Al Qattara Oasis

අල් කට්ටාරා ක්ෂේම භූමිය

මේ ගමනේ පළවෙනි දවසෙ සැලසුම අලේන් නගරය කිට්ටුව තියන අල් කට්ටාරා (Al Qattara) සහ අල් ජිමී (Al Jimi) ක්ෂේම භුමි වල රවුම් ගහල අහවර වෙලා ඔටුවො විකුණන කඩ මණ්ඩියකටත් ගොඩ වැදිල (ඔව් .. ඔව් .. නෑදෑයො බලන්න තමයි) ජෙබෙල් හෆීත් (Jebel Hafeet) කියන එහෙමත් නැතිනම් හෆීත් කන්ද උඩත් රවුමක් ගහන්න (අරාබි බසින් ජෙබෙල්  කියන්නේ කන්ද). එදා නවතින්න තීරණය කරේ හෆීත් කන්දෙම මැදක් දුරට වෙන්න තියෙන බොහොම නිස්කලංක හෝටලේක (Mercure Grand). මේ ගැන වෙනම දවසක විස්තර අරගෙන එන්නම්.

එදා අපේ සංචාරයේ පළමු නැවතුම බවට පත් උනේ කලින් කියාපු ක්ෂේම භූමිය සහ ඒ අවට තියෙන නරඹන්න වැදගත් තැන්. එක්සත් එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ බුරයිමි දේශසීමාවට ආසන්නයේ පිහිටලා තිබ්බට මෙම ක්ෂේම භුමි දෙකට අලේන් නගර මධ්‍යයේ ඉඳල වැඩි දුරක් නැහැ. නමුත් බොහෝ දෙනා අලේන් නගරයට ආපුවම යන්නෙ හෆීත් කන්දටයි සතවෝද්‍යානයටයි විතරක් නිසා මෙහි සංචාරකයෝ ගැවසෙනවා අඩුයි (සමහර විට ඒකත් හොඳ දෙයක්).

අල් කට්ටාරාහි (Al Qattara) මෑත ඉතිහාසය ගත්තහම දැනට වසර 300 ක් පමණ පුරා කෘෂිකර්න්තයෙ යෙදුන දේශීය ජනයාගෙන් සමන්විත ජනාවාස තිබුණත්, ඉන් අමතරව දැනට අවුරුදු 2,000 – 4,000 කට එහාට විහිදෙන පුරාවිද්‍යාත්මක සලකුණු රාශියක් හමුව තිබෙනව.

Falaj Water wayෆලාජ් වාරිමාර්ග යොදාගෙන වගා කරන ලබන සාරවත් රට ඉඳි වගාවන්ගෙන් සමන්විත මෙම පෙදෙසේ තරමක් පටු උනත් රට ඉඳි වතු අතරින් වාහන ගමන් කල හැකි වෙන විදිහට ගල් අතුරා සකස් කරපු මාර්ගයන් සහිත නිසා පහසුවෙන් ඒ හරහා යන්න එන්න පුළුවන්. මේ වගාවන්ගෙ අයිතිකරුවන් ඒවායේම වාසය නොකරන නිසා වතු වලට පිවිසෙන එක වලක්වන්න කවුරුවත් නැහැ.නමුත් ඔවුන් එහි සිටියොත් ඇතුල් වෙන්න අවසර ඉල්ල ගන්න එකත් අපහසු නැහැ. ආගන්තුකයන් විදිහට ඒ වගාවන් වලට සහ වාරි මාර්ග පද්ධති වලට හානි නොකරන එක තමයි අපේ වගකීම.

අල් කට්ටාරා ක්ෂේම භූමියේ ඇති භූගත ජල උල්පත් වටා ගොඩනැගුනු රට ඉඳි වගාවන් සහ එම වගාවන්හි යෙදුනු ජනයා විසින් ගොඩ නගන්නට යෙදුන පැරණි ගොඩනැගිලි සහ ආරක්ෂාව උදෙසා ගොඩනැගුන මුර කුළුණු, බලකොටු සහ කොටු බැමි කිහිපයක් අදටත් දැක ගැනීමට ඉතිරිව තියෙනව. නමුත් ඉන් බොහොමයක් 17-18 වැනි ශතවර්ෂ වලින් පසු නිසි නඩත්තුවකින් තොරව ගරා වැටුණු තත්වයෙන් පැවතීම නිසා 1980 දශකයේ සිට පැරණි සැලසුම් අනුවම නැවත අලුත් වැඩියාවට සහ ගොඩ නැගීමට ලක් කරලා තියෙනව.

මෙහිදී බලකොටු කියූ පමණින් අපේ ඔලුවට එන්නෙ පැරණි ඉංග්‍රීසි සහ ඕලන්ද යුගයට අයත් ඇති විශාල ගල් සහ බදාමයෙන් හදාපු බැමි වලින් ආරක්ෂිත විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු ගොඩනැගිලි සංකීර්ණ. නමුත් ස්වභාවික සම්පත් වගේම ශ්‍රමයත් හිඟ මේ පළාත් වල තත්වය එයිට හාත්පසින්ම වෙනස්. බොහෝවිට මැටි, පිදුරු, රටඉඳි ගස් සහ පහසුවෙන් සොයාගත හැකි ගල්/කොරල් පාවිච්චියෙන් ගොඩනැගූ කුඩා ගොඩනැගිලි.

අල් කට්ටාරා කඩ මණ්ඩිය (Al Qattara Souq)

Qattara Souq

අල් කට්ටාරා ක්ෂේම භූමියේ කෙළවරක ගොඩ නගා ඇති අරාබි බසින් සූක් (Souq) නමින් හඳුන්වන පැරණි කඩ මණ්ඩිය මෙහි එන සංචාරකයන් අතර ප්‍රචලිතයි. 1930 පමණ අතීතයකට යන මෙයට යාබදව අලුතෙන් ඉදි වූ කුඩා වෙළඳ කුටි රාශියක්ද තිබෙනවා. සතියේ දින වලදී මිනිස් පුළුටක් දකින්න නැතත් සිකුරාදා සහ සෙනසුරාදා දින සැන්දෑ භාගයේ මෙම කඩපොළ විවෘතයි.

එහි සම්ප්‍රදායික සුවඳ විලවුන්, රට ඉඳි නිෂ්පාදන, ඉඳි කොළ වලින් වියන ලද මුළුතැන්ගේ වට්ටි සහ ආවරණ හිට ඔටුවන් වෙනුවෙන් භාවිතා වෙන මුකවාඩම්, ඔටුවන් පිට යන්න භාවිතා කරන සැඳෑල සහ ඔටුවන් සන් කරන කෙවිටි වෙනකම් දේ මිලදී ගන්න තියෙනව. ඒ අතරම දේශීය කෑම බිම සහ කෝපි කඩයක් එහමත් නැතිව නෙමෙයි.

මේ කඩ මණ්ඩිය ඉදිරිපිට පොඩි අයට සෙල්ලම් කරන්න හදාපු ඔන්චිල්ලා කිහිපයක් එහෙමත් තියෙනවා කලින් වතාවක මාත් එක්ක ගිය බූරුවො හත් දෙනෙක්ගෙ විතර වයස තියෙන සූට්ටං ගෑනු දරුවෙක් ඕක දැකල කුලප්පු වෙලා අමාරුවෙන් පශ්චාත් භාගය රිංගවාගෙන ඔන්චිලි පැද්දත් මතකයි. (ඒ හින්දම තාමත් ඒ ඔන්චිල්ලා ටික යහතින් තියෙනවද කියන්න නම් දන්නෙ නැහැ).

Land Roverනමුත් ඔන්චිල්ලා සහ අර සූට්ටං ගෑණු දැරිවිගෙ නාකි හුරතල් වලට වඩා කණ්ඩගෙ හිත ගියේ එයිට ඩිංගක් එහායින් ප්‍රදර්ශනයට තියල තිබ්බ පළවෙනි කාණ්ඩයට අයිති ලෑන්ඩ් රෝවරයකට (Seris I Land Rover) එහෙමත් නැත්තං අපේ බාසාවෙන් කියනවනම් ලැන්ඩියකට.

ලැන්ඩිය සුද්ද අපෙන් බේරිල ගිය කාලෙම ගොඩ – මඩ දෙකටම ඔට්ටු වෙන්න හදාපු, පරම්පරා ගාණක් තිස්සෙ මිනිස්සු බොහොම ආදරයෙන් වැලඳ ගත්ත ප්‍රසිද්ධ වාහනයක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. පහුගිය සියවස මැදක් වෙන්න බ්‍රිතාන්‍ය හමුදා සහ තෙල් ගවේෂකයන් සමග මැදපෙරදිගට ගොඩ බැහැපු මේ වාහන ගොඩට මඩට වගේම වැල්ලටත් එකසේ ගැලපුන නිසාවෙන් මැදපෙරදිග මිනිස්සු ඔටුවන්ට තරම්ම මේ වාහන වලටත් ආදරය කරා.

මේ අපේ අලේන් ගමන බිමන් පුරාවට අපිට හම්බ උන එකම ලෑන්ඩ් රෝවරය නෙමෙයි, ඒ වගේ මතකයන් කිහිපයක්ම තියෙනව. වෙන දවසක මැදපෙරදිග තෙල් ගවේෂණ සහ ලැන්ඩි සඳහාම වෙන් උන ලිපියකින් මේ ගැන වැඩි විස්තර ලියන්න හිතාගෙන නවත්තනව නැත්තන් මේක ලෑන්ඩ් රෝවර් ඇඩ් එකක් වෙලා තමයි නවතින්නෙ.

අල් කට්ටාරා බලකොටුව / බයිත් බින් අතී අල් දර්මාකි

Al Qattara Fort1

(Al Qattara Fort/Bayt Bin Ati Al Darmaki)

කඩ මණ්ඩිය අසලම අල් කට්ටාරා බළකොටුව (Al Qattara Fort / Hisn Al Qattara) හෝ “බයිත් බින් අතී අල් දර්මාකි” (Bayt Bin Ati Al Darmaki) නමින් හඳුන්වන උස් කොටු බැම්මකින් වටවූ මහල් තුනකින් සමන්විත පැරණි නිවසක් (අරාබි බසින් බයිත් – Bait/Bayt යනු නිවසයි) දක්නට ලැබෙනවා. එමීර් රාජ්‍යය පුරා විසිර ඇති ඇතැම් පැරණි නිවාස වෙත ඇතුළු වී නැරඹීමේ පහසුව ඇතත් අවාසනාවට මෙහි එම පහසුකම් නැහැ.

මෙම නිවස පැරණි ආකෘතියට අනුව දශක කිහිපයකට කලින්  නැවත සංරක්ෂණය කර තියෙනව. මෙවන් මහල් නිවාසයන්ගේ පඩි පෙළවල් නිර්මාණය කරන්න ඉඩකඩ අවම නිසා තට්ටුවෙන් තට්ටුවෙන් නගින්න තියෙන විදිහ බොහොම අපූරුයි, වෙනත් දවසක ඒ ගැන වැඩි විස්තර අරගෙන එන්නම්.

එමෙන්ම දැනට මේ පෙදෙසේ හමුව ඇති වටිනාම සොයා ගැනීමකට මග පෑදිලා තියෙන්නෙත් මෙම පැරණි නිවස අලුත්වැඩියා කිරීමක් අතරතුරදී බොහොම අහම්බයකින්, ඒ යකඩ යුගයට අයත්  එනම් ක්‍රි.පූ. 12 – 5 වෙනි ශතවර්ෂය (late Iron Age), 1,200 – 500 BC) කාල පරාසයක විහිදුනු ලෝකඩ නිෂ්පාදන, කෘෂි කර්මාන්තයට අදාල පුරාණ නටඹුන් රැසක්.

වර්තමානයේ “අතී අල් දර්මාකි” නිවසට යාබදව පිහිටා ඇති අල් කට්ටාරා කලා මධ්‍යස්ථානය (Al Qattara Art Centre) ගොඩ නගා ඇත්තේ මෙම පුරා විද්‍යාත්මක කැණීම් කල ස්ථානය ආවරණය වන පරිදියි. එහි භූගත මහල වෙත පිවිසීමෙන් මෙම ස්ථානය  නැරඹිය හැකි ලෙස සකසා ඇතත් අවාසනාවට මහජනයාට ඒ වෙත ඇතුළු වීමේ අවස්ථාව නැහැ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉතිහාසය ගැන කතා කරද්දි තෙල් සහ ඔටුවන්ට එහා ගිය වසර දහස් ගණනක කතාවක් දිග අරින්න තරම් දේ තිබුණත් රටේ ඉන්න මිලියන 9.4 ක දෙස් විදෙස් ජනතාවට ඒ ගැන දැන ගන්න ලොකු උවමනාවක් නැති වීම අවාසනාවක්. නමුත් කණ්ඩා ඉතිහාසය කියන බොහොම විරල ඇමේනියාවෙන් පෙළෙන රෝගියෙක් නිසා අදටත් මේ පැරණි දේ බොහොම කැමැත්තෙන් හාර අවුස්සනව.

අල් වජීදි බලකොටුව (Al Wajidi Fort) / හෙරිටේජ් විලේජ් අවන්හල

Al Wajidi Fort

අල් වජීදි බලකොටුව (Al Wajidi Fort) පිහිටලා තියෙන්නෙත් අල් කට්ටාරා ක්ෂේම භූමියේම පැත්තකට වෙන්න. අතී අල් දර්මාකි නිවසේ ඉඳන් මෙතනට වැඩි දුරක් නැහැ වාහනයකින් යනව නම් වැඩිම උනොත් විනාඩි 3-4 ක ගමනක්. මේ බලකොටුව ලඟට ගියාට ඇතුළට යන්න ලැබෙන එක්ක නැහැ බොහෝ වෙලාවට එය විවෘතව නැති නිසා. නමුත් අල් කට්ටාරා ආවොත් නොවැරදීම මෙතැනට අපි යන්නෙ බලකොටුව බලන්නම නෙමෙයි, අල්ලපු වැටේ තියන Heritage Village අවන්හල නිසා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යටගිය අතීතය පෙන්වන අපූරු පැරණි  ඡායාරූප එකතුවකින් වගේම කෞතුක භාණ්ඩ වලිනුත් මෙම ස්ථානය සරසල තියෙනවා. අවන්හලේ එකවර 60-70 කට උනත් අසුන් ගන්න ඉඩ තිබුණත් අපි ගිය කිසිම වතාවක 6-7 දෙනෙක්ට වඩා සෙනග නොහිටිය නිසා බොහොම නිස්කලංක තැනක්. හැමෝටම රස විඳින්න පුළුවන් විදිහෙ මනකිෂ් රොටි, විවිධ ග්‍රිල් කල මස් වර්ග වගේම ෆටූෂ්, තබූලේ වැනි සලාදත් නානාවිධ රසවත් මැදපෙරදිග කෑමත්  (බොහෝදුරට සිරියානු/ලෙබනන්) මෙහි පිළියෙල කෙරෙනවා.

ලෙබනන් කෑම ප්‍රිය නොකරන උදවියට පිට්සා හෝ ස්පැගටි වැනි යුරෝපීය කෑම වේලකට යන්න පුළුවන්. මෙනූ පතේ යුරෝපීය කෑම දාල තියෙනවා දැක්කහම මට හිතුනෙ අපේ හාමිනේට අමතරව ලෙබනන් අවන්හලකට ගිහින් ස්පැගටි හෝ චිකන් ෆ්ර්රයිඩ් රයිස් වගේ කෑම හොයන තව කට්ටිය ඉන්නව කියල (මේක මහා අරුම පුදුම ලෝකයක් !). ඔබ දුම්බොන අයෙක් නම් ශීෂා පානයටත් (Shisha/Hookah) මෙහි ඉඩකඩ තියෙනව.

දර්මාකි බලකොටුව (Al Darmaki Fort)

al-darmaki-fort

මේ විස්තර කරපු තැන් වලට අමතරව දර්මාකි පවුලට අයත් තවත් ගොඩනැගිලි කිහිපයක්ම අල් කට්ටාරා ක්ෂේම භූමිය පුරා විසිර තියෙනව. නමින් ඒවා අල් දර්මාකි මුර කුළුන (Al Darmaki Watchtower), දර්මාකි නිවස (Al Darmaki House/Abdullah bin Salem Al Darmaki House) සහ දර්මාකි බලකොටුව (Al Darmaki Fort/Sheikh Sultan bin Mohammed Al Darmaki Fort) නම් කරන්න පුළුවන් ඒ අතරින් දර්මාකි නිවස සහ මුර කුළුන ගරා වැටුන තත්වයේ පවතින නිසා බලන්න කරන්න තරම් දෙයක් එහි නැහැ.

නමුත් දර්මාකි බලකොටුව සංරක්ෂණය කර තිබෙන නිසා එහි නරඹන්න වගේම ක්ෂේම භූමිය පුර ඇවිදලා ගිමන් නිවා ගන්න නවතින්න සුදුසු තැනක්. 18-19 ශතවර්ෂ වල ඉදි කරන්න ඇතැයි සැලකෙන මෙය 1990 දශකයේදී සම්පුර්ණයෙන් අලුත්වැඩියා කරලා තියෙනව. බින් අතී අල් දර්මාකි නිවාස මෙන්ම මෙයත් කොටු පවුරකින් වට උන මැද මිදුලකින් සමන්විත වෙනව, එහි පසෙකින් චතුරශ්‍රාකාර දෙමහල් ගොඩනැගිල්ලක් වගේම කොටු පවුරටම සම්බන්ධ වෙන විදිහට හදාපු තවත් කාමර පේළියක් දකින්න පුළුවන් ඒ කාමර වල වහල මතට නැගල අවට නිරීක්ෂණය කරන්න වගේම සතුරු පහරදීමකදි ආරක්ෂිතව ඉන්න ගමන් අවශ්‍ය ප්‍රති ප්‍රහාර දෙන්නත් පුළුවන් විදිහට ගොඩ නගල තියෙන්නෙ.

මතු සම්බන්ධයි !

~ කණ්ඩා

පෙර ලිපි :

උයන්පුර සංචාර ~ I කොටස ~ අලේන් උයන්පුර සිරි

මැදපෙරදිග ගැන වෙනත් ලිපි : මැදක් නැති පෙර දිග