Al Ain Oasis

අලේන් උයන්පුර සිරි

කණ්ඩ දෙමහල්ලො සංචාරයට බොහොම මනාපයි කියන එක තව දුරටත් රහසක් නෙමෙයිනෙ, දෙන්නම කොයි වෙලාවෙත් කකුලක් එළියෙ තියා ගත්ත ගමන්. නමුත් අපේ හතරයි හතරේ ගමන් සගය වෙන ජීප් යන්තරේ පවුලට එකතු උන දා පටන් කණ්ඩයි හාමිනෙයි කලින් යන්න නොහිතපු තැන් වලත් හක්කලන් කරනව. අපි දෙන්නට අපි දෙන්න විතරමයි, ළමා ළපටිත් නැති ජිවිතේ බැඳීම් වලින් තොරව කොහේ හරි යන්න හිතුනද එක්කෙනෙක් අනිකගෙන් අහන පරක්කුව විතරයි … ගමනේ යා … !

ඔය ගමන් වලදි හිටි ගමන් හිතුනම කැලේ පනිනව .. මෙහේ තියන එව්වට එහෙම කියන්න පුලුවන්ද මන්ද … හැබැයි ඒවත් වැලි වලින් පිරුන කැලෑ තමයි 🙂 … මුහුදු වෙරළකට වෙලා අලස සුව විඳිනව … කාන්තාරෙ අහුමුළු වල හැංගිලා තියෙන ක්ෂේම භුමි වලට ඇවිදිනව … කඳු අතරෙ වතුර රැඳුනු නිම්න හෙවත් වාදි (Wadi) වල කරක් ගහනව. ..දැන් අහන්න එපා කරක් ගන්න තරම් මාළුයි වතුරයි තියෙනවද කියල … ඒ විතරක් නෙමෙයි කෞතුකාගාර, පරණ බලකොටු, මුර කුළුණු, අත ඇර දාපු පැරණි ජනාවාස, පුරාණ සුසාන භූමි වගේ ඔය කොයිකත් අපේ ඇස් මානයෙන් මිදෙන්නෙ නැහැ.

මැදපෙරදිග වෙසෙන බොහෝ දෙනා සති අන්තයට මෝල් වන්දනා (Mall hopping) වලින් තොර වෙනත් දෙයක් ගැන අවධානය යොමු නොකරන ගානයි … නමුත් අපි ජෝඩුව මනුස්ස පරාණ වැඩියෙන් ගැවසෙන තැන් වලට අසාත්මිකතාවයක් දක්වන නිසා සෙනග පිරෙන තැන් වලින් ඈත් වෙලා හුදෙකලා තැනකට යන්න ලැබෙන අවස්ථා වලට විශේෂයෙන් කැමැත්තක් දක්වනව. මැදපෙරදිග තියෙන බොහොමයක් කෞතුකාගාර වගේ තැන් නම් මැස්සෝ ඇහිරෙනව, ඒව බලන්න යන අපිටත් පිස්සු කියල සමහරු හිතනව ඇති.

අපි පදිංචි ඔටු දේසෙ කොහේ ගියත් හාමිනේ තමයි පයිලට්, කණ්ඩ කෝ-පයිලට් නෑ … නෑ …පයිලට් කෝ කියල නෙමෙයි ඇහුවෙ … ලයිසන් නැතත් සුක්කානමෙන් එහා පැත්තෙ සීට් එකේ සැපට වාඩි වෙලා ඉඳගෙන හාමිනේ ඇහුවත් නැතත් වාහනෙ පදවන විදිහෙ ඉඳන් යන අහ මග සලකුණු වලට වෙනකං බලෙන්ම දෙන උපදෙස් සියල්ල කණ්ඩ ගානෙ. 

කණ්ඩ ඔහොම දැහමෙන් සෙමෙන් ට්‍රිප් ප්ලෑනර් සහ නැවිගේටර් වැඩේ කරනකොට ඉඳ හිටල (හාමිනේ කියන විදිහට නිතරම) … අපේ හාමිනේගෙ බ්ලඩ් ප්‍රෙෂර් නැග්ගහම … අනේ මේ … කටින් බතලකොළ හිටවන්නෙ නැතිව ඉන්නව මනුස්සයෝ කියල බැනුං නාහනවත් නෙමෙයි … යන්න පාරවල් නැති තැන වල පාරවල් හදාගෙන යන්න ගිහිං කොනක හිට වැඩේ අල නොකරනවත් නෙමෙයි. එහෙම ගොන් වැඩක් දෙකක් කරන්නෙ නැතිව වැඩක් තියෙනවද ? එහෙම ගමන් හරියට ලුණු නැති කිරි හොද්ද වගේ.

ගමනක් ඉවර කරනකොට ඔය සිද්ධ වෙච්චි අබග්ග සහ අනෙකුත් අනපේක්ෂිත දේ තමයි බොහෝ විට ගමනක සුන්දරම මතකයන් විදිහට ඉතිරි වෙන්නෙ … ඒ හැම දේම ජීවන චක්කරේ වගේ තමයි … දුක – සැප, හැල හැප්පීම් වලට මුහුණ දෙන්න අකමැති අය සංචාරය නොකරන එක තමයි හොඳම දේ … ගිය සංචාර ඉහේ කෙස් ගානට තියෙන එකේ අද ඒ ජාතියේ කතාවක් කියන්න හිතුන. මේ අපි එක්සත් එමීර් රාජ්‍යයේ උයන් පුරේට ගිය සංචාර ගැන විස්තරයක්.

FJ in Al Ainකණ්ඩ රිදී හැන්ද කටේ තියන් ඉපදුනේ නැති හන්ද සතෙන් සතේ … රුපියලෙන් රුපියල … එකතු කරලා … එකතු කරල … ගත්ත කුළුඳුල් 4 x 4 වාහනේ නිසා උජාරුවට වාහනය ගත්තට ඒකෙ තියෙන අටෝරාසියක් ගැජට් බැජට් ගැන අඟේ ඉඳන් වලිගෙටම අකුරෙන් අකුර දැනගෙන හිටිය කියල කියනවනම් ඒක පට්ට කෙබරයක් … කොහොමත් කණ්ඩට රෝද දෙකක මිසක් හතරක ලයිසන් නැහැ … රෝද දෙකේ යන්තරේකුත් කකුල් දෙක මැද්දට හිර උන කාලයක් මතක නැහැ … හාමිනේ තමයි කෝකටත් මාතලී, ඒත් අවුරුදු විස්සක මාතලී සුදුසුකම් තිබුණත් උන්දැත් හතරයි හතරෙ වාහන වලට ඇල්-බෝඩ්, .

එහෙව් එකේ ඕෆ් රෝඩ් යන්න අවශ්‍ය කරන අංගෝපාංග, දැනුම සහ නිපුණතා කිසිවක් ඔය වෙනකොට අපිට තිබුනෙ නැහැ … ඇතා ගත්තට වැඩක් නැහැ කියනවනෙ හෙණ්ඩුව නැත්තං … අපිටත් ඒ ටිකම තමයි. මොළේ තියන සාමාන්‍ය මිනිස්සු කරන දේ තමයි ඔය කැලේ පනින්න කාන්තාරෙ බඩ ගාන්න ඇම්ම තියෙන උදවිය අටෝගෙන තියන 4×4 සංගමේකට හේත්තුවක් දාලා ඒ උදවිය යන ගමන් වලට එකතු වෙලා ඉගෙන ගන්න එක. එහෙම නැතිනම් ඕෆ් රෝඩ් වාහන පදවන හැටි උගන්වන විශේෂ පාඨමාලා පවා ඔටු දේසෙ තියනව.

නමුත් කණ්ඩටයි හාමිනේටයි දෙන්නටම ඒ දණ්ඩෙ යන්න බැරි තරමට කඳ බඩ පුරා මොළය තියන නිසා අපි දෙන්න ඒකමතිකව තීරණය කරනවා ඒ වගේ දේවල් කරන එක තත්වෙට තරම් මදි නිසා තනියෙන්ම ඉගෙන ගන්නවා කියල … එදා ඉඳන් අද වෙනකං විවේකයක් ලැබුන ගමන් අපි දෙන්න එකසත් අරාබි එමීර් රාජ්‍යයේ වගේම අල්ලපු රට වෙන සුන්දර ඕමානයෙත් ඇවිදිනව. දැන් මේ කතාව කොයි අතට යන එකක්ද කියල ටිකක් තරමක් තේරෙනවා ඇතිනේ දැන්, එහෙනම් කතන්දරේ පටාන් ගමු ! 🙂

අලේන් (Al Ain, UAE)

Al Ain - Jebal Hafeetවාහනේ අරන් ඕෆ් රෝඩ් යන්නම කියල හිතාගෙන මුලින්ම ගියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අලේන් (Al Ain, UAE) කියන නගරයට. ඕෆ්රෝඩ් කිව්වට එක නමට විතරයි  99% කම ඔන් රෝඩ් තමා ඉතිං (කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි) … හැමදාමත් වගේ ගමනට අපි දෙන්න විතරයි. එහෙම උනහම බැඳීම්, බාධක අඩුයි ගමන හරි නිදහස් … My Car .. My Petrol … හැබැයි පාර ශේක් මාමලගෙ.

අබුඩාබි ප්‍රාන්තයට එහෙමත් නැතිනම් එමිරේටයට (Abu Dhabi Emirate) අයිති මේ පළාත අපි පදිංචිව ඉන්න සාජා (Sharjah) එමිරේටයේ ඉඳල කි.මී. 150 ක විතර දුර ගමනක්. බොහොම හිත් ගන්නා සුලු අලංකාර පළාතක් වෙන අලේන් වල අපි මින් පෙරත් කිහිප වතාවක්ම සංචාරය කරලා තියෙන නිසා ආගන්තුකයො නෙමෙයි. අනික එමීර් රාජ්‍යයට දිගු නිවාඩුවකට එන කවුරු උනත් මග නොඅරින තැනක් නිසා ඒ එන පවුලේ උදවිය හෝ මිතුරන් සමගත් දිනක් නතර වෙලා නිවී සැනසිල්ලේ සංචාරය කරන්න අපි වග බලා ගන්නව.

සාජා සිට අලේන් වෙත ළඟා වෙන්න තියන පහසුම විදිහ තමයි ඩුබායි හරහා ඩුබායි – අලේන් මහා මාර්ගය (E66) තෝර ගන්න එක … කි.මී. 160 ක් විතර දුර මේ ගමනට පැය 2ක් පමණ ගත උනත් මාර්ගය වංගු රහිත නිසා ඉතා පහසුවෙන් පැයට කි.මී. 120 – 140 විතර වේගයක් රඳවා ගන්න පුළුවන්. ගමන් විඩාවත් අවමයි.

Hot Air Baloons

සති අන්තයක පාන්දට 5 – 7 අතර වෙලාවක ගමන ආරම්භ කරොත් පාර අයිනෙ වාහනය නවත්තල දෙපැත්තෙ තියන වැලි කන්දක් උඩට නැගල නිදහසේ කාන්තාරයේ සුන්දරත්වය විඳින ගමන් බොහොම දර්ශනීය ඉර උදාවක් නරඹන්නත් ලැබේවි. ඒ වගේම වාසනාවක් තියනවා නම් අවට කාන්තාරයෙන් ගුවන්ගත වෙන මගීන් රැගත් බැලූන් (Hot Air Baloons) දකින්නත් පුළුවන්.

කණ්ඩා සහ හාමිනේ දෙන්නත් ඔයින් බැලූමක එල්ලිලා වලාකුළු වල ගෑවී නොගෑවී යන්න බොහොම කැමති උනාට පැය 1-2 ක් ගුවන් ගමනක්  වෙනුවෙන් දරන්න වෙන වියදමෙන් බොහොම ලෙහෙසියෙන් සතියක් ඕමානයේ හෝ එමීර් රාජ්‍යයේ මෙතෙක් පය නොතියපු කෙළවරක ගත කරලා එන්න පුළුවන් නිසා මෙතෙක් කල් ඒ වැඩේ පසුවට කල් දමමින් ඉන්නව.

වැලි කඳු පාගන්න යන්න කලියෙන් දැනගන්න තව දෙයක් තියෙනව, අවට කාන්තාරයේ වාසය කරන ඔටුවන් මහා පාරට පැමිණීම වැළක්වීමට යකඩ වැටවල් යොදා තියනව. එහෙම නොවෙන තැන්වල ඔටුවන් වාහන වල ගැටීම නිසා සිදු වන අලාභ හානි වගේම ජීවිත අනතුරුත් මැදපෙරදිග දුලභ දේ නෙමෙයි. එනිසා මේ වැටවල් වලින් මිදිල කාන්තාරයට යන්න නම් වැටවල් අභිබවා වැලිකඳු ගොඩ ගැසුන තැනක් තෝර ගන්න වෙනව, ටිකක් ඉවසිල්ලෙන් පාර දෙපැත්ත බලාගෙන යන එක තමයි හොඳම දේ.

Sand Dunes

මේ රටේ විප්‍රවාසීව ඉන්න අපි වගේ පිටරැටියන් ලෙහෙසියට “අලේන්” කියල උච්චාරණය කරාට පළාතෙ හරි නම “අල් අයින්” (Al Ain), අරාබි බසින් එහි තේරුම උල්පත (The Spring) කියන එක, එහෙම කියන්න බලපාන හේතුව මේ ලිපිය ඉදිරියට කියවගෙන යනකොට කාටත් වැටහේවි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැරණිතම නගර වලින් එක්ක වෙන මෙය අවුරුදු 8,000 ක් තරම් ඈත අතීතයකට උරුමකම් කියනව.

බෙහෙවින් ජනාකීර්ණ ඩුබායි, සාජා (Dubai, Sharjah) වැනි ප්‍රධාන නගර වලින් දුරස්ථ වැඩි කලබලයක් නැති මේ නගරය අක්කර ගණනාවක නිලට විහිදුන රට ඉඳි වගාවන්, ගොවිපොළවල්, ගස් කොලන් සහ ෆලාජ් නමින් හඳුන්වන පුරාණ වාරිමාර්ග සහ බළකොටු වලට උරුමකම් කියන නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උද්‍යාන නගරය ලෙසටත් හඳුන්වනව (Garden City/ Madinat Al Ḥadiqah). 

මේ නගරයේ මම අකමැති එකම එක දේකට විතරයි … ඒ ටවුම පුරා හැම කිලෝමීටරයෙන් මීටරයට තියෙන හැට හුටහමාරක් විතර වෙන වට රවුම් සහ සිග්නල් ලයිට් … ඒක ටිකක් වෙන්න වාතයක් … නමුත් ලොකු වාහන තදබදයක් නැති නිසා සහ පාර දෙපැත්තෙ අලංකාරව වවල තියෙන ගස් කොලන් වලට පිං සිද්ධ වෙන්න ඒකට ලෙහෙසියෙන් සමාව දෙන්න පුළුවන්.

අද අලේන් එක්සත් එමීර් රාජ්‍යයට අයත්ව තිබුණත් අතීතයේ මෙම ප්‍රදේශය ඕමානයේ බුරයිමි (Twam, Al Buraimi, Oman) ප්‍රදේශය හා බැඳුනු කොටසක්. මෑත ඉතිහාසය සැලකුවම මුල් කාලයෙදි මේ ප්‍රදේශය පොදුවේ හඳුන්වා තිබෙන්නෙ බුරයිමි ක්ෂේම භුමිය (Buraimi Oasis) යන නමින්. 17-18 වන සියවස් වලදී මේ ප්‍රදේශය ඕමානය පාලනය කල යාරුබා (Yaruba) රාජ වංශයේ පාලනයට නතුව තිබෙනවා. මෙම කලාපයේ රට ඉඳි වගාවන් සහ ෆලාජ් වාරි මාර්ග වැඩි දියුණුව වෙන්න අඩිතාලම වැටෙන්න ඇත්තේ ඔවුන් යටතේ බව සැලකෙනව.

නමුත් 19 වෙනි ශත වර්ෂයේදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භයත් සමග බුරයිමි ප්‍රදේශය ඕමානය සහ එමීර් රාජ්‍යය අතර බෙදී ගියා. අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන උදවියට බුරයිමි අවට නරඹන්න යන්න නම් මෙස්යාද් දේශ සීමා මුරපොළෙන් (Mezyad Border Post) “එවේලේම නිකුත් කරන” (On Arrival) හෝ අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරන (E-Visa) සංචාරක වීසා ලබා ගත යුතුයි. දේශසීමාව දෙපස ඉන්න ස්වදේශික ජනයාට නම් ඒ නීතිය බලපාන්නෙ නැහැ දන්නා තරමට.

Falaj Water wayඒ වගේම ඒ වකවානුවෙ වර්තමාන අලේන් පෙදෙස හඳුන්වා තියෙන්නෙ “අයින් දවාහීර්” (Ain Dhawahir) යන නමින් ඒ මෙහි පදිංචිව සිටි දවාහීර්(Dhawahir) ගෝත්‍රික ජනයා නිසා. මෑත ඉතිහාසය පුරාවට අලේන්හි අයිතිය පැවතියේ අබුඩාබි එමීරේටයට, එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිහිටුවීමේ පුරෝගාමී නායකයා වෙන එමීර් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපති ශේක් සයිද් බින් සුල්තාන් අල් නහ්යාන් (Sheikh Zayed bin Sultan Al Nahyan) උපන් නගරයද වෙනව. එමීර් වරයයෙක් වශයෙන් බලයට පැමිණෙනතුරු මෙහි හැදුන වැඩුන ඔහු අලේන්හි ප්‍රාදේශීය පාලකයා හෙවත් අරාබි බසින් වාලිවරයා (Wali) බවට පත් වෙනව.

ජල පහසුකම් සහිත බොහොම සශ්‍රික පෙදෙසක් නිසා මේ පෙදෙසට අයිතිවාසිකම් කියන අය බොහෝමයක් ඉඳල තියනව. ඕමානය, සවුදි අරාබිය, අබුඩාබිය වගේම ඒ කිට්ටුව පාත වාසය කරපු නොයෙක් “බෙදුයින්” හෙවත් සංචාරක ගොපලු (Bedouin) ප්‍රජාවට අයත් නායකයොත් ඉන්නව. එනිසා නොයෙක් වර මංකොල්ලකරුවන්ගේ සහ මේ පාර්ශව වලින් එල්ල වුණු ආක්‍රමණ රාශියකට මෙම පෙදෙස මුහුණ දී තිබෙනවා.

මෙලෙස සිදුවූ අවසාන ආක්‍රමණය එල්ල වී තිබෙන්නෙ 1952 තරම මෑතකදි සෞදි අරාබියෙන් (Buraimi Dispute) ඒ නූතන සවුදි අරාබියේ නිර්මාතෘ සහ පළමු රජු වෙන අබ්දුල් අසීස් අල් සෞද්ගෙ (King Abdul Aziz Al Saud) සමයෙ. මේ ගැටුම ලිහන්න බ්‍රිතාන්‍ය රජය මැදිහත් වෙලා පවත්වපු සාකච්චා වට ගණනාවක් අසාර්ථක වීමෙන් අනතුරුව ඔවුන් එවක සාජාහි පවත්වාගෙන ගිය පිටස්තර හමුදා කණ්ඩයක් වෙන Trucial Oman Levies සහ පසුව Trucial Oman Scouts ලෙස හැඳින්වුන හමුදාවට මැදිහත් වෙන්න සිදු වෙලා තියනව.

එහෙම පටන් ගත්ත මේ ආරවුල සම්පුර්ණයෙන් විසඳිලා තියෙන්නෙ 1974 දි එමීර් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපති ශේක් සයිද් බින් අල් නහ්යාන් සහ එවක සවුදි  අරාබියේ රජු ෆයිසාල් බින් අබුදුල්සීස් අල් සවුද් (Faisal bin Abdulaziz Al Saud) අතර ඇති වූ ගිවිසුමකින්.

මේ ගැටුම් හේතුවෙන් අලේන් සහ බුරයිමි ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම උදෙසා පසුගිය සියවස් කිහිපය පුරාවට වරින් වර නොයෙකුත් නායකයන් සහ ගෝත්‍ර ප්‍රධානීන් විසින් ඉදි කෙරුනු බලකොටු, මුර කුළුණු, නිවාස සහ ඒවායේ ශේෂයන් රාශියක් අදටත් දකින්න පුළුවන්. මින් සමහරක් සංරක්ෂණය කර තියෙනවා තවත් සමහරක් හොඳටම ගරා වැටිල. දේශීයව ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් මැටි, ගල්, පිදුරු, රටඉඳි ගස් වැනි සුලභ අමුද්‍රව්‍ය යොදාගෙන ගොඩනගල තියෙන නිසා නිතර අලුත්වැඩියාවක් නොවුනොත් මේ ගොඩනැගිලි වල කල් පැවැත්ම බොහොම අඩුයි.

මතු සම්බන්ධයි !

~ කණ්ඩා

මැදපෙරදිග ගැන වෙනත් ලිපි : මැදක් නැති පෙර දිග