WFMචීන කොරෝනාව හේතුවෙන් මාස දෙකහමාරකට අධික වර්ක් ෆ්‍රොම් හෝම් නිද්‍රා සමයකට යටත්ව සිටි බොහෝ දෙනා මෙන්ම කණ්ඩාද සිටියේ මහත් සිත් තැවිල්ලෙන් සහ නොඉවසිල්ලෙන් බව කියන්නට ඕන. එකම සැනසීම අපි දෙන්න මෙන්ම අනෙක් නෑදෑ හිතවතුන් සියල්ල කොරෝනා වලින් බේරී යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටීමත් විතරයි. හෝව් .. හෝව් .. තව පොඩ්ඩෙන් අමතක වෙනව … යාළුවො හැමෝම බේරුනා කියල කියන්නත් බැහැනෙ !

හාමිනේගෙ අතීසාර Ex-පොල්මෝල් යාළුවෙක් වෙන උස එකී, එයාගෙ හස්බණ්ඩා වෙන උස එකා සහ සිංහල බ්ලොග් ලෝකෙ බොහොම කැමති චරිතයක් වෙන “අරූ” ගැන තව පොඩ්ඩෙන් අමතක වෙනව. පොඩි අතපසු වීමක් උනේ වෙන එකක් හන්ද නෙමෙයි ඔය කියාපු දෙන්න තුන් දෙනාම කොරෝනා පරද්දල සැපෙන් සනීපෙන් ඉන්න නිසා. හැබැයි ඒකෙන් කණ්ඩ මුල හිටන්ම කියපු තවත් දෙයක් ඉඳුරාම ඔප්පු උනා … ඒ හාමිනේ සහ එතුමියගේ මිත්‍ර වයිරස් වලට කොරෝනා උනත් මට්ටු වෙන බව.

කොටින්ම කොරෝනා vs උස එකී සටන හරියට නයිස් එකකට පොල් පිත්තකින් ගැහුව වගේ බොහොම ඒකපාර්ශවික සටනක්. අනික උස එකාට උනත් පණ බෙර ගන්න පුළුවන් උනේ උස එකී එක්කම ඉඳල ප්‍රතිශක්තිය වර්ධනය වෙලා තිබුන නිසා වෙන්ට ඕන. ඒ නිසා දෙයියනේ කියල හාමිනේ එක්කම ගාල් වෙලා ඉන්න නිසා කණ්ඩට උනත් මේ දවස් වල කොරෝනා මාරයා ගැන වැඩිදුර හිතන්නෙ නැතිව සනීපෙට නින්ද යනව.

Corona Virusහැබැයි ඉතින් අඬන්න බැරි තැන හැමදේම වගේ මේකත් විහිළුවට ගත්තට තත්වය තවමත් හුටු හුටු … දැනට මාස දෙකකට විතර කලියෙන් කණ්ඩා ඉන්න දේසෙ 1,500 කට විතර තිබ්බ කොරෝනා මීටරය මේ ලියන වෙලාවේ 54,450 ක් පන්නල. අහල පහළ ඇතැම් රටවල තත්වය මෙයිටත් වැඩිය දරුණුයි, ලොව පුරා මරණ 568,500 කටත් වැඩියි. යන විදිහට මේ වසංගතය විසඳෙන්න තව කොයි කාලයක් යාවිද කියන්න නොට්‍රඩාමස් උන්නැහේටවත් බැරි බවට සැකයක් නැහැ. සාර්ථකව කොරෝනා මැඩලන්න පුළුවන් එන්නතක් හොයාගන්නත් තව කාලාන්තරයක් බලන් ඉන්න වෙයි කියල තමයි දැනට තියන ආරංචිය. එහෙමයි කියල අඬන්නද ? අපි නං අඬයි … අපි කොරෝන වලටත් හිනා වෙනව.

ඔය මරාගාත සියල්ල අස්සෙ ලෝකයම ලොක් ඩවුන් වෙද්දි සති අන්තයක්වත් ගෙදර ඉන්නට බැරි තරමේ ඇවිදින උණෙන් පෙළෙන කණ්ඩාට ගෙට ගාල් වෙන්නට සිදුවීම තමයි ඉවසන්නට බැරි. හොඳ වෙලාවට මේ උණය අනෙක් උණ වගේ උණකටු වලට අහු වෙන්නෙ නැහැ. ගෙයි ගෙම්බා වගේ අතපය අකුලන් ඉන්න වෙන එක පට්ට කම්මැලි වැඩක්. ලොක් ඩවුන් එක්ක ඉඳහිට එන ඊ-මේලයක් හෝ දුරකථන ඇමතුමක් ඇරෙන්න රාජකාරි වැඩත් එහෙමට නෑ, මුල් දවස් වලදි ඇවිදින කැසිල්ල හොඳකර ගන්නයි කාලය කන්නයි උදේ හිට රෑ වෙනකම් යූ බටය හරහා සංචාරක වීඩියෝ බැලූවට ටික කාලෙකින්ම ඒකත් තිත්ත උනේ බලන තරමට හිතේ දුකත් වැඩි උන හන්ද.  මෙහෙම ගියොත් ඩිප ගහල තමයි නවතින්නෙ, මේ කාලේ ඇතුලත  සියදිවි නසා ගැනීම් එහෙමත් සිඝ්‍රයෙන් ඉහළ ගිහින්.

ඉන් පස්සෙ පිහිටට ආවේ මෙතෙක් නරඹන එක අතහැරල දාල තිබ්බ Netflix වල ඇති මෙගා නාට්ටි වගේම වැලේ වැල් ඇදෙන ටෙලි වෘතාන්ත මාලා සෙට් එක. ඒවත් එකක් බැලුව ගමන් අනෙක් එකේ කතාව උනත් කියන්න පුළුවන් තරම් දුරදකින ඥානයක් අපි දෙන්නටම ලැබුණ නිසා එකටත් වැඩි ආයුෂ තිබ්බෙ නැහැ … ඉතින් මේ දින වල අලුතින් චිත්‍රපටි එළි නොබහින නිසා කලින් නරඹල තියෙන චිත්‍රපටි එකතුව පරණ තැටි වගේ වරින් වර නැවත බලන එකත් පට්ට කම්මැලි වැඩක්, ඒත් සමහර ඒවා පහුගිය මාස 2-3 ට හතර පස් පාරක් බලල.

බැරිම තැන කණ්ඩා ආපහු යූ බටේට එබිල සංගීතය, ලෝක ඉතිහාසය සහ දේශපාලනය වැනි කෑම-බීම, රාජකාරි සහ කොරෝනා වලට වාඩා වැදගත් මාතෘකා ගැන කියවන්න පටන් ගත්ත. ඔය කියන කිසිම දෙයක් ගැන වැඩිය නොදන්නා නමුත් මේ කියවන ටික මේ අමාරු දවස් වල ඉන්ටනෙට් පණ්ඩිතයෙක් ලෙස පෙනී සිටින්නට ප්‍රමාණවත්. හාමිනේට ඔය කියන දෙයක් අදාළ නැති හන්ද ඇහැරිලා ඉන්න පැය ගානෙන් 80%ක් වෙලාව මොබයිල් ගේම් ගහන්න. එතකොට ඉතිරි 20% එක ඉතින් දුර බනුව ඔස්සේ අන්තර්ජාතික ප්‍රශ්න විසඳීම ඇතුළු අනෙකුත් රාජතාන්ත්‍රික කටයුතු වලට තමයි.

හැබැයි කණ්ඩව ගෙදර තියා ගන්න ලැබුන එක ගැන හාමිනේ නම් සෑහෙන සතුටින්, හාමිනේ කියන විදිහට නම් කණ්ඩට ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නට ලැබිල තියෙන්නෙ පෙර කළ පිනකට … අපි දෙන්න රෑ එළිවෙනකන් වල්පල් කියවමින් රූපවාහිනිය බලමින් රණ්ඩු වෙවී යාළු වෙවී ගෙවන දවස සාමාන්‍යයෙන් අහවර වෙන්නෙ පාන්දර 2-3 ත් අතර. ඒ යක්කු ගස් නගින වෙලාවට ආරම්භ කරන නින්දට පින් සිද්ධ වෙන්න පහුවදා ඇහැරෙන්නෙත් දහවල් 11-12 වෙලා, බඩේ ඉන්න පණුවන්ට විකාල භෝජනා කැඩෙන්නට හොඳ නැති නිසා කෙසේ හෝ දවල් 12 ට මිනිත්තු කිහිපයකට කලින් තේ බීල උදේ කෑම ගන්නෙ බැරිම තැන.

Kitchen Choresඔහොම සංවේගයෙන් වේගයෙන් කාලය ගලා ගලා යද්දි නොහිතපු මරාලයක් ඉහේ කඩා පාත් උනේ හාමිනේ අර කලින් කියාපු පෙර කරපු පිනක් හන්ද වෙන්න ඕන. වර්ක් ෆ්‍රොම් හෝම් කියන්නෙත් ගෙදර වැඩ කිරීම හෙවත් හෝම් වර්ක් කියල හාමිනේ වරදවා වටහා ගැනීම තමයි මේ හැම දේටම මුල. මේ වැරදි වැටහීම හේතුවෙන් කණ්ඩට පහුගිය කාල සීමාව පුරා කරදර රාශියකට මුහුණ දෙන්නට වූ බව කියන්නෙ හද පිරි ශෝකයෙන්. නමුත් යුග දිවියේ සාමය ආරක්ෂා කර ගැනීමඋදෙසාත් ගෘහස්ථ හිංසනයෙන් ගැලවීමටත් අන් අහිංසක හස්බණ්ඩන් වගේම කණ්ඩටත් හාමිනේට අවනත වෙනවා ඇරෙන්නට වෙනත් විකල්පයක් නොවූ බව පවසන්නෙ හද පුරා උතුරන ශෝකයෙන්. ඒ නිසා හාමිනේ කියන පින මේක නම් පින් කරන එක හැකි තරම් අඩු කරන්නට ඕන.

ඔය විධිවිධාන යටතේ පහුගිය දොහේ හිට තේ හදන එකත් කණ්ඩාගේ නිත්‍ය ගෘහස්ථ රාජකාරි වලට ඇතුළත්, අත්තිඩියේ මල්ලිකා ජෝසප් යටතේ සහායක ඩැනීකම හිමිව තිබ්බ කණ්ඩා ඉස්සර කරේ එළවලු කපන කොටන සහ උයන පිහන වළන් පිඟන් හෝදන එක විතරයි. නමුත් දැන් හාමිනේගෙ දැඩි අධීක්ෂණය යටතේ උයන පිහන වැඩෙත් කණ්ඩගේ කර පිටම වැටෙන පාටක් තියෙන්නෙ. තමන් හස්බණ්ඩාව හදල අර ගත්ත බවට හාමිනේගෙ උදාන වාක්‍ය, උයන්න පිහන්න ඉගෙන ගන්න එක ලොකු උනහම සෑහෙන වටිනා බවට ලැබෙන උපදෙස් ඔය අතරට නිතර අහන්න ලැබෙනව. හැබැයි එහෙම ඉගෙන ගන්න ලැබෙන්නේත් පෙර පින් ඇති අයට විතරලු.

කාට කියන්නද මෙව්වා ? උන්දැගෙ නැන්දම්මට කිව්වත් එයත් ගන්නෙ පුතාගෙ පැත්ත නෙමෙයි ලේලිගෙ පැත්ත, අම්මටත් ඉනාවක් කවලද මන්ද ? මේක දිගින් දිගටම කරන්න බැරි නිසා හොරෙක් හතුරෙක්ටවත් වැරද්දක් නොකරන හාමිනේ දිවය ලෝකේ යන්න ප්ලෑන් කරන් ඉන්න එකේ මින් මත්තට හැකි තරම් පව් කරල අපායෙ යන්නට කණ්ඩ තීරණය කරා. අපාය සහායක යාලු මිත්‍රයො ඔක්කොමත් එහේට පර්මනන්ට් රෙසිඩන්ස්    හදාගෙන නිසා කනක් ඇහිල ආතල් එකේ ඉන්ට පුළුවන්. අනික කාපාළුවො සෙට් එක්ක ඉන්න එකේ අපායේ ජොලි කරන්න්නන්ගේ සංගමයක් පිහිටවාගෙන යම පල්ලන්ට සද්දයක් දාල ලෝදිය අවන් ටික වහල දාල කටු ඉඹුල පැන්ෂන් යවන එක අමාරු වෙන එකක් නැහැ.

හැබැයි අපායේ යන එක උනත් ගමරාළ අලි නැට්ටෙ එල්ලිල දිව්‍යලෝකෙ ගියා වගේ ලේසි නෑ ලොකු ලොකු එව්ව නැතත් පස් පව් ටිකවත් හරියට කරන්ට එපැයි. ඒ ගැන කල්පනා කරද්දි  කණ්ඩගෙ වැඩියත්ම හිත ගියේ තුන් වෙනි සිල් පදය කඩන්න තමයි ඉතිං. එහෙම නෙමෙයි කියල කිව්ව නම් එයින් හතරවෙනි සිල් පදේ කැඩෙන නිසා ඉක්මනින් අපායෙ යන්න පුළුවන්. ඒත් මේ දවස් වල ලොක් ඩවුන් නිසා තුන්වෙනි සිල්පදේ කඩන්න තියන ප්‍රයෝගික අපහසුව තමයි හෙනේට හිටියෙ. අනික කණ්ඩා තුන් වෙනි සිල් පදේ කඩල වැරදිලාවත්  හාමිනේට අහු උනොත් උන්දැ අතින් පළවෙනි සිල්පදය කැඩෙන්න ඉඩ තියනවනෙ. අපායෙ යනවා කියලත් හරි කාලේ බලල යන්න එපැයි, ඒ අදහස අත් ඇරල දැම්ම.

ඉතින් ඒ ගමන අකමැත්තෙන් උනත් දෙවෙනි සිල් පදයට අවධානය යොමු කරා ඒකටත් පල පුරුද්දක් නෑ … මොකද අපි කියල දේශපාලනය කරනවැයි. අනික තුන් වෙනි සිල්පදේ වගේම ලොක්ඩවුන් අස්සෙ හොරකමේ යන එක ප්‍රායෝගික නෑ … කරන්නං වාලෙ සිල්ලර හොරකම් කරල නොණ්ඩි වෙන එක තත්වෙටත් හරි මදි .. ඔන්න මහ බැංකුව සුද්ද කරන එක,  කොරෝනා ආධාර හොරකම් කරන එක වගේ ගෞරවනීය හොරකම් නම් තව කමක් නෑ . ඒත් ඔටු දේසෙ පොලිස් මාමල වගේම අච්චු කිරිල්ලත් හරි සැරයි .. ඉතින් ඒකත් කැන්සල් . කරුමෙට දැන් ඉතිරි වෙලා තියෙන්නෙ අන්තිම සිල් පදේ විතරයි.

whiskey-glassඅන්තිම සිල් පදය කඩන්න නං ඉතින් කිසි කරදරයක් හෝ අකමැත්තක් නෑ (අඩු තරමේ කණ්ඩා හිතුවෙ එහෙමයි), සාද වලට සහ ගෙදර එන යාළු මිත්‍රාදීන්ට සංග්‍රහ කරන ගමන් ඒ හැමෝගෙම අපායගමනයට පාර කපන පුණ්‍ය චේතනාවෙන් නොපසුබටව රැස් කරගත්තා වූ නැටුම් තෙල් රාක්කයක් පිරෙන්නට ගෙදර තියෙනව. හැබැයි ප්‍රාණ ඝාතය කරන්න බැරි උනාට බඩේ පණුවන්ට නම් මේ පණු බේත් වලින් සබ්බුව හම්බ වෙනව. ඉතිරි වෙලා තියෙන්නෙ කට ගැස්මක් හදා ගන්න එක විතරයි, හාමිනේගෙ අනිවාර්ය කුකරි ක්ලාස් වලට පින් සිද්ධ වෙන්න මට උනත් හදන එක මහා කජ්ජක් නෙමෙයි.

එකම අවුල ඔය මොන අනුපානයත් තනියෙන් අනුමත වෙන එක මහා මුස්පේත්තු කම්මැලි වැඩක්. ඒත් කාලය කාල දාන්න කරන්න දෙයක් නැතිකම ඒ සියල්ල පරද්දල ජයගත්ත නිසා ගෙදර තිබූ සියරට දේ සිරි සැපදේ පණු බෙහෙත් පංගුවෙන් වඩි කිහිපයක් හීනියට අනුමත වීම වගේම විසෙන් විස නසන්න අතරින් පතරට කොරෝනත් එකතු කර ගත්ත. ඒ එක්කම පොඩි ජොලියකුත් ගිය නිසා පැත්තකට කරලා තිබ්බ ශීෂ දුම් පෝච්චියත් දූවිලි පිහල අරගත්තා ලාවට දුමක් අදින්න. ගෙදර බඩු ඔක්කොම ස්ටොක් කරලා තියෙන එකේ අගේ තේරෙන්නේ මේ වගේ වෙලාවට තමයි.

අනේ එත් අහේතු කාලෙන කජ්ජෙන පුහුලන් කියන්න වගේ බඩ පණුවන් ඇරෙන්නට කුරා කුහුඹියෙකුටවත් වරදක් නැතිව පටන් ගත් මේ ජොලියටත් වැඩි ආයුෂ නොතිබුනේ “දැන් ඒ පාර ගෙදරට වෙලා බේබද්දෙක් වගේ බොන්න පටන් ගත්තාදැයි ?” අසමින් හාමිනේ කොසු පොලු අතට ගත් නිසාවෙන් බව කියන්නේ ගේ හද පිරි වේදනාවෙන්.

ඒත් වාසනාවකට මේ අල්ල පනල්ලේ නැවත කාර්යාල සේවයට වාර්තා කරන මෙන්  කණ්ඩ ඇතුළු කර්යාල සේවකයන් හට කැඳවීමක් ලැබුණ. දෙවියන් ගැන පඩේකට විස්වාස නැතත් මේ හදිසි කැඳවීම දෙවියන් විසින් එවන තෑග්ගක් ලෙස බොහෝ දෙනෙක් සිතන බව කන්තෝරු සගයන් හා කතා බස් කිරීමෙදි තේරුනා. සමහර විටඒ අයත් කණ්ඩා මෙන්ම ගෘහස්ථ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය අහු උනා වෙන්න පුළුවන්.  “බලං යනකොට මං ජීවත් වෙන්නෙ ත්‍රස්තවාදියො ටිකක් එක්ක !” ඒ ළමයි තුන් දෙනෙක් ඉන්න එක යාලුවෙක් මේ ගැන කියාපු විදිහ.

රැකියාවට එන්න කිව්වට තවමත් කොරෝනා අහවර නෑ, කණ්ඩා වෙසෙන මැදක් නැති පෙරදිග එක්සත් එමීර් රාජ්‍යයේ දිනපතා රෝගීන් 300-400 ක්වත් වාර්තා නොවන්නෙ එහෙමත් දවසක. තියෙන එකම හොඳේ මේ වෙනකොට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය සුවය ලබමින් ඉන්න ගානට වඩා බෙහෙවින් වැඩිවීමත් මියගිය ගණන අවම වීමත් විතරයි. ඔය අතර ස්වේච්ඡාවෙන් කොවිඩ් පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න කියල මෙහේ පොලිසියෙන් ආරාධනාවක් ලැබුණත් අපි දෙන්නටම රෝග ලක්ෂණ නැති නිසාත් එහෙම තැනකට ගිහින් හදාගන්න ඕන නැති නිසාත්, දුරදිග කල්පනා කරලා වැඩේ අත ඇරලා දැම්ම.

තව එකක් මුළු ලෝකෙම ආර්ථික අවපාතයකට මුහුණ දෙන මේ අවස්ථාවේ කොරෝනා හැදුනත් නැතත් ජිවත් වෙන්න රස්සාවක් තියෙන්න එපැයි. කොරෝනා මීටරේ වගේම දවස ගානෙ අහන්න ලැබෙන රැකියා අහිමිවීම් ගැනත් සුළුපටු නැහැ. රැකියාවක් තිබුනත් බහුතරයක් සේවකයන්ගෙ පඩිපත 20% – 70% අතර ප්‍රමාණයකින් ඇකිලිලා. දැනට කරදරයක් නැතිව ගැට ගහගත්තත් කණ්ඩත් මේ ගොඩේම තමයි.

Be quiet, my friend. You can't tell my secrets.කන්න බොන්න පවා ලබා ගන්න බැරිව අසරණ උන ලාංකිකයන් රාශියක් මේ රටේ වගේම මැද පෙරදිග අනිත් රට වලත් ඉන්නව. මේ අය වෙනුවෙන් අනෙක් ලාංකික සංවිධාන සහ ලාංකිකයන් තමන්ට හැකි ආකාරයෙන් උපකාර කලත් කලින් හිටපු ඒව වගේම මේ පාණ්ඩුවත් ඔවුන් වෙනුවෙන් කරන ලබ්භක් නැහැ (හැබැයි රෙස්පොට් ස’ කියන්න අමතක කරන්න එපා !). රටෙන් එනකොට විදේශ සේවා අහවල් එකකින් සල්ලි කඩා ගත්තට ඒ සල්ලි පාවිච්චි වෙන්නෙ ඒකෙම ඉන්න උන්ට ආතල් ගන්න මිස විදේශ සේවකයන්ට සහනයක් ලබා දෙන්න නොවන වග නැවත නැවතත් ඔප්පු වෙමින් තියෙනව. ඒ අස්සෙ නිල්, කොළ, රතු දේසපාළුවො සහ උන් වෙනුවෙන් තවමත් කඩේ යන එවුන් එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්න ගමන් බොර දියේ මාළු බානව. (කොරෝනත් ඉවරයිනෙ ජන්දෙත් ලඟයිනෙ)

දැන් ටික ටික බ්ලඩ් ප්‍රෙෂර් නැගගෙන එන නිසා කණ්ඩ මේ කතාව නවත්තල දානව, කොලස්ට්‍රෝලුත් තියෙන එකේ වැඩිය කේන්ති ගන්න එපා කියල හාමිනේ කියල තියෙන්නෙ. එහෙනං අදට කොරෝන කතා ඉවරයි.

පසු ලිපි :

ඉහත කී සියල්ල හතරවෙනි සිල් පදයට යටත් බව නිසි බලධාරියා ඒකමතිකව තීරණය කල හේතුවෙන් බාගෙට බාගයක් ගෘහස්ථ වාරණයට හසුව කැපී කෙටී ගිය බව කරුණාවෙන් සලකන්න. හදිසියේ කණ්ඩාගේ අවමගුල් උත්සවය ගැන ආරංචි උනොත් කොරන්ටයින් වී දුක් වීම පමණක් සෑහේ, මල් වඩම් අනවශ්‍යයි !

~ කණ්ඩා !

පෙර ලිපි :