පාරෙන් පිට පැනීම සහ අවලම්බන

දැන් ඉතින් මේ මොන අවලම්බනයක්ද කියල අහන්න එපා, අද ලියන්න බලාපොරොත්තු වෙන්නෙ රෝද සහ සස්පෙන්ෂන් සම්බන්ධයෙන් අපේ ගමන් සගය වෙන FJ කෘසරේට කරපු වෙනස්කම් වෙනස්කම් කිව්වෙ වැඩි දියුණු කිරීම් මිස කෙනෙහිලි නෙමෙයි හොඳේ ) සහ අදාල නිධාන කතාව. කවදාවත් ලොකුවට හිතුවෙ නැති උනාට සස්පෙන්ෂන් කියන සුද්දගෙ පදේ හෙළුවෙන් වනන්නෙ කොහොමද කියල හෙමිහිට අන්තර් ජංජාලය පීරල බලනකොට තමයි ඔය අවලම්බන පද්ධතිය කියන හරුපෙ හමු උනේ. රෝද හතර වාහනේට එල්ලල තියෙන අංගෝපාංග වලට කියන්න වෙන නමකුත් නැති හන්ද නමේ ලොකු අවුලක් නෑ. ඒත් ඩිංගක් විතර හෙළ අවුල් සහ සර්වලෝක පූට්ටු (Universal Joint) ගතියක් එන්න ඉඩ තියෙන නිසාත් මම ආර්යසේන ආශුබෝධ නොවෙන නිසාත් සස්පෙන්ෂන් කියල දන්නා සිංහලෙන්ම කියන්නම්.

වාහනයක් උනහම ගැස්සෙන්නෙ පෙරලෙන්නෙ නැතිව යන ගමනක් පහසුවෙන් යන්න පුළුවන් වෙන එක තමයි සැප පහසුව තීරණය කරන ලොකුම කාරණාව. ඒකට වග කියන්න ඕන ඉතිං වාහනේ රෝද සහ සස්පෙන්ෂන් පද්ධතිය නිසා හැමදාම පාරෙන් පිට පනින්න බලන් ඉන්න අපිට FJ යන්තරේ ගැන අමුතුවෙන්ම හිතන්න උනා. මේකට ප්‍රධාන හේතුව කණ්ඩා විප්‍රවාසීව ඉන්න ඔටු දේසෙ ටොයොට ඒජන්ත තැන වෙන “අල පුටයිං” කොම්පැණිය වාහනේට කරපු හදි හූනියමක්. වාහනේ ගෙදර ගෙනත් යකා වගේ පාක් කරල තිබ්බට මොකද බරපතල වැඩ ගන්න තහනම්.

මේක දිග කතාවක්, කොටහක් කලින් ලිපි වල කියලත් ඇති ඒත් කැමති අයට මෙතනින් ඒ ගැන කියවන්න පුළුවන්. ඉතිරි ටික හැකි තරම් කෙටියෙන් කියන්න උත්සාහ ගන්නම්. මේ අල පුටයිං හූනියම වෙන මොකවත් නෙමෙයි FJ කෘසරේ හදාපු ජප්පන්ටත් ඇඬන විදිහට තාර පාරකින් පිට නොපනින්න වාහනය පොළොවෙ ගෑවෙන නොගෑවෙන ගානට ගෙඩි පිටින් අඟල් 3 ක්ම පහත් කරල මදි පාඩුවට අඟල් 20 ගෙටෝ ඇලෝයි වීල් (Ghetto) සෙට් එහෙකුත් දාන එක.

අනිත් යස වැඩේ කියන්නෙ මේ ගොයියො ඒ කාලේ TRD සහ Trail Teams ඇරෙන්න තිබ්බ ඉහලම ට්‍රිම් ලෙවල් එක වෙන EXR වාහන වලට තමයි මේ ඇබැද්දිය කරේ. හතරයි හතරේ ගාය හොඳ කරගන්න අවශ්‍ය Rear Differential Lock, ATRAC, Skid Plate, 4×4, Low Gear වගේ බොහොමයක් දේ තිබ්බට පාරෙන් පිට දාන්න තහනම් … දැම්මොත් කොම්පැණියේ වගකීමක් නැහැ (Warranty), අනතුරක් උනොත් රක්ෂණයෙන් ගෙවන්නෙත් නෑ. මේ වගේ අපූරු අදහස් අල පුටයිං කොම්පැණියෙ උදවියට පහල උනේ අල් නාථ දෙයියො හීනෙන් පෙනිලද දන්නෙ නැහැ.

මේ සාමාන්‍ය FJ එකක් සැසඳුවම අපේ වාහනේට කරල තිබුන වෙනස

ඔය උස අඩු කරද්දි ජප්පෝ ස්ටෑන්ඩර්ඩ් එවාපු සස්පෙන්ෂන් කොයිල් සෙට් එක වැලිගම්පිටි යවල වාහනේට නොගැලපෙන බොහොම කෙටි කොයිල් සෙට් එකකට මාරු කරල තියනව. හැබැයි ඒ වගේ සිඟිති කොයිල් වලින් ටොන් දෙහෙක වාහනයක් තවත් ටොන්  බාගෙක බඩු පටවගෙන යන්න පුලුවන්ද කියන ප්‍රශ්නය හෝ වාහනේ යන උදවියගෙ කොඳු ඇට පේළිය ගැන හෝ මේ උදවියගෙ එන්ජින් ඔයිල් මාරු නොකරපු ටිකිරි මොළ වලට ඇවිල්ල නෑ කියන එක නම් ඉර හඳ සේ විශ්වාසයි.

කොහොමින් කොහොම හරි ඔය අල් ජහුට කෝලම නටල ඉවර වෙලා වාහනේට “Street” නමින් ස්ටිකර් එකකුත් ගහල බොහොම උජාරුවට වාහන 100 ක ස්පෙෂල් එඩිෂන් එකක් කියල සංදර්ශන තියල කරළියට වැඩම්මුව. මේ කියන නාඩගම සිද්ධ උනේ 2014 මුල වගේ තමයි මතක. මෙච්චර විසිල් පිඹල බල්ටි ගහල එළියට දාපු වාහනේ අර ගන්න සෙනග පොර කකා පෝලිම් ගැහිලා ඉඳිවි කියල අල පුටයිං කොම්පැනිය හිතුවට, අහෝ ඛේදයකි ඉරකි තිතකි ! වාහනේ පිට පෙනුම ලස්සනයි වරදක් නැහැ, නමුත් පාරෙන් පිට පනින උදවිය මේ කරපු අලකලංචිය තේරුම අරගත්තු නිසා කොරෝනා කාලෙ කැස්ස හෙම්බිරිස්සාව තියෙන චීනෙක් දැක්ක වගේ මේ වාහන මග අරින්න ගත්ත.

වාහන ප්‍රදර්ශනාගාර වල මැස්සෝ වහමින් වේලෙන්න ගන්න කොට මෝඩකම් තේරුම් ගන්න පරක්කු වැඩියි. නමුත් ගිය නුවණ ඇත්තු … වැරදුනා මෙහේ ඇත්තු නෑනේ … ඔටුවො ලව්වාවත් අද්දවන්න බැරිම තැන රාමසාන් හඳ මෝදු වෙන කාලෙ අල්ලල සේල් කියලා තවත් විගඩමක් කරල 30% ක් වගේ අධික වට්ටමක් යටතේ මේ වාහන විකුණන්න දාන්න අල පුටයිං කොම්පැනිය තීරණය කරනව. හතරේ හතරයි ගායට බෙහෙත් හොයමින් ඉන්න කණ්ඩට ආයෙමත් මේ වාහනේ හම්බ වෙන්නෙ ඔන්න ඔය කියන කාලෙ. නමුත් එයිට කාලෙකට කලින් Drive Arabia වෙබ් අඩවියේ පල වුන මාශ්ගෙ (Mashfique) ලිපියකින් මේ ගැන විස්තර දැනගෙන හිටිය. වාහනේ පෙනුමට හිත ගියත් ගෙවන ගානට නොවටින පාරෙන් පිට පනින්න බැරි වාහනයක් අර ගන්න එක තේරුමක් නැති දෙයක් නිසා ඒ ගැන අමතක කරලා තිබ්බෙ. 

නමුත් සංසාරෙ පුරා ඔතාගෙන යන්න පතාගෙන ආපු දෙයක් හන්දද මන්ද අහම්බෙන් වගේ දැකපු ටොයොට දැන්වීමක් නිසා ආයෙත් Street ජහුට කෝලම කණ්ඩගෙ රේඩාර් එකට අහු වෙනව. හැබැයි ආයෙත් මිල සූත්තරේ වෙනස් වෙලා, අල පුටයිං කොම්පැණියෙන් වාහනේට කරපු අලාභ ආපිට හරවන්න යන ගාන සහ ලැබුන වට්ටම සලකම බලපුවහම සෑහෙන වාසියක් තිබ්බ. අගේට තිබ්බ වාහනේ ඔත්පල කරාට පාරෙන් පිට පනින්න උදව් වෙන අංගෝපාංග ඒ විදිහටම තිබුණ නිසා සස්පෙන්ෂන් සහ රෝද විතරක් මාරු කරල වාහනේ නැවත යථා තාවයට ගන්න පුළුවන් කියල තියෙන සීමිත කාර්මික දැනුමෙන් උනත් කණ්ඩ තේරුම් ගත්ත.

ඔන්න ඔහොමයි මේ කතන්දරේට කණ්ඩා දෙමහල්ලෝ සම්බන්ධ වෙන්නෙ. ඔය මොන දේ තිබ්බත් නිසි බලධාරිණිය කැමති වෙන්නත් ඕන … නොහිතපු විදිහට අනිත් හැම වාහනේකම අන්කොන් හොයාපු හාමිනේ FJ කෘසරේට විතරක් අත් දෙකම උස්සපු හේතුව මොකද්ද කියල අදටත් කණ්ඩ දන්නෙ නැහැ. (බවලත් උදවියට මොනවට හරි කැමති හෝ අකැමති වෙන්න හේතුවක් තියෙන්නම ඕනයැ ?  … විකාර ! ). අන්තිමට පස්මහ බැලුම් බලල මෙයින් එක්ක ගෙදර ගෙන්න 2015 මැද භාගයෙදි කණ්ඩ තීරණය කරනව. ලාබෙට වාහනේකුත් තියනවනම් හාමිනෙත් කැමති නම් … යකඩේ රත් වෙච්ච වෙලාවෙ තලා ගන්න ඕන නොවැ … කණ්ඩ දෙපාරක් නොහිත වාහනේට අත්තිකාරම් බැඳලා ආව.

අල පුටයිං එකෙන් “බුදු අයියෙ වඳින්නම් පාරෙන් පිට දාන්නෙපා, ගියොත් වොරන්ටි දෙන්නෙ නෑ … නෑ … නෑමයි” කියල වාහනේ අපිට දුන්නට අපිට ඒව අදාල උනේ නැහැ, අවුරුදු හයක් තිස්සෙ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහ ඕමානයේ පහසුවෙන් යන්න පුළුවන් බොහෝ වාදි සහ කඳු බඩ ගාන්න අපේ අලුත් ගමන් සගය නෑ ..බෑ .. නොකියා එකතු උනා. නමුත් එහෙම පාවිච්චි කරනකොට කිසිම අවස්ථාවක අපිව අමාරුවේ නොදැම්මත් වාහනේ සස්පෙන්ෂන් වල තියෙන සීමාවන් අපිට දිගින් දිගටම පැහැදිලි උනා.

හේදිලා ගිය කිලෝමීටර් 35 ක විතර ඕමානයේ කඳුකර දුර්ග මාර්ගයක කරපු පැය හයක ජල්ලි ඇල්ලීමක් වගේම ඒ රටේම මුහුදු වෙරළක බිත්තර දාන්න ඇවිත් වෙරළෙ හිර උන කැස්බෑවෙක් වගේ චැසියටම එරිල හිර වෙලා බලාගෙන ඉන්දැද්දි අඟලින් අඟල නගින වඩදියත් එක්ක මුහුදටම සින්න වෙන්න ගිය අවස්ථා පවා තියනව.

ඒ ඇරෙන්න විශේෂයෙන් කියන්න තියෙන්නෙ ගල් ගොඩැලි සහ හම්ප් එකක් උඩින් යන වාරයක් ගානේ අල පුටයිං කොම්පැණියෙ වැඩ කරන අයගේ මාපියන්ට සහ ළඟම නෑදෑයන්ට හච්චින් ගියානම් කණගාටුයි කියල තමයි. මොකද අර කලින් කියපු සිඟිති සස්පෙන්ෂන් කොයිල් වලට පින් සිද්ධ වෙන්න හම්ප් උඩින් යනවා කියන්නෙ ඇතුලෙ යන අපිට WWF රෙස්ලින් මැච් එකක වළල්ල අස්සෙ අන්ඩටේකර් උස්සල පොලවේ ගැහුව හැඟීමක් තමයි බම්ප් ස්ටොප් දෙක වදිනකොට දැනෙන්නෙ. මම රෙස්ලින් වලට අකමැත්තක් නැති හන්දම හොඳයි 🙂

නමුත් ඔය මොන අවුල තිබ්බත් ඕක තමයි මහත්තයො අපිට තිබ්බ ලොකුම සතුට. කලින් කියාපු නුහුගුණ අරුනහම සමතලා පාරවල් වලදි මේක වෙනස්ම වාහනයක්, තාර පාරවල් වලදි නම් ඉහෙන් බහින ලෙඩක් තිබ්බෙම නැහැ. විශේෂයෙන් 285/50R20 රෝද නිසා වාහනේ පාරට තියල මල්ටිබෝන්ඩ් දැම්ම වගේ බදනව, රවුන්ඩ් අබවුට් එහෙම කනේ වැලි ගෑවෙන නොගෑවෙන ගානට ගන්න පුලුවන්. UAE – සවුදි බෝඩර් එකේ 160 – 175 kmph පන්නනකොට 60-70 ට යනව කියල හිතෙන ගානයි. 

කාලයක් තිස්සෙ ඔහොම ශේක් මාමලාගෙ පිහිටෙන් අපේ වියදමෙන් ජිවිතේ ගෙවද්දි බුදු හාමුදුරුවන්ගෙ කාලෙ විශාලා මහනුවරට ආව කියන තුන් බියටත් හපන් චීන කොරෝනාව ලෝකෙම වෙලා ගත්ත නිසා රටින් රට ඇවිදින්න නොයෙකුත් තහංචි වැටුන. ඉස්සර රට විරුවො කියල කැරට් කාල මුරුංග අතු වල නැගල ටාසන්ල වගේ අත්තෙන් අත්තට පාද්දී පැද්දි හිටිය අපි පහු පහු වෙලා කොහු කොහු වෙලා කොරෝනා බෝම්බ උන නිසා හදිස්සියකට ලංකාවට එන්නත් බැරි තත්වයක් උදා උනා. ඒ හන්ද අපිට තිබුන එකම සතුට ඔටුවගේ රටේ කාන්තාර, කඳු සහ ගල් වලවල් අස්සෙ බඩගාන එක තමයි. 

මැදපෙරදිගටම වෙලා අවුරුදු දුසිමකට වඩා මුල් ඇද්දට පස්සෙ පාන් පොරනුවක් ඇතුළට දාල වැහුවත් රසේනෙ කියල දෙයක් නෑ … ඇත්තටම රස්නෙ කියන්නෙ හෙලවෙන මනසට … ඒ නිසා එළියෙ උෂ්ණත්වය 35-40 C ට තියෙද්දිත් කොඩිතුවක්කු පවුල සහ පත්තෙ මල්ලි වගේ ඇවිදින අමාරුව තදින් තියන කිහිප දෙනෙක් එක්කහු කරගෙන ඇහැක් විදිහට මීටරේ දුර තියාගෙන දාඩිය පොලු දාගෙන අපි ඇවිද්ද.

ඒත් වාහනේ සස්පෙන්ෂන් අඩු පාඩු මත මිනිස් වාසයෙන් ඈත් උන ඇවිදින්න තියෙන තැන් මග ඇරෙනකොට, අත පොව්වන මානයේ තියන හිත ඇදිල යන කෑම්ප් ග්‍රවුන්ඩ් දිහා බලන් හූල්ලන්න වෙනකොට, අරන් අවුරුදු පහකට පස්සෙ අන්තිමට FJ යන්තරේ සස්පෙන්ෂන් සහ රෝද වෙනස් කරන්න කාලේ හරි කියල තේරුම් ගියා. ඔන්න ඔතනින් තමයි මේ කතාවෙ දෙවැනි ඉනිම පටන් ගන්නෙ. (නෑ .. නෑ  කොම්බු චැනල් එකේ යන පදිරිමුනිගෙ බඩවැල නෙමෙයි)

මේ සන්තෑසිය කවද හරි උදා වෙන බව දන්න නිසා කණ්ඩා වාහනය ගත්ත අලුතම ඔරිජිනල් එවාපු ටොයෝට සස්පෙන්ෂන් ටික අල කරාට පස්සෙ ඒක හරි ගස්සන්නෙ කොහොමද කියල කිහිප විටක්ම අල පුටයිං කොම්පැණියෙන් කතා කරල විපරම් කරා. ඒත් කොයිතරම් උත්සාහ කරත් වාහනේ දුන්නට පස්සෙ උකුණු පුකක තරම් උදව්වක් ලැබුනේ නෑ. අල පුටයිං ආෆ්ටර් සේල්ස්/කස්ටමර් සර්විස් කියන්නෙත් හෙලවෙන මනසටම තමයි  කියල තේරුන ගමන උන්දලගෙ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරල ඒ පස්සෙ දුවන එක අමතක කරලා දැම්ම. ඔය නිසා රෝද සහ සස්පෙන්ෂන් වෙනස් කරද්දි දැනගන්න අවශ්‍ය දේ ගැන ඒ හැටි දැනුමක් නැති වීමත් වාහනය හදන වැඩේට බාලගිරි සින්ඩ්‍රෝම් වැළදෙන්නත් ප්‍රධාන හේතුවක්.

මෙතනදි අපිට මුලින්ම හිතල බලන්න උන කාරණය තමයි ජපන වාහනේ එව්ව විදිහටම එහෙමත් නැත්තනම් ස්ටොක්/ඔරිජිනල් සස්පෙන්ෂන් සහ රෝද දානවද එහෙමත් නැත්තම් සම්පුර්ණයෙන් වෙනස් අතකට බලල ආෆ්ටර් මාර්කට් පාර්ට්ස් දාල අපේ හිතේ තියන විදිහට හදනවද කියන එක. කාලයක් තිස්සේ මේ ගැන වාදවිවාද කරමින් දෙපැත්තට ඇදි ඇදී වැට උඩ උන්න කණ්ඩ (ඔව් ..ඔව් .. වැට උඩ අමාරුවෙන් තමයි එල්ලිල හිටියෙ) අන්තිමට තීරණය කරා හදන එක හිතේ හැටියට හදන්න.

ඒ එක දෙයක් විතරයි, ඉන් පස්සෙ තවත් දේවල් රාශියක් හොයන්න උනා. ඒ අතර මේ අංගෝපාංග තෝරා ගනිද්දි පහත කියන දේ ගැන සැලකිලිමත් වෙන්න කියන එක තමයි බොහෝ දෙනෙක්ගෙ අවවාදය උනේ

  • ගමන් ගන්න මාර්ග (තාර පාර, වැලි, කඳු/ගල් හෝ මඩ) වලට අනුව දිගුකල් පවතින දේ 
  • කැලේ පනිද්දි හෝ දුර ගමන් යද්දි හානි උනොත් පහසුවෙන් අලුත් වැඩියා කරන්න හෝ ආදේශ කරන්න පුළුවන් වර්ගයක්

රීම් සහ ටයර් තෝර ගනිද්දි ඒක කඩේට ගිහින් පරිප්පු කිලෝ එකක් ගේනවා වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, සෑහෙන්න හිතන්න ඕන දෙයක්. මේ කණ්ඩ හිර උන තැන් :

  • ඇණ රටාව (Bolt Pattern)

රෝද වාහනයට සවි වෙන ඇණ වල රටාවන් වහනට නිපදවන ආයතනය වගේම වාහනයෙන් වාහනයටත් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම බලන්න ඕන උනා අපේ වාහනයට ගැලපෙන රටාව මොකද්ද කියල හොයාගන්න එක වගේම ඒකට ගැලපෙන රීම් හොයාගන්න.

  • රීම් වල ප්‍රමාණය (අඟල් 16/17/18 ?)

තාර පාරට විතරක් ගැලපෙන අඟල් 20 ක් තරම් ලොකු රීම් වලින් හෙම්බත් වෙලා හිටිය අපිට ඔෆ්රෝඩ් යන්න අඟල් 16 හෝ 17 වඩාත් සුදුසුයි කියන එක තේරුම අරන් තිබ්බ. එයින් අඟල් 17 රීම් සඳහා ටයර් තේරීම වඩාත් පහසු නිසා අපි තොර ගත්තෙ අඟල් 17. හැබැයි මේක රටින් රටට වෙනස් වෙන්නත් පුළුවන්.

  • රීම් එකේ ඕෆ් සෙට් (Negative/Positive/Zero ?)

මෙතනදි වෙන්නෙ වාහනයෙ හබ් එකට රීම් එක සවිවන තැන සිට රීම් එකේ හරි මැදට ඇති දුර ප්‍රමාණය මනින එක. මින් නෙගටිව් එහෙමත් නැතිනම් ඍන ඔෆ්සෙට් (Negative Offset) රීම් එකක් පාවිච්චි කරොත් රෝද වාහනයෙන් තරමක් එළියට හිතන විදිහට අරගෙන වාහනය වඩාත් ස්ථාවර කිරීම සහ හැඩිදැඩි පෙනුමක් ලබාදීම කරන්න පුළුවන්. නමුත් එමගින් වාහනයේ ඇක්සල්, බෙයාරින් වැනි  අංගෝපාංග වල ආයු කාලය අඩු වීම වගේම ටයර් වාහනයේ ඇතිල්ලීමත් වෙන්න පුළුවන්. ඔය හේතු නිසා Zero Offset රීම් තෝරාගත්ත.

ඒ ගැන වැඩිදුර විස්තර කියවන්න කැමති අයට මේ ලිපිය උදව් වෙයි.  

  • රීම් වර්ගය (Steel/Alloy , With/Without Beadlock etc.)

පාරෙන් පිට පැනල හුළං හොඳටෝම අඩු කරල නිතර වැලි කඳු අස්සේ රිංගන්න ගල් උඩ බඩ ගාන්න යද්දි යම් හානියක් උනොත් හදා ගන්න ලේසිම යකඩ රීම් උනාට, අපි එතරම් සෙල්ලම් දාන්න නොයන නිසාත් මැදපෙරදිග එයිට ලේසියෙන් ඇලෝයි රීම් හොයා ගන්න පුළුවන්කම තියෙන නිසාත්  ඇලෝයි රීම් තෝර ගන්න තීරණය කරා වගේම බීඩ්ලොක් වල අවශ්‍යතාවයක් තිබ්බෙත් නැහැ.

  • ටයර් වල ප්‍රමාණය (මේක වෙනම ලොකු කතාවක්)

සුද්ද Size does Matter කිව්වට පාරෙන් පිට පනිද්දි භාවිත කරන ටයර් ප්‍රමාණයෙන් ලොකු වීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. එනිසා වාහනයට ආපු ප්‍රමාණයේම ටයර් භාවිත කරන්න හැකියාව තිබ්බත් ඒ වෙනකොට ප්‍රමාණයෙන් වැඩි 285 ටයර් සඳහා සස්පෙන්ෂන් පද්ධතිය සකසල තිබ්බ නිසාත් ප්‍රමාණයෙන් වැඩි ටයර් වලින් ලැබෙන සිත්ගන්නා සුළු හැඩිදැඩි පෙනුම නිසාත්  285/70R17 ටයර් භාවිතා කරා.

මේ තියෙන්නෙ රීම් සහ ටයර් ගැන පහසුවෙන් විස්තර හොයාගන්න කණ්ඩට උදව් උන වෙබ් අඩවි දෙකක් :

  1. How to Read Tyre Sizes, Labels and Speed Ratings
  2. Calculate/Compare Tyre Sizes
  • ටයර් වර්ගය (Road/Sand/All Terrain/Mud)

තාර පාරවල් ඇරුනහම මැද පෙරදිග පුරාවට ඕෆ් රෝඩ් මාර්ග විදිහට වැඩි පුරාම තියෙන්නෙ වැලි සහ ගල්  සහිත මාර්ග. මඩත් නැතිවම නෙමෙයි නමුත් අපිට නිතරම හමු වෙන දෙයක් නොවෙන නිසා ඒ ගැන වැඩිය හිතන්න උවමනාවක් නැහැ. එනිසා කලින් තුන් විදිහටම හරියන විදිහට All Terrain ටයර් දාන්න කණ්ඩ තීරණය කරා. 

උඩහින් කියල තියෙන දේවල් හැට හුටහමාරක් සැරින් සැරේ වෙනස් කරමින් අපිට අවශ්‍ය දේ මොන වගේ උපාංග එකතුවක්ද කියන එක හිතල බලන්න සිද්ධ උනා. 

ඔය ඔක්කොම කඩුලු පැනල මොකක් හරි අපි තෝර ගත්තහම පුවක් ගහෙත් දෙබලක් තියෙනවා වගේ ඒවයෙ මිල ගණන් අපිට පෑහෙන්නෙ නැහැ, එහෙමත් නැතිනම් කොරෝනා නිසා ඒව වෙළඳ පොළේ ගන්න නැහැ. ඉතින් ආයෙමත් මුල හිටන් ඇස් හමයන තුරු විස්තර හොයල කකුල් පණ යනකං ඇවිදපල්ලකො.

මුලින් ලියාපු ප්‍රලාප හන්ද පෝස්ට් එක ටිකක් රබර් වගේ ඇදුන නිසා සපෙන්ෂන් ගැන ඊළඟ ලිපියෙන් ලියන්නම්. අදට මෙපමණයි, සෙස්ස පස්සට 🙂

මතු සම්බන්ධයි

~ කණ්ඩා  ! 

පෙර ලිපි :