සීතගෙ දේවාලෙට රිංගපු හනුමා
මුලින්ම කියන්න ඕන මේ මගේ අත්දැකීම් සහ දැක කියවා තියෙන දේ සංවාදය උදෙසා අකුරට පෙරළීමක් පමණක් බව, ඒ ඇරෙන්න අපේ දේ පහත් කිරීමේ හෝ හෙලා දැකීමේ වෙනත් සැඟවුණු ඇජෙන්ඩාවක් කණ්ඩට නැහැ.
මම මින් බලාපොරොත්තු වන්නෙ කවුරු හෝ කියවන කෙනෙක් වෙනස් විදිහට හිතන්න සහ ඇත්ත දකින්න පෙළඹෙයි කියන එක විතරයි. මෙයින් ආගම් සම්බන්ධ යම් සංස්කෘතික ඇදහිලි වලට පහර වදිනවා නම් ඒ ඇස් ඇරිලා සත්‍ය එළිපිටට පැමිණීමක් පමණයි. නමුත් අප කිසිමදාක ආගමික සාහිත්‍ය පරම සත්‍ය ලෙස පිළිගැනීමට අවශ්‍ය නැහැ. එය බුද්ධාගම, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ඇතුළු අනෙකුත් අටෝරසියක් ආගම් සියල්ලටම පොදුයි.
කණ්ඩා සකල සිරින් පිරි සිරි ලංකාවෙන් පිටතට අඩිය තිබ්බෙ ඔටු දේසෙකටනෙ ඉතිං එහෙම ගොඩ බැහැල හා හාපුරා කියල රාජකාරි කරන්න පටන් ගත්තෙ “සුපිරි” කොම්පැණියෙ … මේ ගැන පරණ කතා කියවාපු උදවිය නම් දන්නවනෙ … නමුත් පටන් ගත්ත තැනම මේ ගැන පොඩි ඇඩ් එකක් දැම්මෙ කියන්න යන කතාවට මග පාද ගන්න. මොකද මේ කියන කතාවට අඩි තාලම වැටෙන්නෙ ඔය කියාපු සුපිරි කොම්පැනියෙදි. (කතාව මට මතක් උනේ කැලුම් නොහොත් ලොකුපුතා කොලුව අටම්පහියට දාපු කමෙන්ට් එකක් නිසා)
සුපිරි කොම්පැනියෙ සේවකයන්ගෙන් අඩකටත් වැඩියෙන් ඉන්දියානුවන්, ලංකාවෙන් කියල එතකොට හිටියෙ මමයි ශාස්නා කියල ගෑණු ලමයෙකුයි විතරයි (පහු කාලෙක තව අය එකතු සහ හමු උනා). ඒ ඇරෙන්න ලොව සෑම රටකින්ම පාහේ පැමිණි උදවිය මෙහි සේවය කළා.
ඔය කියන කාලෙ මට ඉන්දියානු විරෝධයක් කියල තිබුන නම් ඒ තමිල්නාඩුවේ කසඩ දේශපාලනයයි හින්දි, මළයාලම් සහ දෙමළ චිත්‍රපටි අච්චාරු සඳහා උන දරුණු අසාත්මිකතාවයයි විතරයි. එනිසා මේ උදවිය එක්ක උරෙන් උර ගැටෙමින් රාජකාරි කරන එකට කිසි බාධාවක් තිබුනෙ නැහැ.
සුපිරි කොම්පැනියෙ නොයෙක් රාජකාරි කරපු අංශ බර ගණනාවකින් එකක් උන ප්‍රවාහන අංශය (Transport & Logistics) ආයතනයේ හදවත වගේ. හේතුව රටවල් 70 – 80 ක සිට එන බඩු බාහිරාදිය ගොඩබිම, මුහුද සහ ගුවන් මොන ප්‍රවාහන ක්‍රමයකින් හෝ ඒ ගමනාන්තය වෙත ලැබීමේ කටයුතු කරන්නෙ ඔවුන් නිසා. ඉතිං කණ්ඩ රාජකාරි කරපු තොරතුරු තාක්ෂණික කණ්ඩායම මේ උදවියත් එක්ක බොහොම සමීපව කටයුතු කරා.
ඔය රාජකාරි ගනුදෙනු වලදි දැන අඳුන ගන්නට ලැබුන තරුණ ඉන්දියානු හාදයෙක්, මේ හාදයට අපි ප්‍රශාන්ත් කියමුකො. ඉන්දියාවෙ බටහිර පැත්තට වෙන්න තියෙන මහාරාෂ්ත්‍ර ප්‍රාන්තයෙන් ආපු බොහොම ප්‍රිය මනාප කොලුවෙක්, කියන්න තරම් එහෙමට වැරද්දක් නැහැ. කන්තොරුවෙ උදවිය කණ්ඩායම් විදිහට බෙදිල ක්‍රීඩා කරන කිරිකැට් තරඟ වලටත් බොහෝ විට ප්‍රශාන්ත් එකතු වෙන්නෙ අපේ කණ්ඩායමට.
කණ්ඩගෙ සම වයසේ උන්න උපතින් හින්දු භක්තිකයෙක් උන මේ හාදයට ඔය කියන වංගියේ වයස 27-28 ක් විතර වෙන්න ඇති. තමන්ගෙ රාජකාරි කටයුතු සඳහා ලෝකෙ වටේ කරක් ගහල රටතොට දැකපු හාදයෙක් මිස ළිං ගෙම්බෙකුත් නෙමෙයි. නමුත් මේ හාදයගෙ පොඩි දුර්වලතාවයක් තිබුන මොකක් නමුත් මතයකට එළඹුනම ඒක කොයිතරම් මෝඩ උනත් තමන් කොයිතරම් වැරදි උනත් ඒ මතයේම එල්බගෙන ඉන්න. අපි හැමෝගෙම ඔය වගේ වැරදි තියනවනෙ, කාටද එහෙම ඒව නැත්තෙ.
දවල්ට කෑම අනුභව කරන අතරෙ අපි කාණ්ඩෙ සුපුරුදු පරිදි කයියක් දාගෙන ඉන්නව, මින් බොහොමයක් තරුණ ඈයො හන්ද ඔය කතා බහට වෙනුවෙන් කිරිකැට්/පුස්බෝල් මැච්, ආර්ථික, දේශපාලනික, ආගිය තැන් වල තොරතුරු ඉඳන් අහවල් ටීම් එකට අලුතෙන් ආව ගෑණු ළමයාගේ ඉඳන් HR එකේ අහවල් ඉටිකිරිස් කෙල්ලගෙ රිය සකයුරු පුළුලුකුලේ දිග පළලට වෙනකං සියල්ල අදාලයි.
දවසක් ඔහොම සෙට් වෙලා ඉන්නකොට ප්‍රශාන්ත් ලංකාවට ගිහිං ආව උන්දැගෙ සගයෙක්ගෙ ගමන් විස්තරයක් ඇදල ගත්ත. ලංකාවෙ සිරි විසිතුරු, තේ වතු වල ලස්සන, මුහුදු වෙරළේ අපුර්වත්වය, කට දන රහ කෑම බීම, (ඉන්දියාවට සාපේක්ෂව) පිරිසිඳුකම සහ මාර්ග නීති පිළිපැදීමේ හොඳකම වගේ දේවල් ගැන ලොකු විස්තරත් මේ හාදය බොහොම රහට කියාගෙන ගියේ තමන්ගෙ නේත්තරා දෙකෙන් දැක්ක වගේ. මමත් ඉතින් ඔය කතාවට අතරින් පතර හුමිටි තියමින් අතරින් පතර උල් පන්දම් දුන්නෙ මේ විස්තරේ පිට රැටියෙක්ගෙ කටින්ම පැතිරිලා යනකොට ඒකට තියෙන ආපක්ෂපාතී පිළිගැනීම වැඩි නිසා.
නමුත් ප්‍රධාන කෝස් එක ඉවර වෙලා අතුරුපස විදිහට සීතා, රාමා සහ රාවණා විතරක් නෙමෙයි හනුමවත් ඇදිල ආවෙ නොහිතපු විදිහට. ප්‍රශාන්ත් ගෙ යාළුව ගිහින් තියෙනව සීතා වෙනුවෙන්ම හදාපු දේවාලෙකට … ඒකට එන එවුන් සීතටයි රාමටයි පෙරලි පෙරලි වඳිනවලු … නමුත් එයිටත් වඩා ලොකු තැනක් රාවණාට තියෙනවලු ඒ නිසා උන්දැටත් වඳිනවලු. රාවණාට සලකන්නෙ දෙවියෙකුට වගේලු … මේං මේ වගේ අගක් මුලක් නොතේරෙන වයර් මාරු වෙච්ච ලොකු හෑල්ලක් මේ හාදය කියෙව්ව.
අර කලින් කරපු පුර වරුණාවත් හරි මේ කියන ගොං කතා ටිකත් හරි … ඔය වගේ වෙලාවල් වලට කට පියාගෙන ඉන්න බැරි කට කහන ගතියක් තියෙනවනෙ කණ්ඩටත් ඉතිං පශ්චාත් භාගයේ ඉත්තෑවො දුවන්න ගත්ත නිසා දෙන්නම් උඹට ජම්බූ කියල කොනක ඉඳන් හාර අවුස්සමින් ප්‍රශ්න අහන්න ගත්ත.
කණ්ඩා : උඹේ යාළුව මීට කලින් ලංකාවට ගිහිං තියෙනවද ?
ප්‍රශාන්ත් : නැහැ
කණ්ඩා : හරි එතකොට උඹේ යාළුව කොහොමද මේව ගැන ඔය තරම් විස්තර දන්නෙ ?
ප්‍රශාන්ත් : යාළුව එක්කගෙන ගියපු ගයිඩ් තමයි කියල තියෙන්නෙ, සීතා කෝවිලටත් එක්කගෙන ගිහින් පුජාවකුත් තිබ්බලු !
කණ්ඩා : කවුද එහෙම කරන්න කියල තියෙන්නෙ ?
ප්‍රශාන්ත් : ගයිඩ්ම තමයි කියල තියෙන්නෙ, ඒ විතරක් නෙමෙයි එතන සීතාව හොයාගෙන ආපු හනුම තියපු අඩි සටහන් පවා තියනවලු .. සෑහෙන හාස්කම් තියෙන තැනක්ලු !
කණ්ඩා : හාස්කම් කිව්වෙ ?
ප්‍රශාන්ත් : ළමයි නැති උදවියට එතන පුජාවන් තිබ්බම ළමයි හම්බ වෙනවලු ?
කණ්ඩා : ළමයි හනුමගෙද දන්නෙ නෑ ?
ඉතිං ඔහොම වැල් බයිලා ගොඩක් කියනකොට මට සාධාරණ සැකයක් ඇති උනා මුන්දැගේ යාළුව ගයිඩ් විදිහට එක්කරගෙන ගිහිං තියෙන්නෙ අර රාවණාව කරේ තියාගෙන දඬුමොණරේ හොයන පිස්සු දොස්තර මිරැන්ඩෝ ඔබේසේකරවත්ද කියල.
නමුත් තවත් ඩිංගක් හාරා අවුස්සනකොට නුවර එළිය, හක්ගල පැත්තෙ හක්කලන් ගැහුවයි කියාපු හන්ද මට තේරුණා ප්‍රශාන්ත්ගෙ යාළු හනුමන්ත ඒ කිට්ටුව සීතා එළිය කියන අහ තියෙන කෝවිලට තමයි ගිහින් තියෙන්නෙ කියල. මුලදි පාර අයිනෙ පොඩියකට අටවාගෙන ඉඳල පස්සෙ සල්ලි ගරන, දෙයියො බබ්බු ගෙනල්ල දෙනවයි මට්ටමට ආපු මේ කෝවිල හග්ගල පැත්තෙ ගිය උදවිය නම් දැකල ඇති.
සීතා කෝවිලේ පින්තූර :
ඉතින් මම පැහැදිලි කරා ඔය කිට්ටුව තියෙන හග්ගල උද්භිද උද්‍යානයට යන ගමන් මාත් ඔය කියන මහා බල සම්පන්නයි කියන සීතා දේවාලයට කිහිප වාරයක් ගිහින් තියන බව සහ ඔය කියන මහා ලොකු කිසිවක් එතන නැති බවත්. ඒ වගේම ඔය හනුමගේ අඩි සටහන් කියල මහා මිත්‍යාවක් ගොඩ නගන්න හදන වලවල් එතනින් ගලායන දිය පාරෙ සැරට ගල් තලාව මත ස්වභාවිකව හැදුන වලවල් බවත් දියඇලි නැරඹීමට යන උදවියට නම් එහි ඇති අරුමයක් නැති බව කිව්වත් ඒ සියල්ල බීරි අලින්ට වයපු වීනා හා සමාන උනා.
මේ මනුස්සයට මං කියන කිසිම දෙයක් විශ්වාස නැහැ, අර යාළු හනුම එක්කගෙන ගිය ගයිඩ් කියාපු බේගල් මත්තෙම එල්ලිලා නටනව. මං ඉතිං හිනාවෙලා ඇහුව ගයිඩ්ල කියන්නෙ වැඩිපුර ගානක් කඩා ගන්න ඕනෑම දෙයක් කරන උදවිය බව දන්නෙ නැද්ද කියල. මේ හාදය කවදාවත් මුණ ගැහිලා නැති කතා බහ නොකරපු ගයිඩ් කෙනෙක්ගෙ බේගල් විස්වාස කරනවා නම් තව මොනවා විස්වාස නොකරයිද ?
මගේ මෝඩ කමටද මන්ද ආයෙත් කිව්ව පොතක තිබ්බ පළියට, ගයිඩ් කෙනෙක්, පූසාරියෙක්, හාමුදුරු කෙනෙක් කිව්ව පළියට කිසිම පුරාවෘතයක් සත්‍ය වෙන්නෙ නැහැ … එහෙම වෙන්න නම් එය පුරා විද්‍යාත්මකව තහවුරු කළ යුතු බව. කණ්ඩ තව දුරටත් ප්‍රශ්න කරා අවුරුදු දහස් ගණනකට කලින් ලියූ සාහිත්‍ය කෘතියක් සපුරා ඇත්ත විදිහට කිසිම පිළිගත හැකි සාක්කියක් නැතිව බාර ගන්න එක විසි එක් වෙනි සියවසට ගැලපෙනවද කියල.
මේ කතාව ඔහොම ඇවිලිලා යනකොට රාමා-රාවණ කතා බහ ඔය කියනා තරමට ලංකාවේ ප්‍රචලිත නොවන බවටත් දැනට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ස්ථාන නාමයන් සහ ජනප්‍රවාද වසර සිය ගණනක් තිස්සේ නොයෙක්වර ඉන්දියාවේ සිට මෙහි පැමිණි රාජ දුතයින් සහ පිරිවර, ඉන්දියානු වතු කම්කරුවන්, වෙළෙන්දන් වැනි හින්දු භක්තිකයන්ගේ මනංකල්පිත විශ්වාස ඔස්සේ පැතිරුණ දේ බවටත් රාමායනය වෙනුවෙන් සාහිත්‍ය කෘතියක් ලෙස මිස ඔය කියනා තරමක වැදගත්කමක් ලාංකිකයන් පිරි නොනමන බවත් මේ හාදයා පිළිගත්තේම නැත.
නමුත් අවාසනාවට කොයිතරම් එලෙව්වත් පහනට ඇදෙන පළගැටියෙක් වගේ බොරුවක් පස්සෙම දුවන්නට උන මේ හාදයා හින්දු භක්තිකයන් විසින් රාම විසින් රාවණා පරාජය කිරීම සමරන නවරාත්‍රී, දුසේරා ලෙස හැඳින්වෙන උත්සවය හා සමානම අති විශාල උත්සවයක් රාවණා සමරමින් ලංකාවේ පැවැත්වෙන බවත් පවසන්නට යෙදීම නිසා කණ්ඩාගේ ඉවසීමේ ෆියුස් එක දැවී ගිය බව කියන්නට උවමනාය.
ඉතින් අකමැත්තෙන් උනත් කණ්ඩට යගදාව අතට ගත්ත හනුමගේ චරිතයට පණ පොවන්නට සිද්ධ උනා මිත්‍රවරුණි :
කණ්ඩා : ප්‍රශ්නයක් අහන්නං තරහ ගන්න එපා ප්‍රශාන්ත්, ඉන්දියාවෙ මිනිස්සු හැමෝම මළපහ කරන්න රේල් පාරවල් හොයන් යනව කියන්නෙ ඇත්තද ?
ප්‍රශාන්ත් : (බොහොම කෝපයෙන්) එහෙම නැහැ … ඒ අතිශය දුප්පත් හෝ මුඩුක්කු ඇති පළාත් වල විතරයි !!!
කණ්ඩා : හරි … හරි … ඉතිං තරහ ගන්න එපා කිව්වනෙ … ඒත් ඔයා කොහොමද ඒක හරියටම දන්නෙ ?
ප්‍රශාන්ත් : මම ඉන්දියානුවෙක්, මං මගේ රට ගැන දන්න නිසා
කණ්ඩා : හරියටම හරි … හැම ඉන්දියානුවෙක්ම මළපහ කරන්න රේල් පාරවල් හොයන්නේ නැහැ කියල ඔබ කියන එක මම පිළිගන්නව. මොනවා උනත් ඒ ඔයාගෙ රටනෙ, ඔයා මට වඩා ඒ ගැන දන්නව.
ඒ විදිහටම මාත් මගේ රට ගැන හොඳට දන්නව … ලංකාවෙ ඔය කියන ජාතියෙ රාවණා උත්සව හෝ සර්කස් නැහැ.
මොකද ලංකාව බෞද්ධ රටක් ඉන් 70% ක් බෞද්ධ, ඉතිරියෙන් 20% ක් විතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි 10 % ක් විතරයි හින්දු භක්තිකයන්. එතකොට ඔයා හිතනවද රාමා-රාවණ අදාලම නැති 90% ක් බහුතරයකට සීතා කෝවිල් ගානෙ බඩ ගාන්නයි රාවණා සමරන්නයි උවමනාවක් තියේවි කියල ?
ප්‍රශාන්ත් : (නොරිස්සුමින් කට හඬ බාල කර) නැහැ එහෙම වෙන්න විදිහක් නැහැ, නමුත් දැන් මේ ගැන කතා කරන්න වෙලාව නැහැ පස්සෙ කතා කරමු, අද බොහොම බිසී දවසක් !
අනේ ඉතිං මේ වෙලාවට තමයි හිතෙන්නෙ මටත් රාවණා වෙන්න තිබ්බනං කියල, එහෙනං කටවල් දහයකින් බැනල අත් විස්සකින් කනට ගහන්න පුළුවන් 😀
මතු සම්බන්ධයි !
ඉදිරියට කොටසින් රාම සේතුව සහ ඉන්දියානු වඳුරු හමුදාව
පසු ලිපි :
කොටින්ම ඉන්දියාවෙ මේ පුරාවෘතයට කොයිතරම් පිළිගැනීමක් තියෙනවද කියනවා නම් ඒ හා සම්බන්ධයි කියන ස්ථාන වන්දනාමාන කරන අයගේ පහසුව තකා ශ්‍රී රාමායන එක්ස්ප්‍රස් (Sri Ramayana Express) නමින් විශේෂ දුම්රිය සේවයක් පවා අලුතින් ආරම්භ කිරීමට නියමිතව තියෙනව.
එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම මේ කියන සීතා කෝවිල ගැන සමාජ ජාල සහ මුද්‍රිත මාධ්‍ය මගින් ජනගත කල අනේකුත් ප්‍රබන්ධ නිසා අද වන විට මෙය සංචාරකයන් අතර ප්‍රසිද්ධයි. රමායන එක්ස්ප්‍රස්හි එක් අදියරක් ලෙස ලංකාවට ගුවනින් පවා සංචාරකයො එනව මේ වෙනුවෙන්ම, ඉන් යම් ආර්ථික වාසි තිබුණත් තවත් අවුරුදු 100-200 කින් පස්සෙ මේ ප්‍රබන්ධ මොන ආකාරයට සමාජයට බලපාවිද කවුද දන්නෙ ? නමුත් මේ නිසා ජීවත් වන උදවියට මේක යස මුදල් ආකාරයක් බවට පත් කරගෙන තියන හේතුවෙන් මේ ප්‍රෝඩාවට විරුද්ධව කිසි හා හෝවක් නැහැ.
ඒ අතරම මේ අවට ප්‍රදේශ වලින් හමුවෙන “සීතා ගුලි” ලෙස හඳුන්වන ඛනිජ හෝ දිලීර කැටි විශේෂයක් අල්ලාගෙනත් ඒවායේ මේ ප්‍රබන්ධයටම ගාවගෙන එහි ඖෂධීය ගුණ ඇතැයි කියමින් තවත් නාඩගමක් නටනව.
මේ තරම් බල සම්පන්නයි කියල කියන රවණා ගැන ඔප්පු කරන්න ඒ තිබුනයි කියන අහසින් යන තාක්ෂණයෙන් පවා සන්නද්ධ සමෘධිමත් ශිෂ්ඨාචාරයේ එක ගඩොල් කැටයක් වළන් පිඟන් කෑල්ලක් හෝ අද වෙනතුරු හමු වෙලා නැහැ.
නමුත් මේ බව පිළිගන්න අකමැති හදවතින්ම ශ්‍රී ලංකික උදවිය අවුරුදු දහස් ගානකට කලින් ලියවුනු ඉන්දියානු සුරංගනා කතා සහ මෑත ඉතිහාසයේ නොයෙක් පිස්සන් ප්‍රෝඩාකාරයන් විසින් මවන්නට යෙදුන ප්‍රබන්ධ ඉහ මුදුනින් පිළි ගන්නව. රාවණාගෙ විමානය බස්සවපු තැනයි, ඒක හංගලා තියෙනවයි කියන රාවණාගේ මාළිගාවයි හොයාගෙන තැන් තැන් වල බඩ ගානව.
මුළු ලෝකයම ඉස්සරහට යනකොට අපි මිත්‍යාවන් ඔස්සේ පස්සට යනව, ඕකට තමා කියන්නෙ “අබුද්දස්ස කාලෙන කජ්ජෙන පුහුලං” කියල !
~ කණ්ඩා !
සැලකිය යුතුයි : ජායාරූප අන්තර්ජාලයෙන්
සැප්තැම්බර් 23, 2019 at 10:23 පෙ.ව.
fydo iemg l=uaNlraK biagehs,a we,ga tlla odf.k bkak uyd rdjKd;=ud .Eiais,d weyereKqodg iS;f.a msysfgka rdudf.a Od;= j,ska ,uhs yodf.k Wka bkaoshka ykquka;,d fufyg ima,hs fldrmq ncdca ;=ka frdao nhsisfudfgda uregs ldra ln,a gdgd f,drs ngafgda wfidla f,,kava f,drs niaj, ke.,d hk yegs oel,d osjs ky.kakjd
කැමතියිකැමතියි
සැප්තැම්බර් 23, 2019 at 10:24 පෙ.ව.
හොද සැපට කුම්භකර්ණ ඉස්ටැයිල් ඇලට් එකක් දාගෙන ඉන්න මහා රාවණාතුමා ගෑස්සිලා ඇහැරුණුදාට සීතගේ පිහිටෙන් රාමාගේ ධාතු වලින් ලමයි හදාගෙන උන් ඉන්දියන් හනුමන්තලා මෙහෙට සප්ලයි කොරපු බජාජ් තුන් රෝද බයිසිමොටෝ මරුටි කාර් කබල් ටාටා ලොරි බට්ටෝ අසොක් ලෙලන්ඩ් ලොරි බස්වල නැගලා යන හැටි දැකලා දිවි නහගන්නවා
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 23, 2019 at 1:37 ප.ව.
ඒකට නම් තනිකරම වග කියන්න ඕන ඉදිරි දැක්මක් නැති ආණ්ඩුව, මිනිස්සුන්ට දරන්න බැරි බදු රෝද හතරේ ඒවට පැටෙව්වම මිනිස්සු දරන්න පුළුවන් මේ දරහැවවල් පස්සෙ දුවන එක අහන්නත් දෙයක්යැ ?
කැමතියිකැමතියි
සැප්තැම්බර් 23, 2019 at 11:25 පෙ.ව.
මේ දවස්වල රාවණාවාදීන් රාවණාගේ ලෝකපාලනයෙන් ඔබ්බට ගිහින් ඉන්නෙ.
රාවණාගේ අඟහරුලෝකෙ තියන න්‍යෂ්ඨික ආයුධ ස්ටොක්පයිල් එක ගැන විද්‍යාත්මක ලියවිලි පල කරනවා. ඉඳල හිටල මෙහෙ ගල්ගුහා දොරවල්වල තියන ෆින්ගර්ප්‍රින්ට් ලොක් ගැනත් තාක්ෂනික ලිපි තියනවා.
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 23, 2019 at 1:39 ප.ව.
අඟහරු ගඩොල් හොයාගත්ත රටේ ඕවත් වැඩද ? තව ටික දවසකින් රාවණාව රාජපක්ෂවරුන්ටත් ආඳල මොනවා හරි ගොතාවි .. සමහර විට දැනටමත් ඇති 🙂
කැමතියිකැමතියි
සැප්තැම්බර් 24, 2019 at 6:30 පෙ.ව.
සැප්තැම්බර් 13-14-15 දවස්වල මන්දාරම් නුවර ගියාම, කඩයක මහත්තයෙක් එක්ක කතාවකට වැටුණා, ඒකෙන් රොටියක් කන ගමන්. මං ඉතින් තොරතුරු හොයාන මනුස්සය නිසා එහෙන් දැනගත්තා රොටියට හදලා තිබුණු කොළපාට ලුණුමිරිස ගැනත්, ඒකට දාලා තිබුණු දේශීය ඔසු පැළ වර්ග කිහිපයක් ගැනත්. එකක් ‘ඔඩිතාරම්’. මිංචි පවුලේ ශාකයක්. (පැලයක් ගෙනැවිත් හිටෙව්වා, දැනට නම් ඒක නිදුකින්.)
ඒ ගැන අහපු නිසා වෙන්නැති, ඒ මහත්තයා ඔබ කියා ඇති සීතා ගුලියකුත් අපට පෙන්නුවා. ඔසු ගුණය කොහොම වෙතත්, ඒක ටිකක් අසාමාන්‍යයි. පිටතින් කළු පාට වුණාට වුණාට ඇතුලෙන් පැණි පාටයි, හරියට රුලං – කඩල පිටි මිශ්‍රණයක් වගෙයි.
වැදගත්ම දේ ඒ මහත්තයලගේ කට්ටිය විතරයිලු එහෙ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් (guide) විදිහට ඉන්නේ,
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 24, 2019 at 2:25 ප.ව.
ලියාපදිංචි බොනිකර තරැකාරයොද දන්නෙ … ඔය හරියෙ එවුං සල්ලි වලට කෑදරකමට ඔය බොරැව කරනව
කැමතියිකැමතියි
සැප්තැම්බර් 27, 2019 at 3:01 ප.ව.
මම හොඳ පොතක් ගත්ත මේ පාර ගිය වෙලාවේ. The Line of Lanka . රාවනා කතාව ගැන වඩා හොඳ විස්තරයක්. මම මේ පාර ගහපු පොතේ ලුණුගල රාවනා ගුහාව ගැන පොඩි සඳහනක් තියනවා. රාවණා කියල රජ කෙනෙක් හිටි බවට මම විශ්වාස කරනවා. නැත්නම් නම් හැදෙන්න විධිහක් නැති නිසා. එතැනින් එහාට කන්ඩ කිව්වා වගේ පුර විද්‍යා සාක්කි නැතිව මුකුත් විශ්වාස කරන්න බැහැ.
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 1, 2019 at 10:47 පෙ.ව.
ඔව් ඒක වෙන්නත් පුළුවන් … නොවෙන්නත් පුළුවන් නමුත් වර්තමානයේ සමහර පිස්සො සමාජගත කරන සුරංගනා කතා වලින් එහෙම කෙනෙක් හිටියත් ඒ පුද්ගලයා ගැන හෑල්ලුවකට ලක් වෙන එක විතරයි වෙන්නෙ. මම ඒකට කැමති නැහැ 🙂
කැමතියිකැමතියි