Late to School

පමා නොවී එමි අකුරට මෙයින් මතු …

මේ දවස් වල අපේ කන්තෝරුවෙ ෆේස්බුක් සහ බ්ලොගර් දෙකම බ්ලොක් කරල, හෙඩ් ඔෆිස් ඉන්න IT අගමැතිලගෙ මෑණියන්දැල සෙට් එකටම නොනවත්වා හච්චින් යනව ඇති ෂුවර් එකටම. මේ දවස් වල වැඩත් අඩු එකේ දවස ගෙවා ගන්න බැරිව හතේ හත වැදිල ලියන්න දෙයක් ගැන හිතමින් ඉන්න අතර ආයෙත් ඉස්කෝලෙ කාලෙ මතක් උනා. කණ්ඩගෙ ඉස්කෝලෙ කාලෙ ඔය හැමෝම කියන තරම් සුන්දර නැතත් ලියන්න කතා වලින් නම් දෙයියන්ගෙ පිහිටෙන් කිසි අඩුවක් නැහැ.

කණ්ඩ ගොඩගම සුභාරතියෙ ඉඳන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මරදානෙ පරණ වාඩියෙ තියන ආනන්දයට පය ගහපු බව කලින් කියල ඇතිනෙ (තවත් එක පරිප්පුවෙකුගේ ආගමනය !). ඕනෑම පාසලක ඉන්නවනෙ අමු ඇට්ටරයො සෙට් එකක්. හැබැයි අපේ නං එහෙම නෑ, පන්සලක් වගේ … හරීම සංවර ගුවරුන්ට කීකරු පස්පව් කරන්නේ නැති හතර පෝයට අට පාරක් සිල් ගන්න බෝ පැල වගේ ළමයි ටිකක් හිටියෙ. හැබැයි ඉතිං සුදු බැටළුවො රංචුවක් මැද කළු එවුන් කිහිප දෙනෙකුත් ඉන්නව වගේ ඒ උපාසකයන්ට හරි යන්නත් එක්කම ඇට්ටර වැඩ කරපු අමු නසරාණි එවුන් සෙට් එකකුත් අතරින් පතර හිටියේ නෑයිම කියල කියන්නත් බෑ. 

කණ්ඩ හිටියේ ඔය කොයි කාණ්ඩයේ කියලද ඔහෙලා හිතන්නෙ ? ආයි මොකට හංගන්නද … මමත් උපාසකයො ගොඩෙන් පටන් අරගෙන අණ්ඩපාල ගොඩෙන් තමයි නැවතුනේ. ඔය කියාපු අණ්ඩපාලයො සුළුතරය අතරින් බහුතරයකගෙ වැරදි විදිහට තිබ්බෙ ඉතිං පරක්කු වෙලා ඉස්කෝලෙ එන එක … ඇවිල්ල නම් ලකුණු කරාට පස්සෙ ෂෝට් ලීව් දාන එක … ධුම කේතු, නැටුම් තෙල් පරීක්ෂණ හෝ සඳ තරණය … ඇඟේ පතේ හිරි ඇර ගන්න ඉඳහිට වලියක් අඩව්වක් අල්ලන එක අම්මල කන්න බොන්න දෙන්නෙ නැහැ වගේ එදා වේලට තෝසෙ දෙකයි ප්ලේන්ටියයි හොයාගන්න පොඩි එවුන්ට තගක් දාල කලෙක්ෂන් පාරක් දාන එක වගේ පරාසයක තිබ්බ කොලුකම් තමයි (වැරදි විදිහට හිතන්න එපා හොඳේ, ඒවට ප්‍රසිද්ධ අපි නෙමෙයි 😀 ).

බහුතරයක් ගුණගරුකව හිටියට අපේ ඉස්කෝලෙ අහිංසක මල් වගේ ළමයින්ටත් එක එකාල නොයෙකුත් කයි කතන්දර හැදුව, බුදුහාමුදුරුවන්ටත් දෙව්දත්තර ගල් පෙරලපු එකේ අපිට මොනව නොකරයිද නේද ? ඉතිං රට්ටු අපිව හඳුන්වපු නොයෙක් අන්වර්ථ නම් අතර, “පරිප්පුවෝ”, “මරියකඩේ සෙන්ට්‍රල් චණ්ඩි” ආදී හැට හුටහමාරක් ඒව  තිබ්බ. එයින් පරිප්පුවෝ කියන එක ආනන්ද-නාලන්ද සහෝදර පාසල් දෙකටම පොදුවේ භාවිත උනා. හැබැයි පරිප්පු කියන්නෙ කොහොමත් අපේ ජාතික ආහාරය හන්ද අවුලක්ම නෑ … අපි සැලෙයි ඔව්වට !

Ananda College - Ananda Vihaarayaඔය කට කැඩිච්ච කතා එතනින් නැවතුනේ නෑ මිත්‍රවරුනි … ධම්ම පදය ගාථාවකින් උපුටා ගත්ත අපේ පාසලේ ආදර්ශ පාඨය “අප්පමාදෝ අමතපදං” එහෙමත් නැත්තන් සිංහලෙන් කියනවන් මොටෝ එකත්  “අප්පමාදෝ අමතුපදං, පරිප්පුනං ඕනතරං !” කියල මොඩිෆයි කරලා තිබ්බනෙ. සමහර විට ඒකනං හදල තියෙන්නෙ අපේ බිග්මැච් පැත්තෙ ගියදාක වෙන්න ඕන.

ඔය කිව්වෙ ඉස්කෝලෙ ගැනනෙ … ඒ වගේම ඉස්කෝලෙ අපිට උගන්නපු හැම ගුරුවර ගුරුවරියකටම පාහේත් මේ වගේ අන්වර්ථ නාම තිබ්බ. අදටත් ගොඩක් දෙනා මතක මේ අන්වර්ථ නම් වලින් මිස හැබෑ නමින් නෙමෙයි. බොහෝවිට ඒ උදවියගේ කල් ක්‍රියාවන්, හැඩහුරුකම්, උන්ගන්වපු විෂය වගේම භාෂාව හසුරවපු විලාසය මේ නම් සඳහා හේතු පාදක උනා. මින් සමහරක් ආදරේටත්, තවත් සමහරක් උපහාසයටත් දෑහට පෙන්නන්නම බැරි පාර තොටක හම්බ උනොත් දෙකක් අනින්න හිතෙන තාලෙ උදවියට නම් අපහාසයටත් මේ නම් යෙදුන.

කණ්ඩ පරිප්පුවෙක් උන දා හිටං පාසැලෙන් එළියට බහිනකන් හත් අවුරුද්දක් පරණ වාඩියේ වගේම ඒ අහල පහළත් කරක් ගැහුව. ඒ අතර කරපු කියපු දේවල් අහුඋනා නං ඉස්කෝලෙන් දොට්ට දානවා සිකුරුයි, එහෙම උනේ නැත්තෙ පූරුවෙ වාසනාවකට. හැබැයි අවාසනාවට එහෙම උන අයත් ඉන්නව. කවද හරි මගේ අතින් නොවුණත් ඒ කතාත් ලියවෙන්න ඕන. මේ සංක්‍රාන්ති සමය පුරා අමතක කරන්න බැරි ගුරුවරු සහ ගුරුවරියන් රැසක් කණ්ඩට හමු උනා. කොහෙත් වගේ ඒ අය අතර බොහොම කැපවීමෙන් තමන්ගෙ රාජකාරි කරපු උදවිය වගේම ගුරු වෘත්තියට කොහෙත්ම නුසුදුසු කිළුටු පොතේ නම් ලියවුන අමු කරුමක්කාරයොත් හිටිය.

ඔය කාල වකවානුවේ ප්‍රධාන ගේට්ටුව අසලම ගොඩනැගිල්ලෙ තිබ්බ කාර්යාලයක රාජකාරි කරපු බොහොම අපූරු ගුරු චරිතයක් හිටිය. රාජකාරිමය වශයෙන් උප විදුහල්පති ධූරයක් දරාපු මෙතුමා කවුරුත් ගරු කරපු පාසල පුරා නම ගිය චරිතයක්. කොහෙත්ම සැර පරුෂ කෙනෙක් නොවුනට වැඩ සුද්ද වගේ. ඇඳුම පැළඳුම උනත් බොහොම නූලට තිතට තියෙනව, එක රැල්ලක් වැටෙන්න නැතිව මැදපු කිරි කොකා වගේ සුදු කලිසම සහ අත්දිග කමිසෙ, එතකොට මූණ පේන කණ්නාඩියක් තරමට මැදල ඔප දාපු කළු සපත්තු දෙක වගේම නීට් එකට දාන ටයි එකේ ගැටේ ඉඳන් හැමදේම වර්ණනා කරන්න බැරි තරම් පිළිවෙලයි.

ඔය ඔක්කොමත් හරි මේ කියන උප විදුහල්පතිතුමා වඩාත් ප්‍රසිද්ධ උනේ එතුමාගේ උඩු රැවුල නිසා, දකින කෙනා කියන ආකාරයට මේක හිට්ලර් මොස්තරේ හෝ චාලි චැප්ලින් මොස්තරේ විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ කියන ගුරුතුමා හිට්ලර් කෙනෙක්ට වඩා සැඟවුණු හාස්‍ය රසයක් තිබ්බ මනුස්සයෙක් නිසා චාලි චැප්ලින් මොස්තරේ කියන එක තමයි වඩාත් හරි යන්නෙ. මේ ලිපිය කියවන අය අතර කණ්ඩගෙ සමකාලීනයො ඉන්නවනම් මේ වෙනකොටත් කා ගැනද කියන්නෙ කියල දන්නව.මොකද මේ චරිතය කාටවත් ලේසියෙන් අමතක වෙන්න හේතුවක් නැහැ. 

ඔව් මේ වෙන කවුරුවත් නෙමෙයි බොහෝ දෙනෙක් ගරු කරන තිස්ස පෙරේරා සර්. (අද කාලෙ ස’ කියන එක විහිළුවක් උනාට ඉස්සර ඒක කිව්වෙ ගෞරවයට :-D). නීට් එකට තියෙන පොඩි උඩු රැවුල නිසා වටේ පිටේ කවුරුවත් නැති තැන අපි ආදරේට කිව්වෙ “චාලි” කියල. ඒ නම අපි ඉස්කෝලෙට එන්නත් කලින්ම රෙජිස්ටර් වෙච්ච එකක් මිස අපි දාපු එකක් නෙමෙයි.

ඒ කාලෙ හිටිය විදුහල්පතිට වඩා හාත්පසින්ම වෙනස් ගති ලක්ෂණ තිබුන නිසා කොලු කුරුට්ටො හැමෝටම මෙතුමා ගැන උන්දැට වඩා ගරුත්වයක් තිබ්බ. විදුහල්පති ගැන නම් ඉතිං හොඳක් කියන්න නැති නිසා කතා කරලා වැඩක් නැති උනත් කැමති අයට “පිනා සහ පිනාචාර්ය” කතාව කියවන්න පුළුවන්. කණ්ඩගෙ පන්ති සගයෙක් වෙන ප්‍රදීප් නොහොත් “පැණියා” අග්නි සඟරාවට ලියාපු “නාට්‍ය පිස්සුව” ලිපියෙත් ඒ පිනාචාර්ය උත්තමය ගැන සටහනකත් තියනව. ඒ නිසා කණ්ඩ පරණ ඇරියස් එකක් කවර කරනව හෙම කියල හිතන්න එපා මේ හෙණ ගහන ඇත්ත.

හොකී තරඟ වලට ක්‍රීඩකයන් අරගෙන යන්න ඉස්කෝලෙ බස් එක ඉල්ල ගන්න යන හැම පාරකම තිස්ස පෙරේරා සර් නිකම්ම නිකං ලියුම අත්සන් කරලා දෙනවට අමතරව ඒ යන තරඟාවලියෙ විස්තර අහල තරඟය ජය ගන්න කියල සුභ පතන එකත් නොවරදවාම කරා. බස් එක එයාගෙ අම්මගෙ අප්පගෙ බුදලේ කියල හිතලද මන්ද නොදී බැරිකමට දෙකේ අත්සන ගහපු මුස්පේත්තු පිනාචාර්යතුමා ගැන හිතනකොට මේ වෙනස තවත් කැපිල පෙනුන.

තිස්ස පෙරේරා මහත්මය සාමාන්‍යයෙන් වැඩි කලබලයක් නැතිව ඇදල පැදලා කතා කරන කෙනෙක් … වරදක් කරල අහු වෙලා බැන්නත් ඒකට තරහ යනවට වඩා හිනා යන්න ඉඩ තියෙනව. සැර පරුෂ පුද්ගලයෙක් නොවුනත් ළමයින්ගෙ විනය ගැන සෑහෙන හොයල බැලුව. ප්‍රධාන ගේට්ටුව ගාවම කාර්යාලය තියෙන නිසාදෝ දින චරියාවෙ එක අංගයක් තමයි පරක්කු වෙලා එන නඩය ගැන ඇහැ ගහන් ඉන්න එක. අපේ දැලි රැවුල් ඇදෙන නාහෙට නාහන කාලෙ නිසා අපිත් ඉතින් ඔය පරක්කු පෝලිමේ නිත්‍ය සාමාජිකයො. ඒකට හේතුභූත උන නිධාන කතාවත් සුළුවෙන් හරි කිව්වේ නැත්තම් හිතට හරි නෑ වගේ.

ඒ කාලෙ ආනන්දෙට වෙන් උනාට නාලන්දෙ වගේම අශෝක විද්‍යාලයේ සහෝදරයො රොත්තත් අතරමගින් ඔබාගෙන කට කපල ඇලවෙලා එන හෝමගම ඩිපෝවෙ කෑලි හැලෙන සිලෝන් ටකරන් බස් එක තමයි කණ්ඩගෙ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය. මාසෙටම රුපියල් පනස් ගාණකට අරගන්න සීසන් ටිකට් ටිකට් එකත් එක්කම අසීමිතව පිස්සු කෙලින්න ලයිසන් හම්බ වෙන නිසා ආයි නෑ අපිටත් ඉතින් පනින්න බලන් ඉන්න රිලවුන්ට ඉනිමං බැන්ඳ වගේ තමයි. නටන්න පුළුවන් හැම පිස්සුවම නටමින් ඇවිල්ල ඉස්කෝලෙ ගාව තිබ්බ සල්ගාදු බේකරි⁣යට පෙර ආත්මයක තිබ්බ පරණ ණය ජෑම් පාස් වලින් ගෙවල ප්ලේන්ටියක් බීල ඉස්කෝලෙට යනකොට හැමදාම පරක්කු පෝලිමට නොගියොත් තමයි ඉතිං පුදුමෙ.

Ananda Assemblyපරක්කු පෝලිම එහෙමත් නැතිනම්උ දෑසන රැස්වීමෙදි ආනන්ද විහාරයෙ මල් පූජාව ඉවර වෙලා ප්‍රවෘර්ති කියවල ඉවර උනාට පස්සෙ එන ළමයි ඔක්කොම ඉස්සරහ කාර් පාක් එකේ පෝලිමක් ගස්සවන රාජකාරිය පැවැරෙන්නෙ ශිෂ්‍ය නායකයන්ට. මේක නිකං හොරු අල්ලන්න FCID එකට බාර දුන්න වගේ තමයි ඒ අය උනත් මේ ගැන ලොකුවට කරදර උනේ නැහැ. තිස්ස පෙරේර සර් ළඟ පාතක පෙන්න නොහිටියොත් පොඩි සත්තමක් දාල පන්ති වලට යවනව. මොකද ශිෂ්‍ය නායකයො වෙන්න කලින් ඒ අයත් මේ පෝලිමේම ඉඳල නැති උදවිය නෙමෙයිනෙ. පස්සෙ කාලෙක කණ්ඩත් ඔය ගොඩටම වැටුන නිසා පෙර සේම පරක්කු වෙලා එන එවුන්ව හොර පාරෙන් පන්ති වලට යැව්ව.

පරක්කු වෙලා එන එවුන්ගෙ නරක වෙලාවක් සෙට් උනදාට රැස්වීම ඉවර වෙලා චාලි සර්ගෙ පරක්කු පෙරෙට්ටුව පටන් ගන්නව, ඇවිල්ල බලනව නිතර පරක්කු වෙන පෙර වැරදි තියෙන අය කවුද කියල. එහෙමෙ බැලුවට ඉතිං කවදාවත් කාගේවත් මූණක් මතක හිටිය කියල නම් මම හිතන්නෙ නැහැ.මොකද එහෙමනං අපි ගොඩක් දෙනෙක් අහු වෙන්න එපැයි. ඉන් පස්සේ අත්හරින පතර ළමයි අදාල අරගෙන නිදහසට හේතු කරනා විමසනව.

ඔහොම කොනක හිට අහගෙන යනකොට හැමදාම පරක්කු පෝලිමේ ඉඳල තෙම්පරාදු උන කොලු නඩේගෙන් නානා ප්‍රාකාර නිදහසට හේතු අහන්න ලැබෙනව : 

  • සර් අද හෝමාගම ස්කූල් බස් එක පරක්කු උනා –  ඒ ගම්පහ බස් එකේ ඇවිත් හැමදාම සල්ගාදු එකේ දුම දාන්න පරක්කු වෙන හාදයෙක්
  • සර් අද පිළියන්දල ස්කූල් බස් එක නැති නිසා නුගේගොඩට ඇවිත් හෝමාගම බස් එකේ ආවෙ – ඒ තාත්ත කාර් එකේ ඇවිත් ගේට්ටුව ගාව බැස්සුවට පස්සෙ විකීගේ කඩේ පරාට ගිලින්න ගිහින් පරක්කු උන ග්‍රහයෙක්
  • සර් අද මීරිගම ඉඳල එන උදේ කෝච්චියක් අඩුයි – ඒ රාජගිරියෙ ඉඳන් ඉස්කෝලෙට එන්න පැය බාගයක් යන්නෙ නැති එකෙක්
  • සර් ස්කූල් වෑන් එක කැඩුන – ඒ අල්ලපු වැටේ ආනන්ද මාවතේ ඉඳන් පයින් එන කොලුවෙක්

ඔය විදිහට සුරංගනා කතා කරලිය රඟ දක්වල නිදහසට කරනා ඇසීම අවසන් උනාට පස්සෙ හත් දාහක් ළමයි වෙලාවට පාසැල් එද්දි අපි විතරක් හැමදාම පරක්කු වෙන එක ගැන දොස් මුරයක් තියන ගමන් තිස්ස පෙරේර සර් කියන බර ගණන් වල පරණ කතා, ඒ කාලෙ පරක්කු වෙන අයට දුන්න දඬුවම් , උපදේශ කතා ඔය මොනවා කිව්වත් කතා වල සාරාංශය අර කාව්‍යශේඛරයේ කිව්ව වගේ

ගුරු සිත නොරිදවා …
වෙලාව නොවරදවා …
බැති පෙම් උපදවා …
අකුරු උගනිවු කුමරු සොඳවා

ඔය කතන්දර වලට අපි හිනාව තද කරගෙන සීරියස් ඇටෙන්ෂන් මූණක් දාගෙන ඉන්නෙ හරිම අමාරැවෙන්. ඒ කියන දේවල් වලටවත් වෙන අඩු පාඩුවකටවත් නෙමෙයි සර් ඒව අදාල පැදල අතිනුත් දාල රස කරලා කියන විදිහට හිනා යන්නෙ. ඒ අතර කරුමෙට පාසල් නිළ ඇඳුමෙ අඩුපාඩු, කොන්ඩය කපාපු නැති ඈයො අහු උනොත් ඒවටත් පොඩි පහේ සත්තමක් දාන්න අමතක කරන්නෙ නෑ.

ඔය අස්සෙ හිටි ගමන් බිග්මැච් කාලේ එනකොට අපේ කල්ක්‍රියාව ගැන විවිධ පැමිණිලි එහෙමත් මෙතුමාට ලැබෙනව. එහෙම දවසට අපිට තවත් අමතරදේශනා අහන්න ලැබෙනව දවසක් පරක්කු පෝලිමේ ස්කූල් බස් එකේ එන අයව වෙන් කරලා අරන් වෙනම දේශනයක් දුන්න.

ඔය ළමයි ඉස්කෝලේ කොඩි දාගෙන කෑකෝ ගැහුවට කමක් නෑ හැබැයි රටට ලෝකෙට ඉංග්‍රීසි ස්පෙලින් දන්නේ නෑ කියලා අපිට ලැජ්ජා කරන්න ලෑස්ති වෙන්න එපා !!!

පහුගිය දාක මම ඉස්කෝලෙ එනගමන් මට සන්තෝස හිතුන අපේ ස්කූල් බස් වටේටම කොඩි වලින් සරසල තියෙන විදිහ දැක්කම  .. හරිම ලස්සනයි 

A … N …  A … N … D … A … ANANDA ! කියල සද්දෙට කියනව අහන ඉන්නකොට තියෙන ආඩම්බරේ, අනේ ඒ සතුට ඔක්කොම ඉවරයි තමුසෙලා R …O … Y … A … L …  බල්ලෝ !!! කියල බෙරිහන් දෙන්න ගන්නකොට !

අයිසෙ තමුසෙලට ලජ්ජා නැති උනත් අපි කොහොමද පාරේ බැහැල යන්නෙ ??? දන්න කියන මනුස්සයෙක්ට කොහොමද රෙද්දක් ඇඳන් අපි උගන්වන්නෙ මේ වගේ අයට කියල කියන්නෙ ???

ඔය හැම කතාවක් අස්සටම මෙන්න මේ කෑල්ලත් අනිවාර්යයෙන්ම කොහෙන් හරි එකතු වෙනව :

“හැබැයි මම දන්නව … තමුසෙලා ඇවිල්ල වැදගත් දෙමව්පියන්ගෙ නොවැදගත් පුත්තු !,  අයිසේ ඒ හන්ද මම කවදාවත් තමුසෙලගෙ දෙමව්පියන්ට දොස් කියන්නෙ නෑ …!!!”

ඔය ඔක්කොම බැනුම් ඉවර උනාට පස්සෙ 

වේවැල් කෝටු නාරං සියඹලා           අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය    අතු
මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින්       මතු

කියල පොරොන්දු වෙලා හැමෝම පන්ති වලට යනව. ඒ දවස් වල අපිට තිස්ස පෙරේරා සර්ගෙන් විනාඩි විස්සක් විතර බැනුම් ඇහුවෙ නැත්තං, සර්ව දකින්න ලැබුනෙ නැත්තං හරියට උදේ මූණ හේදුවේ නෑ වගේ අවුල්. ඒත් පස්සෙ කාලෙක මේක හරියන කෙළියක් නෙමෙයි කියල වෙන්න ඕන පරක්කු වෙලා එන අයගෙ නම් ලියන්න පොතක් දැම්මෙ … අපි ඒ පොතේ අපේ නම් ඇරෙන්න උදේ හතටත් කලින් පාසැලට එන ගුරුවරුන්ට ගොට්ට අල්ලන හොඳ පුතාලගෙ නම් හැම එක්කම වගේ ලිව්ව. ඔය වැඩේ සාර්ථක නැහැ කියල තේරුන නිසාද මන්ද අත ඇරලා දැම්ම බව තමයි මතක.

සෑහෙන කාලෙකට කලින් තිස්ස පෙරේරා සර් ආනන්දෙන් විශ්‍රාම ගත්ත බව ආරංචි උනා, ඒත් අදටත් එතුමා සුවෙන් ඇතියි කියල හිතනව… අදට මේ ඇති, ආයෙත් දවසක තවත් පරිප්පු කතාවකින් හමුවෙමු !

පසු ලිපි :

පහල තියෙන චායාරුපයෙ ඉදිරි පේළියේ වම් පැත්තෙ කෙළවරේ ටයි එකක් දාගෙන පළවෙනියට ඉන්නෙ තිස්ස පෙරේරා මහත්මය, හැබැයි කබාය ඇඳල ඉන්නෙ කණ්ඩ කියපු පිනාචාර්ය නෙමෙයි එයිට කලින් හිටි විදුහල්පති ඒ.පී. ගුණරත්න මහත්මය. මම හිතන්නෙ මේ චායාරුපය අපිට වඩා ජේෂ්ඨ ශිෂ්‍ය නායක කණ්ඩායමකට අයිති එකක්.

Tissa Perera with Prefects Guild Officials - 1993

(පින්තූර අන්තර්ජාලයෙන්)

~ කණ්ඩා !

පෙර ලිපි :