Coffee

නාරායන් සමග හැලපයියගෙ කෝපි කතා සහ කෝපි ඉතිහාසය

මේ ලිපිය බාගෙට ලියල දැන් අවුරුදු දෙකක් වෙන්න කිට්ටුයි … ඔය අතර කිහිප වතාවක්ම ලියන්න පටන් අරන් නැවැත්තුව නිසා එකම එක අච්චාරුවක් වගේ කතාවලට සම්බන්ධ උදවියටත් තේරුණොත් …  කතාවේ මුල මැද අග හොයා ගන්න බැරි උනොත් ගණන් ගන්න එපා … අපි .. අපිනෙ … තව පාරක් හම්බ වෙලා දෙක තුනක් අනුමත වෙලා තෝරා බේරා ගන්න බැරුවය … 🙂

මේ කතා වස්තුවේ නිධාන කතාව පටන් ගන්නෙ සකල සිරින් පිරි සිරි ලංකාවේ සති තුනකට එහා ගතකරල ආපු නිවාඩුවත් එක්කම. ආපහු ආ වෙලේ ඉඳන් අහවර කරන්න තියෙන දේවල් පටන් ගත්තහම ඉස්පාසුවක් නැහැ. නමුත් කන්තෝරුවෙදි හිතට පොඩි නිදහසක් ගන්න ඕන වෙච්චි ගමන මොකක් නමුත් කියවන්න හිතුන. ඒත් ප්‍රශ්නයක් මොකද්ද කියවන්නෙ ?

ඕං එතකොට තමයි සාජ ඉඳල ඕමාන් වල මස්කට් දක්වාත් එතන හිටං ලංකාවේ වේයන්ගොඩ දක්වාත් පෙරුම් පුරලා … පුරලා …  බොහොම අමාරුවෙන් හොයාගෙන හොයාගෙන ගොහින් සෙට් වෙච්චි හැලප කඩේ අධිපති හැලපයියව මතක් උනේ. තව මෙදා පාර අර බ්ලොග් ලියන ලියපු ගල් මුදලාලි කෙනෙක් ඉන්නෙ .. සජ්ජ කියල … දන්නවද ? ආන් ඒ පඩංගුවේ සජ්ජවයි හැලපයියවයි හම්බ වෙලා ආවට හිතේ හැටියට සෙට් වෙන්නනම් බැරි උනා.

ඒ ගල් මුදලාලිට වත්තෙ හතර මායිමෙන් එළියට බැස්සොත් හතර හන්දි කඩනව කියල උන්දැගෙ ආදරණීය බිරින්දෑ බේබි සිටින් ජොබ් එකක් බාර දීල තිබ්බ නිසා. ඒවට ඉතින් මොකවත් කියලත් බෑනෙ .. ළමයි හැදුවනම් බලන්නත් එපැයි නේද ? ඒ වගේම හම්බ වෙන්න හිටපු කිහිප දෙනෙක් පොලු තිබ්බත් කමක් නැහැ අටම්පහුරවයි හැලපයියයි එක්ක අනුමත වෙන්න ඉඩ ලැබුන එකත් ලොකු දෙයක්නෙ 😀

Coffee Beansපෙරුම් පුරාගෙන ගියත් තිබ්බ කඩි කුලප්පුවට මොළේ අවුල්ද මංද … ස්ටෙලාව ගෙදර තියල ගිහිල්ල නෙව, වස නව නිංගිරාවයි … යන ගමන මගින් එකක් ඇන්න ගියත් මොනව හරි හිතුවද මන්ද ? හැලපයියයි හැලපක්කයි අපි වෙනුවෙන් නොසෑහෙන්න මහන්සි වෙලා තිබ්බ. අටමා, කණ්ඩා සහ කණ්ඩගෙ නිල නොලත් මාතලී සම්පත් කියන තුන් කට්ටුව වෙනුවෙන් ආයි නෑ ගමකට කෑම උයල තිබ්බ. ඒ නිසා බිව්ව විතරක් නෙමෙයි හිත නරක් කරන්නෙ කොහොමද බුරිය උල් වෙනකන්ම වලඳන්නත් උනා (අපි නං එපා කියාවි).

කාපු බීපුව සහ නොබීපුව ගැන පඳුරු තැලුව දැනට ඔය ඇති …  ඔය වට වන්දනාව ගිහිං ඇවිදින් ආයෙත් ඔටු දේසෙට ගොඩ බැස්සහම වැඩ රාජකාරි මැද්දෙ මාස දෙහෙක විතර ඇරියස් වෙච්චි ලිපි ගොන්නක්ම තිබූන කියවන්න. කියවගෙන ආපුව කියවල අහවර වෙනකොට අන්තිමේදි නැවතුනේ හැලපයියගෙ නාරායන් සොයා යාමෙන්. ඒත් ඉතිං නාරායන් උන්නැහෙත් හදිසියේම මළා නෙව. කොහොමින් කොහොම හරි අන්තිමට නාරායන් උන්නැහේ පැත්තක, කතන්දරේ ඉවර උනේ හැලපයියගෙ කෝපි පෙරේතකමින් (මේ හැලපයියගෙම තවත් තිත්ත කෝපි කතාවක්).

Thiththa Kopiඒ ගමන කියවන්න කම්මැලි හිතිච්චි නිසා ආපහු මොනවා හරි  කුරුටු ගාන්න තිබ්බ නම් හොඳයි කියල හිතුණ, ඒකටත් හරි නිමිත්තක් තියෙන්න එපායැ. අන්තිමට හිතුව ඒකටත් කෝපිම ගමු කියල. අනුන්ගෙ පානෙන් එළිය බලන එක වැරදි උනාට ඉන් ලියන්න උත්තේජනයක් (Inspiration) ලැබෙනව නම් අනුන්ගෙ පානෙන් නෙමෙයි කෝපි එකෙන් එළිය බැලුවත් මොකෝ ? 😀

කොටස් කිහිපයකට ඇදෙයි කියල හිතෙන මේ හෑල්ල පටන් ගන්න කලින්ම පාපොච්චාරණයක් කරන්න මම කැමතියි ඒ මම ඉඳහිට කෝපි රහ බැලුවට කෝපි සංස්කෘතිය ගැන විස්තර හෙව්වට මම කෝපි රසිකයෙක් නොවෙන වග. ඒක කෝපි ගැන ලියන්න කොහෙත්ම බාධාවක් නෙමෙයිනෙ 🙂

ඕං එහෙනං කතාව පටා …. න් ගන්නයි යන්නෙ  !

කෝපි ඉතිහාසය

Coffee History

කෝපි ගසේ මුල් බිම ලෙස සැලකෙන්නේ ඉතියෝපියාවයි, ජනප්‍රවාද සහතිකවම ඔප්පු කරන්න බැරි උනත් දැනට සිදු කර ඇති ජාන පරීක්ෂණ අනුව පිලිගැනෙන්නෙ කෝපි ශාකය යේමනය වෙත ව්‍යාප්ත වන්නට ඇත්තේ කෆ්ෆා (Kaffa) නම් ඉතියෝපියානු ප්‍රදේශයේ ඇති වනාන්තර වලින් කියලයි. ඒ බොහෝවිට යේමන ජාතික වෙළෙන්දන් මාර්ගයෙන් විය යුතුයි. එමෙන්ම කෝපි හැඳින්වීමට භාවිත වන කොෆී, කැෆේ, (Coffee , Café) යන වදන් මේ අනුසාරයෙන් සැදි වචන බවට මත පල කරත් ඉතියෝපියානුවන් ඇම්හැරික් බසින් කෝපි හඳුන්වන්නේ බූනා (Buna) යන නමින්.

දැනට ලොව බහුලවම වගා කරන කොපි ප්‍රභේද ද්විත්වය කෆියා ඇරබිකා (Coffea Arabica) සහ කෆියා කැනිෆොරා/රොබස්ටා (Coffea canephora/robusta) නමින් හඳුන්වනු ලබනවා, මෙම දෙවර්ගයම ඉතියෝපියාවේ සිට පැතිරුණු කෝපි විශේෂ. ලොව පුරා කෝපි වගාවන් ගෙන් 60% තරම ප්‍රමාණය ඇරබිකා ප්‍රභේදය වෙද්දි ඉතිරියෙන් වැඩි කොටසක් රොබස්ටා ප්‍රභේදය වෙත වෙන් වෙලා තියෙනව.

කෝපි ඉතිහාසය හොයාගෙන යද්දි පැහැදිලිම කාරණය තමයි කිසිම දෙයක් පැහැදිලි නැහැ කියන එක. පැහැදිලිවම මේකට හේතුව කෝපි සොයා ගැනීමේ ගෞරවය දිනා ගන්න යේමනය සහ ඉතියෝපියාව කියන රටවල් දෙකම පොරකන නිසා. චීනයේ තේ පානය පටන් ගත්ත හැටි ඉපැරණි කතන්දර තියෙනවා වගේම මේ රටවල උදවියටත් කෝපි භාවිතය ඇරඹුණු ආකාරය සහ එයට මුල්වුණු පුද්ගලයින් ගැන ඔවුන්ටම ආවේණික ජනප්‍රවාද තියෙනවා. පහත දැක්වෙන්නෙ මට හොයා ගන්න පුළුවන් උන මේ ජනකතා ගැන සැකෙවින් විස්තරයක්. (ඒ ගැන විස්තර හොයාගත්තෙ මෙතනින්)

ඉතියෝපියාව

9 වැනි සියවසේ ඉතියෝපියාවෙ ජීවත්වූ කල්ඩි නැමැති එළුවන් ඇතිකළ ගොපල්ලෙක් තමන්ගෙ එළුවන් රංචුව දක්කද්දී යම් පඳුරු විශේෂයක හටගන්නා රතු පැහැ ගත් ගෙඩි ආහාරයට ගත පසු වඩා ප්‍රබෝධමත්ව හැසිරෙන බව දකිනවා.  ඉන් හටගත් කුතුහලයට නිසා කල්ඩිත් තීරණය කරනවා එළුවො වගේම මේ රතුපාට ගෙඩි අහාරයට ගෙන බලන්න. එළුවන් වගේම කල්ඩිටත් කම්මැලිකම මග ඇරිල ප්‍රබෝධමත් බවක් දැණුන නිසා ඒ සතුටට මෙයින් ගෙඩි කිහිපයක් ගිහින් තම ප්‍රදේශයේ පූජකවරයෙකු හට ලබා දෙන්නෙ මේ කතාන්දරය ගැන පැවසීමෙන් අනතුරුවයි.

නමුත් නිකම්ම නිකම් ගොපල්ලෙක් කියපු නිසාදෝ මේ කතන්දරය ගැන කිසිඳු තැකීමක් නොකරන පූජකයා අර කල්ඩි දුන්නු ගෙඩි සියල්ල ගින්නට දමනවා. කෝපි ගින්නට දැම්මහම වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඉතාමත්  නාසයට ප්‍රිය කරන සුවඳක් හැමීම නිසා මේ ගැන වැඩි දුර හොයන්න අර පිළිස්සුණු කොපි ඇට අඹරා වතුර දමා පානයක් ලෙස සකසනවා. ඔන්න ඔහොමයි කෝපි ගැන ඉතියෝපියානුවෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ.

යේමනය

යේමන ජන කතාවකට අනුව “ඝෝතුල් අක්බර් නූරුද්දින් අබු අල් හසන් අල් ශදීලි” (Ghothul Akbar Nooruddin Abu Al Hasan Al Shadhili) නම් යේමන ජාතික සූෆිවරයා ඉතියෝපියාව හරහා යෙදුනු වන්දනා ගමනකදී බොහොම ක්‍රියාශීලිව හැසිරෙන කුරුල්ලන් කෝපි ගසේ (Bunn Plant) ගෙඩි අහාරයට ගනු දැකල තියෙනව. ගමන් මහන්සිය නිවා ගැනීම උදෙසා මේ ගෙඩි අහාරයට ගත් විට එම ගෙඩි මත යැපුනු කුරුල්ලන් සේම ප්‍රබෝධමත් සහ ක්‍රියාශීලිබවක් දැනුන නිසා ඒ දැනුම අනිත් උදවිය සමග බෙදාගත් බවත් දැක්වෙනව. මේ ජන කතාවට අනුව නම් කතා නායකයා යේමන ජාතිකයෙක් උනත් කෝපි ඉතියෝපියාවේ.

නමුත් කෝපි හොයා ගැනීමේ ගෞරවය ඉතියෝපියාවට දීම මදිකමක් කියල හිතපු නිසාද මන්ද කෝපි සොයා ගැනීම යේමනයේම සිදු උන බව කියන තවත් ජනප්‍රවාදයක් තියනව. ඒ කතාවෙ කොනකත් අර කලින් සඳහන් කරපු ඇඩ්‍රස් එකක් තරමට දිග නමක් තියන “ඝෝතුල් අක්බර් නූරුද්දීන් අබු අල් හසන් අල් ශදීලි” ඉන්නව. (හම්මේ නම කියල අහවර උනාම මහන්සිය නිවා ගන්න කෝපි කෝප්පයක් ඕන 🙂 )

හැබැයි මෙතැනදි කතා නායකය වෙන්නෙ ෂෙයික් ඕමාර් කියන ඔහුගේ අනුගාමිකයෙක්, මේ හාදය පුජකයෙක් වගේම වෙදරාල කෙනෙක්. ඔහු වාසය කරන්නෙ කෝපි වෙළඳාම ප්‍රචලිත උන මුල් වකවානුවේ ඒ සඳහා බොහොම ප්‍රසිද්ධ නගරයක් උන යේමනයේ මෝකා (Mocha, Yeman) නගරයේ. අද බොහොම ප්‍රසිද්ධ කෝපි පානයක් වන මෝකා එහෙම නැතිනම් මොකැචිනෝ (Mocha/Mochaccino) වලට නම ලැබෙන්නෙත් මේ අනුසාරයෙන්.

ඉතිං කතාවේ හැටියට නම් ඕමාර්ට ඔය කිට්ටුව තිබ්බ කඳුකර වනගත වෙලා වාසය කරන්න උනාලු. එයට හේතුව විදිහට මේ වෙදමහත්තයා මහත්තය සුව කරපු රාජකීය කුමාරිකාවක් එක්ක පැනපු කොටුවක් අහු උන නිසා ලැබුණ දඬුවමක් කියලත් කියනව. අපි බලාගෙන හිටියයැ කවුද ඕවයෙ ඇත්ත නැත්ත දන්නෙ.

කොහොම උනත් ඔහොම ඉන්නකොට ඕමාර් උන්නැහේ බඩේ ගින්දර නිවා ගන්න කෝපි ගෙඩි වගයක් අමුවෙන්ම කන්න හැදුවත් තිත්ත වැඩි නිසා තිත්ත ගතිය අඩු වෙන්න ගින්දරට දාල කර කරාලු එතකොට බොහොම අපූරැ සුවදක් ආවත් හපන්න බැරි තරමට හයිය උන නිසා පස්සෙ වතුර දාල උණු කරාලු. අන්තිමට කෝපි ඇට කන එක පැත්තකින් තියල ඉන් හැදුන බොහොම සුවඳවත් දියරය පානය කරන්න ගත්ත කියල තමයි කතාවට කියන්නෙ. ඔන්න ඔහොමලු මිනිස්සු කෝපි බදින්නයි කෝපි බොන්නයි පටන් ගත්තෙ.

මැද පෙරදිග සහ කෝපි වල ව්‍යාප්තිය

Arab Coffee Shop.jpgඅරාබි ජාතිකයන් කෝපි හඳුන්වන්නෙ කාවාහ් (Qahwah) නමින්, නමුත් කෝපි ගස හඳුන්වන්න ඔවුන් භාවිත කරන්නෙත් බන් (Bunn) යන නම. කෝපි ලෝකය පුරා පැතිරෙන්න මුල් කාලයේදි නොසෑහෙන දායකත්වයක් ලබා දුන්නෙ යේමන සහ අනෙකුත් අරාබි ජාතික වෙළෙන්දන්. මේ කෝපි රැල්ල කයිරෝව, දමස්කස්, බැග්ඩෑඩ්, මක්කා, මදීනා සහ කොන්ස්තන්තිනෝපලය/ඉස්තාන්බුල් යන ප්‍රධාන නගර වලට පැතිරී තිබෙනවා.

එමෙන්ම විවිධ සන්නාමයන් යටතේ ලෝකය පුරා පැතිරුණ කෝපි කඩ සහ ඒ සමග බැඳුන සංස්කෘතිය යුරෝපීය අභාෂයක් විදිහට අපි දැක්කත් සැබවින්ම එහි ගෞරවය හිමි විය යුත්තේ අරාබි ජාතිකයන් හටයි. යුරෝපයේ කෝපි පැතිරීමට බොහෝ කාලයකට ඉහත ප්‍රධාන මැද පෙරදිග නගරයන්හි මෙවැනි කෝපි කඩ බහුලව පැතිර තිබුන බව සඳහන්. යුරෝපයට පසු කලෙක කෝපි පැතිරෙන්නෙ තුර්කිය හරහා විවිධ ආක්‍රමණ සහ වෙළඳාම යන ප්‍රධාන සාධක දෙකේ බලපෑම මත.

යුරෝපයෙන් 17වෙනි සියවසේදී නැවතත් ලන්දේසි සහ බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම් හරහා කෝපි වගාව ආසියාවට පැතිරුනත් අරාබි වෙළෙන්දන් මගින් එයට පෙර කෝපි ආසියාව වෙත පැමිණ තියෙනවා, ඒ අර ඇරබිකා කියන කෝපි විශේෂය. අද ලෝකයේ කෝපි නිෂ්පාදනයෙන් 30%  කට අධිකව එන්නෙ ආසියාවෙන්. නමුත් 1860 දි ලොව විශාලතම කෝපි නිෂ්පාදකයන් වන බ්‍රසීලය සහ ඉන්දුනීසියාව අතර හිටපු ලංකාව අද ඉන්නෙ 43 වෙනි තැන.

Hemileia Castatrix - Coffee Rust - Devastating Emilyමෙයට මුල කෝපි කොළ මළ කෑමේ වසංගතය හෙවත් කෝපි වවන්නන් විසින් විනාශකාරී එමිලි ලෙස හඳුන්වපු (Hemileia vastatrix – Coffee leaf rusting /Devastating Emily) රෝගය ලංකාව පුරා ව්‍යාප්ත වීම. මේ වසංගතය ඉදිරි 20 වසක වැනි කාලයක් තුළ මහා පරිමාණ කෝපි වගාවන් සියල්ල විනාශ කරන්නට යෙදුන. ඒ වගේම පහු කාලීනව හඳුන්වා දීපු තේ වගාව අතිශය සාර්ථක වීම නිසා ලංකාවේ කෝපි වගාවට නැවත හිස ඔසවන්න අවස්තාවක් ලැබුනේ නැහැ.

ලතින් ඇමරිකානු රටවල් වලට කෝපි වගාව ව්‍යාප්ත වෙන්නෙ හයිටි වැනි ප්‍රංශ යටත් විජිත හරහා. එවකට පෘතුග්‍රීසි සහ ස්පාඤ්ඤ යටත් විජිතයන්ව පැවති මෙම රටවල කෝපි වගාව මහා පරිමාණයෙන් ආරම්භ වෙන්නෙ 18 වන සියවසේදි. කෝපි වගාව කෙතරම් තදින් පැතිරුනාද කියනවා නම් වර්තමානයේදි ලොව කෝපි නිපදවන ප්‍රධාන රටවල් දහයෙන් 5 ක් සහ ලොව කෝපි නිෂ්පාදනයෙන් 61% ක් ලතින් ඇමරිකානු රටවල් අතර පවතිනව.

කෝපි සංඛ්‍යාලේඛන / Cofee Stats :

Coffee Production by Country

Coffee Consumption per Capita

ශ්‍රි ලංකාවේ කෝපි වගාවේ ඉතිහාසය

Ceylon Coffee Production - Colombo

Image : http://lankapura.com

බොහොම ඉස්සර සුද්දගෙ කාලෙ සිදු උන දේවල් ගැන කතා බහ කරනකොට අදටත් කට වචනෙට කියන්නෙ කෝපි කාලෙ කතා කියලනෙ. ඉතිං මේ කෝපි කාලේ  සිද්ද වෙච්ච කොපි කතාව එහෙමත් නැතිනම් ලංකාවෙ කොපි ඉතිහාසය හොයාගෙන යනකොට මට අරුණැල්ල කියන බ්ලොග් එකේ තිබිල පහතින් දාල තියන ඒ ඇත්තම “කෝපි කාලේ කතාව” හමුවුණා.

මට එයට එක් කරන්න තවත් කරුණු කාරණා නැති නිසාත් මෙතරම් හොඳින් ඉදිරිපත් කර ඇති විස්තරයක් ආපහු මුල පටන් කොටන එක තේරුමක් නැති කාලය කා දැමීමක් (Reinventing the wheel is a waste of time ! ) නිසාත් ඒ ලිපියට අදාළ ලින්ක් එක පහලින් දැම්ම.

අරුණැල්ල ~ ශ්‍රි ලංකාවේ කෝපි වගාවේ ඉතිහාසය (The history of coffee cultivation in Sri Lanka)

කැමති උදවියට ගිහින් කියවල එන එන්න කියල උනන්දු කරන ගමන් ඒ ලිපිය ලියාපු කෙනාටත් වචනයකින් හරි කමෙන්ට් එකක් දාල ස්තුති කරගෙන එන්නත් අමතක කරන්න එපා.

කෝපි වල තිත්ත කතාව

Coffee Plantation with Slaves

කෝපි වල ඉතිහාස කතාව රසවත් සේම වචනයෙන් විස්තර කළ නොහැකි තරමටම අතිශයින් තිත්තයි කියල ඇතැම් විට ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. කෝපි වගාව මිනිස් ශ්‍රමය වැය වෙන වගාවක් එනිසා ලාභ ලැබීම සඳහා අඩු මුදලට ලබා ගත හැකි ශ්‍රමය වෙනුවෙන් ප්‍රධාන තැනක් එහිදී හිමිඋනා. ඒ නිසාම කෝපි ඉතිහාසය වෙන් කරන්න බැරි තරමට වහල් සේවය සහ වෙළඳාම සමග තදින් බැඳී පැවතුනා.

17 සහ 18 වන සියවස පුරා හයිටි, ඉන්දුනීසියාව, බ්‍රසීලය, ග්වාතමාලාව වැනි රටවල් රාශියක කෝපි වගාවන් ව්‍යාප්තිය සිදු වූයේ තනිකරම පාහේ තම ගම්බිම් වලින් බලෙන් රැගෙන ආ මිලියන ගණනාවක අප්‍රිකානු ජාතික වහලුන්ගේ කර මතින්. ඒ දහඩිය, ලේ බොහොමයක් දෙනෙක්ට නොපෙනී කෝපි වලටම දියවෙලා ගිය බව තමයි තිත්ත ඇත්ත.

ඉතිං එහෙම බැලුවම දහ නව වන සියවසේ අග භාගය තෙක් තිබුණු මෙම කුරිරු වහල් ක්‍රමය නිසා හිංසාවට පත් මිලියන ගණනක් වූ මිනිසුන්ට කෝපි තරම් තවත් තිත්ත දෙයක් තවත් තියෙන්න පුලුවන්ද ? අදටත් රහ කරමින් කෝපි බොන උදවියගෙන් කී දෙනෙක් මේ ගැන දැනුවත්ද ?

ඒ හැම එකක්ම අතීතයට බාර දීල අමතක කරත් අදටත් මිලියන ගණනාවක් මිනිසුන් කෝපි කර්මාන්තය නිසා තමන්ගෙ ජීවිකාව සරි කර ගන්නව. නමුත් අපි ජීවත් වන 21 වෙනි සියවසේ පවා කෝපි (සහ තේ) වගාවන්ගේ සේවයේ නියුතු වන බොහොමයක් සේවකයන්ගේ ජීවිත වහලුන්ගෙන් වෙනස් වෙනස් වන්නෙ බොහොම සුළු වශයෙන්. අතිශය දිගු සේවා මුර, අවම වැටුප් සහ දුෂ්කර ජීවන තත්වයන් මෙයට හේතු වෙලා තියනවා.

Coffee Plantation

මෙම ඇතැම් කෝපි වතුවල සේවකයන් අපි අවන්හලකට ගිහින් බොන රසවත් කෝපි කෝප්පයකට වැය කරන මුදලින් සුළු කොටසක්වත් උපයන්නෙ නැති බව කිව්වොත් බොහෝ දෙනා විශ්වාස කරන එකකුත් නැහැ. ඒ නිසා මෙය නුතන වහල් සේවයේ (Modern Slavery) එක පැතිකඩක් විදිහට සැලකුවොත් එහි කිසිම වරදක් නැහැ.

කෝපි වල අපි නොදකින අනිත් පැත්ත තමයි පරිසර විනාශය, කෝපි වගාව තදින් ව්‍යාප්තව තියෙන්නෙ එහෙම නැතිනම් කෝපි තීරුව (Coffee Belt) විදිහට හඳුන්වන සමකය ආශ්‍රිත කලින් වනගතව පැවති වගාබිම් වල. කෝපි වගාව සඳහා ඉවක් බවක් නැතිව වනාන්තර සහ කඳුකර ප්‍රදේශ එළිපෙහෙළි කිරීම නිසා පාරිසරක ගැටළු රාශියක් පැන නැගිල තියෙනවා.

වනාන්තර විනාශයත් සමගම පස සෝදාපාළුව මෙන්ම කෘමි නාශක සහ පොහොර භාවිතය මෙම ප්‍රදේශ වල ජල දුෂණයට පාර කපල. එපමණක් නොවෙයි කෝපි නිෂ්පාදනයේදී ඉතිරි වන අපද්‍රව්‍ය දිය පාරවල් වලට මුසු කරන නිසා එහි බලපෑම තවත් වැඩියි. මේ හැම දෙයකම පල විපාක අපි දැනටමත් භුක්ති විඳිමින් ඉන්නව වගේම ඉදිරි පරම්පරා වලටත් ඒ කරදර ඒ විදිහටම බාර කරාවි.

එහෙනං අදට ඔය ඇති … සෙස්ස පස්සට, අලුත් කෝපි කතාවකින් ආපහු හම්බ වෙන්න බැරියැ 🙂

මතු සම්බන්ධයි !

~ කණ්ඩා

පරිශීලනය කළ ලිපි සහ තවත් විස්තර :

තවත් ලිපි :

කෝපි (කාලේ) කතා ~ II ~ කණ්ඩාගේ කෝපි කතා

පෙර ලිපි :