කණ්ඩත් ඉතින් කොහොමෙන් කොහොම හරි බ්ලොග් කට්ටක් අටවා ගත්ත, කණ්ඩ ලිව්ව කිව්වට ඉතින් කණ්ඩ හාමිනේ තමයි මේක ගොඩ දාන්න සෑහෙන්න දරදිය ඇද්දේ !
*** සැලකිය යුතුයි : කණ්ඩගේ මායියට එහෙම නැතිනම් වයිපරේට “කණ්ඩි” යනුවෙන් ඇමතිය නොහැක, එහෙම උනොත් කාල හමාරයි !
ඇයි දැන් මාවත් ඇල වෙච්ච කණ්ඩියක් ගානටද පෙන්නේ (^^&%$ ??? මායියා පුපුරා හැලෙනවා මට මැවිලා පෙනුන !!!) එක හින්ද ඔං දරන තානාන්තරය අනුව හාමිනේ කියල තමයි දාන්නේ !
***
හැබැයි ඉතින් කණ්ඩගේ අතීසාර… අතිජාත… පජාත… මිත්තරයෝ ටික බ්ලොග් කට්ට ගැන තවම වංහුං වැඩිය දන්නේ නෑ …
ඔං ඉතින් කණ්ඩ හිතුව බ්ලොග් කට්ට ගැන ෆුල් එනවුන්ස් පාරක් දෙන්න ඕනේ කියල !
කොරන්න පුළුවන් වැඩ කල්පනා කොරන කොට නම් වක්කඩ කැඩුව වගේ රටෙත් නැති අයිඩියා ගලාගෙන එනවා !
ඔලුවට ආපු පළමුවෙනි අදහස තමයි තාප්ප, ලයිට් කණු වැහෙන්න තඩි පෝස්ටර් පාරක් ගහල, රෝද තුනක හරි වෑන් කට්ටක තඩි ලවුඩ් ඉස්පීකර දෙකක එහෙම අටවගෙන ගම වටේටම යන එක !
කණ්ඩ දැන් ඉන්නේ ඔටුවගේ රටේ කියල මතක් උනේ එතකොට, ඒක හරි යන වැඩක් නෙමෙයි, ලත් තැනම ලොප්… ලවුඩ් ඉස්පීකර වැඩේ ඇත ඇරලා දැම්ම.
එකෙත් හැටි කණ්ඩ ඔටුවොත් එක්ක, කණ්ඩගේ පාපග්රහයෝ වගේ හිටපු මිත්තරයෝ ටිකත් කරදිය වළල්ල හතර වටේම විසිරිලා !
මේ වැඩේ ගොඩ දාන්න ඕනේ නම් මීට වඩා හොඳ විදිහක් හොයා ගන්න ඕනේ නැත්නම් ඉතින් කණ්ඩට බ්ලොග් ලියන්න වෙන්නේ කණ්ඩගේ ගෙදර උදවියට කියවන්න විතරයි !
අන්තිමට කණ්ඩ ඔලුව කහ කහ පැත්තකට වෙලා ඉන්න කොට කණ්ඩ හාමිනේ ඇවිත් මැද්දට පැන්න මොකෝ මේ ??? කණ්ඩ මුල ඉඳන්ම වැඩේ කිව්වා !
අයියෝ…. ඕකට ඔච්චර අහස පොලව ගැටලන්න කල්පනා කරන්න ඕනය ෆේස්බුක් පිටුවක් හැදුව නම් ඉවරයිනේ !
කණ්ඩ හාමිනේත් ඉතින් ඉට් (IT) කොරපු ඉස්තිරියා රත්නයක් හන්ද මොන දේට හරහට හිටියත් මීටරේ හොඳට වැඩ !
කණ්ඩත් ඉතින් අන්තිමට තීරණය කරා ෆේස්බුක් පිටුවක් හදල බ්ලොග් කට්ටට අමුණන්න.
ඔන්න ඉතින් ෆේස්බුක් පිටුවත් හදල බ්ලොග් එකේ තිබ්බ සබ්බ සකල මනාවම ඒකටත් එබුවා කියමුකෝ, දැන් ඉතින් මේකට එකතු වෙලා ලයික් එකක් ඇනල යන්න අනිත් අයට ආරාධනා පත්තර දාන්නත් එපායැ !
ඒ පාර ගොහින් බැලුව මිත්තරයෝ ලැයිස්තුව හප්පේ මේක ලැයිස්තුවකට වඩා පැදුරක් කිව්වොත් හරි. මේකේ ඉන්න සමහර උන්ව මට මතකත් නැහැ, ඒ පාර ඔක්කොම පැත්තකින් තියල තණකොළ වල් පඳුරු වලට දුන්න සම්පූර්ණ සුද්දයක් !
දැන් හරි ඉන්න ඔක්කොටම එක පාර ආරාධනා කරලා දාන්න ඔන්න එතකොට ලේසියි, මේ මොන ලබ්බක්ද.? ලබූ ගෙඩියක්ද ? (නිසි බලධාරිණිය – කණ්ඩා හාමිනේ විසින් කපා හරින ලදී)
හැම ඉන්වයිට් එකක්ම වෙන වෙනම ඔබන්න ඕනේ. මොනවා කරන්නද මේක හදපු එකාගේ සනුහරේම සිහි කරලා එකින් එක ඇස් දෙක වහගෙන කොටන්න ගත්ත.
හපෝ…යි … මළකෙලියයි මේකේ ඉන්නවනේ හිංගල අකුරක් තියා සිරි ලංකාව තියන තැනවත් දන්නේ නැති පිටරටවල උදවිය…!
බාගයක් විතර කෙටුවට පස්සේ තමයි ඒක සිහි උනේ ! දැන් පරක්කු වැඩියි … හිකිස්…. මුන් හිතනවා ඇති මට හොඳටම පිස්සු කියල.
හම්මේ … ඒ වැඩෙත් අහවරයි …! හ්ම්… ඉවරයි කියල හිතුවට ඉවරම නෑ … මෙන්න හැරෙන තැපෑලෙන්ම පණිවිඩයකුත් ඇවිත් ! ආ … මේ ඔටුවගේ රටේ අල්ලපු වත්තේ (Oman) ඉන්න ටිකක් දන්නා හදුනන කෙනෙකුගෙන්නේ !
මෙන්න මුන්දැ පිටට හීනියට තට්ටුවකුත් දාල කොච්චි මිරිස් කියල බ්ලොග් කට්ටකුත් අමුණලා එවල.
ඈ … බොලේ එතකොට බලාගෙන යනකොට මූ නේ කොච්චියා. මම කොච්චියාගේ ලියුං කියුං කලකට උඩදී දැක්කත් කොච්චියා කවුද කියල දැනන් උන්නේ නැහැ.
කණ්ඩට කොච්චියාව මුලින්ම හම්බ උනේ කටුනායක පැත්තට කිට්ටු වෙන්න හිටපු පරණ කන්තෝරුවේ මිතුරෙක් වෙච්ච ජනාගේ මාර්ගයෙන්.
ජනා නම් මේ දවස් වල කැන්ගරුවන්ගේ දේසෙට වෙලා ජයට වැඩ, කතා කරපු කාලයක් මතකත් නැහැ, හැබැයි කොච්චියා නම් කණ්ඩ වගේම කර දිය වළල්ල පන්නල ඔටු දේසෙට ගොඩ බැහැල.
ඒ දවස් වල කොච්චියා තමන්ගේම කියල දෙයක් කරන්න බොහොම අසාවෙන් හිටපු එකෙක්, මට මතක විදිහට අන්තර්දැල් වියන උදවියට උදව් කරන “වෙබ් හොස්ටිං” වියාපාරයක් බොහොම උනන්දුවෙන් කරා !
උඹල දන්නා කියන වෙබ් හොස්ටිං ඕන කෙනෙක් ඉන්නවා නං කියපන් හොඳේ … අඩුවට වැඩේ ගොඩ දාල දෙන්නම් ! අපිටත් නිතරම කියනවා.
කිසි අවුලක් නෑ, ඕනම දෙයක් තියනව නම් මට කියපන් ! කොච්චියාගෙන් ගැරන්ටියකුත් හම්බ වෙනවා.
මුන්දැගේ උනන්දුව කොහොමද කියනවනම් වත්තේ පොල් කඩන මාටිංට හරි පාරේ දුවන බස් එහෙක කොන්දොස්තර මහත්තයෙකුට උනත් පුළුවන් නම් වෙබ් සයිට් එකක් හදල හරි වෙබ් හොස්ටිං විකුණනවා …
කාලය ගත වෙලා යනකොට රාජකාරි වැඩ … රාජකාරි ඉවර වෙලත් නයිට් පන්ති වලට දුවන මගේ කාල හටන් එක්ක වැඩිය ආස්සරේ කරන්න ඉඩ කඩ හම්බ උනේ නැතත් කොච්චියා හිත හොඳ එකා.
ඔය හින්දම තමයි මුන්නැහේගෙ පරණ නෝනා මහත්තැන්ගේ එඩියුකේෂන් ලෝන් පත්තරේකටත් දෙපාරක් හිතන්නේ නැතිව අස්සනක් ගහල දැම්මේ.
අලුත් නෝනා මහත්තැන්ව නම් හම්බ වෙලා නැහැ , එකනේ එයාට අලුත් නෝනා කියල කියන්නේ !
කොච්චියා රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගියා කියන හින්ද (ඉස්කෝලේ හිටියට ඇත්තටම ඉගෙන ගත්තද ? කියල එහෙම නම් ඔං අපෙන් අහන්ට එපා) කොච්චියා අපේ කාර් පිස්සව අඳුනනවද මන්ද ? හම්බ වෙච්ච වෙලාවක අහල බලන්ට ඕනේ…. (කාර් පිස්සව දැන හදුනා ගත්තේ බොහොම මෑතකදී නමුත් උන්දැගේ ලියුං කියුං වලට නම් කණ්ඩා බොහොම මනාපයි)
කණ්ඩා ඉගෙන ගත්තෙත් කොච්චියාගේ සුදු අයියාගේ පාසලේම තමයි. කොච්චියාගේ සුදු අයියා කළුද සුදුද කියා නොදන්නාමුත් කොච්චියාගේ පාසලේ කොල්ලන්ට පාසල් බස් රථ පුරවන් ගොස් දුවන්ට පාර මදි වෙන්ට නෙලාපු හැටි කියන හෝමර්ගේ ඉලියඩ් වලට එහා ගිය වීර කාව්‍ය කණ්ඩාද අසා ඇත.
හැබැයි කණ්ඩාගේ වැඩිහිටි පාසල් සමය අතර තුරදී නම් ඒ වගේ යුද සංග්රාම තිබුන වගක් නම් කණ්ඩාට මතක නැත. හැබැයි එක වාරයක් කොච්චියාගේ පාසලට අල්ලපු පාසලේ සහෝදර කැලගෙන් ඇඟපත හැදෙන්න හොඳ තෙල් සාත්තුවක් කණ්ඩාගේ පාසලේ හිත මිතුරන්ට හම්බ වෙච්ච විදිහ නම් මතකයේ ඇත !
අනික අර වක් පොල්ල අරන් බෝලෙකට කෙලින සෙල්ලම (Hockey) කරන්න යන එන ගමන් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ බෝඩිමට වෙලා එකට කාපු බීපු හැටි විවේක ගත්ත හැටි වගේම එහි නවාතැන් ගෙන සිටි-නොසිටි යහළුවන්ද කණ්ඩාට ඒමට ඇත.
ඒ කිසිම දේකට පාසැල අපිට බාදාවක් උනේම නැත, ඊට අමතරව ඒ බෝඩිමට අපිට අමතරව තව උදවියත් රැයක් දවාලක් නොබලා ඉඳහිට ආගිය වග බොහොම ප්‍රසිද්ද රහසක්.
දැන් නම් අවුරුදු දහයක් දොළහකින් විතර කොච්චියා මුණ ගැහිලා කතා බහ කරන්න හම්බ උනේ නැහැ, පස්සේ දවසක අල්ලපු රටට ගිය ගමන් පරණ ඇරියස් කවර් කරන්න බැරුවැයි !
~ එහෙන නං ඉතින් ආයෙත් හම්බ වෙනකන් කොච්චියාට ආයිබොං කිව්වා !
ඔක්තෝබර් 3, 2016 at 10:08 ප.ව.
ආනන්දේ හොකී ගැහුවා නම් , දමිත් සේනාදීර , තාරක දන්නවා ඇතයි සිතමි
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 8, 2016 at 7:09 පෙ.ව.
නැතුව නැතුව… හැබැයි කාලෙකින් හම්බ උනේ නම් නැතුවා … එකෙක් යුරෝපාකරේ අනිකා… සිරි ලංකාවේ …කණ්ඩා ඔටුවොත් එක්ක…. ඉතින් කොහොම හම්බ වෙන්ටද ?
ආයෙමත් හම්බ උනොත් ඉතින් වක්පොලු මහා තරඟයකදී තමයි ! 😀
කැමතියිකැමතියි
ඔක්තෝබර් 8, 2016 at 2:33 ප.ව.
දමිත් මගේ කැම්පස් ටීම් එකේ කැප්ටන් 2007 . අපි චැම්පියන්ස් ඒ පාරත්
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 9, 2016 at 9:01 පෙ.ව.
ඌ මොලේ තියන හිත හොඳ එකා!, හැබැයි ඔං අපි කිව්වා කියල එහෙම කියන්න එපා 😀
කැමතියිකැමතියි
ඔක්තෝබර් 4, 2016 at 5:24 පෙ.ව.
ඔය ලියලා තියෙන්නේ කොච්චියා ගැන. කණ්ඩාගේ අකුරු ටික රසවත් වගේම සමකාලීනයො වෙච්චි අපි හැමෝගෙම ජීවිත වල කොටසක් වගේ දැනෙනවා.දැන් මමත් ලියන්න ගත්තා කණ්ඩා මුණ ගැහුනු හැටි වගේම ජනා සෙට් වෙච්ච හැටිත්.
කොච්චියා තාමත් වෙබ් හොස්ටින් කරනවා. පොඩ්ඩක් ක්‍රමවේදය වෙනස්.හීන ඔක්කොම තාමත් එහෙමමයි.නමුත් සමහර හැලහැප්පීම් එක්ක බ්රේක් ගහලා වංගු අරගෙන යූ ටර්න් පවා ගන්න වෙච්ච වාර ජීවිතේ අන්තිම අවුරුදු හය හතේ අනන්තයි.
උඹට මතකද මන්දා අර රුවන්ගෙ වෙඩිමට කීප දොහකට උඩදී බම්බලපිටියේ සෙට් වෙච්ච දවස.එදා උඹත් හිටියා නේද?
කැමතියිකැමතියි
ඔක්තෝබර් 7, 2016 at 9:10 පෙ.ව.
මොකෝ නැත්තේ කාල බීල සතුටු වෙච්ච තැන් කොහොම අමතක කරන්නද ? ජීවිතේ ඔහොම තමයි බන් ! අපි කොච්චර ප්ලෑන් ගැහුවත් වංගු අහු වෙනවම තමා !
කැමතියිකැමතියි
ඔක්තෝබර් 4, 2016 at 4:57 ප.ව.
Wow Ranga,. u have absolutely amazing writing skill. Now I’m also fan of your blog. Waiting eagerly to read upcoming things. Great job. Keep it up…..
Lanka
කැමතියිකැමතියි
ඔක්තෝබර් 5, 2016 at 10:02 පෙ.ව.
Thank you for your kind words Lanka ! I appreciate your feedback very much.
කැමතියිකැමතියි
ඔක්තෝබර් 11, 2016 at 1:06 ප.ව.
ඔයත් පටන් ගත්තද මෙයාට හොදය් කියන්න…. මම ඉවරය්….
කැමතියිකැමතියි
අප්‍රේල් 5, 2017 at 4:07 පෙ.ව.
කන්ඩාට බ්ලොග් එකක් තියෙනවා කියලා දැන ගත්තේ ඊයේ. ගූගල් ප්‍රොෆයිල් එකෙන් ගියාම මොනවත් නෑනේ. පස්සේ තමයි මේක අහු වුණේ. මටත් දැන් කෙළවරක ඉඳන් කියවන්න වෙනවා. 🙂
කැමතියිLiked by 1 person
අප්‍රේල් 5, 2017 at 5:34 පෙ.ව.
කම්මැලි කමට ඉන්න එකේ කුරුටු ගාන්න මාත් අටව ගත්ත එකක් 👍
කැමතියිකැමතියි