hanthana-range-from-far

හන්තාන සිහිනය සහ උඩරට සිරි පිරි කොණ්ඩගල !

කණ්ඩා මැද පෙරදිගටම කඹුරා හති වැටී බොහෝ කල්ය … දෑවුරුද්දක කාලයකට සැලසුම් කල එතෙර රැකියාවට එළඹෙන බක් මාසය වන විට දස වසරකි !

මැද පෙර දිග සේවයේදී ඇති වන විවිධාකාරයේ දැන හැඳිනුම්කම් බොහොමයකි, නමුත් මේ හිත මිතුරුකම් සමාන කල හැක්කේ උදැසන බස් නැවතුම් පොලකදී ඇතිවන් දැන හැඳිනුම් කම් වලටය …

සියලු හිත මිතුරුකම් බසය එන තුරු පමණි, එනයින් බලනා කල මුළු මැද පෙර දිගම විශාල බස් නැවතුමකි … යන එන මගීන් මිස ස්ථිර පදිංචිකරුවෝ නොමැත !

එනිසා අන් බොහෝමයක් දෙනා හට මෙන්ම කණ්ඩා හටද ඔටුවන්ගේ රටේ වාසය කිරීම පවුලේ උදවිය සහ සැබෑ නෑදෑ හිත මිතුරන්ගෙන් බෙහෙවින් දුරස්ත වූ හුදෙකලා ජීවිතයකි …

ඔටු දේශයේදී  මිල මුදල්, යාන වාහන මෙන්ම කැමැත්තක් කිරීමට නිදහසද ඇති පදම තිබුණත් ඒ ජීවිතය නොවේ !

ඒ අතරම හිතන්නට ඉස්පාසුවක් ඉතිරි නොකර කිසිවෙකු වෙනුවෙන් නොනැවතී කාලය ගලා යන්නේය … ඉතින් රැකියාවට ආයුබෝවන් කියනා දවසට සියල්ල අකුලාගෙන ආපසු හැරීම හැර වෙනත් විකල්පයක්ද නැත්තේය !

කණ්ඩා රටේ ලෝකෙට ලොකු ලොකු ව්‍යාපෘති කළමනාකරණය කලත් තමන් වෙනුවෙන් කලයුතු තමන්ගේ දේ බාලගිරි වැළඳුනා සේ දිනෙන් දින පසු බසින්නේය …

එවන් පසුබිමක මෙවර කණ්ඩා සිරි ලංකාවට පැමිණි ප්‍රධානතම අරමුණ තමන්ගේම කියා ගෙයක් දොරක් සාදා ගැනීමේ කර්තව්‍යයට මුල පිරිමටය !

එදිනෙදා අවුල් වියවුල් සියල්ලෙන්ම මිදී නිවී සැනසිල්ලේ නිවාඩුව ගත කිරීමට ඉස්පාසු ඇති තැනක් හදා ගැනීම කණ්ඩා සහ හාමිනේ බොහෝ කාලයක් තිස්සේ දුටු හීනයකි …

සිරි ලංකාවේ නිවෙසක් තැන ගැනීම පවුලේ උදවියටගේ උදක්ම සතුටට හේතු වූ නමුත් මේ ගැන දැන ගත් බොහෝ මිතුරන් විමසුවේ :

බොලාට පයිත්තියන්ද ?

බොලාට වෙන යන්න කියන්න රටක් ඇත්තේම නැතිද ?

බොලා දෙන්නව එහෙන් එලෙව්වද ?

හැබෑට එහේ සල්ලි නාස්ති කරන්නට වෙන හොඳ විදි ඇත්තේම නැතිද ?

කියාය …

සිරි ලංකාව ගැන පසු ගිය අවුරුදු කිහිපය පුරාවටම හිත කලකිරවන බොහෝ දේ ඇසූ දුටු බැවින් කණ්ඩාටද මේ පිළිබඳව විචිකිච්චාවක් නැතුවාම නොවේ …

නමුත් ලොව වටා කොපමණ සුන්දර තැන වල ඇවිද්දත්, කොපමණ දියුණු රටවල් වල සෞභාග්‍යය අත් වින්දත් තවම සිරි ලංකාව දමා යාමට හිත හදා ගත නොහැක්කේ කණ්ඩා පුරුවේ කල පවකට හෝ කාලකන්ණි කමටම විය යුතුය 🙂

හැබෑවටම ගත් කල සිරි ලංකාව ලෝකෙන් උතුම්ම රට නොවේ … ඔය කවුරු කවුරුත් පාරම්බාන හැටියට පින් බිමකුත් නොවේ  … කොහෙත්ම ලොව දියුණුම රට නොවේ … මේ අත්විඳින පරිසරය විනාසය හමුවේ තව වැඩි කාලයකට සුන්දර රටක්ද නොවේමය … නමුත් මොකද්දෝ කරුමයකට මේ මගේ රටය !

ඇඟ පුරා උඩු දුවපු ඒ හැඟීම ගලවන්නට අමාරුය, එනිසා කවුරුන් මොනවා කියුවත් නැවත සිරි ලංකාවට ස්ථිර පදිංචියට පැමිණීම කණ්ඩාගේ එක දීර්ඝ කාලීන පිස්සුවකි.

මේ පිස්සුවට බෙහෙත් නොමැති බව කල් තියාම තේරුම් ගත් හාමිනේද මේ ගැන කන් කෙඳිරි ගෑම අත් හැර දමා බොහෝ කල්ය …

කණ්ඩාගේ මේ පිස්සුව අන්තිමට නතර වන්නේ පසුගිය වසරේ පේරාදෙණිය – හිඳගල ප්‍රදේශයෙන් හරිහමන් පාරක් තොටක් පවා නැති හද්දා මූකලානකින් ඉඩමක් මිලදී ගැනීමෙනි.

කණ්ඩාගේ හිත මේ ඉඩම වෙත ඇදී යාමට බලපෑ හේතු කිහිපයක්ම විය, මේ හද්දා මූකලානට කොළඹින් ඇති දුරස්තර බව, ඈතින් දිස්වන හන්තාන අඩවිය මෙන්ම ඉඩම මායිමකින් ගලා බසිනා දිය පහරද මෙයට ප්‍රධානය …

කණ්ඩලෑ පවුලේ පිරිවර වැලිපිල්ලෑවෙන් පිටමං වූ දා පටන් ගෙදරින් එලියට බැස අත පය හිරි ඇර ගැනීමට හරිහමං ඉඩකඩ ඇති තැනක් තිබුණේම නැත …

කුඩා කල සිට හැදුන වැඩුන වැලිපිල්ලෑවේදී තරම නිදහසක් අන් කොතැනකදීවත් කණ්ඩා භුක්ති විඳ නැත්තේය.

අපගේ පවුලට බෙහෙවින් හිතවත් වූ අසල්වැසියන් ගැන මෙන්ම පරිසරය ගැනත් කණ්ඩා අදටත් සිහිපත් කරන්නට දැඩි කැමැත්තක් දක්වන්නේ එනිසාමය…

ආපසු වැලිපිල්ලෑවට පදිංචියට යාමට නොහැකි උවත් වැලිපිල්ලෑවේ අඩු පාඩුව හිඳගල ඉඩමෙන් මැකෙනු ඇති බව සහ ඔටුවගේ රටේද කාමර දෙකකට කොටු වී සිටිනා ජිවිතයට ඉඳහිට හෝ අස්වැසිල්ලක් ලැබෙනු ඇති බව උදක්ම කණ්ඩාගේ පැතුමයි.

කණ්ඩා බෙහෙවින් ඇලුම් කරනා හිඳගල වත්ත එක්තරා ආකාරයක සත්ව උද්‍යානයකි, වල් ඌරන් විසින් බිම හාරා වැනසූ තැන්, වත්ත පුරා තැනින් තැන විසිරී ඇති ඇති මුවන් සහ සාවුන්ගේ වසුරු මෙන්ම කලාතුරකින් දක්නට ලැබෙන ඉත්තෑ කූරුද නැතිවා නොවේ … **

** ඕං කිව්වා කට්ටිය කෙළ ගිල්ලාට වැඩක් නැත, මේ අහිංසක සතුන් දඩයම් කිරීම ගැන කණ්ඩාගේ කිසිඳු අදහසක් හෝ මනාපයක් නැත්තේය … **

අලුත් වත්තට අපේය කියා ඔප්පු තිරප්පු තිබුණත් තවමත් ඇතැම් ප්‍රදේශවාසීන් මේ ඉඩම තම පුද්ගලික පාර්ලිමේන්තුවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දේපලක් ලෙස හරක් ගාල් කිරීම සඳහා භාවිත කරන්නේය …

තමන්ට කැමති ආකාරයෙන් කිට්ටුව පාත තැන් වලින් අඩි පාරවල් හදා ගැනීම, අනුන්ගේ වතුවලට හරක් දැක්කීම, හොර පොල් කැඩීම කොළඹ පළාතේ කෙසේ උවත් ගම්බද පළාත් වල සිදු නොවන දේවල් නොවේ …

මහා පරිමාණ පට්ටි ලෙස පවත්වා ගෙන නොයන කුඩා පරිමාණ හරක් හිමියන් ගේ ලොකුම ගැටලුව හරක් සඳහා ආහාර සපයන තණ බිම් සීමිත වීමයි.

වෙනත් විකල්ප නොමැති කල කාගේ හෝ වත්තකට හරක් පැන්නීම ගම්බද සම්ප්‍රදායයි … වත්ත අයිතිකාරයා ගෝරි දැමුවද, අර කිතුලට ගිය එකාට මෙන්ම මොවුන්ටද නිදහසට කාරණා උවමනා තරම් ඇති හෙයින් කිසිඳු ගැටළුවක් නැත්තේය …

ඉස්සර එකෝමත් එක කාලයක කණ්ඩා වැලිපිල්ලෑවේ වසනා දවස, ඒ අවට සිටි හරක් හිමියන් අප වත්තේ හරක් බැඳීම නිබඳවම සිරිතක් ලෙස සිදු කල නමුත් ඒ පෙර අවසරය ඇතිවය …

වතු පාලු නොවන සේ හරකුන් හයි හත්තිය ඇති ගසක ගැට ගැසීමට ඔවුන් වග බලා ගත් බැවින් දෙපාර්ශවයටම කිසිඳු අලාබ හානියක් ඇති නොවීය …

අනෙක වත්තේ හරක් බැඳීම අප හටද බෙහෙවින් වාසිදායකය ඒ වත්තේ තණකොළ වැඩීම බාල වනවා සේම ගොම පොහොරින් වත්තද සරු වන නිසාය …

එනිසා හිඳගල වත්තේ හරක් බැඳීමට ඉඩ හැරීම පිළිබඳව කණ්ඩාගේ තදබල අකමැත්තක් නොතිබුණත් පොඩි කොස්සකට තිබුණේ එමගින් වත්තේ අධික ලෙස හෝහපුටුවන් සහ කූඩැල්ලන් බෝවීමයි  …

**කණ්ඩා හාමිනේට මදුරුවන් සහ හෝහපුටුවන් සහලෝළ ලෙස ඇලර්ජික් වන අතරම උන් සමග බරපතල ආරෝවක්ද ඇත්තේය …

හාමිනේ මදුරුවන් සහ හෝහපුටුවන්ට වඩා අප්‍රිය කරනා , වෛර කරනා තවත් සතුන් වේ නම් ඒ බුරුතු පිටින් නළියන සිඟිති සුරතල් කූඩැල්ලන්ය !  **

අන් උදවියට මෙන් නොව හාමිනේ හට මදුරු දෂ්ට කිරීම් දැඩි ආසාත්මිකතා ඇති කරන අතර කොහේ ගියත් මදුරුවන් ඇතිනම් එතැන නිවී සැනසිල්ලේ සිටීමට අපහසුය …

හෝහපුටුවන් එයිටත් අරහංය, කෑ විගසම සම ඉදිමී විශාල පලු මතු වීම මෙන්ම ඒ මත හට ගන්නා කැසීම නතර වන්නේ තුවාලයකිනි …

පසු ගිය වසරේ සිංහරාජ වනාන්තරයේ කන්නෙලිය රක්ෂිතයට ගිය ගමනේදී නොසෑහෙන්න හෝහපුටුවන්ගෙන් බැට කෑ හාමිනේ ආපසු එනතාක් කණ්ඩාට ආඩපාලි කිව්වේය …

හාමිනේට අනුව නම් කණ්ඩා හිඳගල පදිංචියට යාමට දඟලන්නේ පරණ තරහක් පිරිමසා ගැනීමටය … ඒ සම්බන්ධයෙන් කණ්ඩා අහිංසකය, පරණ තරහවල් දන්නේ ගැන දන්නේ තරහා වූ උදවියම පමණි …

ඉතින් වත්තේ හරක් බඳිනා තුරු හෝහපුටුවන්ගෙන් අඩු පාඩුවක් කොහෙත්ම නැත …වත්තට ගිය සෑම විටම හරක්ට අමතරව හෝහපුටුවන්ගේ ප්‍රියතම අහාරය කණ්ඩා හාමිනේ වන නිසා කණ්ඩා හට හෝහපුටුවන්ගෙන් වහං උනත් හාමිනේගෙන් ගැලවිල්ලක් නැත …

wearable-mosquito-suitමදුරුවන් පලවා හරිනා ආලේපන කොතෙකුත් වෙළඳපොලේ ඇති අතර එයින් කිහිප වර්ගයක්ම අත්හදා බලා ඇති නමුදු එම ආලේපන සියල්ලක්ම පාහේ මදුරුවන් පැන්නුවත් හෝහපුටුවන් ආකර්ෂණය කරන්නේය.

එනිසා ඉඟුරු දී මිරිස් ගන්නවා වැනි මේ ආලේපන භාවිතය විසඳුමක් නොවන්නේය …

එනිසා මේ සඳහා ඇති එකම ප්‍රායෝගික විසඳුම හාමිනේගේ සිරුර වටා ආවරණය වන සේ මදුරු දැල් ඇඳුමක් ඇන්දවීම පමණි !

වත්තේ අනෙක් කරදරය නම් වැසි සමය පුරාවට පොදි බඳිනා කූඩැල්ලන් නඩයයි !

කූඩැල්ලන් පලවා හැරීමේ පිළිවෙතක් ගම් වාසීන්ගෙන් විමසූ කල ලැබුන උත්තර ඇඟ කිළිපොලා යන තරම් සරලය …

අයියෝ සුලු දෙයක්නේ මහත්තයා, හොඳට ලුණු ටිකක් හරි තෙල් බේහෙත් ටිකක් ඉහල දාන්න එතකොට වැඩේ කම්මුතුයි  !

එතකොට ඉඩමේ වසවිස රඳනවනේ  ?

නෑ එහෙම නෑ මහත්තය, තෙල් බේත් ටිකක් වැඩිපුර ගහනවා නම් තමයි වඩා හොඳ !

කෝ මෙහෙ වැස්ස අඩුවක්යැ  ? ඉක්මනට වැස්සට හෝදාගෙන යනවනේ … !

එය ඇසූ කණ්ඩාගේ බඩ පපුව පත්තු වූයේ බෑවුම සහිත වත්ත මායිමක ගලා බසිනා පිරිසිඳු දිය පහර මතකයට නැගී නිසාවෙනි …

කණ්ඩා කූඩැල්ලන්ට එතරම් ආදරේ නැති මුත් පරිසරයට ආදරේය … එනිසා කෙතරම් ප්‍රායෝගික ගැටළු පැන නැගුණත් වත්තට තෙල් බෙහෙත් මුහු කොට පරිසරය වනසා දැමීමට අදහසක් කොහෙත්ම කණ්ඩාට නැත්තේය  **

** වත්ත එළිපෙහෙළි කිරීම හැර කූඩැල්ලන් පාලනයට විසඳුමක්  කණ්ඩා තවමත් සොයනා බැවින් ඒ ගැන විතර ලබා දිය හැකි අයෙක් වේ නම් කණ්ඩා බෙහෙවින් කෘතඥ වන්නේය ! **

හෝහපුටු සහ කූඩැල්ලන් උවදුර පාලනයට පළමු විකල්ප පියවර වත්තේ හරක් බැඳීම නැවැත්වීමයි, ඒ සඳහා ඉඩම හතර කොන හොඳ හැටි ආවරණය වන සේ වැටක් බැඳීය යුතුය.

මායිම පමණක් නිර්ණය වන සේ නාමිකව වැටක් ගැසුවාට ඇති තේරුමක් නැත්තේය …කණ්ඩාගේ ඉඩමටද එවන් වැටක් තිබුණද ඉන් අත්වූ සෙතක් නැත්තේය …

වැටේ කම්බි දෙපසට හෝ බිමට පාත් කර වත්තට හරක් පැන්නීමට හරක් හිමියන් දෙවරක් සිතන්නේ නැත.

වත්ත මැදින් හදාගෙන ඇති අඩි පාර දැන් නුවරට එන්නට දඟලන අධි වේගී මාර්ගයය ජුන්ඩක් වෙන්න පටුය …

අනෙක වැට බදින්නට සිදු වී ඇත්තේ සිවුපා හරකුන් සහ උන්ගේ අයිතිකරුවන්ට පමණක්ම නොවේ !

සම-හරක් දෙනා පහළින් ඇති දිය පහර වෙත ගොස් මත්පැන් පානය කිරීම සහ හඳ තරණය කරනවා මදිවාට තැන තැන බෝතල් කුඩු කිරීම වැලක්වීමටද සිදු වී ඇත්තේය …

අන්තිමේදී මේ නස්පැත්ති සියල්ල වැළක්වීමේ විසඳුමක් ලෙස දෙවන වතාවටත් අඩු පරතරයකින් යුතුව කණු සිටුවා කටු කම්බි වැටක් ගැසීමට කණ්ඩාගේ තීරණයයි.

මේ වැඩ කටයුතු වෙනුවෙන් අහල පහල හාදයෙක් උවමනා කල අතර ඒ සඳහා හිඳගලින්ම අල්ලා ගත් සරත් බාස් හට පසුගිය වාරයේ මෙන්ම වැඩය පංගරාත්තු විය.

සරත් බාස් ගේ ගාණ තරමක් සැරය … නමුත් කියාපු දිනයට බලාපොරොත්තු වූ ලෙසට පිළිවෙලට වැඩය සිදු වන නිසා වරදක් කිව නොහැක්කේය …

මෙවරත් වැට බැඳීමෙන් අනතුරුව සම-හරක් හරක් හිමියන්ගෙන් බේරීමට අපොහොසත් වී ආපසු වැට කැඩුවොත් කරන්න ඇත්තේ ඉඩම වටා ගිනි බැඳීම පමණක්මය !

කණ්ඩා මේ බවද සරත් සමග මෙන්ම අහල පහල කිහිප දෙනෙක් සමගද පැවසුවේ ගම් පළාත් වලදී මෙවන් ඕපාදුප පණිවිඩ අදාළ තැන් වලට පත්තරේ දැම්මාට වඩා හොඳින් ගමන් කරන බව දන්න නිසාමය …

කොහොමින් හරි පළමු කඩුල්ල වන වැට බැඳීම සම්පුර්ණ කල නිසා මීළඟ අභියෝගය වත්ත එලි පෙහෙළි කිරීම සහ ගෘහ නිර්මාණ ශිල්පියා හමු වී අපගේ ඕනෑ එපාකම් කතා බහ කර ගැනීමය.

නමුත් එයට පෙර වෙහෙසකර දින කිහිපයකින් අනතුරුව නුවරට වී නිවාඩු පාඩුවේ කාලය ගත කිරීම කණ්ඩාගේ මෙන්ම හාමිනේගේද අවශ්‍යතාවය විය.

අප ඉඩම ආසන්නයේම පිහිටි කුඩා නමුත් අලංකාර හෝටලයක ** නවාතැන් පහසුකම් සපයා ගත් හෙයින් ගමන් බිමන් සඳහා අමතර වෙහෙසක් දැරීමට සිදු නොවුනා සේම නිවාඩු පාඩුව කාලය ගත කිරීමටද අවස්තාව ලැබුණි …

sky-lodge** ස්කයි ලොජ් (SkyLodge ) නම් මේ කුඩා නමුත් අතිශය පියකරු නිස්කලංක නවාතැන පවත්වාගෙන යන්නේද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරනා යුවලකි ! **

මින් පෙරද කිහිපවතාවක්ම කණ්ඩා සහ හාමිනේ මේ හෝටලයේ නවාතැන් ගෙන ඇති නිසාවෙන් එය නිවස මෙන්ම හුරුපුරුදුය … එහි සේවක මඩුල්ලද අප වෙත බෙහෙවින් හිතවත්ය.

නමුත් විවේකයට ඇති අවශ්‍යතාවය යටපත් කරගෙන කණ්ඩාගේ ඇවිදින ගාය මතු වූ බැවින් අහල පහල ඇවිදින්නට ඇති තැන් අන්තර්ජාලයේ සොයා බැලුවේ නිකමටය …

අහම්බයෙන් මෙන් සෑහෙන කාලයක් තිස්සේ කණ්ඩාගේ දොළ දුකක්ව පැවති ලංකාවේ ප්‍රථමයෙන් තේ වගාව ඇරඹි ලුල්කඳුර වත්ත ඇහැ ගැටුනේ ඔය අතරය ..

අවසානයේ නුවරට වී නිවාඩු පාඩුවේ සිටීම කෙසේ වෙතත් ලුල්කඳුර වත්ත දැක බලා ගැනීමට තීරණය කළේ කණ්ඩා හාමිනේගේ ඇල් මැරුණු උද්යෝගය සහ හීනියට නැගුණ කුණු කුණුවත් සමගමය ..

කණ්ඩා කකුලක් එලියට දැමු පසු ආයෙමත් කන් කෙඳිරි ගෑමෙන් පලක් නොවන බව අත්දැකීමෙන් දන්නා නිසාදෝ හාමිනේ ඉන් එහාට ආඩපාළි ලියන්නට ගියේ නැත !

ලංකාවට තේ වගාව සාර්ථකව අත් හදා බැලීම සහ ප්‍රචලිත කිරීම ජේම්ස් ටේලර් (James Taylor) නම් ස්කොට්ලන්ත ජාතික වැවිලිකරුට හිමි වන්නේය …

ලුල්කඳුර වත්ත මූලික කරගත් ඔහුගේ තේ වගාව පසු කලෙක සාර්ථකව කඳුකරය පුරා පැතිර ගියේය …

තේ වගාව ගැන උනන්දුවක් ඇත්තන් හට ලුල්කඳුර වත්ත වැදගත් වන්නේ සහ දැක බලා ගත යුත්තේ එබැවින්ය !

පේරාදෙණියේ හිඳගල සිට ලුල්කඳුර වත්තට කිලෝමීටර් තිහක පමණ දුරක් ඇත්තේය, හිඳගලින් හරහා ගලහ පාරේ විත් ගලග නගරය මධ්‍යයෙන් දෙල්තොට දෙසට ගමන් කිරීමෙන් ලුල්කඳුර වත්තට ලඟා වීමට අපහසු නොවුවද, කාපට් නොකළ තාර පාර හිතා ගෙන සිටියාට වඩා තරමක් අබලන්ය.

ඒ කෙසේ වෙතත් ලුල්කඳුර වත්තට යන මාර්ගය දැකුම්කලුය, චායාරුපකරණයට ඉඩකඩද බොහෝමය …

ලුල්කඳුර වත්තේ ආසන්නයට පැමිණීම ලෙහෙසි මුත් ඉන් අනතුරුව වඩාත් විචිත්‍රවත් අඩවිය වන ජේම්ස් ටේලර්ගේ දැවමය බංගලාවේ නෂ්ටාවශේෂ සහ අනෙකුත් ස්ථාන (James Taylor’s Wood Cabin and Tayloy’s Seat) වෙත එළඹීමට තවත් කිලෝමීටර් 6 ක පමණ ඉතා පටු, රළු මාවතක් ඔස්සේ දුෂ්කර ක්‍රියා කල යුතුය.

කණ්ඩාට මෙය සිහි ගැන්වුයේ මස්කෙළි ඔය වතු යායේ  පිහිටි ෆිෂින් හට්ස් (Fishing Huts) වෙත ලඟා වීමට ඇති මාවතයි !

මෙම වත්තට ඇතුළු වන ස්ථානයේ කුඩා නමුත් සිත්ගන්න සුළු හින්දු දේවාලයක් ඇත්තේය, එහි දෙවියන් සහ රිලවුන් දෙපිරිසම සාමදානයෙන් වාසය කරති.

මෙතැනදී අපට මග වැරදීමට ගියත් ඒ අසලම ඇති සිල්ලර කඩයක් පවත්වාගෙන යන්නා වූ ඉතා ප්‍රියමනාප හොඳින් සිංහල හසුරවන දමිළ තරුණයෙක් විසින් අපට මග පෙන්වන ලදී.

එමෙන්ම කෝවිලට නුදුරින් ජෙම්ස් ටේලර් පිළිරුව අසල මග රැඳී සිටි වැඩි මහළු දමිළ කම්කරුවකු අපත් සමග සමග කුළුපග වීය …
එහිදී ඉතා සිත් ගන්න සුළු කතාවක් ඔහුගෙන් අසා දැන ගන්නට කණ්ඩා සමත් විය.
 
ඒ ජෙම්ස් ටේලර් කිසි දිනෙක යුග දිවියට එළඹුණේ නැතත් ඔහුට දාව උපන් සිංහල සහ දමිළ උදවිය අදත් ලූල් කඳුර වත්තේ වාසය කරනා බවයි !

ජේම්ස් ටේලර් බංගලාව සහිත ප්‍රදේශයට ඇතුළු වීමට සුළු මුදලක් අය කරනු ලබන අතර එය තමන් ගමන් ගන්නා වාහනය අනුව (කාර්, මෝටර් සයිකල්, ත්‍රී රෝද රථ, බස්) අඩු වැඩි වන්නේය.

වත්තේ ගේට්ටුව අසල රැඳී සිටි වතු යායේ සේවකයකු වෙතින් ටිකට්‍ පතක් ලබා ගත් අප ජේම්ස් ටේලර් බංගලාව වෙත ගමන් ඇරඹීමු.

තාර නොදැමූ මාර්ගය තරමක් අබලන් උවද සීරු මාරුවට තම මරූටිය ** හැසිරවූ අප මාතලී – සම්පත් වැඩි කරදරයකින් තොරව මග තරණයේ යෙදුණි.

** ඉන්දියානු වාහනයක හිත සැනසිල්ලේ කණ්ඩා ගමනක යෙදෙන්නේ සම්පත් සමගින් පමණි, ඒ රියදුරා ගැන මෙන්ම වාහනයේ නඩත්තු කටයුතු ගැනද සැකයක් නැති නිසාය …

අන් රියදුරන්ගේ නොසැලකිල්ල මෙන්ම රෝද උඩ දුවන ටින් බෙලෙක්ක ගැන එතරම්ම විශ්වාසයක් තවමත් කණ්ඩා හට නොමැත්තේය ! **

මිනිත්තු හතළිස් පහක පමණ ඉතා මන්දගාමී නමුත් කරදරයකින් තොර ගමනකින් පසුව බංගලාව ඇති ඉසව්වට ළඟා වූ අපට වෙහෙසක් නොදැනුනේ සිසිල් කාලගුණයත් පටන් ගත් තැන පටන් මග දෙපස වූ අතිශය සිත් ගන්නා සුළු සුන්දර පරිසරයත් හේතුවෙනි !

අතරමගදී තේ දළු නෙලනා ළඳුන්, විකිණීම සඳහා දර මිටි රැගෙන යන වතු කම්කරුවන් මෙන්ම සේවකයන් හසුරවන සහකාර වතු කළමනාකාරවරුන්ද අප හට මුණ ගැසුන නමුත් මග විමසීමට විනා වැඩිදුර කතා බහකට වෙලාව නොතිබුණේ නැවතත් හිඳගල ඉඩම වෙත යා යුතුව පැවති බැවිනි.

බංගලාව ආසන්නයට අප ලඟා වනවිට උදෑසන දහය හමාර පමණ වී තිබුණත් ඒ වන විට අහල පහල තිබුනේ එක් වෑන් රථයක් පමණි !

මෙවන් සුන්දර තැන්හි සංචාරකයන් අඩුවෙන් ගැවසෙන තරමට කණ්ඩා කැමැතිය, ඒ බාධාවක් තොරව නිදහසේ සුන්දරත්වය රස විඳීමට ඇති ආශාව නිසාවෙනි !

ජේම්ස් ටේලර් බංගලාව ඇති ස්ථානය වෙත වාහන නැවතුම්පොළ සිට මීටර සියයක් පමණ දුරක් තේ වත්ත මැදින් වැටුන මග ඇවිද යා යුතුය. අද වන විට ජේම්ස් ටේලර් බංගලාවෙන් ඉතිරි වී ඇත්තේ දුම් කුළුන පමණි.

මද වෙලාවක් එතන රැඳුන අප ආපසූ එන්නට සුදානම් වනවාත් සමගම අසල කුඩා අඩිපාරක් දිගේ කන්ද බැසගෙන එන නඩයක් අප නෙත ගැටුණි ..

මේ නඩයට සහකාර වතු අධිකාරිවරුන් යයි සිතිය හැකි දෙදෙනෙක් සහ තවත් සංචාරකයන් කිහිප පොලක්ද විය !

ආපසු හැරෙන්නට ගිය අපට මේ භූමියට ඉහලින් ප්‍රතාපවත් ලෙස නැගී සිටිනා කොණ්ඩගල මුදුනට නගින්නට පාර කියුවේ මේ නඩයයි (එක අයකුගේ නම ලුවී බව මතකය අනෙක් නම අමතකය) …

සහකාර වතු අධිකාරී දෙපලට ස්තුති කල කණ්ඩා දුම් කුලුනට දකුණු පසින් වන පටු අඩිපාර දිගේ කන්ද තරණය කරමින් කොණ්ඩගල මුදුන වෙත යාමට තීරණය කළේය  …

කණ්ඩාට තරම් පිස්සුවක් නොතිබුන හාමිනේ, කණ්ඩාට සහය දීමේ රාජකාරිය මාතලී වන සම්පත් හට පවරා ස්වෙච්චාවෙන්ම වාහනය මුරකිරීම භාර ගත්තේය …

කොණ්ඩගල පාමුල බැඳ ඇති බඹර වදයක් ගැන අනතුරු හැඟවිමක්ද කලින්ම ලැබුණු බැවින් හෙමින් සීරුවේ කන්ද නගින අතර තවත් සංචාරකයන් කිහිපපොලක්ම මගදී හමු වුනේය …

අවසාන භාගයේදී හැරෙන්නට වැඩි කරදරයකින් තොරව කොණ්ඩගල මුදුනටම ලඟා වූ අප අංශක 360 පුර විහිදුන සුන්දර දසුනෙන් අප්‍රමාණව සතුටට පත් වූයෙමු !

නමුත් කොණ්ඩගල මුදුණේ මෙන්ම ඒ වෙත පිය නගනා අතරතුරද එතරම් සුභ දායක නොවනා දේ දක්නට ලැබුණේ අවාසනාවටය …

සම-හරක් සිරි ලංකා වැසියන් බොහෝ දෙනා පරිසරය රසවිඳින්නට නොදන්නා වෘෂභ රාජයන් නිසාය, නමුත් හරක් උවද පරිසරය වනසන්නේ නැත එබැවින් මෙවන් මෙවන් අමනයන් එයටත් බෙහෙවින් අන්තය !

අවිධිමත් ලෙස කුණු කසළ විසි කිරීම, බීමත්ව සතුන්ටත් අන්ත ලෙස හැසිරීම, එලෙස හැසිරෙනවා මදිවාට පරිසරය වනසමින් විදුරු බෝතල් කුඩු කිරීම, තැන නොතැන අනාරක්ෂිත ගිණි මැල ගැසීම සහ එම ස්ථාන පිරිසිඳු නොකිරීම යනාදී අවක්‍රියාවන්හි ලකුණු ඒමට විසිරි තිබුණි !

අපට කොණ්ඩගල මුදුණේ වැඩි වේලා රැඳෙන්නට නොහැකි වූයේ ආපසු හෝටලය වෙත යාමට තිබු බැවින් සහ වාහනය මුර කිරීමට තබා පැමිණි හාමිනේ නිසාය !

ආවාටත් වඩා වෙගයෙන් පල්ලම් බැස්ස අප පැයක් හමාරක් තිස්සේ කඳුත් සමග හැප්පිමෙන් අනතුරුව සිටියේ  හතර හන්ඳි පණ නැතිවය.

කණ්ඩා සම්පත් සමග නැවත වාහනය වෙත පැමිණෙන අතරතුර අරක්කු බෝතල් කිහිපයක් රැගෙන ගමන පටන් ගැනීමට සුදානම් වන හරක් රැලක් හමු වීය …

ඔවුන් පැමිණි ත්‍රී රෝද රථ කිහිපයක්ද එහි වූ අතර ඉන් මදක් එහායින් වාහනය ඇතුලට වී මුහුණ පුළුටු කරගෙන ඔවුන් දෙස බලා සිටි හාමිනේවද කණ්ඩාගේ නෙත ගැටුණි  🙂

සත්ව කරුණාව ඉහ වහා ගිය කණ්ඩා බඹර වදය ගැන ඔවුනට අනතුරු ඇඟවූයේ හරක් රළට අමතරව තවත් උදවිය එහි ඇති නිසාය …

ඉස්මුදුනින්ම අවවාදය පිළිගත් ඉස්සරහින්ම ගිය හරක් කිහිප දෙනා

හූ *** කෑ නොගහ ඉක්මනට වරේන්  !!!  **** බඹරු අවිස්සෙනවලු … !!!

මොන  *** කරනවද ඉක්මනට වරෙන් අද බොන්නේ නැද්දෝ ….  කැ***, කෝ යකෝ බයිට් එක ????

**** එනකොට  වීල් එක ඇතුලෙ දාපු බයිට් පැකට්ටෙක අරන් වරෝ …. !!!!

යනුවෙන් අන් හරක් සියලු දෙනා හට සුමධුර වදනින් අවවාද අනුශාසනා කලේ ගිරිය යටින් කෑ ගසමිනි !.

මුන්ට අවවාද දුන්න කට කණ්ඩා කට පොලවේ උලා ගත්තා නම් මීට වඩා නම්බුය  🙂

 

~ මතු සම්බන්දයි !

සිරි ලංකාගමනය ~ I කොටස ~ ෂොපින් සහ සිය රට බලා නැව් නැගීම !