large cluster of Desert Rose crystals_

හැබෑම වාලුකා කුසුම් සහ මිත්‍යා

පහුගිය ලිපියෙ වාලුකාවේ කුසුම හෙවත් වරිස්ගෙ කතාව ඉදිරිපත් කරාට වරිස්ට ඒ නම දුන්න හැබෑම වාලුකා කුසුම එහෙමත් නැතිනම් Desrt Flower/Rose කියන්නෙ මොන වගේ එකක්ද කියල කිසිම අදහසක් තිබුනේ නැහැ. ඇත්තටම කිව්වොත් අදහසක් තිබ්බ නමුත් ඒ තිබ්බ අදහසත් වැරදි නිසා තමයි මුළු ජංජාලය පුරාම බැලුවත් හොයාගන්න ලැබුනෙ නැත්තෙ.

Japanese Roseහේතුවකට හෝ අහේතුවකට හදිස්සියකට ඒදණ්ඩකවත් යන්න බැරි තරමේ බක පණ්ඩිතයෙක් වෙන මම, මේ කියන අපූරු මල අනිවාර්යයෙන්ම කාන්තාර වලට ආවේනික පතොක් හෝ කටු පඳුරු වර්ගයකට අයත් විය යුතු බවට පුර්ව නිගමනයකට එළඹිලා හිටිය. ඔය නිසා හෙව්ව බලපු හැම තැනම ගස් වල හැදෙන නානාප්‍රාකාර මල් ගැන උනන්දු උනා මිසක හැබෑම වාලුකා කුසුම ඉබේම මග හැරුන.   ඔහොම හිතාගෙන සර්ච් කරනකොට නිතරම ආවේ අපි “ජපන් අරලිය” කියන මල් විශේෂය (Adenium obesum).

ඒ නිසා වරිස් ගැන ලිපිය ලියල අහවර කරත් ඒ ලිපියට මේ ගැන කිසිවක් ඇතුළත් කරන්න ලැබුනෙ නැහැ … නමුත් අර විභාගෙකට ලියල ගෙදර ඇවිල්ලත් වද දෙන උත්තරයක් නොදන්නා ප්‍රශ්නයක් වගේ හිතේ කොනක ඇනි ඇනී මේ කාරණේ රැඳිලා තිබ්බ. වාසනාවට ලිපිය අන්තර් ජංජාලෙට මුදා හැරල වැඩි  දවසක් යන්න කලියෙන් උත්තර මාව හොයාගෙන ආව අටම්පහිය වත්පොත් සමූහයේ සාමාජිකයන් දෙපලක් වෙන රුවනි සහ යොශික යන දෙන්න මාර්ගයෙන්.

රෝස මලක හැඩහුරුකම සහ අපූර්වත්වය කැටි උනත් ශාකමය නොවන මේ ස්වභාධර්මයේ අපූරු නිර්මාණ හැබෑවටම ගත්තම වැලි හා මිශ්‍ර වූ ජිප්සම් හෝ බැරයිට් ස්ඵටික (Gypsum/Baryte Crystals). සහරා සහ නැමීබියානු කාන්තාර ප්‍රදේශ වලින් බහුලව හමු උනත් එම ලක්ෂණම ඇති ලොව අනෙකුත් කාන්තාර ප්‍රදේශ වලිනුත් මෙවැනිම වාලුකා කුසුම් හමුවෙන බව වර්තා වෙනව.

පහතින් දාල තියෙන්නෙ සෞදි අරාබියේ අල් කොබාර් ප්‍රදේශයෙන් හමු වෙන වාලුකා කුසුම් ගැන පෙන්වන යූ බටයෙන් හොයා ගත්ත කෙටි වීඩියෝවක්. මෙම වීඩියෝවෙ පසුබිම් සංගීතය විදිහට යොදාගෙන තියන ජනප්‍රිය ගීතයේ නමත් වාලුකා කුසුම හෙවත් Desert Rose, බොහොම ප්‍රසිද්ධ ගායකයන් දෙපලක් වන “ස්ටින්ග්” (Sting) සහ ඇල්ජීරියානු ජාතික “චෙබ් මාමි” (Cheb Mami) මේ අපූරු ගීය ගායනයේ යෙදෙනව.

කාන්තරයේ ඉපිද එහි කටුකත්වය මතින් විකසිත වූ මලක් ලෙස වරිස් හැඳින්වීම කොයිතරම් ගැලපෙනවද කියන එක  ස්වභාවධර්මයේ අපූරු සුන්දරත්වය විදහා දක්වන මේ වාලුකා කුසුම් දිහා බැලුවම පැහැදිලියි. පොතක් නිසා කොහෙත්ම නොහිතපු පැත්තකට ඇදිල ගියත් අලුතින් යමක් ඉගෙන ගන්න එක වටිනව. ඒ නිසා කතාව මෙතැනින් නවතින්නෙ නැහැ.

Fulgeriteඅර වාලුකා කුසුම් ගස් වල හොයපු බක පණ්ඩිතය එයිට පස්සෙ හිවෙ වාලුකා කුසුම් හැදෙන්නෙ වැලි සහිත කාන්තාර වලට අකුණු පතිත වීමෙන් හට ගන්න අධික තාපයට වැලි උණු වීම නිසා කියල. ෆුල්ගරයිට් (Fulgurite) ලෙස හඳුන්වන එහෙම ඒව කන්තාර හෝ වැලි සහිත ප්‍රදේශ වලින් හමු උනත් ආයෙත් අර බක පණ්ඩිතය වැරදියි.

වැඩි විස්තර හෙව්වම වාලුකා කුසුම් ලෙස හඳුන්වන මෙම ස්ඵටික ඇති වන්නෙ නොගැඹුරු ලවණමය දිය කඩිති දැඩි හිරු රශ්මිය සහ සුළං තත්වයන් යටතේ සිඳී යාමෙන් කියලයි දැන ගන්න ලැබුනෙ. බලපාන පාරිසරික තත්වයන්ට අනුකූලව තනි තනිව හෝ පොකුරු වශයෙන් මේවා ඇති වෙනව. එහෙම බැලුවම මේ ක්‍රියාවලිය ලේවායන් වල ලුණු ලබා ගන්නා ක්‍රියාවලියට සමානයි.

වෙනස මෙයට අපි ආහාර රසවත් කිරීමට යොදාගන්නා සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl – Sodium chloride) වෙනුවට ජිප්සම් (CaSO4-2H2O : Calcium Sulfate Dihydrate) හෝ බැරයිට් (BaSO4 : Barium Sulfate) සම්බන්ධ වීමත් කිසිම මිනිස් මැදිහත් වීමකින් තොරව ස්වභාවිකව සිදු වීමත් පමණයි. ප්‍රමාණයෙන් මෙම ස්ඵටික හෝ “මල්” කඩල ඇටයක තරමේ සිට අඟල් 3-4 ක ප්‍රමාණයක් දක්වා ගන්න ඉඩ තියෙනව. හැබෑ මල් උනත් විවිධ වර්ණයන්ගෙන් තියෙනවා වගේම අඩංගු වෙන විවිධ වැලි සහ ඛනිජ ද්‍රව්‍යයන් මත වාලුකා කුසුම් වල පැහැය සුදු, කහ, කළු, අළු හෝ රතු වලට කිට්ටු පැහැයන් ගැනීමට ඉඩ තියෙනවා.

නමුත් කතාව එතනින් ඉවර නැහැ නොනැවතී මේ ගැන විස්තර හොයනකොට මේ වාලුකා කුසුම් සම්බන්ධ මිත්‍යා විශ්වාස කිහිපයක් දැන ගන්නට ලැබුණ (කණ්ඩා ඒ ගැන සත පහක විස්වාසයක් නැහැ, මේ වගේ ඔප්පු කරන්න බැරි හිතළු ගනින්න බැරි තරමට තියෙනව).

ඒ විවිධ මත අතර වාලුකා කුසුම් පරිසරයේ තියෙන කැලඹීමකට ලක් උන විශ්ව ශක්තිය උරා ගන්න නිසා නිතර කලබල වන හෝ ආතතියෙන් පෙළෙන උදවියට තමන් ඉන්න තැන් වල තියා ගන්න කියල කියනව. හැබැයි හරියටම කොහෙද තියාගන්න ඕන කියල නැහැ … ඒ ටික ඔයාලම හිතා ගන්නකො. ( විශ්ව ශක්තිය කියන්නෙ මොනවද කියල දන්නෙ නැත්තං අඟහරු ගඩොල් හොයාගත්ත පත්තරේ තියෙන මේ ලිපිය කියවන්න, හැබැයි හිනා වෙලා හක්ක පැන්නොත් වග කියන්නෙ නැහැ ! ).

ඒ විතරක් නෙමෙයි වාලුකා කුසුම් වල ඉෂ්ඨ දේවතාවෝ රැඳිල ඉන්නවලු (රෙන්ට් එකටද දන්නෙ නැහැ ? ) … ඒ නිසාම සෞභාග්‍ය උතුරල ගිහින් සාර්ථකත්වය ලඟා වෙනවලු … ආදර සම්බන්ධතා සාර්ථක කරනවාලු … හිත පිරිසිඳු කරල ශක්තිමත් කරනවලු … ඒත් මදිය කියල හිතනවා නම් මේවායෙන් බිබිලි, තුවාල, දද, සිරීම් සහ කුරුලෑ පවා හොඳ වෙන්න උදව් වෙනව කියල කියනව, ඒ කියන්නෙ කැසිල්ල තියෙන අයටත් හොඳයි. කැසිල්ල නැතත් අර්ශස් තියෙන අය නිතරම තරහ යන අයටත් මෙයින් එකක් අරන් බෙල්ලේ එල්ලා ගත්තොත් ආයි නෑ බටහිරින් ඉර පෑව්වා වගේ ප්‍රථිපල නියතයිලු.

මේ වගේ මග අනර්ඝ ප්‍රතිපල ලබා දෙන වාලුකා කුසුම් ඩොලර් 5 ක් වැනි සුළු මුදලකට අන්තර් ජංජාලයෙන් ගෙන්න ගන්න පුළුවන්ලු. ඔබත් ෆෙන්ග්-ෂුයි, අලි කෙන්දක ඉදං හක් ගෙඩිය දක්වා හැම බොරුවක්ම විස්වාස කරන කෙනෙක් නම් මේක ඔබට කදිම අවස්තාවක් ලෝකෙ එහා කොනේ ඉන්න තවත් කෙනෙක් පොහොසත් කරන්න.

මේ එකක්වත් මංතුමා කියන ඒවා නෙමෙයි හොඳේ …මේන් මේවයෙ තමයි  ඔය කියපු ප්‍රලාප තිබ්බෙ

ස්වභාව ධර්මයෙන් නිර්මිත ඇතැම් දේට මිනිස් ජිවිත වලට බලපෑම් කරන්න පුළුවන් කියල අනාදිමත් කාලෙක ඉඳන් මිනිස්සු අන්ධ විදිහට විශ්වාස කරානෙ. මැණික් ගල්, ජේඩ්, කොටි දත්, සත්ව හම්/කෙඳි වගේම මෑත කාලෙ බොහොම ප්‍රචලිත උන හක් ගෙඩිත් මේ ගණයටම වැටෙනව. මේවායින් වෙන සෙතක් මේ වනතුරුත් විද්‍යාත්මකව හොයාගන්න ලැබිල නැත්තෙ ඒවා බොරු නිසා නෙමෙයි විද්‍යාව නොදියුණු නිසා කියල හත්පොලේ දිවුරන්න සුදානම් උදවිය අදටත් මෙම ජාවාරමේ නිරතව ඉන්නව.

ග්‍රහ අපල වලටය කියල දාන බහු බූත නවරත්න මුදු, වාසනාව ලැබෙන්න කියල තියන හක් ගෙඩි පස්සේ ගිහින් එක එක හොරුන්ට සල්ලි පූජා කරන සම-හරක් නිසා ඒ උදවියගෙන්ම යැපෙන හොර ජාවාරම්කාරයොත් ඒමට ඉන්නව. එවන් මෝඩකම් වෙනුවෙන් එහෙම උදවියට අනුකම්පා කරන්න ඕන තමයි නමුත් අජීවී වස්තූන්ට මනුස්ස ජීවිතයකට මායාකාරී බලපෑමක් එල්ල කරන්න පුළුවන් කියන ප්‍රලාප ප්‍රචලිත කරන හොරු සහ ඒව පිළිගන්න එවුන්ට මඩු වලිගෙන් තැලුවත් කමක් නැහැ.

අර පොළොවෙන් මතු උන ගමරාළට කලින් හිටං රජකම් කරපු ජාතියේ අප්පච්චිට ජය ඇටයක් මිරිකන්න දීල ගොනාට ඇන්දුවා මදිවට දිනන නැකත් පවා හදල දීල රෙදි ගලවපු සහ ගලවා ගත්ත සුමනදාස ගණිතයා ගැන මතකයත් බොහොම අලුත් 🙂  හැබැයි පොඩි සතුටක් තියෙනව පහුගිය කාලෙ මෝඩයන්ට හක විකුණලා හකෙන්ම ගොඩ යන්න හදාපු කීර්ති දිසානායක කියන කීර්තිමත් හක්විතිට අවසානයේ අච්චු ලැබුණ නිසා. මේ  හාදයව මතක නැති නම් ඕං පහළින් බලා ගන්න.

මේ වගේම පාන් ගෙඩියකින් හිත් වේදනාවන් සමනය කරන්න විවේචන අපවාද නවත්තන්න පුළුවන් කියල කටේ තොලේ නොගෑවී බොරු කියන … ෆෙන්ග් ෂුයි සහ ගණ දෙයියන්ගෙ පිහිටෙන් සල්ලි හොයන ආසිරි වනිගරත්න කියන පල් හොරාත් එකම ගොඩටම දාන්න පුළුවන්. ඒ අතින් මිනිස්සුන්ව රවට්ටන්න කොයිතරම් ලේසිද ?

මේව බලනකොට හිතෙන්නෙම සම-හරක් මිනිස්සු, දේසපාලුවෝ කොයිතරම් මෝඩද ? නිවටද ? අපේ ජඩ මාධ්‍ය සල්ලි හොයන්න කොයි තරම් තුච්ච වැඩ කරනවද ? කියල … එහෙව් රටක ඉපදුන අපිට ගංගා මෑණියන්ගේම පිහිටයි … තිස්තුන් කෝටියක් දෙවියො ආරක්ෂාවයි !!! 😀

~ කණ්ඩා !

පසු ලිපි :

ඕන් බලන්න ඉතිං සොමාලියාවෙ ගිහිං ආපු මම හක්කලන් ගහල ගහල අන්තිමට නතර උන තැන … 😀 .. මේ පාර සෝමාලි කතා ඉවරෙටම ඉවරයි.

පෙර ලිපි :