා මගේ සාකුවේ තිබ්බ ඩොලර් කොළයක් උන්දැගෙ සාකුවටයි අර අනිත් එකාගෙයි අතටයි ගියේ අවස්ථාව අනුව වෙනත් කරන්නම දෙයක් නැතිකමට මිස මම ඒක අනුමත කරන නිසා නම් නෙමෙයි.

ආසියාවෙ වගේම අඳුරු මහාද්වීපයේත් තියෙන බොහොම කැත පුරුද්දක් තමයි යමක් අත මිට මොලවන්නේ නැතිව අවශ්‍ය දෙයක් කරගන්න බැරි වීම. මගේ ජීවිතේටම පළමුවතාවට මේ වගේ දෙයක් කරන්න … ඒ වචනෙ කියන්නත් මට ලැජ්ජයි නමුත් ඒ වචනය තමයි යතාර්ථය. “පගාව” …  ඔව් පගාව දෙන්න සිද්ධ උනේ ඇෆ්ගනිස්තානෙදි. එදා මගේ අතේ තිබුණ අන්තිම ඩොලර් සීයෙ නෝට්ටුවත් කවුන්ටරේ හිටපු කාක්කෙක් වගේ ඇෆ්ගානියට පූජා කරල ඩුබායි එන්න ආවෙ ලොකු ලැජ්ජාවකින් සහ මහා වරදකාරී හැඟීමකින් (ඒ ගැන පසු දවසක ලියන්නම්).

මේ අත්දැකීම ආපහු අපේ කන්තෝරු සගයන් හා පැවසුවාම ඒක බොහොම සාමාන්‍ය දේ විදිහට සලකල මම කොහෙත්ම නොහිතපු විදිහට ඔවුන් දීපු එකම උපදෙස තමයි අඩු වටිනාකම් වලින් යුතු නෝට්ටු ඩොලර් කිහිපයක් අරන් යන එක පුරුද්දක් විදිහට කරන්න කියන එක.

ඒ අවස්ථාව කුමක් උවත් “අල්ලස් ලබා දීම ආයතන විනය නීති වලට පටහැණි බවට උපදෙස් දීපු සුපිරි කොම්පැණියේ සේවකයින්ගෙ අත්පොත ඇෆ්ගනිස්තාන සහ අප්‍රිකානු නිළධාරීන් නොකියවන හින්ද වෙන්න පුළුවන්. එනිසා ප්‍රායෝගික වෙලා ගැලවිලා එන එක පරම සත්‍ය වෙනුවෙන් මේ වගේ තැනක හිරබත් කන එකට වඩා ශරීර සෞඛ්‍යට සැපයි.

අකැමැත්තෙන් උනත් අනතුරු වලින් තොරව ගමන් යන්න අවශ්‍යතාවය මත මමත් පහු කාලෙක ඒකට පුරුදු උනා. ඒ ඇරෙන්න අයිවරි කෝස්ට්, ඝානා සහ ලයිබීරියාව යන අප්‍රිකාවෙ කිහිප තැනකදි මේ සම්බන්ධයෙන් කරදර විඳින්න සිදු උනත් අප්‍රිකානු රටකදි ඇත්තටම මුදල් ගෙවන්න උන පළමු වතාව තමයි මේ.

Ethiopean Air lines - Boeing 737කොහොම වෙතත් නයිරෝබි ගුවන් තොටුපොළට අරක්ගත්ත මේ කුම්භාණ්ඩයො දෙන්නට දොළ පිදේනි දීල බෑග් එකත් අරන් එනකොට පෙරහැර ගිහින් හමාරයි … ගුවන් යානයට මගීන් නග්ගවල දොරටුවත් වහල… කණ්ඩ මොනවා කරත් කොයිතරම් නහයෙන් ඇඬුවත් වැඩක් උනේ නැහැ … ඉන් විනාඩි කිහිපයකට පස්සෙ බූට් එකක් තියල හිත කඩා ඉහිරවපු ගෑණු ළමයෙක් යන දිහා බලන් ඉන්නව වගේ ගුවන් යානය කණ්ඩව දාල ඩුබායි බලා ඉගිල්ලෙන හැටි මගී පර්යන්තයට වෙලා දුක සේ  බලං හිටිය.

වෙනත් විකල්පයක් නැති තැන ආපහු ඉතියෝපියන් ගුවන් සමාගමේ කාර්යාලයෙන් ටිකට් එක අලුත් කරගන්න බැලුවත් ඊළඟ ගුවන් යානය තියෙන්නෙ පැය 24 කටත් පස්සෙ. ඒ මදිවට යානට මග අරුනේ මගේ පාමාව නිසා ඒ සඳහා සම්පුර්ණ මුදලම අලුතින් ගෙවන්නත් වෙනව. හිතේ තිබ්බ තරහට ඉතියෝපියන් ගුවන් සමාගමේ එයා හුටස් නංගිලා කොයිතරම් ලස්සන උනත් ආපහු ඒකෙ යන්නෙ නෑ … නෑමයි කියල මම තීරණය කරා.

තව හොයල බලනකොට ඒ ගෙවන මිල වගේ දෙගුණයකට කිට්ටු උනත් එමිරේට්ස් ගුවන් ගමන් වාරයක් තියෙනව ආපහු පැය 12 කින්. මොනවා කරන්නද ඒකවත් බුක් කරනවා කියල හිතුවට ඊට සෑහෙන්න ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි තියේවිද කියන එක ගැනත් ලොකු කුකුසක් කණ්ඩට තිබුන.

කොරේ පිටට මරේ කියල තියෙන එකම ක්‍රෙඩිට් කාඩ් එකෙත් සල්ලි නැති උනොත් වැලේ වැල් නැතිව යනව, වාසනාවට කොහොම හරි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ෆ්ලයිට් එක බුක් කරා… ටිකට් එකට ගෙව්වට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එකේ වැඩිම උනොත් ඉලක්කම් දෙකේ ගානක් ඉතිරි වෙන්න ඇති … හොඳ වෙලාවට එහෙමඋනේ නැත්තං  කණ්ඩ තාම නයිරෝබි 😀

යාන්තන් ඒ වැඩේ අහවර කරල ඉවර උනාම හිතට ලොකු සැනසිල්ලක් දැනුන. හාමිනේට කතා කරල සිද්ධ උන අකරතැබ්බය ගැන පණිවිඩයක් දෙන්න ඕනෑකමක් තිබුනත් මගේ ජංගමයට රෝමින් නොතිබුන නිසාත් ඩෙනිස් මට ෆ්ලයිට් එක මග අරුණ කියල පණිවිඩේ දේවි කියල හිතුන නිසාත් අල්ලල දාල නිකං හිටිය. පොඩ්ඩ බැරි වෙනකොට කලබල වෙන හාමිනේ සහ මතකය ගැන විස්වාසය තියන්න බැරි ඩෙනිස් ගැන හිතුවම ඒකත් මං කරපු ලොකුම ගොන්කම් වලින් එකක්.

තව පැය දොළහකට කිට්ටුව මෙතනම හිර වෙලා ඉන්න ඕන, ඉතිං එහෙව් එකේ කාලෙ ගෙවාගන්න කවදාවත් කැමැත්තක් නොතිබුණු ඒවත් කරා. ඒ තමයි වින්ඩෝ ෂොපින්. හාමිනේව මතක් උන නිසා එතන තිබුණු සත්ව ඇටකටු වලින් හදාපු අපූරු තෝඩු දෙකක් ගත්ත (ඒත් හාමිනේට ඒක හිතට ඇල්ලුවෙ නැති නිසා, අද වෙනකං එක අල්මාරියේ කොනකට වෙලා තියෙනව).

I Swear to Drunk Im not Godපිරිමි අපි ෂොපින් කරනකොට ගෑණු වගේ නෙමෙයිනෙ … ගියා … බැලුව … ගත්ත … ආව. ඉතිං ඔය වෙලාවෙ ඉතිරි වෙලාව ගත කරන විදිහ කල්පනා කරනකොට හිතේ තිබ්බ බරවල් වලින් නිදහස් වෙච්ච නිසා වෙන්න ඕන පොඩි තිබහක් ආවෙ. පොඩ්ඩක් වටපිට බලනකොට තමයි එතන තිබ්බ කැසිනෝ එකක් සහ බාර් එකක් දැක්කෙ. දොළ පිදේනි දීල අහවර නිසා ටිකක් රත් වෙන්න හිතාගෙන බාර් එකට රිංග ගත්තට ඝෝෂාකාරී සංගීතය සහ කලබලය එතන බාර් එකකට වඩා නයිට් ක්ලබ් එකක් වගේ කිව්වොත් තමයි හරි.

බීල වෙරි චෙච්ච සුද්දෝ සෙට් එකක් සූදු කෙළිනව. ජැක්පොට් මැෂින් වලින් ඔට්ටු අල්ලන ගමන් කෑකෝ ගහමින් විනෝද වෙනව. මතක විදිහට එතැන හැම ජාතියකම අය හිටියට පුරුදු පරිදි වැඩිම සද්දෙ තිබ්බේ ඕස්ට්‍රේලියානුවන්ගෙ. (What’s really wrong with Aussies ? Want to take the cup from Brits ?)

ඉඳහිට අර පන්සිල් වල තියෙනව වගේ සුරාමේරය මද පමණට අනුමත උනාට කවදාත් සූදුවට නං වැටිල නැහැ. ජීවිතේටම සූදුවකට කියල සහබාගී උනානම් ඒ අවුරුද්දට කැට ගැහිල්ලක් මළ ගෙදරක බුරුව ගැහිල්ලක් හෝ කසාද බැඳීම වගේ දේවල් විතරමයි. මේ ආටක නාටක බලාගෙන අතේ තිබ්බ සල්ලි වලින් දෙකක් තුනක් හතරක් පහක් විතර ළඟ ළඟම නමාගත්ත මංතුමා ආපහු එළියටට ආවේ පොඩ්ඩක් අහැ පියාගන්න කියල. කැසිනෝ එක ඇතුළෙ ගාලගෝට්ටියත් එක්ක ඒක කරන්න බැහැ.

කැසිනෝ එකට පුළුවන් තරම් ඈතින් හිස් පුටු කිහිපයක් හොයා ගත්ත මං පොඩි ඇලට් එකක් දාන්න හිතාගෙන අහැ පියා ගත්ත විතරක් මතකයි  … 🙂

ඔහොම ඉන්නකොට මංතුමා බුෂ් ප්ලේන් එකකින් ගිහිල්ල මසයි මාරාවෙ බැහැල බොහොම අපූරු සෆාරියක් යන්න පටන් ගත්ත …  වටේ පිටේ වැඩිය හොඳින් බලාගන්න මං ළඟ පාත හිටිය ජිරාෆ් කෙනෙක්ගෙ  නැග්ගහම දැක්කෙ ඈතින් කුලප්පු වෙච්ච අලි රංචුවක්  බිඳගෙන එනවා අපේ දිහාට … කලබල වෙච්ච ගමන බ්රූස් ගාල ජිරාෆ්ගෙ බෙල්ල දිගේම පහළට බැස්ස ගමන් අපේ ගයිඩ් විදිහට උන්න මනුස්සය මගේ අතින් ඇදන් දුවන්න ගත්ත පාර මෙන්න බොලේ කණ්ඩ ආපහු නයිරෝබි එයාපෝට් එකේ !

ඇලට් එක කොයිතරම් සාරෙට නැගල ගිහිංද කියනවා නම් … ඒ නිදාගෙන හිටිය හෝල් එක ක්ලීන් කරන මනුස්සයෙක් මගේ වටේට Wet Floor සයින් දෙකක් තියල බෑග් එක අයින් නොකර වටේට සුද්ද කරගෙනත් ගිහිං.. ඒත් කණ්ඩ දොයි … සාමාන්‍යයෙන් මට නින්ද යනකොට කොයිතරම් නිශ්ෂබ්ද්ධද කියනවා නම් අහල පහළ ගෙවල් වල උළු උඩ යන නිසා අල්ලපු ගෙදර එවුන් පවා දන්නව මං නිදිය කියල. ඔහේලට හිතා ගන්න පුළුවනිනේ තත්වෙ කොහොමට තියෙන්න ඇතිද කියල  😀

Wet Floor Signකොහොම හරි තව පොඩ්ඩෙන් අලි මදිවට හරක් කියන්න වගේ කණ්ඩට දෙවෙනි ෆ්ලයිට් එකත් මිස් වෙනව, මගේ බෑග් එකේ තිබ්බ එමිරේට්ස් ටැග් එක දැකපු ඒ සමාගමේ ඔෆිසර් කෙනෙක් මට තට්ටු කරල මගේ දැඩි විරෝධය මධ්‍යයේ බලෙන්ම කූද්දල. නැගිට්ට ගමන් මෙලෝ සිහියක් තිබ්බෙ නැති උනත් ** මහත්තයෝ ප්ලේන් එකට නගින්න අන්තිම කෝල් එක ! කිව්වම නිදිමත විතරක් නෙමෙයි බාගෙට තිබ්බ වෙරිත් බැස්ස.

ආපහු බෑග් මල්ලත් උස්සගෙන මම ඒ මනුස්සය එක්ක 100 මීටර් සියෙ මුදලිහාමි වගේ දුවන්න ගත්ත … අන්තිම කෝල් එකේත් අන්තිමේදි තමයි හති දාගෙන දුවන් ආපු  කණ්ඩව ප්ලේන් එකට එබුවෙ … ෆ්ලයිට් එක විනාඩි 10 ක් විතර පරක්කු කරල මේ නාඩගම නිසා … ඇතුලෙ හිටිය කට්ටියගේ මූණු හතරැස් වෙලා වගේද මන්ද  … මං දොරෙන් ඇතුල් වෙච්චි ගමන දඩාන් දොරත් වැහුව කියමුකෝ … 😀

ඉතියෝපියන් සහ ජබ්බ එයාවේස් එකේ ජීවන ගමන ගන්දස්සාරේ … යනෙන අන්ධකාරේට … පුරුදු වෙලා එමිරේට්ස් ගුවන් යානයකට නැග්ගහම නිකං දිව්‍ය ලෝකේ ගියා හා සමානයි. ගමනේ ඉතිරි ටික කිසිම අකරතැබ්බයක් නැතිව යහතින් ආවත් අර සුරංගනා කතා වල වගේ කණ්ඩා සෝමාලියාවෙන් පිටත්ව ආ පසු හැම දේම සුඛිත මුදිත වෙලා සියල්ලෝ සතුටින් ජීවත් උනා කියල හිතනව නම් ඒක සපුරා වැරදියි සහෝදරවරුනි. දැන් තමයි නාට්ටියේ හොඳම හරිය හෙවත් ෆිනාලේ එක.

එනවා කියාපු වෙලාවට වැඩ පැය 16 ක් විතර පරක්කු වෙලා ඩුබායි ගියාට පස්සේ තමයි දන්නෙ … ගෙදර එකම මළ ගෙයක් … අහිංසක කණ්ඩගෙ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හාමිනේ දන්න කියන අතලොස්සක් වෙන යාළුවන්ටයි කණ්ඩගෙ මැනේජර් තැනගෙ ඉඳල ඩිරෙක්ටර් බෝඩ් එකට වෙනකනුයි මහ පාන්දර කතා කරල ඇහැරවල. මාව හොයන ඔපරේෂන් එකට පොලිස් පැමිණිල්ලක් විතරයි අඩු.

ඒ අමතරව විස්තර හොයාගන්න බැරිම තැන ඉතියෝපියන් ගුවන් සමාගමට සහ නයිරෝබි ගුවන් තොටුපොළටත් කතා කරල. අඬල දොඩල හැට හතර මායම් දාල කොහොම හරි කණ්ඩ නයිරෝබි වලට ගොඩ බැස්ස කියන එක හොයාගෙන. පිටස්තර අයට මගීන්ගෙ තොරතුරු ලබාදීම නීති රෙගුලාසි වලට සපුරා පටහැනි උනත් වැලහින්නක් වගේ අඬන හාමිනේ හිටිය තත්වය තේරුම් ගිය නිසාදෝ ඒ දුරකථන ඇමතුම ගත්ත නිලධාරියා කණ්ඩා නයිරෝබි වලට ගොඩ බැස්සත් නැවත ඉතියෝපියන් ගුවන් යානයට නැගල නැති බව සනාථ කරල තියෙනව.

හොඳ යාළුවො නරක යාළුවො කියල හොයා ගන්න කරදරයක් වෙන්නම ඕන. හාමිනේ කණ්ඩගේ අතීසාර මිත්‍රයා උන ගලාටත් (ඔව් .. ඔව් .. අර ගෙදර ෆ්‍රිජ් එක කැඩුන කිව්වම අයිස් ක්‍රීම් ගැලුමක් උස්සන් ආපු එකාම තමා ) කතා කරල කියල පාන්දර යක්කු ගස් නගින වෙලාවෙ ඉඳන් උන් දෙන්න දෙමහල්ලොත් අපේ ගෙදර වැලහින්නක් වගේ අඬන හාමිනේව සනසනවලු.

ඒ දවස් වල ගලාගෙ හාමිනේට බබා හම්බ වෙන්න හිටිය නිසා ඔන්න මෙන්න … එහෙව් එකේ මෙහෙම හිත කලබල වෙන්න හොඳ වෙලාවකුත් නෙමෙයි. නමුත් ඒ කිසිවක් ගැන නොහිතා වෙලාවක් බලන්නෙ නැතිව දෙපාරක් හිතන්නෙ නැතිව දෙන්න මහ රෑම ඇවිල්ල … ඒත් වැඩේ ලෙඩේ වෙලා තවත් ඇදුන නම් එදාම බබාත් හම්බ වෙනව 🙂

පහුවදා කන්තෝරුවට ගියාම නාට්ටියේ ඉතිරි කොටස පටන් ගත්ත, කණ්ඩගෙ අතුරුදහන් වීම ලැව් ගින්නක් වගේ ඇවිලිලා ගිහින්.  කවුද මේවට වග කියන්නෙ ??? වෙන කවුද ඉතිං කණ්ඩගෙ දයාබර හාමිනෙයි IT ටීම් එකේ ඉන්න අණ්ඩපාලයෝ ටිකයි තමා. අම්මපා මීට වඩා හොඳයි පොලිස් රිපෝට් එකක් ෆයිල් කරානං.

එදා දවසම මුළු කන්තෝරුවෙ කොල්ලයි බල්ලයි දන්න කියන හැම එකාටමයි මේ උන සංගදිය දෙක බිලියන, තුන් කෝටි හැටපන් මිලියන, දෙලොස්දාස් විසි එක් වතාවක්‌ විතර සැරින් සැරේ කියන්න උනා පරණ ග්‍රැමර්ෆෝන් තැටියක් වාදනය කරන්නා වගේ. කලින් දන්නවනං මේක කොම්පැනියෙ නිව්ස් ලෙටර් එකට දාල කියවපන් කියල නිකං ඉන්නව  … 😀 😀 😀

ඒ මදිවට ආපහු දෙන්නටම කන්තොරුවෙ එවුන්ගෙන් වැදුන මඩ පාරවල්  ? හාමිනෙ කණ්ඩ නැති උනාටත් වඩා හයියෙන් ඇඬුවේ කණ්ඩ යහතින් ඉන්නව කියල දැනගත්තහමලු … ඒ දවස් වල කන්තෝරුවෙන් දීපු ඩොලර් මිලියනය බාගෙක විතර රක්ෂනාවරණයක් ගන්න තිබ්බ චාන්ස් එකකට පයින් ගහපු එක හරි අපරාධයක්ලු …  කරන්නද සතියක් දෙකක් යනකන් ඔලු සාක්කුවේ දාගෙන තමයි ඉන්න ඉන්න උනේ 😀

දැන් ඉතිං මේ කතාව කියවන අය හිතනවා ඇති එතකොට අර කණ්ඩ පණිවිඩ දෙන්න බාර කරපු ඩෙනිස් ගොයියට අහවල් එකක් උනාද කියල ? වැඩේ කියන්නෙ කණ්ඩ එක්කම මිනිහත් අතුරුදහන් වෙලා. මිනිහට රෝමින් තිබ්බත් කිසිම දුරකතන ඇමතුමකට ප්‍රතිචාර නැතිලු. ඉතිං මේ ගැන දැන ගත්ත හැමෝම තවත් කලබලේට පත් වෙලා.

අන්තිමට බැලුවම වෙලා තියෙන්නෙ පාන්දර අමු ජාමෙ ගොඩබැස්ස ඩෙනිස් මහත්තැන් බොහොම සන්තෝසෙන් ගෙදර ගිහිං වැඩි හොඳට ෆෝන් එකත් ඕෆ් කරල පහුවදා දවල් වෙනකං නිදාගෙන. පහුවෙනිදා ඔෆිස් ගිහිං අහනකොට තමයි මිනිහට මාව මතක් වෙලා තියෙන්නෙ … ඔන්න ඔහොමයි මේ මනුස්සයගෙ වැඩ. කොහොම උනත් ඒකත් එක්ක තිබ්බ මළටම ආයි ඇයි හොඳයියක් තිබ්බෙත් නෑ වගේම ඩෙනිස්ගෙ සුපිරි කන්තොරුවෙ රැකියාවට වැඩිකල් ආයුෂ තිබ්බෙත් නැහැ .. එයිට කලකට පස්සෙ මොකක් නමුත් වලියක් දාගෙන මිනිහ කන්තෝරුවෙන් යන්න ගියා.

The Bag of Mysteriesඑතකොට මේ ඔක්කොටම මුල් උන අර රාජකීය බෑග් මල්ල ??? ආ ඒක දශකයකටත් වැඩි කාලයක් තිස්සෙ ඇෆ්ගනිස්තානයට යෙදුන පළමු ගමන ඇතුළුව මහාද්වීප තුනක, රටවල් 7-8 ක මගේ ගමන් සගයා විදිහට සවාරි ගහල තාමත් එදා වගේම මාත් එක්ක ඉන්නව. ඔය පහළින් දාල තියෙන්නෙ ඒකෙ පින්තුරයක්. නමුත් ඔය කතා හැම එකකටම වැදගත්ම දේ තමයි එදා කන්තෝරුවෙන් පහු කාලෙකදි ගෙව්වත් මේ හුටපටේ නිසා මට රුපියල් ලක්ෂයකට එපිට වියදම් කරන්න උන එක සහ ඒවයෙ බිල් ටිකත් මගේ අතින් නැති වෙලා ඒ ගෙවීම තවත් මාස ගානක් දිග්ගැස්සුන බව.

හැබැයි දැන් ඉතින් එකත් එකටම හැමෝම හිතයි බෑග් එකක් නිසා මෙච්චර කට්ටක් කාපු ඒකේ මල්ල පුරවල රත්තරන්, ඇත් දළ සහ අර අප්‍රිකාවෙන් එන ලේ දියමන්ති (Blood Diamonds ෆිල්ම් එක බලල තියෙන අය දන්නව) වගේ බොහොම වටිනා කියන දේ තියෙන්න ඇති කියල. අපොයි කොහෙත්ම නෑ ඒකෙ තිබ්බෙ ඇඳුම් කඩමාලු කිහිපයක් විතරයි … ලොකුම විහිළුව බෑග් එකේ වටිනාකම සහ අනිත් ඔක්කොම දැම්මත් අර අමතරව වියදම් කරපු ගාන වගේ 1/10 ක් වත් වටින්නෙ නෑ කියන එක 😀 😀 😀

ඕන බලන්න සහෝදරවරුනි කණ්ඩගෙ ටිකිරි මොළේ … ඒ වගේ මොළයක් පහළ වෙන්නෙ බොහොම කලාතුරකින් මනුස්සයෙක්ට … දහසකුත් වැඩ රාජකාරි මැද්දෙ ලියාපු … කොටස් කෙටි වැඩියි කියල ලියන පාරක් ගානෙ මෙන්ඩගෙන් බැනුම් අහපු  … කණ්ඩගෙ සෝමාලි හෑල්ල මෙතෙකින් නිමයි එහෙනං … අසා සිටි සහ කියවූ සහ අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි !

~ කණ්ඩා !

පෙර ලිපි :

ඇෆ්ගනිස්තානය ගැන ලියවුනු ලිපි   :

Advertisements