It is a Latජංජාල අංජබජල් සහ ඉට් ඉස් අ ලැට්

ආයෙමත් ගෙවල් මාරු කරනකොට සිද්ධ උන අකරතැබ්බයක් ගැන කතාවක් මතක් උනා … නෑ  … නෑ … හිත යන යන විදිහට ඇඳුම් මාරු කරන්නැහේ ආයෙත් ගෙවල් මාරු කරේ නැහැ … මේකත් ගිය පාර වෙච්ච සංගදියක්ම තමයි. එදා පොටේ කාපු කට්ට මතක් වෙනකොට අම්මපා ආයෙ නං ගෙවල් මාරු කරන්න අදහසකුත් නෑ .. එහෙනං ඕං අහගන්ටකො ඉතිං.

ගෙවල් මාරුවට ලෑස්ති වෙලා ඉන්න අස්සෙ අලුත් බිල්ඩිමේ මුරට හිටිය හාදය බලෙන්ම ඇඟේ ගැහුව අඩු ගානට තියෙන අන්තර් ජංජාල පැකේජ් එකක් ගැන විස්තර තියෙන තුණ්ඩු කෑල්ලක්. කෝල් එකක් දීල ඔය ගැන ඇහුව කියල ඇඟෙන් ඇටයක් යනවයි, ඉතිං කණ්ඩත් ඒ හෝඩුවාව ඔස්සෙ නිකමට “ඉට් ඉස් අ ලැට්” කොම්පැනියෙ අලෙවි ප්‍රවර්ධන හෙවත් සේල්ස් ඒජන්ත මහත්තයෙක්ට කතා කරල ඇහුව අලුතෙන් තියෙන පැකේජ් මොනවද කියල.

ඔය ලංකාවෙත් තියෙන්නෙ කපල් පැකේජ්, බජට් පැකේජ්, සෝෂල් මීඩියා පැකේජ් වෙනකං අටෝරාසියක් පැකේජ් … මෙහෙත් එහෙම්ම තමයි … පැකේජ් කිව්වොත් ආයේ ලොවෙත් නෑ … ලොවි ගහෙත් නෑ … මගේ උවමනාව කිව්ව පරක්කුවෙන් දුරබනුවෙ එහා පැත්තෙන් එල්ලුන පකිස් කොලුව දෙන්නං පැකේජ් කියල කොනක හිට විකුණන්න පටන් ගත්ත. මිනිහත් අර ඇන්ටාක්ටිකාවෙ එස්කිමෝලට අයිස් පෙට්ටි විකුනපු පරම්පරාවෙ හාදයෙක්.

මිනිහ කතාව පටන් ගත්තෙම දැන් තියෙන පැකේජ් එක කැන්සල් කරමු කියල, මේ අලුතින් තියෙන එක මාස 3ක් නොමිලේලු … ජංජාලේ වැල් පොට ගෙදෙට්ට එල්ලන උපාංගෙ තියෙන්නෙ අර වෑර්ලස් රවුරරේ … නෑ .. නෑ ලී කපන එක නෙමෙයි අර වෑර්ලස් ජංජාලෙ අමුණන අං තියෙන ගැජට් එක … ආන් ඒකත් නිකන්ලු … බලන් යනකොට ආයෙ ටීම් බර්නර්ස් ලී සහ ඇලෙක්සැන්ඩර් ග්‍රහැම් බෙල් මහත්තුරු ඉල්ලුවත් මීට වඩා තව පැකේජ් නැහැල්ලු.

හැබැයි එක පොඩි අවුලක් තියෙනව මම මේ හාදයට කතා කරේ දැන් තියන එකට වඩා ගාන අඩු පැකේජ් එකක් ගන්න උනාට උන්දැ ඇඟේ ගහන්නම හදන්නෙ තියෙන ගානටත් වඩා පොකට් එකට තට්ටු වෙන එව්ව. මං හිමීට ඇහුව ඉතිං දැන් තියෙන පැකේජ් එක තිබ්බ විදිහටම තියෙන්න අරින එක වාසියි නේද? කියල.

ම්හූ .. කොලුව අත අරින පාටක් නැහැ … ඌ දන්නවයැ කණ්ඩත් IT බාසෙක් කියල ? මිනිහ දිගටම තෙල බෙදනව … අලුත් ලයින් ඔක්කොම ෆයිබර් ඔප්ටික්ලු … ඩේට කිරන්නෙ ගිගා බිට් වලින්ලු … තියෙන එක වගේ නෙමෙයිලු ආලෝකය වේගයට වැඩිය ජුන්ඩයිලු අඩු … කොටින්ම ෆිල්ම් බාන්න හිතනකොට ෆිල්ම් එක බෑවිලා ඉවරලු … යූ බටේ ඔන් කරා විතරයි වීඩියෝ වැක්කෙරනවලු සාලෙ මැද්දෙ රූපවාහිනියෙන් පීල්ලක් හයි කරා වගේ. ඒ මදිවට දෙක බිලියන තිස් පස් මිලියන හතලිස්දාස් හැට නමයක් ටීවී චැනල් හිටං තියේලු.

බැරිම තැන මලේ ලයිට් ස්පීඩ් නැතත් ඔය කිව්ව එව්ව ඔක්කොමත් දැන් තියෙන පැකේජ් එකේ මං කරනව අනික ඔය කියන ටීවී චැනල් වලින් මං බලන එව්ව තියෙන්න වැඩිම උනොත්  4 – 5ක් විතරයි එහෙව් එකේ පුරුදු ගොනා හොඳයි කියල ෆෝන් එක තිබ්බ.

Mobile Bill Shockනමුත් මේ මංගල්ලෙ හරි යන්නෙ නැහැ කියල තේරුණ නිසා කණ්ඩ ඒ දවස් වල කාපු ටිකිරි මාරි එකක් ෆයර් වෙලද මන්ද එක පාරටම ඉට් ඉස් අ ලැට් කොම්පැනියෙ වැඩ කරන සුරා මලයව මතක් උනා … අපේ ඉස්කෝලෙ එකා සහ ඉල්ලපු පරක්කුවෙන් හැකි ඕන උදව්වක් කරන එකා වෙච්චි  ආපහු ගත්ත කෝල් එකක්. අර පිස්සු පකිස් කොලුව කියපු බේගල් පත අට එකෙන් හින්දල ඇරගෙන ඇත්තටම වෙන්න ඕන දේ හොයල දෙන්න සුරා මලය පිහිට උනා. කොලුවට ඉස්කෝතු වෙන්න ඕන කරපු උදව්වට !!!

අර පකිස් බූරුව කිව්ව විදිහට තිබ්බ කනෙක්ෂන් එක කැන්සල් කරා නම් කොන්තරාත්තුව මත හය මාසෙක ගාස්තු දඩ විදිහට ගෙවන්න ඕන … ඒ මදිවට කලින් පාර නොමිලේ දීපු රවුටරේ ගානත් අතින් ගෙවන්න ඕන … ඕං ඔහොමයි මේ නල්ල මලේ ඉට් ඉස් අ ලැට් සේල්ස් ඒජන්තලගෙ උපදෙස්.

කොහොමින් කොහොම හරි කණ්ඩ තීරණය කරා මාසෙ අන්තිමට දැනට තියන ජංජාල කනෙක්ෂන් තියා ගන්නත් පහුගිය අවුරුද්ද පුරාවට තිබ්බ කේබල් ටීවී කනෙක්ෂන් එක හලන්නත් … චැනල් හැට කෝටියක් තිබ්බට බලන්න පුළුවන් ඒවා බොහොම අඩුයි, වැඩි හරිය තියෙන්නෙ එක්කො ඔටු බාසාවෙන් යන එව්ව නැතිනම් ඉන්දියන් මළ ජරාව. මේ වෙනකොටත් කේබල් ටීවී නන්දන වින්දන ඇති වෙලා නෙට්ෆ්ලික්ස් (Netflix) වලට සංක්‍රමණය වෙලා හිටපු අපිට ඒකෙන් පාඩුවකුත් නැහැ … බිලෙන් 1/4 කට වැඩිය ඉතිරුයි.

දැන් ඔක්කොම හරි, වැඩි හොඳට ගෙවල් මාරු කරන්න තිබ්බ සතිය අගට දවස් දෙකක් කල් තියල ආපහු ගියා කිට්ටුව පාත ෂොපින් මෝලක තිබ්බ ඉට් ඉස් අ ලැට් කන්තෝරුවකට … පිළිවෙලට නොම්මරයක් අරං පෝලිමේ ඉඳල එතන හිටිය ඉන්දියන් කස්ටමට් සර්විස් කොලුවට වෙන්න ඕන දේ පැහැදිලිව කෙටියෙන් කිව්වට ආපහු ඒකට හේතුව අලගිය තැන මුල ගිය තැන් ඉඳල විස්තර කරන්න උනා.

අපේ කොම්පැණියේ සර්විස් එක හරි නැද්ද ? ඇයි එහෙම කරන්නෙ ? ඒ වෙනුවට වෙන පැකේජ් එක්ක දෙන්නද ? සර්විස් එක හරි නැද්ද ? වඩා හොඳ සේවයකට මොනවද බලාපොරොත්තු වෙන්නෙ ? ඔහොම පටන් අරන් මාගලක් වගේ ප්‍රශ්න පත්තරේකට උත්තර දෙන්න උනා.

එහෙම ප්‍රශ්න අහන එකේ වරදක් නැහැ නමුත් මේ ඔක්කොම කරන්න ලෑස්ති වෙන්නෙ එපාම වෙලා දමලා ගහල යන්න හදනකොට, හරියට අවුරුදු ගාණක් කරපු ජොබ් එකක් දාල යනකොට HR එකෙන් කිඹුල් කඳුළු හල හලා තියන එක්සිට් ඉන්ටවිව් එකක් වගේ. ඒ හාදය කණ්ඩගෙ පැය බාගයක් විතර කෑව.

අන්තිමට ඉවසීම රතු කට්ට පෙනෙන නොපෙනෙන ගානට ආපු නිසා

  1. අන් රට වලට සාපේක්ෂව සේවයට නොසරිලන අධික ගාස්තු අය කිරීම
  2. හඳුන්වා දෙන නව සේවාවන්ට මුවා වෙලා පාරිභෝගිකයන් නොමග යැවීම
  3. අන්තර්ජාලය හරහා සිදු කල හැකි සේවා වෙනුවෙන් පවා කන්තෝරු වලට බඩ ගාන්න සිදුවීම
  4. පාරිභෝගිකයන්ගේ කාලය කා දැමීම / හෙවත් කාලකන්ණිකම
  5. පාරිභෝගිකයන්ට කරදරකාරී දුරකථන ඇමතුම් ලබා දෙමින් අනවශ්‍ය ලෙස සේවා ප්‍රවර්ධනය
  6. VoIP/ අන්තර්ජාල දුරකථන ඇමතුම් විවෘත කිරීම වෙනුවෙන් පෙනී නොසිටීම

කියන හේතු නිසා මේ කොම්පැනියට කොහෙත්ම කැමැත්තක් නැති බවත් වෙන විකල්පයක් නැති කමට පාවිච්චි කරන බවත් කැත්තට පොල්ල වගේ කට උත්තර නැති වෙන්නම දීල ආයෙත් අනවශ්‍ය විකාර අහන්නෙ නැතිව වැඩේ ඉවර කරන්න කියල ඉල්ලුව. හැබැයි ඉතිං කොලුවා මොනවා ලියගත්තද කියන්න මම දන්නෙ නැහැ , හැබැයි ආයෙත් ප්‍රශ්න ඇහුවෙ නම් නැහැ.

කොහොමින් කොහොම හරි ජංජාල කනෙක්ෂන් එක මාරු කරන්න ඕන දවසත් කියල ඒ රාජකාරිය අහවර කරගෙන ගෙදර ආව … සංසාරේ … ගෙදර ආවට ඉන්ටනේට්ටුව නෑ … කන්න බොන්න නැතත් ඉන්ට නෙට් එක දාන්ට එපැයි … කිරි අප්පට බල්ලො ජම්පිං කිව්වලු.

වෙනදට වැඩක් කරන්න දවස් ගණන් ගන්න ඉට් ඉස් අ ලැට් කොම්පැනියෙ උදවිය අනාගතේ අදයි කිව්ව ඩයලොග් කොම්පැනිය වගේ වෙලා මෙන්න එදාම ජංජාලෙ විසන්ධි කරල. දැන් නම් මළේ උපරිම.

ඒ මදිවට හාමිනේගෙන් බර බරේ කනක් ඇහිල ඉන්න නෑ … ලෝකෙ තියන වැදගත්ම වැඩේ වෙන එයාගෙ ඔන්ලයින් ගේම් ගහන්න බැරිය කියල … රතු කට්ට පැනල … ඇන්ජිම බොයිල් වෙලා ගෑස්කට් ගිහින් කන් දෙකෙන් දුං දාන ගානයි !

WTFආයෙත් කතා කරා ඔය කියන කොම්පැණියෙ කෝල් සෙන්ටර් එකට … දැන් බොහොමයක් පාරිභෝගික සේවා වලට ස්වයංක්‍රී‍යව පරිඝනක මගින් තමයි පහසුකම් සලසන්නෙ … මනුස්ස පරාණයක් සම්බන්ධ කර ගන්න පැය බාගයක් විතර දඟලන්න උනා .. ඒ අස්සෙ සල්ලි ගරන ඇඩ් වලට ඇහුම් කන් දෙන්නත් ඕන … කොහොම නමුත් ෆෝන් එක පොළවෙ ගහන්න ඔන්න මෙන්න තියෙද්දි යාන්තං මනුස්ස පරාණයක් අහු උනා.

ඒ අල්ලගත්ත පකිස් බූරු තැනගෙන් පවා උදව්ව්වක් නම් හම්බ උනේ නෑ  … දැන් ඒක එහෙම තමයිලු  … දැන් කරන්න දෙකක් නැහැලු … හිත හදාගෙන දවස් තුනක් ඉන්නලු … ජාතිය අමතන්න තරමේ තරහක් ආවත් යාන්තම් “වට් ද පයන්න” එළියට පැනපු ගමන්

පිස්සුද මනුස්සයෝ …??? මිනිස්සුන්ට ඔහොම බැනල මෙතන හිරේ විලංගුවේ වැටෙන්නද යන්නෙ ??? 

නිසි බලධාරිණිය රතු කොඩිය එසෙව්ව නිසා ජාතිය ඇමතීමේ සැලැස්සමට තිත තියල දත් මිටි කෑමෙන් විතරක් සැනසෙන්න කණ්ඩට සිද්ධ උනා මිත්‍රවරුනි 😦

ඉතිං කාට කියන්නද මේ අවනඩුව ? අපේ නඩුකාර උන්නාන්සේ  කියන විදිහට නම්…  දවස් දෙහෙකින් මාරු කරන්න කියල ඉල්ලුවම ඒ දවස් දෙකට කලින් එදාම ජංජාලෙ අංජබජල් වෙනවද කියල අහපු නැති එකේ වරදත් සින්නක්කරවම මගේ … !

නඩුව පරාදයි සහෝදරවරුනි කණ්ඩට ඇපත් නැහැ. අනේ ඒ උනත් පොඩ්ඩක් හිතල බලන්න දත් දොස්තර ගාවට දතක් ගලවන්න ගියත් ගලවන්න ඕන දත පෙන්නනව මිසක් අනිත් දත් ගලවන්න එපා කියල මගින් මගට දොස්තරට කරදර කරන සිරිතක් අදටත් අපි කාටවත් නෑ නොවැ … උගේ ජොබ් එක උට කරන්න දීල පාඩුවේ ඉන්න එක මිස 🙂

Whatever it is … It Is A Lat You SUCK !!!

~ කණ්ඩා !

පසුලිපි :

මේ හා සමානම අත්දැකීම් ඔටු දේසෙ ඉන්න බොහෝ දෙනෙක්ට ඇති කියල හිතනව, වැරැද්ද ඉතින් හැමෝම නීතියේ වේවැලට බයේ තමන්ට හිමි දේ වෙනුවෙන්වත් කතා නොකර කට පියාගෙන ඉන්න එක තමයි.

පෙර ලිපි :