Camel Race with Jockey

බෙදූ, ඔටුවෝ සහ ඔටුපොළවල්

පහුගිය සතියෙ නැවැත්තුවෙ අල් කට්ටාරා සහ අල් ජිමී ක්ෂේම භුමි වලට ගොඩ වැදුන ගමන සහ ඒ අවට තියෙන වැදගත් තැන් ගැනනෙ. අද කතාව පටන් ගන්න හදන්නෙ ඔටුවන්ගෙන්, ඔටුවන්ගෙ රටේ සවාරි ගහනකොට ඔටුවො ගැන කතා නොකර කොහොමද ? නෑ … නෑ … මේ කියන්නෙ කකුල් දෙකේ එවුන් ගැන නෙමෙයි හතරෙ එවුන් ගැන. කකුල් දෙකේ එවුන් ගැනත් කියවන්න ඕන නම් මැදක් නැති පෙර දිග සහ ගං ඔටුවා සහ රජ ඔටුවා ලිපි බලන්න.

අද කතාවට වස්තු බීජය වෙන්නෙ ක්ෂේම භුමියෙන් පිටත් උනාට පස්සෙ අපේ මීළඟ නැවතුම උන ඔටුවො වෙළඳාම් කරන කඩ මණ්ඩියක් (Camel Souq/Market). මුලදි කතන්දරේට ප්‍රවේශයක් විදිහට බොහොම කෙටියෙන් ලියල අහවර කරන්න හිතුවත් පස්සෙ තේරුම් ගත්ත ඒක ඔටුවන්ට කරන අසාධාරණයක් කියල. ඒ හන්ද ඔටුවො ගැන සත්ව කරුණාවෙන් යුතුව ටිකක් දිග විස්තරයක් ලිව්වට අන්තිමට නොදැනිම ඒක පතරංගයක් වෙලා. දිග නිසා කියවන්න කම්මැලි ඇති ඒත් ආපු එකේ ඔන්න ඔහේ කියවලම යන්න.

කාන්තාරයේ නෞකාව

අපි ඔටුවට ඔටුවා කිව්වට අරාබි බසින් “අල් ජෙමෙල්”(Al Jemel) විදිහට තමයි ඔටුවව හඳුන්වන්නෙ, එයිට අමතරව තවත් නම් හැට හුටහමාරක් තියෙනව කියල තමයි කියන්නෙ ඒත් කණ්ඩගෙ අරාබි භාෂා දැනුම බින්දුව නිසා නොදන්නා මංගල්ල නොකියම ඉන්නව. හැබැයි “ජෙමෙල්” කියන අරාබි වචනය ග්‍රීක බසට “කැමෙලොස්” (Kamelos) විදිහටත් එතැනින් සුද්දගෙ භාෂාවට කැමෙල් (Camel) විදිහටත් භාවිතයට එකතු වෙලා තියෙන බව තමයි පිළිගැනීම.

කකුල් හතරේ එවුන් ගත්තම මිනිස්සු ඔටුවො හීලෑ කරන්න පටන් අරගෙන තියෙන්නෙ ක්‍රි. පූ. 2000 – 4000 තරම ඈතක ආසියානු සහ මැදපෙරදිග කලාප වල. ඒ ඇරුනහම හැම ඔටුවම එකවගේ නෑ ඔටුවො ප්‍රධාන වශයෙන් දෙවර්ගයක් ඉන්නව, මින් මැදපෙරදිග කලාපයේ සහ ලෝකයම ගත්තත් 94% ක් පමණ වැඩිපුර ඉන්නෙ අරාබි/ඩ්‍රොමේඩරි/සෝමාලි (Arabian/Dromedary/Somali) වර්ගයට අයිති ඔටුවන්. ඉතිරිය බැක්ට්‍රියන් (Bactrian) වර්ගයට අයිති එවුන්. මේ දෙවර්ගය හඳුනා ගන්න තියෙන ලෙහෙසිම විදිහ තමයි පිටේ තියෙන මොල්ලිය. අරාබි ඔටුවන්ට තියෙන්නෙ තනි මොල්ලියක් නමුත් බැක්ට්‍රියන් ඔටුවන්ට මොල්ලි දෙකක් පිහිටල තියෙනව.

ඉස්සර ඔටුවන්ව හඳුන්වන්න කාන්තාරයේ නෞකාව කිව්වෙ නිකමට නෙමෙයි, වතුර, කෑම බීම සහ ගස් කෝලන් බොහොම දුර්ලභ දෙයක් වෙන කාන්තාර හරහා සෑහෙන දුරක් ගමන් කරන්න වගේම ශුෂ්ක දේශගුණයට හරි යන්න අනුවර්තනය උන සත්තු විශේෂයක් විදිහට කන්තාරවාසීන්ට නැතිවම බැරි මහා අනර්ග සම්පතක්. කාන්තාරය හරහා වැටුන ගොඩබිම් සේද මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයෙදි ප්‍රධානව යොදා ගැනුනෙ කොටළුවන්, අශ්වයන් සහ ඔටුවන්. නමුත් දරා ගැනීමේ හැකියාව නිසා දුර ගමන් වලදි හැමවිටම මුල් තැන ලැබුනෙ ඔටුවන්ට.

ඒත් අද වෙනකොට කාන්තාරයෙ රවුම් ගහන්න ගිණි වතුර බිබී රෝද උඩ දුවන අලුත් නෞකා ඇති පදම තියෙනවනෙ. එහෙම බැලුවොත් අද කාන්තාරෙ නවුකාව කියන්න වෙන්නෙ ටොයොට ලෑන්ඩ් කෘසර් වලට. ඔය නිසා කාලේ තාලෙට ඔටුවො ඇන්ටික් බඩු බවට පත්වෙමින් ක්‍රම ක්‍රමයෙන් පැන්ෂන් ගියාට අදටත් මැදපෙරදිග ජනයා අතර සංස්කෘතිකමය වශයෙන් ඔටුවන්ට විශේෂ තැනක් හිමි වෙනව.

අතීතයේදි අරාබි ගෝත්‍ර අතර ඇති උන යුද ගැටුම් සහ කොල්ලකෑම් වැනි දේටත් ඔටුවො සහබාගී උනා වගේම කොල්ල කෑ වස්තු අතර ඔටුවන්ට විශේෂ තැනක් හිමි වෙලා තියනව. ඒ වගේම මෙම වකාවනු වල අරාබි ජාතිකයන් සතු වූ ඔටුවන් ගණන කෙනෙක්ගෙ සමාජ තත්වය සහ ධනවත්කම මනින මිම්මක්. කාන්තාවන් දීග තල යනකොට මුස්ලිම් සම්ප්‍රදාය අනුව පිරිමි පාර්ශවයෙන් පිළිගන්වන මහර් (Mahr) නමින් හඳුන්වන දෑවැද්දෙදිත් ඔටුවන් සඳහා ඉහළ වැදගත්කමක් ලැබිල තියෙනව.

අද වගේ මහා මාර්ග නොතිබුණු ඒ කාලෙ පර්සියාව, නැගෙනහිර අප්‍රිකාව සහ ඉන්දියාව සම්බන්ධ උන ඔටු තවලම් මාර්ග මැදපෙරදිග පුරා පැතිර තිබිල තියෙනව, අද වෙනකොට මින් සමහරක් මහා මාර්ග බවට පත් වෙලා, ඉතිරිය මේ ලියන අතරෙදිත් නවීන කාපට් පාරවල් බවට පත් කරමින් තිබෙනව. කොටින්ම අද කාලෙ දුම්රිය සහ ලොරි වලින් සිදුවන එදා තනිකරම දායකත්වය දුන්නෙ ඔටුවො. නමුත් ඒ එක පැතිකඩක් විතරයි, කාන්තාරය තමන්ගෙ නිවහන කරගත්ත උදවිය නවීන ආර්ථික රටාවන්ට හුරු වෙන්න කලින් බඩු භාණ්ඩ ප්‍රවාහනයට අමතරව හැකිතාක් දුරට ස්වයං පෝෂිත වීමට ඔටුවන් ඔවුන් සතුව තිබුන වටිනාම සම්පතක්. අතිශය ශුෂ්ක පරිසරයක මිනිස්සුන්ට ජිවිතය පවත්වාගෙන යන්න ඔටුවන් දක්වපු දායකත්වය මෙතෙකැයි කියන්න අපහසුයි.

ඔටුවන්ගෙ අවාසනාවටද වාසනාවටද මන්ද නොයෙක් සංස්කෘති වල ගවයාට හිමි වූ තැන මැදපෙරදිගදි ඔටුවන්ට හිමි උනා. මැදපෙරදිග ඛනිජ තෙල් සම්පත් සොයා ගැනීමට පෙර ක්ෂේම භූමි ආශ්‍රිත වගාවන්ට අමතරව මුහුදු කරේදි වෙළඳාම, මසුන් මැරීම සහ මුතු කිමිදීම වගේම ඔටුවන් ඇතුළු සත්ව පාලනය තමයි ගොපලු ජිවිත වලට හුරු උන කාන්තාරවාසි බෙදුයින් (Bedouine) ගෝත්‍රික ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබුනෙ.

අදටත් ස්වදේශික එක්සත් අරාබි එමීර් වැසියන්ගෙන් බහුතරය මෙම බෙදුයින් ජන කොටසට අයත් හෝ ඉන් පැවත එන්නන්. ඔවුන් විසින් බලා කියා ගන්න ඔටු පට්ටි වතුර පහසුකම් ඇති රටේ සෑම පෙදෙසකම පාහේ විසිර තිබෙනවා. ගෘහ කර්මාන්ත වගේම මහා පරිමාණ ගොවිපලවල් විදිහටත් පවත්වාගෙන යන මෙම ඔටු පට්ටි මගින් මස්, කිරි ලබා ගැනීමට අමතරව ඔටු සම් සහ කෙඳි නිපදවීමත් සිදු වෙනව. එයට අමතරව සංචාරකයන් පිනවීම වෙනුවෙන් කෙරෙන ඔටුවන් පිට සංචාර වගේම මැදපෙරදිග ප්‍රචලිත ඔටු රේස් අදටත් කාන්තාරේ නැව් අරාබි ජන ජිවිතයෙන් සම්පුර්ණයෙන්ම ඈත් වී නැති බවට තියෙන හොඳ සාධකයන්.

අල් සාදු (Al Sadu) රෙදි විවීමේ කලාව

Al Sadu Itemsපරම්පරා ගණනාවක් තිස්සෙ බෙදුයින්වරු ඔටු සම් සහ කෙඳි එළු, බැටළු ආදී අනෙකුත් සත්ව කෙඳි සමග මිශ්‍රකරගෙන විවිධ සම්ප්‍රදායික රෙදි, කුඩාරම්, බුමුතුරුණු සහ ඇතිරිලි සහ ඇඳුම් පැළදුම් පවා නිපදවනව. අල් සාදු (Al Sadu) නමින් හැඳින්වෙන මෙම රෙදි විවීම යුනෙස්කෝ අරමුදල මගින් සංරක්ෂණය කරන්න අවශ්‍ය සංස්කෘතික වටිනාකම් ගොන්නට පවා එකතු කර තිබෙනව. බහුලවම කලු, රතු, දුඹුරු සහ ලා දුඹුරු පැහැ රටා වලින් යුතු මේ රෙදි අලංකාර කිරීම සඳහා සිත්ගන්නා සුළු ජ්‍යාමිතික රටා වගේම නොයෙක් සත්ව රූපත් යොදා ගන්නා අතර වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික රුක් සායම් භාවිත වෙනව.

Al Sadu Weaving

සත්ව කෙඳි ලබා ගැනීම සහ සම පාඩම් කිරීම සඳහා පිරිමින්ගේ කාර්යන් සේ සැලකුනත් රෙදි විවීම සඳහා අවශ්‍ය නූල් කැටීම සහ වර්ණ ගැන්වීමේ කටයුතු සඳහා වැඩි දායකත්වය සපයන්නෙ බෙදූ ගෝත්‍රික කාන්තාවන්. නමුත් පිරිමින් විසින් සිදු කරන විවීම් තිබෙන බව කියෙව්වත් ඒ ගැන වැඩි විස්තර හොයා ගන්න නැහැ. එමෙන්ම මෙම රටාවන් ගෝත්‍රයෙන් ගෝත්‍රයට වෙනස් ඔවුන්ටම අවේනික උරුවක් අර ගන්න නිසා එය ඔවුන්ගේ අනන්‍යතාවය සමග බැඳිලා තියෙන දෙයක්. කොයිතරම් අලංකාර උනත් අද වෙනකොට මෙය වේගයෙන් අතුරුදහන් වෙන කර්මාන්තයක් බවට පත් වෙලා, සූක් (Souq) නමින් හඳුන්වන සාම්ප්‍රදායික කඩපිල් වල ඇරෙන්න මෙම රෙදිපිළි දකින්න ලැබෙනවා බොහොම අඩුයි.

කාන්තාරයෙන් කෑම මේසයට

Camel Biriyani

අර කලින් කිව්ව වගේ කාන්තාරෙ නැව විදිහට ඔටුවන්ව පැන්ෂන් යැව්වට වර්තමානයෙ ඔටු මස් යොදාගෙන පිළියෙළ කරන නොයෙක් කෑම බීම හොයා ගන්න බැරි නැහැ. බොරුවට කියනව නෙමයි මුස්ලිම් භක්තිකයන් ආගමානුකූලව ඔටුමස් හලාල් විදිහට සලකන නිසා  කාන්තාරෙ නැව් පළඟානක් උඩ කෑම මේසෙයටත් එනව. වර්ගයෙන් රතු මාංශ විශේෂයක් වෙන ඔටුමස් රසයෙන් තරමක් තද ගව මස් වලට කිට්ටුයි, නමුත් කොලස්ට්‍රෝල් සහ මේදය අඩු නිසා ගවමස් වලට වඩා ගුණදායක යයි සලකනව. ඔටු මස් යොදා සාදන බිරියානි වර්ග, බර්ගර් සහ අනෙකුත් ව්‍යංජනත් මේ අතර තියෙනව.

මින් බිරියානි සහ බර්ගර් වගේම බැදපු මස් සම්බන්ධයෙන් නම් කණ්ඩගෙ අකමැත්තක් නැහැ හම්බ වෙන හැම වෙලාවකම රස බලනව. කාණ්ඩා දැනට වෙසෙන සාජා එමිරේටයේ  රජය මගින් පවත්වාගෙන යන වෙළඳ සැල් වල වගේම ඇතැම් පෞද්ගලික වෙළඳ සල් වලත් ඔටු මස් විකුණන්න තියෙනව විතරක් නෙමෙයි. අවශ්‍ය නම් එම මස් පාවිච්චි කරල තමන්ට කැමති පරිදි අනෙක් මස් සමග මිශ්‍ර කරල සොසේජස් වැනි කෑම හදාගන්න පවා පහසුකම් තියෙනව.

Camel Choclateඒ වගේම ඔටු කිරි සහ ඒ  ඇසුරින් නිපදවන ගිතෙල්, කිරි මිශ්‍ර බීම වර්ග, කේජු, චොක්ලට් වැනි දේත් මේ අතර තියෙනව. නැවුම් ඔටු කිරි පානය කර නැතත් එමීර් රාජ්‍යයේ බොහෝ සුපිරි වෙළඳ සල් වල රටඉඳි සහ චොක්ලට් වැනි රසකාරක යොදපු ඔටු කිරි කිහිප විටක් රහ බලල තියෙනව. නමුත් ඒ පානයන් කිසිවක් කණ්ඩගෙ රහදිව පිනවන්න සමත් උනේ නැති හන්ද ඔටුකිරි වෙනුවට එළකිරි හොඳා. ඔටුකිරි ඇසුරින් හදන චොක්ලට් වල නම් ඒ හැටි වෙනසක් නැහැ , ඒ සමහර විට මේ සඳහා භාවිත කරන ඔටු කිරි පිටි බවට පත් කරන නිසා වෙන්න ඕන.

මීට අමතරව සම්පුර්ණ ඔටුවෙක් බත්, කුකුළු මස්, එළුමස් සහ බිත්තර පුරවා පිළියෙළ කරන (Stuffed Camel) පවා තියෙන බත තමයි ආරංචි. කියවල තියෙන තරමින් මෙය බොහොම කලාතුරකින් බෙදුයින් විවාහ උත්සව වැනි විශේෂ අවස්ථා වලදී පිළියෙළ කරන එකක්. එදිනෙදා අපි කවුරුත් කන සාමාන්‍ය කෑම බීම වලින් තරමක් වෙනස් මේ දේවල් ගැන සොයා බලන එක මැදපෙරදිග වාසය කරන හෝ සංචාරයේ යෙදෙන කෙනක්ට වැදගත් වෙයි.

ඔටු තරඟ

Camel Race

ඔටුවො ගැන කියද්දි ග්‍රීෂ්ම කාලෙ ඉවර වෙලා සීත කාලෙට පටන් ගන්න ඔටු රේස් ගැනත් මතක් නොකළොත් සටහන සම්පුර්ණ නැහැ කියල කණ්ඩ හිතනව. හැබැයි එහෙම කිව්වට මේ පළාතෙ අවුරුදු දුසිමකටත් වඩා ඉන්න ගමන් හැම අස්සක් මුල්ලකම රිංගුවත් නොමිලේ සහබාගී වෙන්න පුළුවන්කම තියෙද්දිත් (දුවන්න නෙමෙයි බලන්න) කණ්ඩ තාම ඔටු රේස් බලන්න ගිහිං නැති එක මහා නව නින්ගිරාවක්. ඒත් වැඩේ බකට් ලැයිස්තුවකට දාගෙන තියෙන්නෙ මේ පාරවත් කෝඩු පිට ඔටු රේස් එකක් බලන්න යන්න ඕන නිසා.

පරම්පරා ගණනාවක් තිස්සේ පැවත එන මේ ඔටු රේස් ස්වදේශික ජනයා අතර කොයිතරම් ජනප්‍රියයිද කියනවා නම් මේ සඳහාම වෙන් උන තරඟ පිටි (Camel Race Tracks) 15 ක් විතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තියෙන බව තමයි ආරංචි. වර්තමානයේ තරඟ ජය ගන්න ඔටුවන්ට අයිතිවාසිකම් කීම ධනවත් අරාබි ජාතිකයන් අතර තම සමාජ තත්වය විදහා පෑමට තියෙන වැදගත් අවස්තාවක් බවට පත් වෙලා. (අශ්ව රේස් සහ සලූකි(Saluki) බලු රේස් එහෙමත් මේ ගණයටම වැටෙනව).

රේස් සඳහා අශ්වයන් පුහුණු කරනවා වගේම තරඟ සඳහා ඔටුවන් පුරුදු පුහුණු කිරීම සිදු වෙනව. ඒ වගේම මේ ඔටුවන්ට ධාන්‍ය, පළතුරු, කිරි සහ රටඉඳි වලින් සමන්විත විශේෂ කෑම වේල් ලබා දෙන බවත් සඳහන්. එලෙස ඔටුවන් ඇතිදැඩි කිරීමේ සිට පුහුණු කිරීම අවුරුදු කිහිපයක් ගතවෙන කාරියක් නිසා මෙය පවුල් රාශියක් යැපෙන දිරාම් මිලියන ගණනක කර්මාන්තයක්. 

ඩුබායි-අලේන් මහා මාර්ගයේ (E66) උදෑසන ගමන් කරන අයෙක්ට Dubai Sevens රගර් ක්‍රීඩාංගනය පසු කරනවාත් සමගම “අල් මර්මූම්”(Al Marmoom)  පෙදෙසේ තිබෙන Dubai Camel Racing Club ආසන්නයෙදි මෙලෙස පුහුණුවේ යෙදෙන ඔටුවන් දැක ගන්න අමාරු නැහැ. දන්නා තරමින් අර ලියන්න පොරොන්දු උන අලේන් ඔටු වෙළඳපොළට සමාන පොලක් සහ ඔටුවන්ම සඳහා වෙන් වූ රෝහලක් පවා තියෙනව. එයට අමතරව රස් අල් කයිමා, උම් අල් ක්වේන්, අබුඩාබිහි අල් වත්බා (Ras Al Khaimah, Um Al Quwain, Al Wathba – Abu Dhabi ) වැනි පෙදෙස් වලත් මේ සඳහාම වෙන් වුනු තරඟ පිටි සහ පහසුකම් දැකල තියෙනව.

Robo Jockeyමෙම තරඟ බොහෝ දුරට පැවැත් වෙන්නෙ මැදපෙරදිග සිසිර සෘතුව අල්ලල සති අග දවස් වෙන සිකුරාදා සහ සෙනසුරාදා දින වල. උත්සවාකාරයෙන් සමරන මෙම අවස්ථා වලට සාමාන්‍ය ස්වදේශිකයන්ට අමතරව අදාළ එමීරේටයන් පාලනය කරන එමීර්වරුන්, ෂේක්වරු සහ ඔවුන්ගේ පවුල් වල උදවියත් (සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවය පමණයි) සහබාගී වෙනව. අතීතයේදි නම් පාලක පැලැන්තියේ උදවිය පවා ඔටුවන් පිට වැදී තරඟ වැදිල තියෙනව නමුත් වර්තමානයේ රේස් සඳහා ජොකියන් හෝ රොබෝ ජොකියන් යොදා ගන්නව. නමුත් දැන් මිනිසුන් ජොකියන් ලෙස යොදා ගන්නා තරඟ පවා අඩු බවයි දැනගන්න ලැබෙන්නෙ.

තරඟ වලදී මිනිසුන් ජොකියන් වශයෙන් සහබාගී නොවන විටදී එය අශ්ව රේස් වලට වඩා තරමක් වෙනස් ස්වභාවයක් අර ගන්නව. ඔටුවන් කසයක් මගින් සන් කරමින් උනන්දු කිරීම සඳහා දුරස්ථ පාලකයන් මාර්ගයෙන් ක්‍රියාත්මක කරන රොබෝ ජොකියන් යොදා ගන්නව. ඒ සමගම තරඟ ආරම්භ වීමත් සමගම එම දුරස්ථ පාලක ක්‍රියාත්මක කරන පුහුණුකරුවන් හෝ අයිතිකරුවන් ධාවනයේ යෙදෙන ඔටුවන්ට සමාන්තරව තරඟ පිටියට එපිටින් මෝටර් රථ වල ගමන් කරනව.

තරඟ ජයග්‍රහණය කරන ඔටුවන්ගෙ අයිතිකරුවන්ටත් තෑගි වශයෙන් කුසලාන, යාන වාහන සහ දිරම් දහසින් බැඳි පියලි බෙදන එක බොහොම සාමාන්‍ය දෙයක්. අයිතිකරුවන් ඉතා ධනවත් අරාබි ජාතිකයන් නම් බොහෝවිට එම මුදල් එවේලේම තම අතවැසියන් සහ නරඹන්නන් අතර බෙදා දීමත් සුලභ දෙයක් බව පැවසෙනව. නමුත් හැම දේකටම මුදල් ඉස්සර නොවුන අතීතයේදි තෑගි විදිහට ධාන්‍ය, රට ඉඳි වැනි කෑම බීම සහ සාම්ප්‍රදායික කිනිසි සහ අරාබි හිස් පළඳනා වගේම එළුවන් බැටළුවන් වැනි සතුන් වැනි එදිනෙදා ජීවිතයට වටිනා කියන සාමාන්‍ය දේ යොදාගෙන තියනව.

සම්ප්‍රදායිකව කෙතරම් වැදගත් උනත් දැනට අවුරු 15 – 20 කට විතර කලියෙන් මෙම ඔටු රේස් වාණිජකරණය වෙමින් ඉදිරියට එන අතරේ සත්ව අයිතිවාසිකම් සහ මානව හිමිකම් පැත්තෙන් බොහොම ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත් වෙනව. හේතුව නොමේරූ ඔටුවන් තරඟ වලට ඉදිරිපත් කිරීමේදී අනතුරට පත් වීම සහ ඔටුවන් රැගෙන යන බර අඩු කර වේගය වැඩි කිරීම උදෙසා බංග්ලාදේශය, පකිස්තානය, සුඩානය සහ යේමනය වැනි රටවලින් රැගෙන ආ කුඩා පිරිමි ළමුන් රේස් ජොකියන්  විදිහට යොදා ගැනීම. 

සල්ලි ඉස්සරහට එනකොට මනුස්සකම් යට යන එක කොහොමත් සාමාන්‍ය දෙයක්නෙ. නමුත් වර්තමානයේ නවීන තාක්ෂණය භාවිත කරල ඒ සඳහාම ළමුන් වෙනුවට රොබෝ ජොකියන් යොදා ගන්න නිසා තවදුරටත් ළමුන් අවභාවිත වෙන්නෙ නැති එක සතුටට කාරණයක්. එනිසා 80 දශකයේ සිට විසි එක්වෙනි සියවසේ මුල වනතෙක් මැදපෙරදිග පැවති මෙම කුරිරු පිළිවෙත මේ වන විට සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. 

එමෙන්ම රේස් වලට යොදාගන්නා ඔටුවන් සඳහා නිශ්චිත වයස් සීමාවක් පනවල තියෙන නිසා නොමේරූ ඔටුවන් යොදා ගැනීම සිදු වෙන්නෙත් නැහැ. ඔටුවන්ගෙ වයස බලන්නෙ කොහොමෙයි කියලද ඔහෙලා හිතන්නෙ ? අස්සයන්ගේ බලන විදිහටම තමයි ඒ කියන්නෙ දත් ගණන පරික්ෂා කිරීමෙන්. දැන් අහන්න එපා දත් කියක් තියෙන්න ඕනද කියල .. ඉඳහිට ඔටු වැඩ කරාට කණ්ඩ ඔටු උස්තාද් කෙනෙක් නෙමෙයි.

එක්සත් එමීර් රාජ්‍යයේ සහ මැද පෙරදිග ඔටු තරඟ ගැනම ලිව්වට ආසියාතික මොන්ගෝලියාව, පකිස්තානය, උතුරු අප්‍රිකානු මොරොක්කෝව, ඊජිප්තුව, ලිබියාව, ටියුනීසියාව වැනි රටවල් වගේම  ඔසීලන්තෙත් මේ වගේම ඔටු රේස් තියෙන බව අහල තියෙනව, ඒ ගැන හොයල ලියන එක එහේ ඉන්න ඔටුවන්ට බාරයි. මේ ඔටු තරඟ වලට අමතරව  අලුතෙන්ම එකතු වෙලා තියෙන දේ තමයි ඔටු පොලෝ (Camel Polo). ඩුබායි පොලෝ සමාජය මගින් මෙම තරඟ සංවිධානය කරන බව අහල තිබ්බත් ඒව කොයිතරම් ජනප්‍රියයිද කියන්න අදහසක් නැහැ. 

ඔටු පොළ (Camel Souq/Market)

Camel Marketමෙච්චර හෑල්ලක් ලිව්වෙ අපේ උයන්පුර සංචාරෙ අතරතුර අපි ගොඩ වැදුන අලේන් වල තියෙන ඔටුපොළක් ගැන විස්තර කරන්න ඕන උන නිසා. එත් අන්තිමට ඔටුවෙක් ගිය දුර නේද ? හරි එහෙනම් ආයෙත් කතාවට බහිමු. මේ වෙළඳපොල පිහිටලා තියෙන්නෙ නගරයෙන් වැඩි ඈතක නෙමෙයි. හරියටම කියනව නම් අලෙන් සත්වෝද්‍යානයේ ඉඳල කිලෝමීටර් 15 ක් එහෙම නැතිනම් විනාඩි 20 ක විතර දුරින් තියෙන බවාදි වෙළඳ සංකීර්ණය (Bawadi Mall) පිටුපසට වෙන්න. මෙහි ඔටුවන්ට අමතරව එළුවන්, බැටළුවන් වැනි අනෙකුත් සතුන් වෙළඳාමත් සිදු වෙනව.

මෙහි අලෙවි වන ඔටුවන්ගේ මිල පරාසය එකම තලයක තියෙන දෙයක් නෙමෙයි, එය ඔටුවන් භාවිතා වන කාරණය අනුව වෙනස් වෙනව. ප්‍රවාහනය සහ ආහාර පාන සඳහා ඇති කරන සතුන් අඩු වටිනාකමක් දැරුවත් තරඟ සඳහා භාවිත වෙන ඔටුවන් සඳහා ඉහල මිලක් නියම වෙනව. එය දිරම් හාර පන් දහසක සිට මිලියනයකටත් වැඩි වෙන්න පුළුවන්.

කණ්ඩා මෙතනට ගොඩ වැදිලා තියෙන්නෙ සිකුරාදා සහ සෙනසුරාදා දින වල විතරයි, එනිසා සතියේ දිනවල තත්වය කොහොමද කියන්න හරියටම දන්නේ නැහැ. නමුත් සති අන්තයේ උනත් ඔටුවන් බලා කියාගන්න උදවිය එහෙමත් නැතිනම් ඔටුපල්ලො, වෙළෙන්දන් සහ සංචාරකයො ඇරෙන්න ගැනුම් කරුවන් එහෙමට හිටියෙ නැහැ. හැබැයි ඒකටත් හරි යන්න ඇති තරම් ඔටුවො හිටිය. ඔටුවන් බලාකියා ගන්න උදවිය සමහරක් බෙදුයින්වරු නමුත් ඒ ඇරෙන්න යේමන, සුඩාන සහ පකිස්තාන ජාතිකයොත් ඉන්නව. 

Camels

මේ අයගෙන් ඇතැමෙක් ඔටුවන්ගෙ පින්තූර ගන්නවට සංචාරකයන්ගෙන් මුදල් ඉල්ලන්න ඉඩ තියෙනව. තවත් සමහර විටෙක බලෙන්ම පින්තූර ගන්න උදව් කරලා කීයක් හරි ඉල්ල ගන්න උත්සාහ කරන්න ඉඩ තියෙනව. සමහරෙක්ට මේක තරමක හිසරදයක් විදිහට දැනෙන්නත් පුළුවන් නමුත් කණ්ඩ හිතන විදිහට ඒ හැම දෙයක්ම මේ අත්දැකීමේම කොටසක්. ඒ හන්ද මේක ඒ හැටි ගණන් ගන්න දෙයක් නෙමෙයි පොඩි ගානක් අත මිට මොලවන්න අකමැති නම් සම්‍යක්ප්‍රයෝගයක් දාල ඔටුපල්ලො එහෙට මෙහෙට වෙනකං ඉන්දල් පින්තුරයක් දෙකක මාන ගන්න එකයි තියෙන්නෙ.

ඇති තරම් ඔටුවන්ගෙ පින්තූර ගත්තට හාමිනේ ඔටුවො එක්ක ඉඳල පින්තූර ගන්න කොහෙත්ම මනාප උනේ නැහැ ඔටුවන්ගෙන් වෙන් කරලා අඳුර ගන්න බැරිවෙයි කියන සාධාරණ බයක් ඇති උන හන්ද කියලයි මට නම් හිතුනෙ. හැබැයි ඉතින් එහෙමයි කියල කණ්ඩ නම් නිකන් හිටියෙ නෑ හොඳ ෆොටෝජෙනික් ඔටුවෙක් අල්ලන් සෙල්ෆියක් හිටන් ගැහුව. ඔය පහළින් දාල තියෙන්නෙ එයින් එකක්. අනේ මන්ද ඕක දැකපු ඈයො නම් කිව්වෙ හරියට නිකං නිවුන් සහෝදරයො වගේ කියල.

හැබැයි කොහොම පින්තූර ගත්ත උනත් ඔටුවන්ට අනවශ්‍ය පමණ ලං වෙන්නෙ බලාගෙන, බොහොම කලාතුරකින් උනත් තරහ ගියාම හපන එක වගේම ගුවන් ගත වෙන්නම පයින් ගහන එකත් ඔටුවො කරනව. ඩිස්ක්ලේමර් එක දැම්මෙ කාගෙත් හිතසුව පිණිස.

Camel and Meතවත් කාරණයක් මේ ඔටුවන් ගාල් කර තියෙන ස්ථානයට තරමක් එහායින් තවත් වෙළඳසැල් රැසකින් සමන්විත කඩපොළක් දකින්න පුළුවන්. මෙහි සුරතල් සතුන්, සම්ප්‍රදායික අත්කම් වගේම BBQ, පික්නික්, කඳවුරු බැඳීම් (Camping), සංචාරයන් ආදි එළිමහන් කටයුතු (Outdoor Activities) සඳහා අවැසි බඩු බාහිරාදිය බොහොම සාධාරණ මිලකට ගන්නත් පුළුවන්. නමුත් මෙතන තිබිල කණ්ඩට හමු වූ වටිනාම දේ තමයි රටඉඳි ගස් නැගීමට භාවිතා කරන වළල්ලක්. වැය උනේ ඉතා සුළු මුදලක් උනත් මතක සටහනක් විදිහට ගස් නගින වළල්ලක් මිලදී ගන්නවට හාමිනේ වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ . ඒත් අදටත් ඒක අපේ විසිත්ත කාමරයෙ සැරසිල්ලක් විදිහට එල්ලල තියෙනව.

එහෙනං අදට මේ ඇති එන සතියෙ හෆීත් කන්ද සහ අපි නැවතුන තැන විස්තර වගේම සහ ඒ ඇවිදින්න ගිහින් උන අකරතැබ්බ ගැනත් ලියන්නම්. 

මතු සම්බන්ධයි !

~ කණ්ඩා !

ඔටු රේස් ගැන වැඩි විස්තර :

පෙර ලිපි :