රට බේරාගත් දේශ හිතේෂි, දේශ මාමක සුදු සූට්ධාරී රට රකින විරුවන් සහ උන්ට කඩේ යන රට වැසියන් නිදහ ස’ සමරද්දී කණ්ඩා දෙමහල්ලන් වෙනස්ම ආකාරයක නිදහසක් සමරන බව කියන්නේ හද පිරි සතුටිනි. ඒ දෙසතියකට කලින් (ජනවාරි 14) සිදු කළ PCR පරික්ෂාව පොසිටිව් උන දා සිට අල්ලපු චීන කොරෝනා ජල්ලි ඇල්ලීම පෙරදා ලැබුණු නෙගටිව් PCR ප්‍රතිපලයත් සමග නිල වශයෙන් අවසන් වූ නිසාය. මේ අබග්ගයන් අතරතුර සිදු වූ සියල්ල මගේ සහෝදරයාත් හාමිනේගේ අක්කාත් මිතුරන් කිහිප දෙනෙක්ද හැරුණුකොට ගෙවල් දොරවල් වලින් වසන් කර තබා ගැනීම අප කළ නුවණැතිම දේය, නැතිනම් මේ සියල්ල නිම වන තුරු ඒ සියලු දෙනාත් හිතේ ගින්දරින්ය.

කොරෝනා වැළදෙන්න කෙල කෝටියක් විධි තිබුණත් කණ්ඩා කොරෝනා ගෙදර ගෙනාවේ කන්තෝරුවෙන්ය. රෝගය පැතිරෙන්න පටන් ගත්තේ කණ්ඩාත් සමග අල්ලපු මේසයේ රාජකාරි කරන සගයාගෙන්ය. පිළිකාවක් සමග කළ යුද්ධයකින් ජයගෙන නැවත සුව අතට හැරෙමින් සිටිනා ඔහු කොරෝනා සම්බන්ධයෙන් කන්තෝරුවේ අන් සියලු දෙනා අභිබවා ප්‍රවේශම් වුයේ ඔහුගේ ප්‍රතිශක්තිය අඩු බව දන්නා නිසාය. නමුත් ඒ අහිංසකයා ගත් සියළු ආරක්ෂිත පියවර වලට කොකා පෙන්වූ කොරෝනා කන්තෝරුවේ සහ ඔවුන්ගේ පවුල් වල අය දුසිමකට එහා පිරිසක් තම ග්‍රහණයට ගන්නට සමත් විය.

කොහොමත් කණ්ඩා සහ හාමිනේ වැඩකට අත ගැහුවොත් වණ නොවී තියෙන්නේ කලාතුරකිනි. අපි පුවක් ගහකට නැග්ගත් දෙබලක්ය, තොප්පි මැහුවොත් හම්බ වෙන බබ්බුන්ට ඔලු නැත. මේ වින්නැහිය සිද්ධ උනේද චීන කොරෝනා වැක්සීනය ලබා ගන්නට තීරණය කර ඒ සඳහා යන්නට දෙදිනකට පෙරය. කරුමේ පස්සෙන් එලවනවා කියන්නේ මේවාටය.

කොරෝනාව හා බැඳුනු රෝග ලක්ෂණ ගණනාවකට පහුගිය සති දෙක තුළ මුහුණ දුන්නත් කණ්ඩා පෙලූ මුල්ම රෝග ලක්ෂණය අධික උණයි. සුපුරුදු පැනඩෝල් ප්‍රතිකාරය මගින් සුවයක් නොලද තැන උණ කට්ට 38 ක් පනිනවාත් සමග ඉස්පිරිතාල යන්නට හොර කොටමින් සිටි කණ්ඩාව ගෙදර නිසි බළධාරිණිය විසින් කනෙන් ඇදන් ඉස්පිරිතාලයට ගියාය. එහිදී හදිසි ප්‍රතිකාර අංශයට යොමු කරන ලදුව පුක් ඉන්ජෙක්ෂන් එකක් සමග IV (Intravenous) මගින් ලබා දුන් ඇන්ටිබයෝටික් ප්‍රතිකාර මත පැයක් ඇතුළත උණ අඩු විය.

උණ අඩු වූ පසු රුධිර පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් අතර PCR පරික්ෂයකින් පසුව නිවස තුළ ස්වයං නිරෝධායනය වන ලෙසට ලැබුණු උපදෙස් සමග ගෙදර යාමට අවසරය හිමි විය. නමුත් පහුවදා උදෑසනද පෙර සේම අධික උණ තිබුණ අතර  රෝහලෙන් ලද පැනඩෝල් සහ ඇන්ටිබයෝටික් හැර වෙනත් පිළියමක් නොවීය. දවස් දහයක පමණ කාලයක් තුළ පැනඩෝල්හි බලපෑම අඩුවන හැමවිටකම 38+ ලෙස උණ සටහන් විය. 

PCR පරීක්ෂණයෙන් දෙදිනකට පසුව ලැබුණු පොසිටිව් ප්‍රතිපලයත් සමගම නිසි බළධාරිණියද පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලැබීය.  විවාහයෙන් පසු කොරෝනා උනත් තනියෙන් භුක්ති විඳින්න බැරි බව තහවුරු කරමින් හාමිනේටද පොසිටිව් ප්‍රතිපලයක්  ලැබුනේය.

ඒ සමගම විටින් විට

  • උණත් සමග ඇඟ වෙලා ගන්න අධික සීතල
  • ඇතැම්විට පපුව උඩ යමෙක් වාඩි වී සිටින්නා සේ එන හුස්ම ගැනීමේ අපහසුව
  • පෙනහළු ගලවාගෙන යන කැස්ස
  • ශ්‍රී ලංකා සමාජවාදී පජාතතන්තරවාදී ජනරජ පොලිස්සියෙන් ගුටි කෑවා සේ එන ඇඟේ පතේ රුදාව
  • මහන්සිය සහ පපුවේ හතිය
  • ඇඟිලි පුරුකේ පටන් රිදෙන්නට ගන්නා සන්ධි රුදාව
  • රස දැනීම අඩු වීම සමග එන අධික කෑම අරුචිය
  • ජනාඩිපටිතුමාගේ රට හදන ප්‍රතිපත්ති තරම් දියාරුවට බඩ යාම

ඇතුළු අනෙකුත් රෝග ලක්ෂණ වලින් කණ්ඩා පීඩා විඳින්නට විය. නමුත් වැට උඩ ඉන්නා කොලස්ටරෝල් සහ දියවැඩියාකාරයෙක් වීත් කිසි විටෙක ප්‍රාණ බයෙන් රෝහල්ගත වන්නට තරම් තත්වය දරුණු නොවීමට හේතුව අදටත් කණ්ඩාට රහසකි. බොහෝවිට මීට හේතුව කෙතරම් සෞඛ්‍ය සම්පන්න බවින් ඈත් උනත් කොහේ හෝ සැඟවී තිබුණු ප්‍රතිශක්තිය හාමිනේගේ ආදරබර සාත්තුව මත එළි බැසීම විය යුතුය.   

කණ්ඩා අට අනූවක් ව්‍යාධි වලින් පෙළෙද්දී වාසනාවකට හාමිනේ මුහුණ දුන් බරපතලම අර්බුදය ගඳ සුවඳ සහ රහ දැනීම නැතිවීමය. එයට අමතරව නහය හිර කළ හෙම්බිරිස්සාව, ඇඟේපතේ රුදාව සහ බඩයාම ඇරෙන්නට කණ්ඩා තරම් දුක් විඳින්නට සිදු නොවීම ගැන කණ්ඩාට සතුටුය.

මේ වන විට කොරෝනා සාත්තුව පිලිබඳ විධායක තීරණ සියල්ල නිසි බළධාරිණිය යටතේ පැවතුන අතර හුස්ම ගැනීමේ අපහසුව සුව කිරීම සඳහා පස් පංගුව රත් කර දුම් ඇල්ලීම සිදු කළ අතර දවසකට දෙතුන් වේලක් අමාරුවෙන් පස් පංගුව උගුරින් පහලට දමා ගැනීමට කණ්ඩාට සිදු වූ අතර හාමිනේ ළඟ පාත නැති විට කුස්සියේ සින්ක් එකද පස් පංගුව රහ බැලුවේය. පස් පංගුව බොන්නට හොර කෙටුවත් එය රත් කර දුම් ඇල්ලීම හුස්ම ගැනීමේ අපහසුතා මග හරවා ගන්න බෙහෙවින් උපකාරී වූ බව නොකියම බැරිය.

මේ දෙසතිය ඇතුළත කෑම බීම රුචිය නොතිබුණත් මාරු උස්, කරත්ත එන්ජින්, එළුමස්, මාළු ඇතුළු කන්නට හිතෙන හැම දේම කෑ බවත් නොකිව්වොත් මදිකමකි. ඉඳහිට ශීශාවක් ඇද්දොත් මිස දුම්බීම කොහොමත් නොකරන එකේ එහි වෙනසක් නැතත්  සුරයන්ගේ පානයන් සියල්ලට ඇඟ පත නිදුක් වන තෙක් තිත තැබු බව කියන්නට ඕනෑය. ඒ ඇරෙන්න මේ කාලය පුරාවට පහත සඳහන් දෑ කිසිවක් භාවිත නොකල බව කියන්නේ හද පිරි ශෝකයෙනි.

  • කාලි මමී/ඉම්බා දේවී අනුමත කෑගල්ලේ ධම්මික බාස්/කපු පැණිය
  • රිටිගල ගංජා රාවණා පැණිය
  • කන් කුං වෙනකං පිරිත් ඇසීම සහ බෝධි පූජා
  • බෝං අගේං වැටි වැටි වඳින සිංදු කියන හාලේ ලූලා ආතල් 
  • ගෝළීය කඩේයන අහවල් ශ්‍රී ලාංකික සංසද කැඳ බීම

~ කණ්ඩා !