Sunset

සතියේ දින පාන්දර අවේලාවේ අප කූද්දමින් ලංකාවෙන් එන දුරකථන ඇමතුම් කිසිසේත් සුභදායක ඒවා නොවේ,එය අත්දැකීමෙන්ම දනිමි. කවදත් එහි වෙනසක් තිබුණේ නැත … දුරකථනයේ අනෙක් පස මාගේ මළනුවන්ය. ආච්චම්මා අප අතැර ගොසින්ය !

නිදිමත පලා ගියද දුකක්ද සතුටක්ද යන්න නොතේරෙන මහා අච්චාරුවක් බඳු සිතිවිලි සයුරක අතරමං වූ මා අවසානයේ එය සතුටුදායක ආරංචියක් බවට තීරණය කළෙමි … එය මහා අසංවේදී කතාවක් ලෙස කෙනෙකුට හැඟෙන්නට ඉඩ ඇත.

සිය දිවිය අවසාන භාගයේදී නෑදෑ හිතමිතුරන් කරකියා ගන්නට දෙයක් නොමැතිව අසරණව බලා සිටියදී මහත් දුකක් කර තබාගෙන ගිය අපගේ පියා, බාප්පා මෙන්ම හාමිනේගේ පියාටද අත් වූ ඉරණම ආච්චම්මාට අත්වීම දුකකි. ඇය ඉන් මිදී  ජිවිත ගමනට තිත තැබීම ඇයගේ ආදරය ලද මුණුපුරෙකු වශයෙන් මට හිතට එකඟව සතුටු විය හැක. ඒ ජීවිතය විඳීම වෙනුවට විඳවීම යනු කුමක්දැයි අවුරුදු පහළොවක කොලු ගැටයෙක් කාලයේ පටන් මට වැටහුන නිසාය.

තම සැමියා නන්නාඳුනන රටක මිය පරලොව ගිය තැන සිට ආච්චම්මා මහත් දුෂ්කරතා මධ්‍යයේ දරු දැරියන් කැලක් උස් මහත් කළාය. ඔවුන් දීගතල ගොස් ඔවුන්ගේ දරු මුණුපුරන් මෙන්ම මී මුණුපුරන් දැකීමේ වාසනාව ලද්දීය. ඉන් නොනැවතී විශාල පවුලක් එකට බැඳ තබා ගත් මහා හුයක් වූවාය.

දශක අටකට අධික කාලයක් තිස්සේ සිය පවුලේ උදවිය, දුවා දරුවන් මුණුපුරු මුණුපිරියන් මෙන්ම මී මුණුපුරු මුණුපිරියන්ගේද ජිවිත හා බැඳී සිටි ඇය ජීවිතය උපරිමයෙන් වින්දාය. ඇගේ ජීවිතයේ පසු තැවීම් වූයේ නම් ඒ අතලොස්සක් බව මා දනිමි. කනස්සල්ලක් ගෙනෙන තම පාලනයෙන් මිදුන කම් කටොළු දෙස උපේක්ෂාවෙන් බැලුවාය.

ගත වාරු ඇති තෙක් රට තොට ඇවිද්දාය … අපවත් නොගිය තරම් වට වන්දනාවන්හි යෙදුනාය … සිය නැණ පමණින් ධර්මය අවබෝධ කර පින්දහම්හි යෙදුණාය … හැකි සෑම විටකදීම සතුටින් සිටියාය ඈ දුකින් සිටි අවස්තාවන් මා මතකයේ වේ නම් ඒ දෑතේ ඇඟිලි ගණනටත් අඩුය. ඉදින් ඇය තම දිවිය ගැන කණගාටු නොවන බව මාහට සපුරා විශ්වාසය.

අද ආච්චම්මා නැත … තවත් පරම්පරාවක් අතීතයට එක්ව හමාරය … පවුලක් ඇද බැඳ තබාගත් මහා හුයක් බිඳී ගොසින්ය … නමුත් දශක හතරකට ආසන්න ඒ සුන්දර මතකයන් තවමත් එසේමය.

ආච්චම්මාට සුභ ගමන් !

ප.ලි. : මසකට කලින් තැබූ සටහනක් …