Funeral

කොරෝනා ගැන මුල් වරට කණ්ඩා දෙපල දැනුවත් වූයේ මේ වසරේ ජනවාරි මාසය මුල. ඒ වනවිට රෝගයේ බරපතලකම ඉස්මතුව නොතිබුණු නිසාවෙන් මුල් තැන ලැබුනේ පෙර පරිදිම සාමාන්‍ය ජිවන රටාවක් පවත්වාගෙන යාම කෙරෙහි තමයි. එබැවින් අපි මාස කිහිපයක් තිස්සේ තවත් මිතුරු යුවලක් සමග සැලසුම් කළ සිංගප්පූරු සහ ඉන්දුනීසියානු සංචාරය පැතූ අයුරින්ම අහවර කළේ කොවිඩ් -19 සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු වරට වාර්තා වීමට සමගාමීව.

වාසනාවකට ඇබද්දියකින් තොරව ගමන අහවර උනත් අපගේ ඊළඟ අවධානය යොමු උනේ ඒ වන විටත් ලහි ලහියේ එමීර් රාජ්‍යයේ සංවිධානය වෙමින් පැවතුණු අප විද්‍යාලයීය වාර්ෂික සංගීත සැඳෑව පිලිබඳව. එහිදීත් වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරසය තත්වය පිළිබඳව අවධානය යොමු වූ හැමවිටම කණ්ඩාගේ මතය වූයේ සුද්දා කිව්වා විදිහටම “Show Must Go On!”  කියල. ඒ මේ වසංගතයේ බරපතලකම ගැන කණ්ඩා දැරූ අවතක්සේරුවේ තරම, එහෙම බැලුවම අපි ගොඩ දෙනෙක් එකම බෝට්ටුවේ.

එනමුත් ඉදිරි සති කිහිපය කොරෝනා විසින් කණ්ඩාගේ මෙන්ම ලොව පුරා බොහෝ දෙනෙක්ගේ අදහස් උදහස් බොහෝ සේ වෙනස් කළා. රෝමය ගිනි ගනිද්දී වීනා වැයීම කිසිවිටෙකත් අපගේ අදහස නොවූ බැවින් සහරාන් නානාට පින් සිදුවන්නට 2019 දී කල්දැමූ සංගීත සැඳෑව 2020 දී නැවතත් කල් දමන්නට කොරෝනා මාරයා විසින් වැඩ කටයුතු සලස්වන ලදී.

මෙසේ කොරෝනා ලෝකය පුරා වින කටිමින් පිස්ස නැටූවත් අප දන්නා කියනා කිසිවෙක් හට එතෙක් කොරෝනා වැළඳී නොතිබුණා මෙන්ම වැළඳුනත් අපට ඒ සඳහා කල හැකි දේ අල්ප බව අප වටහාගෙන තිබුන. පැතිරීම තවත් වේගවත් වෙද්දී කොරෝනා කවදා අපේ දොරට තට්ටු කාරාවිදෝ නොදන්නා බැවින් ඉන්නා ටික කාලය නිදහසේ සිටීම කණ්ඩාගේ තීරණය උනා. කවදත් ඇවිදීම කවදත් ප්‍රිය කරන අප දෙදෙනා හැකි තරම මනුස්ස වාසයෙන් ඈත් වී කාන්තාරයේ එතෙක් නොගිය අහුමුළු සොයා යාම ආරම්භ කළේ ඒ නිසාමයි.

මසක් හමාරක් වැනි කාලයක් ඇතුළත මෙය විසඳෙන බව කණ්ඩාට නැගෙනහිරින් ඉර පායනු මෙන් විස්වාසයක් තිබුණු නිසා අප දෙදෙනාගේ විවාහ සංවත්සරය සැමරීම වෙනුවෙන් දස වසක් තිස්සේ ඇඟිලි ගනිමින් සිටි ගමනකටද සූදානම් උනා. පසුගිය අවුරුද්දේ රැජින ආත්තම්මාගේ රටට දෙවසරක් සඳහා වලංගු වන වීසා කල් තියා ලබා ගෙන තිබුණු නිසා එහි උපරිම ප්‍රයෝජන ගනිමින් ඇවිදින ජොනී අයියාගේ දේශයටත් එතැනින් වේල්සයටත් ගොඩ වදින සති තුනක ගමන 80% ක් පමණ සැලසුම් කර අහවරයි.

ගුවන් ටිකට්පත්, හෝටල් වෙන් කර අවසන් … ඉතිරිව තිබ්බේ දුම්රිය ටිකට්පත්, අවසාන දින 3ක නවතින තැන් තීරණය කිරීමත්, මුල් සති දෙක සඳහා කුලී පදනමට කාරයක් ලබා ගැනීමත් පමණයි. මේ සවාරිය අතරතුර හාමිනේගේ හතර රියන් සහ දෙරියන් මිතුරියන් වන උස එකී සහ කොට එකී හමු වීමටද කාලය වෙන් වූයේ මිතුරු කමින් ඉවත් කරන බවට සහ ඔවුන් එල්ල කර මරණ තර්ජන හමුවේ.

Do not fly vector icon. No aircraft access mark on white background. Symbol of transport, airplane,travel,traffic,warning. Prohibited ban stop sign. illustrationනමුත් කණ්ඩා යනු කිසිසේත් තවත් නොට්‍රඩාමස් කෙනෙකු නොවන බව තහවුරු කරමින් දිනෙන් දින තත්වය තව දුරටත් නරක අතටම හැරුන. ලොව විශාලතම ගුවන්සේවා සමාගම් අතරින් සිව්වෙනි තැන පසුවන එක්සත් අරාබි රාජ්‍යයේ ප්‍රධානතම සමාගමක් වන එමිරේට්ස් ගුවන් සමාගම මගීන් නොමැතිවීම සහ නොයෙක් රට වලින් පැනවුණු ආගමන විගමන වාරණ හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කරන්නට උනා. දැන් ස්කොට්ලන්ත ගමනටද අබ සරණය … එතෙක් ඒ සඳහා වියදම් කර තිබුණු මුදල් වලින් බොහොමයක් ආපසු ලැබුනත් 20% ක් තරම පාඩුවක් අතින් දරා ගන්නට සිදුවිය.

ඉතින් අමාරුවෙන් හිත හදාගෙන කරමින් සිටි කාන්තාර සංචාර සඳාහාද මාර්තු මස මැද වනවිට වැට කඩොළු බැඳුනේ අප වෙසෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වලට විරුද්ධ සටන තීව්‍ර කරන්නට යෙදුන බැවින්ය. එතැන් සිට කණ්ඩාගේ සංචාර ගෙදරින් කන්තෝරුවටත් කන්තෝරුවෙන් ගෙදරටත් සීමා විය. මේ අතර ලහි ලහියේ එතෙක් නිදි වදිමින් සිටි තොරතරු තාක්ෂණ (IT Infrastructure) කණ්ඩායම අන්තර්ජාලය හරහා නිවසේ සිටම වැඩකටයතු සිදු කිරීම සඳහා අවැසි කටයුතු සුදානම් කිරීමේ නිරත විය.

සතියක හමාරක නොනිම් උත්සාහයකින් අනතුරුව කොරෝනා පාලනය කිරීමේ සටනේ මුලටම තිබණු සමාජ දුරස්ථකරණය හෙවත් සිංහලෙන් සෝෂල් ඩිස්ටන්සින්(Social Distancing) සඳහා නිවසේ සිටම රාජකාරි කරන්නට නියෝග ලැබුණි. සංචාර සවාරි වලින් තොර ජීවිතය මෙයටත් වඩා ඒකාකාරී විය නොහැකි යයි සිතුනා නම් එයත් වැරදිය, කන්තොරුවත් නිවසත් අතර වූ ගමන නිදන කාමරයෙන් විසිත්ත කාමරයටත් එනනිත් කුස්සියටත් එතැනින් නාන කාමරයටත් සීමා විය.

තත්වය එසේ වෙද්දී කාලකන්ණි කොරෝනා මීටරය මිලියනය පැන්නුවේ චීනය, ඉතාලිය, ඇමරිකාව සහ තවත් නම ලියා ගන්න බැරි යුරෝපීය රටක අවාසනාවන්ත මරණයන් අති විශාල ගණනක් වාර්තා වෙද්දීය. ඒ අවු අස්සේ අලි මදිවට හරක් කියන්නා සේ දෙසතියකට කලියෙන් හාමිනේ කනේ තැබූ පුවතක් ඇඟ හිරි වට්ටන තරම් දරුණුය. අප අසන්නට අකමැතිම වූ ඒ පුවත අන් කිසිවක් නොව හාමිනේගේ යෙහෙළියකගේ සැමියා හටද කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කරනා බවය.

ඒ යෙහෙළිය අප රැජින ආත්තම්මාගේ රටේ සවාරි ගසද්දී නවාතැන් සැපයූ සහ රැක බලා ගත් උස එකීගේ සැමියා වීම මුල් වතාවට කොරෝනා අප හිත මිතුරන් කිට්ටුවටම පැමිණ ඇති බවට පත්තු කළ පළමු වෙඩි මුරය විය. උස එකීගේ සැමියා හෙවත් උස එකා (අම්මප උස එවුන්ව තහනම් කරන්න ඕන) සෞඛ්‍ය සම්පන්න අතිශය ක්‍රියාශීලි ක්‍රිකට් ක්‍රීඩකයෙකි, පුහුණුකරුවෙකි එනිසා ඔහු කෙසේ හෝ කොරෝනා පරාජය කරන බවට විශ්වාසය. නමුත් උස ඒකීගේ දෙමව්පියන් ඔවුන් සමගම වාසය කරන නිසා තත්වයේ බැරෑරුම්කම මෙන්ම අවිනිශ්චිත බවද වැඩි කළේය.

පවුලටම ස්වයං නිරෝධායනය වන ලෙස ඔවුන් හට රෝහලෙන් උපදෙස් දී තිබුණු අතර කරුණු කාරනා ඒ ලෙසටම සිදු විය. අවාසනාවට එම ආරංචිය වෛරස් වලට වෛරස් ආසාදනය නොවන බවට පවතින මතය සම්පුර්ණ අසත්‍යක් බවට ඔප්පු කරමින් උස එකීද කෝවිඩ්-19 රෝග ලක්ෂණ පල කරන්නට වූවාය. එනිසා එතෙක් කෝවිඩ් සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරමින් සිටි හාමිනේගේ යෙහෙළියන් සියලු දෙනා ඒ ගැන මහත් භීතියට පත් වූ වග දැන ගන්නට ලැබුණි.

Funeral Makeupතත්වය මෙසේ දරුණු අතට හැරෙද්දී අනපේක්ෂිතව වැලිගම්පිටි ටිකට් එකක් ඇදුනොත් තම පවුලේ උදවියට වන අපහසුතා අවම කර ගැනීම සඳහා උස එකී ලහි ලහියේ කටයුතු කිරීමට යෙදුණාය. අවසාන කටයුතු සැරසිලි, මෘත දේහයට ඇන්දවිය යුතු ඇඳුම්, මාල, වළලු, කරාබු, සපත්තු ආදී හැට හුටහමාරක් ආයිත්තම් මෙන්ම ගැලවිය යුතු සුවඳ විලවුන්, බවුන්ඩේසන්, ලිප්ස්ටික්, කියුටෙක්ස්, මස්කරා ආදී අටෝරාසියක් බියුටි කචල් බදාමයන් සම්බන්ධයෙන් දින කිහිපයක් ඇතුළත තීරණය කිරීම ඉතා අපහසු බව අමුතුවෙන් නොකිව මනාය.

නමුත් ඒ සියල්ලත් නිම කර ලන්ඩන් වල ජයරත්න මල් ශාලාවේ අංකයද ගෙන මිලදී ගතයුතු මිනී පෙට්ටියේ පාට සිට කනත්තට රැගෙන යන හර්ස් රථයේ වර්ගය දක්වා එකී මෙකී නොකී සියලු දෑ තීරණය කරන්නට උස එකී සමත් වූ බව කියන්නට සංතෝසය. නමුත් කනත්ත වෙත යාම සඳහා කළු අසුන් හය දෙනෙක් යෙදූ අවමංගල අශ්ව කරත්තයක් තිබුණානම් වඩාත් ගාම්භීරය. තමන්ට අනවශ්‍ය සපත්තු දෙකක් කබායක් මිලදී ගැනීමේදී සාප්පුවෙන් සාප්පුවට යමින් හය මාසයක උනත් කාලයක් වැය කරන්න පුළුවන් ඇය මෙතරම් ඉක්මනින් තීරණ ගැනීම සැබවින්ම පැසසිය යුතුය.

එසේ දුක් විඳිමින් තම අවමංගල්‍ය උත්සවය සඳහා උපකාර කිරීම වෙනුවෙන් හොඳ මිතුරන් වශයෙන් අපිත් යට දිය හැකි උපරිම සහයෝගය දුන් බව කියන්නේ හදපිරි සන්තෝසයෙනි. විශේෂයෙන් මෙතරම් කරුණු කාරණා සම්පුර්ණ කරන්නට යෙදුනත් අතිශය වැදගත් මරණ දැන්වීමට සරිලන ජායා රූපයක් තෝරා තබා ගන්නට මතක් කළේ කණ්ඩාය.

අප සියලුදෙනා අන්තිමට යෙදුන සංචාරයේදී උස එකී ගොන්ඩෝලාවක නැගී යන අතරතුර කබරයා පාරක් දැමීමට ඔන්න මෙන්න ආසන්න අවස්ථාවකදී ගන්නට යෙදුණු පින්තූර අතරින් හොඳම එක තෝරා දෙන්නට කණ්ඩා ස්වෙච්චාවෙන් ඉදිරිපත් උවත් හාමිනේත් උස එකීත් එය එකහෙලා ප්‍රතික්ෂේප කර කණ්ඩාට මරණ තර්ජන කර පන්නා දැමු  බව කියන්නේ හදපිරි ශෝකයෙනි. වඳින්න ගිය දේවාල ඉහේ කඩා වැටෙනවා කියන්නේ මේ වගේ අකරතැබ්බ වලටය.

English Teaකොරෝනා වැළඳී මළොත් උස එකීගේ ලොකුම කණගාටුව වනුයේ තම දරු දෙදෙනා ඇතුළු පවුලේ සැමත් පහුගිය අවුරුදු කිහිපය පුරාවට කෑමෙන් වැළකුණු සහ අතපසු උන කේක්, පුඩින්, චොක්ලට්, බිස්කට් සහ ෆලූඩා වැනි පැණි රස කෑමත්ය. කෑම බීම ගැන කතා කරද්දී මළ ගෙදර එන අයට මාරි බිස්කට් සමග කෝපි ඇල්ලීම තත්වයට මදි නිසා ඉංග්‍රීසි ක්‍රමයට තේ සමග තේ-කේක්, උණු කතිර බනිස්, රට පැපොල් ස්කොන් සමග විස්කිරිඥ්ඥා ලබා දීමට යෝජනා කරන්නට කණ්ඩා බලාපොරොත්තු වෙන්නේ වැරදිලාවත් බල්ලොත් නොකන මාරි බිස්කට් සමග නෙස්කැෆේ බොමින් නයිට් ගහන්නට සුද්දන්ට තියා අපිටත් බැරි නිසාය.

මළගෙදර ප්‍රධාන ගුණ කථනය කරන්නට කෙනෙක් සොයා ගැනීමේ වැදගත්කම මේ අවස්ථාවේදී නොකියාම බැරිය, නමුත් ඒ සඳහා උස එකීගේ ප්‍රාණසම මිතුරිය කොට එකී සිටින බැවින් ඒ ගැන වදවීම තේරුමක් නැත. කොට එකීට ලවුඩ් ස්පීකර්ද අනවශ්‍යය කලින් ලක ලැහැස්ති කර ගන්නට තියෙන්නෙ නග්ගවන්නට හැකි බංකු කොටයක් පමණි. ගුණ කථනය කරන්නට කම්මැලි හිත්නොත් ඇය සහරා ෆ්ලෑෂ් හෝ සන්ෆලවර් සංගීත කණ්ඩායම ගායනා කරන 6-8 බීට් ශෝක ගීයක් හෝ ගයනු ඇත.

මේ විදිහට අත්‍යවශ්‍ය දේ ගැන කතා බහෙන් අනතරුව අන්තිම කැමති පත්‍රය සම්බන්ධයෙන් කතා බහ එළියට ආ විට උස එකී ඒ ගැන සියලු කාරණා සම්පුර්ණ කර ඇති බව දැන ගන්නට ලැබුණත් කණ්ඩා ජෝඩුවට සිහි වූයේ හදිසියේ අපිටත් ඒ සන්තෑසියම අත් උනොත් අන්තිම කැමති පත්‍රයක් නැති බවය. ඔටුවන්ගේ රටේදී වැලිගම්පිටි යන්න සිදු උවහොත් ලියාපදිංචි කළ අන්තිම කැමති පත්‍රයක් නැති විට සියලු කරුණු කාරනා විසඳෙන්නේ ඉස්ලාමීය ශාරියා නීතියට අනුකූලවය. වවුලාගේ රටට ආ විට දෙපයින් එල්ලී සිටින්නට සිදු උවත් එය අපිට නොගැලපෙන බව අමුතුවෙන් කියන්න නුවමනාය.

එනිසා මේ වසංගතය අහවර උන විගස තව දුරටත් මැදක් නැති පෙරදිග රැඳෙන්නට පුළුවන්කමක් තිබුනොත් මුලින්ම කරන දේ අන්තිම කැමති පත්‍රයක් ලියාපදිංචි කරන එකය. ඒ ඇරෙන්න මෙහේදි වැලිගම්පිටි ටිකට් එක ඇදුනොත් සතියක් යනකන් මාරි බිස්කට්  සහ කෝපි අල්ලන ගමන් මළ මගුල් ගෙවල් ගන්න වෙන්නේ නැත .. එහෙමෙ අවශ්‍යත් නැත … ඒ ඇරෙන්නට ඔටු දේශයේදීම සිරුර ආදාහනයෙන් පස්සෙ අළු ටික කොහෙට හරි ඉඩ තියන තැනක රටඉඳි ගහක් හෙවනට යට කරලා දාන එක අපි දෙදෙනාගේම ඒකමතික තීරණයක්.

~ කණ්ඩා !

පසු ලිපි :

මෙච්චර දිග හෑල්ලක් ලියුවත් කොරෝනා ටිකට් එක ලැබී වැලිගම්පිටි ජැක්පොට් එක ඇදුනොත් වයිවාරන අවමංගල්ල මංගල්ල කරන්නට අවසර නොලැබෙන බව කණ්ඩා උස ඒකීට කියන්නට ගියේ නැත … කොරෝනා මාරයා හඳ පලුවත්, ධර්ම චක්කරේත් කුරුසියෙත් වෙනස නොහඳුනන්නා සේම සියලු අවමංගල කටයුතුද ඒ සියල්ල නොසලකා නිරෝධායන පටිපාටියට අනුකූලව සිදු වනු ඇත.

වාසනාවට මේ වනවිට උස එකීත් උස එකාත් සම්පුර්ණයෙන් සුවය ලබා ඇති බවත් පවුලේ සියල්ල සුවෙන් බවත් පවසන්නේ අප්‍රමාණ සතුටකිනි. එහෙම නොවුනානම් කුමක් වේද කියා හිතන්නටවත් කණ්ඩා අකමැතිය, මේ හෑල්ල ලිව්වේ කම්මැලිකමටය … අනික අඬන්න බැරි තැන කරන්න තියෙන හොඳම දේ හිනා වෙන එකතමයි හැබැයි හිනා උනාට මේ අමාරු වෙලාවෙ තර නොවෙන එක නුවණට හුරුයි .. 🙂

ඒ ඇරෙන්න ගෙදරටම හිර වෙලා දුක් විඳින, රෝගාතුරව සුවය ලබමින් සිටින සහ විශේෂයෙන් මේ ඉතා අපහසු කාල පරිච්චේදයේදීත් තමන්ගේ සුව පහසුව නොතකා සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක අංශ, රාජ්‍ය සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදෙන සියලු දෙනාට කියන්න තියෙන්නෙ පරිස්සම් වෙන්න කියල විතරයි !

පෙර ලිපි :