Djibouti Ambouli International Airport 2

ගුවනේ සමයං සහ ජිබූටි

කණ්ඩව සෝමාලියා පටවන දවස උදා උනා … හාමිනේගෙ නම් මේ ගමනට වැඩි කැමැත්තක් තිබුනෙ නැහැ … හාමිනේල කොහොමත් එහෙමනෙ … එහෙමයි කියල නොයා ඉන්නයැ, රාජකාරිය කියන්නෙ දේවකාරිය. එනිසා පටන් ගත්ත ගමන යනවා ඇරෙන්න ආයිත් අමුතුවෙන් කියන්න තරම් වටිනා දෙයක් විශේෂ දෙයක් සිදු උනේ නැහැ.

ඒ වෙනකොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අන්තර්ජාතික ගුවන් තොටුපොළවල් හතරක් තිබුන ඒ සාජා, ඩුබායි, අබුඩාබි සහ රාස් අල් කයිමා. මේ අතරින් අපේ කොටුව දුම්රියපොළ තරම්වත් නැති රාස් අල් කයිමා ගුවන් තොටුපොළ ඇරෙන්න අනික්වා ගුවන් ගමන් රාශියකට පහසුකම් සලසන කලාපයේ තිබුණු හොඳ මට්ටමේ ඒවා. මේ අතරින් කණ්ඩා ගුවන් යානයට නැග්ගෙ ලෝකෙ තියන කාර්ය බහුලම අන්තර්ජාතික ගුවන් තොටුපලක් වෙන ඩුබායි වලින්.

පහුගිය කාලෙ වෙච්ච සිදුවීම් ගත්තම මේ ටිකත්  ඉන්න හිතුන ඒ අපිව රැගෙන ගිය ගුවන් යානය ගැන … දැන්නම් නම කිව්වමත් කට්ටිය වෙවුලනව, වෙන මොනවත් නෙමෙයි බොයින් 737 (Boeing 737). නමුත් වාසනාවට මේ අර කඩා වැටිච්ච Boeing 737 MAX නෙමෙයි. මේ සංචාරය 2011 දි යෙදුන එක්ක නිසා එයාබස් – බොයින් සටන උත්සන්නව තිබ්බත් Boeing 737 MAX ඒ වෙනකොට කරළියට පිවිසිලා තිබ්බෙ නැහැ.

කණ්ඩ ගුවන් යානා ගැන විශේෂඥයෙක් නොවෙන පලියට බොරු කියන්න පුළුවන්යැ ? එනිසා ආයෙත් ගිහින් අන්තර් ජංජාලයේ හොයල බලනකොට අපි ගමන් ගත්ත ඉතියෝපියානු ගුවන් සමාගම යොදා ගත්ත යානාවල තොරතුරු හොයාගන්න අමාරු උනේ නැහැ. 100%  හරියටම කියන්න බැරි උනත්  හිතෙනව Boeing 737- 700 යානයක් වෙන්න පුළුවන් කියල. කොහොම නමුත් ඒ බොයින් යානයකට මංතුමා ගොඩ වැදුන පළවෙනි අවස්ථාව කියල නම් 100% ක් විශ්වාසයි 🙂

ගුවන් යානය සම්පුර්ණයෙන්ම පාහේ පිරී පැවතුනේ ජිබූටි, මොගඩිෂූ සහ නයිරෝබි යන ගමනාන්ත වෙත යන මගීන්ගෙන්. ඒ අතර ආසියාතිකයන් සහ යුරෝපීයයන් කිහිප දෙනෙක් හිටියත් 80 % කටත් වඩා බහුතරය අප්‍රිකානුවන්. යානය එතරම් පැරණි එකක් නොවුනත් පිරිසිඳුකම අතින්නම් අන්තිම සවුත්තුයි. පැල්ලම් ගැහුණ ආසන, කැබින් එක පුරා පැතිරුන සැර එයා ෆ්රෙශ්නර් එක්ක කලවම් උන ඉවසන්න බැරි දහඩිය දුගඳ මේ අතරින් ප්‍රධානයි.

කවුළුවක් අසලම (Window seat) සීට් එකක් ලැබුණට වැඩක් තියෙනවයැ යනකොට ජනෙල් ඇරගෙන යන්න බෑනෙ,  පුළුවන් කමක් තිබුණනම් ජනේලෙ ඇරල ඔලුව එළියට දාගෙන යනව 😀

Ethiopean Air linesමේ ටික කිව්වෙ නොකියාම බැරි නිසා, මම වැසිකිළි පහසුකම් ගැන වැඩි විස්තර කතා බහ නොකර ඉන්නම් මොකද ඒකත් දොර ඇරිය ගමන් ටිකක් පිටකොටුවෙ මැනිං මාර්කට් එක කිට්ටුව තියන වැසිකිළි වල වගේ ගන්දස්සාරයක් ආව නිසා 😦

හොඳකට කියල තිබ්බ එකම දේ මගීන්ට උදව් කරන්න ඇහැට කනට පේන බොහොම ප්‍රිය මනාප එයා හුටස් නංගිලා කිහිප දෙනෙක් හිටපු එක … මේ අය බොහෝ දුරට ඉතියෝපියානු අයම වෙන්න ඕන කියල මට හිතුනෙ මුහුණේ අංග ලක්ෂණ නිසා (හරි … හරි … අනිත් ඒවත් ඒ වගේම තමයි 😀 ) … ශීබා රැජිනත් මේ වගේ බොහොම සුරූපී කැපිල පේන කාන්තාවක් වෙන්න ඇති කියල මට හිතුන.

ඊළඟ ගැටළුව තමයි අතේ රැගෙන යන ගමන් මළු … ගුවන් යානයක කැබින් එක තුළට රැගෙන ආ හැකි මළු වල ප්‍රමාණය ගැන සෑම ගුවන් සේවා ආයතනයකින් වගේම සීමා නීති පනවල තියෙනව … දිග, පළල, උස වගේම බරත් මෙයට ඇතුළත්. නමුත් මා යෙදුන අප්‍රිකානු ගුවන් ගමන් වලදි නිරීක්ෂණය කරපු දෙයක් තමයි එය කොයිතරම් දුරට නොසලකා හරිනවද කියන එක. ඇතැම් උදවිය රැගෙන එන අතේ ගෙන යන මළු අනුමත ප්‍රමාණය වගේ දෙගුණයකට කිට්ටුයි.

මෙයට හේතුව මැද පෙරදිග විප්‍රවාසීව සිටින අප්‍රිකානු ජාතිකයන්ට පහසුව සලසන්න කියල උපකල්පනය කරත් ඉන් ගුවන් යානයක රැගෙන යා හැකි උපරිම බරට සහ ඉන්ධන පිරිවැයට ඇතුළු ගමන් වියදම් සම්බන්ධයෙන් කොහොම බලපානවද කියන එක ගැටළුවක්. විශේෂයෙන් උපරිම මගීන් සංඛ්‍යාව රැගෙන යන අවස්ථා වලදි ??? බර වැඩි වෙලා යානය අනතුරකට ලක් උනොත් මොන දෙයියන්ට කිව්වත් වැඩක් නැහැ.

කොහොම වෙතත් මේ ගමනේ පළවෙනි බකට් එක පෙරළා ගත්තෙත් මේ ගමන් මලු නිසා. ආසන වලට ඉහළින් අතේ රැගෙන යන මළු අසුරන්න තියෙන රාක්ක හැම එකක්ම සම්පුර්ණයෙන්ම වාගෙ එදා පිරිල. මම වාඩි වෙලා හිටපු ආසනයට ඉහළින්  තැන්පත් කරල තිබ්බ මගේ ගමන් මල්ල තරමක් ඈතින් තිබ්බ වෙනත් තැනකට දාන්න හදාපු හයේ හතරෙ අප්‍රිකානුවෙක් නිසා.

ලැප් ටොප් එක සහ අනෙකුත් වැදගත් අඩුම කුඩුම දේ මගේ ඇස් මානෙන් අයින් වෙනවට කිසිම කැමැත්තක් නොතිබුන නිසා ඒ හාදය එක්ක ඇති කර ගත්ත ආරවුල විසඳගන්න එයා හුටස් නංගි කෙනෙක්ව ගෙන්නන්න උනා. උන්දත් එක්ක තමන්ගෙ බාසාවෙන් කතා කරල තොදොල් වෙලා තමන් හරිය කියල පර සක්වල ගහන්න හැදුවත් මට වඩා ආසන කිහිපයක් පිටුපසින් වාඩි වෙලා හිටපු ඔහුට ගමන් මල්ල තියන්න වෙනත් තැනක් දෙන්න ඇය සාධාරණව තීරණය කළ නිසා ගමන් මල්ල තිබුණ තැනම තියාගන්න පුළුවන් උනා.

Ethiopean Air Hostessesසොරකම් සුලභ අප්‍රිකානු රටවලට යෙදෙන ගමන් වලදි තම තමන්ගෙ ගමන් මළු ගැන ඇහැ ගහගෙන ඉන්න එක නුවණක්කාර වැඩක් නෙමයි අත්‍යවශ්‍ය වැඩක්. කණ්ඩගෙ මේ ගමන්මළු අපලෙ මේ සිදුවීමෙන් පස්සෙත් දුරිම්භූත වෙලා නොගිය බව ගමන ගැන ඉස්සරහට යනකොට වැටහේවි.

මැද පෙරදිග සිට එන ගුවන් ගමන් වලදි අපේ අමුතු ඇටේ උදවිය කරන්නට යෙදෙන බහුරු කෝලම් ගැන බොහොම විවේචනාත්මකව කතා කරනව, ඒ විවේචන දියුණු රටවලට සාපේක්ෂව සාධාරණයි තමයි. නමුත් අප්‍රිකානු සහ ඇතැම් ආසියානු රටවල් සමග බැලුවම අපි තාමත් ඒ තරම් පහළට වැටිල නැහැ කියලත් හිතෙනව.

මේ සෝමාලියාවට යන පළවෙනි ගමන උනාට අප්‍රිකාවට යන පළමු වතාව නොවෙන නිසා ලොකු චකිතයක් තිබුනේ නැහැ. මෙයිට කලින් අයිවරි කෝස්ට්, ලයිබීරියා සහ ඝානා යන රටවල සංචාරය කරල තිබුන අත්දැකීම් හිත සංසුන්ව තියාගන්න පිටිවහලක් උනා. නමුත් මේ කණ්ඩ තනිවම කරන පළමු අප්‍රිකානු සංචාරය, ඒකත් නොම්මර එකේ තැනකට 🙂

හිතේ පොඩි කුකුසක් තිබුනෙ අසල ආසනයෙ දොන්ත සයිස් අප්‍රිකානු ජාතිකයෙක් වාඩි වෙයිද කියන එක … මොකද කලින් වතාවක ඝානා සිට ලයිබීරියා (Liberia) බලා යනකොට මගේ මිත්‍රයෙක්ට සීට් දෙකකවත් වාඩි වෙන්න අමාරු ලලනාවක් ගාව ඇඹරිලා ගුලි වෙලා යන්න සිද්ධ උනා … වාසනාවට සෝමාලි ගමනෙදි මට එහෙම උනේ නැත්තෙ කෙසඟ කෙන්යානු (Kenyan) ජාතික තරුණයෙක් මගේ අසල්වැසියා උන නිසා.

සුපිරි කොම්පැණියෙ ඇෆ්ගනිස්තානය, ඩුබායි සහ අනෙකුත් අප්‍රිකානු ශාඛා වල කෙන්යානු ජාතිකයන් රාශියක් සේවය කළ නිසා එහි ලොකු අමුත්තක් දැනුනේ නැහැ. මට හමු උන කෙන්යානුවන් බොහෝ දෙනා කතා බහ කරන්න කැමති විනෝදයට බර උදවිය.

ඉතින් ඩුබායි වල රැකියාව කරල නිවාඩුවකට තම ගමරට බලා යන මේ හාදය එක්කත් කතාවකට වැටුන නිසා කාලය ගෙවිල යන එක එතරම් තේරුනේ නැහැ. කණ්ඩ කෙන්යාවේ සෆාරි ගැන විස්තර විමසපු නිසා සංචාරක ව්‍යාපාරයට අදාළ රැකියාවක් කරපු ඔහු කෙන්යාවෙ සත්වෝද්‍යාන සහ සෆාරි කර්මාන්තය ගැන ලොකු විස්තරයක් වගේම පාරම් බෑමකුත් කරපු බව මතක් උනාට කියපුව නම් මොකවත් මතකයේ නැහැ.

ව්‍යාපාර සහ රැකියා වල නිරත වෙන ඉන්දියානු ජාතිකයන් රාශියක් නයිරෝබි සහ මොම්බාසා (Nairobi and Mombasa) වල ඉන්නව … ඔහු තවත් කයියකට අර ඇද්දෙ මම ලාංකිකයෙක් කියල අමතක වෙලා. මේ අත්දැකීම මැදපෙරදිග වෙසෙන බොහෝ ලාංකිකයන් මුහුණ දෙයක් නිසා ඔහුව හරි ගැස්සුවත් ඒ කතාව දිගටම එහෙම අරගෙන ගියේ වැඩිය නොදන්නා මාතෘකාවක් නිසා. මේ ඉන්දියානු සංක්‍රමණයත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ උවමනා එපාකම් සපුරා ගන්න සිදු වුණ එකක්. රාජ්‍ය සේවකයන්, කම්කරුවන් සහ ව්‍යාපාරිකයන් මේ විදිහට කෙන්යාව බලා ඇදුන ඉන්දියානු නඩ වලට ඇතුළත්.

ඔය එක්කම තේ වගාවල් ගැනත් කතාවට ඇදිල ආව, ලංකාවට පස්සෙ තේ වගාවට අවතීර්ණ උනත් ලාභදායී ශ්‍රමය සහ අනෙකුත් හේතු නිසා අද වෙනකොට නිපදවන තේ ප්‍රමාණය ලංකාවත් පහුකරගෙන ලෝකෙන්ම තුන් වෙනි තැනට ඇවිල්ල. නමුත් අපේ තේ තත්වයෙන් අනික්වට වඩා උසස් කියල ජාමෙ බේරගන්න මංතුමාට පුළුවන් උනා.

අපේ කතා බහ ආපහු නයිරෝබි වලට හැරුනෙ මේ තරුණයගෙ කන්තෝරුවක් එහේ තියන බව කියාපු නිසයි, මේ කියන්න යන කතාවටත් නයිරෝබි බොහොම වැදගත් වෙන තැනක් කියල නම් මට මොහොතකටවත් හිතුනෙ නැහැ. අපේ කතා බහට විරාමයක් ලැබුනෙ එයා හුටස් නංගිලා මගීන්ට කෑම වේල් නිකුත් කරන්න පටන් ගත්ත නිසා.

කන්න බොන්න දෙන වෙලාවෙත් එයා හුටස් නංගිලා සහ අනෙකුත් මගීන් කිහිප දෙනෙක් අතර නොයෙක් වාද විවාද යනවා ඇහුනත් මට හම්බ උන මෙලෝ රහක් නැති (නමට) බිරියානි කෑම එක පාඩුවෙ කාල පොඩි නින්දක් දාන්න හිතුව. ගමන් පටන් ගද්දි තිබුණ කලබල ගතිය සහ ඝෝෂාව කෑම බීම දීල කට්ටියව සන්සුන් උනාට මග ඇරිලා ගිය නිසා අමුතු කරදරයක් තිබ්බේ නැහැ.

එහෙම පැය කිහිපයක් නින්දට වැටුණ කණ්ඩ ආපහු ඇහැරුනේ එයා හුටස් නංගි කෙනෙක් ඇවිල්ල ගුවන් යානය ගොඩ බෑමට ආසන්න නිසා එතෙක් දිග ඇරන් උන්න ආසනය කෙළින් කරගන්න කියල ඉල්ලපු නිසා. ඒ කියන්නෙ ජිබූටි වලටත් ඇවිල්ල. ඒ වෙනකං ජිබූටි කළුද සුදුද කියලවත් ජනගෙන නොහිටි මම යානය ගොඩ බාන තෙක් ජනේලෙන් එළිය බලාගෙන හිටිය.

එය එකම එක ධාවන පථයකින් (Runaway) යුතු බොහොම ප්‍රාථමික ගුවන් තොටුපොළක්, ගුවන් යානයේ සිට මගී පර්යන්තය (Terminal) වෙත මගීන් යනෙන  ගුවන් පාලම් (Boarding bridge) කිසිවක් මෙහි තිබුණේ නැහැ . ඒ අරුනහම පුදුමයට පත් උන කාරණය තමයි ගුවන් යානය ගොඩ බෑ පසු ආපසු ගුවන් ගත වීම සඳහා ආපසු හැරුන එක ඇරෙන්න මගී පර්යන්තය අසලට ගුවන් යානය රැගෙන නොයාම.

Donkey Cartඒ වෙනුවට පැරණි කෑලි හැලෙන කැබ් රථ කිහිපයක් භාවිතයෙන් ධාවන පථය ආසන්නයේම නවත්වා තිබුන යානය වෙත මගීන් සහ ගමන් මළු හුවමාරුව සිදු උනා. නමුත් කණ්ඩට ඇස් අදහා ගන්න බැරි උනේ අර කැබ් රථ වලට අමතරව බූරුවන් විසින් අදින ලද කරත්ත කිහිපයක්ද මගීන් සහ මළු ප්‍රවාහනයට එකතු වීමයි. මෙවැනි දසුන් දැනට අවුරුදු 30-40 කට කලින් ගුවන් තොටුපොළ වල දකින්නට තිබුනා වෙන්න පුළුවන් උනත් 2011 දීත් වෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නැහැ 😀

ජිබූටි වලින් මගීන් 20-30 දෙනෙක් බැහැල ගිහින් තවත් කිහිප දෙනෙක් නැවත එකතු උනා, මේ ඔක්කොම කරනකන් පැයක් විතර අපිට ගුවන් යානය තුලම රැඳී ඉන්න සිදු උනා. ඒ අතර කාලය තුල වායුසමනය ක්‍රියා විරහිත කර තිබුණු නිසා අපහසුවෙන් තුම් මුනින් දාඩිය පෙරාගෙන හිටියෙ වෙන කරන්න දෙයක් නැති කමට. මා සැහැල්ලු ඇඳුමින් සැරසී හිටියත් ඇතැමෙක් කබායවල් ඇඳගෙන කොහොම හිටියද කියන්න දන්නෙ දෙයියොම තමයි.

අන්තිමට මගීන් කැරළි ගහන්න ඔන්න මෙන්න තියල ගුවන් යානය ජිබූටි වලින් නැවත  ගුවන් ගත වෙලා මොගඩිෂූ බලා පියාසර කරන්න පටන් ගත්ත … මොගඩිෂූ වෙත ලඟා වෙන්න එතරම් කාලයක් ගිය බව නම් මතක නැහැ, මම හිතන්නෙ ගත උනේ පැය දෙකකටත් අඩු කාලයක්.

අපි ගොඩ බාන්න ලැස්ති වෙන බවට නිවේදන යන අතරෙ ඈතින් මොගඩිෂූ ගුවන්තොටුපොළ දිස් උන ආකාරය තවමත් මැවිල පේනව. කුඩා ගොඩනැගිලි වලින් පිරුණු ගොඩබිමත් අපූරු නිල් පාටින් දිස්උන අලංකාර මුහුදු තීරයත් සෝමාලියාවේ ඇති අස්ථාවරත්වය ගැන කිසිඳු ඉඟියක් පල කරේ නැති තරම්.

~ කණ්ඩා

මතු සම්බන්ධයි !

 

පෙර ලිපි :

සෝමාලි කතා ~ I කොටස ~ නුබියාව නැතත් සෝමාලියාවට

සෝමාලි කතා ~ III කොටස ~ මරණයේ නගරය ඔස්සේ සුපිරි කඳවුරට

ඇෆ්ගනිස්තානය ගැන ලියවුනු ලිපි   :

I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

VI කොටස ~ කාබුල් පොල්ල !

VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !

VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

IX කොටස ~ කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !

X කොටස ~ ආපන ශාලාවේ අවුල්-නිරවුල් !

XI කොටස ~ කාබුල් නගරසිරි, පටාන් රොටි සහ කාමර මාරුව

Advertisements