අප්පමාදෝ අමතපදං සහ මධු රසාංග
කණ්ඩ එකෝමත් එක කාලෙකට කලින් රාජකාරි කරපු සුපිරි කොම්පැනිය ගැන කතා ඔහේලට විටින් විට කියල තියනවනෙ. ඕකෙදි හම්බ උනා ලෝකෙ පුරා රටවල් ගානකින් ආපු නානාප්‍රාකාර මිනිස්සු … එතැන හරියට නිකං එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ තමයි … සමහරක් උන් පට්ටම හොඳයි තවත් සමහරක් එවුන් අං ගිලපු කටුස්සො … අද කියන්න යන්නෙ දෑවුරුද්දකට වැඩි කාලයක් මගේ බොසා උන අල්ලපු රටේ හාදයෙක් ගැන.
දැන් ඉතින් අල්ලපු රටේ කියපු ගමං හාපෝ … තුහ් නෙදකින් කියල අහක බලන් යන්න එපා .. මේ මනුස්සය බොහොම සිත් ගන්නා සුළු අපූරු චරිතයක්. උතුරු ඉන්දියාවෙ අවාද් හෙවත් වර්තමානයේ “ලක්නව්” (Luknow/Awadh) කියල හඳුන්වන නගරයෙ හැදුන වැඩුන මේ හාදයගෙ නම අජේ … නෑ .. නෑ .. දෙව්ගන් නෙමෙයි .. නළුවෙක් නොවුණට මේක මොළයක්. එතකොට මැද නම ? ඉන්දියාවෙන් බාගෙකට තියෙනවා වගේ මැදට කුමාර් කෑල්ලකුත් තියනව … ආ එතකොට වාසගම ? වාසගම මොකටද ? ඇයි … අයිඩෙන්ටි කාඩ් එකක් හදන්නද ? නෑ .. නෑ .. ඒක ඕන නෑ.
හැමදේම දන්නවයි කියල පෙන්නන මෙලෝ ලබ්බක් නොදන්නා අල්ලපු රටේ බහුතරය ගොබ්බයන් අතරෙ අජේ ආසියාවෙන් පටන් අරං අප්‍රිකාව, මැදපෙරදිග වගේම යුරෝපයෙත් අත්දැකීම් සම්භාරයක් තියෙන ඕන වැඩක් නැහැයි බැහැයි නොකියා බාර ගන්න දක්ෂ හාදයෙක්. සුපිරි කොම්පැනියෙ ඉන්න අතර රාජකාරි ජීවිතේ ඉස්සරහට එන්න හිතේ කහටක් නැතිව කණ්ඩට හැබෑවටම උදව් කරපු මිත්‍රයන්ගෙන් කෙනෙක්.
කොහොමත් IT කණ්ඩායම් වල වැඩ මිස නිල මට්ටම් සලකනවා බොහොම අඩුයි කියල දන්න උදවිය දන්නවනෙ .. දැන් නොදන්නා අයත් දැන ගත්තනෙ. ඔය නිසා තමන්ගෙ මට්ටම් තම්ට්ටම් කියල තම තමන්ගෙ රාජකාරිය හරියට කරනකන් කවුරුවත් ඇඟිලි ගහන්න එන්නෙ නැහැ. ඒ හන්ද බොසාගෙයි කණ්ඩගෙයි ආස්සරේ යාළුමිත්‍රයො විදිහට. අනික මගේ බොසා උනා කියල වෙන්න ඕන වැඩේ කියන එක හෝ කියල දෙන එක ඇරෙන්න කවදාවත් මේ හාදය ඉහට උඩින් යන්න ආවෙත් නෑ. දෙන ඕනෑම වැඩක් වෙලාවට කලාවට උපරිමයෙන් කරන නිසා මගේ පැත්තෙන් ඒකට හේතුවක් තිබ්බෙත් නෑ.
හැබැයි ඉතින් කොයිතරම් හොඳ උනත් ඕනෑම මනුස්සයෙක්ගෙ අඩු පාඩුත් තියෙනවනෙ, අජේ ගොයියත් එහෙම තමයි. මේ හාදයට තිබ්බ ලොකුම අඩු පාඩුව තමයි අමතක වීම .. මේක ඔෆිස් එකේදි වගේම පුද්ගලික ජීවිතේදිත් එක ලෙසටම තිබුන. මේ කියන්න යන රස කතා බොහොමයකත් මුල ඕකම තමයි. මේ අමතක වීම් රාජකාරි වැඩ, මීටින් සහ ගුවන් ගමන් වගේ එව්ව ඇරුනහම කන්න-බොන එකේ හිටන් තමන්ගෙ වන් ඇන්ඩ් ඔන්ලි භාරියාව දක්වා පුළුල් පරාසයක තිබුන නිසා බොහොම හිනා යන වගේම තනි ඇහැට ඇඩෙන අකරතැබ්බ වලටත් අජේට නිතර නිතර මුහුණ පාන්න සිද්ධ උනා.
මේත් එයින් කතාවක්, ඔය කාලේ අපි ඩුබායි වල රාජකාරි කරාට බොසයි මායි දෙන්නම නැවතිලා හිටියෙ සාජ වල. බොරැල්ලයි පුංචි බොරැල්ලයි වගේ කිට්ටු නගර දෙකක් උනාට මේ දෙක අතර උදේ හවා වැඩට යන්න එන්න යන කාලය කිලෝමීටර් ගණන් දිග වාහන තදබදය නිසා පොළොවෙ ඉඳන් අඟහරු ලෝකෙට යන කාලයට සමාන බව විශේෂයෙන් කියන්න ඕන. දැන් උනත් ඉලෝන් මස්ක්ට අඟහරු ලෝකෙට යන ශටල් එකට ගතවෙන කාලය ගැන මොනවා හරි චෙක් කර ගන්න තියේ නම් ශටල් එක ලොරියක පටවගෙන සාජ- ඩුබායි අතර පදින්න පුළුවන්.
ඒ දවස් වල කණ්ඩට වාහනයක් නොතිබුන නිසා (අදටත් මට කියල පුස් සයිකලයක්වත් නෑ තමයි) අජේගෙ වාහනේ තමයි ඔෆිස් යන්නෙ. වාහනේ “හුන්දෙය ටූසොන්” එකක් … දැන් උඩ බිම බලනවනෙ මේ මොන වඳුරු කුණු හබ්බයක්ද කියල … හරි .. හරි .. අපේ බාසාවෙන් හයි හුන්ඩායි ටක්සන් එකක් 😀 . මේ වාහනෙත් අයිතිකාරයගෙ අමතක වෙන ලෙඩේ නිසා නොසෑහෙන්න පීඩා වින්ද (තාමත් විඳිනවා) හේතුව වාහනේ සර්විස් කරන්න අමතක වෙන එක .. හැමදාම සර්විස් එකට මාස හයක්වත් පරක්කුයි … හය මාසයක් කියන්නෙ මෙහෙ විදිහට අඩුම තරමෙ කි.මී. 20 – 25 දහක් විතර. ඉතිං හිතාගත්තෑකිනෙ, එන්ජිම කොහොම දුවනවද කියල දෙයියොම තමයි දන්නෙ. සර්විස් කරනකොට එන්ජින් ඔයිල් මාරු කරන මනුස්සය ඔලුවෙ අත ගහ ගන්නව ඇති.
ඇයි ඒ විතරක්ද .. සාජ – ඩුබායි ට්‍රැෆික් මග අරින්න පේව්මන්ට්, තාර නොදාපු වල ගොඩැලි, වැලි ගොඩවල් උඩින් දාල යන ගමන හරියට ඕෆ්රෝඩ් දුර්ග මාර්ගයක යනවා හා සමානයි … ඉතින් ටික දවසක් යනකොට වාහනේ වීල් එලයින්මන්ට් අල වෙලා රෝද බකල් ගහල අඬ අඬා තමයි දුවන්නෙ. වැරදිලාවත් වේගෙ 60 පැන්න වෙලාවට පිස්සු බලු රෝගෙයි, වලිප්පුවයි එක පාර හැදුනා ගානට මුළු වාහනේම ගැහෙනව … යන අපිවත් ගැහිලම දත කට පූට්ටු වෙන නිසා දත්මිටි කාගෙන තමයි යන්නෙ. හරිනම් ඒ වාහනේ පහුගිය අවුරුදු 10-12 ක් කාලය පුරා තාමත් දුවන්නෙ කොහොමද කියන එක හොයල බලල කොරියන් කාරයො ඒක මියුසියම් එකකවත් තියන්න ඕන අර ගලේ ගැහුවත් නොමැරෙන ටොප් ගියර් ටොයොට හයිලක්ස් (Top Gear ‘s Indestructible Hilux) එක වගේ.
හැබැයි වාහනේට දහදුක් දුන්නත්, කඩන්න ඕන නීති ඔක්කොම කැඩුවත් අජේ හොඳ රියදුරෙක්, කවදාවත් ඇක්සිඩන්ට් එක්ක වෙච්ච බවක් මතක නැහැ. ඉතිං කණ්ඩ උන්දැව නිළලත් මාතලී විදිහට තෝරගත්තෙත් ඒකනෙ, දන්නා අඳුරන එවුන්ට අජේව අඳුන්වල දෙන්නෙත් එහෙමම තමයි. ඒ මදිවට හිටි ගමන් මීටින් වලට ගිහින් උත්තර දෙන්න බැරි ප්‍රශ්න වලට හිර උනහම විහිළුවෙන් තහළුවෙන් ඔය වගේ පොඩි දේවල් මගෙන් අහල වැඩක් නෑ පොඩ්ඩක් ඉන්න මගේ ඩ්‍රයිවර්ව ගෙන්නන්නන් අහ ගන්න කියල මෑන්ව ගෙන්නවල තමයි ගොඩ දාන්නෙත්. අනේ ඒ හැම එකක්ම හිනාවෙලා විහිළුවෙන් බාර ගන්නව මිස තරහ ගන්නෙ නැහැ.
ඔන්න ඔහොම ජීවිතේ ගෙවිල යන අතරෙ දවසක් අපේ බොසයි මායි ඕෆ් වෙලා ගෙදර එනව. එදාත් ඩුබායි ඉඳං ට්‍රැෆික් අස්සෙ හිරවෙලා පැයට සැතපුමක වේගෙන් තමයි ගමන. කොටින්ම එලියෙ රස්නෙ නැත්තන් වාහනේ යනවට වඩා ඉක්මනට පයින් ඇවිදන් යන්න පුළුවන්. සාජ බලා ඉබි ගමනින් යන අතරෙ බකන් නිලන් ඉන්න බැරි නිසා අපි කයියක් දානව. ඔය කයියට අලුත් තාක්ෂණයද කිරිකැට්ද මැච් ෆික්සින්ද යාන වාහන වල හිටං රටේ ලෝකෙ දේශපාලනය ඉඳන් ඔෆිස් පොලිටික්ස් දක්වාත් මේ ඉර හඳ යට වෙන හැම දෙයක්ම ඇතුළත්.
ඔහොම කතාවෙන් කතාව ඇදිල ගොහිං පැය 2 ක විතර කට්ටක් කාල ඩුබායි බෝඩරේ පන්නල සාජ හන්දිය පේන තෙක්මානයට කිට්ටු කරා … කණ්ඩවව බස්සන තැනට ඔන්න මෙන්න තියල අජේට මතක් උනා මිනිහගෙ වයිෆ් ෂොපින් ගිය ගමන තාම ඩුබායි නේද කියල. කලින් කිහිප වතාවකුත් උන්දැව අමතක කරල ඇවිල්ල තිබ්බ නිසා එදා දහ අතේ පොරොන්දු වෙලා තිබ්බ නොවරදවාම ගන්න එනවා කියල. අනේ ඉතිං බැරි තැන අපේ ගොයිය ගත්ත කෝල් එකක් හාමිනේට ටැක්සියක් අරං ගෙදර එන්න පුළුවන්ද අහන්න.
හොඳ බිරිඳක් විදිහට අජේගෙ මායිය “අනේ දැන් ඉතින් මොනවා කරන්නද … කමක් නෑ මං ටැක්සියක් අරන් එන්නං සුදූ !” කිව්වා කියලද හිතන්නෙ? ඔහෙලට වැරදිලා මිත්‍රවරුනි … තත්වය ශෝචනීයයි … ෆෝන් එක හරහා අබ පිපිරෙන ගානයි … අපේ කොලුව අස්සයා මැරිච්ච කවුද බෝයි වගේ මාව බස්සල ආපහු හරවගෙන ඩුබායි ගියා හාමිනේව උස්සං එන්න. ඒ කියන්නෙ ආයෙත් පැය 2-3ක ගමනක්. දැන් ඔහෙලා හිතන්න එපා මේ මනුස්සය GGB හෙවත් ගෑණිට ගූ බය පොරක් කියල. එහෙම උනත් මොකද ඉතිං … අර අටම්පහියාධිපති අටං මහත්තය කියනවා වගේ … ගෑණිට බය නැත්තං ඌත් පිරිමියෙක්ද ?
පහුවදා අජේ මාව ගන්න ආපුවම බලපු පලවෙනි දේ තමයි බොක්සින් පාරවල්, කුඩමිටි පාරවල් තියෙනවද කියල … එදා ගෙදර යනකම්ම බැන්නට වෙන මොකවත් වෙලා නැහැ. කොහොමත් අජේගෙ හාමිනේ එහෙම නපුරු අවුල් කේස් එකක් නෙමෙයි. කතා බහ කරනවා අඩු බොහොම සන්සුන් කෙනෙක්. මේක තනිකරම අජේගෙ පෙර වැරදි කේස් එකක්. කලිනුත් 4-5 පාරක් ඔය විදිහටම වයිෆ්ව අමතක වෙලා ඇවිල්ල ආයෙත් ඒකම කරහම ඉතිං බැනුම් අහන එක සාධාරණයිනෙ. තව එකක් කණ්ඩ අජේගෙ හොඳ යාලුවෙක් විදිහට මේක අමතක වෙලා යන්න දෙන්න හොඳ නෑනෙ, එනිසා එදා උදේ පාන්දරම හොඳට පලිප්පු දාල කන්තොරුවෙ දන්නා අඳුනන හැමෝටමත් කතාව කිව්ව … ආයි නෑ පත්තරේ දැම්ම වගේ තමයි. 😁
අනිත් වැඩේ තමයි අජේ පැණි රහ සහ රසකැවිලි පෙරේතය … අර සුද්දො සිංහලෙන්’ කියන්නෙ ස්වීට් ටූත් (Sweet Tooth) කියල, එහෙම බැලුවොත් අජේගේ දත් තිස් දෙකම එහෙමයි. තුන් වේලටම පැණි රහ කන්න පුළුවන් නම් ඒත් කයි. එක පාරක් මං ලංකාවෙ ඉඳං යනකොට අපේ ඔෆිස් එකේ කාපාලුවන්ට අරං යන්නෙ මොනවද කියල කල්පනා කරන අතර නිතර ටිකිරි මාරි කන නිසා එක පාරටම ලයිට් බල්බ් අයිඩියාවක් පහල උනා රසකැවිලි කඩයක් දැකල. සෙනසුරැ අපලෙ හැදුන කාක්කො වගේ සදා බඩ ගින්නෙ ඉන්න කන්තෝරුවෙ උන්ට කන්න පොල් ටොෆි සහ කිරි ටොෆිඅරන් යන්න පුළුවන් කියල උපරිමේට ගත්ත පාට කිහිපයකින් තඩි පාසල් 7-8 ක් විතර … එතන කිලෝ එකකට වැඩිය මිසක් අඩු නෑ.
අරං ගොහින් ටීම් එකේ හැමෝටම පණිවිඩේ දීල පෙට්ටි ටික ගිහිං තිබ්බ ගෘප් මීටිං ඒරියා එකේ … මොකද ඔතන පාවිච්චි කරන්නෙ IT බාස්ල ටික විතරයි වෙන එවුන් එන්නෙත් නැහැ. එදා දවල්ට කාල ඉවර වෙලා කට්ටිය පෝලිමේ ගිහින් සිරි ලංකන් මිල්ක් ඇන්ඩ් කොකෝ නට් ටොෆි කන්න බලනකොට කට්ටිය ඔක්කොම හොල්මන් වෙලා ගියා. පෙට්ටි ඔක්කොම හිස් ! අපේක්ෂා භංගත්වයට පත් උන අපේ පප්පල ටික අසූ හාර දහටම තද උන පාර මේ අලුකුත්තේරු වැඩේ කරපු රෝමන්කාර බඩජාරියව අල්ලගෙන නෙලන්න ස්කොට්ලන්ඩ් යාඩ් සහ ශර්ලොක් හෝම්ස්ව ගෙන්නන එකේ ඉඳං CCTV චෙක් කරන එක දක්වා අයිඩියා ගැන කතා කරනව.
අපි සෙට් එක ඔලුව කහ කහ මෙහෙම වාද විවාද කරගන්න අතර … අජේ බොසා ඇවිල්ල ඔලුව දැම්ම මොකද්ද අලකලංචිය කියල බලන්න. කතාවක් තියනවනෙ පුහුල් හොරා කරෙන් දැනේ කියල, අජේ ටිකක් ඇඹරිල කට වටේත් පිහින ගමන් අමුතු විදිහට හිනා වෙලා ආඳ වගේ ලිස්සල යන්න හදනකොට අපේ එකෙක්ට වැඩේ මීටර් උන ගමන ඇහුව පොල් ටොෆි කෑව නේද කියල … මූ කියපි වැඩ හින්ද කැන්ටිමට යන්න වෙලාව තිබ්බෙ නැති නිසා (බොරු … මෑන්ට උදේට කන එකත් අමතක වෙලා) ටොෆියක් දෙකක් කෑවයි කියල. ඉතිං බලපල්ලකො කිලෝ එකක් විතර සීනි ගුලි කන්දක් මේක බ්‍රෙක්ෆස්ට් එකල කාල … හත් ඉලව්වෙ කාටද මේව කියන්නෙ … පහුකාලෙක හරි මේ හාදයට දියවැඩියාව හැදුනෙ නැති උනොත් තමා පුදුමෙ 🤷♂️
ඔයිට අමතරව අජේ කිසිම දවසක වෙලාවට මීටින් එකකට හරි ගමනකට හරි වෙලාවට නොඑන එක ඉර නැගෙනහිරින් පායනවා වගේ සාමාන්‍ය දෙයක්. ඕනෑම එකකට පැය බාගයක් පරක්කු දකුණු ආසියානු සම්මත වෙලා ක්‍රමය අනුව ගත්තත් අජේගෙ වෙලාව ඒකටත් වඩා පැය බාගයක්වත් පරක්කුයි. බොසාගෙ ඇඟටම ඕක දැම්මට ඉස්කෝලෙ කාලෙ පුරාවට ‘අප්පමාදෝ අමතපදං ” කියල ඉගැන්නුවට හැමදේටම වගේ අපිත් පරක්කු වෙලා තමයි ආවෙ ගියේ .ඒ උනාට අපි දැන් හොඳ ළමයිනෙ, වෙලාවට කලාවට වැඩ. මුල දවස් වල අජේ කණ්ඩට උදේ අටට ලෑස්ති වෙලා මගට එන්න කියල ගිහිං කෝල් කරාම ඒ කෝල් එකට ඇහැරිල තමයි උදේට දත් මදින්න ගන්නෙ. අඩුම තරමෙ පැයක් හමාරක් පාරෙ ඉහෙන් කනින් දාඩිය පොලු දාගෙන බකන් නිලාගෙන ඉන්නව. එහෙම දාට මීටින් ෂෙඩියුල් කරනවට වඩා අපි රී-ෂෙඩියුල් කරනව.
පරක්කු ලෙඩේ නිසා මේ හාදයට ගුවන් ගමන් කිහිපයක්ම මග ඇරිලා තියෙන සොඳුරු … නෑ ..නෑ .. අඳුරු අතීතයක් තියෙනව. වැඩේ කියන්නෙ මේ කතන්දර පිට වෙන්නෙ මිනිහගෙ කටින්ම තමයි එක පාරක් උදේ පාන්දර හතරට යන්න ඕන ෆ්ලයිට් එකට හවස හතරට ගිහින් (එක නම් අපේ හාමිනෙත් එක පාරක් කරා) .. තව පාරක් ගෙදරින් පරක්කු වෙලා ගිහිං ෆ්ලයිට් එක පෙනී පෙනී මිස් වෙලා … අත දැම්මට නවත්තල නැහැ … සීට් එක උස නිසා පයිලට් දකින්නෙ නැතිව ඇති. ඊළඟ වතාවෙ වැඩි හොඳට කියල පැයක් කලින් ගෙදරින් ගිහින් .. හැබැයි වැඩි පරිස්සමට පාස්පෝට් එක ගෙදර තියල ගිහිං. ඉතින් හිතා ගත්තෑකිනෙ මේ හාදයාගෙ හැටි.
ඔන්න ඔහොම ඉන්න අතර තමයි මට මේ හාදයත් එක්ක කුවේට් වල රාජකාරි සංචාරයකට යන්න මග පෑදුනේ .. ඒ දවස් වල ඉරාකයෙ හිටපු සදාම් ගොයිය හංගපු WMD හොයන්න එවාපු බ්‍රිතාන්‍ය හමුදා සේනාංක වලට ආහාර පාන සැපයීමේ කොන්තරාත්තුවක් සුපිරි කොම්පැනියට තිබ්බ. ඒ හැම දෙයක්ම සංවිධානය කරේ කුවේටයේ සල්මියා පෙදෙසේ තිබ්බ PWC හෙවත් වර්තමානයේ ඇජිලිටි (Agility) ලෙස හඳුන්වන ආයතනය සමග පවත්වාගෙන ගිය ගබඩා සංකීර්ණයක ඉඳල. ඩුබායි වල ඉඳල පැය 2 ක ගමනක්. නමුත් තිබ්බ ලොකුම ප්‍රශ්නය අජේ එක්ක ගිහින් වෙලාවට ෆ්ලයිට් එක අල්ල ගන්න පුළුවන් වෙයිද කියන එක.
හිතුව වගේම එදා ඩුබායි එයා පූට්ටුවට ගිහින් කණ්ඩ බලාගෙන ඉන්නව, සුපුරුදු පරිදි මේ මනුස්සය නැහැ. කෝල් කරාම කියනවා විනාඩි 5 න් එනවා කියල (අනේ උන්දැගෙ විනාඩි 5 .. ඒව රබර් වලින් හදාපුව වෙන්න ඇති පැයක් විතර ඇදෙනව ! ). ඔය අතර සුපිරි කොම්පැනියෙ තව ලොක්කෙක් එතැනදි කණ්ඩට මුණ ගැහුන, එයත් කුවේට් යනව රාජකාරි වැඩකට. අජේ එනකන් බලන් ඉන්නව කිව්වම මිනිහ මගෙන් අහනවා අද එයිද කියල ? ඒ තරම්ම අජේ කන්තෝරුවෙ ප්‍රසිද්ධයි වෙලාවට වැඩ කරනවට. දහ පාරක් විතර කෝල් කරාට පස්සෙ පැයක් විතර පරක්කු වෙලා අජේ එනව විශාකා තොමෝ වගේ සන්සුන් ගමනින් … ඇවිත් කියනව කලබල වෙන්න එපාලු … ෆ්ලයිට් එකට තව වෙලාව තියනවලු … මම ටිකට් එකේ තිබ්බ බෝඩින් ටයිම් එක පෙන්නුවම තමයි අජේට තරු පෙනුනෙ. ඒ පාර දෙන්නම හැල්මෙ දුවන්න පටන් ගත්ත.
කඩිමුඩියෙ අපි බැගේජ් චෙකින් කරනකොට ගුවන් යානයට බෝඩ් වෙන්න කියන අන්තිම ෆයිනල් එනවුන්ස්මන්ට් එකත් යනව. ඒ ගමන අපි මීටර් 100 දුවනවා වගේ දුවල බෝඩින් ගේට්ටුවට යනකොට එතන ඉන්න අයගෙ මූණ දෙල් වෙලා … එතකොටත් ප්ලේන් එක පුෂ් බැක් (Pushback) කරන්න විනාඩි 15 ක් විතර පරක්කුයි. නගින්න දෙන්න බෑම කියනව. අන්තිමට තවත් විනාඩි දහයක් විතර කතා බහ කරලා අඬලා දොඩල කොහොමින් කොහොම හරි නගින්න අවස්තාව ලැබුන.
මම හිතන්නෙ අපි නිසාද කියන්න දන්නෙ නැහැ ටෙක් ඕෆ් ස්ලොට් එකත් මිස් වෙලාද මන්ද. කොහොමහරි අපි ප්ලේන් එකට නැගල ඉවර උනා විතරයි දොර ගාව උන්න එයා හුටස් නංගි දඩාං ගාල දොර වැහුව එයාගෙත් සුදු මුණ තරහ ගිහින් හතරැස් වෙලා. ඔන්න ඔහොමයි බොහොම පහසුවෙන් යන්න තිබ්බ පැය දෙකක ගුවන් ගමනක් අජේ බාධක දිවීමක් සහ කොමඩි නාටකයක් බවට පරිවර්තනය කරේ.
කොහොමින් කොහොම හරි ප්ලේන් එකටත් නැගල කුවේට් එයාපෝට් එකෙන් බැස්ස කියමුකො .. පැයක් විතර පෝලිමේ ඉඳල අජේ ඒ කඩුල්ල පැන්න .. නමුත් එතන කවුන්ටරේ උන්න මුස්පේත්තු ඔටුව උගේ ෆෝන් එකට එන මැසේජ් කියවල උත්තර බැඳල ඉවර වෙනකං කණ්ඩව පැය බාගයක් විතර එතන හිටවල රස්තියාදු කෙරෙව්ව. කට ගහගෙන ගේම ඉල්ලන්න ලෑස්ති උනත් කණ්ඩ ඇදගෙන නාන්න ලෑස්ති වෙන බව ඒ වෙනකොට තේරුම් ගත්ත අජේ ඈත ඉඳල එපා කියපු නිසා ඒ කාලකන්ණි ඔටුවගෙ ආඩම්බරත් බලල එළියට ආව. අම්මප සදාම් ගොයිය මුංට නෙළුව හොඳටෝම මදි. එදා රාජකාරි ඉවර වෙලා අපි අපේ නවාතැනට ආව, වාසනාවට කන්තෝරුවෙ නවාතැන් පොල පිරිලා තිබ්බ නිසා අපි නැවතුනෙ සල්මියා වල තිබ්බ බොහොම සැප පහසු තරු පන්තියෙ බීච් රිසෝට් එකක.
පහුවදා උදේ කෑම කන්න යනකොට බුෆේ ක්‍රමයට පිළිගන්වන කෑම මේසෙ තිබ්බ අටෝරාසියක් කෑම අතරෙ තිබ්බ අමුතු කෑමකට අපේ බොසාගෙ ඇහැ ගියා … කිරි, සීනි/පැණි, පෆ් පේස්ට්‍රි, නොයෙක් වේලපු පළතුරු සහ ඇට ජාති එකතු කරලා හදන “උම් අලී”(Umm Ali) කියන බොහොම රසවත් ඊජිප්තු අතුරුපසක්. කණ්ඩත් උම් අලී රස බලාපු පළමුවෙනි වතාව,තරමක් පැණිරහ වැඩි උනාට හැබෑම රහයි. අජේ ගොයියට රසකැවිලි කියන්නෙ පූසන්ට කුප්පමේනිය වගේ තමයි … ඉතිං වෙන මොනවා වෙන්නද … කියන්න සතුටුයි මිත්‍රවරුනි එදා අජේ බොසා වතුර උගුරක්වත් බොන්නෙ නැතිව දවල් කෑමටත් හරි යන්නම අර උම් අලී කල්දේරමෙන් බාගයක් ඉවර කරා. කුවේට් වල හිටිය දවස් කිහිපය පුරා බොසාගෙ උදේ සහ දවල් කෑම උනේ ඒකම තමයි.
බොසාගේ කතා මතු සම්බන්ධයි … !
~ කණ්ඩා
සුපිරි කොම්පැනියේ තවත් කතා :
සැප්තැම්බර් 1, 2020 at 3:58 ප.ව.
තමන් හම්බවෙන්න එන යාළුවන්ට රසකැවිලි දෙන එක ඉන්දියන් අයගේ පුරුද්දක් මං හිතන්නේ, අර ස්වීට් එකට අපි කියන්නේ ඔමාලි කියල, සතියකට දවසක් අරාබි සේක්සන් එකට අතුරුපසක් විදිහට දෙනවා…
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 5, 2020 at 7:15 ප.ව.
ඉන්දියානුවන් විශේෂ අවස්ථා සමරන්න යාළු මිත්‍රයන් අතර රසකැවිලි බෙදනව. Umm Ali නම උච්චාරණය කරනකොට ඔමාලි හෝ උමාලි විදිහටත් කියනව
කැමතියිකැමතියි
සැප්තැම්බර් 2, 2020 at 9:06 පෙ.ව.
ඇරිසෝනාවල නගරයක නමක් SUVඑකට දැම්මෙ මොකද ?
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 5, 2020 at 7:11 ප.ව.
බොහෝවිට වාහනය අන්තර්ජාතිකව මාර්කට් කරන්න පහසු වෙන්න කරපු දෙයක් වෙන්න ඕන .. ඒ ඇරෙන්න කොරියන් වාහනේකට ඒ නම දෙන්න වෙන හේතුවක් නෑ මට හිතෙන විදිහට 🙂
කැමතියිකැමතියි
සැප්තැම්බර් 6, 2020 at 10:05 ප.ව.
අනිවාර්යයෙන්ම කණ්ඩ මේ ප්‍රතිචාරයට බනිනවා. මොකද මතක් අක්රන්න් යන්නේ තහනම් වචනය – රුසියාවේදී මට අජේ කියල අපේ හිටි ඉන්දියන් කාරයෝ කිව්වේ. මොකද අජේ කුමාර් කියල උන්ගේ යාලුවෙකුත් හිටිය. අජිත් කියල කිව්වේ නැහැ. අනිත් රටවල උන් කීවේ අජී කියල මට, විශේෂයෙන් පිලිපීන, කියුබන්, ලති ඇමෙරිකන් එවුන් . එක පාරක් කෙල්ලක් අජී හොයාගෙන ඇවිත් අහල තියෙන්නේ ඉන්දියන් කාරයෙක් ගෙන්. ඌ අජේ ගාවට යවල. ඔන්න ඔහොම ඒවා තමා මට වෙන්නේ. කතාව මරු . ඔපොරට අනිවාර්යයයෙන්ම දිය වැඩියාව ඇති
කැමතියිකැමතියි
සැප්තැම්බර් 15, 2020 at 12:30 ප.ව.
හපොයි නම්’හොයාගෙන ආපු කෙල්ලෙකුත් වැරදි පාරේ ගිහින් .. දුක තමා රන්ජනී … මේකට තාම ඉහෙන් බහින ලෙඩක් නැහැ .. දියවැඩියාව හැදුනොත් දෙයියන්ගේ පිහිටයි !
කැමතියිකැමතියි
සැප්තැම්බර් 7, 2020 at 11:11 පෙ.ව.
උඹ කරපු මරිමොට්ට වැඩත් ලියහං ඔය අතරෙ. අන්න එහෙමයි බැලන්ස් එකේ පෝස්ට් ලියන්නෙ. නැත්තං අජේ කුමාර්ගෙ පැත්තට බර වැඩි වෙනව…
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 15, 2020 at 12:27 ප.ව.
ලියන්න නම් පුළුවන් .. ඒත් ඉතින් ලියල රට්ටු කියන කයි කතන්දර අහල වසන්න බැරි වෙන එකනෙ වැඩේ 😀
කැමතියිකැමතියි
සැප්තැම්බර් 7, 2020 at 3:24 ප.ව.
හුන්දෙයි ටුසෝන් ගැන මෙහෙ උන්ට කියල ඇතිවෙලා මටත්.. ජොන්නාම්.. අපේ උන් කියන්නේම.. එක්කෝ කියන්නෑ මං. :)))
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 14, 2020 at 8:32 පෙ.ව.
වැඩක් නෑ කියල .. මේ වගේ දිව ටැපලෙන්නෙ නැති විදිහට Cat කැට් .. Bat බැට් වගේ සිම්පල් නම් දාන්න එපැයි 😁
කැමතියිකැමතියි
ඔක්තෝබර් 12, 2020 at 12:44 ප.ව.
බොසාට මොනව අමතක උනත් කෑමනං අමතක වෙන්නෑ වගේ.
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 18, 2020 at 11:01 පෙ.ව.
උට කෑම මතක් වෙන්නෙත් හාමතේ වැටෙන්න ඔන්න මෙන්න එනකොට … 😜
කැමතියිLiked by 1 person