Corona Roti

බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් මස 28 වැනි දින මැදක් නැති පෙරදිග එක්සත් අරාබි රාජ්‍යයේ සිටදීය.

ලොව පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ්-19 (Covid-19) වසංගත තත්වය මත නිවාස තුලටම කොටු වී ගෙවන පළමු සතියේ අවසානයි මේ. දෙරණ නාලිකාවෙන් රතන සූත්තරේ සජ්ජායනය කරපු නිසා තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටෙන් කොරෝනා වෛරස බහුතරය සෝවාන් වී ඇත. ඒ ආනුභාවයෙන් ලක්ෂයක පමණ වූ ආසාදිතයන්ගේ ප්‍රමාණය මේ වනවිට ලක්ෂ හය දක්වා අඩු වී ඇත. සාදූ … සාදූ … සාදූ … !

(පිරිත් ගැන වැඩි විස්තර සර්වඥ ගොමා සංගමේ ගරු ලේකම් පාදඩදෙණිය මහතාගෙන් දැන ගත හැක)

සියල්ල සිදු වන අතරතුර ආගම් සාත්තරකාරයන් සියල්ලන්ටත් දෙවියන් අමතකකර තත්වය පාලනය කිරීමට නවීන වෛද්‍ය විද්‍යාවේ සහය පැතීමට සිදුවීම දෛවයේ සරදමකි. කලින් පශ්චාත්භාගය උඩ දාගෙන පන්සල් පල්ලි හොයාගෙන ගිය එවුන් දෙකොන පියාගෙන ගෙවල් වල වීම ඉතාමත් හොඳ ප්‍රවණතාවයකි. තත්වයේ දරුණුකම නොතකා කටයුතු කරන ආගමික හිඟන්නන්ට බැටන් පොලු පහර දෙමින් එලවන එකද සිදුවන බව පෙනේ, ඒ ඉල්ලන් කෑමක් නිසා කිසිඳු වැරද්දක් දැකිය නොහැක.

Deranaඔය කියනා දෙයියන්ගේම පිහිටෙන්දෝ කණ්ඩා ජෝඩුවට තට්ටු නිවාසයකට කොටු වී සිටින්නට වීම ඇරෙන්න මේ වනතුරු ඉහෙන් බහින ලෙඩක් නැත … ෂේක් මාමලාගේ පිහිටෙන් අපේ වියදමෙන් ඔටුවන්ගේ දේශයේ තවමත් ජීවිතය ඉදිරියටම ගලා යයි. රටේ ලෝකයේ විදිහටම අපිත් දැන් වර්ක් ෆ්‍රොම් හෝම් නිසා ඇත පය වකුටු කරගෙන සිටීම කරනවාට වඩා කියන්න පහසු දෙයකි. හාමිනේ කියන දෙයක් අහගෙන හාමිනේ හදන දෙයක් කා බී අන්තර් ජංජාලයේ එල්ලීගෙන ඉන්න එක ඇරෙන්න විකල්ප අවමය.

ඒ අතරේම අලි මදිවට හරක් කියන්නා සේ මුළු මහත් ලෝකයම දරුණු ආර්ථික අවපාතයකට එසේත් නැතිනම් සිංහලෙන් කියනවා නම් රිසෙෂන් (Recession) එකකට මුහුණ දෙමින් පවතී. එය 2009 වසරේ ලෝකය මුහුණදුන් ආර්ථික අවපාතය මෙන්ම බෙංගාල බොක්කේ පවතින අන් අවපාත සියල්ලටත් වඩා දරුණු වනු ඇති බවට ආර්ථික විශේෂඥයන් දැනටමත් අනතුරු අඟවා ඇත.

කොරෝනා උස්මිටිකම් දුප්පත් පෝසත්කම් කුලමල භේද නොසලකන බව සැබෑය … නමුත් මේ සියල්ලෙන් ගැලවී ඉන්නට සවිමත් ආර්ථික තත්වයක් තිබීම වැදගත්ය. නිදහස් අධ්‍යාපනයේ සහ ගුරු දෙගුරුන්ගේ පිහිටෙන් රුපියලෙන් රුපියල සතෙන් සතේ එකතු කරල .. එකතු කරල .. එකතු කරල .. සමාජයේ මැද පන්තියට බඩගා ගත් කණ්ඩාට සහ මැද පන්තියේ එවුන්ට මේ ආර්ථික කුණාටුව පහව යන තෙක් කොහේ හෝ එල්ලී සිටීමට හැකිවනු ඇතිමුත් එදාවේල සරි කරන දවස් හෝ සති පඩි ගන්න මිනිසුන්ගේ තත්වය මේ වන විට ඛේදනීයය. 

එවන් අයට සෙසු සියල්ලන්ගේ උදව් උපකාර අත්‍යවශ්‍ය මොහොතකි මේ. අන් හැම ව්‍යසනයකදී මෙන්ම මේ අවස්ථාවේත් එය ආණ්ඩුවෙන් ඉටු වේද යන්න සැක සහිතය … ගිය ආණ්ඩුවට වඩා සිය ගුණයක් හොඳ උනත් නේක දේසපාලු කඹ ඇදීම් නිසා මේ ආණ්ඩුවටත් පාණ්ඩුවය … ස’ ට ඕනෑ 2/3 ය … පුතාණෝට ඕනෑ බලයය … ඒ සඳහා කවුරු මළත් ප්ලැකනිල් විකුණා දොස්තර කෙනෙක් වෙන්න උනත් සුදානම්ය …  එනිසා ආණ්ඩු වලට දොස් කියමින්ම නොසිට තමන්ට හැකි පමණින් අන් අයට උදව් කිරීම සියලු දෙනාගේ යුතුකමකි.

මැද පෙරදිග වෙසෙන අප සියලු දෙනාගේ ආර්ථික තත්වයට ඍජුව බලපාන්නේ ලෝක තෙල් මිලයි. කාලයක් ඩොටේට යවාපු සරුංගලයක් සේ ඇමරිකානු ඩොලර් 160 ක් දක්වා උඩ පාවෙමින් තිබුණු තෙල් මිල මේ වනවිට ඩොලර් 26 දක්වා කූරියා ගසා ඇත. එය ඩොලර් 10 ටත් මෙහා වෙන්නට පාත් වී රටඉඳි ගහකවත් පැටලෙනවා ෂුවර්ය.මේ තත්වය දිගින් දිගටම පැවතුනොත් තෙල් සල්ලි මත යැපෙන අපි හැමෝටම අබ සරණය … නමුත් ඔය කිසිවකට උත්තර ගෙදරට කොටුව සිටින අල්ල පනල්ලේ හොයන්නට අමාරුය .. කරන්නට තිබෙන්නේ පටි තද කරගෙන වල යන පැත්තට මැස්ස ගසමින් අනාගතයට මුහුණ දීමයි.

මේ වන විට චීනය, ඉතාලිය සහ කොරියාව ගැනද කියන්න තිබෙන සියල්ල හැම එකාම කියා අහවරය. නමුත් මේ අතර දොස්තරලාටත් වැඩිය දන්නා කොරෝනා ගැන උපදෙස් දෙන උස්තාද්ලා බුකියේ සහ යූ බටයේ වැහි වැහැලාය. ඔවුන් හැම විනාඩි පහකටම සැරයක් කොරෝන ගැන ලිපි බෙදති සැරින් සැරේ වීඩියෝ නිතුත් කරමින් අපි නොදන්නා කොරෝනා ගැන අපිට කියා දෙති. එහෙව් එකේ කොරෝනා ගැන කණ්ඩාගේ සත දෙකත් එකතු නොකර සිටීමෙන් සමාජයෙන් කොන් වීමේ අවදානමක් පැවතියත් නොදන්නා මංගල්ල කියන්න ගොස් හත් පොළේ ගා ගන්න එක නුවණට හුරු නැති නිසා කොරෝනා ගැන උපසේ දීම සෞඛ්‍ය සේවාවන්හි නිරත වෘත්තීයවේදීන්ට තැන දීම වඩාත් සුදුසුය.

නමුත් කිසිවක් නොලියා සහ නොකර සිටීමේ කම්මැලිකම දරා ගැනීමට බැරි නිසාත් මේ දුෂ්කර කාල පරිච්චේදයේදී හාමිනේලාට කරුණාවෙන් සලකන ලෙස නර්ස් පුෂ්පක්කා අවධාරණය කරපු නිසාත් උදේ කෑම සඳහා රොටි පුච්චන දේව කාරිය කණ්ඩා ස්වෙච්චාවෙන් බාර ගත්තේය. මල්ලිකා ජෝසප්ගේ කුකරි පන්ති ගියේ නැති උනත් බාල යක්ෂ ව්‍යාපාරය සහ අම්මාට පින් සිද්ධ වෙන්න බතක් මාළුවක් තම්බගන්න රොටියක් පුච්ච ගන්න බැරිකමක් කණ්ඩාට ඇති බව කියන්නේ සියල්ලන්ගේ දැන ගැනීම පිණිසය. කුස්සියේ අඩුම කුඩුම සියල්ලම් පාහේ යොදා හදන හදන ඒවා කන්න පුලුවන්ද බැරිද යන්න අදාළම නැත.

මෙසේ දන්නා සෙල්ලම් සියල්ල දමා පොල් රොටි පුච්චන වැඩේ සිදු කරත් ඒ අතරතුර සහ කොටා බාන ගමන් හාමිනේට ඇති වූ ප්‍රශ්න ඉහත කිසිවකට අදාළ නැති බව පවසන අතර ඉන් සමහරක් ඔබ සියල්ලන්ගේ ලාම්පු සංවේගය උදෙසා පහතින් දක්වමි :

  • රොටි තුනී කරන්න තෙල් දාන්නම ඕන නෑ නේද?
  • බලාගෙන ඔය ලිපේ ගින්දර වැඩියි රොටිය කරවෙයි ?
  • මේකේ වාටිය පොඩ්ඩක් අවුල් රවුමට නෑ ?
  • මේ රොටිය අනෙක් ඒවාට වැඩිය මයික්‍රෝ මීටර් 10 ක් විතර ගනකම වැඩියි නේද ?
  • අරගත්ත වළන් පිඟන් හේදුවද ?

දැන් ගෙදර ඉඳන් වැඩ බව හැබෑය නමුත් වර්ක් ෆ්‍රොම් හෝම් යනු හෝම් වර්ක් නොවන බව හාමිනේ දන්නේද යන්න සැක සහිතය, ක්ෆොම උනත් ඒ ගැන මම අහන්න ගියේ නැත. ඉතිං මේ දවස් වල ගෙදර ගතවෙන පවුල් ජීවිතය ඔහොමය …කාටද දෙයිහාමුදුරුවනේ මේව කියන්නෙ, කොරෝනා ගෙනාපු වෙනස සැපයි නේද ?

¬ කණ්ඩා !

ප.ලි. :

පුෂ්පක්කාගේ අවවාදයට ගරු කර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මිදී පවුල් සමගිය ආරක්ෂා කිරීම උදෙසා කණ්ඩා එන සතියේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා නැවත කන්තෝරුවර රපොර්තු කිරීමට තීරණය කර ඇත්තේය !