Missing Front Teethඅද කියන්න යන සිදුවීම වෙලා දැනට අවුරුදු 15කටත් වැඩියි … මුහුණු පොතේ කියවපු කතාවකට මංතුමාම දාපු කමෙන්ට් එකක් රීසයිකල් කොරල අරගෙන තමයි මේ කතාව ලියන්නෙ. කණ්ඩත් එක්ක ඒ දවස් වල රාජකාරි කරපු සහ ඉගෙන ගත්තු අයට නම් මේක අමතක වෙන්න හේතුවක් නැහැ .

බන්දු සමරසිංහ කිව්ව ගමන් අපි හැමෝගෙම හිතේ ඇඳෙන මනෝ චිත්‍රයක් තියෙනවනෙ … ඔව් ඔව් අර බකස් ගාල හිනා යන සිනා නොමසන් දසන් දක්වා එක තමයි. මොකද එහෙම නැතිව වෙන අහවල් එකක්ද ? නමුත් ජීවිතේ පැය කිහිපයකට හරි කණ්ඩටත් ඔය කියන චරිතය රඟ දක්වන්න අවස්තාව ලැබුණ. දැන් ඉතින් දැන් ඉතින් කතාව අහන්නත් කලින් ගුලි කාල වගේ හිනා වෙන්න එපා යකුනේ ඔහොම්ම කියෝගෙන පහළට යමු 🙂

මේ කියන සංගදිය සිද්ධ උන වකවානුවෙ කණ්ඩ තමන්ගෙ මුල් රාජකාරිය උන පරිගණක දේශක තනතුර (දැන් ඉතින් සමහරු එයි ආපෝ උඹත් රොකට් ***** වගේ ලැච්ච්රයෙක්ද අහගෙන 🙂 ) අත ඇරල “පරිගණක ක්‍රමලේඛ සටහන් කරුවෙක්” බවට පත් වෙලා … ඒ මොකද්ද ඒ කුණු හරුපෙ කියල අහන්න එපා … ඒව තේරෙන්නෙ හෙළ හවුලෙ එවුන්ට විතරයි … අදටත් හෙළු බසින් කොම්පීතර තාක්ෂණය උගන්නන්නෙ එහෙමයි කියල දන්නෝ දනිති … හරි .. හරි .. වැල් බයිල නවත්තලා තේරෙන සිංහලෙන් කියනවා නම් “කම්පියුටර් ප්‍රෝග්‍රමර්”.

කණ්ඩව ප්‍රෝග්‍රමින් පැත්තට ඇදල දාන්න මුල් උන අතීසාර මිත්‍රයෙක් වෙන රුවන්ගෙ (මුන්දැ ගැන තව කතා තියෙනවා ඉස්සරහට) මාර්ගයෙන් හත් අට මාසයක් ඇතුළත දෙවෙනි වතාවටත් කොම්පැණිය වෙනස් කරල නුගේගොඩ තිබ්බ “Q” කොම්පැණියෙ දැහමෙන් සෙමෙන් රාජකාරි කරගෙන යනව. ඔය කොම්පැණියෙ ඉන්න ගමන් සෑහෙන දේවල් ඉගෙන ගත්ත, එකිනෙකෙක්ට නොගැලපෙන නොයෙක් ආකාරයේ හරි අපූරු මිනිස්සු සහ යාළුවො අඳුර ගත්ත. ඇටය, බඩා, චිකී, වල් අලිය, මර්සිය, බෝලය, පුබ්බයිය, චම්මයිය, ඇන්ත වගේ චරිත ගණනාවක් ඔය අතර ඉන්නව, මේ සමහර චරිත ගැන ඉස්සරහට ලියවේවි.

නුගේගොඩ කියන්නෙ යෞවනයේ පොපියන චමත්කාරය දෝරෙ ගලා යන ඉසව්වක් උනාට අපිට කොයින්ද පූසො මාළු .. ඒ දවස් වල වැඩ රාජකාරි අස්සෙ ඉර එළිය දකින්න ලැබෙන්නෙත් කළාතුරකින්. ඔහොම ඉන්න අතරේ මොකද්දෝ ඇරියස් උන පරණ පිනක් වැඩ කරල කණ්ඩටයි ඇටයටයි කන්තෝරුවෙන් කලින් පැනගන්න පොට්ට චාන්ස් එකක් ලැබුණ. කලින් කිව්වට ශෝට් ලීව් දාල දවල් පැන්න කියල හිතන්න එපා අපි එළියට බහිනකොට හවස 6-7 වෙලා තියෙන්න ඇති.

ඒ වගේම කතාවක් අහල තියෙනවද කාලකන්ණියො එළියට බහිනකොට ගල් වරුසා වහිනව කියල … අපේ වාසනාවට එදත් මුරුගසන් වරුසාවක් වැහැගෙන වැහැගෙන යනව … එහෙමයි කියල අපි කුඩ අරන් යන එකක්යැ කොල්ලෝ උනහම අවුවට වැස්සට ඕන දේකට ඔට්ටු වෙන්න එපැයි … අනික කුඩයක් නැතිව අසරණ අපි තෙමෙනවා දැක්ක ගෑණු ළමයෙක්ගෙ හඳුන්පොත උණු වෙලා අපිව කුඩේ යටින් අරන් යන්නේ නැතෑ කියල අපි සුපර් මාර්කට් එක පැත්තෙ ඉඳන් නාගෙන කියාගෙන නුගේගොඩ හන්දියට සම්ප්‍රාප්ත උනා. (සමහර අහිංසක හීන තියෙනවා කවදාවත් හැබෑ නොවෙන 😦 )

අම්බානකට තෙමුනට පස්සෙ අපි ගැන අනුකම්පා කරල වැහි දෙයියො චූ කරන එක නවත්තල පොදරින් මෝඩ් එකට මාරු උනා … දෙන්නම දැන් තෙමිච්ච කුකුලො දෙන්නෙක් ගානයි … වාසනාවට ඔය කියන වෙලාව වෙනකොට පන්ති ඇරිලා යන ගෑණු දරුවො එහෙම පාරේ බේතකටවත් නෑ … කවුරු බලන්නද කවුරු දකින්නද කියල ගෙදර යන්නත් හදල පොඩි බඩගින්නකුත් තිබ්බ නිසා ඇටයයි මමයි සව්සිරි බිල්ඩිම ඉස්සරහින් පාරේ අනිත් පැත්තට පැන ගන්න බැලුවෙ බෝ ගහ ගාව තිබ්බ ටොප් ෆෝම් හොටලේටවත් ගොඩ වෙන්න.

කොළඹ පැත්තෙ ඉඳන් කන්තෝරු ඇරිලා එන යාන වාහන වලින් පිරිලා ඉතිරිලා තිබ්බ නිසා ඒ හැටි අමාරුවක් තිබ්බෙත් නෑ … කණ්ඩට කෙල උනෙත් එහෙම හිතපු නිසාම තමයි. බඩ ගින්නට ඔක්කොම යටයිනෙ, අනේ ඉතිං අපි දෙන්න පාන් හොයාගෙන යන සොමාලියන්කාරයො දෙන්නෙක් වගේ දඩි බිඩියෙ බස් එකක් ඉස්සරහින් බෝ ගහ පැත්තෙන් එන වාහන දිහා බලාගෙන මාර්ග තරණය පටන් ගත්ත. කණ්ඩ ඉස්සර උනා ඇටය පිටිපස්සෙන් එනව.

Flying without Wingsඑකපාරටම කොළඹ දිහාවෙ ඉඳන් වැරදි පැත්තෙන් දාගෙන කලින්දා යන්න තිබ්බ ගමනක් යන මෝටර් සයිකල් රාජයෙක්  තීරණය කරා කණ්ඩට පියාඹන්න පුරුදු කරන්න. බයිසිකලේ  හැපුන කණ්ඩ නොහිතපු වෙලාවක ලැබුණ අධික ත්වරණයත් එක්කම ක්ලැරන්ස්ව අමතක නොකර  “පියාඹා යනවා මා ආකාසයේ” සින්දුවත් කියාගෙන පොළොවට සමාන්තර තලයක ගමන් කරන්න පටන් ගන්නවත් එක්කම මතක් උනා පියාඹන්න පුළුවන් උනාට ලෑන්ඩ් කරන්න බෑනේ කියල. එහෙමයි කියල අපි වැඩේ අත අරිනවද ?

නෑනෙ .. නෑනෙ .. අසුරු සැනින් ඉස්සර කාපු ටිකිරි මාරි එකක් ෆයර් වෙලාද කොහේද A/L කාලෙ සුභද්‍රාරාමෙ පැතුම් විමානේ දැල් කවුළු ගහපු කුකුල් කොටුවක් ඇතුළෙ පශ්චාත් භාගයෙනුත් බාගයක් විතර යාන්තමට තියා ගන්න පුළුවන් ලී බංකුවක වාඩි වෙලා ඉන්න අතරෙ “කොට මෙණ්ඩ” සර් ඉගැන්නුව ප්‍රක්ෂිප්ත වලට අදාල හෞතික විද්‍යා සිධාන්ත ඔක්කොම එකින් එක මතක් උනා. මෙන්ඩිස් සර්ට “කොට මෙණ්ඩ” කිව්වේ අපි නෙමෙයි … එයිට අල්ලපු ශාලාවෙ කොම්බ මැත්ස් උගන්නපු බඩ තඩි උනාට කරාටේ බ්ලැක් බෙල්ට්ධාරී සුමේධ සර් (එයාම තමයි ඔව්ව කියන්නෙ අපි නෙමෙයි).

හැබැයි ඒ දවස් වල සුභද්‍රාරාමෙ ඔය පන්ති දෙකේ හිටියට වඩා වැඩි කාලයක් අපි හිටියෙ ලැවීනියා හෝල් එකේ මකුණො එක්ක කාලීන සාකච්චා පවත්වමින් … උන් එක්ක ෆිසික්ස්, කෙමිස්ට්‍රි හෝ පලවෙනි පාරට හඳුන්වල දුන්න කොම්බ මැත්ස් වලින් එහා ගිය බයොලොජි ලෙසන් තමයි වැඩිපුරම බැලුවෙ. පස්සේ A/L විභාගෙ ඉවර උනහම ඒවයෙ ප්‍රථිපල එළිපිට පේන්න තිබ්බ … කණු 3 ක් කර තියාගෙන සුදුසුකම් සපුරාගෙනත් අපිව විදුලිබල මණ්ඩලේටවත් අර ගන්න ක්‍රම වේදයක් ඒ කාලෙ තිබ්බෙ නැහැ … කතාවෙන් පිට පැන්නද මන්ද ? ඔය අනවශ්‍ය කතා මෙතනට අදාළ නැහැනේ … 🙂

Flying Formulaකොහොමෙන් කොහොම හරි සුටුස් ගාල s=ut+1/2at^2 සමීකරණය දාල බැලුව ලෑන්ඩ් කරන්න තැනක් හොයාගන්න පුලුවන්ද කියල. ඒ කාලෙත් නුගේගොඩ හන්දියෙ පන්සල ඉස්සරහ පාරේ මැද සුදු ඉරි ඇඳලා තිබ්බ නිසා ලෑන්ඩින් ස්ට්‍රිප් එක ලෑස්තියි … නමුත් කලින් දවසෙ වැඩිපුර ගිලපු  පරෝට 7-8 ක් හන්ද ස්කන්ධය වැඩි වීම හේතුවෙන් කණ්ඩගෙ ගණනය කිරීම ඔක්කොම වැරදිල “S” එක කොට වෙලා හිතුවටත් කලියෙන් ක්‍රෑෂ් ලෑන්ඩ් කරන්න උනා මිත්‍රවරුනි. හදිස්සියට හරිහමන් විදිහට ලෑන්ඩින් ගියර් පාත් කරන්න බැරි උන නිසා බොහොම අවාසනාවන්ත විදිහට වචනයේ පරිසමාප්තයෙන්ම හොම්බෙන් තමයි ලෑන්ඩ් උනේ.

ලෑන්ඩ් කරපු ගමන් රෝල් වෙලා ගියත් දනිපනි ගාල නැගිටල පාර අනිත් පැත්තට පනින්න තරම් සිහි කල්පනාවක් කණ්ඩට තිබ්බ … ඉක්මනට අතපය හතරම අත ගාල බැලුව කිසි ඩැමේජ් එක්ක නැහැ … බිම වැදුන පාරට නිකට පැලිල ලේ එනව වෙන අවුලක් නෑ වගේ … ඒ එක්කම කටම ලුණු රහක් දැනෙන්න ගත්තෙ.. අනික පැච් එකක් ගිය ටයර් එකක් ගානට කටේ තියෙන හුලං නිකංම එළියට යනව වගේ තේරෙනව. මුලින් හෙන සීරියස් මූඩ් එකකකින් මං ගැන හොයල බලාපු  මාත් එක්ක හිටිය යාලුව ඇටයට හිනාව නවත්ත ගන්න හෙන අමාරුවෙන් ගේමක් දෙනව. ඉස්සරහ තියෙන කෘන්තක දතක් සුනාමි ආධාර වගේ හිටිගමන් අතුරුදහන් වෙලා .. කණ්ඩ බන්දු සමරසිංහ වෙලා.

ඔය වෙනකොට බයිසිකලේ පැදන් ආපු මනුස්සය හොඳටම බය වෙලා අපිට පින්සෙණ්ඩු වෙනව … මිනිහ ඇත්තටම මළ වදයක් උනා … ඒත් අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ දතට මොනවද උනේ කියල … අර කලින් තිබ්බ බඩගින්නත් දැන් නැහැ, වැරදිලා ගැලවුන දත එහෙම්ම ගිලුනද දන්නෙත් නැහැ … ආයෙත් හැරිලා ගිහින් බලනකොට පාර මැද සුදු ඉරට ජුන්ඩක් මෙහා දන්ත ධාතුව දිලිසි දිලිසි පාර මැද වැටිල තියෙනව … කවුරැවත් ඕක දැකල පාර මැද්දෑවෙ දළදා මාළිගාවක් හදන්න කලිං දඩිබිඩි ගාල දත අහුලන් ලේන්සුවෙ ඔතාගෙන සාක්කුවේ දාගත්ත, ආපහු හයි කරන්න බැරි උනත් සිහිවටනයක් විදිහට හරි තියා ගත්තෑකිනෙ.

ඔය අතරේ අර බයිසිකලේ ආව මනුස්සයට දැන් තවත් අප්සෙට් සල්ලි දෙන්න අහනව … ඉස්පිරිතාලෙ එක්ක යන්න අහනව එක විකාරයයි .. බොහොම අමාරුවෙන් බලෙන්ම ශේප් කරල මිනිහව යැව්ව. පහු කාලෙක අපේ යාලුවන්ගෙන් දෙන්නම බලු බැනුම් ඇහුව ඒ මනුස්සයගෙන් බෙහෙත් හේත් අර ගන්නවත් කීයක් හරි ඉල්ල නොගත්ත එකට. නමුත් අපේ නොසැලකිලිමත්කමට අපි වගේම තවත් අහිංසක මනුස්සයෙක්ගෙන් සල්ලි කඩා වඩාගෙන මොනවා ලබා ගන්නද ?

Bandu Samarasingheමට එහෙමට අමාරුවක් තිබ්බෙත් නැහැ … ත්‍රී වීල් එකක්වත් එනකන් නොහිටිය ඇටයයි මායි ආව පළවෙනි බස් එල්ලිල කෙලින්ම ඇද්ද ඇස්වාට්ටුවට …ඇස් වාට්ටුව කිව්වට ඇස් වාට්ටුවමත් නෙමෙයි එයිට ජුංඩක් එහාට වෙන්න තියන දත් වාට්ටුවට … ඒ යන අතරේ අපිට වෙච්ච ඇබැද්දිය ඇටය කෝල් කරල රුවන්ට කිව්ව. ඔය කාලෙ රුවන්ගාව විතරයි අපේ සෙට් එකේ වාහනයක් තිබ්බෙ අනේ දෙපාරක් නොහිතා මිනිහ අපිව ගන්න ඩෙන්ටල් එකට එනව කියල කිව්වා.

ඉතිං ඔය යන අතරේ දාහක් විකාර ඔලුවට එනව යනව … අපේ නංගි පොඩි කාලෙ මල්ලි එයාව තල්ලු කරලා වැටිල ඉස්සරහ කිරි දතක් නැතිව පෙරහරේ ගිහිං අලියෙක් පයින් ගැහුවා වගේ ඉන්නකොට “ලොම්බි” කියල විහිලු කරපු හැටි … කළ කළ දේ පල පල දේ කියල මටත් එහෙමම වෙන්න යන හැටි… අනිත් දවසෙ ඉස්සරහ දතක් නැතිව ඔෆිස් යන්නෙ කොහොමද ? අපේ එවුන්ගෙන් අහන්න වෙන කඩප්පුලි කතා අහගෙන ඇඳුමක් ඇඳන් ඉන්නෙ කොහොමද ? බස් එකේ යන එන ගමන් ලස්සන ගෑණු ළමෙක් දිහා බලල හිනා වෙන්නෙවත් කොහොමද ? ඒ දවස් වල අපේ හාමිනේ එක්ක හුටපටේ පටන් අරගෙන නැති හින්ද කෙල්ලෙක්වත් නෑ .. මේ යන විදිහට ඉස්සරහට ඉන්න එකකුත් නැහැ, අසරණ කණ්ඩට තනිකඩවම මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ 😦

ඔය වගේ වෙන්න තියෙන දරුණුම කරුමක්කාර දේවල් මතක් වෙනකොට ඇඟ හිරි වැටිල යනව … නමුත් ඒ වෙව්ලන්නෙ පෙඟෙන ගානට තෙමිලා උන්න එකේ හීතලට වෙන්න ඇති කියල කණ්ඩ හිත හදා ගත්ත. ඔය අස්සෙම ඇටය බස් එකට සල්ලි දෙන්න හදනකොට මම කොන්දොස්තරගෙ අතට සල්ලි දීල ඇස් වාට්ටුවට ටිකට් ඉල්ලලත් ඉවරයි .. හැබැයි ඒ මනුස්සය මගේ මූණ දිහා බලල ආවට වඩා ඉක්මනට හිනා වෙලා ගිය විදිහට මගේ ලුක් එක කොහොමට තියෙන්න ඇතිද කියල මට හිතා ගන්න පුළුවන් … ඇටය ෆුල් සීරියස් පිට ඉන්න සෑහෙන ගේමක් දෙනව ඒත් කතා කරනකොට මූට බකස් ගාල හිනා යනව. (නෙදකින් ** ඇටය) !!!

එතන ඉඳන් සිනා නොමසන් දසන් දක්වා තමයි … කට ඇරලා කතා කරන්න ඕන තැන් වලදි ඇටයව ඉස්සරහට දැම්ම …ඩෙන්ටල් එකේ ඩොකා ගාවදිත් මූව දාන්න බැරි නිසා මමම ගියා … ඩොකා ඇන්ටි දත චෙක් කරලා බලල සෑහෙන් සීරියස් මූඩ් එකකින් මගේ දිහා බැලුවම උඩට ගත්ත හුස්ම පහලට දාන්න අමතක උනත්  … දත මුලින්ම ඉදිරිල ඇවිත් නිසා කිසි අවුලක් නැතිව ආයෙත් හයි කරන්න පුළුවන් කියල කිව්ව එක හිතට ලොකු සැනසුමක් උනා … නමුත් හොඳ යාලුවෙක් විදිහට ඇටය නම් ඒ ගැන හදවතින්ම දුක් උනා. දත සුද්ද කරලා ආපහු හයි කරන්න ලැස්ති වෙනකන් කණ්ඩව නිකටට බෙහෙත් දාගෙන එන්න කියල එතනම එහා පැත්තෙ තිබ්බ තව කාමරේකට යැව්ව.

බෙහෙත් දාන්න හිටිය මනුස්සය කණ්ඩව දැකපු ගමන් නොහිතපු විදිහට කලබල උනා අසාධ්‍ය ලෙඩෙක් කියල .. එතකොට තමයි මීටර් උනේ නිකටෙ තුවාලෙන් බේරුන ලේ ඇඳන් හිටිය ටීෂර්ට් එක පුරාම වැටිල හරියට කණ්ඩව නිකන් අවාසනාවට ඒ කාලෙ පුපුරන බස් බෝම්බෙකට අහු උනා වගේ .. ඒ මනුස්සය දහ සැරයක් විතර සැරින් සැරේ කණ්ඩගෙන් ඇහුව වෙන තුවාල තියෙනවද කියල … විශ්වාස නැති නිසාද මන්ද ටී ෂර්ට් එකත් ගලවල පරික්ෂා කරා (හැබැයි කලිසම් ගැලෙව්වේ නෑ ) .. ලෑන්ඩ් කරනකොට යන්තම් හීරුන තැනක් දෙකක් සහ තැලුමක් ඇරෙන්න වෙන ලොකු ආබාධ නැහැ … හැබැයි නිකටෙ තුවාලෙ අපි  හිතුවට වඩා බර පතලයි, හම පැලිල නිසා මැහුම් 3-4 ක් ගහන්න උනා !

නිකටට මැහුම් ගහගෙන ආයෙත් දත් ඩොකා ඇන්ටි ගාවට ගියා … ඒ යනකොට දන්ත ධාතුව සුද්ද කරලා වීදුරු දීසියක් මැද්දෙ දිලිසි දිලිසි තියෙනව වන්දනාමාන කරන්න හිතෙන ගානට …  බෙංගාල බොක්කට යනකන් පේන ගානට කට අරින්න කියල දත ගැලවුන තැන සුද්ද කරනකොට ඩොකා ඇන්ටි මගේ මූණ දිහා බලාගෙන හිනාවෙන්නෙ නැතිව හිටියෙ කොහොමද කියල අදටත් තේරෙන්නෙ නැහැ … හැබැයි ඉතිං හිනා උනත් දාන් උන්න මාස්ක් එක නිසා න්නෙ නැහැනෙ.

Dentists Chairඒ දොස්තර ඇන්ටි හිතුවට වඩා ඉක්මනට ගැලවුණ දත ආපහු ඇතුළට ඔබල ප්ලාස්ටර් එකක් දැම්ම. නෑ .. නෑ .. බෑන්ඩ් ඒඩ් එකක් නෙමෙයි අර ප්ලාස්ටර් ඔෆ් පැරිස් වගේ කිරි මැට්ටෙන් හදාපු එකක් … කොටින්ම කොයිතරම් ඉක්මනට වැඩේ ඉවර උනාද කියනවනම් දොස්තර ඩෙන්ටල් චෙයා එකෙන් නැගිටින්න කිව්වහම කණ්ඩ හිතුව වැඩේ කරන්න බැරි වෙලාවත්ද කියල … ඔක්කොම  ඉවරද කියල ඇහුවම මගේ ඔලුවේ තිබ්බ සැකය තේරුන නිසාදෝ ඩොකා මගේ මූණත්තඩුව බලා ගන්න කණ්නාඩියක් දුන්නට පස්සේ තමයි යන්තන් බය අඩු උනේ.

ඒත් ඒ තරම්ම සතුටු වෙන්න කාරණයක් නැහැ, ඒ දාපු ප්ලාස්ටර් එක නිකන් හරියට කට ඉස්සරහින් තාප්පයක් ගැහුවා වගේ … මනස්කාන්තයි … අයස්කාන්තයි … දර්ශනීයයි … කට ඇරල හිනා වෙනකොට … ඛේදනීයයි … ශෝචනීයයි … බෙහෙත් කියල නම් එහෙමට යමක් දුන්න බව නම් මතක නැහැ. හැබැයි මාසයක්වත් යනකං කල්ලල් ලෑ … බොල්ලල්ලෑ … හිලාවෙල්ලල්ලෑ කියල දැන් බුදු ෂුවර්.

පූරුවෙ කරුමෙකටද මන්ද අමුතු ඇටේ සෞක්කිය ක්ෂේත්‍රයත් එක්ක ලොකු ඇරියස් එකක් සහ රජයේ/පුද්ගලික ඉස්පිරිතාල එක්ක මහ එපා කරපු අත්දැකීම් රැසක් තිබ්බ කණ්ඩට මෙදා එහෙම නොවුන බවත් …. කිසිම විදිහකින් රස්තියාදු නොකර ඉතාමත් ඉක්මනට හැම දේම කරලා දෙන්න ඩෙන්ටල් එකේ හිටපු කාර්ය මණ්ඩලය කටයුතු කරපු බවත් කියන්නෙ බොහොම ස්තුති පුර්වකව.

මේ නාට්ටිය මෙතනින් ඉවර උනා කියල ඔහෙම හැමෝම හිතනවානම් ඔය හැමෝටම වැරදිලා මිත්‍රවරුනි … අපි ඩෙන්ටල් එකේ වැඩ ඉවර වෙලා වැඩි වෙලාවක් යන්න කලියෙන් රුවන් ආව අපිව ගන්න … අපේ නොසැලකිලිමත්කම ගැන සෑහෙන දෙහි කැපීමකින් සහ බණ දේශනාවකට පස්සෙ ඊළඟට තියෙන ප්‍රශ්‍නය සලකල බැලුව .. ලේ පෙරාගෙන ගෙදර යන්න බැහැනෙ. මෙහෙම ගියොත් අම්ම කලබල වෙනවා ෂුවර්. ඉතිං රුවන් යෝජනා කරා බත්තරමුල්ලෙ හිටිය මේ හාදයගෙ වෙන්ට හාමිනේ “ලස්කි”ගෙ ගෙදර ගිහින් මූණ කට හෝදගෙන යන්න. ඒ දවස් වල ලස්කිලගෙ ගෙදර යන්න තවත් හේතුවක් හොයා ගත්ත රුවන් ඉබ්බා දියට දාන්න හදනකොට ඇන්නෑවේ කියන්න වගේ අපි හා කියන පරක්කුවෙන්  බත්තරමුල්ල බලා යානාව ගුවන්ගත් කරා.

එහේ ගියාට පස්සෙ අපේ අම්මගෙන් බැනුම් අහන හැටි පෙරහුරුවකට සුදානම් වෙන්න අවස්තාව ආයෙත් කණ්ඩට ලැබුන … ඒ “ලස්කි”ගෙ අම්මයි තාත්තගෙනුයි ආයෙත් කන් පිරෙන්න බැනුම් අහපු නිසා. “ලස්කි”ගෙ ඇඳුම් අඳින්න බැරි නිසා මගේම ටී ෂර්ට් එක හෝදගෙන ඇඳ ගත්ත … ලස්කිලගෙ ගෙදරින් සංග්‍රහ භුක්ති විඳල .. (නෑ .. නෑ .. මම නෙමෙයි, මං බලන් ඉන්නකොට රුවනුයි ඇටයයි මට පෙන්න පෙන්න කෑව 😦 ) ඇටයවත් බෝඩිම පැත්තෙන් හලාගෙන කණ්ඩව රුවන් ආයෙත් කාර් එකේම ගෙදර ගිහින් දැම්ම … එහෙම කරල අපේ අම්මට එක දාගෙන ආයෙත් මට බැනුම් අස්සවල හොඳ පුතා වෙලා ඌ යන්න ගියා 🙂

මොකවත්ම නොවුන ගානට පහුවදා ඔෆිස් යනකොටත් ඇටය ඔෆිස් එක ගිණි තියල ඉවරයි … එදා මං අහපු පඩත්තර කතා …විශේෂයෙන් මාත් එක්කම හිටිය ඇටය, බඩා, වල් අලිය සහ චිකී කියපු දේවල් … එක්කො ඒ ගැන අපි කතා නොකර ඉම්මු. ඔන්න ඔහොමයි ලොම්බේ කතා වස්තුව අහවර උනේ … කරුමෙට එදා ඇටය මගේ පින්තුරයක් ගන්න හදනකොට මං උගේ බෙල්ල මිරිකන්න හැදුවෙ නැත්තං මේ කතාවට ලස්සන පින්තුරෙකුත් අමුනන්න අවස්තාව ලැබෙන්න ඉඩ තිබ්බ.

පසු ලිපි :

Smiling without Teethඅද වෙනකොට කණ්ඩගේ දත ? එදා ඩොකා දත ඇලෙව්වෙ මල්ටි බොන්ඩ් දාලද කොහෙද ඇලෙව්වොත් ඇලෙව්වම තමයි ! තාමත් තිබ්බ විදිහටම අපුරුවට තියෙනව. මේ කතාවට සම්බන්ධ අය ලෝකෙ තැන තැන විසිරිලා ගොහින් … සංසාරෙ පුරාවට පතාගෙන ආපු විදිහටම ලස්කි රුවන්ගෙ නාහේ විදලා ලණුව දැම්ම … දෙදරු පියෙක් වෙන රුවන් සිංගප්පූරුවෙ විප්‍රවාසීව රාජකාරි කරනව .. අවාසනාවට කොරෝන වලට හිර වෙන්න කලියෙන් එහෙ ගිය වෙලේ හම්බ වෙන්න බැරි උනා 😦 ලස්කි ළමයි එක්ක ලංකාවෙ … ඇටය පවුල් පන්සල් වෙලා කැන්ගරුලන්තෙ බොහොම ආතල් ජිවිතයක් ගෙවනව … කණ්ඩා නොහොත් මංතුමා මැදක් නැති පෙරදිග කොරෝනා වලට කොටුවෙලා කම්මැලිකම මකා ගන්න කතන්දර ලියනව !

~ කණ්ඩා