I කොටස ~ භූතරණ උමතුව
හඳ මෝරන කාලයට පිස්සන්ගේ උමතුව තීව්ර වෙන්නා සේම කණ්ඩාටද කාලයෙන් කාලයට නොයෙක් ආකාරයේ උමතු වැළඳීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්. හාමිනේට අනුව නම් ඔය කොයි පිස්සුවත් පවතින්නේ ඉතාම කෙටි කාලයක් විතරයි, ඒ බැන්ද දා සිට කල නිරික්ෂනයන්. එව්වා එහෙමයි, මං ගැන හොඳින්ම දන්නේ උන්දෑ තමා. නමුත් එකී මෙකී නොකී අට අසූවක් පිස්සු අතරින් රථ ගාය, කෑමට බීමට ලොල්වීම සහ සවාරි පිස්සුව වැනි කිසිදා සුව නොවන සදාකාලික උමතුද කණ්ඩාට නැතිවාම නොවේ.
එයිනුත් නිරතුරුව ගමනේ යා කියන පරක්කුවට එක කකුලක් දොරකඩින් එපිට තියාගෙන ඉඳීම හෙවත් සවාරි පිස්සුව පොදුවේ කණ්ඩා දෙමහල්ලන්ට ඉහළින්ම තියෙනා ව්‍යාධියකි. මේ උමතුවන් සියල්ල මැදහත් සිතින් ඉවසා වදාරන ප්‍රියම්බිකාවක් හමුවීම කණ්ඩාගේ පූරුවේ වාසනාවකි (මෙය හාමිනේ විසින් මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න).
ඔය අවු අස්සේම අලි මදිවාට හරක් කියන්නා සේ සවාරි පිස්සුව සහ රථගාය එකට කලවම් වීම නිසා කණ්ඩාට වැළඳුනු අලුත්ම පිස්සුවේ නම සුද්දගෙ සිංහලෙන් නම් “ඕවර්ලෑන්ඩින්ය” (Overlanding). අමු හෙළුවෙන් වනන්නේ නම් බිම් තරණය හෝ භූතරණය ලෙස හැඳින්විය හැකිය. අමුතු නමක් යෙදූවත් කඳවුරු බැඳීමට පහසු ආකාරයට විශේෂයෙන් සැකසූ රථ වාහන මගින් සංචාරයේ යෙදීම මිස මහා ලොකු අභිරහසක් මෙහි නැත.
වැළඳෙන ඕනෑම උමතුවක් සෙත්තපෝච්චි වෙලා යන්න ටක්කෙටම බෙහෙත් දෙන ගෙදර සිටිනා වෙද හාමිනේට අනුව නම් මෙය අවලං දශකය හෙවත් නෝටි ෆොර්ටිය අබියස සිටිනා කණ්ඩා මුහුණපාන මැදිවිය අර්බුදයකි (Midlife Crisis). වාසනාවට කොරෝනා වලින් බැට කා ඇවිදින්නට නොහැකිව මානසිකව වැටී දනිස් ලෙලි ගිහින් සිටිනා මේ අවදියේ පොඩි එකාගෙ කැමැත්තට ඉඩ දීමට හාමිනේ තීරණය කලාය. හොඳට හෝ නරකට ලද අවසරයෙන් උපරිම ප්‍රයෝජන ගත් මංතුමා භූතරණය වෙනුවෙන් අප ගමන් සගයා වන FJ කෘසරය ලහි ලහියේ හැඩ ගස්වමින් සිටින බව කියන්නෙ හදපිරි සතුටිනි.
ඕවර්ලෑන්ඩින් පිස්සුවෙන් අහිංසක කණ්ඩා පත්ව තිබෙන අගතියට වගකිව යුතු පාර්ශව කිහිපයකි. එරංග සහ බාසිල් සුසංයෝගයෙන් කලඑළි බහින “Outdoor Lovers”, “රෝද උඩ ජිවිතේ” ගෙවන ඩිලන් සහ මාර්ටිනා, “4xOverland” හි අන්දරේ සාන්ත පියේර් සුදු මහත්තැන් (Andrew St.Pierre White) මෙන්ම “4-Wheeling Australia” හි පරිප්පු රොනී (Ronny Dahl) තරුණ මහතාද මින් ප්‍රධාන වේ.
ඒ අතරින් රෝද උඩ ජිවිතේ ගෙනියන ඩිලන් සහ මාර්ටිනා නිරතුරුව ආමන්ත්‍රණය කරන්නේ සංචාරය කරන්නට කැමැත්තෙන් පෙලෙන්නන්ගේ හදවත් වලටය. ඔවුන් ලියන රස වෑහෙන සංචාරක සටහන් කියවන අයෙක් ඉන් උමතු නොවන්නේ නම් ඔහු හෝ ඇය කිසිසේත්ම සංචාරයට සුදුස්සෙක් නොවේ. ඒ අතින් ඩිලන් සහ මාර්ටිනා හා සමකල හැකි අය වේ නම් අතලොස්සකි.
නමුත් කණ්ඩා සඳහන් කල අනෙක් සංචාරකයන් තම සංචාර වල රසමුසු තැන් සමග තාක්ෂනික තොරතුරු මුසු කර ඉදිරිපත් කරති. සංචාරයන් පහසු කරන විවිධ අංගෝපාංග, උපදෙස් සහ සිදුකල යුතු රථවාහන වෙනස්කම් මීට ඇතුළත්. මේ සඳහා අලුතින් එකතු වෙන්නන් උදෙසා ඉන් ලැබෙන පිටිවහල මෙතෙකැයි කියන්නට බැරිය.
පොදු කරුණු කාරනා වලට අමතරව රටින රට මේ සඳහා ඇති අංගෝපාංග, නීති රීති එකිනෙකට බෙහෙවින් වෙනස් බැවින් වැඩිදුර උපදෙස් ගැනීමට තමන් වාසය කරන රටේ විශේෂඥ දැනුමැත්තෙකුගේ සහය අත්‍යවශ්‍යය. ඔය කියන කිසිම දෙයක් රොකට් තාක්ෂනය නොවුනාට හිතනා තරම් පහසුද නැත.
වාහන වල තාක්ෂණික පැත්තෙන් කණ්ඩා දන්නේ රෝද හතර ඉදිරියට සහ පිටුපසට කැරකෙන බවත් ඒ සඳහා ඇන්ජිම සහ ගියර් පෙට්ටිය උදව් කරන බවත් පමණක්මය (එලවන එක ගැනත් එහෙමම තමයි). එනිසා මේ වෙනුවෙන් එක්සත් එමීර් රාජ්‍යයේ දහසකුත් එකක් 4×4 ගරාජයන් තිබුනත් බැංකුවක් මංකොල්ල නොකා වාහනයේ සිදු කළයුතු වෙනස්කම් සීරුවට කරන්නට නම් උදව් අත්‍යවශ්‍ය බව කණ්ඩා හට තේරුම් ගියේ මුලදීමය.
වැඩි විස්තර සොයා අන්තර් ජංජාලය සහ මුහුණු පොත පීරද්දී හමුවූ ලංකික මිතුරන් වන අන්ජිත, එරංග සහ බාසිල් තුන් කට්ටුව ඒ සඳහා බෙහෙවින් පිහිට වූ බව මෙන්ම ඉදිරියේදී සිදු කරන වෙනස්කම් සඳහාද නිසි මග පෙන්වීම නොවන්නට කතාව මීට බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි. මේ කලාපයේ 4×4 ගරාජයන් බොහොමයක් පවත්වාගෙන යන්නේ සුද්ධෝදන කුලයේ උදවිය නිසා රථගාය වැළඳෙන අයගේ සාක්කු වල හිල් ඇති වීමේ ප්රවනතාවය ඉතාමත් වැඩිය.
වාහනය සැකසීමේ කාරියේදී තම තමන්ගේ උවමනා එපාකම් සහ සාක්කුවේ දිග පළල මත තෝරා ගැනීම් සිය ගණනක් අතරින් නිවැරදි දේ තෝරා ගැනීම තවමත් කණ්ඩා හට අපහසුය. නමුත් Outdoor Lovers කණ්ඩායමේ එරංග සහ බාසිල් පිහිටෙන් යන්තමට ලැයිස්තුව කෙටි කර ගන්න සමත් වූ බව කියන්නේ අප්‍රමාණ සන්තෝසයෙනි. කාලයක් තිස්සේ හීන දුටු පරිදිම මින් සමහරක් ලබාගෙන අහවරමුත් අභියෝගය අවසන් නැත, කොරෝනා විසින් දිනෙන් දින නොයෙක් බාධක අතර යා යුතු දුර බොහෝය.
- රෝද සහ සස්පෙන්ෂන් (Wheels and Suspension)
- වතුර ටැංකියක් සහ පොම්පයක් (Water Tank and a Pump)
- අමතර විදුලි පහන් (Camp Lights)
- අමතර බඩු සහ උපාංග සවි කිරීමට හුඩ් රැක් එකක් (Hood Rack)
- සෙවන සඳහා අකුලන වහළක් (Awning)
- බඩු බාහිරාදිය ඇසිරීමට ලාච්චු පද්ධතියක් (Drawer System)
- අමතර බැටරි පද්ධතියක් (Dual Battery System)
- ශීතකරණයක් (Freezer)
- වාහනය මත සවි කරන කූඩාරමක් (Rooftop Tent)
අදට මේ ඇති, කියන්න තියෙන්නෙ මෙච්චරයි,
මේක හදාගන්නම ඕන පිස්සුවක් !
~ මතු සම්බන්ධයි
* ලියන්නෙ කණ්ඩා !
පසු ලිපි :
ඕවර්ලෑන්ඩින් ගැන වැඩි විස්තර අවශ්‍ය නම් පහත සඳහන් YouTube චැනල් සඳහා Subscribe කරන්න
නොවැම්බර් 17, 2020 at 12:18 ප.ව.
කාලෙකින් ඊලග ඒක ඒනකම් බලන් ඉන්නවා කියන්න පුලුවන් ඒකක්
තද තද
කැමතියිLiked by 1 person
නොවැම්බර් 17, 2020 at 4:34 ප.ව.
වෙලාව තියෙන විදිහට නාගත්ත හිර වෙච්ච ඒව ගැන කියන්න බැලුවෙ
කැමතියිLiked by 1 person
නොවැම්බර් 17, 2020 at 12:18 ප.ව.
තවුසෙත් පටන් ගත්තද අපේ අහිංසක හිත් තලන්න.
කැමතියිLiked by 1 person
නොවැම්බර් 17, 2020 at 4:35 ප.ව.
ඇවිදින එක ෆුට් සයිකලෙනුත් ඇවිදිනව, අපි විහින් හිර වෙලා කියල හිතෙනව
කැමතියිකැමතියි
නොවැම්බර් 17, 2020 at 12:20 ප.ව.
රථ ගාය උපරිමයට ඇවිත්, ඇවිදින්න යන්න පුළුවන් ද , ලොක් ඩවුන් නැද්ද
කැමතියිLiked by 1 person
නොවැම්බර් 17, 2020 at 4:37 ප.ව.
මෙහෙ ලෝක ඩවුන් කරලා නැහැ, අනික යන අතේ ඇඟිලි ගානට වැඩි නෑ .. ඒ ගියත් සෙනග නොගැවසෙන පැතිවල.
කැමතියිකැමතියි
නොවැම්බර් 17, 2020 at 12:20 ප.ව.
ජයින් ජයම වේවා. මේක විතරයි සින්හල බ්ලොග් එකක අඩු වෙලා තිබ්බෙ. දැන් ඒකත් හරි.
කැමතියිLiked by 1 person
නොවැම්බර් 17, 2020 at 4:41 ප.ව.
බොහොම ස්තුතියි, ඩිලන්ගෙ රෝද උඩ ජීවිතේ – Life On Wheels FB පේජ් එක බලන්න ඒක මීට වඩා ගව් ගානක් ඉදිරියෙන්.
කැමතියිකැමතියි
නොවැම්බර් 18, 2020 at 8:12 පෙ.ව.
දන් වෙනකොහෙවත් යන්න අමාරු නිසා ගෙවල් ලඟ නොගිය පාරවල්වලින් හරි යනවා කොහෙහරි යනකොට. මං ඉස්සරත් ගිය පාරෙන් නැතුව වෙනත් පාරකින් යන්න ට්‍රයි කරනවා වැඩට ගියත්.
යන්තම් කෝවිඩ්ට ඉස්සෙල්ලා මන්නාරම,තලෙයිමන්නාරම, සින්ගුපිඩ්ඩි , යාපනේ සග ඩ්‍රයිව් කරන්න පුලුවන් දූපත් පහකටයි අර්ධද්වීපයේ වෙරල දිගෙයි ගියා. කිලෝමිටර් 1400 ගාණක් ගිහිල්ලා තිබුනා. දැන් ඒක මතක්කරමින් ඉන්නවා. දෙසම්බර්වත් කොහෙවත් යන්න හිතාගෙන .
//වාහන වල තාක්ෂණික පැත්තෙන් කණ්ඩා දන්නේ රෝද හතර ඉදිරියට සහ පිටුපසට කැරකෙන බවත් ඒ සඳහා ඇන්ජිම සහ ගියර් පෙට්ටිය උදව් කරන බවත් පමණක්මය //
වාහන ලෝලීන්ට තරහ යයි.
මටත් ඉතින් වාහන වොශින් මැශින්, ෆ්‍රිජ්, කම්පියුටර්, වගේ ප්‍රයෝජනවත් යන්ත්‍ර විතරයි. කම්ෆර්ට්, රිලයබිලිටි විතරයි. හොයන්නෙ. ජීප් රැන්ග්ලර් එක විතරයි බලන්න ආස බ්‍රෑන්ඩ් එක. පරණ කාර් නම් ඒවගේ පෙනුම නිසා බලන්න ආසයි.
කැමතියිLiked by 1 person
දෙසැම්බර් 9, 2020 at 4:06 ප.ව.
තවම මෙහේ අපිව ඕනවට වඩා හිර කරලා නැති හන්ද නිදහසේ ඇවිදිනව. ප්‍රා කිව්ව වගේ කිලෝමීටර් දෙතුන් දාහක වට වන්දනාවක් ඕමාන් වල දාන්න හිතාගෙන තමයි වාහනේ හදන්න පටන් ගත්තෙ … ඒත් කොරෝන එකටත් කෙලිය. Roof Top Tent එකත් ගහ ගත්ත ගිය සතියෙ, අනිත් වැඩ ටික හෙමිහිට කරගෙන යනව.
කැමතියිකැමතියි
නොවැම්බර් 19, 2020 at 3:48 පෙ.ව.
අපිත් ඇවිදින්න බොහොම ආස කට්ටියක්. හැබැයි දෙපාරක් කෑම්පින් අහුවුනාට පස්සේ ඒක නැවැත්වුවා . දැන් ඒ ටෙන්ට් එකත් ලංකාවේ තියෙන්නේ. ඩ්‍රයිවින් හොලිඩේ පිටරටකට ගියේ ජරම්නි ගිය එක විතරයි. රට ඇතුලේ නම් හතර පාරක් අවුරුද්දට යනවා ඇවිදින්න සහ හයිකින්. හැබැයි මේ 4×4 පිස්සුව නම් දැනට නැහැ. නමුත් ඩිෆෙන්ඩර් එකක් වගේ (පරණ ) අහු වුනහම යනව. ජීප් එක තමයි ප්‍රියතම. ලංකාවේ හෝ වෙන ඕන තැනක. ජීප් එකක් අරන් යන්න ප්ලෑන් කරන ඉන්නේ ඔසී රටේ. ඒකත් ඉතින් බාල්දි කොරෝනාව ඉවර වෙන්න එපැයි . enjoy
කැමතියිLiked by 1 person
දෙසැම්බර් 9, 2020 at 4:09 ප.ව.
කොරෝන හැමදේටම කෙලිය. ඒත් වැඩ ටික හෙමිහිට කරගෙන යනව. මට හොටෙල් වල ඉඳල එපා වෙලා තියෙන්නෙ .. ඒක මහ ඒකාකාරී දෙයක්. මෙහෙම යනකොට හැම වෙලේම වෙනසක් තියනව. අනික දිගු කාලීනව සාක්කුවටත් බොහොම වාසියි.
කැමතියිකැමතියි
නොවැම්බර් 24, 2020 at 4:33 පෙ.ව.
නව ලොවකට යනු වාගෙයි සංචාරේ
නව අත්දැකුම් හමු වෙනවා හැම වාරේ
නෝනා නොදමනා හින්දා දෝස්මුරේ
හඳට වුණත් යන්නට හැකි වේවි දොරේ!
කැමතියිLiked by 1 person
දෙසැම්බර් 9, 2020 at 4:13 ප.ව.
එහෙම ඉස්තිරියාවක් හම්බ වෙලා තියෙන එක වාසනාවක් තමයි. නිමල් අයිය හොඳින් ඇති කියල හිතනව.
කැමතියිකැමතියි