Ai EPS10

කැටපෝල කතා වත්ථුව

ප්‍රිය බුකීගත පහියවාසීන් වෙනුවෙන් කලකට කලින් ලියන්නට යෙදුනු මෙලෝ රහක් නැති මේ කතාව හුදී ජනයාගේ ලාම්පු සංවේගය උදෙසා නැවත පළ කරන වගයි !

ඇම්ඩන් ඇටය කාලෙ ඉඳන්ම හෙන අණ්ඩ පාලය කියල ඉතිං හැමෝම දන්න දෙයක්නෙ, තාත්තටයි අම්මටයි මුගෙන් හෙනම වදේලු මූත් එක්ක සෙල්ලම් කරන්න කියල. කොටින්ම තාත්තට ගෙදර ආපු වෙලාවේ ඉඳල මොකුත්ම වැඩක් කරගන්න බැරි ගමන මූට සෙල්ලම් කරන්න කැටපෝලයක් හදල දුන්නලු.

කැටපෝලෙ ඇම්ඩට කොයිතරම් නම් සාරෙට අල්ලලා ගියාද කිව්වොත් නිදා ගන්න යනකොටත් කැටපෝලෙ අතේ. නමුත් උපන්ගෙයි ඇට්ටරයෙක් වෙච්චි ඇම්ඩගෙ ඇස් මානෙට අහුවෙන හැම දෙයක්ම ඉලක්කයක් වෙන්න ගත්ත හන්ද ප්‍රශ්න ගොඩයි.

ටික දවසක් මෙහෙම යනකොට ගෙයි අඹ ගහ යට අභාවප්‍රාප්ත වෙලා ඉන්න ලේන්නු, දෙමලිච්චෝ, ඉස්කෝලෙ ගුරුවරුන්ගෙන් ලැබෙන ප්‍රගති වාර්තා සහ පාසලට පැමිණෙන්න කියල ගෙදරට ඇම්ඩ අතේම එවන ලියුම් වගේම කැටපෝල් රහ බලාපු ගෙයි ඉස්සරහින් යනෙන උදවියගෙ ඇම්ඩගෙ මෑණියන්වයි පියාණන්වයි සිහිකරන වාරයක් ගානේ පීනසේ තද වුණු අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට ඇම්ඩගෙ කන් දෙක පදං කරල කැටපෝලෙත් රාජසන්තක කරා 😦

අනේ ඉතිං අහිංසක ඇම්ඩ සැලුනද ? නෑනෙ .. නෑනෙ මූ ඉස්කෝලෙ ඉන්නකං ඇඟිලි දෙකකට රබර් පටියක් අමුණගෙන කඩදාසි උණ්ඩ දාගෙන ආපහු කැටපෝල් සෙල්ලමේ. ටික දවසක් ගිහින් රබර් පටිත් තහනම් ලැයිස්තුවට එකතු කරත් ඇම්ඩව නවත්තන්න බෑ … ගුරුතුමී ප්‍රශ්න පත්තර බැඳන් එන රබර් පටියයි කෑම පෙට්ටියට දාන රබර් පටියයි කියල නෑ ඒ ඔක්කොම ඇම්ඩගෙ කැටපෝල්.

කිසිම තරවටුවකින් පලක් නැති ගමන ආයෙත් වාරයක් ඇම්ඩගෙ අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලෙට ගෙන්නුව පන්තියෙ ගුරුතුමී උන්දැටත් මේ සුමේ කරල ඇති වෙලා මොකද මේකත් හොඳින් නෙමෙයි නරකින් කිව්වත් හැදෙන එකෙක්යැ.

ඉතිං අහිංසක ඇම්ඩගෙ නාහෙට නාහන කල්කිරියාව මට්ටු කරන හැටි ගැන සයකන් මන්ත්‍රණයක්, අන්තිමට තීරණය උනේ ඇම්ඩගේ වඳුරු නැටුම් ඔක්කොම එකා යකා නිසා කියල. ඉතිං ඒ ගමන ඇම්ඩවත් ඇදගෙන ඉස්කෝලෙන් එළියට බහිනකොටම ඇම්ඩගෙ මාපිය දෙපළ තීරණය කරාලු හැකි ඉක්මනින් ඇම්ඩට සෙල්ලම් කරන්න තවත් කාව හරි ගෙනහල්ල දෙන්න.

Little Girlඉතිං මේ තුන් කට්ටුව ඔහොම ආපහු යද්දි යන පාරෙම දන්නා අඳුනන ගෙයකට ගොඩ වැදුනලු සතුටු සාමීචියකට, මේ ගෙදර ඉන්නවලු බහ තෝරන වයසෙ ඉන්න හරි අපූරු හුරතල් කෙලි පැටික්කියෙක්. ජංගි කොටයක් ගහගෙන හුරතල් බස් කියා කියා දුව පනින මේ සීදේවි කෙල්ලව දැක්කම අනේ අර දෙන්න දෙමහල්ලන්ටත් ආදරේ දෝර ගලා ගිය ගමන ඇම්ඩව ලඟට අරන් ඇහුවලු පුතා ඔයත් කැමතිද සෙල්ලම්  කරන්න මේන් මේ වගේ නංගි බබෙක් ගෙනැල්ල දුන්නොත් කියල.

ටික වෙලාවක් අර පොඩිත්ති දිහා බලං හිටපු ඇම්ඩන් කිව්වලු ඔව් මේ වගේ ලස්සන නංගි බබෙක්ට නම් කැමතියි කියල, දැන් ඒ ගැටළුවත් හරි 🙂

නමුත් අර කෙළි පොඩ්ඩගෙ අම්මටත් නිකං කට පියාගෙන ඉන්න බැරුවට දැන් පුතාට නංගි බබෙක් ගෙනත් දුන්නහම එයත් එක්ක මොනවද කරන සෙල්ලම් ? කියල ඇහුවෙ ඇත්තටම ඇම්ඩ ගැන දන්නේ නැති නිසාලු.

අර පනින්න ඉන්න රිලවට ඉණිමං බැන්ද වගේ ඇම්ඩ ගත්ත කටටම පොල්ලෙන් ගහන්න වගේ කිව්වලු

කරන මොන සෙල්ලමත් ඉතිං නංගි බබාගෙ ජංගි කොටේ ගලවල තමයි කරන්න වෙන්නේ !

ඇටෙන් පොත්තෙන් බේරෙන්න කලින් කියපු ඒ නැහැදිච්චි අවලං කතාව ඇහුන ගමන් අර කෙළි පොඩ්ඩගෙ අම්මගෙයි මූණු හතරැස් වෙලා කන් දෙකෙන් දුං දාන සයිස්. ඇම්ඩගෙ දෙමව්පියන්ගෙ රෙදි ගැලවිලා … මේ උන හතර විලි ලැජ්ජාවට.

අද මූව මෙතනම මකල හරි හදනවා කියල හිතාගෙන ඇම්ඩගෙ කන පලල පොල් හිටවන්න තීරණය කරපු තාත්ත ඉඳන් හිටපු පුටුවෙන් නැගිටිනකොටම

ඇයි තාත්තෙ එහෙම නැතුව කොහොමද ඔය ජංගි කොටේ තියන ඉලාස්ටික් එකෙන් කැටපෝලයක් හදන්නෙ ?

කියල පටන් ගත්ත කතාවෙ ඉතිරි ටික ඇම්ඩන් කටේ දිවේ ගෑවෙන්නෙ නැතිව කියල දැම්මලු.

~ කතාව ඉවරයි !

පෙර ලිපි :