Keep Calm and Be Patient

ඩප්පි නාටකය ඉතිරි කොටහ

අඬ බෙර, හේවිසි ගහල පටන් ගත්තු ඩප්පියාගෙ කතාවට බාලගිරි වැළඳුනා නෙව පහුගිය සතියෙ, ඕං එහෙනං කණ්ඩාගේ කෝලං කියවන උපාසකම්මලා, උපාසකමහත්තුරු වෙනුවෙන්  අදින් ඩප්පි නාටකයට වැළඳුන බාලගිරි වගේම වැළඳුනා ඩප්පියාගෙ උණත් හොඳ කරනව එහෙනං.

මේ කියන සමයේ ඩප්පියා වගේම කණ්ඩා තව ඇලුම් කරපු ගොඩක් දේ වෙන් කරන්න බැරි විදිහට එකකට එක්ක ඇමිණිලා තියන නිසා මිසක් මෙහෙම පඳුරු තලන්න වෙන්නෙ කණ්ඩගෙ දෝසයක් නිසා හෙම නෙමෙයි ඕං. එක කතාවක් කියනකොට ඔලුවට එන තව කතාවක් නොකියාම බැහැ, ඉතිං කතා මැද කතා, වටේ යන අවසේස කතා ඉවරයක් නැහැ 😀

බිග් මැච්

බිග් මැච් හෙවත් මහා හටන් කියන්නෙ සමහර ඉස්කෝල වලට ඇත්තටම හටන් තමයි, නමුත් ඉස්කෝල කිහිපයකම ළමයි ගිය අපේ පාසල් බස් එකේ එහෙම අඬ දබර තිබ්බෙම නැහැ. ඒකෙන් කොහෙත්ම ඇඟවෙන්නෙ නැහැ අපි එකිනෙකාගෙ ඉස්කෝල ගැන කොලොප්පන් නොකරපු බව. බොහොම සාමකාමීව පැරණි රස කතා කියමින් තම තමන්ගේ පාසල් වලට සහය දෙන ගමන් ඇස් රතු නොවෙන විහිළු කරමින් අනිත් අයගේ කකුලෙන් අදින එක තමයි කරේ.

ඩප්පියා ඇතුළු එවුන් අපිට මරියකඩේ පරිප්පුවෝ කියනකොට, ඒකට හරි යන්න රජ්ජුරුවන්ගෙ පාසල අනිත් පාසල් වල අතපය හිරි ඇර ගන්නම සුද්ද විසින් හදාපු ජිම් එකක් විදිහටත් ඒ ඉස්කෝලේ උදවියට කලිසම් වලට වඩා ගැලපෙන්නේ සායවල් බවත් මතක් කරලා දෙන්නත් අපි පසුබට උනේ නැහැ.

බස් එකේ හිටපු ගෑල්ලමයින්ට තම තමන් ප්‍රිය කරපු පාසැල් ක්‍රීඩකයෝ සහ කණ්ඩායම් හිටිය, නමුත් හැම තිස්සෙම අනේ අපට ඔව්වයේ වග විබාගයක් නැහැ, ඔය විකාර වැඩ අපිට මොකටද කියල ඩෝන්ට් කෙයාර් පාට් එක රඟපෑව (අපි නොදන්නා ලයිව් කිව්වලු, බොහෝ විට තම සත්‍ය ප්‍රේම බෘන්ග රාජයාගෙ ඉස්කෝලෙට තමයි ඉතිං සපෝට්), ඒ විතරක් මදිය උන් අපි ඔක්කොටම එරෙහිව පොදු පෙරමුණක් හදාගෙන හැමෝටම කඩප්පුලි කතන්දර කියපු එක නිතර කරා 😀

කොයි පාසල් කිරිකැට් කාන්ඩෙද වඩා හොඳ කියන එක ගැනත් වාද විවාද තිබ්බත් ඒ අතින් පරිප්පුවන්ට විරුද්ධව කියන්න දේවල් නම් නොතිබුණු ගානයි, මොකද නොසෑහෙන ප්‍රසිද්ධ පරිප්පුවන් පිරිසක් ඒ වෙනකොටත් සිරි ලංකා බෝල කණ්ඩායමට සෙල්ලම් කරලා තිබුණු නිසා.

විශේෂයෙන් මේ කාලයට තම පාසල් ධජයන්ගෙන් පාසල් බස් සහ වෑන් රථ සැරසීම සහ කොඩි වැනීම බොහොම සුලබ දෙයක්, ඉතින් අපේ බස් එකේ නිතර පාසල් කිහිපයකම කොඩි ප්‍රදර්ශනය කරපු මල්ටි කචල් වාතාවරණයක් තුළ ඔය මොන කොලොප්පම කරත් හැමෝම එකට විනෝද උනා.

අතේ සල්ලිය බාගේ නිතර ගැවසිච්ච නැති ඒ දවස් වල ඔය කියන කොඩි දාන්නෙ බොහොම දුක් මහන්සි වෙලා, නමුත් දාන එක නෙමෙයි අමාරු වැඩේ, අනිත් පාසල් වල නඩ වලින් කොඩි පරිස්සම් කර ගන්න එක. පාරේ යන ගමන් ප්‍රසිද්ධියේ කොඩි හොරකම් කිරීම බොහොම සාමාන්‍යයි. ඒ නිසාම ඉඳහිට කාණ්ඩ කාණ්ඩ ගුටි ඇන ගන්න එකත් ඒ තරමටම සාමාන්‍යයයි.

ඔහොම දවසක අපේ බස් එකේ වගේම කොඩි කිහිපයක්ම පුරෝගත්තු කොට කොටා යන වෑන් එකක් ඉස්සරහ කරන වෙලාවක ඩප්පියා එයින් එක කොඩියක් ඇදල ගත්ත. අපේ එවුන්ට මාර හැපී, නමුත් බලාගෙන යනකොට ඇදල අරගෙන තිබ්බෙ පරිප්පුවන්ගෙම කොඩියක්.

බොහොම උජාරුවෙන් කොඩිය හතර අතේ ප්‍රදර්ශනය කරපු ඩප්පියා ඒ කොඩිය මට පරිත්‍යාග කරා, හේතුව කවුරු කොඩි ඇද්දත් ඒ තමන්ගේ ඉස්කෝලෙ කොඩිය නෙමෙයි නම් අදාළ ඉස්කෝලයට ඒක දෙන්න අපි අතරේ නොලියවුණු ගිවිසුමක් තිබුණු නිසා.

ඉන් පස්සෙ තිබ්බ බිග් මැච් කිහිපයකටම මම මේ කොඩිය අරගෙන ගියා විතරක් නෙමෙයි පාසලෙන් ඉවත් වෙලා සෑහෙන කලක් යනකනුත් මේ කොඩිය පොත් රාක්කයේ කොනක තිබ්බ මතකයි.

බස් සහ හුඹස්

School Bus

පොඩ්ඩක් කරදඬු උස මහත් වෙලා ගිරිය එළියට පැනගෙන එනකොට ඩප්පියා ඇතුළු නසරාණි නඩය එක්ක ජොලි බස් එකේ යන යෑම කොයිතරම් ජොලි උනත් අර හැමදාම දකින කුකුළගේ කරමලේ වගේ ඒක කිසි රහක් නැති වැඩක් බවට ඉබේම පත් උනා කිව්වොත් තමයි හරි.

ඔය කාලෙ වෙනකොට හූ තියාගෙන කොටුවෙ ඉඳන් මරදාන, හෝමාගම හරහා අවිස්සාවේල්ලට දුවපු කැළණිවැලි කෝච්චියට වගේම ආණ්ඩුවෙන් පරිප්පුවෝ වෙනුවෙන්ම දාල තිබ්බ හෝමාගම පාසල් බස් රථයටත් තදින්ම කණ්ඩගේ හිත ගිහින් තිබ්බෙ.

මල් වගේ ගෑල්ලමයි, හොයන්න බලන්න කවුරුත් නැතිකම නිසා හිතේ තරමට ඇති පදං පිස්සු කෙළින්න පුළුවන් වීම වගේම ලාවට මෝදු වේගන එන ඉලන්දාරි විසේත් මේකට තදින් බලපෑව 😀

නමුත් නිදහස ලබා ගැනීම වෙනුවෙන් ඔය කරුණු කාරණා ඉදිරිපත් කරල හරි යන්නේ නැති නිසා වෙනත් විකල්ප ඉදිරිපත් කරන්න තරම් කණ්ඩගෙ ටිකිරි මොළේ වැඩිලා තිබ්බ හොඳ වෙලාවට.

ඉතින් සතියට දවස් කිහිපයක් හැන්දෑකරේ වගේම මහා පාන්දර කුකුළ අතේ අරගෙනත් වක්පොලු ගහන්න යන්න තිබ්බ නිසා සල්ලි ගෙවලත් බස් එකේ යන්නෙ සතියට දවස් කිහිපයක් වීම, ඒ වෙනකොට පරිප්පුවෙක් වෙච්චි පොඩි කණ්ඩාත් මේ ජොලි බස් එකේ සාමාජිකයෙක් වීම නිසා වියහියදම් වැඩි වීම, ආණ්ඩුවේ බස් සීසන් එක නොසෑහෙන්න මිල අඩු වීම යන දේ ඉස්සර කරන් කණ්ඩ අම්මට යෝජනාව ඉදිරිපත් කරා.

වැඩේ ගොඩ, කිසිම විරුද්ධතාවයක් නැතිව යෝජනාව පාස් වෙච්චි නිසා ටික දවසකින්ම කණ්ඩ ජොලි බස් එකට ආයුබෝවන් කිව්ව. එයින් පස්සෙ කණ්ඩ නතර වෙන්නෙ හෝමාගම පරිප්පු ස්කූල් බස් එකේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත් වෙලා, එයිට ටික දවසකට පස්සෙ ඩප්පියත් ඒ හා සමානක්ම තීරණය ගත්ත මයෙ හිතේ.

ඔය අතරින් පරිප්පු ස්කූල් බස් එක කිව්වට මේ (හු)බස් එකේ ආනන්ද, නාලන්ද සහ අසෝක යන ඉස්කෝල තුනේම සද්ගුණවත් අණ්ඩපාල රැල එකතු උනා. ඔය නිසාම සාඩින් අහුරපු ටින් බෙලෙක්කයක් ගානට තිබ්බ ඒ කෑලි හැලෙන ලද‍රන් ලේලන්ඩ් බස් එකේ ෆුට් බෝඩ් එක බිම වදිනකං ඇල වෙලා තුම් මුනින් දාඩිය පෙරාගෙන මානවිකාවන්ගේ පාසැල් පසු කරමින් යන ගමනේ රහ දන්නෙ ගිය එවුන් පමණයි !

මේ දවස් වල සීනියර් උත්තමයෝ නම් ෆුට්බෝඩ් එල්ලිලා නැවුම් වාහන දුම් විඳිමින්, මිහිකත නලවාගෙන පාසල් යන මානවිකාවෝ දිහා බලාගෙනත් එහෙම පින් නැති ගොඩ දෙනා බස් එකේ හිටගෙනත් යන්න තමයි වඩා ප්‍රිය කරේ. මොකද එහෙමත් නැතිනම් කොහු මතු වෙච්චි ඉරුණු සීට් වල පශ්චාත් බාගය තියන් යද්දී මකුණන්ට දන්සල් දෙන්න වෙන නිසා.

මොන ගැටේ ගහල හරි ඩිපෝවෙන් එපා වාහෙට හොදි බෙදන්නා වගේ දුන්නු යන්නතම් රෝද උඩ දුවන්න අටවාපු මේ බඩකඩිත්තුව කොහොම නමුත් පණ ගහගෙන, අපේ ළාමක හිත නොතලා හැමදාම වගේ පැය බාගයක් විතර පරක්කු වෙලා අපේ ඇස් පාදන්න තනි කෑල්ලට ඉස්කෝලේ එක්කං ගිය, එක කුස නූපන්නත් සහෝදරයෝ වැනි වූ ඒ ඩ්‍රයිවර් අයියා මහත්තයටත් කොන්දොස්තර අයියා මහත්තයටත් හතර මහා නිධානය පහල වෙන්න ඕන.

මොකද ඩිපෝ මැනේජරයගෙ උදහසට ලක් නොවී දරු පවුල් රකින්න තියන තමන්ගෙ රස්සාවත් බේරගෙන, මොන කූටාලිකම කරත් හැමදාම අපිව පරිස්සං කරන එක හැම කෙනෙකුටම කරන්න පුළුවන් රාජකාරියක් නෙමෙයි.

තා පොඩ්ඩෙන් අමතක වෙනව, කණ්ඩ කලින් ලියපු හෑල්ල දැකල බබ්බු දෙන රෝහලක් සහ කනත්තක් අතර දෙලොවකට මැදි වෙච්චි බාලිකාවක සිප් සතර හදාරපු සුපින්වත් ගෑල්ලමයි දෙන්නෙක් බැඳපු උත්තර නිසා ඔය පල්ලෙහා කතන්දරෙත් කියන්නම හිතුන.

කණ්ඩා ඇතුළු පෙරාපු රත්තරන් වැනි අහිංසක නොඉඳුල් මානවකයින් පිටකැස්මට බේත් විදගන්න සල්ලි නැතත් බඩගින්නට මළකඩ කකා සීසන් එකක් අරං දුෂ්කර ක්‍රියා කරමින් ටකරං බස් එකේ දුක සේ පාඨශාලාව කරා ඇදෙද්දී, කියන්න සතුටුයි පිංවතුනි මානවිකාවන්ට වඩා මැස්සො, මදුරුවො සහ තඩි උකුණෝ ගමන් කරන්නට යෙදුණු අර කිව්ව දෙලොවක් අතර බාලිකාවට අලුත්ම කිරි ටොයියා බස් එකක් හැමදාම වෙලාවට ලැබුණා.

ඒ ඇයි කියන එක අහල ගං හතක එව්වෝ හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක් පිංවතුනි, නමුත් ඒ පෙරකළ පින් නිසාවත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලවත් වරදවා වැටහීමක් ඇති කරගන්ට කාරි නෑ.

මොකද කියනවා නම් මේ අලකලංචියට එකම හේතුව මැස්සෙක් මදුරුවෙක්වත් අත නොතියපු නිතර නිතර කාඩ කොල්ලන්ගේ කෝලිත්තන් සහ “හූ”කාරයට පාත්‍ර වූ මහා බලගතු ඩිපෝ මැනේජරතුමාගේ සුපින්වත් දෝනියන්දෑ එම බාලිකාවේම අකුරු සාත්තරේ හැදෑරීම.

ඔය අපේ බස් එක සංසන්දනය කරන ගමන් උන්ගෙ බස් එක දිහා බලාගෙන හූල්ලන පාරක් ගානේ හූවක් දෙකක් කිව්වට, ඉඳ හිටලා ඒ ගෑල්ලමයාගෙ අම්ම අප්පට පිං දුන්නට අපි ඒ සියල්ල කරේ ඒ උදවියට තියන ආදරේ නිසා, නමුත් ඒ අපේ කඩප්පුලිකම, නැහැදිච්චිකම කියල වරදවා වටහා ගත්තු මැනේජරතුමා හිටි අඩියේ අපේ බස් එක කැන්සල් කොරනවා.

අනේ ඉතින් එදාට මේ පින්වත් මානවකයෝ හෝමාගම හන්දියේ ඉඳං කැන්දලන්ද හමුදා නිළ නිවාස පහුකරගෙන කිලෝමීටරයක් ඈතින් තිබ්බ ඩිපෝවට පයින්ම ගිහිං තර්ජනේ කරලා බැරි තැන අඬා දොඩා හැපී වැලපී ආපහු මේ වගේ අලුකුත්තේරු වැඩ අපහු කරන තෙක් කරන්නේම නෑ … නෑ … කියන පොරොන්දුව මත රටක් රාජ්ජයක් දිනා ගත්තා සේ බස් එක අරං එනව.

එදාට හොඳටෝම පරක්කු වෙලා ඉස්කෝලෙ යනකොට නිදහසට කාරණා හදාගෙන තමයි යන්නෙ

මොකද පරක්කු පෝලිම මට්ටු කරන්න බොහෝම ගාම්භීර විදිහට ඉන්න චාලි චැප්ලින් ජාතියේ කෙටි උඩු රැවුලක් තියන අපි කවුරුත් ආදරේට “චාලි” කියල හඳුන්වපු අපි හැමෝම ගරු කරපු තිස්ස පෙරේරා උප විදුහල්පතිතුමාට කියන්න දේකුත් තියෙන්න එපැයි.

හැමදාම නිදහසට කියන කාරණාව එදාට ඇත්තටම කියනවා … 🙂

සර් , ඩිපෝ එකෙන් බස් එක එවන්න පරක්කු උනා සර් !

මට පේන විදිහට මෙතන මොකද්දෝ අවුලක් තියනව, ලංකාවෙ කාර්ය බහුලම පාරෙ දුවන්න බස් දාන හොඳම ඩිපෝවෙත් තමුසෙලට විතරයි බස් පරක්කු  ?

ඒ මොකද කියල මට සාධාරණ සැකයක් තිබ්බත් තමුසෙලගෙ අධ්‍යාපනේ කඩාකප්පල් බැරි නිසා අදට යවනවා, අනිත් දවසේ වෙලාවට එනවල !!!

ඔන්න ඔහොම තමයි දරුණුවටම බැන්නොත් 😀

තිස්ස පෙරේරා සර් වගේම ඩිපෝ ඩිපෝ මැනේජර්තුමාවත් අමතක කරන්න බැහැ … නමුත් ඒ අහසයි – පොළොවයි, අපායයි – දිව්‍ය ලෝකයයි වගේ මිනිස්සු දෙන්නෙක් !

කොහොම වෙතත් එදා වගේම අදත් ඒ ඩිපෝ ඩිපෝ මැනේජර්තුමාගෙ (විතරක්) සිවු කුලයම පතන බෝධියකින් අමා මහා නිවන් සැනසීම ළඟා කර ගනිත්වා … කියල ප්‍රර්ථනා කරමින් නැගල යන “හූ”කාරයක් දෙන්න පින්වතුනි ….. හූ…

කිත්තා සහ ලේනා

ආයෙත් පඳුරු වටේ යන්න ගත්ත ඩප්පියගෙ කතාව යාදෙන් නැත්ද මන්ද, නෑ … නෑ … අද කොහොම හරි ඉවර කරනවාමයි 😀

ඔහොම පස්සෙ කාලෙකදි කණ්ඩ වගේම ඩප්පියත් ජොලි බස් එකෙන් හැලිලා ගියත් අස්සරේ නැවතුනේ නෑ …

ඒ කණ්ඩට ආයෙත් ඩප්පියව මහරගම තරුණ සේවා සභාවට අල්ලපු වැටේ පවත්වාගෙන ගිය කිත්සිරි ජයසුරිය සර්ගෙ එහෙමත් නැතිනම් “කිත්ත” ගෙ ඉංග්‍රීසි පන්තියෙදි (IEM) වගේම ගොඩගම සුභාරතියේ දහම් පාසලේදිත් නිතර සෙට් උන නිසා.

“කිත්ත” කියල කිව්වට අද වෙනකොට කණ්ඩා සුද්දගේ බාසාවෙන් යම් තරමකට වනන්න දන්නවා නම් ඒකට හේතුපාදක වෙච්චි ඈයොන්ගෙන් ඉස්සරහම ඉන්න මම බොහොම ගරුකරන ගුරුතුමෙක් තමයි මේ.  අනිත් අය තමයි කණ්ඩගේ දෙමව්පියෝ සහ මුල් අවදියේ කණ්ඩට සුද්දෙක් වගේ ලියන්න කරන්න උගන්නපු “නයනා ටීචර්” (නයනා ඩාවුඩ්).

ඉතින් ඔය කියපු ඉංගිරීසි සහ දහම් පාසල් පන්ති වලදි තමයි ගොඩගම ඉඳන් ඩී.එස්. එකට ගිය අපේ තවත් අඹ යාළුවෙක් වෙච්චි “ලේන”ව මුන ගැහෙන්නෙ. (මට තවම මතක නෑනේ අප්පා අපි ඇයි මූට ලේන කිව්වෙ කියල ?)

ඒ වගේම හෝමාගම පරිප්පුවෝ බස් එකට නගින තැනින්ම තමයි අපේ එක වගේම මෙලෝ රහක් නැති ඩී.එස්. එකේ ලදරම නවත්තන්නෙත්, ඒ නිසා ලේනව නම් උදේ පාන්දරත් හම්බ වෙනවා.

ඒ දවස් වල අපි තුන්කට්ටුව මොනවා කරත් එකටමයි.  නොසෑහෙන ෆිට් එකේ හිටිය කොළු පරාණ ටිකක් නිසා හහංගන්නයි කියල තරම් වැදගත් කිසිම රහසක් තිබ්බේත් නැහැ.ආයෙ මොනවද ඉතිං එකට පන්ති – දහම් පාසල් යනව, මහරහම – ගොඩගම අතරේ බස් එකේ ගියත් එකට, ඒ වගේම මොන කඩප්පුලි වැඩේ කරත් එකටම තමයි.

සෞඛ්‍යය හා ප්‍රජනනය පාඩම

Seedeviදැන්ඉතින් අහන්න එපා ඌරන්ට මොන සෞක්කියද කියල, අපි බලෙන් ඉල්ලුවෙ නැති උනාට ආණ්ඩුවෙන් සිලබස් එකට දාල තිබ්බ නිසානෙ ඉගෙන ගත්තෙ. විශේෂයෙන් මතක් කරන්න ඕන ඒ දවස් වල සෞඛ්‍යය හා ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න අපිට විදිහක් තිබ්බෙම නැහැ.

මේ ගැන වැඩි යමක් කියනවා නම් අපි ඇත්තටම හරි අහිංසකයි, මල් වගේ. ඔය කියන එව්වට අමතරව අද කාලෙ එව්වොන්ට වගේ පූර්ව මානවක විය සංවර්ධනේ කර ගන්ට චිත්තර පටි, ජංජාලේ හතර අතේ එල්ලලා තියන පඳුරකට ගැහුවත් වීසි වෙන අජ්ජාපනික වෙබ් සයිට් අපිට තිබ්බේ නැහැ අපේ හාමුදුරුවනේ.

අට වසරෙදි අපේ පන්ති බාරව හිටපු සෞඛ්‍ය පාඩමට අරක් ගත්තු හෙනහුරා වෙච්චි අර “දහනයකා” කියන කුප්ප අම්මණ්ඩි (මේක වෙනම ලියන්න ඕන කතන්දරයක්, ඕකිව කොටියම කාපිය) අපිට උගන්නපු ලබු ගෙඩියක් නෑ. ඒ ගොන් වහන්සේගෙ පෙට්ටි පාඩමට පිං සිද්ධ වෙන්න මෙලෝ ලබු ගෙඩියක් තේරෙන්නෙ නැති අපි හිතන් හිටියෙ ඉනෙන් පල්ලෙහා තියෙන ඔක්කොම අවයව පෙට්ටි කියල.

එහෙම හිතාන හිටපු ලිං මැඩියෝ වෙච්චි අපේ පරම්පරාව ලිඳෙන් ගොඩ ආවෙ ඒ කාලේ සෑහෙන ඉල්ලුමක් තිබුණු අධ්‍යාපනික පත්තර වලට පිං සිද්ධ වෙන්න 😀

මේ සඳහාම වෙන් වුණු සුරතලා, මිහිර, විජය වගේ අධ්‍යාපනික පත්තරයක් ගෙනාවත් ඒකත් එකට පිටුවෙන් පිටුව බෙදාගෙන බලනවා. ඒ එක්කම දන්නා කියන අනිත් යාළුවොන්ටත් දැනුම බෙදා දෙනවා, ඉතිං පිං අතේ වැඩනේ.

ආයෙත් ට්‍රැක් පැන්නද මන්ද ? දැන් හැමෝටම ඇති මේ අධ්‍යාපනික පත්තර කොහෙන් කොහොම ආවද කියන එක ගැන සාධාරණ කුතුහලයක් ? ඒ පුණ්‍යකර්මයේ ගෞරවය අනිවාර්යෙන් හිමි වෙන්න ඕනෙත් ඩප්පියටම තමයි. මොකද මිනිහ තමයි මේ සොයා ගැනීමට මුල් උනේ.

මේ ඉතින් හැම දේම හොයන බලන නැට්ටට කිරි එරෙන කාලෙ නෙව, ඒ වෙනකොට අපි සාමාන්‍ය පෙළ කරන්න අවුරුද්දක් විතර තිබ්බට සියල්ල (නො)දත් තරමක් නාහෙට නාහන උන් (ඒ වෙනකං කාටවත් හොඳ හෝටලේකින් කන්න ලැබිල තිබ්බේ නෑ ලෙඩ හොඳ වෙන්න :-D).

ඔහොම දවසක කවුදෝ මන්දා ඩප්පියට ඔත්තුවක් දීල තිබ්බ අහවල් තැන මෙන්න මේ වගේ නිධානයක් තියනවා කියල, මං දන්නේ නැහැ ඒ කවුද කින්ද මන්ද කියන එක, ඒක මෙතනට අදාලම නෑනේ !

එහෙම එකක් දැන ගත්තම දැනුම පිපාසාවෙන් පෙළෙන ගවේශනශීලී මානවකයෝ විදිහට කොහොමෙයි නොසලකා හරින්නෙ, යාන්තමට මයිලක් දෙකක් හැදීගෙන එන පපුව ඉස්සරහට දාල පුරුස දහිරියහෙම අරගෙන ඩප්පියා නිදන් වදුලට අනුව මෙතැනට ගිහිල්ල නිධානෙ හොයා ගත්ත විතරක් නෙමෙයි අපි හැමෝටමත් නිධානෙ ගැන කියන්න තරම් කාරුණික උනා.

ඒ තමයි ඔරලෝසු කනුව පහුකරන් බොරලැස්ගමුව පැත්තට එනකොට මහරගම පොළට එහායින් තිබ්බ, කාගිල්ස් කියන්නේ මොකද්ද කියල මිනිස්සු නොදන්නා කාලේ හිටං දන්නා කාගිල්ස් සුපිරි වෙළඳ සැලට ඉදිරියෙන් තිබ්බ, ඒ දවස් වල බොහොම ප්‍රසිද්ධ නැණසල (මොකද දුන්න සේවය අනුව  බලනකොට නිකම්ම නිකං පත්තර ලෑල්ලක් කියන එක හිතට හරි මදි 😀).

ඒ විතරක් නෙමෙයි එක පාරක් කණ්ඩ ඔයින් අධ්‍යාපනික සඟරා කිහිපයක් ගෙදර තියන් ඉඳල මාට්ටු වෙලා කන් ඈත් වෙන්න අම්මගෙනුයි තාත්තගෙනුයි අහගත්තා විතරක් නෙමෙයි ඔක්කොම පුච්ච්ලත් දැම්ම. ගැහුවෙ නම් නෑ ඒත් බනින්නෙ නැතුව ගැහුවා නම් ඊට හොඳයි කියල හිතුන. වයසේ වැරැද්දනේ, ගහල හදන්න පුළුවන්යැ  😀

පහු කාලෙක දැන ගත්ත පරිදි අපේ ඈයො ගොඩගේ, විජිත යාපා, සරසවි ඇම්.ඩී. ගුණසේන කියන කොයි පොත් කඩේටත් වඩා මෙතන කරක් ගහල තියනවා, ඉතිං එහෙව් එකේ කොලොම්බස් ඉන්දියාව කියල ඇමරිකාව හොයා ගත්ත වගේ අලුත් ලෝකයක් අපිට විවර කරලා දීපු ඩප්පියට අපි සදා ණයගැතියි  😀

ඩප්පියට ජයෙන් ජයම වේවා !!!

සමාවෙන්න ආයිබොවන් අදත් ඩප්පියාගෙ උණත් හොඳ කරනව කියල කඩවුණු පොරොන්දු දුන්නට, ලියමන හොඳටෝම දිග වැඩි උනා. දෙයියම්පල්ලා එන සුමානේ නම් ඩප්පියගෙ උණ සනීප කරනවා … කිව්වොත් කරනවාමයි !!!

මතු සම්බන්ධයි

~ කණ්ඩා

වයසෙ වැරැද්ද ~ I කොටස ~ ඩප්පියා !