paddy-fields-in-bangama

කණ්ඩා හැදුනේ වැඩුනේ හෝමාගමට කිට්ටුව පාත පිහිටා ඇති වැලිපිල්ලෑවෙ කියන ගමේය, ගමක් කිව්වත් තියෙන්නේ කොළඹ දිස්තිරික්කයේ නිසා කැමති උනත් නැතත් කණ්ඩාද කොළඹ කාක්කෙකි !

එය එසේ උවද කණ්ඩලෑ තාත්තාගේ උපන් ගම පිහිටලා තියෙන්නෙ මාතර අකුරැස්ස පළාතේය, කොටින් කියනවා නම් බෙන්තර ගඟෙන් එහාය ! මේ හුඟ දෙනෙකු වැඩිය අසා නැති බංගම නම් බොහොම සුන්දර කුඩා ගමකි.බංගමට ලඟා වීම සඳහා අකුරැස්සේ සිට කැටන්විල පාරේ දියලපේ පසුකරගෙන කිලෝමීටර 11 ක් පමණ ඇහැලපේ-දෙදියගල දිහාවට එන්න උවමනාය… අද මෙන් අධිවේගී මාර්ග නොතිබුන ඒ අවදියේ කොළඹ සිට පරණ ගාලු පාර හරහා යන මේ ගමන වරුවකටත් වඩා ගතවෙන වෙහෙසකර කාරියකි !

අකුරැස්සේ සිට නම් පෞද්ගලික වාහනයක් ඇරෙන්න කණ්ඩලාට ගමට එන්න තිබුන එකම ප්‍රවාහන ක්‍රමය පරණ කෑලි හැලෙන හොම්බ දිග ලොරි බස් එකක් හෝ හාවා හඳ දකින්නා සේ කලාතුරකින් හමු වන ලංගම බස් ලඩියකි.

අතපය දිග හැර පහසුවෙන් ගමන් කල හැකි ලංගම බස් එක හමුවූනෝතින් ඒ පෙර කල පිනකට ලොතරැයියක් ඇදුනා හා සමානය. එවන් දිනකදී පහසුවෙන් ඉඳගෙන යාමට හැකි ආසනයක් හමු වීමට ඉඩ කඩ බොහෝ වැඩිය. … කොළඹ සිට අකුරැස්ස දක්වා හෙම්බත්ව එන කණ්ඩලාට එයත් ලොකු නිදහසකි !

අකුරැස්සේ සිට එන බස් රථය නවත්වන්නේ බංගම තුන්මං හන්දියේය, කැටන්විල-බංගම මාර්ගය උඩුගම හා දෙඩියගල දිසාවන්ට බෙදෙන මෙතැන කඩ නොහොත් ලඩ දෙක තුනකින් සැදි කුඩා කඩමණ්ඩියක් ඇත්තේය, බංගම පළාතටම හදිසියට බඩු මුට්ටුවක් ගන්න ඇති එකම තැන මේ හන්දියය.

bangama-junction-at-present

(බංගම හන්දිය)

කණ්ඩා ඇතුළු නඩය බංගම හන්දියට ගොඩ බැස්සත් ගමන අහවර නැත, තාත්තාගේ මහ ගෙදරට එතැන සිටත් කිලෝමීටරයක් පමණ පා ගමනින් දෙදියගල දෙසට යා යුතුය. (වර්තමානයේ නම් දෙදියගල දිහාවටම බස් පහසුකම් ඇත)

නමුත් බංගම හන්දියෙන් බැස පයින් ඇවිද යන මේ කෙටි දුර, ගමනේ කණ්ඩාගේ වැඩිමනක්ම සිත් ගත් කොටසය. දීර්ඝ ගමනකින් පසු ඇති ගත සිත වෙහෙස සැනෙකින් දමනය කල හැකි ගම්බද සිරියාව වචනයෙන් විස්තර කල නොහෙන තරම්ය. කියනවාත් වාගේ ඇවිද්ද පය හැබවින්ම දහස් වටින්නේ මෙවන් සුන්දර පරිසරයක් රස විඳීමින් පයින් ගාටද්දීය.

බංගම හන්දිය පසු කර මද දුරක් යද්දී මාවත දකුණු පස නිල්වන් වෙල් යායකට මායිම්ව උස් බිමක පිහිටා තිබෙන කුඩා පාසැල ඉතාමත් සුන්දරය. එය දකින කවර අයෙකුට හෝ, අනේ අපිටත් එහෙම පාසලක් තිබුනා නම් කෙතරම් අගනේද … ? යන්න සිතට නොනැගුනොත් එය පුරුමයට කාරණාවකි !

කණ්ඩාට එවන් පිනක් නොතිබුනත් කණ්ඩාගේ පියා නම් වාසනාවන්තයෙකි, මන්ද මේ කණ්ඩාගේ පියා මුලින්ම අයනු ආයනු කියූ පාසලයි … නමින් ඇහැලපේ විද්‍යාරාජ මහා විද්‍යාලයය. (අද දවස බංගම පළාතේ දියුණුතම පාසල උවත් මේ කියන සන්දියේ එ ගොඩනැගිලි දෙකකින් සැදී කුඩා ගම්බද පාසලකි)

කෙතරම් අඩු පාඩු තිබුනත් තමා සිප් සතර හැදෑරූ පාසලට තාත්තා දැඩි ගෞරවයකින් සැලකූ බව කණ්ඩාගේ අම්මා නොයෙක් වර පවසා ඇත්තේය… එමෙන්ම විදෙස් රැකියාවක් කරනා අවදියේ හැකි අයුරින් පාසලට කෘතගුණ දක්වන්නටද තාත්තා පැකිලීමක් දක්වා නැත !

ehelape-vidyaraaja-vidyalaya-at-present

(ඇහැලපේ විද්‍යාලය)

ගම මැදින් වැටුන දිය කඩිති වලින් පිරි කැඩුණ තාර පාරේ යන්තමට ගොන් බානක් දැක්කීමට තරම් ඉඩ ඇත. එහෙයින් වෙහෙස කෙසේ වෙතත් මේ පාරේ වාහනයක ගමන් කිරීමට වඩා පයින් ගාටන එක ශරීර සෞඛ්යයට හිතකරය.

කොහොමටත් මේ අබලන් පාරේ ඉඳ හිට හෝ වාහනයකට කියා ගමන් ගත්තේ ඈතින් ඇසෙන කුරුළු කොබෙයින්ගේ හඬ බිඳිමින් දුවන අත් ට්‍රැක්ටරයක් හෝ ලොරි බාගයක් පමණි.

පාර පසෙකින් ගලා බසිනා සීතල දිය පිරි දොළ පහරේ නම කියන්නට නොදන්නා නොයෙක් මසුන් රංචු ගසන්නේය … දෙපස අතරින් පතර දක්නට ඇති කුඩා නිවෙස් වල මිනිස්සු බීමට හැරුන විට අනෙත් සියලු දේ සඳහා වතුර අර ගත්තේ මේ දොළ පාරෙනි. කලාතුරකින් ගමේ ගිය විටදී කණ්ඩාගේ මද්දුම නැන්දනියගේ දියණිය වූ තොප්පි නංගී සමග ජල සන්නිය හැදෙන තෙක් ඉණක් වතුර පිරි දොළට පැන නැටූ හැටි දැන් කණ්ඩාට ඉතා දුරස්තර මතකයකි !

පාර දෙපස බැලූ හැම අතම නිලට දිලිසෙන සාරවත් වෙල් යායවල්ය. කණ්ඩාගේ පියාගේ මහ ගෙදර හමු වීමට පෙර අතුව කණ්ඩාගේ තවත් මිත්තණියක් වන සීයාගේ වැඩිමල් සොයුරියගේ නිවස හමුවන්නේය, කණ්ඩාගේ මතකය නිවැරදි නම් ගමේ උදවිය මේ ගෙදර හැඳීන්නුවේ පොල්ගස්වත්ත කියාය.

තුන් පසකින් වෙල් යායකට මැදිව සරු පොල් සහ තේ වගාවකින් යුතු මේ වත්ත මැද පැරණි තාලේ ලස්සන ගෙයකි. කණ්ඩාට යන්තමට මෙන් සීයාගේ වැඩිමල් සහෝදරියවද කණ්ඩාට නෑකමින් නැන්දනියන් වූ ඇගේ දුවනියන් මෙන්ම මිනිබිරියද මතකයේ රැඳී ඇත්තේය.

තාත්තාගේ මහ ගෙදරට මහගෙදර කිව්වත් ඇත්තටම එය පාර අද්දරට වෙන්න ගොඩ නැගූ කුඩා නිවසකි. තාත්තා ඇතුළුව සහෝදර සහෝදරියෝ පස් දෙනෙක් හැදී වැඩී උස් මහත් වී ඇත්තේ මේ නිවසේමය. කා හට උවත් තමන්ගේ ගෙදර රජ මැදුරක්මය, තාත්තාගේ පවුලට කියා එහි වෙනසක් නොතිබුණේය.

bangama-maha-gedara

(මහ ගෙදර)

මහ ගෙදරට පයින් යන දුරින් නිල්වලා ගඟට එකතු වන්නාවූ අත්තක් ගලා බසින්නේය, සිංහරාජයේ දෙදියගල වනාන්තරයෙන් පැන නගින මේ ගඟේ තාත්තා පිහිනන්න ඉගෙන ගත් ආකාරය ගැන වයිවාරණ රස කතා කණ්ඩා කොතෙකුත් අසා ඇත්තේය. වරක් දෙකක් තාත්තාත් සමග ගඟට නාන්න ගිය හැටි අතරින් පතර සිහියට නැගෙනමුත් කණ්ඩාගේ මතකයේ හිස් තැන් බොහෝමය …

පිහිනන්න බැරි මුත් දිය කෙළියට රහ වැටුණු කණ්ඩා වරින් වර ගඟට බසින්නට දැරූ දැඟලිල්ල සහ ඇවිටිල්ලෙන්  බේරුමක් නැති තැනදෝ ගඟේ කිඹුල්ලු ඉන්නවා යයි කියමින් කණ්ඩා බිය ගැන්වීම අවසානයේ පල දැරුවේ ගඟේ කෙසේ වෙතත් කණ්ඩාගේ ඔලුවෙන් කිඹුලන් ඉවත් කරන්නට බැරි වූ නිසාය !

(මාතර ගඟේ මෙන්ම සිංහරාජය කිට්ටුවද කිඹුලන් සිටීමට ඉඩකඩ ඇත  🙂  )

තාත්තා පිහිනන්න උපන් හපනෙක් උවද කණ්ඩාට නම් ඒ දස්කම් පිහිට නැත්තේය. දෙයියන්ගේ පිහිටෙන් කොහේ ගියත්, මොනවා කලත් ගැලවිජ්ජාව දන්නා හෙයින් ගිලෙන්නේ නැතිව බේරෙන්නට කණ්ඩාට හැකිමුත් ඉන් එහාට දෙයක් නම් බැරිය, බාගවිට ඒ කණ්ඩා බෙන්තර ගඟට මෙහායින් ඉපදුන පවට විය හැක 🙂

digili-ela2

(ගඟ)

මේ ගම පළාතේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනය, නිශ්චිතවම පවසනවා නම් වී සහ කුඩා තේ වගාවන්ය (පහතරට තේ).

එයිට අමතරව බංගමට අල්ලපු ගම වන දෙදියගල දෙසට වීමට කිතුල් හකුරු කර්මාන්තයත් යහමින් පැවති බව කණ්ඩාගේ ආත්තම්මා සහ සීයා පවසනු දොඩවනු (දකුණේ උදවිය දොඩනු මිස අන් උදවිය මෙන් කතා කරන්නේ නැත 😀) කණ්ඩා අසා ඇත්තේය.

කණ්ඩා කිතුල් මැදීම ගැනවත් හකුරු සෑදීම ගැනවත් දන්නා ලබු ගෙඩියක් නොමැත්තේය, නමුත් බංගමට ගිය හැම දොහකම මදියි නොකියන්න කිතුල් හකුරු සහ පැණි වලට වග කීම සඳහා කණ්ඩා හට එය කිසිම ආකාරයක බාදාවක් වුයේ නැත.

වර්තමානයේ අප පුරුදු වී තිබෙන සුපිරි වෙළඳ සැල් වලින් මිලදී ගන්නා පැණි බෝතල් මෙන් නොව එකල සීයා කිතුල් පැණි රැගෙන ආවේ පැණි මුල් වලය … පැණි මුල් සාදන්නේ වේළා පදම් කල පුවක් පට්ට වලිනි, මෙලෙස සෑදූ පැණි මුල් දුමේ එල්ලූ කල අවුරුදු කිහිපයක් උව කල් තබා ගත හැකිය.

දුමේ දැමු පැණි මුල් වීදුරු බෝතල් වල මෙන් නොව කල් ගත වන විට කෙමෙන් තෙතමනය වාෂ්ප වී යාමෙන් තව තවත් උකු වන්නේය. මෙලෙස උකු වීමෙන් මුල පතුලේ පැණි කැටි ගැසීම නිසාවෙන් සෑදෙන හකුරු බොර හඳුන්වන්නේ වැලි හකුරු කියාය, පැණි තැවරු කුඩා සුකිරි කැට මෙන් රසට හැපෙන වැලි හකුරු කණ්ඩා බොහෝ ප්‍රිය කල දෙයකි.

අවුරුද්දට කැවුම්, පැණි වළලු සහ වැලි තලප ආදී කැවිලි පෙවිලි සාදන අවස්ථා වලදී එතෙක් කල් දුමේ සැඟවී තිබුණු පැණි මුල් හෙමින් කල එළි බසින්නේය. ගෙවල් වල සිටින පොඩි උන් හට අවුරුද්දටත් කලින් අවුරුදු ලබන්නේ අම්මලා කැවිලි පිළියෙළ කරන අතරතුරදී වැලි හකුරු රස බලන්න ලැබෙන නිසාය.

මේ සියල්ලටම වඩා කණ්ඩාගේ ප්‍රියකර දේ වුයේ එකල සීනි වෙනුවට තේ කහට පානය සඳහාම පිළියෙළ කල කුඩා හකුරු කැටය. කෙසෙල් කොළ වලින් ඔතා හීනි කෙසෙල් පට්ටයකින් වෙලූ මෙම හකුරු කැට, සීනි මෙන් නොව තේ කහට කොප්ප්පයක් සමග පංකාදුය !

kitul-jaggery-and-treacle

(කිතුල් පැණි මුල්, හකුරු මුල්, වැලි හකුරු සහ හකුරු කැට)

සීයාගේ නම් ප්‍රියතම ආහාරය වූයේ කිතුල් පැණි හෝ මුදවපු කිරි සමග රතු කැකුළු බත්ය. සීයා තේ බොන උස වීදුරුවට දහවල් ඉතිරි වෙන කැකුළු බත් දමා වීදුරුවෙන් කාලක් විතර පිරෙන්න කිතුල් පැණි හෝ කිරි දාගෙන කන හැටි කණ්ඩාට අදටත් මතකය.

පුංචි සන්දියේ කණ්ඩාත් මේ රස බලා ඇතත් වඩා කැමැත්ත තිබුනේ මුදවපු කිරිත් සමග පැණි කෑමටය, මේ සියල්ල මතකයට එන කල අදටත් කණ්ඩාගේ කටට කෙල උනන්නේ නිතැතින්මය !

බංගමට අල්ලපු ගම දෙදියගල පිහිටලා තියෙන්නේ සිංහරාජ වනාන්තරයේ එක කොටසක් වන දෙදියගල වනාන්තරයට මායිම්වය. සීයා වරක් කණ්ඩාවත් කැටුව පා ගමනින්ම වනාන්තරය කෙලවරේ තිබුණ දෙදියගල ආරණ්‍ය සේනාසනය වෙත ගියේය.

ඒ කාලයේ අරණ්‍යය සේනාසනය අවට අඩි පාරේ වලසුන් ගැවසෙන නිසා ගැමියන් දවල් වරුවේ මිස හැන්දෑකරයේ මේ පළාතට නොයන බව සීයා පවසනවා කණ්ඩාට මතකය, අරණ්‍යය සිංහරාජය මායිමේම පිහිටා ඇති හෙයින් එය පුදුමය දනවන කාරණයක් නොවන්නේය.

ගිය ගමන මතක ඇති මුත් ආරණ්‍ය අවට පරිසරයේ තිබුණු අලංකාර පරිසරය ගැන සේම අනෙක් කල කී බොහෝමයක් දෑද මතකයෙන් ගිලිහී ගොස්ය. යන්තමට හෝ මතකයේ ඇත්තේ ගමේ කෙත්වතු සඳහා දියවර හරවනු වස් ගඟ හරහා බැඳි දෙදියගල වේල්ලත් එන ගමනේදී සීයාගේ පරම්පරාවෙන් ලද කුඩා තේ ඉඩමට ගොඩවැදුන හැටිත් පමණි.

inside-dediyagala-forest-reserve

(දෙඩියගල වනාන්තරය)

දළ බෑවුමක පිහිටි අතරින් පතර ගල් මතුවූ මේ ඉඩමේ ඒ දවස් වල අලුතින් පැල සිටවූ ළපටි තේ වගාවක් තිබුන අතර ආච්චි අම්මා හෙවත් තාත්තාගේ මව සමගද කණ්ඩා වරක් දොහක් එහි ගොඩ වැදුණා මතකය.

පරම්පරාවෙන් ආපු මේ ඉඩම කවදා හරි යන්න ඕනෑ පුතාගේ දරුවෙකුට තමයි දුවේ … යනුවෙන් සීයා වරින් වර කණ්ඩාගේ මව සමග පවසනු අසා ඇතත් ඒ සියල්ල තිබුනේ සීයාගේ සිතේය … තාත්තාගේ පවුලේ ඇතැම් උදවිය එයට හාත්පසින්ම වෙනස් අදහස් දැරූ නිසා සීයාගේ පැතුම කවමදාවත් ඉටු වුයේ නැත.

කොටින්ම තාත්තා මිලදී ගත් ඉඩමක් වත් කණ්ඩලාට නොලැබුණේ ඇයිද දන්නේ දෙවියෝ සහ ලොකු නැන්දා පමණි  🙂

ගමේ උදවියට මැල්ලුමක් හෝ කැඳ වෙනුවෙන් අවැසි කිසිම කොළ ජාතියක් කඩ පොලෙන් මිලදී ගැනීමට අවශ්‍යතාවයක් හෝ පුරුද්දක් තිබුනේම නැත. ඔවුන් සොබා දහම සමග සහජීවනයෙන් ජීවත් වන බැවින් සොබා දහම ගැමියන්ට හට අවැසි සියල්ල නොඅඩුව සැපයුවේය.

බංගම ආහාර පානයෙන් අතිශය ස්වයංපෝෂිතය, පිටින් ගෙන ආ දෙයක් ඇතොත් ඒ මසකට සැරයක් පොළකින් ගෙන ආ කරවල කූරියෙක් දෙන්නෙක් පමණි.

එබැවින් තේ ඉඩමට ගිය දවසකදී වත්තේ ඇති එළවලු-පළතුරක්, එතෙක් කණ්ඩා නොදැන සිටි තෙබු, මීවන, අඟුණ කොළ ආදී කොළඹ රටේ වැඩි භාවිතයක් නැති නොයෙක් මැල්ලුම් කොළ මෙන්ම ඉරමුසු, හාතවාරිය, වැල් පෙනෙල වැනි කැඳ සැදීමට ගන්නා පළාද නෙළාගෙන යාම ආච්චි අම්මාගේ එක රාජකාරියකි.

ඉතින් උදෑසනම ආච්චි අම්මා විසින් රතු කැකුළු බත්ද දමා පිලියෙළ කරන්නට යෙදුන ලොකු කොළ කැඳ වීදුරුවක් කිතුල් හකුරු කැටයක් සමග තාත්තාගේ මහ ගෙදරදී වැරදුනේ නැත ! කොළ කැඳ වලට වැඩි ආසාවක් නොතිබුන කණ්ඩා පවා කසාය බොන්නා මෙන් කැඳ ටික එක උගුරට ගිල දමා වීදුරුව අග ඉතිරි වන රතු කැකුළු බත් හකුරු සමග අහාරයට කෑදර කමක් දැක්වීය.

dediyagala-dam-across-river

(දෙදියගල වේල්ල)

ආච්චි අම්මා කණ්ඩාගේ පියාගේ මෙන්ම පවුලේ අන් සැමගේත් අධ්‍යාපනය ගැන බෙහෙවින් සැලකිලිමත් වූ බව කණ්ඩා අසා ඇත. කණ්ඩාගේ තාත්තා කොළඹ විත් ඉගෙනීමට මෙන්ම රට රැකියාවක් යාම කරාද ආච්චි අම්මාගේ හෙවනැල්ල බල පෑවාට සැකයක් නැත.

නමුත් මේ සියලු දේට යටින් කණ්ඩාගේ කතාව සමග ඛේදාන්ත කිහිපයක් දිවෙන්නේය, ඉන් බංගමට අදාලව මුල් තැන ගන්නා කාරණා දෙකකි.

පළමුවැන්න කණ්ඩා මෙතෙක් වේලා විස්තර කල ගම්බද සුන්දරත්වය පන් විසි වසකට පෙරඅතුව බංගම නෙත ගැටුන ආකාරයයි, වර්තමාන තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. (***ඇතැම්හු මෙය සංවර්ධනය කියා හදුන්වති !)

අද වෙන කොට මේ පළාත නොසෑහෙන්න එළිපෙහෙළි වී ඇති බව Google Maps වැනි සිතියමකින් බැලූ කල මොනවට පෙනෙන්නේය. දෙඩියගල වනාන්තරය ඇතුළු මුළුමහත් සිංහරාජයම ඇකිළිලා ගොසින්ය.

එදවස ඉණක් උසට වතුර තිබුණ මහ ගෙදර දොරකඩින් ගැලූ දොළ පහර ඒ මතකය මෙන්ම සිඳී යාමට ආසන්නය. එදා මෙන් වස විසෙන් තොර වගාවන්ගෙන් ඈත් වීම සනිටුහන් කරමින් කිසිවෙක් දොළ පහරේ වතුර තව දුරටත් ප්‍රයෝජනයට ගනු ඇතැයි සිතිය නොහැක.

අද පවතින බංගමත් එදා පැවති ගමත් සැසඳීමේදී කණ්ඩා දකින එකම හොඳ දේ දෙඩියගල දක්වා වැටුන බස් ගමන් කරන අලුත් තාර පාර පමණි !

කණ්ඩාගේ හිතට දුක දෙන අනෙක් කාරණය නම් කණ්ඩලාගේ පවුල බංගමින් මුළුමනින්ම පාහේ ඈත් වීමයි. මෙයට හේතු දෙකක් කණ්ඩා දකින්නේය.

බෙන්තර ගඟෙන් එහා අදහස් මෙහා අදහස් හා පෑහීමේ හොරය මින් එකකි. කණ්ඩලාගේ පවුලට බෙන්තර ගඟේ දෙඉවුර යා කල එකම පාරුව කණ්ඩාගේ පියා සහ සීයාය.

කණ්ඩා නව යොවුන් වියේ පසු වෙද්දී සීයා පවුලේ සැම අතැර නොඑනා ගමන් ගියේය … දෛවයේ සරදමකටදෝ ඉන් දෑවුරුද්දකට පසු කණ්ඩාගේ පියාද සීයා ගිය මගම ගියේ කණ්ඩාගේ පවුල කොල්ලෑව නැති ඔරුවක තත්වයට පත් කරමිනි.

පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වූ කණ්ඩාගේ පියා පවුලට ආලෝකයක් වී දිය හැකි හැම දේම දුන්නා සේම … තාත්තාගෙන් හාත්පසින්ම වෙනස් චරිතයක් වූ පවුලේ වැඩිමහල් ගැහැණු දරුවා වන ලොකු නැන්දා ගිල ගත හැකි හැමදේ බදාගෙන ගිල ගන්නා මකර කටක් වැනිය.

මේ කියනා වකවානුවේ කණ්ඩලා උන්නාද මළාද කියා සොයන්නට වැඩිමනක් පිරිස සිටියේ නැත … එසේ සිටි පිරිස අදටත් සවියක්ම වෙමින් කණ්ඩාගේ පවුල වටා සිටින්නේය !

මේ හේතු කාරණා නිසා කණ්ඩාට වයස අවුරුදු දහ තුනක විතර කාලයේ සීයාගේ මළගමට ගියාට පසු දශක දෙකකට අධික කාලයක් ගත වීත් කණ්ඩා බංගමට පා තබා නැත. ඇතැම් විට ඉදිරියේදී නැවතත් මේ ඉසව්වේ කරක් ගැසීමට ඉඩ ඇත, නමුත් ඒ කණ්ඩා දුටු බංගමට නම් නොවේ !

තාත්තාගේ නෑදෑ පිරිසගේ නම් ගම් ආදිය කණ්ඩාට දැන් හරි හමන් නිච්චියකුත් නැතිමුත් දන්නා කියන ආකාරයට දුර නෑදෑයෝ හැරුන කල පවුලේ උදවිය කවුරුවත්ම බංගම නැත්තේය.

ලොකු නැන්දා අනෙත් සැමදේ සේම මහ ගෙදරත් ගිල දමා අහවරය, ඇත හැර දැමූ මහ ගෙදර අම්බලමක් සේ පාලුවට ගොසිනි …  සීයාත් තාත්තාත් කණ්ඩා අතැර ගිය පසු බංගම කිසිවෙක් කණ්ඩා නොහඳුනන්නාක් මෙන්ම කණ්ඩාගේ පුරාණ මතකයන්ගෙන් තොරව බංගමට වෙන බැදීමක්ද නැත්තේය ….

bangama-map

(බංගම සහ දෙදියගල සිතියම)

කණ්ඩා ආපසු ගමට ගියත් මොනවා කරන්නද යනුවෙන් ඉලක්කයක් නැත ? ඇතැම් විට දෙදියගල ආරණ්‍යය පැත්තේ ගිහින් එන ගමන් ගඟට පැන වතුර ඩිංගක් ඇඟට දාගත්තොත් පැරණි දේ ආවර්ජනයට ඉන් ගැම්මක් ලැබෙනු ඇත …

එලෙසම අනෙක් අතට ආපහු සීයාවයි තාත්තාවයි මතක් වී පරණ තුවාල පෑරෙන්නටත් ඉඩ ඇත්තේය, අදටත් තාත්තාගේ පවුලේ සමහර උදවිය ගැන මතක් වනවිට හිතට පොඩි කහටක් සමග කටට දැනෙන අපුල රසයේ වෙනසක් වීද නැත්තේය !

සැලකිය යුතුයි : මෙහි අඩංගු දෙදියගල වනාන්තරයේ පින්තුර ලබා ගත්තේ Hikers Haven වෙතින් , එම ඡායා රූප වල අයිතිය ඔවුන් සතු  බව කරුණාවෙන් සලකන්න !

~ මතු සම්බන්ධයි !

Advertisements