Hockey

සුලෝහිත මහා වක්පොලු කෙළිය සහ තවත් කතා

ලියනවා කියන්නෙ අමාරුවෙන් නොකඩවා පවත්වාගෙන යන්න අවශ්‍ය පුරුද්දක් … පොඩි හරි විරාමයක් ගත්තහම ලියන්න තියෙන ආසාව සහ උනන්දුව නැති වෙලා යනව. එහෙම උනහම ආපහු ලියන්න පටන් ගන්න හරි අමාරුයි, ලියන ඇත්තො මේක දන්නව. තවමත් ඉඳහිට හරි ලියවෙන බ්ලොග් අඩවි කිහිපයෙන් එකක් වෙන තිලක සිත ලියන තිලකසිරි මහත්මය ඔය ලෙඩේට දුන්න නම් තමයි “කංකානම් අඩය” කියල … බොරුනම් ගිහිල්ල කියවල බලන්න. ඒක හදාගෙන තියෙන්නෙ Writer’s Block කියන සුද්දගෙ පදේ හෙළුවට පෙරළලා අරගෙන.

පහු ගිය ටිකේ විවිධ හේතු නිසා මටත් ඔය කියන අඩේ තදටම වැදිල තිබ්බ. ඔය අඩේ ගලවන්නෙ කොහොමද කියල හිත හිතා ඔලුව කහමින් ඉන්නකොට තමයි පොටක් පෑදුනේ. හීනියට උනත් පොඩි පහේ පම්පොරියක් ගහන්න අවස්ථාවකුත් ඒකෙන්ම උදාවෙනව, මොකද අපි හැම තිස්සෙම සරල, නිහතමානී සහ අල්පේච්ච වෙන්න හොඳ නෑ .. (මතකනේ එහෙම එකෙක්ට උඩම පුටුවට යවල උන් හරිය).

සුලෝහිත මහා වක්පොලු කෙළිය – 2019

Hockey Big Match 2019

ඔව් සතියකට දෙහෙකට කලියෙන් අහවර උන සුලෝහිතයන්ගෙ එහෙමත් නැතිනම් පරිප්පුවන්ගේ වාර්ශික වක්පොලු කෙළිය තමයි අද නිමිත්ත. 18 වෙනි වතාවට පැවැත්වුණු මෙවර තරඟය නොකඩවා දෙවන වතාවටත් ජය ගන්න ආනන්දීයයන්ට පුළුවන් උනා. නමුත් ඉතිහාසය ගත්තහම නාලන්දීයයන් 11 වතාවක් ශූරතාවය දිනා ගනිද්දි ආනන්දීයයන් 6 වතාවක් ශූරතාවයට හිමිකම් කියල තියෙනව.

මේ ජයග්‍රහණ පිටිපස්සෙ ක්‍රීඩකයන්ගෙ දක්ෂතාවය වගේම පුහුණුකාරතුමාගේ කැපවීම වගේම තම තමන්ගෙ දහසක් වැඩ රාජකාරි මැද සහයට එන ආදි ආනන්දීය හොකී සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයන් සහ දෙමවුපියන් ඉන්න බව අනිවාර්යයෙන් මතක් කරන්න අවශ්‍යයි. මේ අයගෙන් ඉත්තෑපාන සර්ගෙන් පස්සෙ දරා ගන්න බැරි තරම් අඩුවක් පුරවපු ලුශාන්ත අයිය ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන.

කොළඹ රීඩ් මාවතේ පවත්වන්නට යෙදුන මේ තරඟය ගැන විස්තර කියවනකොට පරණ මතකයන් රාශියක් ඇදිල ආව. ඒ ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබුණත් 1998 ශූරතාව දිනාපු කණ්ඩායමේ කණ්ඩත් හිටිය නිසා. අපේ කාණ්ඩෙ කොයිතරම් හොඳ උනත් රට වටේටම කප් ගහල ආවත් මහ හොකී තරඟයට ආපුවම ඒක ඇන ගන්න මහා එපා කරපු පුරුද්දක් අපිට තිබ්බ.

සමහරු ඕකට කිව්වේ අවාසනාව කියල, නමුත් ඇත්ත ඇවිල්ල එයිට එහා ගිය දුර්වලකමක් … පහුගිය අවුරුදු වල අපි ජයග්‍රහණය කරපු තරඟ බොහොමයක් එහෙම උනේ ඒ දුර්වලකම මතු වෙන්න ඉඩක් නොලැබුණ නිසා කියලයි නොරට ඇවිල්ල ඈතින් හිට බලන් ඉන්න කණ්ඩට දැන් හිතෙන්නෙ.

ඔය නිසාම මතක ඇති කාලයක හිට අපේ වක්පොලු කණ්ඩායම් ඉත්තෑපාන සර්ගෙ ඉඳන් වර්තමාන පුහුණුකරු ලුශාන්ත අයියගෙන් ඇති පදම් බැනුම් අහන්න ඇති … හවස ඇහැට ඇන්නත් නොපෙනෙන ගානට කළුවර වෙනකම් පිට්ටනියට වෙලා පුහුණුවීම කරන්නත් ඇති නමුත් පරම්පරාවෙන් එන ලෙඩක් වගේ මොන හේතුවකට හරි ලෙඩේ එතැනමද මන්ද.

මේ ලෙඩේ වෙන මොකක්වත් නෙමෙයි පැනල්ටි ස්ට්‍රෝක් හෙවත් දඬුවම් පහර ෆෝබියාව, ඕක අපේ ඈයොන්ට මිදෙන්න බැරි ෆෝබියාවක් !

ජයග්‍රහණය කරපු පහුගිය අවුරුදු දෙකේ වගේම බංකුවේ ඉඳන් උනත් කණ්ඩට දකින්න ලැබුණු 1999 ජයත් ලැබුණේ නියමිත වෙලාව මත ගෝල වාර්තා කිරීම නිසා. ඒ හැම වතාවකදීම පැනල්ටි ස්ට්‍රෝක් වලට යන්න සිදු උනා නම් බොහොම වෙනස් තීරණ ලැබෙන්න ඉඩ තිබ්බ.

දැන් තත්වය මෙයිට වෙනස්නම් වක්පොලුකාර පරිප්පුවෝ කමා කරත්වා 🙂

දඬුවම් පහර හෙවත් පැනල්ටි ස්ට්‍රෝක්

Panelty Stroke

දඬුවම් පහර වලට සිංහලෙන් කියන්නෙ පැනල්ටි ස්ට්‍රෝක් කියල … ඇයි අවුල් වගේද ? ඒ වෙලාවට ගෝල රකින්නා විතරක් ගෝල් ආරක්ෂාවට ඉඳීද්දී යාර 7ක් දුර සිට ගෝලය වෙත එදිරිවාදින්ට බෝලය යොමු කරන්න අවස්ථාව ලබා දෙන එක තමයි සිද්ධ වෙන්නෙ. වක්පොලු තරඟයකදි පැනල්ටි ස්ට්‍රෝක් ලැබෙන අවස්ථා කිහිපයක් තියෙනව.

තරඟය අතරතුරදි ගෝල රකින්නාගේ වැයික්කියේදි නැත්තන් “ඩී” එකේදි (D / Penalty Circle/Shooting Circle) හිතාමතා සිදු කරන වරදක් හෝ අනිවාර්යයෙන් ලැබිය යුතු ගෝලයක් නීති විරෝධී ලෙස අහුරපු වෙලාවකදි විනිසුරුකාරවරයා දඬුවම් පහරක් ලබා දෙනව.

අනෙක් අවස්තාව විශේෂ තරඟයක් (ශුරතා/අර්ධ අවසාන පුර්ව/අවසාන පුර්ව තරඟ) නියමිත කාලය තුල ජය පරාජයෙන් තොරව අහවර උනොත් එහෙමත් නැතිනම් ඩ්‍රෝ (Draw) උනොත් ජය පරාජය විසඳන්නෙ දෙපැත්තටම පැනල්ටි ස්ට්‍රෝක් පහක් ලබා දීමෙන්. ඉන් වැඩි ගෝල සංඛ්‍යා‍වක් ලබා ගන්නා පිල ජයග්‍රහණය කරනව. (වක්පොලු හෙවත් හොකී ගැන ඉගෙන ගන්න කැමති යට වැඩි විස්තර මෙතන තියනව)

ඉතිං අපි කොයි තරම් දුර්වල කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරත් කරුමෙට මැච් එක ඩ්‍රෝ වෙලා පැනල්ටි ස්ට්‍රෝක් දාන්න ආවොත් එදාට අපි කලිම්ම ගෙදර යන්න ලෑස්ති වෙන්න ඕන කියන එක නැගෙනහිරින් ඉර පායනව වගේ සහතිකයි.

කණ්ඩ හිටිය එකදාස් නවසිය බර ගණන් වල කණ්ඩායමේ මේකට හේතු දෙකක් තිබ්බ, පළවෙනි එක අපේ එවුන් පැනල්ටි ස්ට්‍රෝක් දාන්නෙ රනිල් මහත්තය තාලෙට අප්පුඩි ගහන්න වගේ. මෙලෝ චාරයක් තාලයක් නෑ.

උදාහරණයක් විදිහට අපේ ප්‍රාණසම මිත්‍රය ගලා … මිනිහ ගෝල් ගහනවට වඩා ආසයි ගෝල් පොස්ට් වලට ගහන්න … මේ හාදය පැනල්ටි 10 ක් දැම්මොත් 8 ක් පෝස්ට් එකේ .. දැන් ඔයාල හිතනවා ඇති ඉතිරි දෙක හරි ගොල්නෙ කියල … මොන පිස්සුද ? ඉන් එකක් එළියෙ අනික් එක ගෝල් කීපර් අල්ලනව !

අනිත් එවුන් ටික ගත්තහම උනුත් ඔය වගේම පිස්සු තමයි කෙළින තරමක්, එක්කො ගෝල් කීපර්ව අන්දන්න උගේම අතට බොලේ දානව, තවත් සමහර කැලේ, ඉතිරි ඒව කොයිතරම් වේගෙන් එනවද කියනවනම් ගෝල කීපර් තේකක් බීල එනකනුත් බෝලෙ තාම මග එනව. හැබැයි ඉතින් වැරදිලා පැනල්ටි ස්ට්‍රෝක් එකක් දෙකක් අපිටත් කැරකෙන්නෙ නැතිව නෙමෙයි නමුත් ඒව සැනසිලි තෑගි වගේ තරඟයක් දිනන්න හොඳටෝම මදි.

හරි ඔය පළවෙනි හේතුවනෙ, එතකොට දෙවෙනි හේතුව ? එක හේතුවක් කිව්වම මදෑ ඉතිං තවත් ඕනද ? හරි .. හරි .. ඔන්න එහෙනං … ඒ දවස් වල ලංකාවේ හිටපු දක්ෂතම ගෝල රකින්නා හිටියෙ අපේ කණ්ඩායමේ. දැන් මෙතන ඌ කවුද කියල අහගෙන එන්න එපා. ඒව වැඩක් නැහැනෙ, ඌ ඇවිල්ල එළ කොල්ලෙක්, ගෝල් කීපර් දුක විඳින්න කැමති වෙනත් එකෙක් හිටිය නැති නිසාම පිනට හිටපු එකෙක් 😀

හෝල් එකට බෝල 10 ක් ආවොත් ගෝල් 15 ක් විතර වදිනව. ගෝල් කීපර් කෙනෙක් හිටපු පළියට බෝල අල්ලන්නම ඕනයැ. මේ බුවාට පින් සිද්ධ වෙන්න අපේ එවුං පැනල්ටි ස්ට්‍රෝක් පහම එබුවත් (එහෙම දේවල් කවදාවත් මේ ඉරහඳ යට උනේ නැහැ අපේ හාමුදුරුවනේ) අර අත ඇරපු ගෝල් නිසා අපිට දිනන්න ගෝල් එකක් මදි වෙනව 😦

ඉතිං ඔය හේතු කරනා නිසා අඳ, ගොළු, බිහිරි, අංගවිකල කණ්ඩායමක් ආවත් අපේ එවුවොන්ට වඩා හොඳට පැනල්ටි ස්ට්‍රෝක් දාන්න පුළුවන් විතරක් නෙමෙයි දිනනවා කියන එකත් ඉර හඳ වගේ විශ්වාසයි.

කුඩම්මාගේ සැලකිලි !

Ananda Ground

අපේ පාසලේදී රටට ලෝකයට පේන්න ක්‍රිකට් වලට ලැබුණු සැලකිලි වක්පොලුකාරයෝ වෙච්චි අපට කවමදාවත් නොලැබුණු බව කියන්නේ ඉරිසියාවට නෙමෙයි, ඒ තිත්ත නමුත් ඇත්ත එය නිසාවෙන් 🙂

ඒ දවස් වල පාසලේ රගර්, පාපන්දු සහ හොකී යන ක්‍රීඩා තුනම එකම පිටියක කරපු නිසා පිටියෙ තත්වය බොහොම ශෝචනීයයි. පිටියෙන් 3/4 ක්ම අවාරෙට වැවුණ තණකොළ ගහක් දෙකක් ඇරෙන්න තනිකරම රතු මැට්ටෙන් පිරුන වළ ගොඩැලි තියෙන කට්ට පොළොව. වැස්ස දවසට අල්ලපු වැටේ තියන පිහිණුම් තටාකය වගේම තමයි, වෙනස මේක රතු පාටයි.

පසුව රගර් ක්‍රීඩාව රාජගිරියෙ තියෙන වෙනම පිටියකට ගෙන ගියත් වක්පොලු පිටිය තිබුන තැන එහෙමමයි, කලින් තිබුන විදිහමයි, ඒ සැලකිල්ලමයි. උනන්දුව සහ ඇඟටම පත්තියම් උන වක්පොලු ඇම්ම තියෙන කිහිප දෙනෙක් බොහොම අමාරුවෙන් ඇදගෙන යන්නෙ. වක්පොලු ක්‍රීඩාව ගැන උඅනදුව තියන කවුරුහරි මේ වැඩේට අත ගහනවා නම් ලොකු දෙයක්.

ආර්ථික තත්වය ගත්තත් එහෙමම තමයි අදටත් වාර්ෂික හොකී තරඟය පවත්වන්නේ කොයිතරම් අපහසුකම් මැදද කියන එක විශාල ගැටළුවක්, මේ ගැන රටින් පිටවී බලාගෙන ඉන්නා අපට වඩා දන්නෙ ලංකාවෙ ඉන්න මෙම තරඟය සංවිධානය කරන උදවිය.

පුද්ගලික කාලය, මුදල් සහ ශ්‍රමය වැය කරන සුළුතරයකගේ සහයෝගය සහ කැපවීම නැතිනම් අද වන විට කණ්ඩලෑ පාසලේ වක්පොලුකාරයන් වඳවී ගිය සත්ව කොට්ඨාසයක් බවට පත් වෙලා බොහෝම කල්. නමුත් වාසනාවකට එහෙම නැහැ .. පහුගිය වසර කිහපය ඇතුළත හොකී ආපහු පණ ගහල එන බවක් පෙන්න තියෙනව.

මේ කියපු කතන්දර අහල ඔය ගොල්ලන්ට හිතෙයි මේ කියන්නේ හද්දා පිටිසර පළාතක තියන බොහොම දුප්පත් ඉස්කෝලයක් කියල, එහෙම හිතුනොත් මම පුදුම වෙන්නෙ නැහැ … කොළඹට කිරි අපට කැකිරි කියාගෙන වරෙන්කො කැකිරි පෙන්නන්න (මේ ගැන වැඩි විස්තර කිව්ව කලින් ලිපියකදිත්) 🙂

 

අපි වක්පොලු ගහපු තැන් !

Malay Clubඅපි වක්පොලුකාරයො බොහෝ දෙනෙක්ගෙ මුල තියෙන්නෙ කොළඹ මැලේ ක්‍රීඩා පිටියෙ කියල මම කලින් ලිපියක කිව්වනෙ (ඒ ලිපිය මෙතනින් කියවන්න පුළුවන්). පසු කාලයකදී මෙම තරඟ කොළඹ බුලර්ස් පටුමගේ පිහිටි CR & FC පිටිය වෙතත් ඇතැම් තරඟ රීඩ් මාවතේ පිහිටි තුරඟ තරඟ පිටිය හෙවත් රේස්කෝස් එකට යාබදව පිහිටි කෘත්‍රිම හොකී ක්‍රීඩා පිටියටත් (Astro Turf – Reid Avenue) රැගෙන ගියා.

මැලේ ක්‍රීඩා පිටියට අමතරව අපි වැඩිපුරම ගැවසුන පිටියක් තිබ්බ නම් ඒ CR & FC (Ceylonese Rugby & Football Club) පිටිය. හොකී වලට අදාළ නැති උනත් හොකී වලට පිං සිද්ද වෙන්න කාර් පිස්සෙක් උන මම පළමුවෙනි වතාවට හැබැහින් ෆෙරාරියක් වගේම කවුරුත් හඳුනන ඒකෙ අයිතිකාරයව දැක්කෙත් CR & FC පිටියේදි, වෙන කවුරුවත් නෙමෙයි ඒ කාලේ අපේ කාලයේ වීරයෙක් සහ තවත් කාර් පිස්සෙක් වෙච්චි “මැඩ් මැක්ස්” නොහොත් අරවින්ද සිල්වා.

ඉඳහිට CR & FC ක්ලබ් එකේ බාර් එකට ඇවිල්ල යාලුවොත් එක්ක බියර් වීදුරුවක් දෙකක් රසවිඳීමේ පුරුද්දක් අරවින්දට තිබුණ. නමුත් ළඟට ගිහින් කතාබහ කරන්න නම් හිතුවෙත් නැහැ … කාගෙ උනත් නිදහස නැති කරන්නෙ මොකටද කියල නම් නෙමෙයි … තිබ්බ භක්තියටයි බයටයි 🙂

අපිට ක්‍රීඩා කරන්න ලැබුන හොකී පිටි වලින් CR & FC පිටියත් එතරම් හොඳ මට්ටමක තිබුනෙ නැහැ. පුද්ගලික සමාජයක් උන මේකෙ නඩත්තු කටයුතු වලදී උනත් වැඩි අවධානයක් යොමු උනේ වැඩි මුදලක් උපයපු වැඩි පිරිසක් එක්කාසු කරපු රගර් පිටිය වෙනුවෙන්. නමුත් අපේ පාසල් ක්‍රීඩා පිටියට වඩා හොඳ මට්ටමක තිබුණ.

අවාසනාවට දැන් CR&FC පිටියෙ හොකී තරඟ පැවැත්වුන තැන් වෙනත් ක්‍රීඩා සඳහා වෙන් වෙලා නිසා ආයේ කවදාවත් වක්පොලු කෙළියට ඉඩක් එතන ලැබේවි කියල හිතන්න අමාරුයි.

මිතුරු තරඟ පැවැත්වීම සඳහා අප බොහෝවිට වෙනත් පාසල් වෙත ගිය අවස්ථාද බොහෝමයි ඒ අතර සහෝදර නාලන්දය, වෙස්ලි විද්‍යාලය, රජ්ජුරුවන්ගේ ඉස්කෝලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ප්‍රධාන තැනක් ගත්ත.

අල්ලපු වැටේ තිබ්බ නාලන්දෙ සහ වෙස්ලි ක්‍රීඩා පිටි ඉතිං කොහොමත් අමුත් තැනක් නෙමෙයිනෙ, නමුත් මුහුදු වෙරළට යාබදව තියන ශාන්ත තෝමස් විද්‍යාලයේ පිටිය හොඳට හුළං වදින සනීප තැනක් හැබැයි ග්‍රවුන්ඩ් එක පුරා තණකොළ එක්ක හරි හරියට වැල්ල. බෝලයට ගහන ගමන් පොළොවටත් වැදුනොත් ඉස්සරහ ඉන්න එකාගේ මූණේ කටේ වැලි.

ඔය අස්සෙන් ඉඳහිට පිටිය අයිනෙන් කෝච්චියක් දෙකක් හූ තියාගෙන නොයනවත් නෙමෙයි, ඒත් ඒව හෙලිකොප්ටර් වගේ නෙමෙයිනෙ, ඒ නිසා අදාලම නැහැ. ඒ කුජීත කතාව ගැන වැඩිය දැනගන්න මෙතනින් රිංගල බලන්න : හෙලිකොට්ටෝරුවෙක් සහ කණ්ඩෙක්.

රේස් කෝස් එකට අල්ලපු වත්තේ පිහිටි රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙ ක්‍රීඩා පිටිය වගේම ක්‍රීඩා මණ්ඩපයත් අපගේ බොහොම හිත ගත්තු තැන්. හැබැයි මේ ක්‍රීඩා මණ්ඩපය හදල තියෙන්නෙ අල්ලපු වත්තේ කොළඹ විශ්ව විද්‍යාලයීය ආදරවන්තයින් උකුළු මුකුළු කරනා අයුරු නැරඹීමට කියල තමයි අපි මුලින් හිතුවෙ. නමුත් පස්සෙ කාලෙක මෙතන තහඩු වලින් ආවරණය කරා අහිංසක කොල්ලෝ නරක් වෙන එක නවත්තන්න 🙂

ඒ වගේම අන්තර් සමාජීය තරඟ වෙනුවෙන් සහ කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටිය, හැව්ලොක් පෙදෙසේ පොලිස් පාක්, BRC, නිදහස් චතුරස්‍රය කිට්ටුව තියන CH&FC, නාරාහේන්පිට ශාලිකා සහ “ඕවල්” (Oval) හෙවත් පී. සරා ක්‍රීඩාංගනයත් අපිට නුහුරු තැන් වුණේ නැහැ.

 

අන්තර් ජාතික කිරිකැට් පිටි වල වක්පොලු

ඕවල් කියන්නෙ ලංකාවේ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් පිටිය සහ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලබාපු ක්‍රීඩා පිටිය. ඒ වගේම ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගැරී සෝබර්ස්, මුත්තයියා මුරලිදරන් වැනි අමරණීය චරිත පය ගහපු තැනක් උනාට 90 දශකය වෙනකොට සෙනසුරා ලබාපු මේ ක්‍රීඩාංගනය බොහොම අබලන් ගරා වැටුණු තත්වයක තිබුණ. ක්‍රීඩාංගනයේ වහලෙ තැනින් තැන තහඩු කැඩිල, තරඟ බලන්න එන ප්‍රේක්ෂකයන්ට වාඩි වෙන්න හදල තිබ්බ තණකොළ වවපු ගොඩැල්ලෙ මාස ගණනකින් තණකොළ කපල නැහැ.

තත්වය ඔහොම නිසා කවුරුවත් ගණන් ගන්නෙ නැති වක්පොලු කෙළියට කවුරුවත් ගණන් ගත්ත නැති ග්‍රවුන්ඩ් එකක් දෙන එක අවුලක් උනේ නැතිව ඇති. හැබැයි මොනවා නැතත් බොහොම අපුරුවට තණකොළ වවපු පිටියක් නිසා ඔය හැම අඩුපාඩුවක්ම ලේසියෙන් අමතක කරන්න අපිට පුළුවන් උනා. ක්‍රීඩා සමාජ තරඟ කිහිපයක්ම මෙහි ක්‍රීඩා කරා.

තව අමතක නොවෙන දසුනක් තමයි ඒ දවස් වල පිටිය පැත්තක බැඳල දාල හිටිය පැන්ෂන් ගිය වැහැරුණ පෝනිය, නිතර සුද්ද පවිත්‍ර නොකරපු නිසදෝ ඒ කිට්ටුව පළාතම හිනි ගඳයි. හැබැයි එහෙමයි කියල කවදාවත් අපෙන් උට වැරද්දක් උනේ නැහැ, මොකද අපි වක්පොලු කෙළිනව බලන්න ප්‍රේක්ෂකයෙක්ට කියල හිටියෙ පැත්තකට වෙලා තණකොළ අහුරක් හප හපා උන්න ඒ අහිංසක සතා විතරමයි.

ඒ ඇරුනහම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය … අද හැමෝම දන්නෙ එහෙමනෙ නමුත් ඉස්සර අපිට ඕක ගාල්ල නගර සභා ක්‍රීඩාංගනය. හරි හරි අපිට විතරක් නෙමෙයි දකුණු රටේ හැමෝටම එහෙම තමා. ඒ දවස් වල මේ පිටිය ක්‍රිකට් වලට අමතරව පොදුවේ මළල ක්‍රීඩා, පාසැල් ක්‍රීඩා උත්සව, වක්පොලු වගේම දේසපාලු සෙල්ලම් වලටත් පාවිච්චි උනා.

අද තියෙන තරම් ලකයක් ඒ දවස් වල තිබ්බේ නැති උනාට ගාලු කොටු පවුර දිහා බලාගෙන අපිත් වක්පොලු ගැහුව ආයිබෝවන්ඩ. වතුරෙන් අඩුවක් නැති නිසාදෝ පිටිය පුරාවට බොහොම ඝනට තණකොළ වැවිල තිබ්බ නිසා මීටර් දහයක් දුර බොලෙ යවන්නත් ග්ලුකෝස් එකක් බීල ඇවිල්ල උපරිම හයියෙන් බෝලෙට තඩි බාන්න ඕන.

මට මතක විදිහට ඒ වංගියේ බෙන්තර ගඟෙන් මෙහා සංචාරයට අපිට පාසල් බස් රථයත් ලැබුණ. ඒ දවස් වල කොයින්ද හයිවේ ? ගාලු පාර දිගේ කොළඹ ඉඳන් එන්න දවසින් බාගයක් යනව. වීස නැතිවම දකුණු රටට ඇවිල්ල නතර උනේ ගාල්ලෙ මහින්දෙ විද්‍යාලයේ. මහින්දෙත් එක්ක වගේම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය එක්කත් සුහද වක්පොලු තරඟ තිබ්බ.

හැබැයි මොකද්දෝ හේතුවකට ඒ ගැන වැඩි විස්තර කණ්ඩට මතක නැනෙ, දැම්මම ඩිමෙන්ශියාද මන්ද .. එහෙම උනොත් ගාල්ලෙන්ම චන්දෙ ඉල්ලලා ගීතක්ක එක්ක පාර්ලිමේන්තු යනවා 😦

 

වක්පොලු ගහපු ගෑනු ළමයි !

Ladies Hockey

ඒ දවස් වල අපිත් එක්ක සෙල්ලම් කරපු සහ අපෙන් ගේම ඉල්ලපු පිරිමි පාසල් ගැන හොයනවට වඩා ගැහැණු ළමයි ගැන අපි වැඩියත් උනන්දු වුනා කිව්වොත් බොරුවක් නෙමෙයි. ඕව ඉතිං කාටත් තිවුණු වයසේ වැරැද්දක් මිසක් අපේ ඇදයක් එහෙමෙ නෙවෙයි ඕං … අපි අහිංසක මල් වගේ ළමයි.

ඒ දවස් වල බාලිකා පාසල් අතර හොකී පැතිරිලා තිබුනෙ විශාකා විද්‍යාලය, අමතරව සිරිමාවෝ බණ්ඩාරනායක, කොළඹ කාන්තා, යසෝධරා බාලිකා, මියුසියස්, බිෂොප් වගේම පහු කාලෙකදි ආනන්ද බාලිකා විද්‍යාලයත් මේ ගොඩට එකතු වුණා. අල්ලපු වැටේ තිබුණ ආනන්ද බාලිකා විද්‍යාලයටත් පුහුණුකරු විදිහට කටයුතු කරේ අපේ පුහුණුකරු උන ඉත්තෑපාන සර්මයි, ඉන් සිද්ද උන සුන්දර වෙනස්කම් ගැන වෙනම ලිපියක් ලියන්න ඕන.

මේ අතර හොකී කොහොම වෙතත් කොළඹ කාන්තා විද්‍යාලය, විශාකා, මියුසියස් සහ බිෂොප් විද්‍යාල වල ඇහැට කනට පේන ගෑණු ළමයි හිටි බවත් ඉඳ හිට අපේ මැච් බලන්න කියල ආපු අපේ උදවියත් අපේ කණ්ඩායම පැත්තකින් තියල මේ දැරිවියන්ට චියර් කරපු බවත් මතකයි. අපිට ඉතින් තම තමන්ට කැමති කණ්ඩායම් කොතෙක් තිබුණත් කිසිම පැත්තකට නැතිව බොහොම මධ්‍යස්තව හිටිය, කවුරු උනත් ගෑල්ලමයි තරහ කරගෙන බෑ නෙව.

මේ අතර නුවර පළාතෙන් හොකී අතින් සෑහෙන ඉස්සරහින් හිටිය මහමායා, සීතාදේවි බාලිකා, පුෂ්පදාන සහ ශාන්ත අන්තෝනි කන්‍යාරාමය. ඒ කොයිකටත් උඩින් අවම පහසුකම් යටතේ උනත් පිටියට බැස්සහම අනිත් උදවිය වඩාගෙන දුවන්න පුළුවන්කම තිබුණු, වටේටම තිබ්බ පාසල් වලට රිදෙන්න තලපු මාතලේ සංඝමිත්තා  බාලිකාවන්.

දකුණු රටේ නම තියාපු සවුත්ලන්ඩ්ස් සහ සංඝමිත්තා බාලිකාවන් වක්පොලු කෙළියේ නිරත උනා කියල දැනන් හිටිය උනාට ඒ උදවිය ඇහැ ගැටුන බවක්නම් මතක නැහැ. අපි කොහොමත් ඒ පැත්තෙ යන්න අවස්ථාවන් ලැබුනේ නැහැනෙ 🙂

 

වක්පොලු ගහපු පිරිමි ළමයි !

Hockey 1

කොළඹ අවට පිරිමි පාසැල් අතුරින් සහෝදර නාලන්ද, රාජකීය, හින්දු, මහරගම ජනාධිපති, ඉසිපතන, වෙස්ලි, වේල්ස් කුමාර, මාරිස්ටෙලා, සහිරා වගේම ශාන්තුවර පාසල් වන තෝමස්, බෙනඩික්ට්, ජෝසප් වාස් විද්‍යාලයන් නිතර තරඟයන්හිදී මුණ ගැසුණා.

රට මැදට වෙන්න හිටිය කණ්ඩායම් සිහි කළොත් නුවරින් ධර්මරාජ, කිංග්ස්වුඩ්, විද්‍යාර්ථ, ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් විජය, සහිරා, ශාන්ත තෝමස් සහ ඌව/බදුල්ල ශිව විද්‍යාලය.බොහොම කලාතුරකින් තමයි මේ කියන කණ්ඩායම් හමු වෙන්නෙ.

ඒ අරුනහම බෙන්තර ගඟෙන් එහා පළාත නියෝජනය කළ ගාල්ල මහින්ද, රිච්මන්ඩ්, රාහුල සහ ශාන්ත ඇලෝසියස් මුණ ගැහෙන්නෙ වාර්ෂික සමස්ථ ලංකා පාසල් හොකී තරඟාවලියේදී නැතිනම් කලාතුරකින් යෙදෙන මිත්‍ර තරඟාවලියකදී. සමස්ථ ලංකා පාසල් තරන්ඟාවලි මින් විශේෂයි.

මේ කාල වකවානුවෙදි කණ්ඩායම් දෙකක් විශේෂයෙන් සමස්ථ ලංකා තරඟ දස්කම් දැක්වුවා කණ්ඩට මතකයි, ඒ මාතලේ ශාන්ත තෝමස් සහ වෙන්නප්පුව ජෝසප් වාස් කණ්ඩායම්. ඔවුන් තාක්ෂණික අතින් වගේම දරා ගැනීමේ හැකියාව අතින් සැහෙන ඉදිරියෙන් හිටිය.

 

තරඟාවලි

Hockey 2

ඔය තරඟාවලි කොළඹ පවත්වන්නට යෙදුනොත් ඉතින් ලොකු වෙනසක් අපිට නැහැ .. නමුත් වෙනත් පළාතක තිබුණොත් බොහොම සතුටුදායක සංචාරක ගමනක් වගේ තමයි … කණ්ඩ වක්පොලු ගහන කාලෙ මාතලේ සහ ගාල්ලට හොකී තරඟ වෙනුවෙන් යෙදුන ගමන් අදටත් අමතක කරන්න බැහැ.

 අනික තරඟා + වලි කිව්වට ඇත්තම කිව්වොත් බහින්බස්වීම් සහ හුදෙකලා සිදුවීම් ඇරුනහම කණ්ඩායම් අතර වලි නම් ගියපු බවට මතකයක් ඇත්තෙම නැහැ. මොකද ගහගන්නම ඕනකමක් තිබ්බ නං එළිපිට ගහගන්නේ නැතිව බොහොම නිත්‍යානුකූලව කාට උනත් රිදෙන්න නෙලන විදි වක්පොලු කාරයො දන්නව 😀

නමුත් මේ කණ්ඩායම් අතුරින් ඇතැම් කණ්ඩායම් අතර දැඩි තරඟකාරීත්වයක් තිබුණ. තරඟ වලට කොළඹ පාසල් නුවර, මාතලේ යන පාරක් ගානෙ මානසිකව වට්ටන්න ලොකු සද්ද දාපු උදවිය ඉඳ හිට නොහිටියත් නෙමෙයි. හැබැයි ඒව කවුරුවත් පඩේකට ගණන් ගත්තෙ නැහැ, අනික ඔය කොයි ලොක්කත් කොළඹ එනකොට නැට්ට වලිගෙ අස්සේ ගහ ගත්ත පූස් පැටවූ ගානට තමයි එන්නෙ.

අපේ කිසිම සම්බන්ධයක් නොතිබුණත් වරක් කොළඹ රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම හොකී පිටියේ පැවති සමස්ථ ලංකා තරඟාවලියකදී හැමදාම කෙහෙල් ගස් වලට කොටපු කාණ්ඩෙකට වැඩ වැරදුණා. එදා නුවරින් ආපු මේ උදවියගේ කරුමයට වගේ සුලෝහිත එක්දින ක්‍රිකට් තරඟය එයිට නොදුරු සිංහල ක්‍රිකට් සංගම් පිටියේදි (SSC) පැවැත්වෙමින් තිබුණ. මේ තරඟයට පා ගමනින් යන සුලෝහිතයන් පිරිසකට කරපු අනවශ්‍ය විහිළු තහළුවක් දුරදිග ගිහින් නතර වුණේ ක්‍රීඩා පිටියට පිටින් නවත්වා තිබුණු ඔවුන්ගේ පාසල් බස් රථයට පවා උන අලාභාහානි වලින්.

එයින් මේ සිද්ධිය නතර උනේ නැහැ, මේ ක්‍රිකට් ලෝලීන් එතකන් අතේ වන වන ගිය පාසල් කොඩි ගැට ගහන්න මේ උදවියගෙ වක්පොලු කිහිපෙකුත් උස්සන් ගිහින්, අන්තිමට මේ උදවිය තරඟ වලට සහබාගී උනේ තරඟ වලට ආපු කණ්ඩායම් වලින් ණයට ඉල්ලා ගත්තු ක්‍රීඩා භාණ්ඩ වලට පින් සිද්ධ වෙන්න.

එදාවේල ක්‍රමයට වක්පොලු ගහපු අපි වගේම බොහෝ දෙනෙක්ට ඔය කියන කාලෙ වක්පොලු, සපත්තු, ෂින් පෑඩ් (දෙපා ආරක්ෂක) එහෙම මාරු කරගෙන සෙල්ලම් කරන එකේ ලොකු අමුත්තක් තිබ්බේ නැහැ. එනිසා කවුරුහරි ඇවිත් තරඟයකට යමක් ඉල්ලුවහම නොදී හිටියෙත් නැහැ.

මාතලේ ශාන්ත තෝමස් සහ වෙන්නප්පුව ජෝසප් වාස් කණ්ඩායම් ගැන සඳහන් කරානෙ, මේ කණ්ඩායම් දෙක පරද්දන්න අවස්තාවක් ලැබෙන්නෙ බොහොම කළාතුරකින්. 1999 දි අපිට මේ කණ්ඩායම් දෙකම කොළඹදී මුණ ගැහුන. මාතලේ ශාන්ත තෝමස් පිල පරදවල සමස්ථ ලංකා ජාතික කනිෂ්ඨ හොකී තරඟාවලියේ අවසාන තරඟයට ආපු අපිට අන්තිම කඩුල්ල උන ජෝසප් වාස් පිල පරද්දන්න බැරි උනේ ඇයි කියන එක වෙනම දවසකට.

ඒ වගේම කණ්ඩා පාසැල් වක්පොලු කණ්ඩායම නියෝජනය කරපු අවදියේ හැම කොළඹ දිස්ත්‍රික් තරඟාවලියකදිම පාහේ අඩුම තරමේ අර්ධ අවසාන පූර්ව හෝ අවසාන පූර්ව තරඟ වලට එන්න අපිට හැකි උනත් ඒ අවස්ථාවන්හිදී ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම මුණ ගැහුනොත් ගෙදර යන්න උන අවස්ථා වැඩියි. ඒ ඇයි කියල පස්සෙ කියන්නම්.

නමුත් එහෙම උන බොහෝ අවස්ථා වල ශාන්ත තෝමස් කණ්ඩායම පරද්දල කොළඹ රජ්ජුරුවන්ගෙ ඉස්කෝලය ශුරතාවය දිනා ගත්ත. නමුත් ඒ හැම වතාවකදිම මුලික තරඟ වලදි  අපි රාජකීය විද්‍යාලය පරාද කරා. හොකී කියන්නෙත් ජිවිතේ වගේම අරුම පුදුම දෙයක්. හැම විටම සාධාරණ නැහැ 🙂

මේ කියාපු බොහොමයක් දේවල් අමාරුවෙන් මතක් කරගෙන ලිව්වෙ, වැරදි මොනවහරි තියෙනවා නම් හදන්න හොඳේ !

~ කණ්ඩා

සැ.යු. : පින්තූර අන්තර් ජංජාලයෙන් !

පෙර ලිපි :

වක්පොලු කතා වස්තුව ~ I කොටස ~ කැන්ඩොස් මාමා සහ ගෝලියා

වක්පොලු කතා වස්තුව ~ II කොටස ~ වක්පොලු සහ වනන්න වටිනා ආයිත්තන්

වක්පොලු කතා වස්තුව ~ III ~මතකයෙන් ඈත් නොවන මැලේ පිටිය

වක්පොලු කතා වස්තුව ~ IV ~ හෙලිකොට්ටෝරුවෙක් සහ කණ්ඩෙක්