Somalia Flag1

නුබියාව නැතත් සෝමාලියාවට

කතාව පටන් ගන්න කලියෙන් කියන්නෙ මේක පට්ටම කම්මැලි හෑල්ලක්, හේතුව මේ කොටස මගේ මතකයන් අමු අමුවේ වැමෑරීමක් සහ මේ හා සම්බන්ධ සිදුවීම් වලට පසුබිම සැකසීමක් විතරක් වීම. කණ්ඩගෙ ඇෆ්ගන් කතන්දර කියවපු අයට නම් ඒ ගැන අලුතින් විස්තරයක් ලොකුවට ඕන වෙන එකක් නැහැ … නමුත් අලුතින් කියවන අයගේ පහසුව තකා මේ ටික ලිව්වෙ එහෙම නැතිව කතාවෙ අගක් මුලක් නැති වෙයි කියල හිතුන නිසා.

සුපිරි කොම්පැණිය කියන්නෙ කණ්ඩට ජීවිතේ ගැන කියල දීපු, එතෙක් දැනගෙන හිටියයි කියල හිතපු හැම දේම උඩුයටිකුරු කරපු අමතක නොවෙන හොඳ සහ නරක මතකයන් රාශියක් තිලිණ කරපු තැනක්. කොටින්ම බණ්ඩ රට ආව වගේ හිටපු කණ්ඩව වලිගෙ කපල මොඩ් ගොයියෙක් කරපු ආයතනය. කණ්ඩගෙ ජීවිතේ හොඳම කාලය මෙතනට ගෙවුනත් ඒ ගැන පසු තැවිල්ලක් නැත්තෙ ඒ හැම දේම වගේ බෙදා ගන්න හාමිනෙත් හිටපු නිසා.

ඇෆ්ගනිස්තානයේ සහ යුරෝපයේ ව්‍යාපාරික කටයුතු වලට අමතරව සුපිරි කොම්පැණිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නානාවිධ ආහාර, ඉන්ධන, ප්‍රවාහන සහ ආපන ශාලා කොන්තරාත්තු බාරව හිටපු නිසා අප්‍රිකානු මහද්වීපය පුරා ආයතනය සතු කන්තෝරු සහ ගබඩා පිහිටා තිබුන. අයිවරි කෝස්ට්, ලයිබීරියා,  සුඩාන්, මාලි සහ සෝමාලියාව මේ අතින් ප්‍රධානයි.

ඔය හේතුව නිසාම මේ කොම්පැණියෙ ගෙවුන ජීවිතේ හත් අවුරුද්ද ඇතුළත IT බාසෙක් විදිහට වැඩ කරපු කණ්ඩට මේ සමහරක් තැන් වල ඇවිදින්න කරන්න පොට්ට චාන්ස් සෑහෙන්න පහළ උනා … තවත් සමහරක් ජස්ට් මිස්ඩ් බයි වන් කෙස් ගස් 😦 . කොහොමහරි ලෝකෙ තියෙන සුන්දරම නගර සහ එපාම කරපු නගරත් මේ ලැයිස්තුවට ඇතුළත්.

ඉතිං එහෙමයි කියල මේ හැම තැනකටම පීනන්න, පයින් යන්න කියලයැ … පියාඹන එක තමයි කරන්නෙ. එනිසා සංචාරක කතා පැත්තකින් තිබ්බත් ගුවන් තොටුපොළවල් ගැන, ඒවයෙදි හමු වෙන නානා ප්‍රාකාර මිනිස්සු ගැන වගේම අපිව ප්ලේන් එකට නැග්ගම ආදරෙන් බලා ගන්න එයාර් හුටස් නංගිල ගැනත් රස කතා අම්බානට තියනවා 🙂

මේ කියන්න යන කතන්දර වැල සිද්ධ උනේ එකෝමත් එක කාලයක (A life time ago ) මංතුමා සෝමාලියාවට ගියපු ගමනකදි … මං යන එන තැන් දැනගෙන හිටපු ළඟ යාළුවො කිව්වෙ මම මරණය හොයාගෙන යනව කියල. එත් ඒ දවස් වල ලංකාවෙත් කාලයක් යුද්ධය සැරටම තිබුණ නිසා මේ වගේ තැන් වලට යන එන එක මුලම කාලෙ ඇෆ්ගනිස්තානයෙදි ඇරෙන්න මහා ලොකු දෙයක් විදිහට දැනුනෙ නැහැ.

ඉතිං මගේ ගමනාන්තය උනේ සෝමාලියාවෙ මොගඩිෂූ උනා කියලත් වෙනසක් නැහැ … නමුත් රටක් විදිහට සෝමාලියාව ගොදුරු වෙලා ඉන්න අරාජිකත්වය, දුගී දුප්පත්කම, සාගතය සහ ත්‍රස්තවාදය ඔබ යම් තරමකට හෝ පුවත් බලන අයෙක් නම් දැනුවත් ඇති. මැරෙන්න වෙලාව ඇවිල්ල තියෙනව නම් මැරෙන්න විදි ඕන තරම් 😀

Black Hawk Downඑහි රජ කරන ත්‍රස්තවාදී කණ්ඩායම් වල ඇති භයානකත්වය යම් තරමකට හෝ වටහා ගන්නට අවශ්‍ය නම් ඇමරිකන් හමුදා පවා මට්ටු උන “මොගඩිෂු සටන” (Battle of Mogadishu) ලෙස හැඳින්වෙන දරුණු සිදුවීම් ජාලය ආශ්‍රයෙන් ලියවුනු Black Hawk Down: A Story of Modern War පොත කියවන්න පුළුවන් එහෙම නැතිනම් ලෙහෙසිම දේ “බ්ලැක් හෝක් ඩවුන්” (Black Hawk Down) චිත්‍රපටය නරඹන එක.

1990 ගණන් වල සෝමාලියානු සාගතයෙන් පීඩා විඳපු මිනිස්සුන්ට සහන සලසන්න පටන් ගත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “රෙස්ටෝ හෝප්” (Operation Restore Hope) ක්‍රියාන්විතය බ්ලැක් හෝක් ඩවුන් වලට හැරුන හැටි සහෝදර පරිප්පුවෙක් සහ ට්‍රම්පයියගෙ රටේ හමුදා සාමාජිකයෙක් වෙන ආසිරි දෙල්ගමුව හොඳ විස්තරයක් ලියල තිබ්බ බොහොම මෑතකදි. එහි සබැඳිය මෙහි පල හිතුවෙ මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති අය වෙනුවෙන්.

Horn of Africaඉස්සර සෝමාලියාව ගැන ප්‍රසිද්ධ බ්ලැක් හෝක් ඩවුන් චිත්‍රපටිය නිසා උනත් පහු කාලයක හිතන්න බැරි තරමේ කප්පම් ලබා ගැනීම් සහ පහරදීම් නිසා ඒ තැන “හෝන් ඔෆ් ඇෆ්රිකා” (Horn of Africa) කලාපය කේන්ද්‍ර කරගෙන අනසක පතුරවපු මුහුදු කොල්ලකරුවන්ට ලැබුන. … දැනට අවුරුදු කිහිපයකට කලින් ප්‍රදර්ශනය උන කැප්ටන් ෆිලිප්ස් (Captain Phillips) වැනි චිත්‍රපටි හොයාගෙන බැලුවොත් මේ ගැන අදහසක් ලැබේවි. මේ ගැන යළි යලිත් කියනවාට වඩා චරිත් ජනප්‍රියගේ “ඒඩ්න් සයුරේ සොමාලියා විලාපය” ලිපියේ සබැඳියක් මෙහි පල කිරීම වඩාත් සුදුසුයි කියා හිතුන.

Captaiin Phillipsකණ්ඩගේ සැලැස්ම වෙලා තිබුණෙ සෝමාලියාවෙ මොගඩිෂූ වල සතියක කාලයක් ගත කරල ආයෙත් ඩුබායි වලට එන්න. මේ වෙනකොට කන්තෝරුවේ පැටවිලා තිබුන රාජකාරි වගකීම් වැඩි වීම නිසා සංචාරය සෑහෙන්න ඇන හිටල තිබ්බෙ. කණ්ඩගෙ බොසා කරේ අමාරු වැඩ මංතුමාට පටවල අනිත් කණිෂ්ඨ IT බාස්ලව මේ ගමන් වලට යොදවපු එක. ඒ නිසා කණ්ඩට අහිමි උන අවස්ථා බොහෝමයි … ඒවාට බොස්නියාව, මාලි, ඊශ්‍රායලය, සුඩානය වගේම ගුවාම් දුපතත් ඇතුළත්.

ඒ අරුනහම එපාම කරපු දෙය තමයි මේ ගමන්වලට කකුල් දෙකෙන්ම ලෑස්ති වෙලා හිටිය කණ්ඩ වෙනුවට ගිය බොහෝ දෙනා ඒ ගමන් ගියේ විවිධ හේතු මත අකමැත්තෙන් වීම, ඉතිං ඒ ගිය උදවිය අනාගෙන නාගත්තම ඩුබායි ඉඳන් උන්ගෙ දුක් අදොනා අහන්න, වන කරපුව ගොඩ දාන්න අමුතුවෙන් මහන්සි වෙන එක එයිට හපන් කාරියක්.

ඒ ඇරෙන්න සෝමාලියාව ගත්තහම ඒ වෙනකොටත් මොගඩිෂු ගුවන් තොටුපොලට ඉන්ධන සහ විවිධ තාක්ෂණික/උපකාරක සේවාවන් සැපයීම සුපිරි කොම්පැණිය මගින් සිදු කරා. නමුත් ඉදිරියේදී සෝමාලියාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් මෙහෙයුම් නැවත පටන් ගන්නට සුදානමක් තිබුණ නිසාදෝ එහි සිටි කාර්‍ය මණ්ඩලය සහ පහසුකම් ලහි ලහියේම වැඩි දියුණු කරන්නට යෙදුන.

UNSOMපසු කාලයකදි ආරම්භ උන මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුම හැඳින්වුයේ “උන්සොම්” යන කෙටි නමින් – UNSOM (United Nations Assistance Mission in SOMalia) යන නමින්. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මෙතනින් කියවන්න පුළුවන්.

මෙය සෝමාලියාවට ආධාර පිණිස පවත්වාගෙන ගිය පළමු වැඩසටහන නොවෙයි, එයට කලින් UNOSOM I (United Nations Operation in Somalia I), UNITAF (Unified Task Force) සහ UNOSOM II (United Nations Operation in Somalia II) වැනි වැඩසටහන් වල අනුප්‍රාප්තිකයා.

සෝමාලියාවට යන්න සුදානමක් තිබ්බෙ නැතත් ඔය දාල තියෙන විස්තර සහ වැඩකටයුතු ගැන කණ්ඩ තරමකට දැනුවත්ව හිටිය … හේතුව ඒ වෙනකොටත් කණ්ඩා හාමිනේ සුපිරි කොම්පැණියේ ඉන්ධන හා සේවා සැපයීමේ අංශයේ IT බාස් කෙනෙක් විදිහට සේවය කරපු එක. ඒ දවස් වල කණ්ඩා සහ හාමිනේ සුසංයෝගය වසරකට ඩොලර් බිලියනයකට කිට්ටුව උපයපු මේ ඉන්ධන ව්‍යාපාරය සඳහා මෘදුකාංග ආශ්‍රිත තොරතුරු තාක්ෂණික සේවා සැපයුවා (Implementation & Support).

කණ්ඩා මෙම අංශයේ ගිණුම්, මිලදී ගැනීම්, විකිණුම් සහ තාක්ෂණික සේවා (Finance, Purchasing, Sales, Site Support and Technical Services ) යන අංශ සඳහා සේවා සපයද්දි හාමිනේ සුළු පරිමාණ ඉන්ධන සැපයීමේ සේවා, තොග කළමනාකරණය සහ ප්‍රවාහන සේවයට (Retail Sales, Storage Management and Transport Management & Tracking) වලට අදාල බොහොමයක් දේට වග කිව්ව.

මේතරම් වැදගත් රාජකාරි අඹු සැමි යුගලයකය පැවරීම අවදානම් සහිත ගැටළුකාරී (Conflict of Interest) දෙයක් විදිහට කෙනෙක්ට හැඟෙන්නට ඉඩ තිබුණත් අපි ජෝඩුව කලමණාකාරවරුන් දෙදෙනෙකු යටතේ එකිනෙකට වෙනස් මෘදුකාංග පද්ධති පාලනය කළ බැවින් ලොකු ගැටළුවක් මතු උනේ නැහැ.

විසඳන්න බැරි එකම ගැටළුවකට තිබ්බෙ හාමිනේ සමග එකම කන්තෝරුවක වැඩ කරපු නිසා එතන හිටිය ලස්සන ගෑණු දරුවො එක්ක කිසිම ඇයි හොඳයියක් තියා ගන්න බැරි උන එක විතරයි. එකම යාළු මිත්‍ර කණ්‌ඩායම්, සාද සහ ගමන් බිමන් නිසා ඒ අඩුපාඩුවත් එතරම් තදින් දැනුනෙ නැහැ 😀

කණ්ඩට කලින් හාමිනේට සෝමාලියාවට යන්න වෙයි කියල හිතුවත් ඒ ගැන වැඩි උනන්දුවක් නොපෙන්නපු හාමිනේ ඒ වෙනුවට ඇෆ්ගනිස්තානයේ ඉඳල ගෙන්නවපු කනිෂ්ඨ IT බාස් කෙනෙක්ව වැඩේට පන්ගරාත්තු කරල මග ඇරිය.

හේතුව හාමිනේ කලින් වතාවක ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ගුවන් පථයේ පිහිටවා තියෙන හමුදා කඳවුර (Kandahar AirField – KAF) වෙත යෙදුන දින කිහිපයක ගමනක් නිසා මෙවැනි දුෂ්කර ස්ථාන ස්ථාන වල ඇති අවම පහසුකම් ගැන ඇය සෑහීමකට පත් නොවීම.  කණ්ඩ නම් ඉතිං ඉබ්බ දියට දාන්න හදනකොට ඇන්නෑවේ කිව්ව වගේ ගමනට එක පයින් 🙂

අර IT බාස් ඇෆ්ගනිස්තානෙන් ගැලවෙන්නෙ කොහොමද කියල බලමින් හිටපු රමන් කියල අහිංසක ඉන්දියන් කොලුවෙක්, මට නං හිතුනෙ ඒ හාදය කබලෙන් ලිපට වැටුන කියල. ඒ ඇෆ්ගනිස්තානෙ කඳවුරු වල අප්‍රිකානු කඳවුරු වලට වඩා පහසුකම් සහ ආරක්ෂාවක් තිබුණ නිසා, අනික ඩුබායි වලට වඩා වැටුප් පවා හොඳයි. නමුත් මේක තාවකාලික වෙනසක් නිසා නිවාඩුවක් කියල හිත හදා ගන්න ඇති.

කොහොමද පම්පෝරිය … හරි … හරි … පවුල් කතන්දර සහ ආත්ම වර්ණනා ඉවරයි … දැන්වත් කතාවට යමුද ? නෑ …ඉවරයි කියල තිබ්බට ඉවරම නැහැ නැහැ … ඔය කතන්දරේ පටන් ගන්න කලියෙන් තව අතුරු කතාවකුත් කියන්න තියෙනව.

ඒකත් අර ජස්ට් මිස්ඩ් බයි වන් කෙස් ගස් කතාවක්, සුඩානයේ අගනුවර වෙන කාටූම්හි (Khartoum) සුපිරි කොම්පැණියේ ගබඩා සංකීර්ණයක් වෙත යාමේ අවස්ථාව කණ්ඩට උදා වෙන ලකුණු කාලයක් තිස්සේ පහළ වෙලා තිබුන. “උනමිඩ්” යන කෙටි නමින් හඳුන්වන්නට යෙදුන සුඩානයේ ස්ථානගතව හිටිය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා (UNAMID – United Nations – African Union MIssion in Darfur) සේවා සපයීම සඳහා පවත්වාගෙන ගිය කඳවුරක නිරීක්ෂණ සහ සේවක පුහුණු කිරීමේ වැඩකට තමයි ඒ.

Return of Tarzanවර්තමානයේ දුගී දුප්පත්කමින් වෙලුන සිවිල් යුද්ධ වලින් බැටකාපු රටක් උනාට අතීතයේ සුඩානය ඊජිප්තුව දක්වා දිවුන පුරාණ නුබියානු අධිරාජ්‍යයේ කොටසක්. මතක තරමට නුබියාව සහ නුබියානුවන් ගැන කණ්ඩ මුලින්ම ඉගෙන ගන්නෙ අවුරුදු 10-12 ක් තරම කාලයේ … ඒ භූගෝල විද්‍යාව, සමාජ අධ්‍යනය හෝ ඉතිහාසයට පිං සිද්ධ වෙන්න නෙමෙයි, කේ. ජී. කරුණාතිලක මහතා පරිවර්තනය කරපු එඩ්ගර් රයිස්බරෝස් ලියපු ටාසන් වීර කතා වලින්.

සුඩාන ගමනට සියල්ල සුදානම්, කොටින්ම ඒ සඳහා වීසා පවා ලබා ගෙන ඉවරයි. නමුත් කණ්ඩගෙ නුබියානු (Nubia) හීන කඩා ඉහිරවමින් අවසන් මොහොතෙදි ඒ ඔක්කොම කනපිට ගහනව. සැලැස්මවල් ඔක්කොම වෙනස් වෙලා කණ්ඩගෙ කාටූම් ගමන ගොඩබිමින් කිලෝමීටර් 2,000 ක් ඈත තියන මොගඩිෂු වලට හැරෙනව.

සෝමාලියාවට යන්න කලියෙන් වීසා අයදුම් කරලා එය ලැබෙනතුරු කාලයක් බලන් ඉන්න වෙයි කියල කණ්ඩ හිතුවට යවපු පරක්කුවෙන් ඒකත් දවසක් ඇතුළත ලැබුන, අඩු තරමෙ එම්බසියටවත් ගියේ නැහැ. අපේ PR ඔපිසරතැන උන ජේත්තුකාර මිසරියා තාරික් ඒකත් කරලා අතටම ගෙනැවිත් දුන්න … පස්සේ තමයි කල්පනාවට ආවෙ සෝමාලියාවට යන්න වීස ගන්න බලං ඉන්න උදවියගෙ පෝළිම ඒතරම් දිග වෙන්න බෑ කියල 🙂

ගුවන් ගමනට අවශ්‍ය ටිකට් එහෙමත් හම්බ උනා … ලෝකෙ අනිත් පළාත් වලට වගේ නෙමෙයි මොගඩිෂූ වලට යන්න සැප පහසු ගුවන් යානා නැති උනාට  සෝමාලියාව වෙත ඉතියෝපියානු ගුවන් සමාගම මගින් ගුවන් සේවා සපයන නිසා ගුවන් ගමන අපහසු වෙයි කියල මට හිතුනෙ නැහැ. නමුත් අවාසනාවට ඩුබායි සහ මොගඩිෂූ අතර ඍජු ගමන් වාර සහිත ගුවන් ගමන්වාර තිබුණේ නැහැ.

Somalia Trip

එනිසා යනකොට ජිබූටි (Djibouti) කියන ගුවන්තොටුපොලක ගොඩ බැහැල යන විදිහට තමයි ටිකට්පතේ සඳහන් උනෙ … මං එතෙක් වෙලා හිතන් හිටියෙ ටිම්බක්ටූ (Timbaktu) තමයි ලෝකෙ අප්‍රසිද්ධම නගරය කියල … නැහැ බලං යනකොට තවත් නොදන්නා නගර තියෙනව. මේ සංචාරය සෝමාලියාව ගැන විතරක් නෙමෙයි ඒ අසල්වාසී රටවල් ගැන වැඩි විස්තර හොයා බලන්න කණ්ඩව උනන්දු කරා 🙂

ඩුබායි > ජිබූටි > මොගඩිෂූ අතර ගමන ගුවනින් කිලෝමීටර්  2,800 කට වැඩිය දුර අවම පැය 7 – 8 ක් ගතවෙන වෙහෙසකර ගමනක්, ගමන යනකොට ජිබූටි හරහා ආවට ආපහු එනකොට ඩුබායි වෙත ළඟා වෙන්න තියෙන්නෙ නයිරෝබි හරහා. සෆාරියක් සඳහා කෙන්යාවට යන්න මෙය කදිම අවස්ථාවක් උනාට රාජකාරි වැඩ අධික නිසා කණ්ඩට ඒ අදහස අත අරින්න උනා.

මතු සම්බන්ධයි !

~ කණ්ඩා

සෝමාලි කතා ~ II කොටස ~ ගුවනේ සමයං සහ ජිබූටි

සෝමාලි කතා ~ III කොටස ~ මරණයේ නගරය ඔස්සේ සුපිරි කඳවුරට

ඇෆ්ගනිස්තානය ගැන ලියවුනු ලිපි   :

I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

VI කොටස ~ කාබුල් පොල්ල !

VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !

VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

IX කොටස ~ කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !

X කොටස ~ ආපන ශාලාවේ අවුල්-නිරවුල් !

XI කොටස ~ කාබුල් නගරසිරි, පටාන් රොටි සහ කාමර මාරුව