Sunset in a Wineyard

ජීවිතයත් හරියට වයින් හා සමාන යයි මා අසා ඇත, ඉඳහිට වීදුරුවක් කටේ තොලේ ගා ගන්නා කණ්ඩා වයින් කප්පිත්තෙක් නොවුනත් එය තේරුම් ගන්නට අවුරුදු සියයක් නාකි වී ලොව ඇති අසන්නට දකින්නට ඇති සියළු දේ හමු වෙන තෙක් සිටින්නට අවශ්‍යය නැත.

වයින් වල ගුණාත්මක බව තීරණය කරන්නේ මිදි ගස පොළොව හා බැඳෙන පරිසරය, සිටවූ පස ආදියත් එය මුහුණ දෙන අව්, වැසි, උණුසුම, සිසිල සහිත කාලගුණයත් අන්තිමේදී මිදි පෑගීමේ සිට බැරල් වල පැසවා පරණ කිරීම දක්වා සිදුවීම්ය.

එය ජිවිතය හා සැසඳුවේ නම් ඒ වෙන කිසිවක් නොව සහ හැදෙන වැඩෙන පරිසරය සහ අත්දැකීම්ය, එනිසා ජීවිතය වයින් හා සමාන කිරීම නොයෙක් අතින් සාධාරණය !

වයින් පරණ වෙන තරමට ගුණය සහ අගය වැඩි වෙන බව කණ්ඩා අසා කියවා ඇත්තේය, එසේම මේ මහපොළවේ පය ගසා ජිවත් වන්නෙකුට ජීවිතාවබෝධය ලැබෙන්නේ වයසින් මෝරද්දීය.

උදේ රැයින් වයින් පරණ වෙන්නේ නැතුවා වගේම ජිවිතාවබෝධයත් පොල්ලෙන් ගැසුවා සේ එක රැයින් පහළ වන්නක් නොවේ, සියල්ලටම විසඳුම කාලය සහ අත්දැකීම්ය.

Take One Sip At a Timeමෙයට අපි කැමති උනත් නැති උනත් මෙය හැමෝටම පොදු සදාතනික සත්‍යයකි !

කොටින්ම බිලියන ගණනක් මිනිසුන් විසින් විසින් ලොව පහළ වූ අසහාය පුද්ගලයන් ලෙස සැලකෙන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ  බුදු රජාණන් වහන්සේටවත් දෙවියන්ගේ පුත්‍ර රත්නය වන ජේසුතුමන් හටවත් මෙයින් ගැල වෙන්නට හැකියාවක් ලැබුනේ නැත.

බුදු හාමුදුරුවන්ට පවා ලෙඩෙක්, මහල්ලෙක්, මළ මිණියක් පැවිද්දෙක් යන සතර පෙර නිමිති බලා මදි පාඩුවට කසාද බැඳ සියලු පස්කම් සැපද විඳ දරුවෙක් ලැබෙන තුරුත් තමන් යා යුතු නියම මග වටහා ගන්නට බැරි විය.

ජේසුතුමන්ගේත් යොවුන් වියේ දහඅට අවුරුද්දක කාලයක් ගැන කිසිම පිළිගත් සඳහනක් නැතත් සැකයකින් තොරව විවිධ තැන්හි සැරිසරමින් ඒ කාලය පුරා ඔහු එකතු කරන්නට ඇත්තේ ජීවන අත්දැකීම් බවට කණ්ඩාට ඔට්ටු අල්ලන්නට හැකිය.

උපතින් ජයිනයකු වූ සිදුහත් කුමරු හෝ බුද්ධත්වයට පත් බුදු හාමුදුරුවන් වයින් රස බලා ඇතැයි මා නොසිතන මුත් ඔහු අද හිටියා නම් ජේසුතුමන් සමග ජීවිතය සහ අත්දැකීම් යන සියල්ල හා එකඟ වනු ඇත 😀

දැන් මේ ගැන එකඟ නොවනා උදවිය අරකට මේකට අගෞරව උනා යයි  *** උස්සාගෙන එන්නේ නැතිව කියා තියන දේ ගැන පමණක් අවධානය යොමු කළෝතින් හොඳය 🙂

මන්ද ඉසකෙස් පැසෙන තුරු කප්පරක් අත්දැකීම් ලැබුණත් ඉන් පාඩමක් ඉගෙන ගන්නේ නැති නම් ඒ අත්දැකීම් සියල්ල ගඟට කැපූ ඉනි වලටත් වඩා අපරාධයකි.

නමුත් ජිවිතයේ කරන තරමක් ගොන්කම්, අත් වැරදි වලින් ඉගෙන ගැනීම වැදගත් උවත් තමන්ගේම තකතීරුකම් වලින් ඉගෙන ගැනීමට එක ජිවිත කාලයක් මදිය, එනිසා වැදගත් අනුන්ගේ වැරදි වලින් ඉගෙන ගැනීම මොළය තියන උන්ගේ සිරිතයි.

එමෙන්ම තමන්ගේම බූරුකම් වලින් පමණක් ඉගෙන ගැනීම මිල අධික ප්‍රායෝගික නොවනා කටයුත්තක් බව බව කණ්ඩා අත්දැකීමෙන් දන්නේය 😀

එබැවින් එකම බූරු වැඩය දෙවරක් නොකිරීම මෙන්ම තමන් වටා ඉන්නා පුත්තලන් බූරුවන් කරනා නාඩගම් සහ අන්ධානුකරණයෙන් මිදී, පශ්චාත් භාගය වෙනුවට මොළය පාවිච්චි කිරීම ජිවිතයේ සාර්ථක කර ගැනීමට උදව්වකි.

කොටින්ම මොළය ඇති බූරුවෝ තමන් වැරදි කරනු වෙනුවට තම සහෝදර බූරුවන්ගේ වැරදි වලින් ඉගෙන ගන්නෝය !

ඉගෙන ගැනීම ගැන කියද්දී කොළඹ ඉපිද වැලිපිල්ලෑවේ හැදී වැඩුණු කණ්ඩා, සුභාරතියේ අයනු ආයනු කියවීමෙන් පටන්ගෙන ආනන්දයෙන් ඔප වැටී, අයාලේ නොයා DP Aides සහ IDM හි ලද අධ්‍යාපනය අද වෙනතුරුත් අහවර වී නැත.

කණ්ඩාට තේරෙන විදිහට මුළු ජිවිතයම නොනැවතී ඉදිරියට ගලාගෙන යන අනන්තයක් ගුරුවරු සහ ශිෂ්‍යයින් සිටිනා විටෙක ගුරුවරයා ශිෂ්‍යයෙක් බවටද ශිෂ්‍යයා ගුරුවරයෙක් බවටද පත් වන සුවිශාල පන්ති කාමරයකි !

රාජකාරිය අතින් DP Aides හි සහය උපදේශකයෙක් ලෙස රැකියාව ආරම්භ කළ කණ්ඩා පරිඝණක වැඩසටහන් කරුවෙක් (Programmer) ලෙස Softech සහ QSoft ආයතනයන්ගෙන් ලද දැනුම සහ අත්දැකීම් මිල කරන්නට බැරිය.

ඒ ඉගෙන ගත් සියල්ල සීමා වලින් තොරව යොදා ගන්නට සහ වැඩි දුර අත්හදා බලන්නට කණ්ඩාට අවස්ථාව ලැබුණේ දස වසරක් තිස්සේ ඔටු දේශයේ සේවය කළ සුපිරි කොම්පැනියට සහ දැනට සේවය කරන ආයතනයේ සහයෙන්ය.

ඇතැම් විට එය ගඟෙන් වතුර බී මුහුදට ආ වැඩීමක් ලෙස හැඟුනද පසු ගිය දස අවුරුද්ද තිස්සේ කණ්ඩා ලද අත්දැකීම් සහ අවස්ථාවන් සිරි ලංකාවට කොටු වී සිටියා නම් කවමදාවත් ලැබෙන්නේ නැති බව සහතිකය, එනිසා ඒ ගැන ලොකු පසු තැවීමක් කණ්ඩාගේ නැත.

මෙච්චර වෙලාවක් නැවකට පඬි ටෝක් දෙන්නට සහ අතීතය ගැන ආපසු හැරී බලන්නට හේතුව කණ්ඩා ජිවිතයේ අඩකටත් වැඩියෙන් ගෙවා අහවර යයි හිතෙන නිසාය.

එහෙමයි කියා තවමත් කණ්ඩාගේ මොළය පෑදී ඇතිද නැද්ද යන්න මත භේදයට තුඩු  දිය හැකි කාරණයක් නිසා ඒ පිළිබඳ සෘජුව කිසිවක් පැවසිය නොහැක, මා පුද්ගලිකව දන්නා උදවිය ඒ ගැන පහළින් කොමෙන්ටුවක් දැම්මට මගේ තරහක් නැත.

මොනවා උනත් වැඩි දෙනෙකුගේ මතය වයින් තවම පරණ නැති බවය 😀

ජීවිතයේ තව යන්නට ඉතිරිව තියෙන කොටහ පහු කර ආ දුෂ්කර ගමනට වඩා පහසු බවට සැකයක් නැති මුත් ඉඳහිට හෝ ආපසු හැරී බලා වර්තමානයට සහ අනාගතයට උදව් වන යමක් අතීතයෙන් උකහා ගන්නට ලැබෙනවා නම් එය ඉදිරි ඉලක්කයන්ට වැදගත්ය.

කණ්ඩාගේ ජීවිතයේ ඇද වැටුණු තැන් බොහෝය, නමුත් ඒ හැම විටම නැගිටින්නට අත් වාරුවක් සපයන්නට සහ දිරිමත් කරන්නට නොපැකිලව ඉදිරිපත් වූ නෑදෑ හිත මිතුරු කැලක් හිටියේ වාසනාවටය. ඒ හැම මා අතිශයින් සතුටු වෙමි !

ගොඩ එන්න බැරි තරමට වැටුණු හැම වෙලාවකදිම ඉතාමත් කැමත්තෙන් කියවපු මේ පද පේළිය පාසල් යන අවදියේ කණ්ඩාගේ පපුව පතුලටම කිඳා බැහැපු  එකකි !

ඔබත් මෙය එලෙසම රස විඳිනු ඇතැයි මා සිතමි,  මෙහි අදහස අංශුමාත්‍රයක් හෝ නොනැසෙන ලෙස පරිවර්තනය කරන්නට තරම් හෙලුව වැනීමේ හැකියාවක් කණ්ඩාට නැති හෙයින් සුද්දගේ බසින්ම තබන එක පද්‍යට කරන සාධාරණයකි.

මෙතුවක් කල් මට අත දුන්නු, ලඟින් ඉඳපු සහ සුභ පතපු හැමෝටම ස්තුතියි !

 

Invictus

Out of the night that covers me,
Black as the Pit from pole to pole,
I thank whatever gods may be,
For my unconquerable soul.

In the fell clutch of circumstance
I have not winced nor cried aloud.
Under the bludgeonings of chance
My head is bloody, but unbowed.

Beyond this place of wrath and tears
Looms but the Horror of the shade,
And yet the menace of the years
Finds, and shall find, me unafraid.

It matters not how strait the gate,
How charged with punishments the scroll.
I am the master of my fate:
I am the captain of my soul.

~ William Ernest Henley, 1849 – 1903

Advertisements