Muslim Mudalali

ඔව් හම්බ කතාවක් කියන්න තමයි ලෑස්තිය … ඇයි මාතෘකාව දැක්ක ගමන් කලබල උනා නේද ? කවුරුවත් කෝප වෙන්න කාරි නෑ .. මේ කියන්න යන්නෙ ජාතිවාදී හෝ ආගම්වාදී ගිනි අවුලවන කතාවක් නෙමෙයි ඉතිහාස කතාවක්. අපේ ඉතිහාසය අර ගත්තහම මුස්ලිම් ජාතිකයන්ව හඳුන්වන්න එදිනෙදා භාවිත උන “හම්බයා”, “නානා”, “මට්ටයා”, “මකක්කල” සහ “තම්බි” යන යෙදුම් හැමවිටම නින්දා සහගතව පාවිච්චි උන දේ නෙමෙයි. නමුත් ඒ යෙදුම් වලට හේතුව එහෙමත් නැතිනම් පටන් ගැන්ම මොකද්ද කියා ඔහෙලා කවුරුවත් වැරදිලා හෝ හොයල බැලුවද ?

වර්තමානයේ සහරාන් නාන, බදුර්ඩීන් නානගෙන් පටන් අරගෙන අසාත් සාලි සහ රවුෆ් හකීම් වැනි දේසපාලු මහත්හොරුන්ගෙ අවකල් කිරියාවන් වගේම ලොව පුරා විහිදී ඉන්න ඉස්ලාම් ආගම දඩමීමා කරගත්ත අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් නිසා මුස්ලිම් ජාතිකයන් නොයෙක් විට අපහසුවට පත් වෙනව. ඒ එක්කම ඉස්සර මුස්ලිම් ජාතිකයන්ව හඳුන්වන්න පොදුවේ යෙදුන ඉහත කී යෙදුම් වර්තමානයේ නින්දා සහගත ඇමතීම් ලෙස සලකනව වගේම අපහාසයට යොදා ගන්න හැටි නිතර අහන්න දකින්න ලැබෙනව. ඒ නිසා මේ උත්සාහය ඒ යෙදුම් පාවිච්චියට පැමිණි ආකාරය ගැන කොනක හිට කතා කරන්න. ඒ නිසා මේ ලිපියෙන් ඉතිහාසය ගැන විතරක් තේරුම් ගෙන තමන්ට අවශ්‍ය දේ උකහා ගන්න හැබැයි ඉන් එහාට පිට පොට පනින්න එපා. 

ලිපිය පටන් ගන්නකොටම මේ ටික කිව්වෙ කියන්න යන කතාවට ආරම්භයක් වශයෙන්. ඒ ඇරෙන්න මේ ලිපිය කාටවත් අපහාසයකට හෝ තවත් කෙනෙක්ට රිද්දන ආයුධ විදිහට යොදා ගන්නවට කණ්ඩ සපුරා විරුද්ධයි. මේ ලිපිය අහවර වෙනකොට මුස්ලිම් ජාතිකයන් හඳුන්වන්න යොදන අර කලින් කියාපු යෙදුම් සමහරක් ගැන බොහෝ දෙනෙක් දැනගෙන හිටියට වඩා වැඩි විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියල කණ්ඩ හිතනව.

මේ ගැන කතා කරද්දී සෑහෙන අතීතෙකට යන්න වෙනව, ඉස්ලාම් ආගම පටන් ගන්නෙ 7 වෙනි සියවසේ ඉඳන් උනත් හරි විදිහට පසුබිම් ඉතිහාසය බැලුවොත් 2-3 සියවස දක්වා මේ කතන්දර ඇදෙනව. ඉතින් අතීත කතා ගත්තහම “පනාපුත්‍ර කුහුඹු පැණියා” හෙවත් ජැක්සන් ඇන්තනි කියන්නා වගේ අතීතයේ ලංකාව නොහොත් පුරාණයේ තැප්‍රොබේනය අදට වඩා බොහොම ලොකු රටක් …(බොරුනම් ඔය පහළින් දාල තියෙන වීඩියෝ එක බලන්න, දැන් පොඩි වෙලා තියෙන්නෙ මුහුදු කෑම නිසාද කියා අහන්න එපා.. ඒ ගැන ටිකක් හොයල බලන්න) කොටින්ම සියවස් ගණනාවක් තිස්සෙ ලෝකෙ නන් දෙසින් ආපු නොයෙක් භාෂා කතා කරපු නාවිකයො කරක් ගහපු තැනක් විදිහට අපේ රට හඳුන්වන්න නොයෙක් නම් ඔවුන් භාවිත කර තිබෙනව. ලංකාදීප, තම්බපන්නි, සීලාන්, සෙරෙන්ඩිබ්, තැප්‍රොබේන් ආදී නොයෙක් නම් ඒ අතරින් කිහිපයක්.

මෙහෙම ආපු නාවිකයො ලංකා වෙරළ තිරය පුරා තිබුණු විවිධ වරායන් රාශියක් සමග ගනුදෙනු කරන්නට යෙදුන. මාන්තොට/මහාතිත්ථ(මන්නාරම), මහතොට(මාතර), කළුතොට(කළුතර), ගෝකන්න(ත්‍රිකුණාමලය), දඹකොළ පටුන(කන්කසන්තුරය), ඌරතොට(කයිට්ස්), ගෝඨපබ්බත (ගොඩවාය), දෙවුන්දර/දෙවිනුවර, ගාල්ල, වැලිගම, බේරුවල, බෙන්තොට, සලාවත (හලාවත), කොළොම්තොට (කොළඹ) මින් සමහරක්.

වෙළඳාම සඳහා ලංකාවට ගොඩ වැදුන මෙම නාවිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මුස්ලිම් ජාතිකයො. ඒ අතර අරාබි ජාතිකයන් වගේම දකුණු ඉන්දියානු සහ අරාබි මිශ්‍ර සම්භවයක් තියෙන “මරක්කාර්(Marakkar)” ලෙස හඳුන්වනු ලබපු උදවියත් හිටිය. විශේෂයෙන් මරක්කාර්වරු ඉන්දියාවෙ නැගෙනහිර සහ ගිනිකොනදිග පුර පැතිරුනු කොරමැන්ඩල්(Coromandel) වෙරළ තීරය ඔස්සේ ඉන්දියාවට වෙළඳාම සඳහා පැමිණි අරාබි ජාතිකයන් මුහුදුබඩ දේශීය ජනයා හා මුසුවීමෙන් හැදුනා වූ ජන කොටසක්. පෘතුග්‍රීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින් විසින්  “මුවර්” (Moor) ලෙසින් හැඳින්වූයෙත් ඔවුන්ම තමයි.

මුස්ලිම් ජාතිකයන් හඳුන්වන “මරක්කල” කියන නම භාවිතයට එන්නෙ මේ කියන මරක්කාර්වරු හරහා. අදටත් මරික්කාර් කියන වාසගම තියෙන අය ඍජුවම මේ අයගෙන් පැවත එන්නන්. මේ උදවිය බහුතරයකගෙ භාෂාව උනේ දමිළ හෝ මලයාලම්. ඒ වගේම මේ උදවිය මුහුදුබඩ පළාත් වල සිටි දමිළ ජනයා සමග වැඩි වශයෙන් ආවාහ විවාහ සිද්ධ වෙලා තියනව. අදටත් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවෙන් බහුතරයක් සිංහලට වඩා දමිළ බස තමන්ගෙ මව් බස විදිහට භාවිත කරන්න මූලික හේතුවත් මෙයමයි.

දමිළ බසින් “නානා” යනු සහෝදරයා යන්නයි එනිසා ඔවුන් සමහ අනෙකුත් රටවැසියන්ට තිබ්බ සම්බන්ධතාවය මෙයින් හිතාගන්න පුලුවන්. වර්තමානයෙත් “නානා” යන නම මුස්ලිම් ජාතිකයන් හඳුන්වන්න භාවිත වෙනව වගේම අදටත් ගම් වල මුස්ලිම් ජාතිකයන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර “නානගෙ කඩේ” වැනි නම් වලින් හඳුන්වනව. එනිසා මේ යෙදුම් අතරින්  “නානා” කියන්නේ අදටත් අපහාසයකින් තොරව භාවිත වෙන්නක්. මෙය දකුණු ඉන්දියාවෙ කේරළයේ මුස්ලිම් ජාතිකයන් හඳුන්වන්න මස්සිනා/බෑණා යන අරුතින් මාප්පලා (Mappila) කියන යොදා ගැනීමට  සමානයි.

නමුත් ලංකාවෙ ඉන්න හැම මුස්ලිම් ප්‍රජාවක්ම මරක්කාර්වරුට නෑදෑකම් කියන්නෙ නැහැ. විශේෂයෙන් මැලේ/ජා, බෝරා, සින්දි වැනි මුස්ලිම් ප්‍රජාවන්ට ඔවුන්ටම ආවේනික සිරිත් විරිත් සහ ඉතිහාසයක් තියෙනව. මැලේ ප්‍රජාව ගැන සමහ කරුණු මැලේ පිටිය ගැන ලියපු “මතකයෙන් ඈත් නොවන මැලේ පිටිය” ලිපියෙ ඇති. නමුත් මේ හැම එකක් ගැනම  කියන්න ගියොත් කතාව දිග් ගැස්සෙන නිසා ඒක ගැන කතා පස්සෙ දවසකට.

මේ මුස්ලිම් වෙළඳ ප්‍රජාව යුරෝපීයයන් ආසියාවෙ වාණිජමය කටයුතු සඳහා දේශාඨනය පටන් ගන්නට පෙර සිට අනාදිමත් කාලයක් ආසියාවේ පමණක් නෙමෙයි සේද මාවතේ අනෙක් මධ්‍යස්ථානයන්ගේත් කුළුබඩු, මුතු සහ සුවඳ විලවුන් ඇතුළු නොයෙක් දේ සම්බන්ධයෙන් සෑහෙන වෙළඳ ඒකාධිකාරයක් පවත්වාගෙන ගියා. විශේෂයෙන්ම රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමත් මෙයට බලපෑව. දක්ෂ නාවිකයන් උන මේ උදවිය ඉහත සඳහන් කළ ලංකාව වටේ විසිරී තිබුණු නාවික තොටුපළවල් යොදාගත් නිසා ඔවුන් අපේ රටට අමුත්තන් උනේ නැහැ. මේ මුහුදු ගමන් බිමන් සඳහා ඔවුන් එක්තරා නාවික යාත්‍රා විශේෂයක් බහුලව යොදා ගනු ලැබුව.

Indonesian_Sampan

එම යාත්‍රා පොදුවේ හඳුන්වනු ලැබුවේ “සම්පන්” යන නමින්. මෙම යාත්‍රා විශේෂය චීනය, ඉන්දුනීසියාව ඇතුළු ආසියාව පුරාම පාවිච්චි උනා. නමුත් මේ ඔරු චීනයෙන් ආරම්භ වෙලා තමයි අනෙකුත් රටවලට පැතිරිලා තියෙන්නෙ. ඒ පැතිරෙද්දි කටේ උරුවට “හම්බන්” බවට පත් උනා කියනව. ඉතිං හම්බන් ඔරු වලින් ලංකාවට ගොඩ බැහැපු උදවිය හඳුන්වන්නත් පොදුවේ “හම්බයන් ”හෝ “හන්බන් කාරයන්” කියන නම යොදාගෙන තියෙනව. වෙළඳාම සඳහා හම්බන් ඔරු වලින් ගොඩ බැහැපු මුස්ලිම් ජාතිකයන් හම්බයන් ලෙස හඳුන්වන්නට පටන් අරන් තියෙන්නෙ එහෙමයි. නමුත් දන්නා තරමට ලිඛිත ඉතිහාසයේ මේ ගැන ලොකු විස්තරයක් හොයාගන්න නැහැ.

“හම්බ” කියන වචනය සිංහල භාෂාවට ඇතුළු උන හැටි සහ එයට හේතු පාදක උන අතීත කතාව ගැන කියවපු ඔබට වැටහීමක් තියෙන නිසා කලින් කිව්ව වගේම හම්බයන් කියන නම සිංහල, දෙමළ වගේම ජන වර්ගයක් හැඳින්වීමට මිස අපාහාසයක් විදිහට එම වකවානු වල භාවිත වෙලා නැහැ කියන එක පැහැදිලි ඇති. ඒ වගේම අද මුස්ලිම් ජාතිකයන් හඳුන්වන්න ලංකාවෙ බහුලවම භාවිත වන නම වෙන “තම්බි” යන දමිළ යෙදුමේ හැබෑ තේරුම “සහෝදරයා” කියන එක. එයත් යොදාගෙන තියෙන්නේ ගෞරවනීය ඇමතීමක් විදිහට මිස අපහාසයකට නෙමෙයි. නමුත් අවාසනාවට පසුකාලීනව ආර්ථික, දේශපාලනික සහ ආගමික කුළුගැන්වීම් මත සිංහල බහුතරය වර්තමානයේ “හම්බ” සහ “තම්බි” යන යෙදුම් යෙදෙන්නෙ අපහාසාත්මකවයි.

ආපහු ඔරු වලට අවධානය යොමු කරොත් හම්බන් ඔරු වර්තමානයේ ලංකාවෙ දකින්න බැරි උනත් චීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවල් වල තවමත් භාවිත වෙනව. නවීන යාත්‍රා අතර මෙම ඔරු ධීවර, ප්‍රවාහන වගේම සංචාරක කර්මාන්තයටත් උපයෝගී වෙනව. ලංකාවෙත් නැවත මේ පැරණි ඔරු ප්‍රතිනිර්මාණය කරලා සංචාරක කර්මාන්තයට යොදා ගන්න පුළුවන් නම් අපූරුයි. මේ ලියන ගමන් කණ්ඩට මතක් උනේ මැදපෙරදිග රටවල සංචාරකයන්ගෙ ආකර්ෂණය දිනා ගත්ත දව්(Dhow) බෝට්ටු සහ “ඔරු(Uru)” කියන වචනයත් මලයාලම් බසින් යාත්‍රා විශේෂයකට භාවිතා කරපු නමක් බව.

චීන සම්පම් ඔරු සහ ජන්ග් බෝට්ටු :

හම්බන් ඔරු භාවිතය ලංකාවෙන් තුරන් වෙලා ගියාට ඒ අතීතය ගැන කියන්න ඉතිරි කල දේ නැතිවම නෙමෙයි. විශේෂයෙන් හම්බන් ඔරු ආපු තොටුපලවල් ඒ නමින්ම නම් කරලා තියෙනවා වගේම අදටත් ඒ නම් භාවිත වෙනව. එහෙම බලනකොට හම්බන්තොට දෙකක්ම තියනව මේ අතරින් අපි හැමෝම දන්නා හම්බන්තොට ඇරුනහම වැඩිය අවධානයට යොමු නොවෙන තවත් එක්ක තියනව අම්පාර දිස්ත්‍රික්කයෙ. ඒ මොකද්ද කියල බැලූ බැල්මට නොතේරුණත් ටිකක් හිතල බලන්න හොයාගන්න වැඩි අමාරුවකුත් නැහැ.

කියවන අයව වට රවුම් අරන් යනව කියල හිතන්න එපා අහල තියනවද සම්මාන්තුරේ ගැන. සම්පන්/සම්මාන් + තුරයි(දමිල බසින් තොට යන්නට යෙදෙන පදය) කියන පද එකට එකතු වීමෙන් සම්මාන්තුරේ කියන නම හැදුන බවට තමයි පොදුවේ පිළිගැනීම. ඉතිං එහෙම බැලුවම ඒකත් හම්බන්තොටක් තමයි.

මේ ඉදිරිපත් කරේ අන්තර් ජාලයෙන්, පොත්පත් සඟරා කියවන ගමන් හොයාගන්න ලැබුන දේ … මේ ලියපු දේ සහ අදාළ මාතෘකා ගැන ජාතිවාදී ඇසින් නොබලන තාක් කණ්ඩ සංවාදයට විවෘතයි වගේම කියවන අයගේ අදහස් සහ වැඩිදුර තොරතුරු දැන ගන්නත් කැමතියි.  ඒ ගැන තමන්ගෙ පහලින් අදහස් පල කරන්න අමතක කරන්න එපා.

~ කණ්ඩා !

පරිශීලනය කල ලිපි :