Cooking

කෑම සහ ඉල්ලං කෑම

සාමාන්‍යයෙන් කණ්ඩ කන්තොරුවෙ වැඩ අහවර කරල ගෙදර ආවහම පොතක් පතක් කියවනවට වඩා දවසේ වැඩ කතා බහ කරන ගමන් හාමිනේ කියන දෙයක් අහගෙන හූ මිටි තියන ගමන් Netflix ටෙලි වෘතාන්තයක් අස්සට රිංගල අතුරුදහන් වෙන එක තමයි සිද්ධ වෙන්නෙ … ඔව් කන්තෝරුවෙත් අයිස් ගෙදරත් අයිස්ම තමයි (එහෙම හිතා ගන්නකෝ … 🙂 ) !

ගෙදර ඇවිල්ල ඇඳුම් මාරු කරගෙන මම කඩවසම් රූපවාහිනිය (නෑ .. නෑ .. මම නෙමෙයි කඩවසම්  කිව්වෙ රූපවාහිනිය … අර Smart TV කියන්නෙ) ඉස්සරහ වාඩි උනා විතරයි …  හාමිනේ බොහොම ආදරයෙන් ඒක නෙමෙයි බ ..බා …. කියල බොහොම ආදරෙන් ඇදල පැදල කතාව පටන් ගන්නකොටම මම දන්නව එන්නෙ හොඳ පොටකට නෙමෙයි බව. අනේ ඉතිං එහෙම පටන් ගන්න වාක්‍ය බොහෝ විට ඉවර වෙන්නෙ … අද රෑට කන්නෙ මොනවද … ? කියල.

කණ්ඩගේ වාසනාවට හාමිනේට අම්මල දෙන්න වගේම හොඳට කටට රහට උයන්න පුළුවන් … දැන් අවුරුදු දොළහක් තිස්සෙ කණ්ඩගෙ ඉන වටේට තැන්පත් වෙලා තියෙන සෞභාග්‍ය මේකට සාක්කි … නමුත් රස්සාවට ආයුබෝවන් කියල ගෙදර නැවතිලා සැප ජීවිතේට පුරුදු උනාට පස්සෙ උන්දැ දැන් වස කම්මැලිය.

කලින් ව්‍යාපෘති කළමනාකාරිණියක් විදිහට වැඩ කළ නිසාදෝ හාමිනේ මොනව කරත් හරි පිළිවෙලයි … තවමත් වැඩ කරන දවස් සහ නිවාඩු දවස් වශයෙන් වෙන් කරපු, සතිය පුරාවටම නොනවත්වා දුවන Work Schedule එකක් හෙවත් වැඩ කාල සටහනක් තියෙනව.

ශේක් මාමලාගෙ පිහිටෙන් අපේ වියදමෙන් වාසය කරන මැද පෙරදිගට ගැලපෙන්න හදාපු ඒ  කාල සටහනේ හැටියට සති අන්තය වෙන සිකුරාදා සහ සෙනසුරාදා අනිවාර්ය නිවාඩු .. එදාට උයන පිහන ගේ අස් කරන වැඩ නෑ … ඒ ඇරෙන්න සතියෙ ඉරිද, සඳුදා, අඟහරුවාද, බදාදා සහ බ්‍රහස්පතින්දා දවස් ටිකත් නිවාඩු.

හැබැයි ඉතිරි දවස් ටිකේ වැඩ …  නෑ .. නෑ .. ඒත් හාමිනේ නෙමෙයි … ගෙදර දොර අස්පස් කරල යන්න එන අහිංසක බංගාලි ගෑණු ළමය.

ඔය කියපු හේතු නිසා සෑහෙන්න කාර්ය බහුල අපේ ආර්යා තොමෝ ඉඳහිට සතියට දවස් කිහිපයක් කම්මැලිකම ඉහට ගැහුවම උයන්න හොර කොටනව. එදාට අද රෑට කන්නෙ මොනවද … ? කියන ප්‍රශ්නෙ හාමිනේ ඇහුවම පවුල් සංස්ථාවේ උන්නතිය සහ සහජීවනය වෙනුවෙන් මම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දයාබර සුවාමි පුරුෂයගෙ පාට් එක රඟපාන්න ඕන.

ඒ කියන්නෙ මං අහන්න ඕන … ඉතිං මොනවද දැන් ඕඩර් කරන්නෙ …? කියල !

එහෙම නොකර වැරදිලාවත් ගෙදර තියෙන මොනව හරි හදල ගම්මු  ! වගේ ගොබ්බ් උත්තර දුන්නොතින් එදාට බින් ලාඩ්න් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගැහුව වගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, භූ-ගෝලීය, දේශපාලනික සහ කාලගුණික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. (මේ වගේ පොඩි දේකටත් කාලගුණයත් ගෑවෙන්නෙ කොහොමද කියල ඔහේලට ප්‍රශ්න තියෙන්න පුළුවන් … ඔයාල අහල තියෙනවනෙ වැහි නැති අකුණු ගැන ? )

දැන් පොඩි විරාමයකට යනව වෙළඳ දැන්වීමක් පල කරන්න අවශ්‍යතාවයක් තියෙන නිසා, ගරු රඟපෑම් හාමිනේ

OnLine Food Deliveryඉතින් මංතුමා සාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජංගමයව අතට අරගෙන ඒකෙ තියෙන සොමාටෝ (Zomato) කියන මහා බල සම්පන්න ආයුදේ කල එළි බස්සවනව. මැදපෙරදිග කණ්ඩා ඉන්න ඉසව්වෙ බඩේ ගින්දර ඇවිලුන වෙලාවට සොමාටෝ කියන්නෙ ආයි නෑ අර අකුරු තුනේ දෙයිය … සියුස්ටත් (Zeus) වඩා බල සම්පන්නයි.

මේ ගැන නොදන්නා කෙනෙක් ඉන්නව නම් ඒ අයට සොමාටෝ කියන්නෙ ආපන ශාලා ගැන කෑම බීම ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් Mobile App එකක්. ලංකාවෙත් තියෙනව කොළඹ අවට නම් මගේ හිතේ.

හරි …හරි ..  දැන් ඇඩ් දාල ඉවරයි !

අනේ ඉතිං පින්වත්නි අහිංසක සැමියෙක් සොමාටෝ ඇප් එකත් ඕපන් කරගෙන … කොතනින්ද කෑම ගෙන්නන්නෙ කියල හාමිනේගෙන් අහනව … ඒ වෙලාවට කනා මුට්ටියට පොල්ලෙන් ගැහුවා වගේ “ඕන තැනකින්” ගෙන්නන්න වගේ බොහොම කෙළින් උත්තර භාර්යාව ආර්යාවගෙන් ලැබෙනව.

ඉතිං අර අහිංසක සුවාමි පුරුෂය හති දාගෙන ජංජාලෙ පීරමින් “ඕන තැනක්” රෙටෝරන්ටුව හොයනව … ඒත් කියන්න දුකයි සුපින්වත්නි … සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා හෙව්වත් අනේ එහෙම එකක් ඔය අටමගලෙ නැහැ … ඉතිං ඔය වග හාමිනේට දැනුම් දුන්නම උන්දැට නිකං නිස්කාරණේ ඩෝං යනව … නෑ … නෑ … තරහ යනව .. (අර්ශස්ද මන්ද) !

අනේ මේ මගෙන් මොකවත් අහගන්නෙ නැතිව කෑම ඕඩර් කරනවද ?

කලින් ඕඩර් කරපු ඒව ලිස්ට් එක බලල “මොනව හරි” ඕඩර් කරන්න ඉක්මනට** !!!

ඉතිං එහෙම අහිංසක ඉල්ලීමක් කරහම අහක දාන්න බැරි නිසා මං මුවින් නොබැන තියෙන රෙටෝරන්ටු එකෙන් එක හොයනව … ම්හ් … එකකවත් “මොනව හරි” විකුණන්න නෑ … ඉතිං ඕක ආයිත් හාමිනේට කියල … ඇයි මනුස්සයෝ අද රෑ කෑම කන්න වෙන්නෙ හෙට උදේටද ? කියල අහගන්න ඕනෙ නැති නිසා හිතට එන කෑම ලැයිස්තුව කියල දානවා.

පීට්ස, පැස්ට, තෝසෙ, මුශාල්ටට්, මන්දි, මද්බි, BBQ, බර්ගර්, බිරියානි, මික්ස්ඩ් ග්‍රිල්, චයිනීස් ෆ්‍රයිඩ් රයිස්, සුප්, පරෝට, කඩායි, කොර්මා, නාන්  … එකී මෙකී නොකී ජාති කෝටියයි හැබැයි අවාසනාවට රතු අයිය අන්කල්ගෙ 250 දකුණු චයිනීස් රයිස් මෙහේ නැහැ (චීන ගාවත් නැහැලු) 😦

ඔය මොනව කිව්වත් හාමිනේගෙ එක ඩෑෂ් පාරකින් බෝලෙ පැලිලා යන නිසා ගේම් එක නතර කරන්න වෙනව  නෑ .. නෑ  … ඒව කන්න බෑ … අද ලංකාවෙ කඩෙන් කමු ! හාමිනේ කණ්ඩව නිශේධ බලතල දාල කැන්සල් කරල අවම විධායක බල තල පාවිච්චි කරල තීරණය කරනව. අපරාදේ අර දඟලපු පැය බාගෙ, දැන් බඩ පණුවො බොක්සිං ගහන ගානයි.

කොහොමින් කොහොම හරි කෑම ඕඩරේ දීගත්ත කියමුකෝ … දැන් ඕක එන්න විනාඩි 45 ක් පැයක් විතර යනව … එතකං හාමිනේ මේ කොමඩි නාටකයෙ ඉතිරි ටික රඟ දක්වනව… කෑම එන්නෙ කීයටද … ? සල්ලි ගෙව්වද  ? … ඉක්මනට එවන්න කියල කිව්වද … ?

ඔය ප්‍රශ්න ටික ඉවර උනාට පස්සෙ .. තාම නැද්ද ? තව කොයිතරම් වෙලා යනවද ? තාම නැද්ද අනේ  …?  දැන් හොඳටම බඩගිනියි ! ඔය ප්‍රශ්න ටික හැම විනාඩි දෙක තුනකට සැරයක් රිපීට් වෙනව. හැබැයි මිත්‍රවරුණි එහෙමයි කියල “ඉතිං බඩගිනියි නම් උයන්න තිබ්බනේ …!” වගේ ගොං කතා නම් කණ්ඩ කියන්න යන්නෙ නැහැ.

වැරදිලාවත් එහෙම කිව්වොත් අහස කලු කරල පොළව ගුගුරන්න අරගෙන හෙණ ගෙඩි එක්ක සැඩ සුළන් හමන්න පටන් අරන් ජිවන යාත්‍රාව වාරකන් වලට අහු උන පොල් කොම්බයක් ගානට දරුණු රැළි වලට අහු වෙලා හැප්පෙන්න පෙරලෙන්න ගන්නව.

මං මේ බහු ජන හිතාය බහුජන සුඛාය කියල ඔහේලගෙම වැඩි හොඳට අත්දැකීමෙන් කියන්නෙ … එහෙමයි කියල කවමදාවත් මේව ගෙදරදි අත් හදා බලන්න යනවාහෙම නෙමෙයි. මෝඩ වැඩ කරලා බත් කාඩ් කැන්සල් වෙලා කන් කෙඳිරි ගාගෙන එන්න තියා ගන්න එපා !

හරි ඉතිං ඔය නාඩගම් ටික රඟ දක්වමින් ඉන්න අතරෙ තමයි කෑම ඕඩර් කරපු රෙස්ටෝරන්ටුවෙ කෑම ඩිලිවරි කරන මනුස්සයෙක්ගෙන් කෝල් එකක් එන්නෙ. ඔය සොමාටෝ කියන ඉලව්වෙ ගෙදර ලිපිනය, ගූගල් දෙයියොන්ගෙ මාර්ගයෙන් ගෙදරට එන්න ඕන පාර, ගොඩනැගිල්ලෙ නම, අහල පහළ මං සලකුණු සහ අපාර්ට්මන්ට් එකේ නොම්මරේ ඇතුළු ඔය ඔක්කොම විස්තර තියෙනව.

ඒ දාල තියෙන්නෙ ඩිලිවරි එන උදවියට පාර හොයා ගන්න. ඩිලිවරි කරන මනුස්සයට ඒ විස්තර දෙන එක රෙස්ටෝරන්ටුවෙ වගකීම. මේක හරියට කරොත් බොහොම අපූරු කඩවසම් පිළියමක් (Smart Solution).

නමුත් එක්කො ඩිලිවරි කරන මනුස්සයට ඒව ලැබෙන්නෙ නැහැ … එහෙම නැත්තං උට ස්මාර්ට් ෆෝන් එකක් නැහැ … නැත්තම් උගේ ලේසියට ආයෙත් අලගිය මුලගිය තැන් කොනක හිටල කෝල් කර කර මගෙන් අහනව … ඔව් ඒ කියන්නෙ ඕනෑම Smart Solution එකක් උනත් මෝඩ විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

Angryදෙතුන් සැරයක් මෙහෙම කෝල් සෙල්ලම් කරාට පස්සෙ නැති මුලගින්නත් තද වෙනව. තවත් සැරයක් දෙකක් ඕකම වෙලා ෆයන්නක් දෙකක් එළියට පනිනකොට හාමිනේගෙ ටිකිරි මොළයට තේරුම් යනව දැන් ෆ්ලවර් ජම්පින් නිසා කණ්ඩගෙ ඔලුව ඇතුලෙ නිදාගෙන ඉන්න සතා ඇහැරිලා එළියට එන්න ලෑස්තියි කියල.

ඒ එක්කම ආර්යාව දන්නව ඕවර්ලෝඩ් වෙලා ෆියුස් එකක් යන්න ආසන්නයි තව එක කෝල් එකක් ආපු ගමන් එදාට කඩෙන් කාල හමාරයි කියල. ඒ වෙලාවට හාමිනේ ෆෝන් එක අරගෙන කතා කරල අර සූ සැටක් වූ ශිල්පයන්ගෙන් කිහිපයක් උපයෝගී කරගෙන ඩිලිවරි කරන මනුස්සයට දන්නා විදිහට තේරුම් කරල ෂේප් කරල කෑම එක ගෙන්න ගන්නව, ඕං ඔහොම තමයි කණ්ඩලෑ ගෙදර කෑම සහ ඉල්ලං කෑම 😀

~ කණ්ඩා !

පසු ලිපි :

හැමදාම මෙන් පුරුද්දට ලිපියේ හරි වැරදි පරික්ෂා කිරීමට දුන් කල්හි හාමිනේ විසින් මරණ තර්ජන එල්ල කිරීම නිසා මේ සටහන තබන්නේ මතු ජීවිත ආරක්ෂාව උදෙසාය … මෙහි පවසන්නට යෙදුන දෑ සියල්ල 100% ක් ගල්පැලෙන ඇත්ත බැවින් ලියන්නා කෙසේ ලියූවත් කියවන්නා ඒ සියල්ල අට පත එකෙන් සිඳවා ධාරණය කළ යුතු බව අවධාරණයෙන් කියමි.

එමෙන්ම ඉහත සියල්ල සහමුලින්ම ප්‍රතික්ෂේප කළ හාමිනේ පහත සඳහන් රාජකාරි සියල්ලේ බර දරන්නෙ තමා බැවින් උයන පිහන වැඩ වලින් අයිස් ගැසීම තම පරම අයිතිය වන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන්නාය.

  • බංගාලි කෙල්ල අස්පස් කරපු ගේ ආපසු අස් කිරීම (අයියෝ සල්ලි)
  • රෙදි සඳහා හයිඩ්රො සහ තර්මල් ට්‍රීට්මන්ට් ලබා දීම (සේදීම සහ මැදීම)
  • මාතලී රාජකාරි (සවාරි, ටැක්සි සර්විස්, කැසිල්ලට කාන්තාර බඩගෑම සහ කෑම්පින්)
  • තානාපති සබඳතා පැවැත්වීම (නෑදෑ පවුල් අතර අන්තර්ජාතික දේශපාලනික ගැටළු විසඳීම හෝ ඇති කිරීම)
  • අටෝරාසියක් වූ වාණිජ කටයුතු සහ රීටෙල් තෙරපි (ෂොපින්)
  • ලොකු බබාව උදෑසන ඉස්කෝලෙ ඔෆිස් යැවීම (බබ්බු බැලීම/බේබි සිටින්)
  • අනෙක් වැඩ රාජකාරි සියල්ල Etc.

මට බුදු සරණයි … තිස්තුන් කෝටියක් දේවතාවන්ගේ පිහිටයි … ගිහින් එන්නං ඈ ….!

පෙර ලිපි :

හාමිනේලාගේ කතා වස්තුව ~ I

Advertisements