Appa - Hoppers 1

රස ආප්ප සහ රස වතුර

වර්තමානයේ ඉතිරි වෙලා ඉන්න වානර විශේෂ ඉන්නව නේද … “ඔරන්උටං” (Orangutan) , “ගෝරිල්ලො” (Gorilla), චිම්පන්සියො (Chimpanzee) සහ අනිත් වඳුරෝ වගේ නෙමෙයි ලෝකෙටම ඇණයක් වෙලා ඉන්න අර මයිල් නැති වානරයො සෙට් එක … එක එක පාටට සයිස් එකෙන් හිටියට මුන් ඔක්කොම “හෝමෝ සේපියන්ස්” (Homo sapiens) කියලනෙ පොදුවේ හඳුන්වන්නෙ.

ඒත් එහෙමත් මදි, ඔය අලගිය මුලගිය තැන් හොයන්න තියන කැසිල්ල නිසා තමයි අපිට ඉස්කෝලෙ යන කාලෙ නීග්‍රොයිඩ් (Negroid), මොන්ගොලොයිඩ් (Mongoloid) සහ කෝකසොයිඩ් (Caucasoid) කියල තව අනු වර්ග තුනක් ඉගැන්නුවෙ.

හැබැයි නුතන මානව විද්‍යාව ගත්තහම සමාජය හිතන ආකාරයේ වෙනස්කම්, වර්ගවාදී බවින් මිදිල මේ දිහා බලන්න පුළුවන් සමාජීය, ජෛව විද්‍යාත්මක සහ භාෂාමය විධික්‍රම දැන් තිබෙන නිසා දැන් මේව භාවිතයෙන් ඈත් වුණු යල් පැනගිය බෙදීම්. නමුත් උ.බු.ජ. (උගත් බුඩ්ඩිමත් ජනතාව) අතුරින් මංතුමා වගේ පුෂ්ටිමත් පුද්ගලයෙක්ට ඔය බෙදන වැඩේ බාර දුන්න නම්  ඕක බෙදන්නෙ “සරම් & චීත්ත” කියල විතරයි.

ඒ අතරින් චීත්ත අඳින වානරියො ඉන්නව නේද අම්මප ඒ අය මහ පුදුමාකාර සත්ව විශේෂයක් … මේ අය ඇතුවත් බැහැ නැතිවත් බැහැ. ඔය අතරින් උනත් අර “හාමිනේලා” හෙවත් “නෝනලා” කියන උප විශේෂය විශේෂයෙන්ම අති විශේෂයි … උත්කෘෂ්ඨයි … ශ්‍රේෂ්ඨයි … !

හැමදාම වගේ කතාවෙන් ඩිංගක් විතර පිට පැන්නට මේ කියන්න යන්නෙ ඔය පාර්ශවය ගැන කතන්දරයක් තමයි 🙂

කතාව හාමිනේලා ගැන නිසා මේ සිද්ධිය නාස් කණ්ඩට නාස් ලණුව වැටිල පවුල් පන්සල් උනාට පස්සෙ වෙච්ච සිදුවීමක්ය කියන එක ඉතිං හැමෝටම තේරෙනවනෙ. මේ කතන්දරේට කණ්ඩ දෙමහල්ලන්ට අමතරව තවත් ප්‍රාණසම මිතුරු ජෝඩුවකුත් හවුල් නිසා කතා නායකවරු හතර දෙනයි .. නෑ … නෑ … හතරයි කිව්වට පහයි, ඔහොම කියෝගෙන යමුකො එතකොට තේරෙයි 😀

මේ කියන ජෝඩුවේ හාදය අපිත් එක්ක Institute ඔෆ් Donkeys ඇණ්ඩ් Monkeys ආයතනයේ IT සාත්තරේ හදාරපු කොලුවෙක්, කණ්ඩගෙයි හාමිනේගෙයි අන්‍යෝන්‍ය මිතුරෙක්. ඒ ඉගෙනගෙන අහවර කරල බැංකුවලට IT සේවා සපයන ආයතනයක පරිගණක ඉංජිනේරුවෙක් වශයෙන් තමයි රැකියාව.

එහෙම උනාට කන්න පින තියෙනවනම් ඉබ්බ මිරිස් තුනපහ පිටේ බැඳන් එනව කියන්න වගේ වැඩි හරියක්ම කාලය ගෙවෙන්නෙ Implementation ඔපිසර කෙනෙක් විදිහට බැංකු වල ඉන්න ගෑල්ළමයින්ට උකුළු මුකුළු කිරීම සඳහා සේවා සැපයීම වෙනුවෙන්.

දන්නා කියන එවුං නම් මේ හාදයට එක එක පද හදනව, සිරි ලංකාවේ තිබ්බ හැම බැංකු ශාකාවකම පෙම්වතියක් හිටිය කියල තමයි රට්ටු ඉරිසියාවට කියන්නෙ. අනේ ඔටු දේසෙට වෙලා බිරියානියක් කාල රටඉඳි ගෙඩියක් හපාගෙන නිදහසේ ඉන්න අපිනං ඕවයෙ ඇත්ත නැත්ත දන්නෙ නැහැ 🙂

තත්වෙ ඔහොම උනත් මේ යකාගෙ වැඩේම 365 දවසෙම මූණ එල්ලං ඉන්න නාහෙන් අඬන එකයි !

අනේ බලහන් බං … මේ ලෝකෙ හරි කෘරයි බං … ලැජ්ජා බයට හැදිච්ච හරිහමන් කතෝලික ගෑනු ළමයෙක් හම්බ වෙන්නෙම නෑනෙ බං !!!

ආ කියන්න බැරි උනා අපේ යාළුව ක්‍රිස්මස් … හැබැයි චර්ච් එකක් බෙල්ලෙ එල්ලන් ඉන්නව දැකල නැහැ.

අපේ කොලූත් එක්ක යාළු වෙලාම දැන් එහෙම ගෑණු ළමයි බැංකු වල නැතිය … හරියන කෙල්ලො හොයන්න වෙන්නෙ මිනිස් වාසයක් නැති කොන්වන්ට් එකකින් හරි අඳ ගොළු බිහිරි පාසලකින් මිසක් බැංකු වල නෙමෙයි කියල පැහැදිලි කරලා දෙන්න අපි නොසෑහෙන්න උත්සාහ කරා.

ඔහොම කාලය  යනකොට මේ හාදයට අර කියපු තාලෙ බොහොම අහිංසක තැන්පත් ගැල්ළමයෙක් හම්බ උනා කියල ආරංචියක් එනව … පුළුවන් නම් කියන්න බලන්න ගෑණු ළමයව කොහේ ඉඳලද හම්බ උනේ කියල … ???

හිතුව නේද කොන්වන්ට් එකක ඉඳල කියල … මොන පිස්සුද ? බැංකුවක … බැංකුවක … කමක් නැහැ බැංකු වලට ඔය තරම් ආදරේ එකේ මංකොල්ල කන්නෙ නැතිව ගෑණු දැරිවියන්ට විතරක් ඇහැ ගිය එකත් වාසනාවනෙ 🙂

කොහොම නමුත් දැන් ඉතින් මේ හාදයට ප්‍රීතිය ඉහ වහා ගිහිල්ල ගෑණු ළමයව මුණ ගස්සවන්න කොහෙටද එක්ක ගියේ ???

දෙහිවල සත්තු වත්තට කියල කිව්වොත් අම්මප කවුරුවත් පිළිගන්නෙ නැහැ නේද …?  කතරගම දෙයි හාන්දුරුවන්ගෙ මොණර පල්ල … ගණ දෙයියන්ගෙ මීය පල්ල … මම ඇත්තමයි මේ කියන්නෙ 🙂

හැබැයි ඇස් වහක් කට වහක් නෑ … සත්තු වත්තකදි මුණ ගැහුණත් හරි සීදේවි ගෑණු දරුව, අපේ එකාට හොඳ වැඩිදත් මන්ද 🙂

මංතුමා මේ හමු වීමට කැමති උනාට හිතේ සෑහෙන්න කුකුසක් තිබ්බ, ගිහිං එනකං ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ අපි තුන් හතර දෙනාම සත්තු වත්තෙ නතර කර ගනීවිද කියල, වාසනාවට කූඩු මදි නිසාදෝ අපිට කරදරයකින් තොරව නෑදෑයොත් බලා කියාගෙන එන්න ඉඩකඩ ලැබුන.

හරි දැන් මේකට අදාල අල ගිය තැන් මුලගිය තැන් ගලපලා ඉවරයි, දැන් කතාව පටන් ගමු එහෙමනං … මේ ජෝඩුව පවුල් පන්සල් වෙලා අවුරුදු කිහිපයක් ඇත උනාට පස්සෙ  ඔටු දේසෙ කරකුට්ටන් වෙලා හිටිය කණ්ඩ ජෝඩුව සිරිලකට ගොඩ බැහැපු කාලයක් බලල මීගමුවෙ උන්න මේ දෙන්න දෙමහල්ලන්ගෙ ගෙදරටත් ගොඩ වැදිල ඒ ගමන්ම උඩරට පළාතෙ කොත්මලේ පැත්තෙ අසිරියත් බලාගෙන නුවර එළියෙ සීතලත් විඳගෙන සවාරියක් ගිහින් එන්න පිටත් උනා.

මේ ලිපියෙන් බාගයක් වැල්වටාරම් ගැහුවට දැන් මේ කියන්න යන්නෙ කොත්මලේ ගමන ගැන නෙමෙයි ඒ ගිහිං එනකොට උන බරපතල අබග්ගයක් ගැන. එතකොට කොත්මලේ ගමන ??? ඒක පස්සට !

දවස් තුනක හොඳට නිදහසේ රසවිඳපු ගමනකින් පස්සෙ ආපහු එන්න පිටත් උනා කියමුකෝ … අතරමගදි අපි හැමෝටම පොඩි බඩගින්නක් සහ තිබහක් හැදෙනව. අවුරුදු හතක් මරදානෙ සුපිරිසිඳු තෝසෙ වළඳපු කණ්ඩට වගේම යාළුවටත් ඕන දහ ජරා කඩේකින් කනබොන එක අවුලක්ම නැහැ. නමුත් බවලත් උදවිය එහෙම තැනකට එක්කං ගියොත් අපි දෙන්නටම අමුතු කෑමක් කන්න වෙන බව සහතිකයි.

කරුමෙ කියන්නෙ හිතට හරියන එක කඩයක් හම්බ උනේ නෑනෙ, දැන් එන්න එන්නම වාහනේ පිටිපස්සෙ සීට් එක දිහායින් එන සද්දෙත් වැඩි වෙනව. මුලින් “කන වටේ කැරකෙන මදුරුවො” ලෙවල් ඒකෙන් පටන් ගත්ත ඒක දැන් ටිකෙන් ටික “තල් අත්තට බොරළු” ලෙවල් එකට කිට්ටු වෙනව, වෙනදට කනට ඇහෙන්න වචනයක් කියන්නෙ නැති මගේ යාළුවගේ හාමිනේගෙ කටටත් පණ ඇවිල්ල.

“පැණි වරක ගහට අකුණු වදින” ලෙවල් එකට එන්න කලියෙන් කෑම කන්න තැනක් හොයා ගත්තොත් හොඳයි, ඒ අස්සෙම දැනට අවුරුදු 20 කට කලින් අපේ හාමිනේගෙ සහෝදරයා දුන්න මේ වගේම කඩවුන පොරොන්දුවක් ආපහු මතක් කරල හාමිනේ පරණ රෙකෝඩ් එකක් හම යවනව.

අනේ එකපාරක් අපි පුත්තලමේ ගිහිං එනකොට (නෑ .. නෑ … ගෝව වවන්න නෙමෙයි මුන්නේශ්වරම් කෝවිලේ දෙයියො සෙට් එක හම්බ වෙන්න ) අපේ ලොක්කයියගෙන් තිබහට බොන්න කොකා කෝල එකක් ඉල්ලුව කොහෙද ගෙදර යනකම් කොකා කෝල තියා වතුර පොදක් බොන්න නතර කරේ නැහැ … අදත් ඒ ටිකම තමයි වෙන්න යන්නෙ.

යාළුවගෙ හාමිනේත් මේවට හූ මිටි තියනව, දැන් අපේ ලොකු මස්සිනා කොකාකෝල ලොරියක් නෙමෙයි පියෝ බෙවරේජස් කොම්පැණිය අරං දුන්නත් මේ අපවාද වලින් මිනිහට ගැලවෙන්න හම්බ වෙන්නෙ නම් නැහැ  සම්මජ්ජාතියට 😦

ඈත අකුණු ගහල තද හුළං හමනවා කියන්නෙ වැස්සක් ෂුවර්, මෙහෙම ගියොත් අපි දෙන්නටත් ලොකු මස්සිනාගෙ සෙතේම නිසා මම අපේ යාළුවට කිව්ව හොඳ හෝ නරක තියෙන තැනකින් නවත්තල කාල යමං කියල.

හරි හරි … දෙන්නත් එක්ක කන් කෙඳිරිගාන එක නවත්තල කියන්නකො කන්න ඕන මොනවද කියල ?? සාමාන්‍යයෙන් හාමිනේට කඩේකට ගිහින් කොකා කෝල බෝතලයක් ගන්න තීරණය කරන්නත් පැය බාගයක් හමාරක් ගතවෙන නිසා ස්ත්‍රීරත්න දෙකක්ම ඉන්න එකේ අපිට පැයක් දෙකක් කනක් ඇහිල ඉන්න පුළුවන් වෙයි කියල හිතුව.

මෙන්න කියනකොටම ඉස්සරහ තඩි අකුරෙන් “ආප්ප” කියල බෝඩ් එකක් ගහපු හෝටලයක් … එක පාරටම තුන් හතර දෙනාටම ආප්ප කන්න දෙලදුකක් ඇති වෙච්ච නිසා … කට්ටියගෙ ජය ඝෝෂාව මැද්දෙ යාළුව නැග්ග බ්රේක් අණ්ඩ උඩට … නැවැත්තුව කාර් එක දඩිබිඩියෙම.

බවලත් උදවියටත් තැනේ වැරද්දක් නැති පාටයි, පිටිං තොරණක් වගේ නියෝන් ලයිට් එක්ක තඩි බෝඩ් එකක් එහෙම දාල 30-40 කට වාඩි වෙන්න පුළුවන් ඉඩකඩ තියෙන තැනක්.

හත් දොහකින් කෑම දැකල එව්වො වගේ කලබලේම රිංගුව ඇතුළට … කඩේ කැෂියර්ට ඉන්නෙ ඉටිරෑපෙ වගේ ලස්සන ගෑණු ළමයෙක් … බොරු නෙමෙයි සැටිෆිකෙට් ඇත්ත. අනේ ඉතිං අපිත් දත් තිස් දෙකම පෙන්නල හිනා උන නිසා ඒ දැරිවිත් අපිත් එක්කල අපූරුවට හිනා උනා.

තුන් හතර දෙනාම ඇතුළට ගිහිං වාඩි උනාට පස්සෙ තමයි තේරුණේ අර ගෑණු ළමය අපිත් එක්ක හිනා උන එක හාමිනේල දෙන්නගෙ ඇන්ටනාවට වැටිල බව.

දැන් බඩගින්න වෙනුවට අර රුසියාවට වඩා ලොකු එක ඉස්සරහට ඇවිල්ල … පේනව නේද දැන් පැයක් තිස්සෙ අර අච්චර හොටෙල් කීයක් පාස් කරගෙන නම් ආවද ? අන්තිමට ගෑණු ළමයෙක් ඉන්න තැනකින්ම නැවැත්තුව, අපිට ඕව තේරෙන්නෙ නැහැ කියල මේගොල්ල හිතාගෙන ඉන්නෙ. බැඳපු මිනිස්සු කියල මේයාලටත් ගානක් නැහැ චීත්තයක් දැක්කොත් ඉවරයි !

අනේ ඉතින් එහෙම නෙමෙයි කියල අපි ඔලුවෙන් හිටගෙන කට බිම උලාගෙන කිව්වත් වැඩක් නැති නිසා අපි තව ටිකක් අර ගෑණු ළමයගෙ ලස්සන වර්ණනා කරන්න ගත්ත.

Sri Lankan Girl in a Floral Frockඒ නගාට මගේ හිත ඇදිල ගියා බං … CT ව මතක් වෙනව මේ වෙලාවට … ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි … සිරිබර විසිතුරු ලොවේ … දකින දැකුම් සිත් වසග කරාලයි … දෑසට දී රස සුවේ  … 🙂

සිරාවට බං … අම්මප බැඳල උන්නෙ නැත්තන් හඳපානෙ පැනල යන්න අහනව … දැන් උනත් අවුලක් නෑ බං !

හාමිනේල දෙන්නව ඉස්සරහින් වාඩි කරවගෙන කියන කට කැඩිච්ච කතා නිසා අපිට දිගින් දිගටම මරණ තර්ජන සහ අරියාදු එල්ල වෙනව … එතන නැවැත්තුවෙ ඒ ගෑල්ලමය නිසාමයි කියල දෙන්නම පර සක්වල ගහනව … 😀

ඒ කියල කට ගන්න හම්බ උනේ නෑ වේටර් කෙනෙක් එන්න පරක්කු උන නිසාදෝ මෙන්න නගා කැශියර් කූඩුවෙ ඉඳන් අපේ දිහාට ලැසි ගමනින් පාවෙලා එනව … පාවෙනා නිල් වලාවේ … නදී තලාවේ රිදී ජලාසේ ඇගේ සිනාවේ … කැලුම් සැඟවුනාදෝ හැබෑට … දැන් තමයි හරියටම දැක්කෙ තනිකරලට බැඳල ලින්ක් කේෂා ඇඩ් එකකට ආපු රපුන්සල් වගේ දනිහ ගාවට බේරෙන කේශ කල්‍යාණයක් තියන දිග මල් ගවුමක් ඇඳපු සිරාවටම (නෑ .. නෑ .. සිරා නැහැ ඌ කට ඇරියොත් කියන්නෙ බේගල් !) උපන්ගෙයි ලස්සනක් තියෙන ගෑණු ළමයෙක්.

තව දුරටත් ඔය ගෑළමයගෙ වරුණාව විස්තර කරන්නෙ කොහොමද කියන එක කණ්ඩගෙ භාෂා ඥානයෙන් සෑහෙන එපිට දෙයක් උනාට තොටගමුවේ රාහුල හාමුදුරුවො එහෙම ළඟ හිටියනම් කියයි “සිසිවන වුවන ඉඟ සුඟ ගත හැක මිටින” කියල පටන් අරන් තව ගොඩක් දේවල්.

ඇත්තමයි ඒ නගා ලඟට ඇවිල්ල මිණි කිංකිණි  හොලවන්නා වගේ “ඔයාල කන්නේ මොනවද ?” කියල මුකුළු කරල ඇහුවම නිකං පපුවත් නැවතුනා වගේ උනාට එක පාරටම කන ගාවින් ඝාණ්ටාර ගහන්නා වගේ “අපි දැන් ආප්ප කන්න නේද නතර කරේ ?” කියල හාමිනේ අහපුවම මංතුමා පියවි සිහියට ආව … කොහොම හරි උකුළු මුකුළු කරල අපෙන් ආප්ප ඕඩරයත් අරං ගියා කියල හීනෙන් වගේ මතකයි.

ඉතිං එතනට වෙලා බක් මහට අකුණු ගහන්න වගේ  දිගටම එන බැනුම් අහන්න බැරි නිසා අපි ලාවට තිබ්බ බරක් සැහැල්ලු කරගෙන එන්න හෝටලේ පිටි පස්සට ගියා … කියන්න සන්තෝසයි සහෝදරවරුනි මරදානෙ තෝසෙ කඩේක පිටිපස්සෙවත් ඒ තරම් අපිරිසිඳු වැසිකිළියක් සහ වටාපිටාවක් මංතුමා දැකල නැහැ … ඒත් ඉතිං අපි කකුලක් ඉස්සරහට තිබ්බම ආයෙ පස්සට ගන්න උදවිය නෙමෙයිනෙ බර සැහැල්ලු කරගෙන ගියාට වැඩිය ඉක්මනට ආපහු ආව.

ඒ තමයි වැඩේ කොට උඩ යන බවට අපිට හම්බ උන පළමු අනතුරු ඇඟවීම … ඌරන්ට මොන සෞඛ්‍යද ? අනික අර අහිංසක මූණ දිහා බැලුවට පස්සෙ නොකා එන්නෙ මොන හිතකින්ද ? කියල අපි හිත හදා ගත්ත.

ඒත් අපේ ගෑණු දරුවො දෙන්නත් බර සැහැල්ලු කරන්න යන්න හදනකොට තමයි දෙන්නටම තරු විසි උනේ … රටේ නැති බොරු කියල හරි ගියේ නැති තැන අන්තිමට ඇත්තම කියල දෙන්නව නවත්ත ගත්ත … මොකද එහෙම නොවුන නම් කෑම කොහොම වෙතත් වමනෙ නවත්තන්න බෙහෙත් හොයන්න වෙනව.

ඒ එක්කම අර නගා ආයෙ සූ සැට බරණිං සැරසීලා  … නා කපනා වැහි වැටෙන වෙලේ …. විසාකා තොමෝ පැමිණි විලාසෙන් … චීන සර්කස් කාරියක් වගේ ආප්ප පිගාන ලුණු මිරිස් ටික එක අතකිනුයි වතුර වීදුරැ හතර උඩටම පුරවල ඇගිලි හතර කෝප්ප ඇතුළට දාගෙන අල්ලං නලව නලව ඇවිත් මේසෙ උඩිං තියල ආයෙ කටපුරා හිනාවක් එහෙමත් දාල මිහිකත නලවාලා … මග මල් ගන්වාලා යන්න ගියා.

Dirty Glassඅතේ ඇඟිලි වල තියෙන ඔක්කොම සාරය හේදිලා ගිහිල්ල වීදුරුවටම එකතු වෙලා වතුර ටික රහට තියෙන්න ඇති … හැබැයි බිව්වෙ නැති නිසා හරියටම කියන්න දන්නෙ නැහැ. අනික බඩගින්නෙ හිටිය එකේ මේකට හිනා වෙනවද අඬනවද කියල හරියටම තේරුමක් තිබ්බේත් නැහැ.

හාමිනේල දෙන්නගෙ මූණවල් බලන්න ආසයි … දුම් ගැහිච්ච් කජ්ජක් වගේ තරහෙන් කළු වෙලා … ගෑණු ළමය ගිය පරක්කුවෙන් කයි කතන්දර හම්බ උනා අපේ කන් ඈත් වෙන්නම පිංවතුනි … තවමත් කන් දෙක කූන් … කූන් … ගානව මතක් වෙනකොට … හාමිනේ දෙපාරක් නොහිතා ආප්ප ටික එහෙම්ම දැම්ම ළග තිබ්බ කුණු කුඩයට … වතුර වීදුරු ටික ඇඟිලි පාරවල් එක්කම එහෙම්මම තාම මේසෙ උඩ … අපරාදෙ !

බඩ ගින්නට කොකා කෝල එකක් බිව්ව අපිම කඩාගෙන කටේ තොලේ නොගෑවෙන්න … බිලත් ගෙවල හාමිනේල දෙන්නත් ඇදගෙන එළියට එනකං සිහියක් තිබ්බෙ නෑ අපි හස්බණ්ඩල දෙන්නට 😦

පිස්සො කලබල උනාට දොස්තරල කලබල වෙන්නේ නැහැ කියනවනෙ … අපි දෙන්න විතරක් හිටිය නම් … අම්මපා නගාට කියල තවත් වතුර ජෝග්ගුවක්ම ඉල්ලං බීල බිත්තර ආප්ප දෙකකුත් කාල ඇඩ්රස් එකත් ඉල්ලං තමයි එන්නෙ.

මේ ගමනෙදි වෙච්ච තවත් කතා තියෙනව ඒ ගැන වෙනම ලිපියක් ලියන්නම් පස්සේ වෙලාවක. අපේ හාමිනේල දෙන්නගෙ කටවල් නම් මොනවා කරත් වහන්න බෑ … අදටත් මතක් කරනව චීත්තයකට රැවටිලා ආප්ප කන්න ගිහිං වෙච්ච හදිය ගැන … ආයිත් නෑ රෙදි ගලවලාම තමා නවත්තන්නෙ. දැනට කතා ඉවරයි !

පසු ලිපි :

My3 Appaමේ අලකලංචිය සහ ආප්ප කතාව  පොළොන්නරුව පළාතේ පොලොව පලාගෙන මතු උන ග්‍රාම සේවකයෙක්  ආප්ප කා රජ වෙන්නට පෙර බැව් කරුණාවෙන් සලකන්න. දැන් අපි ආප්ප යන නම ඇහෙනකොටත් බයය … හාමිනේ ඉන්නවා නම් ළඟ පාතක ඉන්නේද නැත. ආප්ප කාපු සිරාට විලි ලැජ්ජාවක් නැති උනාට අපිට තියෙනවනෙ!

 

~ කණ්ඩා !

පෙර ලිපි :

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VIII කොටස ~ හාමිනේ සහ මොනියුමෙන්ටල් කබරයා !

හාමිනේලාගේ කතා වස්තුව ~ IV කොටස ~ පඩි වැඩි වීම සහ භූමි කම්පා !

චීන කතා ~ I කොටස ~ චීන චයිනීස් සහ හොට් පොට්

සිරි ලංකාගමනය ~ IV කොටස ~ පොත්ගුල් විහාරය සහ බබ්බු දෙන පොකුණ

හාමිනේලාගේ කතා වස්තුව ~ II කොටස ~නිසි බළධාරිනිය හෙවත් වාරණ මණ්ඩලය !

හාමිනේලාගේ කතා වස්තුව ~ I

නෝනා …