Drinks

වොඩ්ක ඩයිහයිඩ්‍රොක්සයිඩ්

කණ්ඩ කලිං වැඩ කරපු සුපිරි කන්තොරුවෙ කතා කිහිපයක්ම කලින් ලියල තියනවනෙ ඒ නිසා ඒ ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පණි අනවශ්‍යයි. වාසනාවකට හෝ අවාසනාවකට අපේ හාමිනෙත් ඔය ඔපීසියෙම ඔපිසර තැනක් … දෙන්න යන්නෙ එන්නෙ කන්නෙ බොන්නෙ එකටමයි … කන්තොරුවෙ කොයිතරම් නානාප්‍රකාර සීදේවි ලලනාවො හිටියත් මං නෙමෙයි ඔන්න ඇහැක් ඇරල ඒ දිහා හොරෙන් බැලුවෙ … බලන දෙයක් දෑසින්ම එළිපිටම තමා 🙂

වැඩ රාජකාරි හුස්මක් කටක් ගන්න බැරි තරමට තද උනාට බොහොම අපූරු කණ්ඩායමක් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබුණ. ආයි එකකට එකෙක් සමාන නැහැ හරියට නිකං විශ්ව ගම්මානයක් වගේ, හැම රටකින්ම ආපු ඈයො හිටිය.

ඉන් කණ්ඩගෙ ටීම් එකේ හිටිය අලුතෙන් ආපු ඉන්දියන් කොලුවො දෙන්නෙක්. මුං දෙන්නම එකම යුනියෙ ඉදං එකටම රෙක්රෑට් කරේ කන්තෝරුවෙ IT බාස්ල විදිහට … මේ ජෝඩුව මොන අලුකුත්තේරුකම කරත් අමුඩෙයි පුකයි වගේ එකටමයි … ගොන් වැඩ කරන තරමක් ගානෙ මාට්ටු .. හැබැයි ඒවා වහන්න කියන බොරු සහ කතා එයිට හපන්.

අපි උන් දෙන්නට සන්ට සිං & බන්ට සිං (Santa & Banta) කියල විහිළු කරේ. අල්ලපු රටේ එවුං ගැන දන්නා කියන අයට නම් සන්ට සිං & බන්ට සිං කියන්නෙ කවුද කියල අහල ඇති. අපේ ඔය දෙන්න ටිකක් මෝඩ පහේ සර්දාර් මහත්තුරු දෙන්නෙක්.

Santa & Bantaදැන් කාටද සර්දාර් කියලත් විස්තර කරපංකො. මේ අර රැවුල කොණ්ඩේ වවන ඔලුවේ තඩි ජටාවක් බඳින සීක් ජාතිකයො. මවා ගත්ත චරිත දෙකක් වෙන මේ දෙන්න ගැන අපේ ලංකාවෙ උඩුරාවණ, තුම්පනේ, ගම්පහ, ගාල්ල හෝ පොළොන්නරුවෙ අය ගැන කියනවා වගේම විහිළු කතා බර ගානක් තියෙනවා. (මේ දෙන්න ගැන රස කතා කියවන්න පුළුවන් ඔය සබැඳියෙන්)

කණ්ඩලෑ හාමිනෙත් ඉතිං වෙලාවක් ලැබුණහම නිතරම කණ්ඩගෙ මේසෙ පැත්තෙ හක්කලන් ගහනව, අල්ලපු වැටේ උන්න ඉටිකිරිස් HR ඉස්තිරියාරත්න එක්ක කණ්ඩ පයුරු පසනං පවත්වනවද කියල හොර අල්ලන්න වෙන්ට ඇති. ඔය ආගිය ගමනක අපේ හාමිනේ බන්ට සිං එක්ක මොකද්දෝ මංගල්ලෙකට ඔට්ටුවක් අල්ලල … බන්ට කොලූ ඔට්ටුවෙන් පරාදයි.

තීන්දු ප්‍රාකාරව ඔට්ටුව දින්නොත් බන්ට සිං හාමිනේට චොක්ලට් මිලක් ෂේක් එකක් අරන් දෙන්න ඕන පල්ලෙහා ජූස් කඩෙන් … කොහෙද තියෙන ලැජ්ජාවටද එහෙමත් නැත්තං ලෝභකමටද මන්ද මූ ඒක නොදී මග අරිනව. මූ හිතන්න ඇති කණ්ඩලෑ හාමිනේ ඕක ලේසියෙන් අමතක කරල දාවි කියල .. එව්වා හඳේ !

අනේ ඉතිං හාමිනේ ඕකට වාඩුව ගන්න විදිහක් බල බලා ඔහොම උන්න අතරෙ නත්තල් කාලෙත් ආව … ඔටුවගේ රටේ උනාට ජර්මන් කොම්පැනියක් නිසා නත්තලට මුළු කණ්ඩායමම තුණ්ඩු දාල තෑගි හුවමාරු කර ගන්න සිරිතක් අපිට තිබ්බ. ඕක දඩමීමා කරගෙන බන්ට සිංට වැලේ වැල් නැතිවෙන ගේමක් දෙන්න අපේ හාමිනේ බොහොම කෘර මාස්ටර් ප්ලෑන් එකක් ගැහුව.

ඒ ප්ලෑන් එකේ පළමුවෙනි පියවර විදිහට බොහොම දූෂිත ආකාරයෙන් සූ සැට මායම් එකදාස් විසි හතරක් විතර දාල බන්ට සිංගෙ නම තියෙන තුණ්ඩුව අපේ සන්තකේට ගන්ට හාමිනේ සමත් වෙනව. ගෙදර තිබුණ හිස් වොඩ්ක බෝතලේකට ලහි ලහියේ ඇල් වතුර පුරවල තෑග්ගක් හැටියට සූදානම් වෙනව.

ඔය අතරෙ වෙන්න යන සංතෑසිය ගැන මෙලෝ හසරක් නොදන්න අසරණ බන්ට සිං වතුර නටනකන් දිය කෙළින කක්කුට්ට වගේ ඔහේ ඉන්නව. ඔය අතරේ හාමිනේගෙ අතිශය රහසිහත ප්ලෑන් එක සතරකන් සයකන්වද සයකන් දොළොස්කන්වද ගොහින් කණ්ඩායමේ උන් හැමෝම දැනුවත් වෙලා. හැබැයි අන්තිම මොහොත වෙනකන් දිවිහිමියෙන් රහස රකින්න හාමිනේ කාණ්ඩෙම පොරොන්දු කර ගන්නව.

ඔහොම ඉන්නකොට ඒ තීරණාත්මක නත්තල් සතියත් උදාවෙනව, රජ දැක්මට දැන් සියල්ල සූදානම්, තෑගි හුවමාරැව සතියෙ අන්තිම දවස උන බ්‍රහස්පතින්ද දවසක. හරි තෑගි බෙදා පටාන් ගත්ත කියමුකෝ … කණ්ඩට බොහොම අපූරු විස්කි ග්ලාස් සෙට් එකක ලැබුණ … මං ඒත් බැලුව බෙබා කියල නළලෙ වත් ලියල තියෙනවද කියල … වැඩේ ඔහොම නැගල යනකොට සන්ට සිං සහ බන්ට සිං බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉන්නව තමන්ට මොනවා ලැබෙයිද කියල.

H2Oඔන්න ඒ දෛවෝපගත මොහොත උදා උනා … හාමිනේගෙ ශ්‍රී හස්තයෙන් සුකුරුත්තමට ඔතාපු වොඩ්ක ඩයි හයිඩ්‍රොක්සයිඩ් නොහොත් ඇල් වතුර බෝතල් රාජයා බන්ට සිං කොලූගෙ අතට මාරු උනා. තෑග්ග ඔතල තිබ්බ කොළේ ලිහල බැලුව බන්ට සිං බෝතල් රාජයාව තුරුල් කරන් එතන උඩ පැන්නෙ නැති එක විතරයි.

බන්ටගෙ අපාය සහායකයා ඒ අස්සෙ මට කියනව උට හම්බ උන පොතක්ද මොකක්ද විස්කි වීදුරු වලට මාරු කරමුලු … බෝඩිමට ගිහිං බෝතලේ පතුල බලන්න වීදුරු නැහැල්ලු … මටනං ඔය කොයිකත් එකයි, ඒත් හාමිනේ නිශේධ බලය පාවිච්චි කරල හවස ගෙදර යන ගමන් ප්ලාස්ටික් කෝප්ප අරන් යමන් කියල ඇම්බැට්ට සන්ට සිංව එලවල දැම්ම.

රුසියාවෙන් ආපු විනිවිද පෙනෙන රත්තරන් නැටුම් තෙල් බෝතලයක් හම්බ උනත් සන්ට සිංටයි බන්ට සිංටයි තාමත් හෙනම අවුල් … ඉන්දියාවෙ ලක්නව් (Lucknow) ප්‍රාන්තෙ ඉදං ඔටු දේසෙට කඩි මුඩියෙ කඩාපාත් උන මුන් දෙන්න ජීවිතේට රුසියන් නැටුම් තෙල් බීල නැහැ.

ඉතිං අති පණ්ඩිතකම නිසා ඕක අපෙන් අහන්න තියෙන ලැජ්ජාවට කණ්ඩායමේ අනික් උදවිය එක එකාගෙන් වටින් ගොඩින් අහ අහා යනකොට හැමෝම කතන්දරේ දන්නා නිසා ආයෙත් මේ ජෝඩුව කණ්ඩ වෙතම යොමු කරා. මාත් ඉතිං ගුරු මුෂ්ඨි නැතිව ඔය සැර ජාති රසදිව පිච්චෙන්නෙ නැතිව උගුරෙන් පහළට දා ගන්න හැටි අඩුවක් නැතිව කියල දුන්න.

කොහොම හරි එදා මේ පිස්සු ඩබල පල්ලෙහා තිබ්බ කඩෙන් පළතුරු ජූස්, බයිට් එහෙම අරං ගෙදර යන ගමං මටත් ඉන්වයිට් කරා සෙට් වෙන්න … ඔය දෙන්න නැවතිලා උන්නේ කන්තොරුව ළඟම අල්ලපු බිල්ඩිමක නමුත් මං නිතරටිකිරි මාරි කන ගමන් සමහන් බොන නිසා මොළේ කල්පනා කරල වෙන වැඩක් පිටිං දාල ස්ටෙලාව මග ඇරිය … නැත්තන් මගේ අරක්කු මටම ගහන වැඩක් වෙන්නෙ.

එදා හැමෝම ගෙවල් කරා ගියාට මොකද හැමෝටම පොඩි පහේ කුතුහලයක් හෙම නෙමෙයි තිබ්බේ මේ උදවිය නැටුම් තෙල් බීල කරපු හරිය හොයාගන්න … උන් දෙන්නගෙම කරුමෙට පහුවෙනිද ටීම් එකේ එකෙක්ගෙ පාටියක් … හවස්කරේ මුං දෙන්න පාටියට පැය දෙකක් විතර පරක්කු වෙලා කරට අත දාගෙන වැනි වැනී එනව.

මුන්ට වතුර බීලත් වෙරි වෙනවද කියල නොදන්නා නිසා කණ්ඩයි හාමිනෙයි වැඩිය මූණ දෙන්න ගියේ නැතිව පැත්තකට වෙලා උන්න, අපේ එකෙක් හෙමිහිට කිට්ටු වෙලා ඇහුව බෝතලේට මොකද උනේ කියල. සන්ට සිං කිව්වලු දැන් රුසියන් කසිප්පු හොරට ගහන හන්ද සැර බැහැලද කොහෙද ඊයේ රෑ බාගයක් බිව්වා තෙරුනේවත් නැහැ කියල … බන්ට කියනවලු අපි බොනව වැඩි නිසාද මංද උදේ ඉදං ඉතිරි බාගෙත් බීල කිසිම කික් එකක් නැති තැන එමිං ගමන බාර් එකකට ගොඩවැදිලා ආයෙත් බෝධිසත්වයො උන නිසාලු පරක්කු උනේ.

Boris Jelzin - Vodka Bottleහැමෝටම හිතා ගත්තෑකිනෙ එදා පාටියේදී වගේම සති ගානක් යනකං කන්තෝරුවෙදිත් මුං දෙන්න කොහොම බයිට් වෙන්න ඇද්ද කියල … ඒ විතරක් නං මදැයි මුං දෙන්න පොඩි කොල්ලො දෙන්න නිසා අපේ IT ඩිරෙක්ටර් මහත්තය දැක්කහම චූ යන්නේ නැති ටික විතරයි. කරුමෙට මේක කටින් කට ගිහිං අධ්‍යක්ෂකට ආරංචි උන ගමන උන්දැත් මේ ජෝඩුවගෙන් ඕක ගැන අහල .. කියන්න දෙයක් නැති කමට ගොත ගහ ගහ කසාය බීපු ගොළුවො වගේ ඇඹරි ඇඹරි හිටිය කියල තමයි විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරන්නෙ.

අන්තිමේ පාටිය ඉවර වෙලා ටික කාලයක් ගියාට පස්සෙ, වෙන්න ඕන හරිය ඔක්කොම අහවර වෙලා බන්ට කොලුව පොරොන්දු ප්‍රාකාරව හාමිනේගෙ ඔට්ටුව උන චොක්ලට් මිල්ක් ෂේක් එකක් ගෙනල්ල මේසේ උඩින් තියල ගියාලු … ඒ නිසාම මේ ඩබලට කණ්ඩගේ ගානෙ සීල් නොකඩපු රුසියන් කසිප්පු බෝතලයක් ගෙනල්ල දුන්න. හැබැයි ඒකෙ නම දැක්කම අපේ කණ්ඩායමේ රුසියානු KGB ඒජන්ත තැන හෙවත් වදිම්ගෙ (Vadim) මූණ රුසියන් කසිප්පු අමුවෙන් බොනකොට වගේ ඇඹරිලා නාලු වෙලා ගිය බවත් නොකියාම බැහැ. 😀 😀 😀

එහෙනං අදට මෙපමණයි … ගොහිං එන්නං ඈ … 😀 😀 😀

~ කණ්ඩා !

පෙර ලිපි  / සුපිරි කොම්පැණිය ගැන තවත් කතා :

පසු ලිපි / Moral of the story :

  • කාන්තාවන් සමග අරෝවන් ඇති කර ගැනීම ඔබගේ ශාරීරික/මානසික සෞඛ්‍යට අහිතකර ලෙස බලපෑ හැක.
  • Hell hath no fury like a woman scorned