Mogadishu Security

මරණයක උණුහුම

කඳවුරේ ඒ වෙනවිට හිටපු අනෙකුත් සගයන් හමු වීමෙන් අනතුරුව රමන් නැවත කාර්යාලයට ගිය නිසා එදින කරන්නට වෙනත් වැඩක් නොතිබුණ මම මුළුතැන්ගෙය වෙත යන්නට පිටත් උනා. ඒ යන අතරෙතුරේ කඳවුර මැද සාරෙට හැදිල තිබ්බ තුරු ගොන්නට හිත ගියේ ඉබේමයි, ඒ වෙනකොටත් එතන ප්ලාස්ටික් පුටු කිහිපයක් තියල තිබුන නිසා ගිමන් නිවාගන්න පංකාදු තැන. 

කණ්ඩගේ සෝමාලියා ගමන යෙදිල තිබ්බ වකවානුවේ උෂ්ණත්වය සෙල්සියස් 32-35 තරමට තිබුනත් හිටපු ප්‍රදේශයේ ආර්ද්‍රතාවය වැඩි අගයක් නොගත්ත නිසාදෝ හෙවනකට උනහම වායු සමනය නැතත් සැප පහසුවට ඉන්න පුළුවන්. නමුත් ඉර මුදුන් වෙච්ච වෙලාවට නම් තරමකට රස්නෙයි.

පස්සෙ මට තේරුන විදිහට කඳවුරේ ඇත්තො රාජකාරියෙන් මිදුන හැම වෙලාවකම ප්‍රධාන කාර්යාලය ඉරිපිට තිබුණ මේ ගස් යටට වෙලා කතන්දර හුවමාරු කරගනිමින් කෝපි කෝප්පයක් රහ බලන එක තමයි ප්‍රධාන විනෝදාංශය. කැමති අයට රුපවාහිනී, පරිගණක ක්‍රීඩා සහ අන්තර්ජාල පහසුකම් තිබුණත් ගෙවල් දොරවල් වලින් ඈත් වෙලා ඉන්නකොට ඒවා තවත් මනුස්ස පරාණයක් එක්ක හෙවනකට වෙලා නිදහසේ කයියක් ගහන එක තරම් වැදගත් නැහැ.

ඔහොම ඉන්නකොට පොඩි තිබහක් දැනිච්ච නිසා මම යන්න ආපු ගමන වෙන මුළුතැන්ගෙය වෙත ගියා, කණ්ඩට හුරු පුරුදු අනෙක් කඳවුරු මෙන් විශාල භෝජනාගාරයක් මෙහි තිබුනෙ නැහැ. ඒ වෙනුවට තිබුනෙ හය හත් දෙනෙකුට පහසුවෙන් උයන්න පිහන්න ඉඩකඩ තිබුණ තරමක මුළුතැන් ගෙයක් පමණයි. ආහාර ගැනීමට භාවිත උනේ අප නේවාසිකව සිටි ගොඩනැගිල්ලේ විසිත්ත කාමරයමයි.

මුළුතැන් ගෙයි ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය වන මූලික නවීන උපකරණ සියල්ලෙන් සම්පුර්ණ උවත් යකා නැටූ පිට්ටනියක් තරමට අපිරිසිඳු උන පොළොව ගෙනාවෙ අපුල හැඟීමක්. බිම පූරා හැලී වේලුණ ලේ වැනි යම් දියරයක් ඕනෑවට එපාවට ඉවත් කිරීම නිසා පොළොව පුරාම දුඹුරුපැහැ පැල්ලම් ගැසී තිබුණාට අමතරව එහි වසා සිටි පියාඹන නරින් තරමේ මැස්සන් කන්දරාවත් නහයට දැනුණ අමුතු කුයිල ගඳත් ඇතිකරේ දැඩි අප්‍රසන්නතාවයක්. 

ඩිංගක් විමසිල්ලෙන් බැලුවම ඒ මොකෙක් නමුත් සතෙකුගේ ලේ වෙන්නම ඕන කියල මට ඒත්තු ගියා, සමහර විට උයන්න ගෙනාපු මස් වගයක තිබිල හැලුන ඒවා වෙන්න පුළුවන් කියල මංතුමා තීන්දු කරා. සුපිරි කොම්පැණියෙ ඇතැම් කඳවුරු වල පහසුකම් කෙතරම් අවම උනත් පිරිසිඳුකමට ඉහල තැනක් දෙන එකේ මේක කණ්ඩ තුල ඇති කරේ පුදුමයක්.

අනික මේ කඳවුර සුඩානය වැනි අනෙකුත් අප්‍රිකානු රටවල්  සසඳනකොට එතරම් නරක නැහැ, අවශ්‍ය පහසුකම් ලබා දීල තියෙද්දිත් ඒවා හරි හැටි භාවිතා කරන්න බැරි ඇයි කියන එක තමයි ඒ එක්කම මගෙ ඔලුවට ආවෙ. නොදියුණු නගර වල තියෙන මේ සමහර කඳවුරු වලට පහසුකම් සපයන එක දුෂ්කර වැඩක්, එහෙව් එකේ පහසුකම් ලබා දුන්නට පස්සෙ ඒව බලාකියා ගන්න එක ඉන්න එවුන්ගෙ යුතුකම.

ඒ මොනවා කිව්වත් මහන්සිය නිවා ගන්න තේ කෝප්පයක් උවමනා වෙලා තිබ්බ මට මේ කිසිම දෙයක් අදාල උනේම නැහැ ( ඌරන්ට මොන සෞඛ්‍යද අප්පා ? 😀 ) ඒ හින්ද කිසි කලබලයක් නැතිව කට කපල කෝපි කෝප්පයකුත් හදාගෙන ආපහු උන්නු තැනින්ම වාඩි උනා. කාන්සිය යන්නත් එක්ක මට කලින් මුණ ගැහුන මදි වයසේ ගබඩා පාලකවරයෙක් උන එඩ්වර්ඩ් ලොක්කත් සෙට් උනා.

මට සෝමාලියාවෙදි හමු උන අය අතුරින් කෙන්යානු ජාතිකයෙක් වුණු එඩ්වර්ඩ් බොහොම අපූරු චරිතයක්. කතා බහ, වැඩ කරන විදිහ ඉතාමත් හෙමින් … ඇවිදින විදිහත් හරි අමුතුයි … ඒ හැම එකටම විශේෂ හේතුවක් තිබ්බ .. ඒ එඩ්වර්ඩ් තරුණ කාලෙ හිසට වෙලා තිබ්බ දරුණු අනතුරක් නිසා. ඒ වෙනකොට සම්පුර්ණයෙන් සුවය ලබා හිටියත් තනිකරම බූ ගාපු ඔහුගේ ඔලුවේ පසෙක අඟල් 2-3 ක හිස් කබලට හානි වීම නිසා හැදුන ආවාටයක් වගේ කොටසක් වගේම මැහුම් පාරවල් එහෙමත් පැහැදිලිව පෙනෙන්න තිවුණ.

Meeting Point Under the Trees

තමන්ට උන ඒ අනතුර ගැනත් මා එක්ක කියුව බව මතකයේ තිබුණත් ඒ ගැන වැඩි විස්තර සියල්ල දැන් කණ්ඩාගේ මතකයෙන් දුරයි. එඩ්වර්ඩ්ගේ වැඩ හෙමින් උනාට අනිත් සමහරක් අප්‍රිකානු ජාතිකයන් හා සසඳනකොට ඉතා පිළිවෙලයි. මොන දේ කරත් පොතේ විදිහට නූලට වැඩ. එනිසා කඳවුරේ සිටි බොහොමයක් දෙනා අතර එඩ්වර්ඩ්ට කැමැත්තක් දැක්වුවා.

මේ ගමනේ මගේ සහ රමන්ගේ ප්‍රධාන රාජකාරිය උනේ එඩ්වර්ඩ් හට තොග පාලනය සඳහා සුපිරි කොම්පැනියේ භාවිතා කළ පරිඝනක මෘදුකාංග පද්ධතිය (Inventory and Service Management System) පිලිබඳ වැඩිදුර පුහුණුවක් ලබා දීම සහ නේවාසික IT පරිපාලකයෙක් නොසිටි නිසා එහි ඇති  අනෙකුත් තොරතුරු තාක්ෂණික අඩුපාඩු සොයා බැලීම. මේ අතරින් එහි වූ මෘදුකාංග සම්බන්ධ රාජකාරි මටත් පරිඝනක ජාල සහ අලුත්වැඩියා රමන් හටත් පැවරුණා. තම තමන්ගේ IT උවමනා එපාකම් ගැන උදව් ලබා ගන්න කවුරුවත් නොඑන නිසා එහි හිටිය හැමෝගෙම IT දුක්ගන්නා රාළලා බවට පත් වෙන්න ඉදිරි දවස් කිහිපය තුළ අපිට සිදු වෙලා තිබ්බ.

අපි එහෙම ඉන්න අතරෙ සෝමාලි ජාතික කාන්තාවන් දෙදෙනෙක් ඇවිදින් මුළුතැන් ගෙයි බිම ඇතුළුව සුද්ද පවිත්‍ර කරන්න පටන් ගත්ත … ඔවුන් අතරින් තරුණ කාන්තාව හිජාබයකින් හිස ආවරණය කරගෙන හිටි අතර අනෙක් කාන්තාව හිස වසාගෙන සිටියේ නැහැ දෙදෙනාම මල් රටා වලින් යුතු ලිහිල් අබායාවල් වලින් සැරසී සිටියා. එඩ්වර්ඩ්ට සමු දීපු මම හිස් තේ කෝප්පය මුළුතැන් ගෙයින් තියන්න යනකොටත් අර කාන්තාවන් දෙදෙනා නාහේ කඩාගෙන  සුවඳක් තියන සැර විසබීජ නාශකයක් දාල පොළොව සෝදනව.

තිබහ සහ මන්සිය ගියේ නැති නිසා මම තවත් කෝපි කෝප්පයක් හදාගෙන නිදන කාමරේට ගියා. එහෙම ගිහිල්ල ඇඳේ ඩිංගක් ඇල ටිකක් උනා විතරක් මතකයි, ආපහු ඇහැරෙන්නෙ රෑ කෑමට යන්න රමන් ඇවිල්ල මාව කූද්දපුවම. ගමන් මහන්සියටදෝ එක පිම්මට නින්ද ගිහිල්ල. දෙවෙනි පාර අරන් ආපු කෝපි කෝප්පෙ එහෙම්ම පැත්තක, අල්ලලා වත් නැහැ. හවස කඩිමුඩියෙ හදාගෙන බීපු තේ කෝප්පෙට අමතර දෙයක් බඩට නොවැටුන නිසා බඩේ ගින්දරත් ඇවිලිලා තිබුණ නිසා මං රමන් එක්කම විසිත්ත කාමරේට ගියා.

මෙහි රාත්‍රී ආහාර ලබා දෙනු ලැබුවේ කණ්ඩට හුරු පුරුදු විශාල කඳවුරු වල මෙන් මහා පරිමාණ බුෆේ ක්‍රමයට නොවේ … සීමිත ආහාර වර්ගයන් 2-3 ක් පමණක් සෝමාලි ජාතික කාන්තාවන් අතින් පිළියෙළ කරනු ලැබුන. පරිප්පු සහිත එළවලු කරියක්, ගැඹුරු තෙලේ බැදපු මස් සමග බත් හෝ පාන් මෙම ආහාර වේලට අයත් උනා. එකම දේ බැරි නිසා දවසක් ඇර දවසක් වගේ ආදේශක් විදිහට මාළු/කුකුල් මස් සහ බත් වෙනුවට පැස්ටා හෝ ස්පැගටි ලැබුණ.

පළමුවෙනි දවස නිසා වැඩිය හිතන්නෙ බලන්නෙ නැතිව මම බත් සමග බැදපු මස් සහ එළවලු කරිය ආහාරයට තෝරා ගනිද්දි. රමන් බටර් තවරාගෙන පාන් පමණක් අනුභව කරා. මම නං ඒ මස් මොනවද කියලවත් හිතන්නෙ නැතිව බඩගින්න යනකන් දාගෙන කෑව. Mogadishu Office

ඒ එක්කම රමන් කන විදිහ දැකල අපිත් එක්ක කලින් ලයිබීරියා සංචාරයක යෙදුන ශංකර්ව මතක් උනා, ප්‍රෝටීන් ආහාර දිරවීමේ අපහසුවක් නිසා මුළු ගමන පුරාවටම ඔහුගේ කෑම හැකි හැම විටම සුදු බත් හෝ පාන් සමග ඔහු රැගෙනවිත් තිබුණු අච්චාරු බෝතලේකට පමණක් සීමා උනා. අපිත් එක්ක ගිය අනිත් සගයො නිතරම මේ ගැන මතක් කරමින් ශංකර්ව බයිට් එකට ගද්දි මම ලුණු ඇඹුල් නැති කෑම ලැබුණු වෙලාවල් වලදි ශංකර්ගේ අච්චාරුව බයිට් එකට ගත්ත.

රෑ කෑම කාල රුපවාහිනිය බලන ගමන් මම රමන් එක්ක කතාවට වැටුන. ඒ අතරතුර තමයි පාන් විතරක් ගිලින රහස අහු උනේ, කලින් දින කිහිපයේ දිගටම මස් අනුභව කිරීමේ ආදීනව ලෙස ඒ මනුස්සයට බඩේ ගායක් හැදිලා. හත් අවුරුද්දක් තිස්සෙ මරදානෙ තෝසෙ ගිලින ඩිප්ලෝමා එක කරල තිබ්බ නිසා මට නං ඉහෙන් බහින ලෙඩක් හැදුනෙ නැහැ (ඒත් මේ අහුවෙන ඕන දෙයක් කන බොන කටේ වැරැද්ද පහු කාලීනව බලපෑවද කියන්න දන්නේ නම් නෑ, ඒ දැන් ළඟක හිට හැදෙන බඩේ ගායක් නිසා, බාග විට දැන් වයස හින්ද වෙන්ටෑ : -D )

මොනව උනත් කොහෙන් ගේනවද කොහොම හදනවද කියල නොදන්නා නිසා ආපහු යනතෙක් මස් මාළු නොකා ඉන්න තීරණයක තමයි රමන් හිටියෙ. එවෙලේ තමයි හවස මුළුතැන් ගෙට ගිය වෙලාවේ පොලොව පුරා වැටිල තිබ්බ ලේ පැල්ලම් ගැනත් සමහර විට මස් පිසින්නට සුදානම් කරන්න ඇත්තේ බිම තියාගෙන වෙන්න පුළුවන් බවත් මං රමන්ට කිව්වෙ.

නමුත් ඒ ගැන රමන් කිව්ව කතාවෙන් මගේ කකුල් දෙක මැන්ඩලින් ගහන්න අරගෙන කේශාන්තයේ ඉඳන් පාදාන්තයට යනකම් මුළු ඇඟම සීතල වෙලා ගියේ නැහැ කියල කිව්වොත් ඒක අමුලික බොරුවක්. අපි කිසි ආන්තරාවක් නැතිව තවමත් තනි කෑල්ලට පණ පිටින් හිටියත් අපි ඉන්න නගරයේ අස්සක් මුල්ලක් ගානේ මරණය හොල්මන් කරන බවටත් ඇහි පිල්ලමක් ගහන පරක්කුවෙන් බිල්ලක් ගන්න පසුබට නොවෙන බවටත් ආපහු මතක් කරල දුන්න.

ප්‍රහේලිකා නැතිව හැමෝටම තේරෙන්න කියනවනම් එදා හවස මුළුතැන්ගෙයි පොළොව පුරාවට විසිරිලා තිබිල තියෙන්නෙ ලේ තමයි හැබැයි ඒ සිවුපා සතෙකුගේ ලේවත් ගෙනාපු මස් වල තිබ්බ ලේවත් නෙමෙයි  … ඒ මනුස්ස ලේ… අපේ කඳවුරු පරිශ්‍රයට අල්ලපු ගොඩනැගිල්ලක මුරකරු විදිහට සේවය කරපු මනුස්සයෙක්ගෙ. අසල වීදියක් සිදු උන ගිනි අවි කෙළියකදි පිට වෙච්ච අහක යන වෙඩි උණ්ඩයකට ඒ මනුස්සය තමන්ගෙ ජිවිතයෙන් වන්දි ගෙවල.

Death

ඒ වෙලාවෙ ඔහුව රෝහලකට ගෙනියන්න වාහනයක් එනකන් මූලික ප්‍රථමාධාර දෙන්න තමයි ඔහුව මුළුතැන් ගෙට අරගෙන ඇවිත් තියෙන්නෙ. නමුත් වාහනය පැමිණෙන විටත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රමාද වැඩි බව තමයි රමන් පැවසුවේ. ඒ අසරණ මනුස්සය අප ආයතනයේ සේවකයෙක් නොවුණත් ප්‍රථමාධාර දීමෙන් සෙතක් අත් උනේ නැතත් ඒ වෙලාවේ එහෙම උදව් කරන්න තීරණය කිරීම ලොකු දෙයක්. මොකද ඒ අවට ප්‍රථමාධාර දෙන්න හෝ වාහනයක් අරගෙන ඔහුව රෝහලට යන්න ඉදිරිපත් වෙන්න කවුරුවත් ඉඳල නැහැ.

කණ්ඩා කඳවුරට ළඟා වෙන්න පැය කිහිපයකට කලින් සිද්ද උන මේ සිදුවීම සුපිරි කොම්පැනි ජිවිතයෙ අහන්න ලැබුණ පළමුවෙනි ලේ හෙලවීම නෙමෙයි. ඉන් පෙර ඇෆ්ගනිස්තානයේ බාග්රම් කඳවුරට ගිය වාරයකදිත් අප එන්නට කලින් තලේබාන් ප්‍රාහාරයක් එල්ල වෙලා කිහිප දෙනෙක් මිය ගොස් තිබ්බ (සුපිරි කොම්පැනියෙ උදවිය නෙමෙයි), අපි යනකොටත් ප්‍රහාරයේ උණුසුම මැකිලා ගිහින් තිබ්බෙ නැහැ (ඒ ගැන වෙන දවසක). නමුත් හිතට තදින් දැනුන හිත කලඹවපු සිදුවීමක් වශයෙන් මේක අමතක කරන්න බැහැ, සමහර විට ලේ දැකපු නිසා වෙන්න පුළුවන්.

මේ සිදුවීමෙන් පස්සේ කඳවුර තුළ වාසය කරපු උදවියගෙ යම් තැති ගැනීමක් තිබුණ කියල තේරුණේ කතා බහ රාජකාරියට අමතරව අත්‍යවශ්‍ය දේට පමණක් සීමා උන ගතියක් දැනුන නිසා. කට්ටිය එදිනෙදා එකට එකතු වෙන වෙලාවල් වල හැම විටම කාමරේ මැද ඉන්න තඩි අලියෙක්ව මග අරින්න වගේ මේ කතාවත් මග ඇරුන. මරණය එක්ක ජීවත් වෙන්න සිදු වෙලා තිබ්බත් මරණය ගැන හිත හිතා ජීවත් වෙන්න කවුද කැමති ?

ඒ ගෙවුන දින කිහිපයේ කියන්නට තරම් විශේෂ සිදුවීමක් උනේ නැහැ, නමුත් හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා මෙම කඳවුර අයත් ඉන්ධන සැපයුම් අංශය වෙනුවෙන් අලුතින් පත් උන අධ්‍යක්ෂක තැන පැමිණීම නිසා කඳවුරේ වැඩ සියල්ල කටයුතු සියල්ල තරමකට උඩුයටිකුරු උනා. අපි ඔහුව ඩෙනිස් කියල හඳුන්වමුකො. එතෙක් කල් අලසව හිටිය සමහර උදවිය ඩෙනිස් ඉස්සරහ වැස්සක් වහින්න හදනකොට රඟන මොණරුන්ගෙ තත්වයට පත් වෙන හැටි බලාගෙන ඉන්න එකත් විනෝදජනක කාරියක්.

මේ හදිසි පැරෂුට් කාරයාගෙ කඩා වැදීම අපේ වැඩ කටයුතු වලට ගෙන ආවෙ කරදයකට වඩා පහසුවක්, ඒ අලුත් අධ්‍යක්ෂක තැන අපට අවශ්‍ය හැම දෙයක්ම ඉල්ලන පරක්කුවෙන් ලබා දීපු හෝ දෙන්න එකඟ උන නිසා. කඳවුරේ හිටපු අනෙත් උදවියටත් ඒ ඉල්ලීම් වලට පිටින් යන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මේ නොයෙක් ගනුදෙනු නිසා ඩෙනිස් සමග පුද්ගලික දැන හැඳිනුම්කමක් ඇති කරගන්න මට පුළුවන් වීම නිසා අපේ තත්වය තවත් යහපත් උනා.

දවස් දෙකක් වගේ සුළු කාලයක් තුළ අපට නියමිත වෙලා තිබුණු වැඩ සියල්ල නිම කරත් මොගඩිෂු කඳවුරේ තවත් අමතර දින කිහිපයක් රැඳී ඉන්න උනා. ඒ අතර කඳවුරේ වෙනස්කම් රාශියක් සිදු වෙමින් තිබ්බ. එතෙක් අලුත්වැඩියා නොකර කඳවුරේ පසෙකට දමා තිබුණු ඉන්ධන පොම්ප, බවුසර්, ගේජ් පද්ධති ලහි ලහියේම සකස් වෙනවාට අමතරව ඒවාට අත්‍යවශ්‍ය අමතර කොටස් ගෙන්වීමට වැඩ කටයුතු කඩිනමින් සිදු උන නිසා  ගබඩා පරිපාලකවරයා ලෙස සිටි එඩ්වර්ඩ් පහු ගිය අවුරුද්දට කරන්නට යෙදුණු වැඩ කොටස සතියකින් කරන්න ඇති 😀

මේ අතරේම මා නැවත ඩුබායි වෙත යන දිනය ලං උනා … කඳවුරට පැමිණියාට පසුව එක වාරයක්වත් ඉන් පිටට යන්නට අවස්තාව නොලැබුණ නිසා ලොකු කම්මැලිකමකින් තමයි කාලය ගෙවුනෙ. මා ගමන් ගත් ගුවන් යානයේම ඩෙනිස් හටත් ආසන වෙන් වී තිබුණු නිසා කම්මැලි කමකින් තොරව ගමන් කරන්න පුළුවන් වෙන එක ගැන මට තිබ්බේ සතුටක්. ආපසු තනි කෑල්ලට ඒ සතුට එහෙමම තියේවිද කියන එක වෙනම කාරණයක් 🙂

මතු සම්බන්ධයි !

 

~ කණ්ඩා !

පෙර ලිපි :

සෝමාලි කතා ~ I කොටස ~ නුබියාව නැතත් සෝමාලියාවට

සෝමාලි කතා ~ II කොටස ~ ගුවනේ සමයං සහ ජිබූටි

සෝමාලි කතා ~ III ~ මරණයේ නගරය ඔස්සේ සුපිරි කඳවුරට

ඇෆ්ගනිස්තානය ගැන ලියවුනු ලිපි   :

I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

VI කොටස ~ කාබුල් පොල්ල !

VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !

VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

IX කොටස ~ කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !

X කොටස ~ ආපන ශාලාවේ අවුල්-නිරවුල් !

XI කොටස ~ කාබුල් නගරසිරි, පටාන් රොටි සහ කාමර මාරුව