සෝමාලි කතා වගේ කතා හෙවත් වාලුකාවේ කුසුම
සෝමාලි කතා ඉවර කරල ආපහු හැරිලා බලනකොට තමයි මතක් උනේ .. ඒ කතා ඉවරයි කිව්වට ඉවරම නැහැ කියල. කණ්ඩා සතුව සෝමාලියාවට සම්බන්ධ තවත් ඉවර නොකරපු කතන්දරයක් තියෙනව. ඒ වෙන මොනවත් නෙමෙයි හම්බ වෙලා දැනට අවුරුදු 3 – 4 ක් වෙලත් කියවන්න පටන් අරන් අරගෙන අතරමග නවත්තල කුඩම්මාගේ සැලකිලි ලබමින් මගේ පොත් රාක්කයේ කොනකට වෙලා දුක් විඳින “කාන්තාරයේ කුසුම” පොත.
රංජිත් කුරුප්පු විසින් පරිවර්තනය කරන ලද මෙම කෘතිය කැත්ලීන් මිලර් (Cathleen_Miller) සහ වරිස් දිරී (Waris Dirie) විසින් රචිත Desert Flower කෘතියේ පරිවර්තනයක්. ප්‍රසිද්ධ සෝමාලි ජාතික සුරූපී මෝස්තර නිරූපිකාවක්, සමාජ ක්‍රියාකාරිනියක් සහ නිළියක් වන වාරිස් දිරීගේ චරිතාපදානයක් ලෙස ලියවුණු මෙය 1998 ප්‍රකාශයට පත්කරන ලදුව ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් උනා. පසුව 2007 දී මෙය සිංහලට පරිවර්තනය කරනු ලබනවා.
කවුරු උනත් අවතක්සේරු කරනව නෙමෙයි … මම කතෘ කෙනෙක්වත්, අඩුම තරමේ නිතර පොත් කියවන්නෙක් හෝ විචාරකයෙක්වත් (විකාරයක් නම් වෙන්න ඉඩ තියෙනව 🙂 ) නොවෙන එකේ මේ පොත කියවගෙන යනකොට බොහොම සන්තෝස හිතුන. ඒ පොත ගැන නෙමෙයි … මම පොත සල්ලි දීල නොගත්ත එක ගැන.
ඉංග්‍රීසි බසින් පල උන මෙහි මුල් කෘතිය කියවා නැති උනත් මෙම සිංහල පරිවර්තනයේ බස හැසිරවීම ඉතාම දුර්වලයි, රළුයි කියා තමයි මට හැඟුනෙ. ඒ සමහර විට ඒ කතාබහ වෙන මාතෘකාව බොහොම කර්කශ එකක් නිසා වෙන්නත් පුළුවන් නමුත් කියවාගෙන යනකොට මට දැනුනෙ වැල් වටාරම් කොටන්න පුළුවන්කම තිබුනට සිංහල භාෂාව ගැන වැඩි දැනුමක් නැති මංතුමා වගේ සියල්ල දත් උස්තාද් කෙනෙක්ගෙ ලියමනක් ගානට 🙂
ඔහොම දැනුන නිසා අවස්ථාවක් ලැබුණොත් මම මුල් පොතම කියවන බවට තීන්දු කිරීම තමයි මේ විදිහට පොත කොනකට තල්ලු වෙන්න අනිත් හේතුව. අන්තිමේදී පොත රස විඳීමට ඇති ආසාව පරදල කතාව දැන ගැනීමේ කුතුහලය ජය ගත්ත නිසා දැන් දවස් කිහිපයකට කලින් ආයෙත් මේ පොත කියවන්න පටන් ගත්ත.
දැන් ඒක එහෙමයි කියල මේ චරිතාපදානය කියවල කණ්ඩ තවත් නැව් ටෝක් සමග ලොකු ශාස්ත්‍රීය විචාරයක් කරාවි කියල බලාපොරොත්තු වෙන අය වෙන මොනවා හරි කියෙව්වට කමක් නැහැ … කොහොම වෙතත් අද මේ ලියන හෑල්ල වැඩි හරියක් වෙන් වෙන්නෙ වරිස්ට සහ ඇය මුහුණ දුන් දේට මිස කාන්තාරයේ කුසුම පොත ගැන නොවෙන නිසා එතරම් ගැටළුවක් ඇති වෙන එකක් නැහැ කියල හිතනව.
මේ පොත නිකුත් වෙන්න කලින් ලෝකයා වරිස්ව දැනගෙන හිටියෙ සුරූපී මෝස්තර නිරූපිකාවක් විදිහට සෝමාලි බසින් වරිස් කියන්නෙ කාන්තාරයේ කුසුම ඇගේ පළවෙනි පොතට නම යෙදෙන්නෙත් ඒ අනුසාරයෙන්. නමුත් ඒක මතක් කරනකොට ඔලුවට ආපු තවත් සිතිවිල්ලක් එක්ක කණ්ඩට බකස් ගාල හිනා ගියා … :- D නෑ .. නෑ .. ඒ හිනාව අපි මේ කියන වරිස් ගැන නෙමෙයි … වෙනත් වරිස් කෙනෙක් ගැන.
වරිස් කියන නම මැද පෙරදිග බොහෝදුරට පිරිමි නමක් විදිහට භාවිතා වෙන බව සමහරක් උදවිය නම් දන්නවත් ඇති … ඉතිං අපේ සවුදි කන්තොරුවෙ ඉන්න වයසක පහේ පකිස්ථානු ජාතික ගණකාධිකාරිවරයගෙ නමත් ඒකමයි … මට මැවිලා පෙනුන පපුව ගාවට රැවුල තියෙන වරිස් බිකිනියක් ඇඳන් කැට් වෝක් යන හැටි … හරි මෙතැනින් එහාට පීලි පනින්නෙ නැතිව ගොන් පාට් නොදා ඉන්න බලන්නම් 😀
කාන්තා ලිංග ජේදනය (FGM – Female Genital Mutilation)
කියවගෙන එනකොට එක පාරටම බොහොම දරුණු මාතෘකාවකට පැන්නෙ කොහොමද කියල හිතනව ඇති, එකපාරට උන දෙයක් නෙමෙයි වරිස් දිරී අවුරුදු පහක් තරම් කුඩා අවදියේම කාන්තා ලිංග ජේදනයට (FGM – Female Genital Mutilation) ගොදුරු වූ කාන්තාවක්. ඒ කුරිරු අත්දැකීම සහ එනිසා විඳින්නට වූ උහුලන්න බැරි වේදනා දුක් සහ ගැහැට වගේම එවන් ලිංග ජේදනයට හසුව ජීවිතය අහිමි වූ දැරියන් ගැන කියවන්න අසීරු තරමේ කතාවන් Desert Flower පොතට ඇතුළත්.
ඇය මුහුණදුන් අත්දැකීම් ගැන නිවැරදිව තේරුම් ගැනීමට සෝමාලි සමාජය, ඒ හා බැඳුනු ආගමික පසුබිම ගැන මෙන්ම කාන්තා ලිංග ජේදනය ගැන ඉතිහාසයත් හැදෑරීමට අවශ්‍යයි. සෝමාලි සමාජය පිතෘ මූලික ඉස්ලාම් නීතියෙන් හැඩ ගැසුන දරදඬු සමාජයක්. සෝමාලියානු කාන්තාවන්ගෙන් 98% ක් දෙනා මෙම කෘරත්වය අත් විඳිනව. නමුත් එය සෝමාලියාවට පමණක් අදාල දෙයක් නොවෙයි.
මෙම කුරිරැ සම්ප්රදාය ගිනියා, ජිබූටි, ඊජිප්තුව, සියරා ලියෝන්, ඉතියෝපියාව, නයිජීරියා සහ ඉන්දුනීසියාව වැනි රටවල බහුලවම පැතිර තිබුණත් තව බොහොමයක් රවල් ඒ ලැයිස්තුවට අයත් (වැඩි විස්තර පහතින්). එමෙන්ම අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාව ඇතුළත්ව ලොව පුරා දැරියන් සහ කාන්තාවන් මිලියන 200 ක් දෙනා පෙලන කාරණයක් නිසා සුළුකර තකන්න පුළුවන් දෙයක් නෙමෙයි.
මේ සම්බන්ධව අදහස් දක්වන ඉතිහාසඥයන් එහි ආරම්භය ගැන විවිධ මත දරනව, ඉන් සමහරෙක් කාන්තා ලිංග ජේදනය ක්‍රිස්තු පූර්ව අටවැනි සියවස තරම් ඈතට යන බව සලකනව. ඒ වගේම වර්තමානයේ ඉස්ලාම් ආගම අදහන සමාජයන්ගේ පැතිර තිබුණත් මෙය ඉස්ලාම් ආගමට බොහෝ කාලයකට පෙර පටන් අප්‍රිකානු සහ මැදපෙරදිග කලාප වල පැතිර තිබුණු චාරිත්‍රයක් ලෙස සැලකෙනව.
නමුත් පසුකාලීනව මෙම කලාපයට ඉස්ලාම් ආගම පැතිරුනා පමණක් නෙමෙයි මෙය මුහම්මද් නබිතුමා විසින් අනුමත කරනු ලදැයි හදිත් (Hadith) Sunan Abu Dawood) වල සඳහන් වන නිසා මෙයට පක්ෂ ඇතැම් මුස්ලිම්වරුන් ලිංග ජේදනය සාධාරණීකරණය කරන්න සහ එයට ආගමික සුජාතභාවයක් දෙන්න භාවිත කරනව.
නමුත් මෙම කුරිරු සම්ප්රදාය ඉස්ලාමයට සපුරා පටහැනි බවත් මේ බව සඳහන් අදාල හදිතය විශ්වාසනීය නොවන බවත් එම හදිතය මුහම්මද් නබිතුමා විසින් පවසන්නට හෝ අනුගමනය කරන්නට යෙදුන දේ බවට පිළිගත හැකි සාක්ෂි නොමැති බව වත්මන් ඉස්ලාමීය උගතුන්ගේ පිළිගැනීම.
එමෙන්ම මෙම කලාපය තුළ වෙසෙනා මුස්ලිම් ජාතික කාන්තාවන් පමණක් මුහුණ පාන දෙයක් ලෙස සලකනවා නම් එයත් නිවැරදි නැහැ, හේතුව ඇතැම් අප්‍රිකානු ක්‍රිස්තියානි භක්තිකයන් අතරත් මෙම ම්ලේච්ඡ ක්‍රියාව පැතිර තිබීම. එනිසා ආගම් මගින් ව්‍යාප්ත උනත් මෙය ආගමක් මත පටවනවාට නොදියුණු පුරුෂ මූලික සමාජයක ඇතිවුණු අතිශය කුරිරු විකෘතියක් ලෙස සලකන්න පුළුවන්.
සෝමාලි හෝ මෙම සිරිත ප්‍රචලිත අනෙකුත් රටවල කාන්තාවන් විවාහ වීමේදී ඔවුන් ලිංග ජේදනයට ලක් වී නොමැතිනම් ඔවුන් ප්‍රතික්ෂේප වීමේ සමාජ පීඩනය මත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ දෙමව්පියන් මෙම අපරාධය වෙත තල්ලු වෙනව. එය නවත්වන්න නම් ඒ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සහ ආර්ථික තත්වය වැඩි දියුණු කරන්නම වෙනව. නමුත් ගැටළුව ඒක කවදා සිදු වේවිද කියන එක ?
වරිස් දිරී නම් දිරිය කතකගේ අරගලය
ඉහත සඳහන් කරපු ටික කියෙව්වා නම් සෝමාලියාව වැනි රටක කාන්තාවන් සතු අයිතිවාසිකම් සහ ඉදිරියට එන්න ලැබෙන අවස්තාවන් බොහොම සීමිතයි කියල අමුතුවෙන් කියන්න අනවශ්‍යයි. එවන් අඳුරු තැනකින් ජීවිතය පටන්ගත් සෝමාලි ජාතික ගොපලු දැරියක් සුරූපී මෝස්තර නිරූපිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඉදිරියට පැමිණි ගමන් මග අතිශය කටුක වගේම විස්මයජනකයි. මේ පොත පුරාවට ඇදී යන්නෙ ඇගේ ඒ කතාව සහ නොනවතින අරගලය.
ඉතියෝපියානු (Ethiopia) දේශ සීමාවට ආසන්න ගල්කායෝ (Galkayo) නම් කාන්තාර පෙදෙසක දරුවන් දොළොස් දෙනෙකුගෙන් යුතු සෝමාලියානු එඩේර පවුලක ඉපදුන වරිස්ගේ ළමා කාලය බොහොම කටුක එකක් උනත් ඇයම පවසන ආකාරයට එම පළාතේ හැටියට එය බොහොම සාමාන්‍ය දෙයක්. කාන්තාරයටම හැඩ ගැසුන කුඩා එඬේර දැරියක් ලෙස ඒ හැමදේම දරා ගත්තත්, ඔටුවන් පස් දෙනෙකුගේ හුවමාරුවට වියපත් මිනිසෙකුගේ සහාකාරිය වීම නොඉවසන ඇය සිය නිවසින් පලා යනවා.
කාන්තාරයේ ඇයට හිමිවෙන්නට තිබුණු අඳුරු අනාගතයකින් මිදිලා දෙපා සහ සිවුපා සතුන්ගෙන් ජීවිතය රැක ගනිමින් දහසක් දුක් ගැහැට මධ්‍යයේ මොගඩිෂූ වෙත එනව. එහිදී වාසනාවට ඇයට නැවතත් තම මව් පාර්ශවයේ නැන්දනියක් හමු වෙනවා විතරක් නොවෙයි එක්සත් රාජධානියේ තානාපති දූරයක් දැරූ ඥාතිවරයකු යටතේ සේවය කිරීම සඳහා ලන්ඩන් නුවර වෙත යාමටද අවස්ථාව උදා වෙනවා. නමුත් ඥාතීත්වය කෙසේ වෙතත් එහිදී ඇයට හිමි වන්නේ නිවසේ මෙහෙකාරියක වශයෙන් රැඳී සිටීමට.
තම ඥාතිවරයා සිය දූරය අවසන් කර නැවත සෝමාලියාවට යද්දී වරිස් නීති විරෝධී ලෙස ලන්ඩන් නුවර රැඳී ඉන්නට තීරණය කරන්නෙ තම ගමන් බලපත්‍රය සඟවා තබමින්. ඉන් පසුව නැවතත් වාසනාව ඇය පසු පස එන්නෙ ඇයට හමුවන තවත් සෝමාලි ජාතික කාන්තාවක් මගින්. අගේ උදව්වෙන් YMCA නවාතැනක සිටිමින් මැක්ඩොනල්ඩ් අවන්හලක පිරිසිඳු කරන්නියක වශයෙන් රැකියාවක් ලබා ගන්නවා පමණක් නොවෙයි එතෙක් නූගත් තරුණියක වූ ඇය ඉංග්‍රීසි කියවීමට සහ ලිවීමට ඉගෙන ගන්නවා.
මැක්ඩොනල්ඩ් අවන් හලේ සේවය කරන අතරතුරදී (සහ ඉන් පෙර ඇගේ ඥාතිවරයා යටතේ සේවය කරද්දී) මෝස්තර නිරූපන ක්ෂේත්රයට සම්බන්ධ ජායාරූප ශිල්පියෙකු වූ මයිකල් ගොස් (Michael Goss) හට අහම්බයෙන් නෙත ගැටීම නිසා වරිස්ගේ ජීවිතයේ තවත් කඩ ඉමක් හමු වෙනව. ඔහුගේ උදව්වෙන් එතැන් සිට ටෙරන්ස් ඩොනවන් (Terence Donawan) හරහා මෝස්තර නිරූපන ක්ෂේත්රයට දොරගුළු විවර වීම නිසා කාලයත් සමගම ඇය ලොව සුපිරි නිරූපිකාවක් බවට පත් වෙනව.
Elle, Glamour, සහ Vogue වැනි ලොව ඉහළින්ම වැජඹෙන විලාසිතා සඟරා ඇයගේ පින්තූර වලින් හැඩ වෙන්න ගන්න මේ වකවානුවේ මුදල්, ප්‍රසිද්ධිය වගේම මෙරු වගේ ඇදෙන මිතුරන් සහ ක්ෂේත්රයේ ඇති නොයෙකුත් අහිතකර දෑ ඇය පසුපස එනව. නමුත් අවසානයේ ඒ හැම දෙයකින්ම තාමාට අවැසි ජීවිතය තෝරා ගන්න ඇය සමත් වෙනව.
1997 දි තම වෘත්තිය ජිවිතයේ සහ ජනප්‍රියතාවයේ හිනි පෙත්තේදි තමන් අත් විඳි ලිංග ජේදනය (FGM) සහ ඒ අඳුරු අතීතය ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ලෝකය හමුවේ තැබීම නිසා ලොව පුරා මේ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් සමාජය තුළ ඇති වෙනවා. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න වරිස් මෙම කුරිරු සම්ප්‍රදායට විරුද්ධව සටන් කරන්නට, ඉන් බැට කන කාන්තාවන් දැනුවත් කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අත්වැල් බැඳ ගන්නවා.
එහිදී එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂ තානාපතිවරියක් (UNFPA Goodwill Ambassador for the Elimination of Female Genital Mutilation) වශයෙන් 1997 – 2003 දක්වා කාලය තුළ කටයුතු කරන ඇය ලොව ප්‍රකට සමාජ සේවකයන්, දේශපාලඥයන් සහ නළු නිළියන්ගේ උදව් උපකාර තම අරමුණ වෙනුවෙන් ලබා ගන්නට සමත් වෙනව.
කැත්ලීන් මිලර් සමග එක්ව Desert Flower පොත ප්‍රකාශයට පත් වෙන්නෙ ඉනුත් අවුරුද්දකට පමණ පසුව, එමගින් අයගේ සමාජ සත්කාර සඳහා තවත් විශාල පිටුවහලක් සහ ප්‍රසිද්ධියක් ලැබෙනව. ලියන්නට කියවන්නට බැරි නූගත් දැරියක්ව සිටි ඇය පොතක සම කතුවරියක් වීම ඇය කෙතරම් ඉදිරියට ආවද යන්නට කදිම නිදර්ශනයක්.
වර්තමානයේ වරිස් ඇය විසින් පිහිටුවන්නට යෙදුනු Waris Dirie Foundation/Desrt Flower Foundation පදනම මගින් තම සමාජ සත්කාරය ඉදිරියට ගෙනියනව. 2002 දී ආරම්භ කරන ලද මෙම පදනමේ ප්‍රධාන අරමුණ කාන්තා ලිංග ජේදනය සපුරා පිටු දැකීම උදෙසා සමාජය දැනුවත් කිරීම සහ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටිමින් සහන සැලසීම. මෙම අරමුණ වෙනුවෙන් කැපවුණ රාජ්‍ය නොවන සංවිධාන අතර මෙම පදනම පෙරමුණ ගන්නව.
පසු කාලීනව 2009 දී ඇගේ Desert Flower කෘතිය නමින්ම චිත්‍රපටයක් නිර්මාණය වෙනවා, ෂෙරී හෝමාන් (Sherry Hormann) අධ්‍යක්ෂණය කරන එහි වරිස්ගේ චරිතයට පණ පොවන්නෙ සුරූපි ඉතියෝපියානු ජාතික නිරූපන ශිල්පිනියක් සහ නිළියක් වන ලියා කෙබෙදි (Liya Kebede). එය තවම රස විඳින්න අවස්ථාවක් නොලැබුණ උදවියට සිංහල උපසිරැසි සහිතව නරඹන්න අවස්තාව තවමත් මේ සබැඳියෙන් තියෙනව.
ඇගේ නිරූපන, ලේඛක සහ සමාජ සත්කාරක නිසාවෙන් ඇය අන්තර්ජාතිකව පිළිගැනීම් සහ සම්මාන රාශියක් දිනා ගත්තත් අදටත් අගේ ගමන නිම වෙලා නැහැ. අදටත් වරිස් තම Desert Flower පදනම සහ අනෙකුත් සංවිධාන හරහා ලිංග ජේදනය සහ කාන්තා අධ්‍යාපනය වැනි අරමුණු වෙනුවෙන් දිගටම සටන් වදිනව.
වරිස් වෙත පිරිනැමුණු සම්මානය :
- Woman of the Year Award (2000) by Glamour magazine
- Corine Award (2002) of the umbrella association of the German bookselling trade
- Women’s World Award (2004) from former President of the USSR, Mikhail Gorbachev
- Bishop Óscar Romero Award (2005) by the Catholic Church
- Chevalier de la Légion d’Honneur (2007) from former President of France, Nicolas Sarkozy
- Prix des Générations (2007) by the World Demographic Association.
- Martin Buber Gold Medal from the Euriade Foundation (2008),founded by Werner Janssen in 1981
- Gold medal of the President of the Republic of Italy (2010) for her achievements as a human rights activist
වරිස් දිරීගේ කෘති :
- Desert Flower (1998)
- Desert Dawn (2004)
- Desert Children (2005)
- Letter to my mother (2007)
- Schwarze Frau, weißes Land (2010)
- Saving Safa (2014)
කාන්තා ලිංග ජේදනය (FGM) සහ වරිස් දිරී ගැන තවත් විස්තර :
- Sri Lankan Muslim groups call for female circumcision to be medicalised
- Islam and Female Genital Mutilation (FGM) by Nigeen Dara
- Female Genital Mutilation – Wikipedia
- Prevalence of female genital mutilation by country – Wikipedia
- Religious views on female genital mutilation – Wikipedia
- WARIS DIRIE ‚Desert Flower‘ and Desert Dawn‘ (summary of and background to the autobiography)
- වරිස්ගේ Facebook පිටුව
- It Cuts So Deep – Independant
- Supermodel’s story is no fluff job – CNN Books Review
පසු ලිපි :
මේ විස්තර කරපු කරුණු කාරනා බොහොයක් කණ්ඩ සෝමාලියාවේ සංචාරය කරපු කාලයේ දැන හිටියෙ නැහැ … නමුත් කුතුහලය කියන්නෙ යටපත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.
ජූලි 28, 2019 at 6:49 ප.ව.
ආගම් හින්දා මිනිස්සුන්ට හොඳ වගේම බරපතල විදිහට දුක් කම්කටොලු වලට ලක් වෙන්නත් වෙනවා. ඒවට ගොඩක්ම හේතුව මුල් ආගමට වඩා ඒවා පස්සෙ කාලෙ වෙනස් කරලා හදපු ආගම්.
කැමතියිLiked by 1 person
ජූලි 29, 2019 at 12:22 ප.ව.
ආගම් මිනිස්සුන්ගේ හිතීමේ හැකියාව මොට්ට කරනව, ඒ හින්දා දැන් නම් හොඳට වඩා නරකක් වෙන බව තමයි මගේ මතය 🙂
කැමතියිකැමතියි
ජූලි 29, 2019 at 6:18 පෙ.ව.
ළමා විවාහ වාගේ හෙට අනිද්දා මේකත් අපේ මුසල්මානියන් ලංකාවේ කරන්න පටන්ගනිද දන්නේ නෑ.
කැමතියිLiked by 1 person
ජූලි 29, 2019 at 6:35 පෙ.ව.
දැනටත් තියෙනවලු !
කැමතියිLiked by 1 person
ජූලි 29, 2019 at 9:38 පෙ.ව.
http://www.dailymirror.lk/article/Muslim-groups-call-for-female-circumcision-to-be-medicalised-155186.html
කැමතියිLiked by 1 person
ජූලි 29, 2019 at 9:45 පෙ.ව.
This is really barbaric !
කැමතියිකැමතියි
ජූලි 29, 2019 at 9:39 පෙ.ව.
http://fgm.co.nz/background-to-fgm/
කැමතියිLiked by 1 person
ජූලි 29, 2019 at 9:47 පෙ.ව.
Go through following sources added to the post, that will give you more insight about the issue
•Islam and Female Genital Mutilation (FGM) by Nigeen Dara
•Female Genital Mutilation – Wikipedia
•Prevalence of female genital mutilation by country – Wikipedia
•Religious views on female genital mutilation – Wikipedia
කැමතියිකැමතියි
ජූලි 29, 2019 at 12:15 ප.ව.
කාලීනයි, මානුෂීයයි, රසවත්.
කැමතියිLiked by 1 person
ජූලි 29, 2019 at 12:19 ප.ව.
ස්තූතියි නිමල් අයියෙ ! 👍
කැමතියිකැමතියි
ජූලි 30, 2019 at 10:17 පෙ.ව.
මමත් මේ පොත් කීපයක් කියවලා තියෙනවා.වැඩි විස්තර වලට ගොඩාක් ස්තුතියි
කැමතියිLiked by 1 person
ජූලි 30, 2019 at 3:15 ප.ව.
ස්තුතියි බ්ලොග් එකට ගොඩ වැදිල කියෙව්වට !
කැමතියිකැමතියි