Rama Sethu - Adams Bridge

රාම සේතුව සහ ඉන්දියානු වඳුරු හමුදාව

ගිය වතාවෙ රාම-රාවණා-සීතා කතාවෙ හොඳම හරියට එනකොට To be continued … කියල ප්‍රශාන්ත් නැගිටල ගියා මතක ඇතිනෙ, ඒ ගියේ හිත හොඳින් නොවෙන බවත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. කොහොමින් කොහොම හරි පස්සෙන් පහු වෙනිදත් එදා නවත්තපු තැනින් ඕක ආයෙ පටන් ගත්ත. අපි දෙන්නගෙ මිත්‍ර වලිය දිහා පොප් කෝන් කකා බලන් උන්න අපේ කන්තොරුවෙ උදවිය මේකට “නූතන රාම – රාවණා සටන” කියල නම දීල ඉවරයි.

එදා ගොඩ යන්න බැරි උන නිසා මෙදා පාර ප්‍රශාන්ත් අලුතින් තුරුම්පුවක් හොයාගෙන ඇවිල්ල තිබුණ. ඒ වෙන මොකවත් නෙමෙයි “රාම සේතුව”. රාම සේතුව කියල හඳුන්වන්නෙ මන්නාරමේ සිට ඉන්දියාවෙ රාමේශ්වරම් එහෙමත් නැතිනම් පම්බන් දුපත (Rameshwaram/ Pamban Island) තෙක් වැටිලා තියෙන හුණුගල් සහ වැලි වලින් හැදුන ස්වභාවික වැටි දාමයට.

මෙය ආදම්ගේ පාලම හෙවත් Adams Bridge කියලත් හඳුන්වනව, ඒ නම පහුගිය සියවස් දෙක හෝ තුන අතරතුර උන විකෘතියක් බවත් සිරිපාදයට සුද්ද Adams Peak කිව්ව වගේ ඒ සුද්දට කැමති විදිහට දාගත්ත නමක් බවත් තමයි මම මුලින් හිතාගෙන හිටියෙ.

එහෙත් එම විශ්වාසයන්ගේ ඉතිහාසය ක්‍රි.ව. නව වෙනි සියවසේ විසූ අරාබි ඉතිහාසඥයෙක් වන හිෂාම් ඉබ්න් කල්බි (Hisham Ibn al-Kalbi’s book Kitab al-Asnam) සිට ඉන් පසුව 14 වැනි සියවසේ ලංකාවට පැමිණි ඉබ්න් බතුතා (Ibn Battutaarrived in 1344) දක්වා දිවෙනව. දිව්‍ය ලෝකයෙන් නෙරපන ලද ආදම් ලංකාවේ සමනල කන්ද වෙත පැමිණ අඩි සටහන් තැබුව බවත් ඒ එන්නට මේ පාලම යොදා ගත්තාය යන සංකල්පය මත ඔවුන් මෙම වැලි වැටිය ආදම්ගේ පාලම ලෙසත් නම් කරනු ලැබ තියනව.

ඉතින් ඔන්න ඔහොමයි අපේ ඉතිහාසයට කොහෙන්වත් නොගෑවුණ ආදම් අපේ රටේ තියන බොහොම සුන්දර කඳු පෙදෙසකටයි ජෛව විවිධත්වයෙන් අනූන මුහුදු පර පේළියකටයි උන්දැගෙ නම දාගත්තෙ. නමුත් ඉන්දියාව සහ ලංකාව යා කරන වැලි වැටියට සිංහලෙන් කිව්ව නම මොකද්ද කියල නම් අද වෙනතුරු කණ්ඩ දන්නෙ නැහැ. දන්නා කෙනෙක් ඉන්නව නම් අටපට්ටමට නෙමෙයි මටම කියන්න. මොකද මේ සඳහා යොදන නම් විදිහට දන්නෙ “රාම සේතුව” සහ “ආදම්ගේ පාලම” යන්න පමණයි.

කොහොමින් කොහොම හරි ප්‍රශාන්ත් ඇදල ගත්ත රාම සේතුව වාල්මිකී ඉසිවරයා රචනා කළේ යයි සැලකෙන රාමායන කාව්‍යට (Ramayana) අනුව නම් රාවණාට විරුද්ධව යුධ කිරීම සඳහා විෂ්ණු අවතාරයක් උන රාමට සේනාව රැගෙන ඒමට තිබුණු ප්‍රධාන බාධකය වන ගොඩබිම් මාර්ගයක් නොතිබීමේ අඩුව පිරවීම සඳහා ඔවුන් විසින් ගොඩ නැගූවක්.

Nala & Neelaඑම පාලම හදන්න රාමගේ සහයට මහා බ්‍රහ්මයා ඇතුළු හින්දු දෙවියන් වානර සේනාවක් මැවූ බවත් එහි මූලිකත්වය ගෘහ නිර්මාණ ශිල්පයට අධිපති විශ්වකර්ම (Vishwakarma) දෙවියන්ගේ වානර පුත්‍රයා වන නල (Nala) සමග අග්නි හෙවත් ගිණි (Agni) දෙවියන්ගේ වානර පුත්‍රයා වන නිලා (Nila) නම් වානර සෙන්පතීන් විසින් දරනු ලැබ වානර සේනාව මගින් ගොඩ නගන්නට යෙදුන බව රාමායනය සහ ඒ සබැඳුනු ග්‍රන්ථ වල සඳහන් (ඔන්න බලන්න ඉතිං දෙවියන්ටත් වඳුරන්ගේම පිහිටයි 😀 ).

2005 – 2006 වගේ කාලෙදි  “සේතුසමුද්‍රම් නාවික මාර්ග ව්‍යාපෘතිය” (Sethusamudram Shipping Canal Project) නැවත පණ ගහල ආව දවස් වල ඒ ගැන වැඩි විස්තර හොයාපු නිසා මේකෙ ගැන අල ගිය තැන් මුල ගිය තැන් ගැන කණ්ඩට දැනීමක් තිබුණ. ඒ නිසා ප්‍රශාන්ත් රාම සේතුව ඇදල ගත්ත එක හරියට මගේ අතට පොල්ලක් දීල අනේ ගහපන් කියල කිව්ව වගේ බොහොම ශෝකජනක කාර්යයක් උනා.

මේ රාම – රාවණා බහුරු කෝලම් ගැන විද්‍යාත්මකව අධ්‍ය‍යනය කරපු ඉන්දීය රාජ්‍ය ආයතන ද්විත්වයක් තියනව, ඒ ඉන්දියානු භූවිද්‍යා සමීක්ශණ ආයතනය (Geological Survey of India – GSI) සහ ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය (Archaeological Survey of India – ASI). මෙම ආයතන මගින් සිදු කල ගවේෂණ වලදී රාම – රාවණා පුරාවෘතයට අදාලව හෝ ඒ පසුබිමට අදාල විද්‍යාත්මක සාක්ෂි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බවට එම ආයතන මගින් වාර්තා ඉදිරිපත් කරනු ලැබ තියනවා.

ඉතිං අනුකම්පාවෙන් යුතුව මං ප්‍රශාන්ත්ව ආයෙත් මොනටිසෝරියෙ ඉඳල ඉස්කෝලෙ යවන්න පටන් ගත්ත :

කණ්ඩා : දැන් හරියටම ඔය රාම සේතුව හැදුව කියන්නෙ කවුද ?

ප්‍රශාන්ත් : වානර සේනාවක් ?

කණ්ඩා : දැන් කවුද ඔය සේනාව හැදුවෙ ?

ප්‍රශාන්ත් : දෙවියො තමයි !

කණ්ඩා : හරි … ඒකත් එහෙමද ? එතකොට … ASI සහ GSI කියන ආයතන දෙක ගැන අහල තියෙනවද ?

ප්‍රශාන්ත් : නෑ … ඒ මොනවද ? ඒක කොහොමද මෙතනට අදාල වෙන්නෙ ?

කණ්ඩා : ආ ඒ ගැන දන්නෙ නැත්තං ඉන්න කියල දෙනකං … GSI කියන්නෙ ඉන්දියානු භූවිද්‍යා සමීක්ශණ ආයතනය එතකොට සහ ASI කියන්නෙ ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය

ප්‍රශාන්ත් : ඒත් අපි කතා කරන දේට ඒක අදාල වෙන්නෙ කොහොමද ?

කණ්ඩා : ඔය කියන ආයතන දෙක භූවිද්‍යාත්මකවත් පුරාවිද්‍යාත්මකවත් තහවුරු කරනව රාමසේතුව මිනිසුන් හෝ වානරයන් විසින් හදාපු එකක් නොවෙන වග. (පහු කාලෙක දේශපාලනික සහ ආගමික හේතු මත රජය ASI දිවුරුම් ප්‍රකාශය ඉවත් කරගත්ත, ඒක මේ ගෝතය දැනං හිටියෙ නැහැ)

ප්‍රශාන්ත් : ඒ වෙන්නෙ කොහොමද ?

කණ්ඩා : ඔයා අදත් කියන්න හදන්නෙ ඉන්දියාවෙ මේ කියන ආයතන දෙකට වඩා ඉතිහාසය සහ විද්‍යාව දන්න උදවිය කෝවිල් වල පිහිටෙන් ජීවත් වෙන පූසාරියන් සහ සංචාරක ගයිඩ්ල අතර ඉන්නව කියලද ?

ප්‍රශාන්ත් : නෑ එහෙම නෙමෙයි … මේව ඇත්ත වෙන්නත් පුළුවන් ?

කණ්ඩා : හරි  … මොහොතකට ඔය ඔක්කොම අමතක කරමු … රාමායනයේ අර කියන මහා බල සම්පන්න වානර හමුදාවට මොකද උනේ ? අඩු තරමෙ ඒ උදවියගෙ ඇටසැකිල්ලක්වත් හොයා තියනවද ?

ප්‍රශාන්ත් : මේ අය වඳුරෝ නෙමෙයි මිනිස්සු කොටසක් වෙන්න ඇති පස්සෙ වඳ වෙලා යන්න ඇති

කණ්ඩා : ඉතින් එහෙනම් ඇයි මේ රාමායනයේ ඔවුන්ට වානර කියන්නෙ ? අනික එහෙනම් මේ රාමායනයේ කියන තරම් කෙරුම් කාරයො වෙන්න බෑ නේද ?

ප්‍රශාන්ත් : ඔය කියන දේවල් වලට උත්තර දෙන්න මම දන්නේ නැහැ

කණ්ඩා : ඉතිං ඇයි එහෙනම් හරියටම නොදන්නා දේ දන්නා විදිහට කියන්නෙ ? ඔහොම දිගටම මේ බොරු සමාජගත කරොත් ලෝකෙ අනිත් මිනිස්සු ඉන්දියානුවන් වඳුරන්ගෙ නෑයො කියලම කියාවි. (මම අයෙත් ටිකක් රිදෙන්න කෙනිත්තුව, වෙලාවට මූ සිංහබාහුවයි සිංහ සීවලීවයි ඇදල ගත්තෙ නැහැ 🙂 )

කණ්ඩ එල්ල කරපු GSI සහ ASI දඟ පන්දු හමුවේ අසරණ වෙලා LBW උන ප්‍රශාන්ත් බැට් එක කිහිල්ලෙ ගහන් දත්මිටි කමින් ක්‍රීඩාගාරයට යන්න ලෑස්ති උනත් කණ්ඩ මිනිහව ආයෙත් ක්‍රීඩා පිටියට ඇදල ගත්ත අලුත් ඉනිමකින් ආරම්භ කරන්න.

කණ්ඩා : මෙහෙමයි අවුරුදු දහස් ගාණකට කලින් වඳුරු හමුදාවක් ආවද නැද්ද කියන්න අපි කවුරුත් හරියටම දන්නෙ නැහැ තමයි නමුත් 1987 දී නම් එහෙම වඳුරු සේනාවක් ආපු බව නම් ෂුවර් එකටම දන්නව.

ප්‍රශාන්ත් : ඒ මොකද්ද ඒ ?

කණ්ඩා : ඒකට ඔයාල කිව්වෙ ඉන්දීය සාමසාධක හමුදාව (Indian Peace Keeping Force – IPKF) කියල .. හැබැයි ලංකාවෙ මිනිස්සු ඒ අයට කිව්වෙ ඉන්දියානු වඳුරු හමුදාව කියල

ප්‍රශාන්ත් : ඒක ආක්‍රමණයක් නෙමෙයි ඒ වෙලාවෙ කරේ මිනිස්සුන්ව බේර ගන්න

කණ්ඩා : සාමාන්‍ය මිනිස්සු 5,000 කට ආසන්නව මැරිල, කාන්තාවන් ගණනාවක් දුෂණය වෙලා IPKF එකෙනුත් 1,200 ක් විතර LTTE එකෙන් ගුටි කාල මැරෙන එක මාර බේර ගැනීමේ මෙහෙයුමක්නෙ ( IPKF එක පන්නන්න ලව් සර්වන්ට් දුන්න ගේම් මූ දන්නව නම් ? )

ප්‍රශාන්ත් : ඒ ලංකාවේ ප්‍රශ්න විසඳන්න කරපු දෙයක්

කණ්ඩා : අනේද කියන්නෙ … ඉන්දියාවට පකිස්තානයත් එක්ක තියන තමන්ගෙ ප්‍රශ්නෙ විසඳන්නෙ නැතිව අනුන්ගෙ ලබ්බවල් වලට අත දාන්න ගිහිං කලින් අන්තිමට අගමැති රජීව් ගාන්ධි රයිෆල් මිටකින් ගුටි කෑවා මදිවට තමන්ගෙ ජීවිතෙනුත් වන්දි ගෙව්ව

ප්‍රශාන්ත් : මේවා ඔක්කොම ගොතාපු බොරු !!!

කණ්ඩා : එහෙමද ? මේ ගැන ඇත්ත දැන ගන්නම අවශ්‍ය නම් හරියටම විස්තර දෙන්නම් හැබැයි තමන්ට දැනගන්න උවමනා නැති ප්‍රශ්න වලට උත්තර හොයන්න එපා. ඒක පසුතැවිල්ලට කාරණයක් වෙයි.

ඒ රාම-රාවණ කතාවේ අවසානයි, ප්‍රශාන්ත් නැවත කවදාවත් ඒ විස්තර ඉල්ලගෙන කණ්ඩා සොයා පැමිණියේ නැත !

මතු සම්බන්ධයි !

පෙර ලිපි :

පසු ලිපි :

මේ සංග්‍රාමයේ අවාසනාවන්ත අතුරුපලයක් විදිහට අපේ මිතුරුකමටත් කණකොකා හැඬුවේ ඉන්පසු ප්‍රශාන්ත් මගේ මූණ බලල කතා නොකරන තත්වයට ආපු නිසා. ප්‍රශාන්ත් දකින වාරයක් ගානෙ සමච්චලයට මගේ කට කොනින් නැගෙන හිනාවත් මේකට හේතු වෙන්න ඇති. නමුත් දැන් මම ලොකු ළමයෙක්,  මිනිස්සු මොන තකතීරු වැඩ කරත් දිගින් දිගටම මාව කේනිත්තුවේ නැත්තං යගදාව ගත්ත හනුම වගේ හැසිරෙනව අඩුයි 😀

Sethu Samudram and Naval RoutesGSI සහ ASI ආයතන රාම සේතුව පිළිබඳව ගවේෂණ ආරම්භ කරන්න සහ පවත්වාගෙන යාම සඳහා “සේතුසමුද්‍රම් නාවික මාර්ග ව්‍යාපෘතිය” විශේෂයෙන් හේතු සාධකවෙලා තියනව. මේ ගැන කතාබහ ආරම්භ වෙලා තියෙන්නෙ අද ඊයෙ නෙමෙයි, ඒ 1860 තරම් ඈත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටම බ්‍රිතාන්‍ය යටත් විජිතයන් ලෙස පැවතුනු වකවානුවේදී බ්‍රිතාන්‍ය සමීක්ශණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි ඇල්ෆ්‍රඩ් ඩන්ඩස් ටේලර් (Alfred Dundas Taylor) නම් සිවිල් ගෘහ නිර්මාණ ශිල්පියා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් පදනම් කරගෙන.

ඉන් පසුවත් වරින් වර විවිධ පුදගලයන් සහ ආයතන මගින් මේ පිලිබඳ සමීක්ෂණ සහ හැදෑරීම මත ඉදිරිපත් කල වාර්තා සහ නිර්දේශ ගණනාවක් තියෙනව. ඒ ගැන වැඩි විස්තර  “සේතුසමුද්‍රම් නාවික මාර්ග ව්‍යාපෘතිය” සබැඳියෙන් කැමති කෙනෙකුට බලන්න ඉඩ පහසුකම් තියනව.

වර්තමානයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධ නඩුවක් විභාග වෙමින් පවතිනව. මේ මිත්‍යාවන් පදනම් කරගෙන හින්දු අන්තවාදීන් එල්ල කරන තර්ජන, ගර්ජන සහ විරෝධතා මෙන්ම පරිසරවේදීන් විසින් සිදුකරන කරුණු දැක්වීම් හමුවේ ව්‍යාපෘතිය තරමකට අතරමග ඇනහිට තිබුනත් ඉන්දීය රජය මෙම ව්‍යාපෘතිය අත්හැර දමා නැහැ. රාම සේතුවට හානි නොවන සේ විකල්ප මාර්ගයක් හරහා කෙසේ හෝ මෙම මුහුදු මාර්ගය ඇති කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනව.

මේ ව්‍යාපෘතිය සාර්ථක උනොත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන් වෙලා තියන නොගැඹුරු මුහුදු තීරය වෙන පෝක් සමුද්‍ර සන්ධිය හෑරිම (Dredging) මගින් ගැඹුර වැඩි කර නැව් ගමනා ගමනයට සුදුසු මාර්ගයක් ඇති වෙනව. එමගින් දැනට කොළඹ, ගාල්ල, හම්බන්තොට පහු කරමින් ශ්‍රී ලංකාව වටා යාත්‍රා කරමින් අප්‍රිකාව, ඇමරිකාව යුරෝපය සහ  ආසියාව බලා යන නෞකා සඳහා ඒ වෙනුවට පැය 8ක් පමණ කාලය ඉතිරි වෙන විකල්ප නාවික මාර්ගයක් විවෘත වෙනව.

මෙම නව මාර්ගය ආර්ථිකමය වශයෙන් නැව් ගමනාගමනයට වඩා ලාභදායී උනොත් එය කොළඹ, ගාල්ල සහ හම්බන්තොට යන වරයන්ගේ අදායම් තත්වයට සහ වැඩි දියුණුවට සෘජුවම බලපානව. එනිසා මෙය ශ්‍රී ලාංකිකයන් වශයෙන් “සේතු සමුද්‍රම්” කිසිදාක අපිට සුභාරංචියක් නෙමෙයි.

~ කණ්ඩා !

වැඩි විස්තර සඳහා අනෙකුත් සබැඳි :

සැලකිය යුතුයි : ජායාරූප අන්තර්ජාලයෙන්